ජීවිතවල සංකීර්ණත්වය එන්න එන්න ම වැඩි වෙවී යන බවක් අපි දැන් දැන් අත්විඳිනවා. වගකීම් සම්භාරයක් සහිත වූවන් බවට ක්‍රමයෙන් පත් වෙද්දී අපට අපේ කටයුතු කළමනාකරණය කරගන්න කාලය වෙන් කරගැනීම ම අර්බුදයක් නිර්මාණය කරලා. අවුරුද්ද ගානේ අපේ ඉලක්ක පසුබහිනවා. මාසේ ගානේ, දවස ගානේ කියලා වෙනසක් නෑ…, අපි ඉන්නේ ඉලක්කවලට පිටිපස්සෙන්. අධිවේගයෙන් අවශ්‍යතා ලුහුබැඳගෙන ගියා වුණත් ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රියාවලියේ දී අපි අතෘප්තිමත්. ඒ විතරක් නෙමෙයි; අපි බොහොම කාර්යබහුලයි.
දවස ගෙවා දමන්න තියෙන්නේම ම දුවදුවා. ඒ දුවන, දිවෙන ජීවන රටාව ඇතුළෙදි අපට ගහකොළ සතාසීපාවා මඟහැරීම ගැන කවර කථා ද; දෙමාපිය දූදරු වැඩිහිටි හිතමිතුරු පිරිසත් අපට මඟහැරිලා… අපටත් වඩා, අපේ බාල පරපුරට මේ හැමදේම මඟහැරිලා. අද අපට මුණගැසෙන පොඩි දරුවෝ වඩාත් ආකර්ෂණය වෙන්නේ අධිවේගී තාක්ෂණික මෙවලම්වලට. ඔවුන් සමාජ සම්බන්ධතාවලට හෝ අවට පරිසරයට හෝ එතරම් සංවේදී නෑ. පොදු ස්ථානයක මොහොතක් නැවතී අපේ ළමා පරපුර දෙස විමසුම් බැල්මක් හෙළුවහොත් අපට පෙනෙන්න තියෙන්නේ ඔවුන් ස්මාර්ට් තිරයන්ට ඇලීගැලී සිටින බවක්. වටපිටාවේ සිදු වන දේවල් ගැන ඒ බොහෝ දෙනා සවිඥානික නෑ.
මේ අර්බුදය පටන් ගන්නේ ගෙදරින්. විසි එක්වන සියවසේ ආරම්භයේ පටන් ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර, ටැබ් යන්ත්‍ර අපේ සමාජයේ බොහොම වේගයෙන් ජනප්‍රිය වුණා. ඒ අතරට ම සමාජ මාධ්‍ය භාවිතාව බොහොම ඉක්මනින් එකතු වුණා. අතිශය පෞද්ගලික කාරණා පවා සමාජගත කිරීමේ ප්‍රවණතාවයන් ඇති වුණේ ඒ ඔස්සේ. ප්‍රේම සම්බන්ධතා, විවාහයට පෙර සූදානම් වීම්, විවාහය, ගර්භිනී භාවය, දරු උපත, දරුවන් ආදී සෑම දෙයක් ගැන ම මොහොතින් මොහොත සෙසු ලෝකයාට නිරාවරණය වන ස්වභාවයකයි නූතන තරුණ ප්‍රජාව සිටින්නේ…
අලුත ඉපදුණ දරුවන්ට ස්මාර්ට් තිරය හුරුපුරුදු වෙන්නේ උපන් දවසේ පටන් ම යි. එය ඔවුන්ගේ ජීවිතවල ම කොටසක් වෙන්න ගන්නේ මව්කිරිවලට අමතර ව කෑමබීම කවන්න පොවන්න පටන් ගනිද්දියි. දරුවන්ගේ ඇසට ස්මාර්ට් තිරය අලවා තබා ඒ අතරේ කටට කෑම පුරවා ගිලදමන්නට ඉඩ සැලසීම තමයි අද බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. කාර්යබහුල ජීවිත එක්ක අධිවේගයෙන් දුවන අම්මලා තාත්තලාට කාල කළමනාකරණය කරගන්න ඊට වඩා වෙනස් ක්‍රමවේදයක්, විකල්පයක් නැති තරම්…
