මහානාම මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ, ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා අනාගාමී ඵලයට පත් වූ චිත්ත ගෘහපතිතුමා තම මච්ඡිකාසණ්ඩ නුවර ‘අම්බාටකාරාමය’ නම් මහා විහාරයක් කරවා භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට අවස්ථාව සැලසීමෙන් මච්ඡිකාසණ්ඩ නුවරවාසීන්ට මහා යහපතක් උදා කළා.

ඒ වගේ ම මහා ප්‍රඥාවන්තයෙක් වූ චිත්ත ගෘහපතිතුමා තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයෙකුගෙන් ශ්‍රාවක සංඝරත්නයට ඉටුවිය යුතු යුතුකම් කොටස මනාව හඳුනාගෙන සංඝයාට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ගැන සොයා බලමින් නිරන්තරයෙන් ම සංඝයාට සුවසේ සසුන් බඹසර හැසිරීමට සිවුපසයෙන් ඇප උපස්ථාන කළා.

-මුනිඳු නොදුටුව දෑස කුමට ද-

මච්ඡිකාසණ්ඩ නුවරවාසීන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර වූ, මච්ඡිකාසණ්ඩයටම මහත් ආලෝකයක් වූ චිත්ත ගෘහපතිතුමා ‘මම භාග්‍යවතුන් වහන්සේව නොදැක සෝවාන් වුණා. භාග්‍යවතුන් වහන්සේව නොදැක ම අනාගාමී ඵලයටත් පත් වුණා. අනේ! මට මගේ ශාස්තෘන් වහන්සේව දැක බලා ගන්නට ඇත්නම්… ඒක මොනතරම් නම් භාග්‍යයක් ද!.. ඒ නිසා මම තවත් කල් නොයවා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න යන්න ඕන.’ කියලා කල්පනා කළා.

අනතුරුව තල, සහල්, වෙඬරු, පැණි, වස්ත්‍ර, ඇතිරිලි ආදිය පිරවූ කරත්ත පන්සියයක් සූදානම් කෙරෙව්වා. “දානමානවලින් අඩුවක් වෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේව දකිනු කැමැත්තෝ පැමිණෙත්වා…!” කියලා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ටත් දැනුම් දුන්නා.

“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා
ඒකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සෝළසිං”

“ඇත්තු ලක්ෂයක් ලැබුණත්, අශ්වයන් ලක්ෂයක් ලැබුණත්, වෙළඹුන් ලක්ෂයක් ලැබුණත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුණත්, මුතු මැණික් ආභරණවලින් සැරසුනු කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත්, ඒවා බුදු සමිඳුන්ව දැකීම පිණිස යාමට තබන එක පියවරකින් සොළොස් කලාවෙන්, කලාවක් තරම්වත් වටින්නෙ නෑ.”

(සුදත්ත සූත්‍රය – සං.නි 1)

චිත්ත ගෘහපතිතුමා පන්සියය බැගින් වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් සමඟින් භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට මච්ඡිකාසණ්ඩයෙන් සැවැත්නුවර බලා පිටත් වුණා. මච්ඡිකාසණ්ඩයේ සිට සැවැත්නුවරට යොදුන් තිහක් දුර නමුත්, මේ ගමන යන අතරමඟ දී කිසිවෙකුටත් කිසිම අපහසුවක් ඇති නොවන ආකාරයෙන් චිත්ත ගෘහපතිතුමා අවශ්‍ය සියලු ම කටයුතු මැනවින් සංවිධානය කළා.

-පිනක මහිම-

චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට පිටත් වූ බව දැනගත් මිනිසුන් මෙන් ම දෙවිවරු ද ඔහුගේ පුණ්‍යානුභාවය නිසා දිව්‍යමය වූ කැඳ බත් හා කැවිලි-පෙවිලි ආදියෙන් සියලු දෙනාට ම බොහෝ උපස්ථාන කළා. මේ නිසා චිත්ත ගෘහපතිතුමා සමඟින් ගමන් ගත් කිසිවෙකුටත් කිසිම පීඩාවක් ඇති වුණේ නෑ. මේ විදිහට දෙවි මිනිසුන්ගෙන් උපස්ථාන ලබමින් දිනකට යොදුන බැගින් පයින් ගමන් කරමින් මේ පිරිස මාසයකින් යොදුන් තිහක දුර ගෙවාගෙන සැවැත්නුවරට පැමිණියා. චිත්ත ගෘහපතිතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී වැදි තරුණයෙක් ව සිටිය දී කැලේ ගල් ගුහාවක භාවනා කරමින් සිටි තෙරුන් වහන්සේනමකට මස් ව්‍යංජනයක් සමඟ දානය හා විසිතුරු මල් පූජා කොට, ‘මේ පිනෙන් මා හට දහස් ගණන් පඬුරු ලැබේවා! පස්වනක් මල් වැසි ද වසිත්වා!’ කියා කරන ලද පුණ්‍ය ප්‍රාර්ථනාව නිසා දෙවි මිනිසුන් ගෙනා පුද පඬුරුවලින් ම ගමන සිදු වුණා. කරත්ත පන්සියයට ම පුරවන ලද බඩු බාහිරාදිය ඒ විදිහට ම තිබුණා.

-අනාවැකියක්-

චිත්ත ගෘහපතිතුමා භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසත් සමඟින් සැවැත්නුවරට පැමිණි දින උදෑසන අපගේ භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා “පින්වත් ආනන්ද, අද සවස් කාලයේ දී මච්ඡිකාසණ්ඩ නුවරවාසී ‘චිත්ත ගෘහපති’ නම් උපාසකතුමා පන්සියයක් වූ උපාසකවරුන් ද පිරිවරා ඇවිදින් තථාගතයන් වහන්සේව වඳින්නේ ය.” කියා වදාළා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චිත්ත ගෘහපතිතුමා එසේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන විට කිසියම් ප්‍රාතිහාර්යයක් සිදු වන්නේ ද?”

“එසේය. පින්වත් ආනන්ද, ඔහු ඇවිදින් තථාගතයන් වහන්සේට වන්දනා කරන විට ප්‍රාතිහාර්යයක් සිදු වන්නේ ය.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එවිට සිදු වන ප්‍රාතිහාර්යය කුමක්ද?”

“පින්වත් ආනන්ද, ඔහු ඇවිදින් තථාගතයන් වහන්සේට වන්දනා කරන විට දණක් පමණ උසට පස්වනක් මල් වැසි වසින්නේ ය.”
ඉතින් මේ කතාව සැවැත්නුවර පුරා ම පැතිරිලා ගියා. “මෙබඳු මහා පිනැති මච්ඡිකාසණ්ඩයේ චිත්ත ගෘහපති නම් වූ උපාසකතුමා අද භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරයි. එවිට මෙවැනි ප්‍රාතිහාර්යයක් ද සිදු වෙයි. අපිත් ඒ මහා පින්වතා දැක ගැනීමට වාසනාව ලබා ගනිමු.” යි කියා සැවැත්නුවර වැසියෝ පුද පඬුරු ද රැගෙන පාර දෙපසට එක්රොක් වී බලාගෙන සිටියා.

මේ පිරිස සැවැත්නුවර ජේතවන විහාරයට පිවිසෙන මාර්ගය සමීපයට පැමිණි විට, පන්සියයක් වූ භික්ෂූන් වහන්සේලා ප්‍රථමයෙන් ම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීමට පිටත් වුණා. ඉන්පසුව භික්ෂූණීන් වහන්සේලා පිටත් වුණා. උපාසිකා පිරිසට “පසුව එන්නැ”යි නවතා පන්සියයක් වූ උපාසකවරුන් පිරිවරාගෙන චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට යෑමට ජේතවන විහාරයට යන මාර්ගයට පිවිසියා.

-පින මතු වුණු වන්දනාව-

‘චිත්ත ගෘහපතිතුමා නම් මෙතුමා’ යැයි මහජනයා ඒ දෙස බලා සිටියා. චිත්ත ගෘහපතිතුමා සවණක් ඝණ බුදු රැසින් බබළන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, බිම දිගා වී භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. එවෙලේ ම දණක් පමණ උසට මල්වලින් පිරී යන සේ පස්වනක් මල් වැසි ඇද හැළුණා. මේ අසිරිය දුටු දහස් ගණන් මහජනයා සාධුකාර පැවැත්වූවා.

“මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී”

“ජීවිතයේ හැම දේකට ම සිතයි මුල් වෙන්නේ. සිත ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හට ගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගෙ පස්සෙන් ම එනවා. තමාව අත් නොහරින හෙවණැල්ලක් වගේ.”

(ධම්ම පදය-යමක වග්ගය)

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ හැමෝට ම ධර්මය දේශනා කළා. එදා හැමෝට ම හරිම අසිරිමත් දවසක් වුණා.

-රැස් කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැමතිස්සේ-

හැම දෙනාගේ ම මහත් සම්භාවනාවට පාත්‍ර වුණ චිත්ත ගෘහපතිතුමා තමන් සමඟ පැමිණි පිරිසත් සමඟින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වාසය කරමින් මාසයක කාලයක් ම දන් පැන් පිළියෙල කරමින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාරයේ දී ම මහා දාන සත්කාර පැවැත්වූවා. ඒ වුණාට එක ම එක දවසකවත් තමන් ගෙනා බඩු බාහිරාදියෙන් කිසිම දෙයක් ගැනීමට අවස්ථාවක් උදා වුණේ නෑ. ඔහුගේ පුණ්‍ය ප්‍රාර්ථනාව නිසා ම දෙවි මිනිසුන්ගේ පුද පඬුරුවලින් ම හැම අවශ්‍යතාවයක් ම ඉටු වුණා.

දිනක් ඉතා ම සතුටට පත් වූ චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට වැඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට එන විට අතරමඟ දී මාසයක් ම ගත වී ගියා. දැන් මෙහිදීත් මාසයක් ම ගත වී ගිය නමුත් මා ගෙනා ද්‍රව්‍යවලින් කිසිවක් ගැනීමට අවශ්‍ය වුණේ නෑ. මා හට ලැබුණු පුද පඬුරුවලින් ම දන් පැන් පූජා කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා මෙහි බොහෝ කලක් සිටියත් මගේ දානෝපකරණවලින් ම දානයක් දීමට මට අවස්ථාවක් නොලැබේවි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම මේ ගැල්වල ඇති ද්‍රව්‍ය සියල්ල ම භික්ෂු සංඝයාගේ ප්‍රයෝජනය පිණිස තබා යෑමට කැමැත්තෙමි.” යි කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගත්තා.

ඉන්පසුව ආනන්ද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් විහාරයේ ම තැනක ගැල්වල තිබූ සියලු ද්‍රව්‍ය අසුරා තබා ගැල් සියල්ල ම හිස් කර ගත්තා.

-ආපසු ගමන-

චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරලා තමන් සමඟින් පැමිණි පිරිසත් සමඟින් හිස් ගැල් ද රැගෙන ආපසු මච්ඡිකාසණ්ඩයට යෑමට පිටත් වුණා. එවිට චිත්ත ගෘහපතිතුමා හිස් ගැල් ද සමඟින් යන බව දැන ගත් දෙවි මිනිසුන් සක් රුවනින් ඒ ගැල් පිරෙව්වා. තමන් වෙත ගෙනවිත් දුන් පුද පඬුරුවලින් ම පිරිස ද පෝෂණය කරමින්, මාසයක කාලයක් ගත කරමින් සුවසේ ම ආපසු මච්ඡිකාසණ්ඩයට ගියා.

මේ අසිරිය දැන ගත් අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට පැමිණෙන විටත් මාසයක කාලයක් ගත වෙලා. මෙහි සිටි මාසය පුරාමත් තමන් වෙත ලැබුණු දානෝපකරණවලින් ම මහා දන් දුන්නා. දැන් මේ ගැල් හිස් කර ආපසු යන විට දෙවි මිනිසුන් නැගී සිට ‘පින්වත, ඔබ හිස් වූ ගැල් පන්සියයක් රැගෙන ආපසු යන්නේය’ යැයි සත්රුවනින් ඒ ගැල් පුරවලා නැවත තමන් වෙත ගෙනවිත් දෙන පුද පඬුරුවලින් ම සියළු දෙනා ම පෝෂණය කරමින් ආපසු යනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීම නිසා ම මේ සත්කාර-සම්මාන ලැබුණා ද? නැතිනම් ඔහු වෙනත් තැනකට ගියත් මේ විදිහේ සත්කාර-සම්මාන ලැබෙනවා ද?” කියා විමසා සිටියා.

එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ “පින්වත් ආනන්ද ඔය උපාසකතුමා තථාගතයන් වහන්සේ වෙත පැමිණි විට විතරක් නෙමෙයි, වෙනත් ඕනෑම තැනකට ගියත් ඔහුට මෙවැනි සත්කාර සම්මාන උපදිනවා. ඔහු ඉතා ම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේ ම දුටුවන් පහදිනවා. ප්‍රසන්නයි. ඒ වගේ ම සීල සම්පන්නයි. මෙබඳු පින්වන්ත අය කොයියම්ම ප්‍රදේශයකට ගියත් මෙවැනි සත්කාර-සම්මාන ලැබෙනවා.” කියලා දේශනා කරමින් මේ ගාථා රත්නය ද වදාළා.

“සද්ධෝ සීලේන සම්පන්නෝ – යසෝභෝගසමප්පිතෝ
යං යං පදේසං භජති – තත්ථ තත්ථේ’ව පූජිතෝ”

“තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගත්, සීලවන්ත ගිහි ශ්‍රාවකයා යසසිනුත් බෝග සම්පත්වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත් ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.”

(ධම්ම පදය-පකිණ්ණක වග්ගය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.