ඔබත් මමත් මේ මිනිස් පියස තුළ උපත ලබන විට තවත් බොහෝ පිරිසක් අපට පෙර මෙහි උපත ලබා තිබුණා. ඔබත් මමත් මේ මිනිස් ජීවිතයෙන් යම් දිනෙක සමුගනීවි. එදාට පසුවත් තව බොහෝ පිරිසක් මේ ලෙසින්ම උපදිනු ඇති.
මේ උපතත් මරණයත් අතර කරන, කියන, හිතන, සියලු දෑ තුළ තමා විසින් ම ගොඩනගාගත් ලෝකයක් තුළ තම තමන්ට උවමනා අයුරින් සැප විඳින්නටත්, දුක් විඳින්නටත් කරන අරගලයන් අතරමඟදී බොහෝ පිරිසත් මහා අතෘප්තිමත් බවකින් හිස් වූ වාතලයට තම අවසන් සුසුම් පොද හෙළති. තවත් පිරිසක් මේ අරගලයෙන් පැරදුන බව අනුන්ට නොපෙනෙන්නට හා තමාව රවටන්න ගන්නා උත්සාහය තුළ ව්‍යාජව මවාගත් තෘප්තිමත් බවක් තුළ සැබෑම වූ හිස් බවකින්ම අවසන් සුසුම් හෙළති.
සාර භාර ජීවිතයක් යැයි පිටතින් පෙනුනත් යථාර්ථය අපි සියලු දෙනාම එකම සුළියක විවිධ පැති වලට කැරකෙන පිරිසක් මෙනි. වෙනස් දිශාවන්ට කැරකෙන නිසා අපි විසින්ම අපගේ ජීවිත වලට පුදුම ජීවිත කියා අගය කරමින් අපේම තක්සේරුවක් දුන්නොත්, අපට නිතරම අමතක වන කරුණක් ඇත. එනම් කවර පැතිවලට කැරකුනත් අප කවුරුත් එකම සුළියක කරකැවෙන පිරිසක් බවයි. එනම් ඉපදීමත් මරණයත් නම් වූ සුළියයි.
මේ යථාර්ථය අදාල වන්නේ අදට විතරක් නොවේ. අනෙක මේ කරුණේ අද්භූත පුදුම දෙයක් ද නැහැ. යම් කරුණක තිබෙන්නේ ඉපදීමයි මරණයයි නම් එතන තිබෙන පුදුමය කුමක්ද?
“ජීවිතයක් උපදිනකොට ම මරණයත් එනවාමයි, උපදින තාක් ම මැරෙන්න සිදු වෙනවා, සත්වයන්ගේ ස්වභාවය ඔන්න ඔච්චරයි”
– මහා කප්පින මහරහතන් වහන්සේගේ ථේර ගාථාවකි –
සැප සොයා අතොරක් නැතිව දිවයන අපි මිය යන්නේ සැබැවින්ම සැපය යනු කුමක්ද? යන්න අහලකටවත් නොපැමිණ නේද?
උදෑසන හිරු පායා හවසට ඒ හිරු බැස යෑමෙන් දවස ගෙවී යනවා. ඉපදුන දා පටන් මේ වනවිට දවස් කොපමණ සංඛ්‍යාවක් ගෙවී තිබේද?
මොහොතක් සිතන්න. දවසින් දවස මේ ගෙවෙන්නේ අපට මේ මිහිතලය මත ජීවත් වීමට තිබෙන වටිනා කාලයයි. අපි ටිකෙන් ටික වයසට යනවා. ලෙඩ දුක් වලට භාජනය වෙනවා. කිසිවක් කිරකියාගන්න බැරි තත්ත්වයට අපි පත් වෙනවා. අන්තිමේදී අපි මරණයට පත් වෙනවා.
උපන් සත්වයා මුහුණ දිය යුතු භයානකම ඉරණම තමයි මරණය. මරණය ඉදිරියේ බොහෝ දෙනෙක් බයට පත්වෙනවා. දුකට පත් වෙනවා. බොහෝ දෙනෙක් භීතියට පත්වෙන මරණයට ඔබද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මුහුණ දිය යුතුම යි. ඔබ මරණයට මුහුණ දෙන අවස්ථාව තව අවුරුදු තිහ හතලිහකින් වෙන්න පුළුවනි. තව එක අවුරුද්දකින් වෙන්නත් පුළුවනි. සමහරවිට තව සුළු මොහොතකින් ඔබ මරණයට මුහුණ දේවි. ඔබ මරණය නමැති අවාසනාවන්ත ඉරණම ඉදිරියේ අභීතව සතුටු සිතින් නොකැළඹුණු සිතින් මුහුණ දෙන්නේ කොහොමද?
බුදුසරණ පතා…..
මරණයට අභීතව මුහුණුදෙන අයුරු දන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. මරණය ඉදිරියේ අසරණ නොවී සිටින අකාරය උන්වහන්සේ අංගුත්තර නිකායේ ජාණුස්සෝනි සූත්‍රයේදී මහා කරුණාවෙන් මෙසේ වදාළ සේක.
එකල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහිය. ඒ කාලයේ ජාණුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මෙසේ අසා සිටියා.
“භවත් ගෞතමයන් වහන්ස, මම මේ වගේ දෙයක් හිතාගෙන ඉන්නවා. මොකක්ද? මේ ලෝකයේ ජීවත් වන සියලුදෙනා මරණය ඉදිරියේ භයට පත්වෙනවා ඒ වාගේම දුකට පත්වෙනවා. මම මේ වගේ දෘෂ්ටි තියෙන කෙනෙක් මේ වගේ වාද තියෙන තියෙන කෙනෙක්.”
ජාණුස්සෝනි බ්‍රාහ්මණයා මෙහෙම කීවට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. “පින්වත් බ්‍රාහ්මණය, එහෙම කියන්න එපා, මරණය ඉදිරියේ භයට හා දුකට පත්වන උදවියත් ඉන්නවා මරණය ඉදිරියේ භයට හා දුකට පත් නොවන උදවියත් ඉන්නවා.”
බුදුරජාණන් වහන්සේ මරණය ඉදිරියේ භයට හා දුකට පත්වෙන පුද්ගලයන් හතරදෙනෙකු ගැනත්, මරණය ඉදිරියේ භයට හා දුකට පත් නොවන පුද්ගලයන් හතරදෙනෙකු ගැනත් දේශනාකොට වදාළ සේක.
මට බැහැ මේවා අත් අරින්න
බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ කෙනෙක් ජීවත් වෙනවා. මේ කෙනා පංචකාමයෙන් සතුටු වෙනවා. ඇසට පෙනෙන රූපයෙන් සතුටු වෙනවා. ඒ වගේම කනට ඇසෙන ශබ්දයෙන්, නාසයට දැනෙන ගඳ සුවඳින්, දිවට දැනෙන රසයෙන් හා කයට දැනෙන පහසින් මේ කෙනා සතුටු වෙනවා. දූදරුවන්ගෙන්, මිල මුදල් වලින්, ඉඩම් කඩම් වලින් සතුටු වෙමින් ජීවත්වෙනවා. පංචකාමයේ අනිත්‍ය සිහි කරන්නේ නෑ. මෙහෙම ජීවත් වන විට මෙයාට දරුණු මාරාන්තික රෝගයක් වැළඳිලා මේ කෙනා මාරාන්තික දුකට පත් වෙනවා. පංචකාමයේ අනිත්‍ය නොදැක්ක, පංචකාමයෙන් සතුටු වූ පුද්ගලයා අවසන් මොහොතේදී තමන්ගේ දූදරුවන්, ගෙවල් දොරවල්, ඉඩම් කඩම් අත්හැර ගන්න බැරිව දුකට පත් වෙනවා. භීතියට පත්වී අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ තමයි මරණය ඉදිරියේ බියට පත්වන පළමු පුද්ගලයා.
මේ බලන්නකෝ… මගේ ලස්සන
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, කෙනෙක් ඉන්නවා මේ කෙනා තමන්ගේ ශරීරයට හරිම ආසයි. ශරීරය දිහා අසුභ වශයෙන්, ධාතු වශයෙන්, අනිත්‍ය වශයෙන් සිහි කරලා නෑ. මේ කෙනා තමන්ගේ හිසකෙස් නිසා සතුටු වෙනවා. ශරීර වර්ණය නිසා සතුටු වෙනවා. සුදෝ සුදු දත් පෙළ නිසා සතුටු වෙනවා. තමන්ගේ කුණු ශරීරයේ ඇත්ත තත්ත්වය නොදැක ජීවත් වන මේ පුද්ගලයාට ලෙඩක් හැදිලා මරණාසන්න මොහොතට මේ කෙනා පත් වෙනවා. ශරීරයෙන් සතුටු වූ මේ පුද්ගයාට මරණාසන්න මොහොතේ තමාගේ ශරීරය අතහරින්න සිදුවෙනවා. මේ කෙනා තමන්ගෙ ශරීරය අතහැරගන්න බැරිව දුකට පත් වෙනවා, බියට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජාණුස්සෝනි බමුණාට වදාළා “පින්වත් බමුණ, ඔය තමයි මරණය ඉදිරියේ බියට හා දුකට පත්වන දෙවෙනි පුද්ගලයා.”
කරන කලට පව් මිහිරිය මී සේ
මරණය අභියස අන්ත අසරණ තත්ත්වයට පත්වන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි පව් කරන තැනැත්තා. මේ කෙනා ජීවත්ව ඉන්න කාලයේදී පුළුවන් තරම් සතුන් මරනවා. ඒ වගේම සොරකම් කරනවා. සල්ලාලකමේ යනවා. බොරු කියලා අන් අයව රවට්ටනවා. පරුෂ වචන කියනවා. ඒ වගේම කේලම් කියලා එකිනෙකා කොටවනවා. හිස් වචන කියනවා. අනුන්ගේ සම්පත් දිහා බලලා හූල්ලනවා. ද්වේශයෙන් යුක්තව කල් ගෙවනවා. මිත්‍යාදෘෂ්ටිය කරපින්නාගෙන ජීවත් වෙනවා. මේ විදියට දස අකුසල් කරමින් ජීවත් වෙන පුද්ලයාට කුමක් හෝ රෝගයක් වැළඳිලා මරණාසන්න අවස්ථාවට පත් වෙනවා. එතකොට තමන් කරගත් අකුසල් ටික චිත්‍රපටයක් වාගේ තමන්ට මැවිලා පේන්න පටන් ගන්නවා. “මම ජීවත්වෙලා හිටිය කාලයේ මේ වගේ පව්කම් කලා. අනේ මට ඒ නිසා නිරයේ උපදින්න වෙනවා. ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ උපදින්න වෙනවා” කියලා පව් කරපු කෙනා අවසන් මොහොතේ දී දුකට පත් වෙනවා. භයට පත් වෙනවා. ඒ තමයි මරණය ඉදිරියේ බියට පත්වන තුන්වෙනි පුද්ගලයා.
මට නම් විශ්වාස නෑ
ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජාණුස්සෝනි බමුණාට වදාළා කෙනෙක් ඉන්නවා, මේ කෙනා ජීවත්වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. උන්වහන්සේගේ ධර්මය ගැන සැක කරනවා. ආර්ය මහා සඟරුවන ගැනත් සැක කරනවා. ශ්රද්ධාවට පැමිණිලා ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නේ නෑ. මේ කෙනාට කුමක් හෝ රෝගයක් වැළඳිලා මරණාසන්න මොහොතට පත් වුනාට පස්සේ මෙයා දුක්වෙනවා බියට පත් වෙනවා. “අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නට බැරි වුනා. මම ධර්මයට ගැරහුවා. මට අපායට යන්න වෙනවා” කියලා පව් කරපු කෙනා අවසන් මොහොතේ දී දුකට පත්වෙනවා. බයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මරණය ඉදිරියේ බියට පත්වන හතරවන පුද්ගලයා තමයි ඔය කියලා.
ඔබත් මේ ගොඩේම ද?
බුදුරජාණන් වහන්සේ වදාළ මේ පුද්ගලයන් හතරදෙනා දිහා බලද්දී අපට තේරෙනවා මේ ලෝකයේ ඉන්න වැඩි පිරිසක් අයිති ඔය පුද්ගයින් හතරදෙනාටයි කියලා. මේ ලෝකයේ ඉන්න ගොඩක් මිනිස්සු පංචකාමයේ අනිත්‍ය නොදැක එයින් ම සතුටු වෙනවා. තමන්ගේ ශරීරයෙන් සතුටු වෙනවා. නොයෙක් අකුසල් කරමින් ඉන්නවා. ඒ වගේම තෙරුවන් සරණේ පිහිටලා නැහැ. ශ්‍රද්ධාවක් නෑ. ඔබත් අයිති මේ ගොඩට ද? ඔබ මේ පුද්ගලයින් හතරදෙනාගෙන් එක් කෙනෙකුට හෝ අයිති නම්, ඔබට අනිවාර්යයෙන්ම මරණය ඉදිරියේ බයට පත් වන්නට සිද්ධ වෙනවා. දුකට පත් වන්නට සිද්ධ වෙනවා. එම නිසා ඔබ එවැනි අවාසනාවත්ත පුද්ගයෙකු නොවී, මරණය ඉදිරියේ දුකට පත් නොවන, බියට පත් නොවන කෙනෙකු වීමට මහන්සි ගන්න. ඒ සඳහා ඇති එකම පිළිසරණ නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ම පමණි.
අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි මරණය ඉදිරියේ බියට පත් නොවන පුද්ගලයෙකු වන ආකාරය මීළඟ මහාමේඝ කලාපයෙන් ඉගෙන ගනිමු.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments