පින්වත් දුවේ පුතේ, මේ ලෝකේ තියෙන ලස්සන දෙයක් තමයි මිත්‍රධර්මය කියලා කියන්නේ. යම් කෙනෙක් ඒ මිත්‍රධර්මය රකිනවා නම් එයාට තමයි මිත්‍රයා කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද මේ මිත්‍රධර්මය? මිත්‍රධර්මය තමයි දුවේ පුතේ, තමන්ගේ මිතුරන්ට කරදර විපත් ඇති වූ විට වීර්යයෙන් ධෛර්යයෙන් යුක්තව ඒ දුකින් බේරාගෙන සැපයට පමුණුවා සුවපත් කිරීම. මිත්‍රයාගේ යහපත වෙනුවෙන් අප සතු වගකීම නිසි අයුරින් ඉටු කිරීම.

අපි ජීවත්වෙන ලෝකයේ මිත්‍රයින් දෙපිරිසක් අපිට මුණගැසෙනවා.ඒ තමයි පාපමිත්‍රයා සහ කල්‍යාණමිත්‍රයා. පාපමිත්‍ර ආශ්‍රය නිසා කවදාවත් අපේ ජීවිතයට යහපතක් සිදු වෙන්නේ නෑ. පාපමිත්‍ර ආශ්‍රය නිසා අපේ ජීවිතයට බොහෝ දුක් පීඩා ඇතිවෙනවා. කරදරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. හැබැයි කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් කවදාවත් එහෙම වෙන්නේ නෑ. කල්‍යාණමිත්‍ර ආශ්‍රය නිසා අපේ ජීවිතය පිනෙන් පිරී යනවා, සතුට උපදිනවා, දුක නැතිවෙලා යනවා, යහපත් ගුණධර්මවලින් දියුණු වෙනවා.

පින්වත් දුවේ පුතේ, කල්‍යාණ මිත්‍රයෙක් මුණගැසෙන්නේ බුද්ධ ශාසනයක් තුළම විතරයි. බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගිය කෙනෙකුටමයි කල්‍යාණමිත්‍රයා කියලා කියන්න පුළුවන්. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා, කල්‍යාණමිත්‍රයාව හඳුනාගන්න පුළුවන් කරුණු හතරක් ගැන. මේ කියන කාරණා යම් කිසි මිත්‍රයෙක් තුළ තියෙනවා නම් එයා සැබෑම කල්‍යාණමිත්‍රයෙක්. අපි නිතර නිතර ඒ මිත්‍රයාව ඇසුරු කරන්න ඕන. ඒ තමයි, කල්‍යාණමිත්‍රයා ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, ත්‍යාගවන්තයි, ප්‍රඥාවන්තයි.

ශ්‍රද්ධාවන්තයි කියලා කියන්නේ දුවේ, පුතේ ඒ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආදරයෙන් සරණ ගියපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ආදරයෙන් සරණ ගියපු කෙනෙක්. එයාගේ ජීවිතය තිසරණයට පූජා කරලයි තියෙන්නේ. ජීවිතයට දුක් කරදර එනකොට තිසරණය හැර වෙන දෙයක් සිහි වෙන්නේ නෑ. එයාට තමයි ශ්‍රද්ධාවන්ත කෙනා කියලා කියන්නේ.

එයා කොහොමද සීලවන්ත වෙන්නේ? ඒ තමයි, ඒ මිත්‍රයා සතුන් මැරීමෙන් වැළකිලා ඉන්නවා, සොරකමින් වැළකිලා ඉන්නවා, වැරදි ජීවිතයෙන් වැළකිලා ඉන්නවා, බොරු කීමෙන් වැළකිලා ඉන්නවා, ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඉන්නවා. ජීවිතය වෙනුවෙන්වත් කවදාවත් ආරක්ෂා කරන සිල්පද කඩාගන්නේ නෑ.

සිල්පද ආරක්ෂා කිරීම පිණිස එයා ජීවිතය වුණත් අතහරිනවා. සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. එයාට තමයි කියන්නේ සීලවන්ත කෙනා කියලා. ඒ වගේම පින්වත් දුවේ පුතේ, කල්‍යාණමිත්‍රයා කොහොමද ත්‍යාගවන්ත වෙන්නේ? එයා තමා සතු ආහාරපාන, ඇඳුම් පැලඳුම්, බේත් හේත් ආදී දේවල් අන් අයගේ සැපය සතුට වෙනුවෙන් පරිත්‍යාග කරනවා, අත්හරිනවා, දන් දෙනවා. ඒකෙන් එයා ගොඩක් සතුටු වෙනවා. නැවත නැවත දන් දෙනවා ආන්න එයා ත්‍යාගවන්ත කෙනෙක්. කල්‍යාණමිත්‍රයා ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? එයා හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන ගන්නවා, මතක තියා ගන්නවා, නැවත නැවත මතක් කරනවා. ජීවිතයේ නොයෙක් අවස්ථාවල තීරණ ගන්න වෙනකොට කලබල වෙන්නේ නෑ.

හොඳට විමසලා තීරණ ගන්නවා. ධර්මයට අනුව කටයුතු කරනවා. කළ යුතු යහපත් දේවල් තෝරාගෙන ඒ දේවල් පුරුදු කරනවා, දුරුකළ යුතු අයහපත් දේවල් දුරු කරනවා. එයාට තමයි දුවේ පුතේ, ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ.

ඉතින් මේ කරුණු මිත්‍රයෙක් තුළ තියෙනවා නම් එයා තමයි කල්‍යාණමිත්‍රයා. දුවලා පුතාලා අහල තියෙනවා නේද අනාථපිණ්ඩික සිටුතුමා ගැන? අනාථපිණ්ඩික සිටුතුමාට සිටිය යාළුවෝ අතර හිටියා ‘කාලකන්නි’ කියලා දුප්පත් යාළුවෙක්. මෙයා කුලයෙනුත් බාලයි. ධනවත් පවුල්වල මිතුරන් සිටුතුමා ‘කාලකන්නිව’ ඇසුරු කිරීම ගැන සතුටු උනේ නෑ. ඒත් මේ ‘කාලකන්නි’ තුළ තිබුණා මිත්‍රධර්මය. මෙයාට ම තමයි සිටු මාලිගාවේ ආරක්ෂක කටයුතු පැවරිලා තිබුණේ. සිටුතුමා නැති දවසක සිටු ගෙදර බිඳින්න පැමිණි සොරුන්ගෙන් සිටු නිවස බේරා ගත්තෙත් මෙයා තමයි. දුප්පත් උනත් මෙයාගේ ගුණවත්කම ගැන සිටුතුමා බුදුරජාණන් වහන්සේට සැල කළා. බුදුරජාණන් වහන්සේ එදා මිත්‍රධර්මය ගැන කියැවෙන මේ කුසනාලී ජාතකය වදාළා.

ගොඩක් ඉස්සර කාලෙක බරණැස් රජ්ජුරුවන්ගේ මඟුල් උයනේ කුසනාලී නමැති රුක් පඳුරක රුක් දෙවියන් වෙලා මහබෝසතාණන් වහන්සේ ඉපදුණා. ඒ උයනෙ ම මංගල ගල්තලාව ළඟ තිබුණා ‘රුචි’ කියලා විශාල වෘක්ෂයක්. ඒ රුකේ අධිගෘහිත මහේශාක්‍ය රුක්දෙවියන් එක්ක බෝසතාණන් වහන්සේ හොඳ මිතුරුකමින් වාසය කළා. ඔය දවස්වල රජ්ජුරුවන්ට තිබුණු එක්ටැඹක වූ ප්‍රාසාදයට අලුත් ස්ථම්භයක් ඕනෑ වුණා. රජතුමා ඒකට සුදුසු රුකක් හොයන්නට වඩුවෙක්ට පැවරුවා. මංගල වෘක්ෂය හැර වෙන රුකක් ඔවුනට දැකගන්නට ලැබුණේ නෑ. රජතුමාගේ අණ නිසා මඟුල් රුක කපන්නට තීරණය කළා. පුදපූජා පැවැත්වූවා. මඟුල් රුකට අධිගෘහිත දෙවියා දරුවන් සමඟ යායුතු වෙන තැනක් නොදැක හඬා වැලපුනා. බෝසත් දෙවිතුමා පිරිස අස්වසලා මම ඔබේ විමානය බේරා දෙන්නම් කියලා පොරොන්දු වුණා.

පසුවදා රුක සිඳින්නට වඩුවන් ආවට පස්සේ බෝසත් දෙවියා කටුසු වෙසක් මවාගෙන රුක් මුල් අතරට වැදී නොපෙනී ගියා. ප්‍රධාන වඩුවා ඒක දැක්කා. ආයෙමත් ගසේ උඩ අත්තක් ලඟින් මතුවෙලා හිස සොලව සොලවා හිටියා. ප්‍රධාන වඩුවා ඒකත් දැක්කා. දැකලා “මේ ගස ඇතුළෙ හුඹහක් තියෙනවවත්ද?” කියලා ගිහින් අතින් තට්ටු කළා. එතකොට බොල් හඬකුයි ඇසුණේ. “අපට වැරදුනා” කියලා ඔවුන් යන්න ගියා. ඉතින් දුවේ පුතේ, මහ රුකේ සිටිය මහේශාක්‍ය දෙවියා නැවතත් ඒ රුකේ අධිපති උනේ කුසනාලී පඳුරේ අරක්ගත් දෙවියා තුළ මිත්‍රධර්මය හොඳින් පිහිටලා තිබුණු නිසා. එනිසා අපිත් ඒ සුන්දර මිත්‍රධර්මය රකින්න මහන්සි ගමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි