“දන්නවාද හාමිනේ… මහ තලා විහාරෙට වැඩපු අභය තෙරුන්නාන්සේ වනමණ්ඩියේ පන්සලට වැඩලා. දැං ගම්මු ‘අරඤ්ඤක අභය’ කියලා උන්වහන්සේගෙ නමත් වෙනස් කරලා. මං ගියා බණ අහන්ට. පුදුම බණක්. උන්නාන්සේ ත්‍රිපිටකධාරී බව තේරෙනවා බණපද ගළපන අපූරුව දැක්කහම.

දන්නවැයි… මං උන්නාන්සෙට දිගටම අපේ ගෙට වඩින්ට කියලා ආරාධනා කළා. ඕං හෙට ඉඳන් දානේ හදමු හොඳේ.”

“ආනේ… කොච්චර දෙයක් ද…”

එදා පටන් ආදරයෙන් තෙරුන් වහන්සේට දන් පුදන උපාසක දොළොස් අවුරුද්දක් පුරාවට සිව්පසය ම නොඅඩුව පිදී ය. සෑම වස් කාලයකට ම හේ සිවුරු පිණිස වස්ත්‍ර ද දන් දෙයි. ඒත් තෙරුන් වහන්සේ අලුත් සිවුරක් පොරවනු උපාසකයා කිසිදිනක නොදුටුවේ ය.

“හාමිනේ… මං අද උදේ තෙරුන්නාන්සෙට චීවරවලට වස්තු පුදල උන්වහන්සේ පිටමං උනාම ආවාසෙට එබිකම් කොළා.”

“අර මොකට ද?”

“උන්නාන්සේ පරණ සිවුරු ම පොරවන්නේ මොකද බලන්ට…”

“ඉතිං?”

“අඩුම ගානේ ඇඳකටවත් ඒ වස්ත්‍ර එළලා නෑ. කොහේවත් රෙදි පොට්ටනි බැඳලා රැස් කරලත් නෑ. අද දුන්න වස්ත්‍රෙ විතරක් තිබ්බා. අඩුම අඳනයක්වත් අලුතින් මහලා නෑ. කාටවත් දුන්නා වෙන්නත් බෑ.

ඕං අද රෑ මං යනවා උන්වහන්සේගේ කුටිය මුර කරන්ට. මං අල්ලා ගන්නන්කෝ මොකද වෙන්නේ කියලා.”

උපාසක රෑ බෝ වන විට කඩුවක් ගෙන පන්සලට එන මාවත පසෙක සැඟවී සිටියේ ය. කවුදෝ කෙනෙක් කිසි වගක් නැතිව එළිමහනේ තෙරුන් වහන්සේ භාවනා කරද්දීම කුටියට රිංගා අලුතින් පිදූ වස්ත්‍රය සොරාගෙන ආපසු එද්දී, උපාසකයා ඔහුගේ කෙස් වැටියෙන් තරයේ අල්ලා කඩුව ගෙලට තැබුවේ ය.

“කියාපන් හරන්තිකයෝ… මෙච්චරකල් තෙරුන් වහන්සේට පූජා කළ සිවුරු රෙදි ඔක්කොම හොරා ගත්තේ උඔ නේද?”

“ඔ… ඔව්… ඔව්… අ… අනේ මාව මරන්ට එපා.”

“මරන්න? ආයෙ එහෙම හොරකම් කළොත් දැනගං…” කියා උපාසක තෙම හරන්තික සොරාට හොඳ පදමට ගුටි බැට දී දුබල කොට අමු සොහොනට ඇදගෙන ගියේ ය.

මළමිනියක් මුනින් හරවා සොරා ඒ මත දමා දෑත් දෙපා හිස සිරවන සේ තදින් බැඳ, එහි දමා, නා පිරිසිදු වී ගමට ගියේ ය. ගම් මැද්දට ගිය හේ, “ගම්මුනේ අහපල්ලා… අද රෑ ගමට යකෙක් එනවා කියලා ආරංචියි. ඒ යකා දැකපු දැකපු මිනිහව කන මහා දරුණු එකෙක්. ඒ නිසා රෑ බෝ වෙන්ට කලියෙන් ගෙවල්වලට ගොහින් දොර ජනෙල් වහගනිල්ලා. ඒකා උඹලට නෑකම් කිය කියා කතා කරයි. රැවටෙන්න එපා. ගොළුවෝ බීරෝ වගේ ඉන්ට ඕනෑ. ඕං වැඩ වරද්දාගන්ට එපා.” යැයි හඬ ගෑවේ ය.

ඔහුගේ බසින් බියපත් වූ ගම්වැසි සියල්ලෝ දොර අගුළුලා නිහඬ වූහ.

හරන්තිකයාට මිනිය ගලවාගත නොහී, එයත් සමඟ ම නැඟිට ගෙදර ගියේ ය. “මේ දොර ඇරපන්.” එහෙත්, කිසිවෙක් දොරට ළං නො වේ.

“ඇරපන්… මං හරන්තික. මගේ කටහඬ අඳුරන්නේ නැද්ද උඹලා?” කොතරම් මුර ගෑව ද බිරිඳත්, දරුවනුත් නිහඬ ය.

අසරණ වූ සොරා මාපියන්ගේ ද ඤාති මිතුරන්ගේ ද ගෙවල් ගානේ ඇවිද ගියමුත් සියල්ලෝ ම ‘යක්ෂයා ය’ කියා බියෙන් සැඟවී සිටියෝ ය.

කිසි තැනක පිහිටක් නැති වූ තැන හේ තමා සොරකම් කළ තැනට ම, තෙරුන් වහන්සේ ළඟට ම පිහිටක් සොයා ගියේ ය. ඒ වන විට ඉරු නැගීමටත් ආසන්න ය.

“හාමුදුරුවනේ… අනේ, මට සමාවෙන්ට. මට දැන් ඔබවහන්සේ හැර පිහිටක් නෑ.”

අභය තෙරුන් වහන්සේ හඬ ඇඳිනත් නොපැකිළ දොර ඇරි සේක. හරන්තිකයා පිට මිනියක් බැඳ තිබෙනු දැක හදවත තෙත් ව අනුකම්පාවට පත් විය.

“අනේ හාමුදුරුවනේ, මේ මිනිය මට ගලවන්ට බෑ. මට උදව් කරන්න. ගම්මු එකෙක්වත් දොරක් අරින්නෙ නෑ. අනේ මට සමාවෙන්න.”

තමාට සතුරු වූ සොරුන් තබා, තමන් මරන්ට ආ එවුන්ට පවා දුකක් වී නම් කරුණා උපදින මොළොක් සිත් ඇති බුද්ධ පුත්‍රයෝ වන්හු බුදු සසුනේ හැර වෙන කොහේ නම් බිහි වෙද්ද?

සානුකම්පිත සිතැති අභය තෙරුන් වහන්සේ වහා මළමිනිය ගලවා එය බැහැර කොට, උණු පැනින් සොරා නහවා, පහර කෑමෙන් තැලී ගිය තැන්වල තෙල් ගැල්වූ සේක. ඒ අතර සොරා සොයමින් ඇවිදින උපාසකයා තෙරුන් වහන්සේගේ කුටිය බලා පැමිණියේ ය.

“අනේ, අපේ තෙරුන් වහන්ස, වංචා සිතක් නැති සත්පුරුෂයා තමාගේ අවංකකම, කරුණාව නිසා මිත්‍රයෙකුට වගේ සැලකුවා කියලා හොර සිත් තියෙන අසත්පුරුෂයාට කරන උදව් මතක හිටින්නෙ නෑ. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඔය හොරුන් ව විශ්වාස කරන්න එපා…

උන්ට පුරුදු වංචාව. වංචාව පුරුදු එකා එකට ම කාලබීල ඉඳලා එකට කතා කරලා ඇසුරු කරල හිටියට හොර හිත අත්හරින්නෙ නෑ. එවුන් හිතින් එකක් හිතලා කටින් එකක් කියනවා. කයෙන් වෙනස් ම දෙයක් කරනවා. අවස්ථාව ලැබුණ ගමන්, උදව් කරපු මිනිහෙක්ගෙ වුණත් සන්තකේ ම මංකොල්ල කනවා. ඒ නිසා අසත්පුරුෂ සොරුන් ව අහසට පොළොව වගේ ඈත් කරන්ට ඕනෙ. විශ්වාස කරන්ට නම් බෑ. කොටින්ම හොරා ව හදාපු අම්මා තාත්තා, නෑයෝ පවා හොරා ව දැක්කම ‘අපට අනතුරක් වෙයි’ කියලා බයට මඟහරිනවා.

මේ වගේ මිත්‍රද්‍රෝහී හොරුන් ව ළඟ තියාගෙන නාවලා තෙල් ගගා මොකටද ස්වාමීනි, වද වෙන්නේ? මේක ව එළවලා දාන්න!”

“උපාසක, නපුරු ළාමක ගති තියෙන බල්ලෙක් සත්පුරුෂ ගති තියෙන මනුස්සයෙකුගේ කකුල කඩාගෙන කෑවා කියලා ඒ මනුස්සයා බල්ලගේ කකුල කඩාගෙන කන්නෙ නෑ.

දුෂ්ට අසත්පුරුෂයා මොන තරම් නපුරු වැඩ කළත්, සත්පුරුෂයා ආපස්සට නපුරු සිතක්වත් උපද්දවන්නෙ නෑ. ඒක තමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ප්‍රශංසා කළේ.

සත්පුරුෂ ගුණ තියෙන උතුම් කෙනෙක්වත් අසත්පුරුෂයාට මෛත්‍රිය කරන්නෙ නැත්නම්, වෙන කවුද මෛත්‍රී කරන්නේ? අසත්පුරුෂ පාපීයාට පවා මෙත් සිතින් ඉන්න එක සත්පුරුෂ ධර්මයක්. තමාට ම හානි කරන අසත්පුරුෂයාටත් මෛත්‍රී කරනවා නම්, ඒක තමයි උතුම් ම මෛත්‍රිය. එබඳු කෙනා අනිත් අයට මෛත්‍රී නොකර සිටීවි ද?

ඒ නිසා උපාසක, මේකා හොරකම් කළ ද්‍රෝහියා කියලා හිතහිතා ඉන්නෙ නැතුව මෙත් සිත පවත්වන්ට. මේකා හොරකමේ පරලොව විපාක ලබන්නට කලින් මෙලොවම විඳෙව්වා. පාපෙ නිසා විඳින්ට වෙන දුක ඇති. මේ මනුස්සයාට අනුකම්පා කරන්න.”

උපාසක අතිමහත් ගෞරවයෙන් තෙරුන් වහන්සේව ආදරයෙන් දිගා වී වැඳ හරන්තිකයා දෙස කරුණා බැල්ම හෙළා පිටත් වී ය.

සුවපත් වූ හරන්තිකයා ටික දිනකින් යළි තෙරුන් වහන්සේ සොයා පැමිණියේ ය. “ස්වාමීනි, මං හොරකමේ ගිහින් මේ ජීවිතයේ දී ම යකෙක් වුණා. මට මේ පාපයෙන් නිදහස් වෙන්න ඕන. අපායෙන් ගැලවෙන්ට ඕන. අනේ මට අනුකම්පා කරල මහණ කරන්න.”

ළතෙත් සිත් ඇති අභය තෙරණුවෝ හරන්තිකයා පැවිදි කොට උපසම්පදා කළ සේක. සසර දුකට බියපත් වූ හරන්තිකයන් වහන්සේ අප්‍රමාදී ව දිවා රෑ වෙහෙසී සුළු කලෙකින් අරහත්වයට පත් වූ සේක.

“හාමිනේ… සත්පුරුෂ උත්තමයන්ගේ ආස්සරේ නිසා වරදට වැටුණු මිනිස්සු පවා පිරිසිදු ශාසනේ පිහිට ගත්තා නොවැ.

හැබැයි හරන්තිකයන් වහන්සේ මහණ උනේ ඕං මං කරපු වැඩේ හින්දා. දැං බලන්න එපැයි. මුනිවරයෙක් වගේ.

හැබෑට හාමිනේ, උන්වහන්සේ ඊයේ නම් හරි වෙනස්. මූණ බබළනවා ඉර හඳ වගේ. පුදුම සංසිඳිනු පෙනුමක්. මට නම් හිතෙන්නේ උන්වහන්සේ සංසාරෙ දුකෙන් එතෙර වෙලා වගෙයි.

හාමිනේ… අපි හෙට දානෙට හරන්තිකයන් වහන්සේටත් එක්කම සිවුරු පූජා කරමු නේ ද?

අපි මිනිස්සුන්ගේ වැරදි ඉස්සරහ ‘අසත්පුරුෂයි’ කියලා මැන්නට අපි කවුද මිනිස්සු මනින්න… ඇහ්… මහතෙරුන්නාන්සේ වගේ උත්තමයන්ගේ හඳ එළිය වගේ කරුණාව නිසා ලෝකෙ ම උඩුයටිකුරු වෙනවා!!!”

(ඇසුර : සද්ධර්මාලංකාරය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.