එක පිට එක කරදර එද්දී බොහෝ අයගේ මුවින් පිටවෙන වචනයකි මෙය. එනම් “මෙච්චර පින් කරලත් ඇයි අපිට ම කරදර, පින්වල විපාක නැද්ද? අරුන් පව් කරලත් යසට ඉන්නවනේ.” යනුවෙනි. මේ අපට විටින් විට අසන්නට ලැබුණු දේවල් ය. මෙය මිථ්‍යා දෘෂ්ටියක් ද යනු මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ. මිථ්‍යා දෘෂ්ටිය ඔබ තුළත් ඇත්දැයි දැන ගැනීමට මෙය කැඩපතක් වේවි. එය දැනගත යුත්තේ ඇයි?

මිථ්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකකි. නිරය හෝ තිරිසන් යෝනියයි. (මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකංඛා: නිරයෝ වා තිරච්ඡානයෝනි වාති.)

එයින් අදහස් වන්නේ මිථ්‍යා දෘෂ්ටිකයාට සුගතිය අහිමි බවයි. මිනිස් ලොව ඉපදීමටවත් එය බාධා සහිතයි. දුගතිය අකමැති, සුගතිය කැමති, නිවනට ආශා ඔබ දැනගත යුතුම කරුණකි මෙය… ‘මිථ්‍යා දෘෂ්ටිය කුමක්ද? සම්මා දෘෂ්ටිය කුමක් ද?’ යන කාරණාව.

මාතෘකාවට ගත් වැකිය දෙස නුවණින් බලද්දි “අපි කරන පින්වල විපාක නැද්ද? ඇයි මෙච්චර කරදර?” මේ අදහස තුළ පින් පව් කර්මවල විපාක පිළිබඳව සැකයක් ඇති බවක් ඉස්මතු වෙයි. කරන පින් කටයුතුවල විපාක දිට්ඨධම්මවේදනීය ව; එනම් මේ ජීවිතයේ දී ම අපේක්ෂා කරයි.

නමුත් තමන් කරන පව්වල විපාක දිට්ඨධම්මවේදනීය වනවාට කැමැති නැත. කර්මය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීය වශයෙන් තුන් ආකාරයි. නමුත් සියල්ල මේ ජීවිතයේ දී ම, විශේෂයෙන් කරන පින් විපාක ලහිලහියේ බලාපොරොත්තු වීම බුද්ධ වචනය විශ්වාස නොකිරීම නිසා ඇති වෙන සිතිවිල්ලක් බව ඔබට සිතී නැද්ද? මේ අදහස් සම්මා දිට්ඨිය නිසා ඇති වූ අදහස් නම් නොවේ. මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙයාකාරයි. පුණ්‍යභාගිය (ලෞකික) සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙනි. මෙයින් පුණ්‍යභාගී සුගතිගාමී සම්මා දිට්ඨිය මූලික කාරණයයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ ඤාණයයි. එය සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ ඇතිවෙන අවබෝධ ඤාණයයි. එසේ නම් බුද්ධ ශාසනයට පැමිණීමටත්, සෝතාපන්න ඵලයට පත් වීමට මූලික පසුබිම සකස් වීම පිණිසත් හේතු වන්නේ පුණ්‍යභාගිය (ලෞකික) සම්මා දිට්ඨියයි. එය ආකාර දහයකින් විස්තර වන නිසා දසවස්තුක සම්මා දිට්ඨිය ලෙස ව්‍යවහාර වෙයි.

අත්ථි දින්නං – දුන් දේ විපාක ඇත
අත්ථි යිට්ඨං – පුද පූජාවල විපාක ඇත
අත්ථි හුතං – සේවා, වත් පිළිවෙත්වල විපාක ඇත
අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං
විපාකෝ – පින් පව් කර්මවල පල විපාක ඇත
අත්ථි අයං ලෝකෝ – මෙලොවක් ඇත
අත්ථි පරෝ ලෝකෝ – පරලොවක් ඇත
අත්ථි මාතා – මවක් ඇත (මව විශේෂ කෙනෙකි)
අත්ථි පිතා – පියෙක් ඇත (පියා විශේෂ කෙනෙකි)
අත්ථි සත්තා ඕපපාතිකා – ඕපපාතික සත්වයන් ඇත (අපායක් දෙව්ලොවක් ඇත)

අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. – ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත් ද එවැනි උදවිය ද ඇත යන්නයි.

