උපතත් සමග අත්වැල් බැඳ සිටින්නේ මරණයයි. ඉපදීමෙන් සතුටුවන සත්ත්වයා මේ යථාර්ථය නොදැන මරණයට බියවෙයි. දිනක් බුදු සමිඳුන් කොසොල් රජතුමාට වදාළේ උපන් සත්ත්වයාට ජරා මරණ හැර වෙන කිසිවක් නැති බවයි. මේ නිසා උපන් සත්ත්වයා ඕනෑම අවස්ථාවක ඕනෑම ක්‍රමයකින් මරණයට පත්වීම වළක්වාගත නොහැකි දෙයක්. කෙනෙක් මරණයට පත්වූ විට, ජීවිතාවබෝධය ඇති නොකර ගත් සාමාන්‍ය ජනතාව කරන්නේ හඬා වැලපීමයි. ළයේ අත් ගසා විලාප දීමයි. දුක් අඳෝනා නැගීමයි. උපතට පෙර ජීවිතයත්, මරණින් මතු ජීවිතයත් නොදන්නා සාමාන්‍ය ජනතාවට හඬා වැලපීම හැර එය අවබෝධ කිරීමේ හැකියාවක් නැත.
මලක් මැලවී යන්නා සේ මේ ජීවිතය අවසන් වේ. කුඩා දොළ පහරක් සිඳී යන්නා සේ උපන් සත්ත්වයාගේ ආයුෂ ගෙවී යයි. හිරු උදාවී නැගී සවසට බැස ගොස් රැය පහන්වන විට උපන් සත්ත්වයා ළං වෙන්නේ අවසාන මොහොත වෙතය. අවසන් මොහොත පැමිණෙන විට භෞතිකව ගොඩ නගා ගත් සියල්ල ම අත්හළ යුතුය. ගෙවල් දොරවල්, ඉඩ කඩම්, දේපල, දූදරුවන්, නෑදෑ හිතමිතුරන්, කීර්ති සම්මාන සියල්ල ම සමඟ අප සම්බන්ධ වෙන්නේ මේ භෞතික කයෙන් නොවේද? මේ කය හා බැඳුනු සියලු වටපිටාවට ම අපේ සිත තදින් ම බැඳී පවතින්නේ ය.
“මේ සිත වනාහී දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ කාම අරමුණු ඔස්සේ සැළි සැළී තිබේ. ඒ නිසා මේ මාර බන්ධනයන් නැතිකර දැමිය යුතුමයි.”
(ධම්ම පදය – චිත්ත වර්ගය)
බොහෝ දෙනෙක් සමාජශීලීව ජීවත් වීමේදී තමා ගැන සිතන්නේ නැහැ. අවසන් මොහොතේ දී බාහිර ලෝකය අතහැර ගුණ ධර්ම මත සිහිය පිහිටුවා ගත යුතුයැයි කියා සිතන්නේ නැහැ. යුතුකම් ඉටුකිරීමේ අවශ්‍යතාවය පටලවා ගනියි. අන්තිමේදී ඒ ගැන ම සිතා දුක් සහිත මරණයක් උරුමකර ගනියි. දුක් සහිත මරණයට හේතුවන්නේ සිත දූෂිත වීමයි.
කෙළවරක් නොපෙනෙන සංසාර ගමනේ දී අනන්ත වාරයක් ආයෙ ආයෙමත් මුහුණ දුන්න මරණය නමැති අවාසනාවන්ත ඉරණමට කාල නියමයක් පනවන්න අප කාටවත් බැහැ. මරණය කියන එක කොතැනක, කොයි මොහොතක උදා වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ.
ඉතින් ඒක හින්දා උදා වෙන හැම මොහොතකදී ම මරණයට සූදානම් වෙලා නොසිටියොත්, කාටවත් ම නොදන්වා, හොර රහසේ ම අපි කරා ළඟා වෙන ඒ අවාසනාවන්ත ඉරණමෙන් පස්සෙ අපට මොන වගේ අනතුරකට මුහුණ දෙන්න වෙයිද කියලා හිතා ගන්නත් බැහැ.
කෙලෙස් අඳුරෙන් වැහුණු අපේ සිත්වලට සංසාර සාගරේ භයානකකම දැනෙන්නේ බොහොම අඩුවෙන්. ලිප උඩ තිබ්බ වළඳක් ඇතුළේ වතුර රත් වෙනකන් නටන කකුළුවෝ වගේ කෙලෙස් ගින්නෙන් ඇවිලෙද්දිත් මේ ලෝකේ මිනිස්සු පුහු සන්තෝෂයක්, හිස් වින්දනයක් පස්සේ එල්ලි එල්ලී දුවන්නේ ඒකයි. ඒ වුණත් අපි සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර කතරේ භයානකකම සම්පූර්ණයෙන් ම අවබෝධකර ගත්තා. ඒ විතරක් නොවේ, ඒ උත්තමයන් වහන්සේ සසර කතරින් එතෙරට වැඩලා අන් අයවත් එතෙර කෙරෙව්වා.
ජීවිතාවබෝධයක් නොමැතිව මරණයට මුහුණදෙන ජීවිතවලට අත්වෙන ශෝචනීය ඉරණම ඒ භාග්‍යවතුන් වහන්සේ මහා නුවණකින් දැක්කා. අපේ ම වාසනාවකට ද කොහෙද අඬන වැලපෙන ලෝකයෙන් එතෙර වෙලා සිනාසෙන මුහුණකින් යුතුව මරණය කියන අවාසනාවන්ත ඉරණමට මුහුණදෙන හැටි බුදු සමිඳුන් අපට දේශනා කොට වදාළා. දුක් සෝ තැවුල් නිසා දෙනෙතින් ගලා හැලෙන කඳුළැලි පිස දමාගෙන මඳ සිනහවකින් මුව පියුම සරසවාගෙන සුව නින්දකට යනවා වගේ මරණය වෙත යන්න නම් ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධකර ගන්න ඕන. ජීවිතය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන නිකැළැල් යථාර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන එකටයි. ඉතින් ඒ පරම සත්‍යය අවබෝධ කරන්න නම් අපි නිතර ම මරණය ගැන සිහි කරලා ජීවිතේට අත්වැලක්, වීරියක් ලබා ගන්න ඕන.
මේ මොන විකාර කතාවක් ද කියලා හිතෙයි. මොකද අවිද්‍යාවෙන් වැසුණු මිනිස්සු මරණය ගැන කතා කරන එක තරම් මූසල දෙයක් තවත් නැහැ කියලයි සිතන්නේ. ඒ වුණත් හිතුවත් නැතත් අපි කවදා හරි මරණයට පත්වෙන හින්දා ඒ ගැන කතා කරන එක නෙමේ මූසලකම වෙන්නේ. මරණයට පත්වෙන ස්වභාවයෙන් යුතු ජීවිතයකට ඇලි ඇලී සංසාරේ ගමන් කරන එක තමයි මූසලකම වෙන්නේ.
කෙනෙකුට තමන්ගේ ජීවිතේ අවබෝධයක් කරා අරගෙන යන්න ඕන නම් හිතන්න ඕන විදිහ බුදු සමිඳුන් මනාව දේශනා කොට වදාළා.
“පින්වත් මහණෙනි, මේ ශාසනයේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන ආර්ය ශ්රාවකයා ටිකෙන් ටික දහවල් කාලය ගතවෙලා රාත්‍රිය උදාවෙන කොට මෙන්න මේ විදිහට ජීවිතේ ඇත්ත තත්ත්වය නුවණින් විමසිය යුතුයි.”
“මාගේ මරණයට හේතු වෙන්න පුළුවන් කාරණා බොහෝමයක් තියෙනවා.
සමහරවිට අද රෑ සතෙක් සර්පයෙක් දෂ්ඨ කරලා හරි මගේ මරණය සිදුවීමට පුළුවන්. පය පැටලිලා වැටිලා හරි මම කාපු බීපු දේ දිරවගන්න බැරිව හරි මගේ මරණය සිදුවීමට පුළුවන්. එහෙමත් නැතිනම් ලෙඩ රෝගවලින් මොකක් හෝ වැළඳිලා හරි මගේ මරණය සිදුවෙන්න පුළුවන්. එහෙම මරණයට පත්වෙන්න සිදුවුණොත් ඒක මට අනතුරක් පිණිසමයි හේතු වෙන්නේ” කියලා විමසන්න යි බුදු සමිඳුන් අප හට දේශනා කොට වදාළේ.
“පින්වත් මහණෙනි, ඒ විදියට හිතන ආර්ය ශ්රාවකයා මේ රාත්‍රියේ මිය යන මට දුක් සහිත මරණයක් ඇතිකරවන මතුවට අනතුරු ගෙන දෙන ළාමක අකුසල් දහම් තවමත් මං ගාව තියෙනවාද කියලා නුවණින් විමසන්න ඕනේ. එහෙම විමසනකොට එයා තුළ ළාමක අකුසල් තියෙනවා නම් ඒ දේ අවබෝධ වෙනවා. එතකොට ඒ පුද්ගලයා හිස ගිනි ඇවිලුණ කෙනෙක්, ඇඳගෙන ඉන්න ඇඳුම්වලට ගිනි ඇවිලුණ කෙනෙක් ඒ ගිනි නිවාගන්න වෑයම් කරනවා වගේ අර තමා තුළ පවතින අකුසල් නැතිකරලා දාන්න අප්‍රමාණ වීර්යයක් උත්සාහයක් ගන්න ඕන.”
“ඒ වගේ ම පින්වත් මහණෙනි, රාත්‍රිය ටිකෙන් ටික ගෙවිලා ගිහින් දහවල් කාලය උදා වුණාමත් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ඒ විදියටමයි කටයුතු කරන්න ඕන.”
(දුතිය මරණ සති සූත්‍රය – අං.නි 5)
ඉතින් අපේ ජීවිත කරා වේගයෙන් ළඟාවෙන අවාසනාවන්ත මරණයෙන් පස්සේ අඩුම තරමින් දුගතියක නොයන්න නම් කවුරු කොහොම කීවත් අපිත් මේ විදියට කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. අනික් අතට ගත්තාම කාලය කියන්නේ විවෘත වූ දෙයක් නෙමෙයි. කාලය කියලා කියන්නේ වැහිලා ගිය දෙයක්. සමහරවිට අපි මොන වයස් සීමාවල හිටියත්, තව ටික කාලයකින් අපේ ජීවිත ගෙවිලා ඉවර වෙන්න නියමවෙලා තියෙනවා නම් අද අපි ගෙවන්නේ අපේ ජීවිතවල සැඳෑ සමයයි. ඉපදුණු කෙනෙක්ගේ ජීවිතය මරණයට පත්වෙන එක වළක්වන්න අපි කාටවත් බැහැ. ඒක හින්දා හිතවතෙක් මැරුණහම අපි උමතුවෙන තරමට ම ඇඬුවත් ඇත්තට ම අපි අඬන්න ඕනේ කෙනෙක් ඉපදෙන කොටයි. මොකද අපේ සමාජයේ කෙනෙකුට මරණ සහතිකයක් දෙන්නේ එයා මැරුණට පස්සේ වුණාට මාරයා මරණ සහතිකය දෙන්නේ කෙනෙක් ඉපදෙන කොටමයි.
සමහරවිට හිටිගමන් ම ඔබේ හදවතට සමීපවෙලා හිටපු කෙනෙක් ඔබටත් නොකියාම ජීවිතයෙන් සමු අරගෙන යන්න යාවි. එතකොට ඔබ තවත් ජීවිතේ ගැන ඇත්ත අවබෝධ කරන්න මහන්සි ගන්න ඕන. මොකද දන්නවද? ඔබ කරාත් මරණය වේගයෙන් ළඟා වෙනවා. අපි සියලු දෙනා කවදා හරි දවසක මිය යන හින්දා ඉස්සෙල්ලා මැරෙන්නේ කවුද? පස්සෙ මැරෙන්නේ කවුද? කියන ප්‍රශ්නෙ විතරයි එතන තියෙන්නේ. හැම තැනකදී ම එකට වෙළිලා තියෙන එකම කඹයක පොටවල් දෙකක් වගේ ජීවිතයත් එක්ක මරණය සෑම මොහොතක ම එකට වෙළිලයි තියෙන්නේ. ඒක හින්දා සංසාර ගමනක පැටලි පැටලි නැවතත් දුක් නොවිඳින්න නම් ජීවිතය ගැන මෙන්න මේ විදියට අපි නිතර හිතන්න ඕන. බලන්න ඔබටත් පුළුවන්ද කියලා මේ විදියට හිතන්න. හැබැයි හිතන්නන් වාලේ නෙමේ. මුළු හදවතින් ම අවංකවමයි හිතන්න ඕනේ.
“තණ පත් අග රැඳුණ පිණි බින්දු උදා හිරු කිරණේ මුදු සුමුදු පහස පවා දරාගත නොහැකිව වියළී යන්නේ යම් සේද පිණි බිඳක් බඳු වූ ජීවිතය මරණයේ රිවි කිරණ අබියස දී වියළී යන්නේය.”
“අඳුර දුරු කරන්නට දුබල වෑයමක් දරන සැඳෑ හිරු කිරණක් ලොවෙන් සමුගෙන යන මොහොතක අඳුරු අහස් ගැබ පළාගෙන නිමේෂයකට ලොව එළිය කරන්නට ඇදෙන රිදී පැහැ විදුලි එළි යම් සේද එබඳු වූ මේ දිවිය වහා ඇති වී නැති වී යන්නේය.”
“මලානික සඳ එළිය පැතිරුණ නිසංසල රැයක, මුදු මඳ සුළඟින් කැලති කැලතී සැලෙන විල් දියක පිපී අරුණටත් පෙර ම පරවී යන පුංචි ම පුංචි කුමුදු මලක් බඳු වූ ජීවිතය දෙනෝ දාහක් මැද වුවද නොකියා ම ඉපදී රහසේ ම පරව යන්නේය.”
“අනෝරා වැසි වැටී කිණිති අග රැඳි හැඩවුණ දිය බිඳිති ඒ මල් පෙති අගින් ගිලිහී වහ වහා පොළොවට වැද නොපෙනී යන්නේ යම් සේද මල් පෙත්තක් අග රැඳුණ දිය බිඳක් බඳු වූ ජීවිතය ඉතා ටික කලකින් ම ගිලිහී මරණය හා මුසුව යන්නේය.”
“අනන්ත අහස්කුස සිපගෙන නැගුණ යෝධ තුරු ලතාවලින් ගැවසුන දිගන්තය තෙක් පැතිර ගිය මහා ඝණ වනාන්තරයක් මැදින් නිසොල්මනේ ම ගලා බසින විසල් නදියක සුනිල දිය දහර මොහොතකටවත් නොනැවතී සයුරු තෙර කරා ඇදී යන්නේ යම් සේද, සිහිනයක් මෙන් ඉපදිලා, ජරාවෙන් මරණයෙන් හැඩවෙලා, අනේක සෝ සුසුම් බාධකවල දැවටිලා සුන්දරයි කියා ගත් අසුන්දර ජීවිත නදිය මොහොතක්වත් නොනැවතී මරණයේ ගං මෝය වෙත ම ඇදී යන්නේය.”
ජීවිතය කොයි තරම් කෙටි ද කියලා ඔබටත් මේ විදියට හිතන්න පුළුවන් නම්, ජීවිතයට අත්වෙන්න තියෙන ඉරණම ටිකක් හරි වෙනස් කර ගන්න ඔබටත් පුළුවන් වේවි.
අපට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ. වැඩි ම වුනොත් කෙනෙක් අවුරුදු සියයක් ජීවත් වේවි. ඒක ලොකු කාලයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් හිතලා බලන්න, එතකොට අපට ජීවත් වෙන්න තියෙන්නේ මාස එක්දහස් දෙසීයක්. කොයි තරම් කෙටි ද?
ඒක නිසයි අරක සූත්‍රයේ දී බුදු සමිඳාණන් වදාළේ “පින්වත් මහණෙනි, තමන්ගේ ශ්‍රාවකයන්ට හිතවත්, අනුකම්පා කරන ශාස්තෘන් වහන්සේනමක් ශ්‍රාවකයන්ට හිත සුව පිණිස යමක් කියලා දෙන්න ඕනෑ, යමක් කරන්න ඕනෑ. ඒ සියල්ල ම මම ඔබලාට කියලා දුන්නා. ඔබලා වෙනුවෙන් කළ යුතු සියල්ල ම මම කළා. මෙන්න තිබෙනවා හුදෙකලා රුක් මුල්. මෙන්න තිබෙනවා හිස් ගෙවල්. සමථ විදර්ශනා වඩන්න මොහොතක්වත් ප්‍රමාද වෙන්න නම් එපා. එහෙම ප්‍රමාද වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපා. මේක තමයි ඔබලාට දෙන මගේ අවවාදය.” කියලා.
ඉතින් අපෙත් මොකක්දෝ පිනකට දුර්ලභ මිනිසත් බව ලැබුණා. අපි සරණ ගිය ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් විඳලා සොයාගත්ත ශ්‍රී සද්ධර්මයත් ලැබුණ මේ මොහොතේ අනිත් සෑම වැඩකට ම දෙවැනි තැන දීලා ධර්මයේ ම හැසිරෙන්නයි මහන්සි ගන්න ඕන. යම් විදියකින් ධර්මයේ නොහැසිර කෙලෙස් සහිතව ම අපිට මැරෙන්න වුණොත් අනන්ත වාරයක් නැවත නැවතත් මුහුණ දුන්නු ඒ මරණය කියන අවාසනාවන්ත ඉරණමට ආයෙ ආයෙමත් මුහුණ දෙන්න සිදුවේවි. ධර්මයේ නොහැසුරුණොත් අපි කැමති වුණත් නැතත් ඒක ස්ථිරව ම සිද්ධ වේවි.
තව බොහොම ටික කාලයයි තියෙන්නේ. ඉතින් ඒ ටික කාලය තුළ විවිධාකාර මතවාදවල පැටලි පැටලී යන්නේ නැතිව, බුදු සමිඳුන් වදාළ ධර්මය ම තෝරාගෙන ඒ ධර්මයේ ම අප්‍රමාදීව හැසිරෙන්න ඕන. සමහරවිට ඊළඟ හුස්ම අරගෙන පහළ දාන්න කලින් අපි කවුරු කවුරුත් මැරිලා යයි ද
දන්නේ නැහැ. ජීවිතේ ඒ තරමට ම අවිනිශ්චිතයි. ඒක නිසා හොඳින් සිහි තබාගන්න, ආයෙමත් ශ්‍රී සද්ධර්මය මේ සංසාරෙදි කවදා නම් හමුවෙයි ද දන්නේ නැහැ. එය ඒ තරම් ම දුර්ලභයි.
ඒ නිසා එදිනෙදා ජීවිතයේ හැම වැඩකින් ම මොහොතකට හරි නිදහස් වුණ හුදෙකලා වෙලාවක නිසංසල තැනකට වෙලා තව එකම එක පාරක් ජීවිතේ ගැන හිතලා බලන්න. සුළුවෙන් නෙමේ ගැඹුරින් ම. මතක තියාගන්න ඒ මරණය නමැති අවාසනාවන්ත ඉරණමට තව වැඩි කාලයක් නම් නැහැ.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.
සාදු !!! සාදු !!! සාදු !!!
අනේ සාදු සාදු සාදු … !!!
සත්‍යයක් මයි මේ…
සාධූ!!!සාධූ!!!!!සාදූ!!!
මෙවන් කර්තව්‍යන් සඳහා..තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..