නිතර නිතර මෙත් සිත වඩන විට, බහුල වශයෙන් පුරුදු පුහුණු කළ විට සිතේ ඇති වන පංච නීවරණ ටිකෙන් ටික සංසිඳී යයි. නීවරණ සංසිඳීමෙන් හටගත් විවේකයෙන් යුතුව තව දුරටත් මෛත්‍රී භාවනාව කරගෙන යෑමේ දී ඇතිවන ප්‍රීතිය හා සැපය සහිත වූ සමාධිය ප්‍රථම ධ්‍යානය යි. මේ ආකාරයෙන් තවදුරටත් මෛත්‍රී භාවනාව කරගෙන යන විට ඔහුට දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන දක්වා සමථය දියුණු කර ගත හැකි ය. එපමණකින් නොනැවතී යමෙක් දියුණු කරන ලද මෛත්‍රී සමාධිය තුළින් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, තුවාල වශයෙන්, ආබාධ වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසා විදර්ශනා ප්‍රඥාව උපදවාගෙන ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය කොට අනාගාමී ඵලයට පැමිණ, සුද්ධාවාස බඹලොව උපත ලැබිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. යම් හෙයකින් මාර්ග ඵල ලැබීමට නොහැකි වුව ද ධ්‍යානයෙන් නොපිරිහී කලුරිය කළහොත් බඹලොව උපත ලබන බව ද උන්වහන්සේ දේශනා කළ සේක. මේ අයුරින් ආර්ය ශ්‍රාවකයෙකු මෛත්‍රී භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැන අපි පසුගිය මහාමේඝ කලාපයෙන් ඉගෙන ගත්තෙමු.
මෙත් සිත පැතිරවීමෙන් ලැබිය හැකි අසිරිමත් ආනිශංස ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. අද අපි ඒ මොනවාදැයි ඉගෙන ගනිමු.
ඇත්තෙන්ම මෙත් සිත පැතිරවීම කියන්නේ පින්කම් අතර මහා පින්කමක්. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පින්වත් මහණෙනි, මත්තෙහි සැප විපාක ලබාදෙන යම් පුණ්‍යකර්මයක් වෙයි ද ඒ සියලු පින්කම් මෛත්‍රී චිත්ත විමුක්තියෙන් දාසයෙන් පංගුවක් හෝ නොවටී. ඒ සියලු පින්කම් මැඩලා මෛත්‍රී චේතෝ විමුක්තිය ම බබළයි. පින්වත් මහණෙනි, රෑ අහසේ තාරකාවන්ගෙන් යම් ආලෝකයක් වෙද්ද එය පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකයෙන් දාසයෙන් පංගුවක් හෝ නොවෙයි.
පුන් සඳෙහි ආලෝකය තරු එළිය යටපත් කරගෙන ලොවෙහි අඳුර අභිබවා බබළයි. ඒ අයුරින්ම මත්තෙහි සැප විපාක ලබාදෙන යම් ඒ පුණ්‍යකර්මයක් ඇත්ද ඒ සියල්ල මෛත්‍රී චිත්ත විමුක්තියෙන් දාසයෙන් පංගුවක් හෝ නොවටී. ඒ සියලු පින්කම් අභිබවා මෛත්‍රී චේතෝ විමුක්තිය ම බබළයි.”
(මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රය, ඛු. නි.)
සාමාන්‍යයෙන් ලෝකයේ සිටින බොහෝ දෙනා ජීවිතයට කරදර, කම්කටොලු, බාධක නොයෙකුත් අඬදබර ආදිය ඇති වෙනකොට විසඳුම් සොයන්න පෙළඹෙන්නේ ද්වේෂයෙන්. එහෙම නැත්නම් ඇනුම් බැණුම් අඬදබරවලින්මයි. ඇතැම් වෙලාවට සිතක ඇතිවන ද්වේෂය මහා මනුෂ්‍ය ඝාතන දක්වා ම දුරදිග යනවා. එතකොට තව තවත් අවුලෙන් අවුලට පත් වෙනවා මිසක් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුරුදු කරන ශ්‍රාවකයාට නම් මෙත් සිත වැඩීම නිසා පෙනෙන නොපෙනෙන ලෝකවලින් එන අභියෝග හමුවේ නොසැලී සිටීමේ ශක්තිය ලැබෙනවා. ඒ ගැන නොයෙක් උපමාවලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
“පින්වත් මහණෙනි, තියුණු වූ මුවහත ඇති තලයක් තියෙන ආයුධයක් තියෙනවා. එතැනට පැමිණි පුරුෂයෙක් ඒ තියුණු ලෙස මුවහත් කළ තල ඇති ආයුධයක් අතින් මිට මොලවාගෙන නවනවා කියලා හෝ එකට එකතු කරනවා කියලා හෝ දිග හැර නැවත හකුළනවා කියලා හෝ උත්සාහ කළොත්, පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඒ පුරුෂයාට තියුණු ලෙස මුවහත් කර ඇති අර ආයුධය අතින් හරි මිට මොලවාගෙන නවන එක හෝ එකට එකතු කරන එක හෝ දිග හැර නැවත හකුළුවන එක කරන්න පුළුවන් දෙයක් ද?”
“ස්වාමීනි, ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි.”
“ඒකට හේතුව මොකක්ද?”
“ස්වාමීනි, ඒ ආයුධය තියුණු ලෙස මුවහත් වූ තල තියෙන එකක්. ඒක අතින් හරි මිට මොලවලා නවන එක හෝ එකට එකතු කරන එක හෝ දිග හරින එක හෝ ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි.”
“අන්න ඒ විදිහටමයි පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් මෛත්‍රී සමාධිය ප්‍රගුණ කර ගන්නවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ කර ගන්නවා නම්, ගමන් බිමන් යන වාහනයක් වගේ ප්‍රගුණ කර ගන්නවා නම්, පිහිටා තියෙන ගසක් වගේ ප්‍රගුණ කර ගන්නවා නම්, මනා කොට සිහිය රඳවා ගන්නවා නම්, ඉතා මැනවින් ප්‍රගුණ කර ගන්නවා නම්, ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා නම්, පින්වත් මහණෙනි, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහුගේ සිත කලඹවන්නට ඕන කියලා සිතනවා නම් ඒ අමනුෂ්‍යයාමයි වෙහෙසට පත් වෙන්නේ. ඒ අමනුෂ්‍යයාමයි පීඩාවට පත් වන්නේ.”
(සත්ති සූත්‍රය – සං. නි. 2)
මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන අපි ‘නිදහස් නිවහල් හුදෙකලා සත්වයන් වන්නෙමු’ යි සිතා සිටිය ද සත්‍ය තත්ත්වය නම් එය නොවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඉහත දේශනාවෙන් එය මනාව පැහැදිලි වෙනවා. එනම් මේ මිහිතලය මත අපට පෙනෙන සත්වයන් වගේම නොපෙනෙන සත්වයන් ද අප අතර ම ජීවත් වෙනවා. ඔවුන් යක්ෂ, ප්‍රේත, භූත ආදී නොයෙකුත් නම්වලින් හඳුන්වනවා. මේ අය අතර අප සමඟ සංසාරගතව වෛර බැඳ සිටින අය වුණත් ඉන්න පුළුවන්. ඇතැම්විට ඔවුන් අපට අනතුරක් කිරීමට හෝ අපගේ ජීවිතය නැති කර දැමීමට හෝ මාන බලමින් සිටිනවා විය හැකියි. තවත් සමහර අමනුෂ්‍ය කොටස් කේන්ති ගිය විට අපට අනතුරක් කරන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ගේ ශරීරවලින් යැපෙන අමනුස්ස කොටස් සිටිනවා. ඔවුන්ගෙනුත් මනුෂ්‍යයන් හට නොයෙකුත් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ලෙඩ රෝග පවා හැදෙනවා. ඇතැම් වෙලාවට අමනුෂ්‍යයන් මිනිස්සුන්ගේ ඇඟට ඇතුළු වී ආවේශ වන අවස්ථා තියෙනවා. ඒ කවර ආකාරයකින් වුවත් අපට ඇතිවන්නේ දුකක් පීඩාවක් කරදරයක්මයි. ඉතින් මෙවැනි අනේකවිද වූ දුක් කරදරවලින් සහනයක් ලබාගැනීම පිණිස බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයෙකුට පුරුදු කළ හැකි හොඳම දේ තමයි මෙත් සිත.
භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ කුල සූත්‍රයේ දී මේ කාරණාව තවදුරටත් පැහැදිලි කළ සේක. යම් නිවසක කාන්තාවන් බොහෝ සිටිනවා නම්, පිරිමින් සිටින්නේ ඉතාම ටික දෙනෙක් නම් සොරුන්ට ඉතාම පහසුවෙන් ඒ නිවෙසට ඇතුළු වෙන්න පුළුවන්. ඇතුළු වෙලා කැමති දෙයක් සොරකම් කරගෙන යන්න පුළුවන්. නමුත් යම් නිවසක පිරිමින් බොහෝ කොට සිටිනවා නම්, කාන්තාවන් සිටින්නේ ඉතාම ටික දෙනෙක් නම් සොරුන්ට ඒ නිවසට ඇතුළු වෙන එක පහසු නෑ. ඒ නිවසේ තියෙන උපකරණ පහසුවෙන් සොරකම් කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. එලෙසින් යමෙක් මෙත් සිත බොහෝ කොට වැඩූ විට අමනුෂ්‍යයන් හට ඒ කෙනාගේ ශරීරයට ඇතුළු වීම පහසු නැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.
ඒ විතරක් නොවෙයි; මෙලොවදීම අත්දැකිය හැකි ආනිශංස රාශියක් මෙත් සිතේ ඇති බව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කළ සේක. අද පවතින අවිවේකී ජීවන රටාව තුළ බොහෝ දෙනෙකුට සුව නින්දක් ලැබීමේ වාසනාව පවා අහිමි වී තිබෙනවා.
නොයෙකුත් අකුසල විතර්ක සිතමින් නින්දට යන බොහෝ දෙනා පාපී සිහින දකිමින් ඒ මේ අත පෙරළෙමින් රැය ගත කොට වෙහෙසකාරී කයෙන් යුතුවම උදෑසන අවදි වෙනවා. නමුත් මෙත් සිතින් යුතු කෙනා නිදාගන්නා අතරතුර පාපී සිහින දකින්නේ නෑ. තමන් වටේ සිටින මනුෂ්‍යයන්ට ද ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනි නම් මෙත් සිතමයි වඩන්න ඕනේ.
ඒ කෙනා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දෙවියන්ගේ රැකවරණයට පාත්‍ර වෙනවා. වස විෂ, ගින්දර අවි ආයුධවලින් සිදුවන අනතුරුවලින් පවා ආරක්ෂා කර දෙන අපූර්ව හැකියාවක් මෙත් සිතේ තියෙනවා. ඒ වගේ ම මෙත් සිත වඩන කෙනාගේ මුහුණේ පැහැය පවා වෙනස් වෙලා හරිම පැහැපත් වෙනවා. භාවනා කරන්න වාඩි වුණාම වහා සිත එකඟ වෙනවා. සිහි මුළා වෙලා, මරණ බයෙන් නන් දොඩවමින් මිය යන මිනිසුන් අතරේ හොඳ සිහිනුවණින් යුතුව මරණයට මුහුණ දීමේ ශක්තිය ලැබෙන්නෙත් මෙත් සිත වැඩීම නිසාමයි. මේ සියල්ලම මෙත් සිත වඩන කෙනෙකුට මේ ජීවිතයේ දී තමන්ට ම අත්විඳින්න පුළුවන් ආනිශංස.
මෛත්‍රී චිත්තය කියන්නේ හරියට දල්වපු පහනක් දරාගෙන ඉන්නවා වගේ. පළමුවෙන්ම පහනේ ආලෝකය ලැබෙන්නේ එය දරාගෙන ඉන්න කෙනාට. ඒ වගේම අවට ඉන්න අයටත් ඒ පහනේ ආලෝකය ලබන්න පුළුවන්.
මෙත් සිත වඩන කෙනාට වගේම ඒ කෙනා අවට සිටින අයට පවා මෙත් සිතෙන් මහා සෙතක් ශාන්තියක් සැනසීමක් ලැබෙනවා.
මේ සිදුවීම වුණේ අනුරාධපුර යුගයේ.
ඒ කාලයේ කරඬුලෙන කියන ආරණ්‍යයේ එක්තරා ස්වාමීන් වහන්සේනමක් වැඩ සිටියා.
උන්වහන්සේ දස දිශාවට ප්‍රමාණ රහිත වූ මෙත් සිත පතුරවනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වස් කාලය අවසානයේ කුටි සෙනසුන් අසුරා දමා චාරිකාවේ වැඩීම පිණිස සූදානම් වුණා. ‘හෙට උදෑසනම මම මේ ආරණ්‍යයෙන් වඩින්න ඕනි’ කියන අදහස ඇති කරගෙන ස්වාමීන් වහන්සේ රාත්‍රියේ කුටියේ වැඩ සිටියා. එක පාරටම කවුදෝ හඬා වැටෙන හඬක් ඇහෙන්න පටන් ගත්තා.
ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා “කවුද ඔය අඬන්නේ?” කියලා. ඒ වෙලාවේ එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. පෙනී සිට මෙහෙම පැවසුවා. “අනේ ස්වාමිනී, මම ඔබවහන්සේගේ කුටිය ළඟ ඉන්න දෙවි කෙනෙක්. ඔබවහන්සේ අපෙන් ඈතට වඩින නිසයි මම දරාගත නොහැකිව හඬා වැටුණේ. ඔබවහන්සේ මේ කුටියට වඩින්න කලින් මේ වනාන්තරයේ ඉන්න අමනුෂ්‍යයෝ එකිනෙකා මරාගන්නවා. රණ්ඩු කරගන්නවා. නමුත් ඔබවහන්සේ මෙත් සිත පතුරවන්න පටන් ගත්තට පස්සේ හැමෝටම ඒක තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ කැලේ ඉන්න අමනුෂ්‍යයන් එකිනෙකා ගැන තරහ දුරු කරලා සමඟියෙන් සතුටින් ඉන්නවා. ඉතින් ඔබවහන්සේ වැඩියොත් ආයෙත් මේ අය එකිනෙකා මරා ගනීවි. ඒ දුකටයි මට හැඬුම් ආවේ.”
ඒ දෙවියා සහ වනයේ සිටි අමනුෂ්‍යයන් ගැන අනුකම්පා කළ ස්වාමීන් වහන්සේ කරඬුලෙන ආරණ්‍යයෙන් වඩින අදහස අත්හැරියා. ඒ කුටියේ ම වැඩ හිඳිමින් මෙත් සිතම දියුණු කොට විදර්ශනා වඩා උතුම් අරහත්වයට පත් වුණා. ඒ ස්ථානයේ ම පිරිනිවන් පෑවා.
ඉතින් ඔබත් ඒ මෙත් සිත නම් වූ අසිරිමත් පහන් ආලෝකය දල්වා ගන්න. ලොවේ පැතිර යන කෙලෙස් අන්ධකාරය පහකොට ඔබගේ ජීවිතයත් ඒ ආලෝකයෙන් ආලෝකවත් කරගන්න.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.
නමෝ බුද්ධාය
සුනාථ ධාරේථ චරාථ ධම්මේ.