මිථ්‍යා දෘෂ්ටිය එකකි. එහි දෙවිදිහක් නැත. එය ද ආකාර දහයකි. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය ලෙස එය හැඳින්වේ. අක්ඛණ සූත්‍රයට අනුව බුදු කෙනෙකු ලොව පහළ වූ කලෙක යමෙක් නිරයේ හෝ තිරිසන් ලොව හෝ ප්‍රේත ලොව හෝ අසඤ්ඤ ලෝකයක හෝ මන්දබුද්ධික ව හෝ ප්‍රත්‍යන්ත දේශයක ඉපිද හෝ සිට බුද්ධ ශාසනය අහිමි කර ගන්නේ යම් සේ ද ඒ අවාසනාව ඒ විදිහටම නියත මිථ්‍යා දෘෂ්ටියට අත් වේ. මිථ්‍යා දෘෂ්ටිය අත්හැර සම්මා දිට්ඨියට පත් වීමෙන් ම ක්ෂණ සම්පත්තිය හිමි වෙයි. මිථ්‍යාදෘෂ්ටික බව යනු අක්ඛණයකි. එනම් ක්ෂණ සම්පත්තිය අහිමි වීමකි. ඔහුට බුද්ධ ශාසනයේ පිහිට නොලැබේ. සතර අපා දොර ඔහුට නිරතුරු විවෘත ය. ඒ මිථ්‍යා දෘෂ්ටිය කුමක් ද?

නත්ථි දින්නං – දුන් දේ විපාක නැත
නත්ථි යිට්ඨං – පුද පූජාවල විපාක නැත
නත්ථි හුතං – සේවා, වත් පිළිවෙත්වල විපාක නැත
නත්ථි සුකටදුක්කටානංකම්මානං ඵලං විපාකෝ පින් පව් කර්මවල පල විපාක නැත
නත්ථි අයං ලෝකෝ – මෙලොවක් නැත
නත්ථි පරෝ ලෝකෝ – පරලොවක් නැත
නත්ථි මාතා – මවක් නැත (මව විශේෂ නැත)
නත්ථි පිතා – පියෙක් නැත (පියා විශේෂ නැත)
නත්ථි සත්තා ඕපපාතිකා – ඕපපාතික සත්වයන් නැත (අපායක් දෙව්ලොවක් නැත)

නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. – ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත් ද එවැනි උදවිය ද නැත යන්නයි.

මේ සතර අපා උපත සලසන මිථ්‍යා දෘෂ්ටියයි. ඒ නිසා දෙව්ලොව උපතට කැමති වූ පමණින්, නිවන් ලැබීමට කැමැති වූ පමණින්, සාදු කියා ප්‍රාර්ථනා කළ පමණින් එය එසේ සිදු නොවන බව වටහා ගත යුතු ය. මිථ්‍යාදෘෂ්ටික අදහස් බැහැර කොට සම්මා දෘෂ්ටිය පෝෂණය කළ යුතු ය.

මනුෂ්‍යයෙක්ව උපත ලැබූ විට පින් පව් දෙක ම මිශ්‍රව විපාක දෙන බව බුද්ධ වචනය යි. එය විශ්වාස නොකිරීම දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියෙහි අවසාන කාරණය වූ ලෝකය අවබෝධ කරගත් උතුමන්ගේ ධර්මය පිළිනොගැනීමයි. “පින් පව් විපාක ගැන සැක කිරීම”- “නත්ථි සුඛට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ” හොඳ නරක කර්ම විපාක නැත කියන තැනට හෝ ඒ ගැන සැකයට පැමිණීමට කරුණකි. සම්මා දිට්ඨිය දුර්ලභ බව මනාව පිළිබිඹු වෙයි. හොඳ කරන මිනිසුන්ටත් සසරේ කර්ම විපාක අනුව කරදර පැමිණෙයි. නරක කරන මිනිසුන්ටත් යහපත දියුණුව සැලසෙයි. මේ ජීවිතය නිසා නොව පෙර කර්ම අනුව සිදුවන දෙයකි. නමුත් ජීවිතය යනු මේ ජීවිතය පමණක් යැයි පටු කල්පනාවෙන් බලද්දී ඔහු මිථ්‍යා දෘෂ්ටියට ම ඇදී යයි. මේ ගැන අපූරු විස්තරයක් මහා නාරද කස්සප ජාතකයේ විස්තර වෙයි.

