වැරදීම

අද මනුලොව ඉපිද සිටින අපි සැවොම සංසාරයේ අනන්ත අප්‍රමාණ වාර ගණන් නොයෙක් නොයෙක් ලෝකවල… සුගති – දුගති ලෝකවල උපන්නෝ වෙමු. ඒ දීර්ඝ සසර ගමනේ දී අප වැඩිම කාලයක් ගත කළේ මේ මනුලොව හෝ ඊට ඉහළ ලොවක නොව සිව් අපායේ බව, කිසිවෙකින් නොවැසුණු සර්වඥතා ඥානයෙන් හෙබි තථාගත සම්‍යක් සම්බුදුරජාණෝ දුටු සේක. එනම්, අපට වඩාත්ම හුරුපුරුදු තැන් නම් තිරිසන්, ප්‍රේත, අසුර, නිරය යන මහා දුක් ඇති ලෝකයන් ය. ‘එසේ දුගතීන්හී ම උපන්නා’ යන්නෙහි ව්‍යංගාර්ථය දිගු සසරේ අපට බොහෝ වාර ගණනක්… අනේක වාර ගණනක් ‘වැරදුණා’ යන්න නොවේද?

සබඳ, භවයෙන් වැසී ගිය අපගේ අතීතයේ අපගේ කායික ක්‍රියාව අනන්ත වාර ගණනක් වැරදී ගියේම ය. අපගේ වචන, අපගේ සිතිවිලි, දෘෂ්ටි, ආකල්ප අනන්ත වාර ගණන් වැරදුණේම ය. සිතනු මැනවි… මනුලොව උපන් සත්වයාට හරි – වැරදි තෝරා දීමට කෙනෙක් නැති නම්… හරි යැයි සිතා… උතුම් යැයි සිතා… නිවන් මඟ යැයි සිතා… කෙතරම් වැරදීම් විය හැකිද? මඟ නොමඟ තෝරාගත නොහැකිව සම්බුදු රුවනකගේ සුභාෂිත දහමක් නැති ලොවෙහි, ආස්වාදය – සතුට පිණිස ඕනෑම හොඳක් හෝ නරකක් කිරීමට මනුෂ්‍යයා පෙළඹෙන්නේම ය. කිම – හොඳ පමණක් නොකරන්නේ?

සියලු වැරදි / අකුසල්වලට පදනම් වී ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයෝ ය. ඒ කෙලෙස් ‘පසුබිම’ අපි සෑම දෙනාගේම ජීවිත අභ්‍යන්තරයේ පවතී. සුළු අරමුණකින් ඇවිස්සී එන්නේ ක්ලේශයෝම ය. එනම් වැරදි / පාපී ක්‍රියා සිදුවන්නේ කෙලෙස් සහිත බව නිසාය. සකෙලෙස් සිත, වරදට ම බරය.

ඉදින්… මනුෂ්‍යයෙකුට ‘වරදිනවා’ යන කාරණයේ ඇති ආශ්චර්ය අද්භූත කරුණ කුමක්ද? අපි අනුන්ගේ වැරදි දැක කෝපයටත්, කලකිරීමටත්, ආවේගයටත් පත් වෙමු. කිම… අප ඒ වරදට මුල් වූ ක්ලේශය ප්‍රහාණය කළෝ වම්හුද?

අප… අනුන්ගේ වැරදි පිළිබඳ කථාව පසෙකින් තබමු. අපි අප දෙසට ම හැරෙමු. ඔබ ඔබ දෙසටත්, මා මා දෙසටත් හැරී… උපන් දා පටන් අප අතින් සිදු වූ කුදුමහත් වරදවල් ගැන මොහොතක් සිතත් නම්.. ඒ සෑම වරදකට ම හේතුව කිසියම් ම ක්ලේශයක් නොවේද? සමහරෙක් වැරදී ගියේ ආශාව, රාගය, ලෝභය, ගිජුකම ආදිය නිසා ය. එසේ නැති නම් ද්වේෂය – තරහ, නොරිස්සුම නිසා ය. එසේත් නොවේ නම් මෝහය – නොදැනුවත් බව නිසා ය. අහෝ! මොනතරම් ආශ්චර්යයක්ද! ඒකාන්තයෙන් ම ඒ රහතන් වහන්සේලා වරදින් තොර, පවිත්‍ර ජීවිත ලැබූයේ මේ රාග, ද්වේෂ, මෝහ නැසූ නිසාම නොවේද?

