අපි හැමෝම කැමතියි රසවත් දේවලට. ‘රසය’ කියද්දී අපට නොයෙක් දේවල් මතක් වෙනවා. බොහෝ විට එහෙම මතක් වෙන්නේ ආහාරයට ගන්න දේවල් ගැනයි… පැණි රස, ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස… නමුත් හොඳින් කල්පනා කරල බැලුවොත්, අපි ඇසින් රස විඳිනවා රූප… ලස්සන, ආකර්ෂණීය රූපවලට හිත ඇදිල යනවා. කනින් රස විඳිනවා ශබ්ද. අපි කියන්නේ “ගීත රස විඳිනවා, රසවත් ගීතයක් අහනවා” කියලා. සාමාන්‍යයෙන් විමසල බැලුවොත් ප්‍රියමනාප දේවල රස විඳින්න හැමෝම කැමතියි. පංචකාම සැපයෙන් සතුට හොයන්නට මහන්සි ගන්නේ ඒ නිසා ම යි.
ඒ වුණත්, මේ රසය අපිට කැමති විදිහට පවත්වන්නට බෑ. රසය වෙනස් වෙනවා. පැණි රසට කැමති වුණත් අපට තිත්ත රසත් විඳින්නට වෙනවා. මේ ලෝකෙ මොහොතක් පාසා පවතින එක ම දේ තමයි වෙනස් වීම. ඒ තමයි සත්‍යය. හැබැයි කවුරුවත් කැමති නෑ මේ ඇත්තට මුහුණ දෙන්න. ඇත්ත සඟවලා බොරුව මවාගෙන ඉන්නයි කැමති. කැමැත්ත අකමැත්ත කුමක් වුණත්, යථාර්ථයට මුහුණ දෙන්නම වෙනවා. ඒ යථාර්ථය හමුවේ බොරුව, මායාව සුණුවිසුණු වෙලා යනවා.
ඇත්තෙන්ම අපි කැමතියි ලෙඩ රෝග නැතුව නිරෝගීව ඉන්න. ඒත් මේ කය ලෙඩ වෙනවා. වළක්වන්න බැහැ. ඇස් රෝග, කන් රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කයේ රෝග හට ගන්නවා. නවත්වන්න බෑ. ලස්සනට, හම රැලි වැටෙන්නේ නැතිව, කෙස් සුදු වෙන්නෙ නැතිව තියාගන්නයි අපි කැමති. වයසට යන්නේ නැතිව ඉන්නයි අපි කැමති. ඒ වුණත් වයසට යෑම, ජරාවට පත් වීම වළක්වන්න බෑ. “ජීවිතේ රස විඳින්න” කියලා කථාවට නම් කියනවා. ඒත් ලෙඩ රෝග හමුවේ, වයසට යෑම හමුවේ සියල්ල කඩා වැටෙනවා. අපි කැමතියි නේ ද හැමදාම සතුටින් ඉන්න? ශෝක කරන්නට කැමති නෑ. හඬා වැළපෙන්නට කැමති නෑ. කායික දුක් විඳින්න, මානසික දුක් විඳින්න කැමති නෑ. සුසුම් හෙළන්න කැමති නෑ. ඒත් ජීවිතය තුළ මුහුණ දෙන නොයෙක් ආකාරයේ ගැටළු ඉදිරියේ ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින එක වළක්වන්න බෑ. හැමෝම කැමති වෙන්නේ ප්‍රියමනාප වස්තූන්, ප්‍රියමනාප පුද්ගලයින් සමග එකතු වෙලා ඉන්න. වෙන් වෙන්න කැමති නෑ. අප්‍රිය අමනාප දේවල්, අප්‍රිය අකමැති පුද්ගලයින් එක්ක එකතු වෙන්න කැමති නෑ. ඒ නමුත් බොහෝ විට සිදුවන්නේ අකමැති දේවල් සමග එකතු වෙන්නට සිදු වීම. කැමති දේවලින් වෙන් වීම. සත්කාරයට, කීර්ති ප්‍රශංසාවලට අපි කොහොමත් මනාපයි නේ. නින්දා අපහාසවලට කැමති නෑනේ. මනාප දේ ලැබෙනකොට සතුට හට ගන්නවා. අමනාප දේ මුණ ගැහෙනකොට අමනාපයක් හටගන්නවා. අපි කැමති විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද ජීවිතේ රස විඳින්නේ?
යේන යේන හි මඤ්ඤන්ති – තතෝ තං හෝති අඤ්ඤථා
ඒතාදිසෝ විනාභාවෝ – පස්ස ලෝකස්ස පරියායං
සිටිය ද සිතාගෙන ඒ ඒ දෙය යසට
සිදුවන්නේ ම වෙනකකි නොසිතූ ලෙසට
පවතී වෙනස් වීම ම මේ විලසකට
දැක ගත යුතුය මෙය ලෝ දහමක් ලෙසට
(සුත්ත නිපාතය – සල්ල සූත්‍රය)
එහෙම නම්, ජීවිතේ රසය නීරස වෙද්දි ‘මෙයයි ලෝ දහම’ යන්න තේරුම් ගත යුතු වෙනවා. ජීවිත අර්ථය අපට කියලා දෙන්නේ අපේ ශාස්තෘන් වහන්සේයි. අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ සැබෑ රසය අත්දුටුවා. ශ්රාවකයින්ට ජීවිතයේ සැබෑ තත්ත්වය දකින්නට, තේරුම් ගන්නට, අවබෝධ කරන්නට මාර්ගය දේශනා කොට වදාළා.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දමනය කළ, සැඩපරුෂ යක්ෂයෙක් ව සිටි ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් මෙසේ ඇසුවා.
‘කිංසු හවේ සාදුතරං රසානං’
“කවර රසය ද ලෝකයේ මියුරු ම රසය වන්නේ?”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා…
‘සච්චං හවේ සාදුතරං රසානං’
“ආර්ය සත්‍යය යි ලොවේ මියුරු ම රසය වන්නේ.”
මේ ආර්ය සත්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මෙබඳුයි. අවබෝධ කළ යුතුයි, ‘දුක නම් වූ ආර්ය සත්‍යය’, ‘දුක්ඛ සමුදය ආර්ය සත්‍යය’ ප්රහාණය කළ යුතුයි. ‘දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය’ සාක්ෂාත් කළ යුතුයි. ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය’ ප්‍රගුණ කළ යුතුයි.
බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍යයන් ගැන මෙසේ ද වදාළා:
තථානි – ඒකාන්ත සත්‍යයන් වේ.
අවිතථානි – අසත්‍ය බවට පත් නොවෙයි.
අනඤ්ඤථානි – අන්‍ය ස්වභාවයකට, වෙනත් ස්වභාවයකට පත් නො වේ.
(තථ සූත්‍රය, සං. නි. 5-2)
ඉපදීම, ලෙඩ වීම, වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්, අප්‍රියයන් හා එකතුවීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම්… මේ හැම දෙයක්ම අයිති වන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට. මේවා අනිවාර්යෙන්ම සිදුවන, හැම කෙනෙක් ම මුහුණ දෙන දේවල්. වෙනස් කරන්න බෑ. සිතන පතන දේ වෙනස් වෙද්දි, ජීවිත රස නීරස වෙද්දී හොඳින් විමසා බැලුවොත් පෙනී යාවි ඇත්තෙන්ම ආර්ය සත්‍යයට මුහුණ දීම යි වෙලා තියෙන්නේ කියලා.
කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං? ඡ අජ්ඣත්තිකානි ආයතනානීතිස්ස වචනීයං. කතමානි ඡ? චක්ඛායතනං, සෝතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං
(ආයතන සුත්තං, සං. නි. 5 – 11)
“මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය යනු කුමක්ද? එයට ආධ්‍යාත්මික ආයතන හය කිව යුත්තේ ය. ඒ කවර හයක් ද යත්: ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් ආයතනය, කය නම් ආයතනය, මනස නම් වූ ආයතනය.”
සාමාන්‍යයෙන් අපි බාහිර ලෝකයත් සමඟ සම්බන්ධ වෙන්නේ මේ ආයතන හය ඔස්සේ. ඇසින් රූප බල බලා, කනින් ශබ්ද අසමින්, නාසයෙන් ගඳ සුවඳ විඳිමින්, දිවෙන් රස විඳිමින්, කයෙන් පහස විඳිමින්, මනසින් අරමුණු සිත සිතා අපි ජීවිතය ගෙවන්නේ…. ඒ සියල්ල දුකට අයිතියි කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ඇත්තෙන්ම, හොඳින් විමසා බැලුවොත් ජීවිතේ රසවත් බවක් නෑ. දුක් විඳ විඳ යන සංසාර ගමනක ඇති රසය කුමක්ද? එවන් ගමනක, එවන් දිවියක රසවත් බවක් සොයන්නේ නම්, එය මුළාවක් ම විනා අන් කිසිවක් නොවෙයි. වෙහෙසක් පමණයි ඉතිරි වෙන්නෙ. එසේ නම් ආර්ය සත්‍යය ලොවේ මියුරු ම රසය වන්නේ කෙසේද?
ඇත්තෙන්ම එය සුන්දරයි. සැබැවින්ම එය රසවත්. ඒ රසවත් බව මුළුමනින්ම අත්වින්දේ ජීවිතය ජයගත් රහතන් වහන්සේලා. මේ වෙනස් වෙලා යන ලෝකේ වෙනස් කරන්නට ඒ උතුමන් වහන්සේලා උත්සාහ කළේ නෑ. ඒ සැබෑ තත්ත්වය අවබෝධ කළා. පවතින සැබෑවට එරෙහිව සටන් කළේ නෑ. ‘මෙයයි ඇත්ත’ කියල ඒ සනාතන සත්‍යය අවබෝධ කළා.
හොඳට පවතින මේ කය ලෙඩ වෙලා යද්දී, ‘අනේ! මගේ වසඟයේ පවත්වන්නට බැරි කය ලෙඩ වෙනවා නේද’ කියල කල්පනා කරමින් ආර්ය සත්‍යය යි සිහි කරන්න ඕන.
“බ්යාධිධම්මානං භික්ඛවේ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ වත මයං න බ්යාධිධම්මා අස්සාම, න ච වත නෝ බ්යාධි ආගච්ඡෙය්යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං”
“පින්වත් මහණෙනි, ලෙඩවීමේ දුක උරුම කරගත් සත්වයන් තුළ මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේය. අනේ! ඒකාන්තයෙන්ම අපි වනාහී ලෙඩවීමේ දුක උරුම කර නොගන්නමෝ නම් ඒකාන්තයෙන්ම ලෙඩ දුක් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කරගන්නට නොහැක්කේ මය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.”
(මහා සතිපට්ඨාන සූත්‍රය – දී. නි.)
ලෙඩ වීම පමණක් නොවෙයි. ජරාවට පත් වීම, ඒ කියන්නේ වයසට යාම, ශෝකය, වැළපීම, දුක් දොම්නස්, සුසුම් හෙළීම්, මරණය… මේ හැම දෙයක්ම අපි විඳින්නට කැමති නැති දේවල්… ඒවා එපා කියලා කොහොම නම් නොලබන්න ද? ඒවාට මුහුණ දෙන්න වෙද්දි ජීවිත රසයක් කොහොම ලබන්න ද?
හිතන්න ඕන, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා කැමති දේ ලබන්න බැරි වීම දුක්ඛ ආර්ය සත්‍යයට අයිතයි කියලා. ‘ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං’ එය සිහි කරමින් ඇත්තට මුහුණ දෙනවා. එතකොට තමයි වෙනස් වන ලෝකයට මුහුණ දෙන්න, ඔරොත්තු දෙන්න හිත හැදෙන්නෙ. ඒ ශක්තිමත් වෙන හිතට පුළුවන් හැම දෙයක්ම දරාගන්න. හිතන තරම් ලේසි නැති වුණත් අමාරුවෙන් හරි උත්සාහ කරන්නම වෙනවා එවන් ශක්තිමත් බවක් උපදවා ගන්න. අන්න එතකොට ජීවිතය විනිවිදින නුවණින් යුතුවයි එයා මේ ලෝකය දකින්නේ. එහෙම කෙනාට පුළුවන් වෙනවා ඇස් දෙකෙන් රූප දකිනකොට රූපයේ වෙනස් වීම හමුවේ ආර්ය සත්‍යය සිහි කරන්න. එවිට විඳින්නේ දහම් රසය යි. කනින් රස විඳින නාදයේ (ශබ්දයේ) වෙනස් වීම හමුවේ ආර්ය සත්‍යය සිහි කරන්න. සුවඳ විඳින්නට කැමති නමුත් ගඳ දැනෙද්දී, පැණි රස කැමති වුණාට තිත්ත රස විඳින්න ලැබෙද්දී, අමිහිරි අමනාප කටුක පහස ලැබෙද්දී, ප්‍රියමනාප දේ ඈත් වී අප්‍රිය අමනාප දේ ලැබෙද්දී, ජීවිතේ නීරසයි කියලා හැඟෙද්දී… ඒ සිතිවිල්ලට ඉඩ නොදී ආර්ය සත්‍යය ම මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ එයාට ම යි.
නිතර නිතර එහෙම සිහි කරන්න පුරුදු වෙද්දී මෙන්න මෙහෙම හැකියාවක් ලැබෙනවා… ‘ශෝක කරන්න කාරණයක් යෙදෙන විට ශෝක නොකර ඉන්න. හඬන්න වැළපෙන්න සුසුම් හෙළන්න වෙද්දි එහෙම නොකර සතුටින් ඉන්න. ඒ සතුට ලැබෙන්නේ ආර්ය සත්‍යය සිහි කිරීමෙන්. සිහි කළ යුතු දේ පවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ ඒ නිසයි.
මා භික්ඛවේ, පාපකේ අකුසලේ විතක්කේ විතක්කේථ.
“ මහණෙනි, පාපී අකුසල විතර්කයන් විතර්ක නොකරව්.”
විතක්කෙන්තෝ ච ඛො තුම්හේ භික්ඛවේ, ඉදං දුක්ඛන්ති විතක්කෙය්යාථ, අයං දුක්ඛසමුදයෝති විතක්කෙය්යාථ, අයං දුක්ඛනිරෝධෝති විතක්කෙය්යාථ, අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති විතක්කෙය්යාථ.
“මහණෙනි, ඔබලා විතර්ක කරන්නහු නම් මෙය දුක යැයි විතර්ක කරව්. මෙය දුකෙහි හටගැනීම යැයි විතර්ක කරව්. මෙය දුක් නිරුද්ධ වීම යැයි විතර්ක කරව්. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි විතර්ක කරව්. ”
තං කිස්ස හේතු?
“එයට හේතුව කුමක්ද?”
ඒතේ භික්ඛවේ, විතක්කා අත්ථසංහිතා.
“මහණෙනි, මේ විතර්කයෝ යහපතින් යුක්ත වෙති.”
ඒතේ ආදිබ්රහ්මචරියකා
“නිවන් මගට මුල් වෙති.”
ඒතේ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති.
“ඒවා අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිත්. විරාගය පිණිස පවතිත්. නිරෝධය පිණිස පවතිත්. සංසිඳීම පිණිස පවතිත්. විශිෂ්ට ඥානය පිණිස පවතිත්. සත්‍යාවබෝධය පිණිස පවතිත්. නිවන පිණිස පවතිත්.”
(විතක්ක සූත්‍රය, සං. නි. 5 – 2)
ආර්ය සත්‍යය සිහි කිරීමෙන් ලැබෙන යහපත භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙනකොට, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ශාස්තෘ සරණේ මනා කොට පිහිටලා මේ මිහිරි ආර්ය සත්‍යය සිහි කළා. සියලු රස පරදන දහම් රස විඳින්නට ඔවුන්ට හැකි වුණා. එපමණක් නොවේ, අමා නිවන් රසයේ ගැලෙන්නටත්, පරම ශාන්තිය ලබන්නටත් හැකි වුණා.
“යමෙක් පිළිවෙතින් යුතු වෙද
– මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන් – බුදු සසුනෙහි සිට
ඒ උතුමන් පැමිණිය
– පසු සුන්දර නිවනට
වළඳිති සුවසේ නිවනම
– සිතු සිතු විලසට”
(රතන සූත්‍රය – සු. නි.)
නිවන් රසය විඳිමින් සිටි පරිපුණ්ණක මහරහතන් වහන්සේගේ මුවින් මේ උදානය පහළ වුණා.
“න තථා‘මතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං
අපරිමිත දස්සිනා ගෝතමේන බුද්ධේන දේසිතෝ ධම්මෝ’ති.”
“අද මා වළඳින්නේ අමා නිවන් රසය යි. එවැනි රසයක් මේ මිනිස් ලොව කිසිම ආහාරයක නෑ. දිව්‍ය ලෝකයේ ‘ක්ෂුධා’ භෝජනයේ වත් එවැනි රසයක් නෑ. අසීමිත අවබෝධයකින් යුතු ගෞතම බුදුසමිඳාණන් තමයි මේ අමා දහම් වදාළේ.”
අපරිමිත ගුණ ඇති, අමා දම් රස බෙදා දුන් මහා මුනිවර අප ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සරණේත්, මියුරු රසැති දහම් සරණේත්, නිවන් රස වැළඳූ මහ සඟරුවනේ සරණේත්, මනා කොට පිහිටනවා නම්, දම් රස විඳිමින් ආර්ය සත්‍යයන් නිති සිහි කරනවා නම් සැබෑ ජීවිත අරුත පසක් කර ගනිමින්, උතුම් රසය අත් විඳින්නට අපටත් හැකි වේවි.
මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments