ජීවිතයේ කොතැනක දී හෝ නොවැරදුණු කෙනෙක් සොයාගත නොහැකි තරම්. කාගෙ කාගේත් අතින් ඕනෑ තරම් වැරදි සිදුවී තිබෙනවා. ජීවිතය දිහා ආපසු හැරිලා බලන විට නිවැරැදිව ගත් තීරණ නිසා හරිගිය තැන් ගැන සිතද්දී සිතට සතුට සොම්නස ඇති වීමත්, ගත් වැරදි තීරණ නිසා ජීවිතය වැරදුණු තැන් ගැන සිතද්දී සිතට දුක දොම්නස ඇතිවීමත් සිදුවන්නේ නිරායාසයෙන් ම යි. නමුත් බොහෝ විට ම සිදුවන්නේ අපට හරිගිය තැන් ගැන සිතා සතුටු වනවාට වඩා, වැරදුණු තැන් ගැන සිතා පසුතැවෙමින්, දුක් වෙමින් සිටීමයි. සිත වැඩිපුර වැළඳ ගන්නේත් එයමයි.
නමුත් එයින් ජීවිතයට අත් වන ආශීර්වාදයක් ඇත්තේම නැත්තේමයි කිව්වොත් තමයි නිවැරදි. මොකද පසුතැවීම කියන්නේ අකුසල පාක්ෂික දෙයක් නිසා. එය අයිති වෙන්නේ සිත ආවරණය කරලා දාන දේවල් පහෙන් ‘උද්ධච්චකුක්කුච්ච’ හෙවත් ‘සිත විසිරීම සහ පසුතැවීමට’ යි. භාග්‍යවතුන් වහන්සේ එය උපමා කළේ සුළඟින් කැළඹී ගිය අවුල් වූ දිය රැඳී ඇති දිය බඳුනකටයි. “ඇස් තියෙන කෙනෙක් ඒ දිය බඳුනෙන් තමන්ගේ මුහුණ දකින්න හැදුවාට පැහැදිලිව පෙනෙන්නේ නෑ වගේ ම, සිත් විසිරීමෙන් හා පසුතැවීමෙන් යුතුව වාසය කරන කෙනාට තමාගේ යහපත හෝ අනුන්ගේ යහපත හෝ දෙපැත්තේ ම යහපත පේන්නේ නෑ.” කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උපමාව මොනතරම් ලස්සන ද? මොනතරම් නම් ගැළපෙනවා ද? මේ කාරණා නොදන්න සමහරු නම් හිතනවා, ‘පසුතැවීම කියන දෙය ජීවිතයට අවශ්‍ය දෙයක්.’ කියලා. ඒ වගේ ම සමහරු හිතනවා, ‘දැන් කොහොමත් අපිට ජීවිතය වැරදිලා ඉවරයි. දැන් කරන්න දෙයක් නෑ. කොහොමත් අපි නම් නිරයේ තමයි යන්නේ. ඒ නිසා ජීවිතයේ ඉතිරි කාලයත් මේ විදිහටම ගෙවන එක තමයි කරන්න තියෙන්නේ.’ කියලා. එහෙම හිතලා අපරාදේ ජීවිතය ආයෙ නිවැරදි කරගෙන සුගතියට යන පාර හදාගන්න පුළුවන්කම තියෙද්දීත් ඒක අහිමි කර ගන්නවා.
අපගේ ශාස්තෘන් වහන්සේ තම ශ්රාවකයාට අතීතයේ වැරදුණු තැන් ගැන පසුනොතැවී, මතු නොවැරදීම පිණිස කදිම පාඩමක් සංඛධම සූත්‍රයේ දී කියා දී තිබෙනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා මෙහෙම නුවණින් කල්පනා කරනවා. “භාග්‍යවතුන් වහන්සේත් නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන, සොරකම් කිරීම ගැන, කාමය වරදවා හැසිරීම ගැන, බොරු කීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. මේවායින් වළකින්න කියලත් දේශනා කරනවා. මා විසිනුත් සතුන් මැරීම්, සොරකම්, කාමය වරදවා හැසිරීම්, බොරු කීම් ආදී යම්තාක් අකුසල් ඇත්නම් ඒ තාක් ම කරලයි තියෙන්නේ. නමුත් මම ඒ කරපු දේවල් යහපත් දේවල් නම් නොවෙයි. හොඳ දේවල් නම් නොවෙයි. හැබැයි මම ඒවා ගැන පසුතැවුණා කියලා මා විසින් ඒවා නොකළා වෙන්නේ නෑ.” මේ විදිහට නුවණින් විමසලා ඒ පාපකර්ම කිරීම අත්හරිනවා. ඉදිරියටත් ඒවායින් වැළකී ඉන්නවා. මේ විදිහට ඒ පාපකර්ම ප්රහාණය වෙලා යනවා. ඒ පාපකර්ම ඉක්මවා යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ තම ශ්රාවකයාව කොයිතරම් නම් නුවණැති කරනවා ද කියලා. ඇත්තෙන් ම අපි කරපු වැරදි ගැන අපි කොයිතරම් පසුතැවුණත් ඒවා ආයේ නිවැරදි වෙනවා ද? ඒවා අපි නොකළා වෙනවා ද? නැහැනේ. ඒ නිසා කළ යුතු හොඳ ම දේ තමයි ඒවා වැරදි බව දැනගෙන මතුවට ඒ වැරදි නොවීම පිණිස කටයුතු කිරීම. අන්න ඒ කාරණයටයි ජීවිතයට ‘පසුවිපරමක්’ අවශ්‍ය වෙන්නේ.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ අතින් හොඳ වගේ ම නරකත් කියන දෙකම සිදුවෙනවානේ. ඔන්න අපි හිතමු කෙනෙක් ගෙවුණු වර්ෂය ගැන කිසිවිටෙක ආපසු හැරිලා බැලුවේ නෑ කියලා. ඒ නිසා එයා ඊළඟ වසර තුළදීත් එයා කරපු වැරදි ටික ආයෙ ආයෙමත් කරාවි. ඒවායින් පාඩුත් විඳීවි. හැබැයි කෙනෙක් තමන් පහුගිය වසර ගතකරපු හැටි ගැන ආපසු හැරිලා බැලුවොත්, එයාට පේන්න ගන්නවා තමන්ට වැරදුණු තැන් ගැන. එතකොට එයාට පුළුවන් නුවණින් කල්පනා කරලා ඒ ගැන පසුනොතැවී, මේ වර්ෂය තුළ ඒ වැරදි තමන්ගෙන් සිදුනොවීම පිණිස කටයුතු කරන්න. ඒ වගේම සාර්ථක වුණ තැන් ගැන බලලා, ඒ සාර්ථකත්වය වැඩිදියුණු කරගන්නත් අවස්ථාව එයාට ලැබෙනවා. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ වදාළේ සිහිය නමැති දේ අප තුළ දියුණු කරගත යුතු බවයි. ඒ සිහිය කෙබඳු විය යුතු දැයි කියලත් භාග්‍යවතුන් වහන්සේ වදාළා. ‘අරියසාවකෝ සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා – ආර්ය ශ්රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි.’ බලන්න ජීවිතය ලස්සනට, පිළිවෙළකට සකස් කරගන්න භාග්‍යවතුන් වහන්සේ අපට කොයිතරම් නම් උපකාර කරලා තියෙනවා ද?
