සම්බුද්ධත්වය වනාහී වර්ණනා කොට අවසන් කළ හැකි දෙයක් නොවේ. එය වර්ණනාවිෂයාතික්‍රාන්ත ය. කථා කොට අවසන් කළ හැකි දෙයක් නොවේ. එය වාග්විෂයාතික්‍රාන්ත ය. තුන්ලොවෙහි අග්‍ර ඒ උත්තරීත්වය සාක්ෂාත් කරනු වස් මහ බෝසතාණන් වහන්සේනමක් සංසාරය තුළ කරන අපරිමිත කැපකිරීම පුදුම සහගත ය. ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයේ පරම පවිත්‍ර චිත්ත අධ්‍යාශයේ මස්තකප්‍රාප්තිය ශ්‍රී සම්බුද්ධත්වය යි.
ඒ උතුම් සම්බුද්ධත්වය වටා බැඳුණු අතිශය වැදගත් සිදුවීම් සමුදාය අතුරින් වැඩිමනක්; මේ උතුම් ‘වේසාඛ පුණ්ණමා’ ‘වෛශාඛ්‍ය පෞර්ණමී’-‘වෙසක් පුන්පොහෝ’ දිනක ම යෙදීම සම්බුදුරජුන්ගේ ආශ්චර්යයක් ම බව අප කා හටත් වැටහෙන කරුණකි.
මින් විසි අසංඛ්‍යෙයකුත් කල්ප ලක්ෂයකට පෙර මාතුපෝසක ජාතකයෙහි පරිදි මව් කර තබා සැඩ සයුරෙන් එතෙර කොට ගොඩබිම පිහිටවූ වේලේ මෑණියන්ගේ මහා බලැති ආශීර්වාදය සමඟ,
“බුද්ධෝහං බෝධයිස්සාමි – මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි – සංසාරෝඝා මහබ්භයා”
‘මම ලොව්තුරා බුදුව අන්‍යයන්ට ද අවබෝධ කරවන්නෙමි. මම සසර දුකින් මිදී අන්‍යයන්ව ද එයින් මුදවන්නෙමි. මම මහ බිය ඇති සසර සැඩ පහරින් මිදී අන්‍යයන්ව ද එතෙර කරවන්නෙමි.’ යි නිර්මල සිතින් අධිෂ්ඨාන කරමින් මනෝප්‍රණිධාන පිහිටවූහ. එසේ නන්ද නම් අසංඛෙය්‍යයෙහි සිට පුණ්ඩරීක නම් අසංඛෙය්‍ය දක්වා අසංඛෙය්‍ය හතක් පුරා පහළ වූ බුදුරජාණන් වහන්සේලා හමුවේ අදිටන් කළහ.
එසේ ම සර්වභද්‍ර අසංඛෙය්‍යයෙහි සිට සර්වසේල අසංඛෙය්‍ය දක්වා නවාසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් පෙර ගාථාවේ පරිදි ම වචනයෙන් ප්‍රකාශ කරමින් සම්බුදුවරුන් ඉදිරිපිට වාග්ප්‍රණිධාන පිහිටවූහ.
මෙසේ සෝළස (16) අසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් තිස්සේ මනෝප්‍රණිධාන, වාග්ප්‍රණිධාන සපුරා මින් අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව සිටිද්දී දීපංකර බුදුරජුන්ගේ ශ්‍රී පාද පාමුල නියත විවරණ සිරි ලැබූ සේක. අපගේ මහෝත්තම බුද්ධාංකුරයාණන් වහන්සේ එවක් පටන් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමත්‍රිංශත් පාරමී ධර්මයන් පූරණය කළ සේක.
ඒ සියලු පාරමී ධර්මයන් තුළ උන්වහන්සේගේ හදමඬල තෙමී ගිය කරුණාවත්, මෝහන්ධකාරය නසන ප්‍රඥාවත් උස්ව බැබළී ගියේ ය.
“පඤ්ඤාස්ස සබ්බ ධම්මේසු – කරුණා සබ්බ ජන්තුසු” – සියලු ධර්මයන් පිළිබඳව ප්‍රඥාවත් – සියලු ලෝක සත්වයා පිළිබඳ කරුණාවත් හැම විට ම විද්‍යමාන විය.
බෝධිසත්ව ජීවිතයේ පාරමී පිරූ අවසන් වෙස්සන්තර ආත්මභාවයේ දී මහපොළොව ගුගුරුවමින් මහ දන් දී මින් නික්ම තුසිතයේ සන්තුසිත දෙව්රජුව දිව්‍යරාජ්‍ය පිහිටවූහ. සුදුසු කල පංචමහා විලෝකනය කොට සම්බුද්ධත්වය මනුලොව ම ලැබිය යුතු නිසා මිනිස් ලෝතලයේ පින්වන්ත ම පියාණන්ට දාව සුශීල ශෝභා ඇති මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් සේක. හරියට ම දසමස් ගෙවුණු තැන උතුම් වෙසක් පුන් පෝ දින එළඹියේ ය.
දිව්‍ය උද්‍යානයක සිරි ගත් ලුම්බිණි සල්වනය අමුතු ශ්‍රියාවකින් උජ්වලිත විය. අතු අග පටන් මලින් පිරී ගිය සශ්‍රීක සාල වෘක්ෂයේ ශාඛාවක් ප්‍රාණිග්‍රහණය කරද්දී ම පින්බර නිමිති පහළව ඒ අපගේ බුද්ධ මාතාවෝ තුන්ලොව මහාර්ඝ මාණික්‍ය රත්නය ලොවට දායාද කළෝය. මහ බඹු උන්වහන්සේ ව පිළිගෙන සිව්වරම් දෙවිවරුන්ට දුන්නේය. ඔවුන් මායා බිසව අතට පත් කරන විට තෙමේ ම පොළොවේ සිඟිති සිරිපා තැබූහ. ඇල් පැනින් හා උණු පැනින් නැහැවී ගියේ සිනහමුසු මුහුණින් උතුරු දිග බලා සත් පියවරක් ඉදිරියට වැඩියහ. දිව්‍ය ශ්වේත ඡත්‍ර ඉහළින් එසවිණි.
“අග්ගෝ හමස්මි ලෝකස්ස” ආදී උදාර වදන් පැවසීය. “ලොවෙහි මුදුනට පැමිණියෙමි මම්, ලොවෙහි දෙටු වූයෙමි මම්, ලොවෙහි ශ්‍රේෂ්ඨ වූයෙමි මම්, මෙය ය අවසන් උපත මාගේ… දැන් නැවත මා හට, උපත සකසන භවය නැත් ම ය.”
ඒ වෙසඟේ ප්‍රථම මංගල්‍යය යි.
අප මහ බෝසතාණෝ සොඳුරු තුන් පහයෙහි දෙව් සැප වන් කාම සම්පත්තීන් විඳිමින් සියලු ශිල්ප හදාරමින් තුරුණු වියට එළඹ කනක ලතාවක් වන් යශෝදරාවන් සමඟ අතිනත් ගෙන තුටින් සිටින කල සිව් පෙරනිමිති දැක නුවණින් විමසා අසාර ජීවිතයට කලකිරී ස්වර්ණ වර්ණ රාහුල පුතුන් උපන් දින සදහටම ගිහි දිවියට සමුදුන් සේක.
විසි නව වස අබිනික්මනින් පසු සය වසක් ආර්ය පර්යේෂණයේ නිමග්නව සිට අන්ත දෙකම අතැර යැපෙන පමණට අහර ගෙන කුඩා කල සසර පුරුදු ලෙස සිත් පිහිටි ආනාපානසතියේ සිහිය පිහිටුවීමට උත්සුක වූහ. නේරංජරාවෙන් සිහිල් පැන් පහසු ව, සුජාතා ව පිදූ පායාස වළඳා නේරංජරාව තරණය කොට සුදෝසුදු වැලිතලාව කෙළවර පිහිටි අශ්වත්ථ වනස්පතිය දැක ඒ මුල කුසතණ අතුරා, ‘සියලු කෙලෙස් දුරු නොකොට නොනැඟිටිමි’යි චතුරංග සමන්නාගත වීර්යයෙන් වැඩ සිටි සේක. නොසිඳිය හැකි මහා අදිටන් බල නිසා ම එම අසුන වජ්‍රාසනය විය.
ලොව සියලු පාපී මිසදිටු බලවේග එක පැහැර එකතුව එකපෙළට එදිරිව සිටිය ද පිරූ අපමණ පෙරුම් දම් බල නැඟී අප පිනට; අධර්මය මැඩී ධර්මය ම දිනී ය.
ලොව, මහා ගැඹුරු නිහැඬියාවක නිමග්න වූයේ ය. ආනාපානසතියේ මැනවින් පිහිටි සිත ඒකාත්මික විය. නීවරණයන් දුරුව ධ්‍යාන වශීකෘත ව ගියේ ය. සිව් දැහැන් පිරිසිදු විය. මත්තෙහි සිත පිහිටියේ පෙර ගත කළ දිවි තතු දකින්නට ය. පෙරයම පූර්වේනිවාසානුස්මෘති ඥානයත්, මැදියම චුතූපපාත ඥානයත්, පැසුළුයම ආශ්‍රවක්ෂය ඥානයත් ලබා මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි බුදුරජුන් ලෙස සම්බුද්ධාභිෂේකයෙන් අබිසෙස් ලැබූ සේක.
ඒ වෙසඟේ දෙවැනි මංගල්‍යය යි.
මහ බෝ මැඬ ම සිට පෙර මෙනෙහි කළ පටිච්චසමුප්පාද සමුදයේ නිරෝධයේ ඇති තතු දුටු නිරාමිස ප්‍රීතියෙන් “අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං” ආදී වශයෙන් උදන් ඇනූ සේක.
ඒත් වෙසක් පොහෝ දිනක යි.
සුදොවුන් මහරජුත්, මහා ප්‍රජාපතී දේවිරාජිණියත්, යශෝදරාවනුත්, සිඟිති රහල් පුතුත්, නන්ද සොයුරාත්, නන්දා සොයුරියත්, ශාක්‍ය-කෝලිය ඥාති පිරිවරත් අමා දියෙන් සනසනු වස් මැදින් මස රජගහින් නික්ම දෙමසක් ගෙවා කිඹුල්වතට වැඩම කළේත්, යමා මහ පෙළහර පා ඥාතීන් දමනය කළේත් වෙසක් පුන්පොහෝ දිනක යි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු සම්බුදු කෘත්‍ය නිමවා, අප්‍රමාණ සත්වයින් නිවන් සුවයෙන් සනහා ගිජුකුළු පව්වෙන් පරිනිර්වාණ චාරිකාව ඇරඹි සේක. අම්බලට්ඨිකාවේ රාජාගාරකය, නාලන්දාවේ පාවාරික අඹවනය, පාටලී ගම් පියස හරහා ගංගා නම් ගඟින් එතෙරව කෝටිග්‍රාමය, නාදිකා ගම හරහා තවත් ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරාව බලා වැඩම කළහ. යමක මහා සල් රුක් සෙවණේ පිරිනිවන් යහනේ වැඩ හිඳ අවසන් වරට භික්ෂූන් අමතා අප්‍රමාදයේ පිහිටුවා පිළිවෙළින් රූප, අරූප ධ්‍යානයන්ටත් – අනතුරුව නිරෝධ සමාපත්තියටත් අවරෝහණව නැවත ප්‍රථම ධ්‍යානය දක්වාත් සමවැද නැවත සිව්වන ධ්‍යානය දක්වා ගොස් ඉන් නැඟී සිටිනවාත් සමඟ ම මහ පොළව කම්පා කරමින් අසහාය තථාගත බුදුරජාණෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වැඩි සේක.
එය තුන්ලොවට මහා සංවේගයක් වුව ද විසි අසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පැමිණි ගමන් මගේ අතිශය නිමාව සනිටුහන් වූ නිසා අප මහා බෝසතුන්ගේ, අප මහා බුදුරජුන්ගේ දෙසින් බලන කල මංගල්‍යයක් ම වන්නේ ය.
ඒ වෙසඟේ තෙවැනි මංගල්‍යය යි.
සම්බුද්ධත්වයෙන් අටවැනි මස මණිඅක්ඛික නා රජුන්ගේ ඇරයුමෙන් බුදුරජාණෝ මහරහතුන් පන්සියයක් පිරිවරා කැලණි පුරයට වැඩියේත්, සුමන සමන් දෙව් නිරිඳුන්ගේ ඇරයුමෙන් සමනොළ ගිරිහිස විමනේ සිරිපා ලකුණු පිහිටවූයේත්, සොළොස්මස්ථාන පින්බිම් බුදු පා පහසින් සනසා අප ලක්දිව පුණ්‍ය ක්ෂේත්‍රයක් කොට වදාළේත් අද වැනි වෙසක් පුන් පොහෝ දිනක යි.
පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩ සිටි අප තිලෝගුරු ශාස්තෘන් වහන්සේ සක් දෙව්රජුන් අමතා ලංකාවත්, සිංහල ජාතියත් රක්නා ලෙස පැවසූයේත් අද වැනි වෙසක් පොහෝ දිනක යි. ලාට රට සිංහපුරයෙහි සිංහබාහු රජුගේ වැඩිමහල් පුත් විජය කුමරු සත්සීයක් පිරිස සමඟින් ලක්දිව ගොඩ බැස්සේත් අද වැනි වෙසක් පොහෝ දිනක යි.
අප අනුබුදු මිහිඳු මහරහතුන් දායාද කළ නිර්මල සම්බුද්ධ ශාසනය වැළඳගෙන ධර්මාශෝක ද්වීපචක්‍රවර්තීන්ගේ සහායෙන් ක්ෂත්‍රිය රාජධර්මානුකූල ව තිස්ස නිරිඳුන් දෙවනපෑතිස් ලෙස ද්විතියාභිෂේක ලද්දේත් අද වැනි වෙසක් පොහෝ දිනක ය. එවක් පටන් නියම සිංහල බෞද්ධ රජවරුන් අභිෂේක ලදුයේත් වෙසක් පුන්පොහෝ දිනයි.
අසදෘශ ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ කටයුතු ඇරඹුමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය වූයේත් පින්බර වෙසක් පුන්පොහෝ දිනක යි.
විසිපස් වසක් සෙවණැල්ලක් සේ අත්‍යන්ත ගෞරවයෙන් බුද්ධෝපස්ථාන කළ, බුදු පිරිනිවනින් තවත් වසර 40ක් වැඩ සිටි අපගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහත් මුනිඳුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන්පොහෝ දිනක යි.
මෙසේ අපමණ සැදැහෙන් සිහි කළ හැකි වැදගත්කම් රාශියකින් හෙබි පින්බර වෙසක් පුන්පොහෝ දින දෙවන පෑතිස් රජ කල සිට ම විශේෂ උත්සවාකාරයෙන් සැමරී ය. අප දුටුගැමුණු මහරජාණන් වෙසක් උත්සව විසි හතරකුත්, භාතිකාභය රජු වෙසක් උත්සව විසි අටකුත්, වසභ රජු වෙසක් උත්සව හතළිස් හතරකුත් පැවැත්වී ය. වෝහාරතිස්ස රජු, ගෝඨාභය රජු, ජෙට්ඨතිස්ස රජු, දළ මුගලන් රජු, දෙවන සේන රජු, මහ පැරකුම්බා රජු, දෙවන පැරකුම්බා රජු ආදී ශ්‍රද්ධා සම්පන්න රජවරු ද ඉතා මැනවින් වෙසක් උත්සවය සැමරූහ.
අපිදු එකිනෙකාගේ වෙසක් සැමරීම් අනුමෝදන් වෙමින් ඉතා ප්‍රතිපත්තිගරුකව මේ පින්බර වෙසඟ සමරමු.
ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments