“සේගු අහවල් කාරියක් ද උඹ ඔතන කරන්නේ?” යි ගඟේ දිය නාමින් සිටි ඔස්මන් කෑගසා ඇසුවේ ය. කළු ගඟත්, ප්‍රධාන මාර්ගයත් අතර අඩි විසිපහකට ආසන්න යැයි සිතිය හැකි පටු බිම්තීරයක වූ තම නිවෙස ඉදිරියේ වළක් හාරමින් සිටි සේගු මිතුරාට පිළිතුරක් දීම වෙනුවට කළේ තමා කරමින් සිටි කාර්යය වේගවත් කිරීම ය. දියෙන් ගොඩ නැගි ඔස්මන් සිරුරේ බේරෙන දිය දෑතින්ම පිසදමමින් සේගු සිටි තැනට සමීප විය.
“පැළයක් හිටවන්න.” සේගු කීවේ නොසැලකිල්ලෙනි. “පැළයක් ද? ගහක් ද? මේ තරම් ලොකු වළක්?” “ඔව්. මේක.” සේගු තමාට මඳක් ඈතින් විශාල නුග මුලක හටගෙන තිබුණු පැළය දෙසට ඔස්මන්ගේ අවධානය යොමු කරමින් පැවසීය. නුග පැළය දුටු ඔස්මන්ගේ මුවඟට සිනාවක් නැඟිණි. ඔහු තුළ සේගු පිළිබඳ උපන්නේ අනුකම්පාවකි.
“ගමේ උන් කිව්වට උඹ මෝඩයෙක් කියල අද තමයි මට තේරුනේ.” ඔස්මන් කී දේ සේගුට නොතේරුණි. සේගු කරමින් සිටි කාර්යය නවතා ඔස්මන් දෙස බලා සිටියේ කුඩා දරුවෙකු මෙනි.
“ඇයි? ගස් දෙවෙනි වෙන්නේ දෙවියන්ට විතරයි.” ඔස්මන් කතා නොකළත් සේගු පැවසීය.
“කොහෙන්ද මේක හම්බ වුණේ? අහල පහළකින් නම් වෙන්න බෑ.” ඔස්මන් නුග මුල කකුලකින් පෙරළමින් ඇසීය.
“පය තියන්නෙපා. ඕක ගඟේ පා වෙලා ආවෙ.” සේගු කීවේ දැඩි ස්වරයෙනි. ඔස්මන් ඉක්මනින්ම නුගමුලෙන් කකුල ඉවතට ගත්තේය. ඔහුගේ මුවගේ තිබූ සිනහව අතුරුදන්ව ඇති බව දුටු සේගු, “ඇයි උඹ ගස් හිටවනවට අකමැති?” යි ඇසුවේ මිතුරා අමනාප වේ යැයි සිතා ය.
“ඇයි මනුස්සයෝ නුග ගස් ලොකු වෙනකොට හැමතැනම මුල් යනවා නේද. ඔක්කොටම වඩා මේ ගේ ඉස්සරහ නුග හිටවන්නේ මොන මෝඩයා ද. එක්කෝ මුල් ගිහින් මේ ගේ පුපුරල කඩා වැටෙයි. නැත්නම් ගහේ බරටත් එක්ක පස් කණ්ඩිය ගඟට කඩා වැටෙයි. උඹට තේරෙන්නේ නැද්ද කොහොම උනත් අන්තිමට සිද්ධ වෙන්නේ උඹට විනාශයක් කියලා?” ඔස්මන්ගේ වචන සේගු ගණනකට ගත්තේ නැත. ඔහු බුලත් හපමින් දුර්වර්ණ වී ගිය දත්වලින් ඔස්මන්ට සිනාසුණි.
“හැටි, වඳුරා වගේ. මෝඩයෙක් නොවී ඕක නතර කරපන්.” ඔස්මන් කීවේ විධානයක ස්වරූපයෙනි. සේගු තුළ උපන්නේ කෝපයකි. හේ මිට දිගු උදැල්ල දෑතින්ම ගෙන ඔස්මන් දෙස බැලුවේ ගොදුරක් දෙස බලන දිවියෙකු මෙනි.
“උදලු පාරක් නොකා මෙතනින් මකබෑවියන්.” එය සිදු නොවිය හැකි බවට විශ්වාසයක් ඔස්මන් තුළ නොවූයෙන් හෙතෙම සේගු වෙතින් ඉවත්ව ගියේ තමාට පමණක් ඇසෙන සේ මොනවදෝ කොඳුරමිනි.
“තරහා ගන්න කාරි නෑ, උඹ කියන නිසාම මං මේ පාර අලුත් මිනිහට ඡන්දෙ දෙනවා.” ක්ෂණිකව කෝපය සංසිඳුණු සේගු ඔස්මන්ට කෑගසා කීවේ ඔස්මන් පිටව ගියේ අමනාපයෙන් බව සිතමිනි.
“මේක ලොකු වෙච්ච කාලෙක මිනිස්සුන්ට පිහිටක් තියේවි.” යි සේගු නැවත කෑගසා කීවේය. ඊට ද ප්‍රතිචාරයක් නොදැක්වූ ඔස්මන් කෝපය පිට කරන්නට මෙන් වේගෙන් දියබුං ගසමින් නාන්නට විය.
“හැම මිනිහට ම කරන්න නියමිත වැඩක් තියෙනවා.” යි කියා තමාටම කියාගත් සේගු ඉක්මනින්ම නුගය සිටුවා අවසන් කළේ ය.
හතළිස් තුන් හැවිරිදි සේගු ගමේ තොටියා විය. පරම්පරාවෙන් ලැබුණු රැකියාව නිහඬව කරගෙන ගිය සේගු වරක් නොව දෙවරක් ම විවාහ වුව ද ගෑනු දෙදෙනාම ටික කලකින්ම සේගුව අතහැර වෙනත් කසාද කරගත්තෙන් වසර කිහිපයක සිට ඔහු ජීවත් වන්නේ තනිවම ය. වරිච්චි බිත්තිවලින් යුතු සේගුගේ නිවස පොල් අතු සෙවිලි කොට තිබූ අතර පරණ ඇඳකුත්, මේසයක් සහ කබල් පුටු තුනකුත් ගෘහ භාණ්ඩ වශයෙන් එහි තිබුණි.
තරමක් උස කෙට්ටු මිනිසෙකු වූ සේගු තුළින් බාහිරට පෙනෙන්නේ උදාසීන බවක් වුව ද ඔහු කිසියම් කටයුත්තක් කරන කල්හි යන්ත්‍රයක් මෙන් ක්‍රියා කළේ ය. ඔරුව පැදීමෙහිලා කිසිදා ඔහුට නියමිත වෙලාවක් නොවුණි. දවසේ ඕනෑම මොහොතක අදාළ තොටුපළවල් දෙසින් හූ හඬක් ඇසුණි නම් දෙවරක් නොසිතාම දෙසිතක් නූපදවා සේගු ඔරුව පදියි.
“මේක මට දෙවියන් පවරපු කාරිය.” කවුරුන් හෝ ඒ පිළිබඳ විමසූ විට සේගු කියයි. එවලෙට ඔහු තුළ උපදින්නේ වෙසෙස් සතුටකි. කිසිදා පාසල් නොගිය සේගුගේ හිතේ වැඩ සිටිය දෙවියන් ගැන දැන සිටියේ ද ඔහු පමණකි.
“මීට වඩා හොඳ දවසක් දෙවියන් මිනිස්සුන්ට උදා කරාවි” යි සේතු නිතර කියයි. ඒ පිළිබඳ ඔහු තුළ ඇති විශ්වාසය ගමේ සමහරක් පිරිස් තුළ.ද සේගු පවසන දෙවියන් පිළිබඳ කිසියම් අපේක්ෂාවක් දල්වන්නට සමත් විය.
“උඹේ දෙවියෝ කිසි දවසක නිකමටවත් මේ පැත්ත බලලා නැහැ. බලපන් මේ මිනිස්සු විඳින දුක.” සේගු සමඟ පිළිසඳර කතාවක දී දාවිත් පැවසීය. දේව සංකල්පයට තදින්ම විරුද්ධව සිටි පුද්ගලයා දාවිත් ය.
“දෙවියන්ට ගොඩක් වැඩ ඇති. ඒත් දවසකදි අපි ගැනත් බලනවා කියලා මට හොඳටම විශ්වාසයි.”
“විකාර නැතුව මලක් පහනක් පූජා කරල බුදුන් වැඳගෙන හිටපන්. ඒක දෙලොවටම ආරක්ෂාවයි.”
“උඹල උඹලගේ වැඩක් බලාගනිල්ලා. මං මගේ වැඩේ බලාගන්නම්. එච්චරයි.” සේගු දැඩිව කීවේය. දාවිත් නිහඬ වූයේ සේගු සමඟින් වාද කිරීම නිෂ්ඵල දෙයක් බව දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් නුගය සිටුවීම පිළිබඳව නම් ගම්මු නිහඬව හිටියේ නැත. හේතුව වූයේ නුගය වැඩුණු පසු කණ්ඩිය කඩා වැටුනොත් ගඟ පාර අයිනටම එන නිසාවෙනි.
“මට නැති අමාරුවක් උඹලට මොකද? මේක මගේ ඉඩම.” සේගු ද ගම්මුන්ට යටත් වූයේ නැත.
“මේක දෙවියන්ට බාර කරල තියෙන්නෙ. එකෙක් හරි අත තියලා තිබුණොත් බලාගත්තෑකි. ඔන්න මං නරක මිනිහයි කියන්න එපා.”
සේගු නුගය වටා සවිමත් ලෙස වැටක් ද බැන්දේ ය. උදේ හවස වතුර දැම්මේ ය.
“හොඳා හොඳා. උඹට ඉතින් දරුවොත් නැති එක ඔයිට නරක ද බල්ලෙක් බළලෙක් හදාගත්ත නම්.” අන්දිරිස් ආතා කීවේ ඔරුවේ ගමන් කරන අතරේ දී ය. එසේ නොවුණේ නම් ඔහුගේ ඉරණම එතරම් හොඳ නොවෙනු ඇත.
“එගොඩ කරන්න කියලා උඹෙන් සල්ලි ගන්න නිසා බේරුණා කියලා හිතාගනිං.” සේගු කීවේ කෝපය මැඩගෙන ය. අන්දිරිස් ආතා එදායින් පසු කිසිදිනෙක සේගුගේ නුගය ගැන කථා කළේ ම නැත. නුගය පිළිබඳ ගම්මුන්ගේ විරෝධය අඩුව ගියේ සේගුට ඇති බිය නිසාම නොවේ. අලුතෙන් පත්වූ මන්ත්‍රීවරයා ගමට පාලමක් ලබාදුන් බැවිනි. තොටුපළට ඉහළින් ගමේ පටු තැනක පාලම හැදීම ආරම්භ විය.
“යසයි උඹ කරගත්ත වැඩේ. අරූට ඡන්දේ දීලා රස්සාවට කෙළවගත්තා නේද?” විරුද්ධ පක්ෂයේ අය සේගුට හිනා වුණත් සේගු ඒවා ගණන් ගත්තේ නැත.
දෙවියන් ගම දෙස බලා ඇති නිසා ගමට පාලමක් ලැබුණු බව ඔහු ගම්මුන්ට කීවේ ය.
“දෙවියන්ට වඩින්න විමානයක් තිබිලා නැහැ. නුගේ හිටවලා මහකලක් ගියා ද බලපල්ලා ගමට වෙච්ච යහපත. පාරයි පාලමයි දෙකම එක සැරේ හදනවා.”
ගමේ ඇති වූ වෙනස සේගු කියන දෙවියන්ගේ හාස්කමක් යැයි ගමේ කිසිවකුත් ම විශ්වාස කළේ නැත. සේගු ඒ ගැන කියන වෙලාවට මිනිස්සු කළේ හිනාව තද කරගෙන සිටීම පමණි. නමුත් එක්තරා රාත්‍රියකට පසු සියල්ල වෙනස් විය. නුගයට දේවතා එළියක් වඩින අයුරු සියැසින් ම දැක තිබුණේ නුගේ සිටුවීම සම්බන්ධයෙන් සේගු සමග වඩාත් ම විරුද්ධ ව සිටි දාවිත් විසිනි.
“අම්මපා එහෙම වැඩක්. ඇත්තටම නුගයට දෙවියෝ වැඩිය. මේං කියනකොටත් මගේ ඇඟේ හිරිගඬු පිපෙනවා.” දාවිත් ගම පුරා ම කීවේ.ය. ඉනික්බිතිව ගෙවී ගිය මාස තුනක කාලයේ දී ගම්මු දාහතර දෙනකු විසින් නුගයට දේවතා එළි වඩිනු දැක තිබුණි. ගමේ කාටත් පන්සල අමතක විය. සේගු විසින් නුගය වටා ඉදිකර තිබූ ලී වැට ඉවත් කළ ගම්මු එක දවසකදි නුගය වටා අඩි තුනක් උසට ගඩොලින් බැම්මක් ඉදි කරන ලදී. නුගයට බාරහාර නොවුණ කෙනෙක් ගමේ නැත. කොඩි වැල්වලින් නුගයේ කඳ කොටස වෙලී ඇත. සතියේ දින හතරෙදිම පුද පූජා පැවැත්වුණ අතර බදාදා සහ සෙනසුරාදා දිනවල විශේෂ පූජාව ද පැවැත්වුණි.
“සෝමට කෙල්ල ව දීග දීගන්න බැරුව කොයිතරම් කාලයක් බලන් උන්නා ද? දෙයියන්ට බාර වෙලා දවස් හතයි පාලමේ වැඩට ආව එකෙක් එක්ක පැනල ගියේ යස අගේට.” වඩාත්ම සිදු වූයේ එවැනි හාස්කම් ය. දියණිය පැන ගොස් තිබුණේ දෙදරු පියකු සමග වූයෙන් දින කිහිපයකට පසු නැවත ගෙදර ආව ද ගමේ කිසිවෙකු ඒ ගැන කතා කළේ නැත.
“සාමෙලාට පාලමේ බඩු මුර කරන රස්සාව හම්බවෙලා. ඉස්තීර උනාම ආණ්ඩුවේ සේවකයෙක්නේ. ගමේ කාට ද මෙච්චර කාලයකට පැන්ෂන් තියෙන රස්සාවක් ලැබුණේ.”
ගම නින්දකින් පිබිදියාක් මෙන් විය. නුග දෙවියන්ගෙන් තොර ජීවිතයක් ගම්මුන්ට නොවන තරම් ය.
“හිතේ තියෙන දේ හරියට දෙවියන්ට කියාගන්න බෑ. සේගුවා දොරකඩ ඉඳන් අහගෙන ඉන්නවා.”
“සේගුව ඔතනින් අයින් කරලා දේවාලයක් හදමු.”
ඉනික්බිති ව ගමේ අලුත් මාතෘකාව නුගය යට දේවාලයක් ඉදිකිරීම විය. කපුකම තමාට කළ හැකි බව දාවිත් ගම්මුන්ට කීවේ ය.
“සේගුව කැමති වෙයි ද?”
“එහෙම කොහොමද… හරියට හොයලා බැලුවොත් ඕකුං පිටගංකාරයෝ. සුද්දගේ කාලේ මිනිරන් ඇදපු පාර හදපු එවුන්.” නුගය ළඟින් ඉවත්ව ගමේ පන්සලට නුදුරුව තැනක හදාදෙන අලුත් නිවසක පදිංචියට යන ලෙස සේගුට මුලින් දන්වා සිටියේ ද දාවිත් විසිනි.
“මං කොහෙවත් යන්නෙ නෑ. මේක මං උන්න තැන. මං කවදා හරි මැරෙන්නෙත් මේකෙම තමයි.” සේගු එක එල්ලේම ගමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ ය.
“එහෙම නෙවෙයි සේගු. උඹට මොකක් හරි රස්සාවක් හොයලා දෙන්නම්. හෙට අනිද්දට පාලම විවෘත කළාම කරන්න දේකුත් නැහැනේ. මෙතන ඉඳලා මොනවා කරන්න ද?” දාවිත් පෙරැත්ත කළේ නමුත් කැමති වූයේ සේගු නොවේ.
පාලම ද විවෘත විය. එදින ගමේ කතාව වූයේ අලුත් මන්ත්‍රීවරයා පිළිබඳව ය. හතළිස් වසරක ඔරුව පැදි සේගු ව කාටත් අමතක ව තිබුණි.
“ඉඩම ගත්තොත් දේවාලේ මන්ත්‍රීතුමාගේ පෞද්ගලික සල්ලිවලින් ම හදලා දෙනවා කිව්වා.”
“හොඳින් හරි නරකින් හරි සේගු ව පන්නමු.”
එදා රාත්‍රියේ දී නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තැබුවේ සේගු නිවස තුළ සිටිය දී ම ය. ගිනි බුර බුරා නැගෙද්දී අවදිව එළියට පැනගත් සේගු දර පලන පොරොව ගෙන නුගය කපන්නට සැරසුණේ මේ සියල්ලට මුල නුගය බව තේරුම්ගෙන ය. එහෙත් ඔහුට සිතූ දේ කරන්නට අවස්ථාවක් නොලැබුණි. නිවසට ගිනි තබා සැඟව සිටි කිහිප දෙනා එක පොදියට සේගුට පහර පිට පහර දුන්නේ කිසිදා දැක නොතිබූ සතුරෙකුට පහර දෙන්නාක් මෙනි.
“මැරුම් නොකා දැන්ම ගමෙන් පල.” දාවිත් සේගුගේ බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ගුගුළේ ය. ආපසු හැරුණු සේගු යමක් කියන්නට උත්සාහ කළත් ලේ ගලන ඔහුගේ මුවින් වචන පිට නොවුණි.
“බල්ලනේ මං පරාදයි. තොපි දිනුම්.”
ඒ වචන සේගු තුළ ම ඉපදී සේගු තුළ ම මියැදුනි. ඉන්පසු කිසිදිනක සේගු එගම නොවී ය.
පසුවදන…
වැළඳගත් මිථ්‍යාදෘෂ්ටිය විසින්ම අවසානයේ දී එය වැළඳගත් තැනැත්තා ව අසරණ කොට විනාශකර දමයි.
ඉරේෂ් උමයංග බණ්ඩාර.
Recent Comments