(මහමෙව්නාව පරිවර්තන – නුවණ වැඩෙන බෝසත් කතා 52 බලන්න)

තමන් කොයි තරම් දහමේ හැසිරෙනවා යැයි කීවත් මේ මිථ්‍යාදෘෂ්ටික අදහස් තමා තුළින් ප්‍රහාණය වී ඇද්දැයි බලන්න. වර්තමාන සමාජය පිරිහී ඇතැයි අයෙක් මැසිවිලි නගති. කුමක්ද ඇත්තෙන් ම සිදු වී ඇත්තේ? පින් පව් විශ්වාස නොකිරීමයි. පුදපූජා සැහැල්ලුවට ගැනීමයි. එනම්, විවේචනය කිරීමයි. හොඳ නරක කර්මවල විපාක විදිහට සැපදුක් අපට ලැබෙන බව විශ්වාස නොකිරීමයි. අම්මා තාත්තා විශේෂ නොවීමයි. මෙලොව පරලොව විශ්වාස නොකිරීමයි. මැරිලා උපදින ලෝක විශ්වාස නොකිරීමයි. අපාය, දෙව්ලොව, මෙලොව ඇත්තේ – පරලොව නැත කියා සිතීමයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ අන් අය සේ තවත් ආගමික නායකයෙක් ලෙස සැලකීමයි. මෙයයි පිරිහීම. මෙය තනිකර මිථ්‍යා දෘෂ්ටිය යි. සමාජය පිරිහීම යනු මිථ්‍යා දෘෂ්ටිය ම යි. ගුණධර්ම සදාචාරවල පිරිහීමයි. ගුණධර්ම, සදාචාර, මවුපිය උපස්ථානය, ශ්‍රද්ධාව ආදිය සියල්ල හටගන්නේ සම්මා දිට්ඨියෙනි. සම්මා දිට්ඨිය යනු සුගති බීජයයි.

චූළහංස ජාතකයේ එන පහත සඳහන් දහම් පදය දෙස බලන්න.

නූගත්කමත්, අනුවණකමක් දෙක එකට තිබුණොත්
පිරිහීමේ දොරටු හැම ඔහු තුළින් විවර වී යත්
රෑ නොපෙනෙන අඳුරේ
ලොකු රූප දකින අයෙකු සේ
ඔහුත් ලොකු ලොකු දේ සිතා
උවමනා කුඩා දේ අත්හරියි.

(චූළහංස ජාතකය, මහමෙව්නාව පරිවර්තන – නුවණ වැඩෙන බෝසත් කතා 49)

ධර්මය මනාව ඉගෙනගෙන නැත්නම්, තමාට කියලා ප්‍රඥාවකුත් නැත්නම් එයා ලොකු ලොකු දේවල් හිතින් මවාගෙන වුවමනා ඇති දේ අත්හරියි. රෑ අඳුරේ ඈත ලොකු ඡායාවක් දකින කෙනාට ළඟ තියෙන පොඩි දේ නොපෙනෙනවා වගේ ඕනම දේ නොපෙනෙයි.

අන්න එලෙස මාර්ග ඵල ගැන කතා කළාට, දිව්‍යලෝක ගැන කතා කළාට, ත්‍රිපිටකය, අභිධර්මය, මහා උගත්කම් ගැන කතා කළාට ඕනම දේ නැත්නම් සුගතියවත් නැත. කුමක්ද ඒ? සම්මා දිට්ඨිය යි. පින් පව්, කුසල් අකුසල්, මෙලොව පරලොව, අම්මා තාත්තා, බුදුරදුන්ගේ දහම මේවා සුළු කොට තකන්න එපා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ චූල හත්ථිපදෝපම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් – ප්‍රේතවත්ථු, විමානවත්ථු, දේවදූත සූත්‍ර ආදියෙන් පළමුවෙන් ම දසවස්තුක සම්මා දිට්ඨියෙහි යි ලක්වැසියන් සමාදන් කෙරෙව්වේ. ඔවුහු ආර්ය සත්‍යය අවබෝධය දක්වා ඥානය මෙහෙයවූහ.

ඒ නිසා මේ කරුණු ධාරණය කරගෙන මිථ්‍යාදෘෂ්ටික අදහස් බැහැර කොට සම්මා දිට්ඨියට උපකාරී ධර්ම පුරුදු කර ගැනීමට උත්සාහවත් වන්න. එවිට සුගතියත්
නිවනත් හිමිවනු ඇත.

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