සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වී ගෙවී ගිය දෙදහස් හයසිය වසරකට අධික කාලය මුළුල්ලේ උන්වහන්සේ හා බෞද්ධ පූජනීය වස්තු අරභයා ලියැවුණු ගාථා (ගී) කවි, සිලෝ ආදී පබැඳුම්වලින් ලෝක සාහිත්‍යය පෝෂණය වී ඇති අයුරු අපමණ නිදසුන් එළවමින් පෙන්වා දිය හැකි ය. බෞද්ධාගමික ජනයා පමණක් නොව අන්‍ය ලබ්ධීන් අදහන වියත්හු ද අනේකවිධ අයුරින් බුදු ගුණ තම නිර්මාණයන්හි සිළුමිණ බවට පත්කොට ගත්හ. ආසියාවේ ආලෝකය (Light of Asia) නමින් අගනා ග්‍රන්ථයක් ලියූ ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්, බුදුරජාණන් වහන්සේව හැඳින්වූයේ ‘ලොව දසත සුවඳ විහිදවූ අසිරිමත් කුසුම’ ලෙසිනි.

බුදු ගුණ සිය නිර්මාණයන්හි මුදුන් මල්කඩ සේ සලකා වර්ණනා කළෝ ශ්‍රී ලාංකේය කව් ගී රචකයෝ ය. දෙදහස් තුන්සිය වසරක් ජන කවියෙන්, ජන ගීතයෙන් බුදුරජාණන් වහන්සේ හා බෞද්ධ පූජනීය වස්තු අරභයා සිය බුද්ධාලම්භන ප්‍රීතිය පළ කළ ඔවුන්ගේ නිර්මාණ සදාතනික අගයෙන් යුතු ය. සඳකඩ පහණ වැනි සුමට කළ සෙල් පුවරු මත පවා අසිරිමත් ලියවැල්, නෙළුම් මල් පිපුණු යුගයක ලියන ලදැයි සිතිය හැකි බොදු බැති ගීතයන්හි අසිරිය ගැන කියනු ම කවරේ ද?

අප රට ජනකායගේ මාහැඟි උරුමයක් වන බොදු බැති ගීත සාහිත්‍යය මෑත කාලය වන විට ශෝචනීය ලෙස යටපත් වී ගියේ විශ්ව ගම්මාන හා ඊනියා ගෝලීයකරණය නමැති මිථ්‍යාව විසින් අප තරුණ පරපුරේ රුචිය ගිලගනු ලැබීමත්, බෞද්ධ සම්ප්‍රදාය අමතක කිරීම හෝ බැහැර කිරීමත් නිසා යැයි සිතමි. පෙර කිසිම යුගයක අසන්ට නොලැබුණු හරසුන් බොදු ගීත තරුණ පරපුර අතර සීඝ්‍රයෙන් පැතිර පවත්නා අයුරු පහත දැක්වෙන ගී ඛණ්ඩයන්ගෙන් වටහා ගත හැකි ය.

“බුදු බණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ”

“මගේ නිවන මගේ පැල්පතයි”

“අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ”

දෙදහස් වසරකට අධික කාලයක් පුරා සිංහල බෞද්ධ ජනකාය තුළ පැවති අභිමානය ශෝකජනක ලෙස පිරිහී ඇති අයුරු නො වේ ද එබඳු රසභාව හීන ගීතවලින් ප්‍රකට වන්නේ?

මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර යුගයේ බොදු බැති ගී පද රචනා කළ, එමෙන් ම ඒ ගීත ගායනා කළ සිංහල බෞද්ධ ගායකයන් පමණක් නොව කිතුනු හා ඉස්ලාමීය ගායන ශිල්පීන් වූ එම්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, ආනන්ද සමරකෝන්, නිර්මලා, රුක්මණී දේවී, එම්. කේ. වින්සන්ට්, ඒ. එම්. යූ. රාජ්, හරූන් ලන්ත්‍රා, මොහිදීන් බෙග් ආදී ගායකයන් ගැයූ බොදු ගී අතර ඉහත දැක්වුණ අන්දමේ ඕලාරික ගුණයෙන් යුතු ගීයක් කලාතුරකින්වත් අසන්ට ලැබුණේ නැත. ඔවුන් එදා ගැයූ බොදු ගීතයන් වර්තමානයේ මෙන් ම මතුවට ද ශ්‍රාවක දනන්ගේ සැදැහැ බැති පෙම වඩවමින් රස භාව නොසුන් ව පවතිනු ඇත.

මෙම දීර්ඝ පූර්විකාව ගෙන හැර දැක්වූයේ මීට අවුරුදු අසූවකට පමණ ඉහත දී ගැයුණු සුභාවිත බොදු ගීතයක අර්ථාන්විත රස විමසුමකට ඉඩ හසර සලසා ගැනීම සඳහා ය. එකී ගීතය වූ කලී සංගීතඥ එච්. ඩබ්ලිව්. රූපසිංහ සහ රුක්මණී දේවී ගායන ශිල්පිනිය එක්ව ගැයූ “සිරි බුද්ධගයා විහාරේ වඳිනේමූ” යනුවෙන් ආරම්භ වන විශිෂ්ට නිර්මාණය යි. එච්. එම්. වී. හා කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි ආශ්‍රයෙන් 1939 වසරේ සිට 1956 වසර දක්වා මේ ගීතය ප්‍රචාරය වී අනතුරුව ගුවන්විදුලි තැටිවලට නැඟී ඇත. පසු කලෙක ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් හා රුක්මණී දේවී එක්ව ගැයූ එම ගීතයේ පද රචනය මෙසේ ය.

සිරි බුද්ධගයා විහාරේ… වඳිනේමු
මෝක්ෂ පතාලා
සාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරංගනන් පරදාලා
බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ…
වඳිනේමු මෝක්ෂ පතාලා
සිරිමහ බෝධී වෙත සෑදී ඒ විදුරස්නේහී
මුනිරාජා
ආ දස බිම්බර මාර සේනා//
පෙරුම් බලෙන් පරදාලා
බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ…
වඳිනේමු මෝක්ෂ පතාලා
ප්‍රාතිහාර්ය පෑ දසබලධාරී
ජය බිම මේ විසාලා
සාසන ආලේ ඇති ලෝ වාසී
බව දුක නසනා සේමා
වඳිනේමූ මෝක්ෂේ පතාලා
බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට අධික කාලයක් නොයෙක් ආත්මභාවයන්හි ඉපිද සසරේ සැරිසරා බෝසතාණන් වහන්සේ පිරූ පාරමී දහම්හි මහානීය පුණ්‍ය බලමහිමය නිසා මේ මහා භද්‍ර කල්පයේ පවත්නා සියලු සක්වළ ලෝක ධාතූන් ප්‍රීතියෙන් ප්‍රමුදිතව කම්පනයට පත් වීම නියත වශයෙන් සිදුවන ලෝක ධර්මතාවක් වන්නේ ය. ගණනින් කියා නිම කළ නොහෙන ඒ සා දීර්ඝ කාලයකට පසුව දෙවි මිනිසුන් ඇතුළු සකල ලෝකවාසීන්ටත්, ස්වාභාවික පරිසරයටත් හිත සුව සලසන උත්තරීතර මනුෂ්‍ය රත්නයක් බිහිව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ මහා ප්‍රාතිහාර්යය සිදු වූ මොහොත ස්වර සංගති නින්නාද කළ පද මාලාවකට නැංවීම සිංහල ගීත සාහිත්‍යයේ අනුස්මරණීය අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ ය.

දඹදිව නේරංජරා ගංගාව අසබඩ ගයා ශීර්ෂය බුද්ධගයාව ලෙස අභිධානයෙන් සදාභිවන්දනීය වූ සම්බුද්ධත්ව අවස්ථාව, සාරා සැකි කප් කෙළක් පරිපාකයට පත් වූ බෝධිසත්ව චරිතයේ අතිශය උද්වේගකර වූත්, අතිගාම්භීර වූත් අත්දැකීමක් වන්නේ ය. සචේතනික වූත්, අචේතනික වූත් සකල ලෝක ධාතූන් සසල කළ ඒ මහානීය අවස්ථාව, දෙදහස් හයසිය වසරක් මුළුල්ලේ ලොව විවිධ භාෂා ඔස්සේ කව්ලැකියටත්, ලෙව්ලැකියටත් නඟා වර්ණනා කරන ලද්දේ ය. ඒ මහාර්ඝ සාහිත්‍ය ලතාවේ ඇමිණුන අගනා මිණි කැට අහුරක් ලෙසින් ‘සිරිබුද්ධගයා විහාරේ’ ගීතය සදා සම්භාවනාවට පත්ව ඇත.

සිරි බුද්ධගයා විහාරේ.. වඳිනේමූ
මෝක්ෂෙ පතාලා…

බුද්ධගයා විහාරයට වන්දනා කරමින් ගීතය ආරම්භ වෙයි. ‘සිරි බුද්ධගයා විහාරේ’ යන තෙවදන නඟන දෝංකාරය ලෝවාසීන් සියලු දෙනා එම පින්බිමට කැඳවන ආරාධනයක් වැන්න. ඒ හා සමඟ ම ගැයෙන ‘වඳිනේමු’ යන වදනින් නැඟෙන නින්නාදය, සියල්ලන් ම එහි ඒකරාශී වී එකසිත් ව එකම අධිෂ්ඨානයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට නමස්කාර කරන අයුරු ධ්වනිත කරන්නකි. හැමදෙනාගේම අදිටන වූ කලී මෝක්ෂය හෙවත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම යි.

ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන නතර කිරීම පිළිබඳ තිර අදිටනින් යුතුව බෝධි මූලයේ වැඩ සිටි මහ බෝසතාණන් හමුවට පැමිණි මාර සේනාවට උන්වහන්සේගේ අධිෂ්ඨානය කෙසඟකුදු සෙලවීමට නොහැකි විය. ලෝ සතුන්ට සෙත සලසන මහා වෑයම නවතාලීමට මාරයා යෙදූ සියලු උපායන් පරාජය කළ උතුම් භූමිය පිළිබඳ සැදැහැ බැති සිත පෙරදැරිව බුද්ධගයා විහාරය පැදකුණු කරමින් යන වන්දනාවේ දී නෙතට හසු වන්නේ බෝසතාණන් බෝමැඩ මුල වැඩ හිඳ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළ වජ්‍රාසනය යි. සියලු සක්වළ ලෝක ධාතූන් ප්‍රීති ඝෝෂයෙන් ප්‍රකම්පිත කරවමින් සැලුම් වෙව්ලුම් දුන් මහා ප්‍රාතිහාර්යය යි.

සිරි මහ බෝධී වෙත සෑදී ඒ
විදුරස්නේ මුනි රාජා

මහ බෝසතාණන් වහන්සේ උදෙසා ම බෝධි මූලය අබියස වජ්‍රාසනය පහළ වීම පිළිබඳ අසිරිමත් සිදුවීම එම ගී පදවැලින් කියවෙයි. මෙපුවත පූජාවලිය ග්‍රන්ථයේ බෝධිමණ්ඩල පූජා කතාවේ මෙසේ දැක්වෙයි.

“ස්වාමි දරුවන්ගේ පාරමිතානුභාවයෙන් මහ පොළොව පලාගෙන තුදුස් රියන් වජ්‍රාසනයක් පැන නැඟී හැම කුසතණ චිත්‍ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අක්පිට තටව… සෝභාවත්ව සිටගත. එකෙණෙහි මාගේ ස්වාමි දරුවෝ වජ්‍රාසනය දැක අද බුදු වෙම්වයි බෝ කඳට පිටලා නැගෙනහිර බලාගෙන “මාගේ ශරීරයෙහි ඇට, සම්, මස්, නහර, ලේ වියළී සුණු විසුණු වේ නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ වීර්ය කොට මා ලැබ ගත්තා වූ වජ්‍රාසනය හැරපියා බුදු නොව නැඟී නොසිටිම්ව” යි චතුරංග වීර්යාධිෂ්ඨාන කොට ගෙන රත්ගල් මුදුනක් දුටු සිංහ පොව්වකු සේ වැඩහුන් සේක.”

