ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස… යම් සේ හිරු අන්තයට ගිය කල්හි සත්වයෝ ද අඳුරට ම යන්නෝ ය. එසේම… බුදුරජාණන් වහන්සේනමක් ලොව නූපන් කල්හි ලෝකෙම අන්ධකාරයට යන්නේ ම ය. උදාවන්නා වූ සූර්යයා සියලු ලෝකවල අඳුර දුරු කරන්නේ යම් සේ ද එසේම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී එවන් අඳුර නැසූ සේක් ම ය. එනිසාම මේ ලෝකයට පහළ වන එකම ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය වන්නේ බුදුරජාණන් වහන්සේ ම ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සේනා සහිත මාරයා ද තීර්ථකයන් ද නසමින් මෝහාන්ධකාරය දුරු කොට සදහම් නගරය මැවූ සේක. ඒ බුදු නුවණ ලොව බබළන කල්හි බොහෝ ජනයා ධර්මය අසමින් කෙලෙස් ගිනි නිවා ගන්නා සේක් ම ය. කුඩා සිදුරු සහිත දැලක් ජලයට දැමූ කල්හි දියෙහි සිටිනා කුඩා ප්‍රාණියකු පවා ඒ දැලෙහි රැඳෙන්නේ යම් සේ ද එසේම ලොව කිසිවකු හා සැසඳිය නොහැකි වූ ඔබවහන්සේගේ බුදු නුවණට සියලු දේ ඇතුළත් වන්නේ ය.
“යථා සමුද්දෝ උදධීනමග්ගෝ
– නේරූ නගානං පවරෝ සිලුච්චයෝ
තථේව යේ චිත්තවසේන වත්තරේ
– න බුද්ධඤාණස්ස කලං උපෙන්ති තේ”
(සෝභිත ථේරාපදානය)
ස්වාමීනි, මහසයුර ජලාශයනට අග්‍ර වන්නේ යම් සේ ද සිනේරු පර්වතය සියලු පර්වතයන්ට අග්‍ර වන්නේ යම් සේ ද මෙලොව තුළ සිටින සියලු සත්වයන්ගේ නුවණ එක් කළ කල්හි බුදුරදුන්ගේ අසිරිමත් වූ බුදු නුවණින් කලාවෙන් කලාවකට ද සම නොවන්නේ ම ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ඤාණ සම්භාරය වනාහී පමණ කළ නොහැක්කේ ම ය. ස්වාමීනි, පමණ කළ නොහැකි ගුණ ඇති වූ ඔබවහන්සේගේ ඍද්ධි විෂය වනාහී කිසිවෙකුට සිතා ගත නොහැකි අයුරින් අචින්තනීය වන සේක. අමු රන් කෝවක දමා පිරිසිදු කරන්නේ යම් ආකාරයකින් ද ඒ අයුරින්ම සිත කිලිටි කරන සසර බන්ධන ඇති කරන මේ සිතෙහි පවතින සියලු අකුසල් දුරු කොට, සියලු උපක්ලේශ බැහැර කොට, අභාවයට පත් කොට සිත සමාධිමත් කරගන්නා අයුරු අප හට පහදා දුන්නේ ඔබවහන්සේ ම යි.
ඒ සමාධිමත් වූ සිත තමා තුළ පිහිටුවාගෙන, හොඳින් තැන්පත් කරගෙන, එකඟ කරගෙන ශාන්ත බවට පත් කර ගත් කල්හි විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතු යම් ධර්මයක් වේ ද ඒ ධර්මයන් සාක්ෂාත් කිරීමට මේ සිත සකස් කළ හැකි බව ඔබවහන්සේ පෙන්වා දුන් සේක.
එනම් ස්වාමීනි යමෙකු කැමති නම් ‘මං තනි කෙනෙකුව සිටිය දී බොහෝ දෙනෙකු වශයෙන් පෙනී සිටිනවා නම්, බොහෝ දෙනකුව සිටිය දී එක් කෙනෙකු ලෙස පෙනී සිටිනවා නම්, පෙනෙන්නට සලස්වනවා නම්, නොපෙනී යනවා නම්, බිත්ති ප්‍රාකාර පර්වත විනිවිද කිසිවක් හා නොගැටී අහස්කුස යන්නාක් මෙන් යනවා නම්, ජලයෙහි මෙන් පොළවේ කිඳා බැසීම් – උඩට මතු වීම් කරනවා නම්, පොළොවේ මතුපිට ජලයේ ඇවිද යනවා නම්, අහසේ පියාසලන කුරුල්ලෙක් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා නම්, මහානුභාව ඇති හිරු සඳු අතින් අල්ලනවා නම්, බඹලොව දක්වා තම කයින් වසඟ කරගෙන සිටිනවා නම්…’ ඒ සියලු ඤාණයන් ඔහුට උපදවා ගැනීමට හැකි වන්නේ ය. එනමුදු ස්වාමීනි, ඔබවහන්සේගේ ඍද්ධි විෂය නම් අතිශයින් ම අසිරිමත් වන සේක. පමණ කළ නොහැකි වන සේක. ඒ ඍද්ධි විෂය ඔබවහන්සේ වැනිම වූ සම්බුදුවරයෙකුට හැර මේ තුන්ලොව කිසිවෙකුගේ ඍද්ධි විෂයට සම නොවන්නේ ම ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සර්වඥතා ඥානයෙන් සියල්ල පිරිසිඳ අවබෝධ කළ ඔබවහන්සේ ඒ විශිෂ්ට වූ නුවණින් සහශ්‍රී ලෝක ධාතුව ගැන වදාළ සේක. යම්තාක් මේ හිරු සඳුගෙන් ආලෝක වන්නා වූ යම් සක්වළක් වේ ද එවැනි වූ සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව වන්නේ ය. ඒ සහශ්‍රී ලෝකධාතුව තුළ දහසක් හිරු සඳු ඇත්තේ ය. දහසක් සිනේරු පර්වතරාජයන් ඇත්තේ ය. දහසක් දඹදිව් ඇත්තේ ය. දහසක් වූ අපර ගෝයානයන් ද පූර්ව විදේහයන් ද උතුරුකුරු දිවයින් ද ඇත්තේ ය. මේ සහශ්‍රී ලෝකධාතුව තුළ හාර දහසක් මහා සමුද්‍රයන් ඇත්තේ ය. දහසක් චාතුම්මහාරාජිකයන් ද දහසක් තව්තිසාවන් ද දහසක් යාම දෙව්ලොව ද දහසක් තුසිත දෙව්ලොව ද දහසක් නිම්මානරතී දෙව්ලොව ද දහසක් පරනිම්මිත වසවත්ති දෙව්ලොව ද දහසක් බ්‍රහ්ම ලෝක ද පවතින අතර ඒ ලෝක ධාතුව වනාහි සහශ්‍රී චූලනිකා ලෝක ධාතුව බව අප හට පෙන්වා දුන්නේ ඔබවහන්සේ ම ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ සහශ්‍රී චූලනිකා ලෝකධාතුව බඳු වූ ලෝකධාතූන් දහසක් යම් තැනක පවතින්නේ ද ඒ වනාහි ද්වීසහශ්‍රී මජ්ඣිමා ලෝක ධාතුව බව ඔබවහන්සේ වදාළ සේක. එවැනි ද්වීසහශ්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුන් දහසක් ත්‍රිසහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුව වන බව ඔබවහන්සේ අපට පෙන්වා දුන් සේක.
ස්වාමීනි, ඔබවහන්සේගේ ඍද්ධි විෂය වනාහි ඔබවහන්සේ කැමැති වන්නේ නම් මේ ත්‍රිසහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුව තෙක් සිටින සියලු සත්වයන්ට ඇසෙන පරිද්දෙන් කුරවීක නදින් යුතු බ්‍රහ්ම ස්වරය ඇසෙන්නට සැලැස්විය හැකි වන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ කැමැති වන්නේ නම් ඊටත් එහා ලෝක දක්වා ද ඔබවහන්සේගේ බ්‍රහ්ම ස්වරය ඇසෙන්නට සැලැස්විය හැක්කේ ම ය.
ස්වාමීනි, ලෝක විෂය වනාහි අචින්තනීය වන සේක. එක් ලෝක ධාතුවක හිරු උදාවන විට තව ලෝක ධාතුවකට රැය උදා වන්නේ ය. තවත් ලෝක ධාතුවකට රැය උදා වන විට තව ලෝක ධාතුවකට දවාල ය. කෙළවරක් නොපෙනෙන සක්වළයන්හි විටෙක දහවල ය, විටෙක මැදියම ය, විටෙක අළුයම ය. අළුයම උදා වූ කල ඒ ලෝක ධාතුවල සත්වයෝ තමන්ගේ රැකියා කටයුතු අරඹන්නෝ ය. දහවල උදා වූ කල, සක්වළ තුළ ආහාර පිසීම ඇරඹෙන්නේ ය. රාත්‍රිය උදා වූ කල්හි සක්වළ තුළ සත්වයෝ සියලු වැඩ අවසන් කරමින් නින්දට පිවිසෙන්නෝ ය. මෙසේ නා නා ලෝක ධාතුවල නා නා කටයුතු සිදුවන කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන්ට ඇසෙන පරිද්දෙන් බ්‍රහ්ම ස්වරය පතුරුවන අයුරු නම් ඒකාන්තයෙන් ම පුදුම සහගතයි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස… ඔබවහන්සේගේ ඍද්ධිමය ආනුභාවයෙන් ඔබවහන්සේ, හිරු නගින යම් ලෝකධාතුවක් වේ ද ඒ ලෝකධාතුවේ හිරු අවරට පමුණුවන්නෝ ය. හිරු අවරට ගිය ලෝක ධාතුවට නැවත හිරු මධ්‍යස්ථයේ තබමින් දහවල උදා කරවන්නෝ ය. දහවල උදා වූ ලෝක ධාතුවට නැවත අරුණ උදා කරවන්නෝ ය. මෙකල්හි ඒ ඒ ලෝකධාතුවල ලෝකවල සත්වයෝ “අහෝ! ඉර නැගෙද්දිම අපට රැය උදා වුණේ ය… දහවල උදා වී නැවත අප හට අලුයමක් උදා වූයේ ය.” යි කියා පුදුමයට පත් වන්නෝ ය. පෙර අප නොදුටු නොවිරූ දෙයක් සිදු වූයේ ය. මෙය වනාහි යම් යක්ෂයෙකුගේ ආනුභාවයක් ද දෙවියන්ගේ ආනුභාවයක් ද නාග භූත ආදීන්ගේ කටයුත්තක් දැයි කියා සැක උපදවමින් කලබල වන්නෝ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නීල කසිනයට සමවැදී සියලු ලෝකධාතූන් තුළ දැඩි අඳුරක් පතුරුවන්නෝ ය.
එකල්හි ඒ සියලු සත්වයන් තැතිගැනීමට ලක් වී මීළඟට අපට කුමක් සිදුවන්නට යන්නේදැයි කියා දෑස් දල්වාගෙන බලා සිටින්නෝ ය. එකල්හි ස්වාමීනි, ඔබවහන්සේ ඕදාත කසිනයට සමවැදී ඔබවහන්සේගේ නළල් තලයේ වූ සුදෝ සුදුවන් ඌර්ණ රෝම ධාතුවෙන් තල ඇටයක් පමණ වූ සුදු බුදුරැස් මාලාවක් විහිදුවන්නෝ ය. දසදහසක් හිරු පෑයූ කලක් පරිද්දෙන් එවන් වූ ඉතා කුඩා ආලෝක ධාරාවෙන් ත්‍රිසහස්සී මහා සහස්සී ලෝකධාතුව තෙක් සියලු ලෝක ධාතූන් ආලෝකවත් වන්නේ ය. එයටත් වඩා බොහෝ ලෝකධාතූන් ඉක්මවා ගිය ආලෝකය පැතිරී යන්නේ ය.
එවිට ස්වාමීනි, ඒ ලෝක ධාතුවල සිටින සත්වයින් ඒ මහා ආලෝකය දැක ‘අපිට හිරු නැගෙද්දී ම රැය උදා කරන ලද්දේ ද රැය උදාවන්නට තිබිය දී නැවත දහවල් උදා කරන ලද්දේ ද දහවල උදාවෙද්දි නැවත අලුයම උදා කරන ලද්දේ ද අපට ඝන අන්ධකාරයක් ඇති කරන ලද්දේ ද මේ මහා පුරුෂයා ය. දැන් වනාහී මොහු මහානුභාවසම්පන්න ආලෝකයක් විහිදුවාගෙන අහස්තලේ වැඩ සිටින්නේ ය. ඒකාන්තයෙන් ම මොහු නම් ආශ්චර්යවත් කෙනෙකු වන සේක.’ යැයි සිතමින් අප භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාව බලමින් ඇඳිලි බැඳ වන්දනා කරන්නෝ ය. රන්වන් බුදු සිරුර දෙස නෙත් දල්වා බලා සිටින්නෝ ය.
ස්වාමීනි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ පළඟේ වැඩ සිටිමින් ම ත්‍රිසහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුවට ඇසෙන පරිද්දෙන් බ්‍රහ්ම ස්වරය පතුරවමින් දහම් දෙසන්නෝ ය. ස්වාමීනි, ඒ දහම් ඝෝෂාව කෙරෙහි සිත පහදවා ගත් අය මග ඵල නිවන් පසක් කරන්නෝ ය. මේ අයුරින් ද ස්වාමීනි අනේක ඍද්ධි විලාශ ඇති භාග්‍යවතුන් වහන්සේගේ ඍද්ධි විෂය වනාහි ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි බොහෝ දෙනාට යහපත පිණිස, බොහෝ දෙනාට සැපය පිණිස, බොහෝ දෙනාට හිතසුව පිණිස පහළ වූ මහා පුරුෂයාණන් වහන්සේ වන සේක් ම ය.
ස්වාමීනි, බුදුවරුන්ගේ උපත ලොවට සැපයක් බව ඒකාන්ත සත්‍යයයි. මෙවන් ආනුභාව සම්පන්න වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා නගන සාධු නාදය කිසිකලෙකත් හිස් නොවන්නේ ම ය. අපව නිවනට පමුණුවන්නේ ම ය. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත් පමණින් අපට සුගති සැප විවර වන්නේ ය. සතර අපා දොරටු වැසෙන්නේ ම ය.
ස්වාමීනි, දෙපා ඇතියනට අග්‍ර වූ, මහා ආනුභාව සම්පන්න වූ, මෙවන් අනන්ත වූ ඍද්ධි විලාශයන්ගෙන් බබළන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments