මේක ටිකක් අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. මේ කාලේ බොහෝම ධනවත්, ඒ වගේ ම ගුණවත් ස්වාමි පුරුෂයෙකුයි බිරිඳකුයි ජීවත් වුණා. කොච්චර ධනය තිබුණත් දරු සිඟිත්තෙක් ලැබෙනකන් ඒ ගෙදර මොකක්දෝ පාළුවක් තිබුණා. හැබැයි ඒ පාළුවට තිත තබමින් ලස්සන දූ සිඟිත්තියක් ඒ පවුලට එකතු වුණා.
අලුත ඉපදුණ දූ සිඟිත්ත හරිම සුරතල්. හරිම පින් පාටයි. පවුලෙ එකම දරුව වුණ මේ දූට ගෙදර හැමෝගෙම ආදරය නොඅඩුව ලැබුණා. ඒ ඇරත් අම්මගෙයි තාත්තගෙයි සිල්වත් ගුණවත් භාවය මේ දූටත් ඒ විදිහටම පිහිටියා. කිසි කම්මැලිකමක් නෑ. උයන්න පිහන්නත් හරි දක්ෂයි. තරුණ වයසෙ ගෑනු ළමයෙක් දැනගෙන ඉන්න ඕන සැරසිලි, නැටුම් ගැයුම් ඔක්කොම ඈට පුළුවන්. රූපෙන් කොච්චර ලස්සන වුණත් තරුණ වයසට ආපු මේ දූගේ කිසි අහංකාරකමකුත් නෑ.
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා…
දූගෙන් මොහොතක්වත් වෙන්ව සිටින්නට අකමැති වුණත්, දූගෙ යහපත උදෙසා ඈට හොඳ තැනකින් විවාහයක් කරල දෙන්න අම්මයි තාත්තයි තීරණය කළා. තමන්ගෙ පවුලෙ මට්ටමේ ම ධනවත් කඩවසම් තරුණයෙකුට ඈව විවාහ කරල දුන්න. මංගල්‍යය ජයට තිබුණා.
අලුත ගෙනා මනමාලිය, පති භක්තියේ ප්‍රතිමූර්තියක් වගේ. ඈ තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ අම්මට තාත්තට විතරක් නෙවෙයි, සහෝදර සහෝදරියන්ටත් දක්වන ගරුසරුව පුදුම සහගතයි. අනලස් ඇය ගෙදර උයන පිහන එකේ ඉඳල හැමදේකටම මහන්සි වෙනවා. ඔක්කොම ඉවර වෙලා හැලි වළං හේදුවෙත් ඇය. තමන්ගෙ ස්වාමි පුරුෂයා කන්න කැමති කැවිලි පෙවිලි හොය හොයා හදල දුන්නෙ, අම්ම කෙනෙක් එකම පුතාට දක්වනව වගේ ආදරයකින්.
ඔය අතරෙ තමන්ගෙ ස්වාමි පුරුෂය කොහේ හරි යන්න හැදුවොත් ඇඳුම් පැලඳුම් ඔක්කොම ලෑස්ති කරල සරසවල දුන්නෙ මෑ විසින්. කොයි වෙලාවෙ ආවත්, පෙරමඟට දුවල ගිහින් තමන්ගෙ ස්වාමි පුරුෂයව පිළිගත්තෙ. ඒ කාලෙ පාරවල්වල මඩ, දූවිලි තිබුණ නිසා, කොහේ හරි ගිහින් එද්දි පා දෝවනය කරන බඳුනක් ගෙවල් ඉස්සරහ තියල තිබුණ. මැය තමන්ගෙ ස්වාමි පුරුෂයට ඒ පා දෝවනය කරන කාරණේටවත් වෙහෙසෙන්න ඉඩ තිබ්බෙ නෑ. ඇයමයි නිවසට එන තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ දෙපා දෝවනය කළේ.
ශ්‍රියා කාන්තාවත් අප්පිරිය වෙයි…
මේ විදියට දාසියක වගේ තමන්ගෙ ස්වාමි පුරුෂයාට උපස්ථාන කළත්, ඈට හැමවිටම ලැබුණෙ තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ රැවිලි ගෙරවිලි විතරයි. තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ එකදු පෙම් බසක්වත් ලබන්ට ඇය වාසනාවන්ත වුණේ නෑ.
ගෙදර සුරංගනාවියක් වගේ හැදිල වැඩිල, අලුත් ගෙදර මේ විදිහට කෙණෙහිලිකම්වලට පත් වෙයි කියල මේ තරුණිය කවදාවත් හිතුවෙ නෑ. ඒත් ඇය ඉවසගෙන හිටියා. කඳුළු සඟවගෙන සිනාමුසු මුහුණින් ඇගේ යුතුකම් ඔක්කොම ඉෂ්ට කළා. හැබැයි වැඩි කාලයක් එහෙම කරන්ට හම්බවුණේ නෑ. තමන්ගෙන් කිසි වරදක් නොවුණු තමන්ගෙ ස්වාමිපුරුෂයා ඔහුගේ දෙමව්පියන්ට කේන්තියෙන් මෙහෙම කියන්න ගත්තා.
“මං යනව මේ ගෙදර අත්හැරල. මට මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ බෑ..”
ඒ අම්මටත් තාත්තටත් හරිම පුදුමයි. එයාල හිතුවෙ මැය එයාලගෙ ගෙදරට වාසනාව ගෙනාවා කියල. එයාල මැයගේ ගුණ කිය කියා තමන්ගෙ පුතාගෙ හිත වෙනස් කරන්න හැදුවා. ඒත් පුතාට මේ ස්ත්‍රිය අප්‍රියයි. “මේ ස්ත්‍රිය ඉන්නව නම් තමන් ඔළුව හැරුණු අතේ යනවා..” යැයි කියද්දී ඒ දෙමව්පියොත් අසරණ වුණා.
ඒ දෙමව්පියොත් මැයත් එක්ක කතා කළා. පුතාට මැයව අප්‍රිය වෙන්න හේතුවක් හොයාගන්න බෑ. අන්තිමේ දී ඒ අම්මයි තාත්තයි මැයට කීවා,
“දුවේ, අපේ ගෙදරට ඔබ ලක්ෂ්මි දිව්‍යාංගනාව වගේ. ශ්‍රියා කාන්තාව වගේ. ඒත් උඹේ සෙනෙහස ලබන්න අපේ පුතාට පින නෑ..”
එහෙම කිව්ව ඒ දෙමව්පියො ආයෙමත් මැයව ඇගේ දෙමව්පියන් ළඟට ම පිටත් කළා.
තාත්තට හරිම දුකයි. ඒත් ඉතින් ගිය දේ ගැන දැන් අඬල වැඩක් නෑනේ. තමන්ගෙ පවුල් මට්ටමට ම නැතත් එයින් භාගයක් ආදායම තියෙන පවුලක දරුවෙකුට දුව බන්දල දුන්න. සල්ලි තියෙන පවුලකින් ආව කියල මේ තරුණියගෙ කිසිම අහංකාරකමක් නෑ. ඉස්සෙල්ලා වගේ ම තමන්ගෙ අලුත් ස්වාමිපුරුෂයාටත්, ඔහුගේ පවුලේ අයටත් බොහොම ආදර ගෞරවයෙන් සැලකුවා. ඒත් මාසයයි ගියේ. ඔහුටත් මෑව තිත්ත වුණා. ඒ පවුලෙ අයත් මෑව ආයෙත් ඇගේ ගෙදරටම පිටත් කරල යැවුවා.
සංසාරේ මෙහෙමත් ගැහැට…
දැන් ඇයට පාරෙ බැහැල යන්න බෑ. ඉස්සර මැගේ ලස්සන දිහා බල බලා මනමාල හිනා පාපු කොල්ලොම දැන් ඈව දකිනකොට අහක බලාගන්නවා. සමහරු “අන්න අර වස ගෑනි” කියමින් පාරට කෙළ ගහනවා. නමුත් පිය සෙනෙහස අරුම පුදුමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ.
දවසක් ඒ ගෙදරට හිඟන්නෙක් ආවා. තාත්තට අමුතු නුවණක් ඇවිදින් ඒ හිඟන්නට දරුවෙකුට වගේ කතා කළා.
“පුතේ, උඹ අද ඉඳන් හිඟාකන්න ඕන නෑ. ඔය කඩමාලුයි, කබල් තැටියයි වීසි කරල දාපන්. මේ මගේ දූයි, මේ ධනයයි භාරගෙන සතුටින් ජීවත් වෙයන්…”
ඒ මනුස්සයාට ලෝකෙ ලොකු ම ලොතරැයිය ඇදුන වගේ. එයා උඩින්ම කැමති වුණා. අහසින් කඩා පාත් වුණා වගේ ලැබුණු රූමත් ධනවත් බිරිඳගෙන් රජෙකුට වගේ ඔහුට සැලකිලි ලැබුණා. අනුන්ට අත පාමින් ජීවත් වුණු කෙනාට දැන් දැසි දැස්සොත් ඉන්නවා, විසික් කරන්න තරම් ධනය තියෙනවා.
මෙහෙමත් තිත්ත වීමක්…
හැබැයි ටික දවසයි ගියේ. ඒ හිඟන මනුස්සයටත් මැයව එපා වුණා. ‘රජකම ලැබුණත් මෙවන් ස්ත්‍රියක් එක්ක පවුල් කන්න බෑ..’ කියල හිතුණා. එයා මේ ස්ත්‍රියගේ තාත්ත ළඟට ගිහිල්ල වැඳගෙන මෙහෙම කිව්වා.
“අනේ මහත්තයො වඳින්නම්, මට ඔහේගේ දුවත් එක්ක පවුල් කන්න බෑ, අනේ කරුණාකරල මගෙ රෙදි කඩමාල්ලයි, කබල් තැටියයි දෙන්න. මං හිඟා කාගෙන ජීවත් වෙන්නම්. මේ ජීවිතේ මට තිත්ත වෙලා තියෙන්නේ..”
ඒ තාත්තට දෙසවන් අදහාගන්න බෑ. තමන්ගෙ ඇස් දෙකෙන්ම තමන්ගෙ දූ මේ මනුස්සයට ආදර ගෞරවයෙන් සලකනව දැක්ක, කිසි දේකින් අඩුවක් වෙන්න තිබ්බෙ නෑ.
“පුතේ මොනවද උඹට මේ ගෙදර තියෙන අඩුපාඩු?” කඳු`ඵ සඟවගෙන තාත්ත කෙනෙක් අහපු පැනයට හිඟන කොල්ලට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. ඒත් ඔහු ඒ ගෙදර නැවතුණේ නෑ. රෙදි කඩමාල්ලයි, කබල් තැටියයි අරගෙන ඔහු ආයෙත් හිඟන්නෙක් වුණා.
දැන් මක් කරන්ට ද?
ස්ත්‍රියකට මීට වඩා කරුණු කාරණා යෙදෙන්ට ඕන ද ජීවිතේ එපා වෙන්න? තමන්ගෙ දෙමව්පියන් මුණගැසෙන්ට එන මිනිස්සු පවා, කම්මුලට අත තියාගෙන තමන් ගැන නෝක්කාඩු කියනව අහන්ට ඈට සිද්ධ වුණා. දැන් නම් ඈව ඈට ම තිත්ත වුණා. “එක්කො මම මැරෙනවා, නැත්නම් පැවිදි වෙනවා..” ඈ ඈට ම කියා ගත්තා.
ඇගේ ජීවිතය හරිම පුදුම එකක්. ඈ පුංචි කාලෙ ඉඳන්ම දෙමව්පියන්ගෙ සෙනෙහස ලබන්ට වාසනාවන්තයි. ධනයෙන්, රූපයෙන් ආඪ්‍යව වාසය කරන්න පින තිබ්බා. ඒත් බිරිඳක් විදියට අංශුමාත්‍රික සෙනෙහසක් ලබන්ට ඈට වාසනාව නෑ. ඇය ඇත්තටම මහා පව්කාරියක් ද?
සිද්ධියකින් දෙකකින් ජීවිතය ගැන එහෙම නිගමනවලට එළඹෙන්න එපා. බලන්න ඇගේ ජීවිතය පිටුපස සැඟවුණ පින. මහ පොළොව උසුලගෙන ඉන්නව වගේ බරකින් දුකෙන් පීඩාවෙන් සිටි ඇගේ ගෙදරට ‘ජිනදත්තා’ කියන සිල්වත් ගුණවත් භික්ෂුණිය වැඩම කළා. එම භික්ෂුණියට තමන්ගෙ දෙමව්පියන් සමඟ දානෙ පූජා කරන්න ඈට වාසනාව උදා වුණා.
අවාසනාවෙන් වාසනාවට..
දානෙන් පස්සෙ ඇය තමන්ගෙ තාත්ත ඉස්සරහ වැඳ වැටුණා. ඇයටත් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්ට ඕන කිව්වා. “දුවේ මේ ඕන තරම් ධනය තියෙන්නෙ, ඔයාට කවුරුත් නෑ කියල හිතන්න ඕන නෑ, අපි ඉන්නවනේ. ඔයා කැමති විදියට පින් කරගෙන ගෙදරට වෙලා ඉන්න..” තාත්තගෙ සෙනෙහෙබර වදන්වලට ඇගේ අදහස වෙනස් කරන්න බැරි වුණා. ඈට දැන් ඕන මේ දැවිලි තැවිලි පිරුණු සසරින් නිදහස් වෙන්න.
තාත්තගෙ ආශීර්වාදෙත් අරගෙන බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නොදන්නා අතීත කර්මයකින් පහර කෑ ඇය එය ම තමන් ව නිවන කරා ගෙනියන කෙවිටි පහර කරගෙන, ධර්මය තුළ වීර්ය කළා. එකම එක සතියකින් ත්‍රිවිද්‍යාව උපදවාගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඇය වාසනාවන්තියක් වුණා.
කිමද මේ අරුමේ..
අරහත්වයෙන් පසුව තමන්ගෙ අතීතය ගැන එතුමිය පුබ්බේනිවාසානුස්සති ඤාණයෙන් විපරම් කොට වදාළා. මීට ජීවිත සතකට කලින් ඇය ධනවත් රන්කරුවෙක්, පිරිමියෙක්. ඒ ජීවිතයේ ඔහු ධනයෙන් මත් වෙලා සල්ලාලකම් කරල නිරයේ ගිහිල්ලා. ඒ නිරයෙ අවුරුදු ලක්ෂ කෝටි ගණන් විඳපු දුක වචනවලට පෙරළන්න සිංහල හෝඩියේ අකුරු මදි. ඒ නිසා අනන්ත දුක් වින්ද කියල විතරක් ලියන්නම්.
ඊට පස්සෙ, වඳුරු යෝනියේ ඉපදිල පුංචි පැටිය කාලෙම වඳුරු නායකයගෙන් පහර කන්න සිද්ධ වෙලා රහසඟ ප්‍රදේශය විනාශ වුණා. එතන කුණු වෙලා ම මරණයට පත් වුණා.
ඊට පස්සෙ සින්ධව වනේ එක ඇහැක් පොට්ට වුණු කුදු බූරු දෙනකගේ කුසේ ඉපදුණා. පර ස්ත්‍රීන් සේවනය කිරීමේ විපාකය හැටියට, වැඩියෙන් වැඩගන්න හිතාගෙන මේ බූරු පැටිය පුංචි කාලෙම උගෙ වෘෂණ කෝෂ තැලුව, එතන කුණු වුණා. ඒත් ඒ දුක විඳගෙන මිනිසුන්ගෙන් ගුටි කකා අවුරුදු දොළහක් බර වැඩ කරන්න සිද්ධ වුණා.
ඊළඟ ජීවිතේ රතු වහු පැටියෙක්ව ඉපදුණා. මාස දොළහෙන් උගෙත් වෘෂණ කෝෂ තැලුව. අනුන්ගෙ බිරින්දෑවරුන් එක්ක වැරදි විදියට ගත කරපු එක ජීවිතයක වරදට, බොහෝ කාලයක් අනුන්ගෙන් කෝටුපාර කකා අනුන්ගෙ වැඩ කරල දෙන්න සිද්ධ වුණා. රාගයෙන් අන්ධ වෙලා කරපු පාපයන්ගේ ම විපාකයෙන් ඇස් අන්ධ වෙලා ලෙඩ වෙලා එක තැන වැටිල දුක් විඳලා මරණයට පත් වුණා.
ඔහුත් නොවන, ඇයත් නොවන…
පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාකය හැටියට ඊළඟ ජීවිතයේ පුරුෂයෙකුත් නෙවෙයි, ස්ත්රියකුත් නෙවෙයි. නගර වීදියේ දාසියකගේ කුසේ උපන් නපුංසකයෙක්. එවන් නින්දිත ජීවිතයක් වසර 30ක් ගත කරන්ට මොහුට සිද්ධ වුණා.
එක ජීවිතයක වැරදි කාම සේවනයේ යෙදුණු විපාක තාම ඉවර නෑ. ඒ නපුංසක ජීවිතයෙන් චුත වෙලා දුප්පත් ගැල්කරුවෙක්ගෙ පවුලෙ දුවක් ව ඉපදුණා. යන්තම් සොළොස් විය පහුකරනකොට තාත්ත ගත්ත ණයකට හිලව් වශයෙන් ඈව ගැල් නායකයා බලෙන් ම ඇදගෙන ගියා. ඇගේ අඳෝනාවට සවන් දෙන්න කවුරුත් හිටියේ නෑ.
එකක් ඉවර වෙනකොට තව එකක්.
යන්තම් වැරදි කාම සේවන කර්මය ගෙවිල ඉවර වුණා. ඒ ගැල් නායකයාගේ ගිරිදාස කියන පුතා තමන්ගෙ ගෙදරට මැයව කැන්දගෙන ගියා. ඔහු මැයට අනුකම්පා කළා. නමුත් මැය මොහුගේම සිල්වත් ගුණවත් බිරිඳට ඉරිසියා කළා. ඒ බිරිඳ හා ගිරිදාස බිඳවන්න කටයුතු කළා. ඒ කර්මය ගෙවන්ට ඇය අරහත්වයට පත් වුණු දිවියේ දී ස්වාමිවරුන් තිදෙනෙකුගෙන්ම ප්‍රතික්ෂේප වුණා.
එනමුදු ඇය නිවන සාක්ෂාත් කළා. සියලු දුක් නිමා කළා. ඇය, ඉසිදාසී රහත් තෙරණිය යි.
එනමුදු අපි තවමත්…
මේ විඳි දුක් ඇය පමණක් විඳි දුක් නොවෙයි. අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප අතීත ජීවිතවල පර ස්ත්‍රීන් කරා යාම නිසාම පමණක් රජයට හසුවූ වාරවල දී බෙලි කැපුම් කෑමෙන් ගලපු රුධිරය සතර මහා සාගර ජලයට වැඩි බවයි. එසේ මරණයට පත් වී මෙවන් වූ පාපී විපාකයන්ට කොතෙක් නම් අප මුහුණ දෙන්නට ඇද්ද?
විටක නිරි සතුන් ලෙසත්, විටෙක වන සතුන් ලෙසත්, විටක පිරිමි, තව විටෙක ගැහැනු, තවත් විටෙක නපුංසකයින් ලෙසත් අප විඳි දුක් බොහෝයි.
මේ පාරත් මග හැරුණොත්…
මේ බුද්ධ ශාසනයත් අපට මග හැරුණොත් විඳින්න ඇති දුක් මෙලෙසමයි. ඉසිදාසි තෙරණියට වෙච්ච දේවලින් අපට නොවුණෙ එක දෙයයි. ඒ තමයි, ධර්මාවබෝධයට පත් වීම. ඒ නිසා තවත් ප්‍රමාද වෙන්න එපා. බුද්ධ ශාසනයෙන් පිළිසරණක් හදා ගන්න මහන්සි වෙන්න.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.
Recent Comments