නමුත්… සක්ලේශී වූ අප තුළ තවම රාග – ද්වේෂ – මෝහ සුපුරුදු පරිද්දෙන්ම පැළපදියම් ව ඇති බැවින්… එසේ තිබෙන තාක් ම… ඉදිරියටත් අපට වැරදීමට සුවිසල් ඉඩහසරක් ඇත්තේ නොවේද? සාමාන්‍ය සිතක ස්වභාවය නම්,
“මම නිවැරදි වෙමි… මට හොඳින් මෙය වැටහේ… මා සිතන අයුරු ප්‍රඥාගෝචරයැ…” යි තමාටම ලකුණු දමාගෙන තමා පිළිබඳව අධිතක්සේරුවකින්, අධික විශ්වාසයකින් වාසය කිරීම ය.

එනමුත්, තථාගත ශ්‍රාවකයන් වන අපවත් මීට වඩා සුනම්‍ය අනාදානග්‍රාහී සිතක් ඇති කර ගන්නේ නම්… “සැබෑව… මට ඕනෑම වේලාවක වරදින්නට ඉඩක් ඇත. මා කල්පනාවෙන් සිටිය යුතුයි. කවුරුන් හෝ මට වරදකින් චෝදනා කළත්… මා හට එකවරම එහිලා මාගේ වරදක් නොපෙනුනත් මා විසින් තව තවත් මසිත විමසා බලා යළි වරදක් නොවන සේ සකස් විය යුතුයි…” කියා ගුණධර්මයන්ගේ අභිවෘද්ධියක් අපේක්ෂා කිරීමට අපි සුදුස්සන් නොවෙමු ද? දෙයාසංඛය්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමී බල ඇති ව අග්‍රශ්‍රාවක පදවියට පින් පුරමින් පැමිණි අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පවා පෙර ජාතිවල ආනන්තරීය පාපයන්ට හසුවී නම්, ‘දුසී’ මාරයා ව ඉපිද බුදු සසුනට විරුද්ධව විසී නම්… අල්ප පින් ඇති, අල්ප බුද්ධි ඇති, අල්ප වීර්ය ඇති අපට විය හැකි වැරදීම් ගැන කවර කථා ද?

සැබැවින්ම සබඳ, තම යහපත කැමැත්තවුන් තමා ගැන ඇති අවධානය අවසන් හුස්ම පොද දක්වා… හුස්මපොද සේම අත්නොහැර පැවැත්විය යුතුම ය. තමන්ට වඩා උසස් හෝ පහත් හෝ ඕනෑම කෙනෙකු විසින් තමාගේ වරදක් පෙන්වා දෙන විට, එය සතුටින් පිළිගෙන මධ්‍යස්ථ ව විමසා බලා තමා ව හඳුනාගත හැකි නිහතමානී, ඉවසිලිවන්ත, විචක්ෂණශීලී කුසලලෝලී සිතක් පැවැත්විය යුතුම ය. පාරිශුද්ධ සිතකට අඩිතාලම එය ය. එහෙයිනි අප මුනිරජාණෝ වදාළේ, “වරදට බියවන, වරදෙහි භය දකින්නා ‘සියලු වරදින් නිදහස් වන්නේ ය’ යන මෙය කැමති විය යුත්තේය.” කියා.

(වජ්ජ සූත්‍රය, අං. නි. 1, 2.1.1.1)

පුද්ගල ප්‍රතිරූපය

අපට අප පිළිබඳ යම් අදහසක්, මතයක් ඇත. ‘මා කෙබඳු කෙනෙක් වෙම්දැ’යි කිසියම් චිත්‍රණයක් යැ එය. තමන් සතු ගුණ, හැකියාවන්, රූපය, උගත්කම, ධනය, කුලය, බලය, නිලය… ආදී කරුණු මුල් කරගෙන අප අප ගැනම තක්සේරු කිරීමක්… සිතා ගත් චරිතාපදානයක් ඇත. සැබැවින්ම, එය අප සිතා සිටින අයුරු මිසක, සැබෑ තත්ත්වය වඩා වෙනස් විය හැකි අතර… අප ගැන ලෝකයා සිතන අයුරු හාත්පසින් ම වෙනස් විය හැක.

එනමුදු, අපගේ උත්සාහය අපගේ ඒ පුද්ගලික ප්‍රතිරූපය ඒ අයුරින්ම, අප සිතැඟි පරිදි ම පවත්වන්නටය. නම්බුනාම, ගරු සැලකිලි, ලාභ සත්කාර සෑම දෙයම අදාළ වන්නේ අපගේ ශරීරය හා බාහිර ඔපය මුල්කොට ගොඩනැගුණු ‘ප්‍රතිරූපයට’ මිස අප පිළිබඳ යථාර්ථයට නොවේ. එකී ප්‍රතිරූපය පවත්වන්නට ඇති ආශාව නිසාමය, කවුරුන් හෝ අපගේ අඩුපාඩුවක් කිවහොත් අප ලැජ්ජාවට, අපහසුවට පත්ව ගැටී යන්නේ. වරදක් කර ඇති විටෙක පවා තම වරද ප්‍රතික්ෂේප කරන්නේ මේ පුද්ගල ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට නොවේද? කෙනෙක් තම වැරදි අඩුපාඩු වැසීමට උත්සාහ කරන්නේ නම්, වැරදි වැසීමට බොරු කේළාම් ආදී පාපී දේට යොමුවේ නම් එයටත් පදනම පුද්ගලික ප්‍රතිරූපය රැකගැනීමට ඇති උවමනාව නොවේද? කළ වැරදි පසෙකින් තබමු. නැති වරදකින් අභූතයකින් චෝදනා ලැබීම අපට වැඩිමනක් රිදුම් දෙවන්නේ නොවේද? ‘මා මෙවන් දෙයක් කිරීමට තබා සිතුවේවත් නැහැ. දැන් අන් අය මා ගැන කෙසේ සිතාවි ද? මා ගැන ඔවුන් කෙසේ හංවඩු ගසාවි ද…’ යනාදී රිදුම් පසුපස තිබෙන්නේ පුද්ගලික ප්‍රතිරූපය නොවේද?

විමර්ශනය

සබඳ, අවුරුදු හැටක් – සීයක් ආයුෂ භුක්ති විඳින අප… ‘දිගු කලක් ජීවත් වන්නේයැ’ සිතා සිටිනමුත් ඇත්තෙන්ම මනුෂ්‍ය ආයුෂ ඉතා කෙටිය. ජීවිතය වැරදීමෙන් (එනම්, පවට වැටීමෙන්) ප්‍රේත ලොව උපත ලැබුවහොත් ආයුෂ අවුරුදු දහස් ගණන්… ලක්ෂ ගණන් ඇත. නිරයේ ආයුෂ අවුරුදු කෝටි ගණන්… කල්ප ගණන් වෙයි. තිරිසන් ලොව කෙටි ආයුෂ ඇති උපතක් ලැබුවත් එකම ජීවිතේ (බලු, කටුසු, මත්ස්‍යාදී) ලක්ෂ කෝටි වාර ගණන් යළි-යළිත් ඉපිදෙමින් දුකට පත්වේ. නොයෙක් තිරිසන් යෝනිවල ඉපිද ඉපිද කාලය ඛේදාන්තයන්ගෙන් ම පිරී යයි.

එබඳු දරුණු දුක් සහිත සසර ගමනක් උදෙසා රැස් වූ කර්ම අතීත සංසාරගත ජීවිතවල අප කොයිතරම් රැස් කරගෙන ඇත්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ සොරුන් ලෙස උපන් වාරවලදී ආණ්ඩුවට හසුවී බෙලි කැපුම් කෑමෙන් පමණක් මිය යන විට ගැලූ ලෙය සතර මහා සාගරයට වැඩි බව නම්…, අප සංසාරයේ මහා පින්කාරයන් කියා සිතනුයේ කෙසේද? ඒ මහා පව් පොදිය, අප මියෙන තුරු, අප සතර අපායට තල්ලු කිරීමට මාන බලා නොසිටීවි ද?

ඔබ.. මේ ජීවිතයේ උගත්, ධනවත්, උසස් පවුලක උපන් බොහෝ හැකියාවන් තිබෙන, ප්‍රසිද්ධ තැනැත්තෙක් යැයි සිතමු. ඉදින්, ඔබ ඊළඟ මිනිත්තුවෙහි මියගියහොත්… ඒ ක්ෂණයෙහි ඔබ උපදින්නේ නිරයේ නම්… බල්ලෙක්, සුනඛයෙක්, හූනෙක් වැනි සතෙක් වී නම්, ප්‍රේතයකුව ඔබේ ප්‍රිය බිරිඳගේ – ස්වාමියාගේ කුණු ශරීරයේම නම්… මේ ජීවිතයේ විඳි නම්බුනාම, පදක්කම්, සහතික, ධන, නිල – බල ආදීන්ගේ ඇති වැදගත්කම කුමක්ද? හරය කුමක්ද? උපකාරය කුමක්ද? අද ්ක්‍ කාමරයක, කැරකෙන පුටුවක අසුන්ගෙන හැම්බේකන්, පීට්සා අනුභව කරමින් සිට… ඊළඟ මොහොතේ බඩ පපුව පිච්චෙමින් සෙම් සොටු ටිකක් සොයා දුවන ප්‍රේතයෙක් හෝ සර්වාංගයම ගිනිගෙන දුම් දමන ප්‍රේතයෙක් වුවහොත්… මේ ජීවිතේ විඳින සැප හෝ තිබෙන සමාජ තත්ත්වයේ ඇති වටිනාකම… පුද්ගල ප්‍රතිරූපයේ ඇති වටිනාකම කුමක්ද? සාරවත් බව කුමක්ද… සිතනු මැන, සබඳ…

නින්දා ප්‍රශංසා දෝලනය

දුගී දුප්පත්ව… නූගත්ව… සියලු දෙනාගේම ගර්හාවට අපහාසයට උපහාසයට ලක්වන අඩුකුලේ ඉපිද සිටින යමෙක්, ගුටි බැට කමින්, නොකළ වරදට දඬුවම් විඳිමින්, ලෙඩ දුක්වලින් මිරිකී මිරිකී හෝ තමන් ගත කරන දිවියේ ඇති වැරදි, අහිතකර පුරුදු, අඩුපාඩු සකස් කරගෙන, මෛත්‍රී කරුණාදී ගුණදහම් දියුණු කර… එනිසාම මරණින් මතු දෙව්ලොව හෝ බඹලොව හෝ උපදී නම්… ජයගන්නේ ඔහු නොවේද? උතුම් සත්පුරුෂ ඇසුරක මග ඵල ලැබීමට මග පෑදෙන්නේ එබඳු කෙනෙකුට නොවේද? මනුලොව විඳින යම් අල්ප සුඛාස්වාදයක් ඇත්ද, එය ද නොනසා… නොතිබූ නොවිඳි අග්‍ර සම්පත්තියට හිමිකරු වන්නේ ඔහු නොවේද? එකල සියලු මනුලොවවාසීන් වැඳ වැඳ පුද පඬුරු දී ප්‍රශංසා කරන්නට සුදුසු තැනට පත්ව සිටින්නේ ඒ පැරණි දුගියා නොවේද?

එහෙයින් සබඳ, අප ජීවිතයේ තීරණාත්මක සාධකය පුද්ගල ප්‍රතිරූපය නොවේ. අපගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍යය නිවැරදි දිශානතියකට යොමු කරන්නේ පුද්ගල ප්‍රතිරූපය නොවේ. අපට සෞභාග්‍ය හෝ සදාකාලික සැනසුම උදාකර දෙන්නේ පුද්ගලික ප්‍රතිරූපය නොවේ. අසා, දරා, මතකයේ රඳවා, නුවණින් විමසා, පළල් දැක්මක් උපදවා ගැනීමට උපකාර කරන, ප්‍රතිපදාවේ යෙදීමෙන් ජීවිතාබෝධය උදාකර දෙන ධර්මය යි. අපව ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්නේ
ධර්මය යි.

“ඔබ හරිම ලස්සනයි… ඔබ කෙතරම් ගුණවත් ද… අනේ, ඔබ වන් සත්පුරුෂයෙකු ඇසුරු කිරීමට ලැබීමත් වාසනාවකි…. අහෝ! ඔබ ඉතාමත් දක්ෂයි නොවැ…” යනාදී වදනින් කවුරුන් කෙසේ ප්‍රශංසා කළ ද ඒ සියලු ප්‍රශංසා මෙලොවට පමණි. මෙලොවත් ඇති හැකි තාක් පමණි.

“නුඹ මහ කාලකන්නියෙක්! මට නුඹ පෙන්නන්න බැහැ. නුඹ නිකම්ම නිකමෙක්!” ආදී පහත් වදනින් අද කෙතරම් නින්දා ලැබුණ ද එය ද මෙලොවට පමණි. කොටින්ම අප සිටින පරිසරය වෙනස් වූ පමණින් ම නින්දා – ප්‍රශංසා, පුද්ගලික ප්‍රතිරූපය වෙනස් වී යයි. ගමේ නින්දා ලබන්නා, ඈත නගරයකදී ප්‍රශංසා ලබයි. ලොවෙන්ම ප්‍රශංසා ලබන්නා තම බිරිඳගෙන් නවනින්දා ලබයි. සියල්ලෝම සොඳුරු වෙස්මුහුණුවලින් ම සැරසෙයි. මේ පුද්ගලික ප්‍රතිරූපය කෙසේ ද රැක අවසන් කරන්නේ? වෙස්මුහුණු ගැලවෙන මරණය දක්වාම අපි අපිටම රැවටෙමු ද?

පිට ආටෝපයන් අතැර ඇතුළාන්තයට එබී බැලීම

පුද්ගලික ප්‍රතිරූපයත් මේ සිරුර වැනිය. කෙනෙකුගේ බාහිර රුව ඉතා මනස්කාන්තය. තවකෙක් සාමාන්‍යය. තවකෙක් විරූපීය. නමුත් අප සැමදෙනාගේම ශරීර අභ්‍යන්තරය එකම වර්ගයේ කුණප කොටස් තිස් දෙකකින් පිරී පවතී. ඒ සියල්ල එක සේ අපුල ය. දුගඳය. අප්‍රසන්නය.

මෙලෙසින් ම ඇතැමෙක් ධනවත්, වංශවත්, උගත්, දක්ෂ, යසස්වී මහත්මයෙකුගේ ප්‍රතිරූපයෙන් වැජඹෙන ලොව.. මාන්නයේ රන් දම්වැල ගෙලේ දමා සිටිත්. තවකෙක් දුගී, කුලහීන, නූගත්, අදක්ෂ, නින්දිත අසරණයෙකුගේ ප්‍රතිරූපයෙන් බැගෑපත්ව හීනමානයේ මලකඩ දම්වැල පයලා වැළපෙත්.

කරුණු එසේ තිබියදී දෙදෙනාගේම සිත් රාග, ද්වේෂ, මෝහයන්ගෙන් උපන් ඉරිසියා, එකට එක කිරීම්, මසුරුකම්, පළිගැනීම්, අකීකරුකම්, දැඩිකම්, මායා, කපටිකම්, කුහකකම්, මුරණ්ඩුකම්, දුස්සීලකම්, වංචා ආදී ක්ලේශයෙන් පිරී ඇත්නම්… ඒ පාපී අකුසල්, සමෙන් වැසුණ කුණපය බඳු නොවේද? දෙදෙනාම අභ්‍යන්තර දුර්ගන්ධයෙන් සමාන නොවේද?

එනිසා.. වඩාත් වැදගත් වන්නේ අප සම්බන්ධයෙන් ලෝකය දකින ආකාරය නොව, අප අභ්‍යන්තරයේ ඇති සැබෑ ස්වභාවයයි. ඉදින් අභ්‍යන්තරයේ.. සිය හද මඬලේ.. ගුණයෙන් සාරවත් වී නම්, බාහිරින් ලැබෙන නින්දාවත් ප්‍රශංසාවත් යන දෙකම අපට අදාළ නොවේ. නින්දාවට කඩා වැටීමට හෝ ප්‍රශංසාවට මත් වීමට හෝ කරුණක් නැත.

එසේනම්, අපට බලපානුයේ අපේම ක්‍රියාව, අපේම වචන, අපේම සිතිවිලි රටාව ‘කුසල්ද? අකුසල් ද? පින් ද? පව් ද? ධර්මයද? අධර්මය ද?’ කියා හඳුනාගෙන යහපත් දිශානතියකට ජීවිතය මෙහෙයවීම ම නොවේද?

තමාගේ අයහපතට තමාම චෝදනා නගමින්, තම අයහපත දුරුකරන අවවාදයන් ද ගරු සිතින් පිළිගෙන, තමා ව සකස් කර ගැනීම යනු ලොව උතුම් දෙයකි. ශ්‍රේෂ්ඨ දෙයකි. මෙතරම් පාරිශුද්ධ බවක් උපදවන දහමක් තිබෙන්නේ ද බුදු සසුනක පමණි.

එනිසා… මා ප්‍රිය සබඳ… අෂ්ටලෝක ධර්මය ඉදිරියේ (ප්‍රතිරූපය කඩා වැටේවි යැයි බියෙන්) කඩා නොවැටෙනු මැනව. එනමුත්, ලැබෙන සත්පුරුෂ අවවාද පවා ලෝකධර්මයට දමා දැඩි වී, නොසලකා අත් නොහරිනු මැනව. තමාගේ පිරිසිදු බව ම සෙවීම අපගේ මහා අභිමානයයි. උතුම් සම්පතයි. විශිෂ්ට පෞර්ෂයයි. අහිංසක ශ්‍රාවකත්වය යි!.

අත්තනා චෝදයත්තානං – පටිමාසේ’ත්තමත්තනා
සෝ අත්තගුත්තෝ සතිමා  – සුඛං භික්ඛු විහාහිසි

“පින්වත් භික්ෂුව, තමාමයි තමන්ට චෝදනා කළ යුත්තෙ. තමාමයි තමන් ගැන විමසා බැලිය යුත්තෙ. තමා විසින් තමාව රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන සැප සේ ඉන්න.”

ධම්ම පදය-භික්ඛු වර්ගය

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.