මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගැනීමට කැමැති යම් අයෙක් වේ නම් ඔහු හෝ ඇය මනා සේ තිසරණ සමාදන්ව ධර්ම මාර්ගයේ හැසිරිය යුතු වෙනවා. එවිට දෙවියන් විසින් ද ඒ පුද්ගලයාට වන්දනාමාන කරනු ලබනවා. ඒ වගේ ම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන ආකාරය මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. අප කරන පින්දහම් අනුමෝදන් වන දෙවියෝ අපට ආශීර්වාද කරනවා. එයයි දෙවියන්ගෙන් අපට ලැබෙන රැකවරණය. තෙරුවන් සරණ ගිය කාන්තාවක් දෙවියන් ඇසුරු කළ යුත්තේ කෙසේද කියා අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.
සරණ හඳුනාගත් කාන්තාව අසරණ නැහැ
තෙරුවන් සරණ ගිය කාන්තාව අසරණ තැනැත්තියක් නොවෙයි. ඇයට බුදුරජාණන් වහන්සේගේ, ධර්ම රත්නයේ, ශ්‍රාවක සංඝරත්නයේ සරණ තිබෙනවා. එනිසයි ඇය උපාසිකාවක් බවට පත්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ඇයට සරණක් තිබෙන නිසා කරදරයක්, පීඩාවක්, අනතුරක්, දුකක් ඇතිවුණාම සිහි කළ යුතු දෙයක් තිබෙනවා. මෙනෙහි කරමින් පිහිටක් ගත යුතු දෙයක් උපාසිකාවකට තිබෙනවා. යම් කාන්තාවක් දුක්පීඩාවල දී කරදරයක දී දෙවියන් යදිමින්, අයදිමින් කටයුතු කරනවා නම් තමන් තෙරුවන් සරණ ගිය කෙනෙක් ද කියා ඇයම නුවණින් බලන්න ඕන.
අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය දෙවි දේවතාවරුන් දෙව්ලොව සිටිනවා. දිනක් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිද්දී සක් දෙවිඳුන් සුන්දර තරුණයෙකුගේ වෙස්ගෙන ඒ ගම පුරා නටමින්, ගයමින් ප්‍රීිතියෙන් ගමන් කළා. එවිට ගම්වැසියන් අසනවා මෙතරම් සතුටින් සිටින ඔබ කවුද කියා. සක් දෙවිඳු කියනවා, ‘මම භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා.’ කියලා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ දෙවිවරුන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසක පිරිසක්. දේවතාවියන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසිකාවන් පිරිසක්. එහෙමනම් දෙවිවරුත් සරණ යන්නේ භාග්‍යවතුන් වහන්සේ යි.
යම් කාන්තාවක් සිතුවොත්, ‘පිහිටක්, සැපක් ලැබෙන්නේ දෙවියන් යැද්දොත් පමණයි’ කියා එය ඇයගේ මුළාවක්. අපි දන්නවා එදා වැඩ සිටි අරහත් භික්ෂුණීන් වහන්සේලාට දෙවියන් පවා පැමිණ වන්දනා කළා. දිනක් යක්ෂයෙක් කියනවා, “මේ වැඩ සිටින සකුළා භික්ෂුණියගෙන් ධර්මය ඇසුවේ නැත්නම් ඒ ජීවිතය හිස්.” කියලා. ඒ යක්ෂයා කියනවා, “මේ රජගහනුවර වැසියන් හරියට රා බී මත් වූ පිරිසක් වගේ. අහස වලාකුළෙන් බරවෙලා මහ වැස්සක් වසිද්දී එයින් පිපාසය නිවා ගන්නවා වගේ මට එතුමියගෙන් ධර්මය ඇසීම සැනසීමක්.” කියා. එහෙමනම් නොපෙනෙන ලෝකයෙන් පවා තිසරණය සරණ ගිය පිරිස පිදුම් ලැබුවා.
සරණක් නැති කාන්තාව නම් නිතරම යදිමින් සිටිනවා. “මට ලෙඩදුක් හැදෙන්න එපා, මගේ දරුවන්ට කරදරයක් වෙන්න එපා, මට දුක්පීඩා එන්න එපා”. කියා නිතරම ඉල්ලීම් කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සිදු වූ දෙය තමා ගුණ සම්පත්තියට දෙවිවරු උදව් උපකාර කිරීම.
දිනක් සක් දෙවිඳු උයන් කෙළියට යාමට පෙර මනුලොව දෙස බලා වන්දනා කළා. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා අසනවා, “දෙවිවරුන්ගෙන් නමස්කාර ලබන ඔබවහන්සේ මනුලොව දෙසට හැරී කාටද මෙසේ වන්දනා කරන්නේ?” කියා. “මාතලී, මම මනුලොව සිටින මහා ගුණ ඇති, පිවිතුරු සිල් ඇති මහා සංඝරත්නයට පළමුව වන්දනා කළා. දෙවනුව මම වන්දනා කළේ ධාර්මිකව උපයන ධනයෙන් දූ දරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්ට යි.” කියලා සක් දෙවිඳු උත්තර දුන්නා. එහෙනම් සක් දෙවිඳුගේ වන්දනාව ලබන්න අවස්ථාව තිබෙන්නේ තිසරණ සරණ ගිය පිරිසට යි.
කාන්තාව තුළ තිබෙන දුර්වල ලක්ෂණයක් තමා කුඩා දෙයටත් සැලෙන එක. බියට පත් වෙන එක. එවිට තමන්ට තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාවක් නැතිනම් පෙරටු වන්නේ මිථ්‍යාදෘෂ්ටිය යි. සීලයක සිත පිහිටුවාගෙන ආරක්ෂක පිරිතක් සිහි කරන්න ඇයට ශක්තියක් නැහැ. එවිට ඇය සසරටත් කර්ම රැස්කර ගන්නා අතර සරණ සීලයත් කිලිටි කර ගන්නවා. එනිසා අපි තේරුම් ගන්න ඕන තමන්ට නියම සරණ, පිහිට තිබෙන්නේ කොතැන ද කියා.
පැරණි බෞද්ධ සංස්කෘතිය තුළ ඇති දේවතා වන්දනා හෝ ඇදහිලි යනු කුමක් ද?
පැරණි බෞද්ධ සංස්කෘතිය තුළ හෝ අතීතයේ සටහන් වී ඇති සියලුම දේ බෞද්ධ සංස්කෘතිය නොවෙයි. අතීතයේ දී අපගේ බෝසතාණන් වහන්සේ කුස රජු ලෙස සීලවතී දේවියගේ මව්කුස පිළිසිඳ ගත්තා. ඊට පෙර මේ සීලවතී දේවියත්, මහරජුත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටියත් එය ඉටු වූයේ නැහැ. රටවැසියන් කියා සිටියා, “රජතුමනි, මේ රාජ්‍යය පිරිහීලා යාවී, සතුරු ආක්‍රමණ ඇති වේවි. එනිසා දෙවියන්ගෙන් දරුවෙක් යදින්න, ආයාචනා කරන්න.” කියා. සීලවතී අගබිසව ඉතා සිල්වත්. නුවණැතියක්. ඇය දිනක් සුවඳපැන් ස්නානය කර උපෝසථය අධිෂ්ඨාන කර හිතුවා, ‘මම හොඳින් සිල් රැකපු කෙනෙක්. වත් පිළිවෙත් ඉටු කළ කෙනෙක්. මම අනෙක් පිරිසට සහෝදරියක් වුණා. අම්මා කෙනෙක් වගේ ඒ අය ගැන සොයා බැලුවා. එනිසා මවක් වීමට මම සුදුසු නම් මට පුත්‍ර සම්පත්තියක් ලබා දෙන්න.’ කියා. මේ විදිහට ඇය තමන්ගේ ගුණය අධිෂ්ඨාන කර ගත්තා. ඇයගේ ගුණය සක් දෙවිඳුට දැනුණා. සක් දෙවිඳු දෙවිවරුන් කැඳවා බලනවා කවුද මේ දේවියට පුත්‍රයෙක් වීමට සුදුසු කියා. එවිට අපගේ බෝසතාණන් වහන්සේ ඒ සඳහා තෝරා ගත්තා.
ඒ වගේම අප දැන ගත යුතුයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් දෙවිවරු බැහැර කළේ නැති බව. දෙවියන් කියන්නේ සසරේ යන තවත් සත්ව කොට්ඨාසයක්. ඒ පිරිසත් පටිච්චසමුප්පාදයට නතුයි. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සරණ දෙවියන්ට නොලැබුණොත් ඒ පිරිසත් අනතුරට පත්වෙනවා. පැරණි බෞද්ධ සංස්කෘතියේ බොහෝ දුරට තිබුණේ පුණ්‍යානුමෝදනාව යි. අලුත් සහල් මංගල්‍යය වගේ කටයුතුවල දී පූජනීය ස්ථානයකට තමන්ගේ වගාවේ අග්‍ර කොටස පූජා කරලා උදව් උපකාර කළ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. අතීතයේ පටන් දෙවියන්ගේ අනුග්‍රහය උපාසක උපාසිකාවන්ට ලැබුණා. දහම් මඟේ හැසිරෙන්න, පින් කරන්න ශ්රද්ධාවන්ත දෙවියන්ගේ අනුග්‍රහය මිනිසුන්ට ලැබී තිබෙනවා. එනිසා අපිත් තේරුම් ගන්න ඕන අමනුෂ්‍යයන් ඇදහීමයි, දෙවියන්ට පින් අනුමෝදන් කිරීමයි දෙකක් බව. පෙනෙන ලෝකයේ දෙයක්වත් තේරුම් ගන්න බැරි අපි නොපෙනෙන ලෝකයේ දෙයක් කෙසේනම් තේරුම් ගන්න ද? එනිසා සුදුසුම දේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන්ට පුළුවන් ආකාරයට යමක් පූජා කර සක් දෙවිඳුට, බුද්ධ ශාසනය රකින දෙවිවරුන්ට, ඉෂ්ට දේවතාවන්ට පින් අනුමෝදන් කිරීම. ඒක තමා අපේ අතීත බෞද්ධ සංස්කෘතිය තුළ එදත් සිදු වුණේ, අදත් සිදුවිය යුත්තේ.
මිථ්‍යාදෘෂ්ටික දෙවියන් යැදීම පිරිහීමට කරුණක්
මිථ්‍යාදෘෂ්ටික දෙවියන් යැදීම වැඩිවෙනවා සමඟම බොහෝ දෙනා ධර්මයේ හැසිරීම අඩු කරනවා. තමන් ධර්මයේ හැසිරෙනවා නම් සම්‍යක්දෘෂ්ටික දෙවියන් තමා ළඟට එනවා ම යි. ධර්මයේ නොහැසිරෙන පුද්ගලයා දෙවියන් සොයාගෙන යනවා. නමුත් ඒ කෙනාට දෙවියන් මුණගැසෙන්නේ නැහැ. දෙවියන් සිටින්නේ සීලය ඇති තැනයි, ධර්මය ඇති තැනයි, ගුණධර්ම පිරුණ තැන යි. යම් කාන්තාවක් සිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ, ධර්ම රත්නය, සංඝරත්නය නොවේ නම් ඇය සිටින්නේ බුද්ධ ශාසනයෙන් පිටයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා තෙරුවන් සරණ ගිය කෙනෙක් ශාසනයෙන් බැහැර මංගල කාරණා සොයනවා නම් ඔහු හෝ ඇය පිරිහෙන බව.
නමුත්, යම් උපාසිකාවක් නිරතුරුව තෙරුවන් සමාදන් ව පිරිත් කියමින් සියලු කටයුතු ධර්මානුකූල ව සිදු කරනවා නම් වරදින්නට විදිහක් නැහැ. ඇයට නොපෙනෙන බලපෑමක් ආවත්, කොඩිවින, ඇස්වහ උවදුරුවලදී වුවත් සිහි වන්නේ තෙරුවන් ගැනයි. ඒ උපසිකාව මහාසෑය, මහා බෝධිය වන්දනා කරමින්, සංඝයා උදෙසා දන්පැන් පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගනිමින් පිහිට ලබා ගන්නවා. එහෙනම් අපට තේරෙනවා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් එකතු වන්නේ පිනත් සමඟ යි. මෙලෙස පින් අනුමෝදන් කරන ඔවුන්ට දෙවියන් අනුකම්පා කරනවා. මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේයි.
යස්මිං පදේසේ කප්පේති වාසං පණ්ඩිතජාතියෝ,
සීලවන්තෙත්ථ භෝජෙත්වා සඤ්ඤතේ බ්රහ්මචාරයෝ,
නුවණැති අදහස් ඇති යමෙක් යම් පෙදෙසක වසයි ද, සංසුන් ඉඳුරන් ඇති, බඹසරෙහි පිහිටි සිල්වතුන් වහන්සේලා මෙහි වැඩමවා වළඳවා,
යා තත්ථ දේවතා ආසුං තාසං දක්ඛිණමාදිසේ
තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නං,
එම පෙදෙසෙහි යම් දේවතාවෝ සිටිත් ද, ඔවුන්ට ඒ දානමය පින දෙන්නේ ය. මෙසේ පිනෙන් පිදුම් ලද ඒ දේවතාවෝ ඒ පින් දුන් අයට පෙරළා පුදති. බුහුමන් ලද ඒ දේවතාවෝ තමන්ට බුහුමන් කළ අයට පෙරළා බුහුමන් කරති.
තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තං’ව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සතී’ති
ඒ හේතුවෙන් දේවතාවෝ ඔවුන්ට අනුකම්පා කරති. මවක් තමන් බිහිකළ පුත්‍රයාට අනුකම්පාව දක්වන ලෙසිනි. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුෂ තෙමේ හැමකල්හී යහපත දකියි.”
මහා පරිනිබ්බාන සූත්‍රය – දීඝ නිකාය, මහා වර්ගය
එනිසා තෙරුවන් සරණෙහි පිහිටා නිතර පින් රැස්කරන කාන්තාව නිරතුරුව දෙවි පිහිට ලබන අයෙකු වෙනවා නිසැකයි.
සාකච්ඡා සටහන – නයනා නිල්මිණි
Recent Comments