උතුම් බුද්ධත්වය සාක්ෂාත් කොට ගැනීමේ තිර අදිටනින් යුතුව වජ්‍රාසනයේ වැඩ සිටි මහ බෝසතාණන් වහන්සේගේ වෑයම පරාජය කිරීම සඳහා දස බිම්බරක් වූ ප්‍රචණ්ඩ සේනාව රැගෙන පැමිණි මාරයාගේ වෑයම ව්‍යර්ථ කිරීම පිළිබඳ ව ගීතයේ අවසාන ඛණ්ඩයේ මුල් දෙපදයෙන් කියැවෙයි.

ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා…

දස මාර සේනාව පැමිණි බිහිසුණු විලාසයත්, මහ බෝසතාණන් වහන්සේ පිරූ පාරමිතා බලයෙන් ඒ ප්‍රචණ්ඩ මර සෙනඟ පරාජය කළ අයුරුත් පූජාවලිය දීර්ඝ වර්ණනාවකින් ගෙන හැර දක්වන්නේ අසන්නන්, කියවන්නන් ඇඟ ලොමුඩැහැ ගැන්වෙන රීතියකිනි.

“එකල වසවර්ති මාරයා යෙල සියයක් යොදුන් ගිරිමේඛලා නම් ඇතු පිට නැඟී… පන්සියයක් හිස් මවාලා, ගිනි වට සේ දහසක් රතැස් මවා දෙකපොලයෙන් නික්ම දිවෙන දහසක් දළ මවා, දහසක් අත් මවා, චක්‍ර තෝමර හෙණ්ඩවාල අසිකත යකම්පනාදී දහසක් ආයුධ ගෙන…. රතැස් බමව බමවා…. නික්මිණ. එකෙණෙහි ඔහුගේ වසවර්ති සේනාව ද නික්මිණ.”

මේ බිහිසුණු මාර සේනාව මහ බෝසතාණන් වහන්සේ කරා විහිදුවාලූ වාත, වර්ෂා, පර්වත, ආයුධ, අංගාර, භෂ්ම, වාලුකා, කලල් හා අන්ධකාර යන නව මහා යුද්ධ පරාජය කළා වූ විසල් ජය භූමියේ මහිමය සිහිපත් කරවමින් ගීතය අවසන් වෙයි.

ප්‍රාතිහාර්ය පෑ දසබලධාරී… ජයබිම මේ විසාලා

තුන්ලොව දිනූ මහා පුරුෂයාණන් ඒ විසල් ජයබිමේ පෑ ප්‍රාතිහාර්යය කෙබඳු වී ද? පූජාවලියේ බෝධි මණ්ඩල පූජා කතාවෙන් බිඳක් ගෙන හැර දක්වමින් මේ මහඟු බොදු බැති ගීතය පිළිබඳ ආස්වාදනය නිමා කරමි.

“නව මහා යුද්ධයකිනුදු (මහා පුරුෂයාණන් වහන්සේට) කිසි හිංසාවක් කළ නුහුණු මාරයා, ‘තෙල සිද්ධාර්ථයා වහා ගනුව, සුණු විසුණු කරව’ යි කියා බුදු බඳට ගැසුවා වූ චක්‍රායුධය මල් වියනක් සේ විය. පෙරළුවා වූ ලක්ෂ ගණන් මහා පර්වත සුවඳ මල් සේ පූජා විය.”

ඒ මහා ප්‍රාතිහාර්යය පෑවා වූ විසල් ජය භූමිය සකල ලෝකවාසී ජනතාව තුළ සම්බුද්ධ ශාසනය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් ඇති කර ගැනීමටත්, භව දුක අවසන් කරන අදිටන සඵල කර ගැනීමටත් ඉවහල් වන බව ශපත කොට වන්දනා කරන ලෙස ආයාචනා කරමින් ගීතය අවසන් වෙයි.

සාසන ආලෙ ඇති ලෝවාසී
භව දුක නසනා සේමා
වඳිනේමූ මෝක්ෂ පතාලා…!

සටහන – දයාපාල ජයනෙත්ති.