මේ විදිහේ සිහියකින් ඉඳලා ජීවිතය ගැන පසුවිපරමක් කෙනෙක් නොකළොත් එහෙම, අලුත් වසරක් උදා වුණත් එයා හැසිරෙන්නේ පරණ විදිහටමයි. කරන්නේ පරණ වැරදි ටිකමයි. එයාට අලුත් වුණේ අවුරුද්දේ ඉලක්කම විතරයි. නව වසරත් එයාට පරණ අවුරුද්දක් ම යි. කෙනෙකුට පුළුවන් වුණොත් පසුවිපරමක් තුළින් සිහියෙන් යුතුව ජීවිතයේ ආපස්සට හැරිලා බලලා, වැරදුණු තැන් නිවැරදි කරගෙන ජීවිතය අලුතින් පටන් ගන්න, අන්න එයාට නම් උදා වුණ නව වසර අලුත්ම අලුත් අවුරුද්දක් වෙනවා ම යි. මොකද එයා අවුරුද්දේ ඉලක්කමත් එක්කම ජීවිතයත් අලුත් කරගෙන.
භාග්‍යවතුන් වහන්සේගේ උපකාරයෙන් හරි වැරැද්ද තෝරාගෙන, සිදු වුණු වැරදි ගැන පසුනොතැවී ජීවිතය සකස් කරගත්ත බොහෝ දෙනෙක් බුද්ධ කාලයේත් හිටියා. ඊටපස්සේත් බිහි වුණා. ඒ අයගේ ජීවිතයට ‘පසුනොතැවීම’ කියන එකම එක දෙය මහා ආශීර්වාදයක් වුණා. ඔබ අහලා ඇති ආලවක නම් වූ ඉතා ම බිහිසුණු, මිනීමස් කමින් ජීවත් වුණු යකෙක් ගැන. අපගේ මහාකාරුණිකයන් වහන්සේ ඒ බිහිසුණු යකා ගැනත් කරුණාවෙන් අලව් භවනට වැඩියා. ඒක ආරංචි වෙලා අලව් යකා හෙණ හඬ දීගෙන ගර්ජනා කරමින් ඇවිත් නවවිධ වර්ෂාවලින් පහර දීලා බැරිවුණු තැන, “ශ්‍රමණය මෙතනින් පිට වෙයන්.” කිව්වා. සකල ලෝකය ම අළු කරලා දාන්න තරම් ඉර්ධි බල තිබුණත් කුරා කුහුඹුවෙකුටවත් හිංසා නොකරන අපගේ භාග්‍යවතුන් වහන්සේ යකා දමනය කිරීම පිණිස යකාගේ කේන්තිය දුරු වෙන තුරු තුන් වතාවක් ම අලව් යකුගේ භවනෙන් පිටතටත් ඇතුළටත් වැඩියා. සතරවෙනි වර යකාගේ කේන්තිය නිවුණු බව දැන තමන් වහන්සේ නොවඩින බවත්, හැකි දෙයක් කරන ලෙසත් වදාළා. එවිට යකු “මේ ප්‍රශ්නවලට උත්තර දෙන්ට නොහැකි වුණොත්, තොපගේ සිත මම උමතු කරනවා. හදවත පලලා දමනවා. දෙපයින් අල්ලා ගඟින් එතෙරට විසි කර දමනවා.” යැයි භාග්‍යවතුන් වහන්සේට තර්ජනය කළා. පුදුමය කියන්නේ මෙබඳු දේ කරලත් අහපු ගාථාවලට පිළිතුරු ගාථා ලැබෙද්දී, ආලවක යක්ෂයා ඒවායේ අර්ථ මෙනෙහි කරමින් සතර අපායෙන් එතෙර වුණා මිසක භාග්‍යවතුන් වහන්සේට සිදු කළ හිරිහැර ගැන සිතා පසුතැවුණේ නැති එකයි. සාමාන්‍ය කෙනෙකුට නම් ධර්මය තුළින් බුදු කෙනෙකුගේ අගය වැටහෙන විට “අයියෝ! මම මෙබඳු කෙනෙකුට ද හිරිහැර කළේ…” කියලා මුලින්ම වන්නේ පසුතැවීම නොවේ ද? ඒ පසුතැවීම ඇති නොවුණු නිසාමයි එකඟ වූ සිතින් යුතුව අරුත් විමසා සෝතාපන්න ඵලයට පත් වුණේ. යක්ෂ ආත්මයෙන් ද මිදුණු හේ දැන් ආලවක දෙව් රජුයි. බුදු සසුන රකින සෙන්පති දෙවි කෙනෙක්.
ඒ වගේම කවුරුත් දන්නා මිනීමරු අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේ නිසා ගුරු පූජාවට අන්තිම ඇඟිල්ල ලබා ගැනීම පිණිස යොදුන් 3ක් හෙවත් කි. මී. 30ක් කඩුව අමෝරාගෙන පස්සෙන් පැන්නුවා. නොහැකි වූ තැන “ඒයි ශ්‍රමණය, නැවතියන්.” කියා කියන්නට සිදු වුණා. “අංගුලිමාල, මම නැවතිලයි ඉන්නෙ. ඔබත් නවතින්න.” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ විට, ‘මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණවරු සත්‍යවාදියි. සත්‍යය පවසන බවට ප්‍රතිඥා දෙනවා. ඒත් මේ ශ්‍රමණයා යද්දී ම “අංගුලිමාල, මම නැවතිලයි ඉන්නේ. ඔබත් නවතින්න!” කියල කියනවා. මං මේ ශ්‍රමණයාගෙන් ඔය කාරණාව අහන්න ඕනෙ.’ කියල හිතලා, “ඒයි ශ්‍රමණය, ඔය යන ගමන් නේද ඉන්නවා කියල කියන්නේ? ඉන්න මට නේද නොඉන්නවා කියල කියන්නේ? මේ කතාවේ තේරුමයි මම දැන් අහන්නේ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මම මේ විදිහට නොඉන්නෙ කොහොමද?” කියා පැවසූ විට බුදු මුවින් නික්මුණේ අංගුලිමාලයන් සියලු වරදිනුත්, සතර අපායෙනුත් සදහට ම නිදහස් කරවන අසිරිමත් වදන් පෙළයි. “අංගුලිමාල, මම ඉන්නෙ මෙන්න මෙහෙමයි. හැම තිස්සේම හැම සතුන් කෙරෙහි ම වද දීම් අත්හැරල. ඒ වුණාට ඔබ නොඉන්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. ඒ නිසා මම නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.” අහෝ! පුදුමයි, ඒ වදනේ අර්ථය අංගුලිමාලට වැටහුණා. මුනිඳු පසුපස කි. මී. 30 ක් කඩුව අමෝරාගෙන පැන්නූ බව සිත චෝදනා කළේ නෑ. දහස් ගණන් මැරූ මිනිසුන්ගේ මර විලාපය සිතට ආවේ නෑ. ඒ සියලු පසුතැවීම් පසෙකලා බුදුබණ පදයේ අර්ථය සොයා සිත දිව ගියා. පසුනොතැවීම ම ජීවිතයට ආශීර්වාදය වුණා. ඇඟිලි මාල, කඩු, කන්දෙන් පහළට විසි වුණා. කසාවතත් ගත දැවටුණා. සතර අපායෙන් ද නිදහස් වුණා. ලෝකයාගේ දහසක් ඇනුම් බැණුම්, රැවිලි බැලුම් මැද, දහස් ගණනක් මිනීමැරුම් චෝදනා තිබෙද්දීත් බවුන් වඩා ප්‍රඥාව නමැති අසිපතෙන් කෙලෙස් සතුරන් නසා නිකෙලෙස් රහතන් වහන්සේනමක් බවට පත් වුණා. සසර දිනීම පිණිස අංගුලිමාලයන් වහන්සේට පසුනොතැවීම ම ආශීර්වාදයක් නොවුණේ ද? පසුනොතැවී වරදින් මිදුණු නිසා ම ය උන්වහන්සේ, වලාකුළින් මිදුණු පුන්සඳ මඬලක් වූයේ. අකාරුණික කෲර සිත අත්හැර කරුණාව හද තුළ උපදවාගෙන දෙසූ ‘අංගුලිමාල පිරිත’ කල්පයක් පුරා ම ගැබිණි මවුවරුන්ගේත්, කුසහොත් දරුවන්ගේත්, නොයෙක් දුක්වලින් පීඩිතයන්ගේත් නෙතේ කඳුළු වියළවා දමනවා.
‘යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා’
‘කවුරුහරි කෙනෙක් තමන් කලින් කරපු පව් පස්සෙ උපදවා ගත්තු කුසල් බලයෙන් වහලා දැම්මොත්, එයා මේ ලෝකය එළිය කරන්නේ, වලාකුළින් මිදුණ පුන්සඳක් වගෙයි.’
(අංගුලිමාල සූත්‍රය – ම. නි. 02)
ඒ වගේම අපගේ දුටුගැමුණු මහරජතුමා ද ලංකාව ම එක්සේසත් කළ මහා යුද ජයග්රහණයෙන් පසු, මහා රාජ ශ්‍රී සම්පත්තීන් විඳිමින් වාසය කරද්දී පවා, “මේ යුද්ධයක් නිසා ඇත්, අස්, රිය, පාබල යන මෙයින් යුක්ත අතිවිශාල යුද සේනාවක් මරණයට පත් වුණා නොවැ.” කියලා සිතේ පසුතැවීමක් ඇති වුණා. දිවැසින් රජුගේ මෙම අදහස දැනගත් පුවඟුදිවයිනේ වැඩසිටි රහතන් වහන්සේලා, රහතුන් අටනමක් එවා, ‘රජුගේ යුද්ධය නිසා දිවි තොර වූවන්ගෙන් වගකිව යුත්තේ මිනිසුන් 1 1/2කට පමණක් බවත්, ඉන් එක්කෙනෙක් තිසරණයෙහි පිහිටා සිටි බව ද අනෙකා තිසරණ සහිත පන්සිල්හි පිහිටා සිටි බව ද අනෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිස තිරිසන් සතුන් වැනි අය වන බව ද ඔබතුමා අනාගතයේ ලක්දිව බුදු සසුන බබුළුවන බව ද සිදු වූ දෙයින් සුගති උපතට හෝ නිවන් අවබෝධයට අනතුරක් නොමැති බව ද පවසා, “එම නිසා ඔය සිතේ ඇති වී තිබෙන පසුතැවිල්ල දුරු කර ගත මැනව” කියා රජුගේ පසුතැවීම දුරු කොට සිත අස්වැසුවා. එම නිසා රජු මතු බොහෝ පින් රැස් කරමින්, සියලු සෑයන් අතරින් අග්‍ර වූ ලංකාවට අලංකාරයක් වූ ස්වර්ණමාලී සෑ රජුන් ද මිරිසවැටි සෑය ද සංඝයාගේ පොහොයගෙය වූ ලෝවාමහාප්රාසාදය ආදී දෙය ද තනවා ලක්දිව බුදු සසුන බබුළුවා, කවුරුත් බලා සිටියදීම දෙවියෙකුව ඉපිද, මහා සෑය තෙවරක් පැදකුණු කොට සෑයට සහ සංඝයාට වන්දනා කර තුසිත දෙව්පුරයට ගියා.
‘අපගේ දුටුගැමුණු රජු මෙන් යමෙක් කුසල් ම යි උතුම් කියා පින් කරයි නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන් ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙක් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් හෙතෙම තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙකු මෙන් දෙව්ලොව උපදියි. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම කළ යුත්තේය.’
(මහාවංශය – 84 ගාථාව, 32 වන පරිච්ජේදය)
ඒ නිසා අපටත් පසුනොතැවී, පසුවිපරම් කොට අකුසල් දුරුකොට කුසල් උපදවා ගන්නට වාසනාව ලැබේවා! ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා…!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments