පින්වත් යොවුන් දූ දරුවනේ,
ජීවිතේ මේ වෙන තෙක් ගෙවා ආපු දුර, ගත වුණු කාලය ඔබ දන්නවා. ඒත් හිතන්න… ජීවිතේ ගෙවා යා යුතු දුර, ඒ කිව්වේ තව ජීවත් වෙන්න ඉතිරි වෙලා තිබෙන කාලය ඔබ දන්නේ නෑ නේද? ජීවිතේ අවිනිශ්චිතයි!
අවසන් මොහොත අද ද හෙට ද කියන්න බෑ. ඒ නිසා පමා නොවී ඔබ ඔබට ආරක්ෂාවක් හදාගත යුතුයි නේද? පමා වෙන්න තරම් කාලයක් තියෙයි ද දන්නේ නෑ. ඒ නිසා පමා වෙන්න නම් එපා!
ජීවිතේ ගැන මේ ටික තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් නම් පිනෙන් කුසලයෙන් යහපතෙන් සුචරිතයෙන් ධර්මයෙන් ඔබට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් වේවි! ඉතින් ඔබ බුද්ධිමත් වෙන්න.
එතකොට අනිත් අය…!
ඔව්! අනිත් අය බුද්ධිමත් වෙන්නත් පුළුවන්, එයාලා බුද්ධිමත් නොවෙන්නත් පුළුවන්. ඒක අපේ ජීවිතේට ලොකුවට බලපාන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ ඔබ දෙසට හැරෙන්න. ඔබටම යෝජනාවක් කරගන්න. ‘අනිත් අය බුද්ධිමත් වුණත් නැතත්, මම නම් බුද්ධිමත්ව ජීවත් වෙනවා. මම බුද්ධිමත්ව කටයුතු කරලා පමා නොවී මට ආරක්ෂාවක් හදාගන්නවා’ කියලා.
ඉතිං බුද්ධිමත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්මයි අද මේ ලිපිය දිගහැරෙන්නේ. ඉතිං ආරම්භයේ දී ම සෙනෙහසින් ඔබට සෙත් පතනවා, මේ ලිපිගත දිගේ ඉදිරියටම යන ඔබට බුද්ධිමත් ජීවිතයක් හදාගන්න වාසනාව ලැබේවා!
සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ඣගා පියතරමත්තනා ක්වචි
හැම දිශාවක් පුරාම සිතින් විමස විමස බැලුවොත් තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් ඉන්නවා ද කියලා, කිසි තැනක තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් හම්බු වෙන්නෙ නෑ.
(මල්ලිකා සූත්‍රය – සංයුත්ත නිකාය)
ඔබ ඔබට අවංකවම ප්‍රියයි ද?
ඔව්! තමන්ට ගොඩාක්ම ප්‍රිය තමන් ම තමයි. ඒත් මේ දේ බොහෝ දෙනෙකුට දැනෙන්නේ නෑ. ඒක අතීතෙත් එහෙමම තමයි.
අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩවසද්දී, පසේනදී කෝසල රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහිං බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එක පැත්තකින් වාඩි වුණා. ඊටපස්සේ මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්නකොට, මට මෙහෙම කල්පනාවක් ඇති වුණා. ‘තමන්ව ප්‍රිය කාට ද? තමන්ව අප්‍රිය කාට ද?’ කියලා. එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතුණා. සමහර උදවිය ඉන්නවා. ඒගොල්ලො කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. සිතින් වැරදි කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට තමන්ව ප්‍රිය නෑ. නමුත් ඔවුන් කථාවට විතරක් කියනවා ‘තමාට තමාව ප්‍රියයි’ කියලා. ඒ වුණාට ඔවුන්ට තමන්වමයි ප්‍රිය නැත්තෙ. ඇයි එහෙම වෙන්නෙ? අප්‍රිය කෙනෙක් තවත් අප්‍රිය කෙනෙකුට යම් දෙයක් කරනවා ද අන්න ඒ දේ තමයි එයාලා තමතමන්ට කරගන්නෙ. ඒ නිසා ඔවුන්ට තමන්ව ප්‍රිය නෑ.
සමහර උදවිය ඉන්නවා. එයාල කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් යහපත් දේ කරනවා. ඔවුන්ට තමන්ව ප්‍රියයි. නමුත් වචනෙට විතරයි කියන්නෙ ‘තමන්ව ප්‍රිය නෑ’ කියලා. ඒ වුණාට ඔවුන්ට තමන්ව ප්‍රියයි. ඇයි ඒක එහෙම වෙන්නෙ? ප්‍රිය කෙනෙක් තමන්ට ප්‍රිය වූ කෙනෙකුට යම් දෙයක් කරනවා ද අන්න ඒ දේ තමයි ඔවුන් තම තමන්ට කරගන්නෙ. ඒ නිසා ඔවුන්ට තමන්ව ප්‍රියයි.”
රජ්ජුරුවන්ගේ මේ වටිනා අදහස සියල්ල අවබෝධ කළ, සියල්ල දන්නා ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ “පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. ඒක එහෙමම තමයි” කියලා අනුමත කොට වදාළා.
ඉතිං ඔබ ඔබ ගැනම හිතලා බලන්න. ඔබත් කයිවාරුකාරයෙක් විතර ද? එහෙමත් නැත්නම් ඔබට අවංකවම ඇත්තටම ඔබව ප්‍රිය ද?
පව් කළවම් කරගන්න එපා!
කොසොල් රජුට බුදුරජාණන් වහන්සේ හරිම අගනා ගාථා සතරක් ඉගැන්නුවා. මේ ගාථා සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ පිය සූත්‍රයේ අන්තර්ගතයි. අපිත් ඒ ගාථා එකින් එක තේරුම් ගනිමු.
අත්තානං චේ පියං ජඤ්ඤා – න තං පාපේන සංයුජේ
න හි තං සුලභං හෝති – සුඛං දුක්කත කාරිනා
“ඉතින් ඇත්තෙන්ම තමාට තමාව ප්‍රිය බව දන්නවා නම්, තමාව පවේ යොදවන්නේ නෑ. පව් කරන කෙනෙකුට සැපය සුවසේ ලබනවා කියන එක ලේසි දෙයක් නොවෙයි.”
ඔබත් බුද්ධිමත් වෙන්න. ඔබ ඔබට අවංකවම ආදරේ නම් ජීවිතේ පව් එක්ක කළවම් කරගන්න එපා!
බුදුරජුන්ගෙන් ප්‍රශ්නයක්…!
අන්තකේනාධිපන්නස්ස – ජහතෝ මානුසං භවං
කිං හි තස්ස සකං හෝති – කිඤ්ච ආදාය ගච්ඡති
කිඤ්චස්ස අනුගං හෝති – ඡායාව අනපායිනී?
“මාරයාගේ ග්‍රහණයට හසුවෙච්ච සත්වයා, මනුස්ස ජීවිතේ අත්හරින කොට, එයාට තමන්ගේ කියල ගෙනියන්න තියෙන්නෙ මොනවාද? එයා අරගෙන යන්නෙ මොනවාද? තමාව අත්නොහරින සෙවනැල්ල වගේ, තමාත් එක්ක ගමන් කරන දෙයක් එයාට තියෙනවාද?”
මරණය ගැන හිතුවත් නැතත් අපි මැරෙනවා. මරණය ගැන කථා කළත් නැතත් අපි මැරෙනවා. මරණය ගැන තේරුණත් නැතත් අපි මැරෙනවා. මරණයට බය වුණත් නැතත් මැරෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න. නොමැරෙන මනුස්සයෙක් වගේ නම් කල්පනා කරන්න එපා!
ඉතිං ජීවත්වෙන ඔබට තමාගේ කියාගන්න සජීවී අජීවී දේවල් ගොඩක් තියෙනවා. ඒත් මැරෙන විට ඒ කිසිවක් ඔබට තමාගේ දේ විදිහට තියෙනව ද? හිතන්න.
ජීවත් වෙනකම් ගමන් යද්දී ඔබ නොයෙක් දේවල් මලු පුරවාගෙන අරගෙන යනවා. ඒත් මැරෙන විට කිසිවක් මලු, පෙට්ටි, සේප්පු පුරවාගෙන අරගෙන යන්න පුළුවන් ද? හිතන්න.
ජීවත් වෙද්දී පසුපසින් පැමිණෙන්න සෙවණැල්ල හරි තියෙනවා. සෙවණැල්ල වැටුණු තමාගේ සිරුරත් අතහැර මැරෙන්න වෙද්දී ඔබත් සමඟ සෙවණැල්ල වගේ යන්නේ කුමක්ද? හිතන්න.
පිළිතුර…
උභෝ පුඤ්ඤඤ්ච පාපඤ්ච – යං මච්චෝ කුරුතේ ඉධ
තං හි තස්ස සකං හෝති – තඤ්ච ආදාය ගච්ඡති
තං චස්ස අනුගං හෝති – ඡායාව අනපායිනී
“මනුස්ස ජීවිතේදී, මෙතනදී රැස් කරන පින්පව් දෙක විතරයි තියෙන්නෙ. තමන්ගේ දෙයක් හැටියට ඉතුරු වෙන්නෙ එච්චරයි. අරගෙන යන්න තියෙන්නෙත් එච්චරයි. තමාව අත්නොහරින සෙවනැල්ල වගේ, ඒක තමාගේ පසුපස්සෙන් එනවා.”
ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න. මෙතරම් පැහැදිලිව ජීවිතය ගැන පහදා දෙද්දී සෙවණැල්ලක් සේ තමා සමඟ පැමිණීමට පව් ගොඩ ගහගන්න තරම් අනුවණයෙක් වෙන්න එපා!
මොකක්ද කළ යුත්තේ…?
තස්මා කරෙය්‍ය කල්‍යාණං – නිචයං සම්පරායිකං
පුඤ්ඤානි පරලෝකස්මිං පතිට්ඨා – හොන්ති පාණිනන්ති
“ඒ නිසා පරලොවට පිහිට වෙන යහපත් පින්කම් කරන්න ඕන. පරලොවදී සත්වයන්ට පිහිට වෙන්නෙ පින විතරයි.”
ජීවිතයක් අවසන් වෙන්නේ පෙර දැනුම් දීමකින් නෙවෙයි. කොයි වයසක වුණත්, කොයි තැනක දී වුණත්, දවසේ මොන කාලෙ දී වුණත් ජීවිතය අවසන් වෙන්න පුළුවන්. මේ ජීවිතේ අවසන් වුණ ගමන් ඔහුට පරලොවක් තිබෙනවා කියලයි හැම දේ දුටු, හැම දේ අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ.
ඒ පරලොවට කෙනෙක් යන්නේ එකට අත්වැල් පටලගෙන හිටපු අයත් එක්ක නොවෙයි. හරිහම්බ කළ ධනය, දේපළ, වාහන, ගේ දොර, ඉඩකඩම් ආදිය අරගෙනත් නොවෙයි.
තමන්ගේ තරාතිරම, කුලය, වංශය, ප්‍රසිද්ධිය ආදිය සහිතවත් නොවෙයි. කොටින්ම තමා පරිහරණය කරපු සිරුරවත් ඔහුට පරලොවට ගෙන යන්න බෑනේ.
එසේ නම් කවරක් ද ඔහුගේ පරලොවට රැකවරණය? තමා විසින් ම ජීවිතයේ කරන ලද පින තමයි රැකවරණය.
ඉතින් බුද්ධිමත් වෙන්න…
ධනය හෙව්වට ධනයට බෑනේ පරලොව පිහිටක් හදන්න. බලය පස්සේ ගියාට බලයට බෑනේ පරලොව පිහිටක් හදන්න. පිරිවර හදාගත්තට පිරිවරට බෑනේ පරලොව පිහිටක් හදන්න. නමුත් පිනට පුළුවන් පරලොව පවා පිහිටක් හදන්න. එහෙම නම් ධනයට බලයට වස්තුවට පිරිවරට වඩා සෑහෙන්න වටින දෙයක්නේ පින.
ඔබ බුද්ධිමත් වෙන්න. මෙලොව පරලොව දෙලොවේ ම සැප සැනසුම උදෙසා ඔබේ පින ඔබම පමා නොවී රැස්කර ගන්න.
පව් කරන දුර්වලයෝ මැද ඔබ වීරියෙන් පින් කරන්න
අසංවර අනුවණයෝ මැද
ඔබ සිත කය වචනය සංවර කරගන්න.
අකුසල් කරන බාලයෝ මැද
ඔබ කුසලයට දක්ෂ වෙන්න.
ජීවිතේ කෙටියි !
පමා නොවී ධර්මයේ හැසිරෙන්න
පමා වෙන්න කාලයක්
තියෙයිද දන්නේ නෑ !
මේ ටික තේරුම් ගන්න තරම්
ඔබ බුද්ධිමත් වුණොත්
පිනෙන්, කුසලයෙන්
යහපතෙන් සුචරිතයෙන් ධර්මයෙන්
ඔබව ආරක්ෂා කරගන්න
ඔබට පුලුවන් වේවි!
ඉතින් බුද්ධිමත් වෙන්න.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි
Recent Comments