ඊටපස්සේ, දරුවෝ මේ ක්‍රමයට බොහොම ඉක්මනින් හුරු වෙනවා. අතපත් හුරුබුහුටි උපකරණයෙන් පෙනෙන වර්ණවත් රූප ඔවුන්ගේ ඇස් ඇදබැඳ තබා ගන්නවා. එයින් ඇසෙන ශබ්ද ඔවුන්ගේ ජීවිතයේ ම කොටසක් බවට පත් වෙනවා. ආකර්ෂණීය භාවයේ කිසිම අඩුවක් නැති ස්මාර්ට් තිරයකට වශී වෙලා බලා ඉන්න දරුවෙකුගෙන් එය අයින් කරගන්න එක පහසු වැඩක් නෙවෙයි. අඬන දරුවා සැණෙකින් නිහඬ කරවන්න නම් එයට හැකියි…
ඒ ක්‍රමය අම්මලා තාත්තලාටත් පහසුවක්. ‘ඔන්න ඔහේ කමක් නෑ පාඩුවේ ඉන්නවානේ, ඉංග්‍රීසි ටිකක් හරි ඉගෙන ගනියිනේ, අපේ වැඩ කරගන්න වෙලාව හැදෙනවානේ…’
ආදී හේතුකාරණා බොහෝමයක් මේ ගැන අසන්නටත් ලැබෙනවා. ඉතින්, අම්මලා තාත්තලගේ වෙහෙස මහන්සිය දරුවන්ට ගෝචර වෙන්නේ නෑ. ගහකොළ සතාසීපාවගේ පැවැත්ම ගැන ඔවුන් ඉගෙන ගන්නේ ස්මාර්ට් තිරයෙන්. ඔවුන්ගේ ලෝකය අධිවේගීයි. ඔවුන් ව හදලාවඩලා උස්මහත් කරන්න දිවාරැයේ ඉලක්ක ලුහුබඳින දෙමාපියන්ගේ ලෝකත් අධිවේගීයි. ගෙදර පවා අඩුවක් නැති මේ නොඉවසිල්ල, දිවිල්ල, අධිවේගය පාරතොටේ, වැඩපළේ, ජනාකීර්ණ තැන්වල, රටේ, ලෝකයේ නොයෙක් විදිහට ප්‍රකට වෙනවා. යමක් වුවමනා වුණු හැටියේ ඒ දේ අතපත් වනවාට තියෙන රුචිකත්වය වගේ ම අන් අය, අන් දේවල් පරයා දිව යන්න තියෙන වුවමනාවත් මේ අධිවේගී ජීවන චක්‍රයේ උස්පහත් වීම්වලට අයිතියි.
සංවරයක්, විනයක්, නීතියක් නැතිව බොහොම හදිස්සියෙන්, කලබලයෙන් වෙට්ටු දාගෙන, හෝන් ගහගෙන කඩිමුඩියේ යන ගමන්බිමන්වල තියෙන්නෙත් ඒ අධිවේගී සංස්කෘතිය ම තමයි. හැමෝම අධිවේගයෙන් වැඩ කරනවා. අධිවේගයෙන් ඉලක්ක ලුහුබඳිනවා. අධිවේගයෙන් කාමසම්පත් රැස් කරනවා. අධිවේගයෙන් එකිනෙකා පරයා යන්න වෙර දරනවා. අධිවේග-යෙන් සබඳතා හැදෙනවා. ඒ වේගයෙන් ම සබඳතා බිඳෙනවා. අධිවේගයෙන් සතුටු වෙනවා, ඒ වේගයෙන් ම දුක් වෙනවා. කෑමබීම පවා අධිවේගයෙන් හැදෙනවා. අධිවේගයෙන් කනවා, බොනවා, ලෙඩ වෙනවා, දිරනවා…
ඔය හැමදේටම වඩා වේගයෙන් මේ උපන්නා වූ සත්වයන්ගේ ආයුෂ ගෙවිලා යනවා. අධිවේගයෙන් දුව දුව ඉන්න අතරේ ම ඒ උදවිය මැරිලා යනවා. අපේ කථාවත් අඩුවැඩි වශයෙන් ඔය කථාවට සමීප දෙයක්…
මේ ජීවන රටාව එක්ක ඔට්ටු වෙවී ඉඳලා අපි අද මැරුණොත්, ඒ එක්ක ම අපි කරපු පිනක විපාකයක් විදිහට මිනිස් මවුකුසක ම පිළිසිඳ ගත්තොත්, තව මාස නමයක් ගත වෙලා අපි උපදින ලෝකය මීටත් වඩා වේගවත් එකක් වේවි. අපිට මාස තුන හතරක් වෙද්දි ස්මාර්ට් ෆෝන් එකක් අපේ අතටත් ලැබෙනවා. අද නම් ස්මාර්ට් තිරය එහෙමෙහෙ කරද්දී දකින සමහර දේවල් වල්පල් කියලා, හිස් නිස්සාර දේවල් කියලා, පාපී අකුසල් කියලා අත්හැර දමන බවක් සත්පුරුෂ ධර්මයක් අහලා පුරුදු අප තුළ තියෙනවා. හැබැයි, එදාටත් ඒ දේවල් අපි සිහියෙන් නුවණින් සලකා බලලා අත්හරියි කියලා ඔබ හිතනව ද? අන් කවරදාටවත් වඩා වේගයෙන් අධර්මය, මිථ්‍යාදෘෂ්ටි අද සමාජය වෙලා ගනිමින් පවතින්නේ මේ අධිවේගී සන්නිවේදන තාක්ෂණයෙන් ලැබෙන නොමඳ රුකුල නිසයි. ආයෙමත් අපි මනුස්ස ලෝකයට ආවොත් එදාට අපිත් සංවේදී වෙන්නේ නියාමනයකින් තොරව ලැබෙන ලැබෙන තොරතුරු රිසි සේ බෙදාහරින ඒ තාක්ෂණික විප්ලවයට නෙවෙයි කියන්න කාටවත් ම බෑ. මේ සන්නිවේදන උගුල ඇතුළේ අධිවේගයෙන් කුසල් දහම් පිරිහෙනවා. අධිවේගයෙන් අකුසල් ඉස්මතු වෙනවා. ධර්මයට වඩා බොහෝසෙයින් අධර්මය ජනගත වෙනවා. ඒ වගේ සමාජයක, ‘බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා’ කියා ඇහෙද්දී දකිද්දී අපට එහි නොගැළපීමක් තේරුම් ගන්න බැරි වේවි. ‘කොහේ උපන්නත් මොකද?’ කියා අපට සිතේවි. ඒ උපදින්නේ ‘විචිකිච්ඡාව’ නම් වූ නීවරණය කියා අපට තේරුම් කරන්නට සත්පුරුෂයන් නොසිටියොත් අපි කොතැනට වැටෙයි ද… එවැනි දෑ පැහැදිලි කොට පෙන්වා දෙන සත්පුරුෂයන් සිටින්නා ම වූ අද පවා ඒ වචනයනට කන් නොදී මිථ්‍යාවේ ම සමාදන් වන උගතුන් සිටිනවා නම්, සත්පුරුෂයන් සිටියා වුණත් එදාට සත්පුරුෂයන්ගේ වචනයේ දක්ෂ වෙමින් අපට අප ව රැකගන්නට හැකි වේවි කියා සිතන්නට තිබෙන සහතිකය මොකක්ද? අප තේරුම් ගත යුත්තේ අධිවේගයෙන් ම අප අනතුර කරා ළඟාවෙමින් සිටින බව නෙමෙයි ද?
සෑයක්, බෝධියක්, වෙහෙරක් ළඟ වැඳ වැඳ – සත්පුරුෂයන් වහන්සේලාගෙන් ධර්මය අස අසා අප ලබන මේ සුවපත් භාවය, ශාන්ත භාවය අහිමි වනවාට අකමැති නම්, ඒ සන්සිඳීමේ රැකවරණයට කැමති නම් මේ කාමාශක්ත ලෝකයට ඇළුම් කරන්නට එපා.
“කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන මේ බිය දකින කෙනා, ඒ අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න ඕන.”
(අච්චෙන්ති සූත්‍රය, සං. නි. 1)
මෙතෙර රැඳෙන බහුජනයා සමඟ නොරැඳී එතෙරට යන මේ මාර්ගය සම්බුදු මුව මඬලින් විවරණය කෙරුණේ ඇසළ පුන්පොහෝ දිනයකයි. ඇසළ පුන්පොහෝ දිනයක ම අවසන් සිරුර දරාගෙන මව්කුස පිළිසිඳගත් මහා බෝසතාණන් වහන්සේ, ඇසළ පුන්පොහෝ දිනයක ම නෙක්ඛම්මයට සිත අළලා මහාභිනික්මන් කොට, සය වසරකට පසු සම්මා සම්බුද්ධත්වයට පත් වී, ඇසළ පුන්පොහෝ දිනයක ම නැගූ දම්සිහනදින් පිනැති නැණැති දෙව්මිනිස් ලෝකයා කෙලෙස් බන්ධන සිඳබිඳ දමා නිවී සැනසුණු බව සත්‍යයක්. මේ උතුම් ඇසළ පුන්පොහෝ දිනයේ අප ප්‍රතිපත්තියෙන් ද ආමිෂයෙන් ද රැස් කරන පින්දහම් අපට ද නිවී සැනසීම පිණිස ම හේතු උපනිශ්‍රය වේවා!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments