ආධ්‍යාත්මික හා භෞතික සෞන්දර්ය මානව විමුක්තිය උදෙසා මෙහෙයවූ මහා කාරුණිකයාණෝ.
තුන්ලෝකාග්ර වූ බුදුරජාණන් වහන්සේගේ පමණ කළ නොහැකි මහා ගුණ කඳ කාව්යාලංකාරයට නගා පද්‍ය හයසිය එකොළොසකින් පරිමිත මහා බුදුගුණ කාව්‍යයක් නිර්මාණය කළ වීදාගම මෛත්‍රීය මහ ස්ථවිරපාදයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්ව ප්රාතිහාර්යය සිය කාව්යාවලියෙහිලා මෙසේ උත්කර්ෂයට පත් කළහ.
සිහිලැල් පවනින් ගිම් මඩවාලීය
මෙසියල් ලොව සියබස් දොඩවාලීය
වියවුල් සත සිත තොස් වඩවාලීය
ගන බොල් බිම මහඬින් හඬවාලීය
මුහුද ද පිපී රැස් පඹෙරින් වැස්වීය
නුබ තල පිපී මල් වියනින් වැස්වීය
මුළු ලොව සුවඳ ඇති මල් වැසි වැස්වීය
සතර අපා දොර සුවසේ වැස්වීය
ජගත් විෂයීය සොබාදහම විසින් දායාද කරනු ලබන ජීවී වූ ද අජීවී වූ ද අප්‍රමාණ වූ සෞන්දර්යයේ ආස්වාදය තුන්ලෝ තලයේ සියල් සක්වළ ගැබ සිසාරා පැතිර ගිය ආශ්චර්යවත් මොහොත වූ කලී, සත්ව සන්තතිය ඇසුරේ අසංඛෙය්‍ය වූ කාල පරිච්ඡේදයක් පෙරුම් පුරා බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් අවස්ථාව.යි. දස දහසක් ලෝධා කම්පිත කරවූ ඒ මහා ප්රාතිහාර්යය සිදු වූ මොහොතේ ස්වභාවික පරිසරය දැක්වූ සෞන්දර්යාත්මක ප්‍රතිචාරය විදහා පෑ වීදාගම මාහිමිපාණන්ගේ පූර්වෝක්ත කාව්‍ය ද්වය ඒ විෂය අරභයා නිර්මාණය වූ විශිෂ්ටතම පැබැඳුමක් වන්නේ ය.
සිහිල් පවන් හමා ගිමන් නිවා දැමුණි. සියල් සතන් මුවින් සුමුදු වදන් නැගිණි. සිතෙන් තැවුල් සිඳී සතොස් හැඟුම් වැඩුණි. ගණ බොල් බිම සැලී මහත් හඬින් හැඬිණි. මුහුද පිපි සුසුදු නෙළුම් මලින් වැසිණි. අහස පිපි මල් වියනින් වැසී ගියේ ය. සුවඳ වතුල මල් වැස්සෙන් ලොව නැහැවිණි. සතර අපා දොරටු වැසිණි.
ඒ වූ කලී කවර නම් අසිරියක් ද? සමස්ත විශ්වයේ ම සෞන්දර්ය ප්‍රවාහය මානව විමුක්ති මාර්ග සාධනය උදෙසා යොමු වූ ඒ උතුම් දිනයේ සියලු ලෝධා සැලී ප්‍රකම්පිත වීම නියතියක් ම වන්නේ ය. එතැන් පටන් වසර දෙදහස් හයසියයකට අධික කාලයක් ලෝක සත්වයන්ගේ හිත සුව හා විමුක්තිය උදෙසා ම විවෘතව පැවති ඒ සොඳුරු දහම් මඟ චිරාත් කාලයක් සුරැකිව පවතීවා! යන්න සත්පුරුෂ ජනයාගේ නිමල පැතුමයි. ඒ සදහම් මඟ හා නිශ්කාමී පරිසරයේ අවියෝජනීය සබඳතාව පවත්නා තුරු ශ්‍රී සම්බුද්ධ දේශනාවන් ලොව බැබළෙමින් පවතිනු ඇත.
බුදුරජාණන් වහන්සේ තරම් පරිසරය වින්දනය කළ, එය මානව සංහතියේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා මෙහෙයවූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු මානව ශිෂ්ටාචාරය තුළ පහළ වූයේ නැත. මානවයාගේ ජන්ම දායාදයක් වන සෞන්දර්යාස්වාදයෙන් ජනිත වින්දනය, ආධ්‍යාත්මික පරිශෝධන ක්‍රියාදාමයක් වශයෙන් නියතාර්ථයෙන් ම යොදා ගනු ලැබුයේ බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසිනි. සමස්ත සත්ව වර්ගයාගේ ම පැවැත්ම හා මුක්තාරම්මණයන් සමඟ බැඳී පවත්නා පරිසරය මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවරයට මෙන්ම අනේකවිධ වූ කුසලතාවයන් හොබයා එමගින් ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කරගැනීමට ඉවහල්වන අයුරු සහේතුකව ලොවට හෙළි කර දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විසිනි. ඒ පරමාදර්ශී ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ මුළු මහත් දිවි පෙවෙත, පරිසරයේ රමණීය තෝතැන්න වන තුරුලිය ගොමු, වනලැහැබ්, ගංගා ඇළ දොළ, මහ සමුදුර හා බැඳුණේ වෙයි.
තුන් ලෝවාසීන්ගේ හිතසුව උදෙසා.ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සදහම් මඟ උන්වහන්සේ උපමා කොට ඇත්තේ සුපුෂ්පිත මලින් ගැවසීගත් මනරම් වන රොදකට ය.
“වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ග්‍රීස්ම ඍතුවේ මුල්ම ගිම්හානය වූ වසන්ත කාලයේ වනගොමුවල ලස්සනට මල් පිපෙනවා. ඒ විදිහටමයි ලෝක සත්වයාට පරම සෙත සලසන ඒ අමා නිවන කරා රැගෙන යන උතුම් ධර්මය වදාළේ.”
පුහුදුන් ජන සමාජය හා පොර බදමින් අත්විඳින ජීවන අරගලයෙන් මිදී ආර්ය මාර්ගයට සුව පහසුව එළවන, නිර්වාණාවබෝධයට මඟ සලසන පරමාස්වාදයක් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත වන බව ඒ උතුම් ගාථා රත්නයෙන් ගම්‍ය වෙයි. විමුක්ති සුවය ම අරමුණු කොටගත් රහතන් වහන්සේලා පාරිසරික සෞන්දර්ය ඇතුලු ලෝකයේ අනේක විසිතුරු අරමුණු ද එම ලෝකෝත්තර අරමුණ උදෙසා ම යොමු කොට ආධ්‍යාත්මය අවදි කරගත් ආකාරය අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ පහත දැක්වෙන ගාථා රත්නයෙන් කියැවෙයි.
“සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්’ති.
පුරුෂයාගේ කාමය යනු සංකල්ප රාගයකි. ලෝකයෙහි විසිතුරු අරමුණු වෙත් ද, ඒවා කාමයෝ නොවෙති. පුරුෂයාගේ කාමය යනු සිතුවිලිවල හටගන්නා රාගය යි. ලෝකයෙහි විසිතුරු අරමුණු ඒ අයුරින් ම තිබෙයි. එහෙත් නුවණින් එඩිතර වූවෝ ඒ කෙරෙහි ඇති ආශාව දුරලති.”
බුදු සමය අනුදැන වදාරන්නේ පාරිසරික සෞන්දර්යය තුළ ඇති චිත්තාකර්ෂණීය බව ආස්වාදනය කළ යුත්තේ උපාදනයෙන් තොරව යථාභූත ඥානයෙන් රස විඳීමෙන් බවයි. ධම්ම පදයේ අරහන්ත වර්ගයේ දැක්වෙන පහත සඳහන් ගාථාවෙන් පටු කොට දැක්වෙන්නේ ද පූර්වෝක්ත අදහස ම ය.
“රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති
න තේ කාමගවේසිනෝ
මහා වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.”
කාමය සොයා යන රාගිකයා නොඇලෙන රමණීය වන අරණට වීතරාගීහු ඇලුම් කරති. ඒ උතුමෝ සොබාදහම කෙරෙන් නිෂ්කාමී වූ සෞන්දර්ය රසයක් විඳිති. එකම පරිසරයක චමත්කාරය තුළින් කෙනෙකුට විරාගයත්, තවත් කෙනෙකුට කාමයත් අත්විඳින්නට ලැබුණේ පරිසරයේ පවත්නා වෙනසක් නිසා නොව මනසේ හා දෘෂ්ටියේ වෙනස නිසා ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ විසූ රජ, සිටු, බමුණු හා වෙනත් කුලවල පිරිස් සම්බාධ බහුල ගිහි ජීවිතයෙන් නික්ම උතුම් පැවිදි දිවියට ඇතුළත් ව හුදෙකලා ව වන වාසයට ගොස් නිෂ්කාමී පරිසරයෙන් විඳි නිරාමිස ප්‍රීතිය නිවන් මඟට උපකාර කරගත් ආකාරය අනාවරණය කළේ අතිශය ප්‍රබෝධයෙන් බව ථේර ථේරී ගාථා විමසන විට පෙනී යයි. ථේර ගාථා පාළිය ආරම්භ වන්නේ සුභූති තෙරුන් වහන්සේ කළ පරිසර වැනුමකිනි. තමන් වහන්සේ වැඩ වසන වන කුටිය අවට පරිසරයෙහි පවත්නා වැස්ස, සුළඟ, මේ ගැජුම් ආදී ස්වාභාවික උපද්‍රව මැද සමාහිත සුවයෙන් යුතුව වීර්යය වඩා බවුන් වඩන බව පවසන උන්වහන්සේ හැකි නම් තමන් විඳින සුවය සසල කරන ලෙසට පරිසරයට ද අභියෝග කරයි.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර කාව්‍යානුභූතීන් පළ කිරීමේ හා රස භාවජනක වැනුම් ඉදිරිපත් කිරීමේ වෙසෙසි සමත්කම් දැක්වූ රහතන් වහන්සේලා කිහිපනමක්.ම වැඩ විසූහ. උන්වහන්සේලාගේ පරිසර වැනුම් අතිශය භාවාත්මක වදන් සිත්තම් වැන්න. දිය ඇලි ඇද හැළෙන ගිරිශිඛර මත, විවිධ නාද රටා නඟන සියොත් කැළ සරන වන ගැබකට පිවිස බවුන් වඩන තාලපුට රහතන් වහන්සේ, තමන් වහන්සේ ලැබූ අත්දැකීම සිතින් මෙනෙහි කරමින් නිරාමිස ප්‍රීතිය හා හුදෙකලා විවේක සුවය විඳි අයුරු රමණීය කවි කල්පනයකට නඟා පළ කෙළේ මෙපරිද්දෙනි.
“වුට්ඨම්හි දේවේ චතුරංගුලේ තිණේ
සංපුප්ඵීතේ මේඝනිභම්හි කානනේ
නගන්තරේ විටපිසමෝ සයිස්සං
තං මේ මුදූ හේහිති තූලසන්නිභං
වැස්ස කාලෙට තණකොළ වැවෙනවා අඟල් හතරක් විතර උසට. මහ වනයෙ මල් පිපෙන්ට ගන්නවා වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරෙ බිම තමයි නිදාගන්නෙ. ඒ නිල් තණ බිම අළුත් යහනක් වගෙයි. හරිම මෘදුයි.”
සොබාදහම හා ඒකාත්මිකව බවුන් වඩන භූත රහතන් වහන්සේ තම චිත්ත සන්තානයේ උපන් සතුට ගාථාවකින් ප්‍රකාශ කළේ මේ අයුරිනි.
“යදා නභේ ගජ්ජති මේඝදුන්දුභි
ධාරාකුලා විහගපථේ සමන්තතෝ
භික්ඛූ ච පබ්භාරගතෝ’ව ඣායති
තතෝ රතිං පරමතරං න වින්දති
අහස ගොරවනවා. අහස පුරාම වැස්ස වහිනවා. එතකොට ඒ භික්ෂුව ඉන්නෙ කන්දෙ ගුහාවක. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.”
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දවස විසූ රහතන් වහන්සේලා වස්සාන සමයෙහි වන උයන්වල භාවනා කරමින් විමුක්ති සුව විඳිමින් පළ කළ එබඳු නිරාමිස රස වින්දනයක් එදා මෙදා තුර ලොව කවර නම් සාහිත්‍යාංගයකින් ලැබිය හැකි වේ.ද? බුදුරජාණන් වහන්සේ සමීපයෙහි ආර්ය මාර්ගයට පිළිපන් මහරහතන් වහන්සේලා අතුරින් කාළුදායී රහතන් වහන්සේ ද පරිසරය ඇසුරු කොට රමණීයාර්ථ පද භෝජනයෙන් විමුක්ති කාව්‍ය බන්ධනයට වෙසෙසි සමත්කම් දැක්වූ ආර්යයන් වහන්සේනමකි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීමට පෙර ඒ සඳහා කාව්‍යමය වැනුමකින් උන්වහන්සේ උනන්දු කරවන ලද්දේ කාළුදායී මහරහතන් වහන්සේ විසිනි. ඒ වන වැනුමේ ගාථා පාඨයේ සිංහල භාවය මෙසේ ය.
“මහා වීරයන් වහන්ස, ඔබවහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කොළ හලා නව දළු දමා නැගී සිටින තුරු මඬුලු ඵල දැරීමට ආසන්න ය. අතු අග පිපී වැනෙන මල් ගිනි අඟුරු මෙන් දිලිසේ. ඇතැම් තුරු මුදුන් ගිනිසිළු පැහැයෙන් බබළයි. ශාක්‍ය ජනපදවාසීන්ට පිහිට වීමට දැන් කාලය යි. තුරුලිය මත පිපි මලින් හාත්පස සුවඳවත් ය. ගස්වල කොළ හැළුණේ ගෙඩි බලාපොරොත්තුවෙනි. මහා වීරයාණෙනි, දැන් පිටත් වීමට හොඳ ම කාලය යි.
මහා වීරයන් වහන්ස, වැඩි සීතලත් නැති – උණුසුමත් නැති දේශගුණයකුයි දැන් බලපවතින්නේ. මේ තරම් සොඳුරු කාලයක් තවත් නොමැත්තේ ය. ශාක්‍ය වංශිකයෝ ද කෝලිය වංශිකයෝ ද ඔබවහන්සේ වඩින තුරු රෝහිණී නදිය දෙපස බලා සිටින්නාහු ය. හිරුට පිටුපා රෝහිණී නදිය තරණය කරන සේක්වා!’
ස්වාභාවික සෞන්දර්යය අලලා මේ තරම් සොඳුරු වැනුමක් සහිත ඇමතුමක් කළ හැක්කේ ද ඊට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද නිෂ්කාමී හැඟුමින් යුතු මහා පුරුෂයන්ට පමණකි. සිත වසඟ කරන සෞන්දර්යයට නොඇලී එය ඇසුරින් නිරාමිස වූ පිවිතුරු වූ අනුපාදනය වූ වේදිතයන් ස්පර්ශ කරන උතුමන්ට පමණි. බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ ශ්‍රාවකයෝ එබඳු නිෂ්කාමී රසිකයෝ වන්නාහ.
වීතරාගීන් ඇලෙන්නා වූ ද ආධ්‍යාත්ම ගුණ සුවඳින් පිළිපන් වූ.ද බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් මඟ සිරිලංකාවට ද හදුන්වා දුන් මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු දහම් අවවාදය ද පරිසරය හා බැඳුනේ වෙයි. එදා සිට මෙදාතුර දක්වා ලාංකේය සැදැහැති ජනකායගේ විමුක්ති සාධනය උදෙසා පරිසරයේ ආධ්‍යාත්මික හා භෞතික සෞන්දර්ය ස්වකීය දහම් වැනුම් මඟට යොමු කොටගත් සංඝ පීතෘවරයන් වහන්සේලා අතර වීදාගම මෛත්‍රීය හිමිපාණන් වහන්සේ ද අග්රේශ්වරයෙකු වන්නේ ය.
වීතරාගීන් ඇලෙන නිෂ්කාමී පරිසරය අලලා උන්වහන්සේ විසින් වර්ණිත, මෙම නිබන්ධනය ආරම්භයේ දැක්වුණු කාව්‍යද්වය වූ කලී බුදුසිරිත අලලා නිර්මිත සෞන්දර්යාත්මක ප්රාතිහාර්යයක් වැන්න.
සටහන – දයාපාල ජයනෙත්ති.
Recent Comments