ලෝකය යනු සත්‍යය සේ ම අසත්‍යය ද පවත්නා තැනකි. වඩාත් නිවැරදි ව කිවහොත් සත්‍යයට වඩා අසත්‍යය පිදුම් ලබන, ප්‍රිය භාවයට පත් වන, පිළිගැනෙන, ආකර්ෂණීය වන – සත්‍යයට වඩා අසත්‍යය බහුල වන තැනකි. නූතන ලෝකයේ බොහෝ ඇදහිලි, විශ්වාස, බලාපොරොත්තු නිර්මාණය වී තිබෙන්නේ අසත්‍යය පදනම් කොටගෙන ය. තම තම අවබෝධය පමණ කොටගෙන, තමන්ට තේරෙන පරිදි ඉදිරිපත් කරන මතවාදයන්ගේ ලෝකය එල්බ ගන්නේ එනිසා ය.
‘සත්‍යය’ යනු එකිනෙකාගේ දැනුම්තේරුම්කමේ තරාතිරම අනුව වෙනස් වන්නක් නොවේ. දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට කියා වෙනස් වන්නක් ද නොවේ. එය නොවෙනස් ධර්මතාවයකි. අවබෝධය පරිපූර්ණ කොටගෙන සාක්ෂාත් කළ යුත්තකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූයේ සත්‍යය අවබෝධ කොටගෙන දෙව්මිනිස් ලෝකයාට ද අවබෝධ කිරීම පිණිස ඒ සත්‍යය විවෘත කරලීමට ය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූවත් නැතත් දුකත්, දුකෙහි හටගැනීමත් ලෝකයේ පවතී. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමෙන් පමණක් ම දුක්ඛ නිරෝධයත්, දුක් නිරුද්ධ වන ප්‍රතිපදාවත් ලෝකයේ විද්‍යමාන වේ. මේ සතරක් වූ ආර්ය සත්‍යයන්, සත්‍ය ඤාණ වශයෙන් අවබෝධ කරන්නේ ද කෘත්‍ය ඤාණ වශයෙන් එහිලා කළයුත්ත දැනගන්නේ ද කෘත ඤාණ වශයෙන් එසේ කළයුත්ත කොට අවසන් වූ බව දැකගන්නේ ද සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය යි.
තමන් වහන්සේ විසින් ම උපදවා ගත් අවබෝධ ඤාණය දෙව්මිනිස් ලෝසතගේ අවබෝධය පිණිස දේශනා කිරීම සම්බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ කෘත්‍යය පරිපූර්ණ කිරීමෙහිලා අත්‍යවශ්‍ය ය. උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ව්‍යක්ත බවට විශාරද බවට පැමිණ අන්‍ය මතවාදයන් දහම් දැනුමෙන් බිඳ හෙළන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් ශ්‍රාවකයන් ලෝකයේ බිහි වන්නේ ඒ සදහම් සන්දේශයෙනි. ඇසළ පුන්පොහෝ දිනයක දී සියලු සම්බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත බුද්ධභූමියක් වන බරණැස ඉසිපතන මිගදායේ දී අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් පැනනැගුනේ ඒ දම්සිහනදයි.
එසේ දම්සිහනද නැගෙන කල්හි සත්‍යයට විවෘත වූ ජීවිත ඇත්තෝ ඒ සත්‍යය තමන් තුළට පමුණුවා ගත්හ. මැනැවින් දේශනා කරන ලද, මේ ජීවිතයේ දී ම අත්දකින්නට හැකි, කාලයකට අයත් නොවන, ඇවිත් බලන්න යැයි දැක්විය හැකි, තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු වූ ඒ සත්‍යය තමා තුළට පමුණුවාගෙන ඔවුහු සුවපත් වූහ. එදා මෙන් අදත්, අනාගතයේත් සත්‍යයට විවෘත වන්නෝ පමණක් සත්‍යය පසක් කරනු ලබන්නෝ ය.
මේ සසර වනාහී පටන්ගත් කෙළවරක් දකින්නට නොලැබෙනා අති දීර්ඝ ගමනක් බවත්, හේතුවකින් සකස් වී හේතු නැති වන කල්හි නිරුද්ධ වී යන හේතුඵල ස්වභාවයක් බවත්, කර්මය දායාදය කොටගෙන යාමට සිදු වන්නක් බවත්, දුකෙහි හේතු නසන්නට මැදුම් පිළිවෙතේ යෙදිය යුතු බවත් පිළිගැනීම යනු අප සත්‍යයට විවෘත වීම ය. මේ තාක් අප විසින් සිදු නොකරන ලද්දේ එයයි.
සත්‍යයට විවෘත නොවූ ලෝකයේ ප්‍රාර්ථනා පිහිටන්නේ යළි උපදින්නට ය. මේ ජීවිතයේ අත්විඳි කම්කටොලු වලින් තොර වූ, සැපවත් වූ, සුවපත් වූ උපතක් ඔවුන්ගේ ඉලක්කය යි. තවත් උදවිය ද්වේෂ ගින්නෙන් දැවෙමින් ජාති ජාතිත් පළිගන්නෙමු යි කියා වෛරී සිත් පෙරදැරි ව සසර ම පතති. බොහෝ උදවියට නිවන් දැකීම යනු අලාභයකි. ඔවුන්ට කළ යුතු බොහෝ කටයුතු ඇත. ඔවුහු නැවත නැවත ඉපදීම ගැටළුවක් ලෙස නොව විසඳුමක් ලෙස දකිති. එවැනි ජීවිත, සත්‍යය තුළට පමුණුවාලීම දුෂ්කර කටයුත්තකි. නමුත් කවරෙකු හෝ වේවා “නැවත නැවත ඉපදීම දුකකි.” යන සත්‍යවාදී සම්බුදුරජුන්ගේ වචනය පිළිගෙන සසර දුකින් නිදහස් වීම ඉලක්ක කරගන්නේ නම් ඒ ජීවිත වේගයෙන් සත්‍යය කරා යාම අපේක්ෂා කළ යුතු ය.
අද අපට ඇති ගැටළුව සත්‍යය අවබෝධයට ඇති කැමැත්ත කලින් කල වෙනස් වීම ය. නිවන ඉලක්ක කරනා සිත ම යළි කාමයන් පතයි. ධර්මය අසන විට, යම් යම් කලකිරීම් උපදනා විට, ආදීනවය ප්‍රකට වන විට නොඇල්මෙන් යුතුව නිදහස් වීමට කැමැත්ත ඇති වන්නේ වුව ද සුළු ආස්වාදනීය අරමුණට පවා ඒ කැමැත්ත වෙනස් කළ හැකි වීම සසැලෙන සිතේ ස්වභාවය යි. එහෙයින් ම අප සත්‍යය අසන්නට ලැබෙද්දී පවා අසත්‍යයෙන් සතුටු වන ජීවිත ඇති ව සසරට ම ඇදවැටෙන්නවුන් බවට පත්ව ඇත.
මේ දුක් රැස ඉක්මවනු කැමැත්තෙන් අප කළ යුත්තේ ඇසළ පුන්පොහෝ දිනයක ලොවට විවරණය වූ ඒ පරම සත්‍යයට විවෘත වීම ය.
Recent Comments