නමෝ බුද්ධාය!

පින්වත් ස්වාමීන් වහන්ස, මා හට මෙය ලියන්න සිතුණේ මේ කාලෙ ගෑනු දරුවන්ගේ මෝඩකම් ගැන නිතර ධර්ම දේශනාවලින් අහන්න ලැබෙන නිසා. මගේ වයස වසර 61ක් වෙනවා. මගේ වයස 6 දී මව මිය ගියා. වසර 9 දී පියා මිය ගියා. අම්මගේ අක්කාගේ දුව මාව හදාගත්තා. ඉගෙනීමට දක්ෂ වුණත් 4වෙනි පන්තියේ දී ඉගෙනීම නැවතුණා. අක්කා ගුරුවරියක්. මම ගෙදර සියලු‍ වැඩ කරමින් රෑ 12- 01 වෙනකන් අක්කගෙ ළමයි බලනවා. මම තනියම ඉගෙන ගත්ත මහන්න, ගොතන්න, වියන්න, ගොවිතැන සියලු‍ දේ. තනියම 50කට හරි මම උයනවා. වයස 19 දී විවාහ වුණා. අනේ ඒ මිනිහා සිංහ හම පොරවපු හිවලෙක් වුණා. දරුවෝ තුන් දෙනෙක් ලැබුණා. දරුවෝ තුන් දෙනා ම කුසේ දී, මගේ මනුස්සය වෙන ගෑනු තුන් දෙනෙක් අරන් ගියා. මගෙ ඇහැට පෙනි පෙනී ගෑනු එක්ක නැටුවා. දරුවන්ට තාත්තා ඕන නිසා ඉවසගෙන හිටියා. පොඩි දරුවට වයස 2 දී මිනිහ යන්නම ගියා. තාත්තගෙ කැත වැඩ නිසා දරුවන්ට ලැජ්ජයි කියල මම ගමෙන් පිට වුණා. ගෑනු දරුවෝ තුන් දෙනෙක් තනිකරල ආවා. කුලී වැඩ කරල දරුවො හැදුවා. හොඳට ඉගැන්නුවා. ඒ කාලෙ රජයට ලිපියක් ලියල ඉඩම් කෑල්ලක් ඉල්ලගෙන, මම වැඩ ඇරිල ඇවිත් සිමෙන්ති ගල් කපල තනියම ගේ හදාගත්තා. බයිබල් ආගමේ අය ආව මට උදව් කරන්න. බුදු පිළිම පාගන්න කීවා. මම උන්ව පොල්ලක් අරන් පන්න ගත්ත. දරුවන්ට උදව් කරන්න එයාලගෙ ආගමට එන්න කීවා. “උඹලගෙ සල්ලි උඹල තියා ගනිල්ල, මට එපා.” කියල පන්න ගත්තා. මම නිතර පිරිත් කියනවා. නමුත් තේරුම දන්නෙ නෑ. මට වයස දහයේ විතර ඉඳල පිරිත් පොත් සම්පූර්ණයෙන් පාඩම්. ගෙදර ඉන්න බෑ භූතයො. ළමයි බයවෙනවා. මම තනියම අටානාටිය කියල භූත දෝස නැති කර ගත්තා. දන්න දේ මං කළා. මං දේවාල ගානේ බඩ ගෑවේ නෑ. හාල් මිටක් උයලා දරුවන්ට කන්න දෙනවා. මම ගස්ලබු ගැටයක්, කොස් ඇටයක් තම්බගෙන තමයි වැඩි හරියක් කරන්නෙ. මේ දුක් විඳින ගමන් පිරිතේ තේරුම දැනගන්න ආස හිතුණා. කිසි කෙනෙක් කියල දෙන්නෙ නෑ. පන්සිය පනස් ජාතක පොත කට පාඩම්. වෙන බණ මං දන්නේ නෑ. මම හැමතැනම ධර්මය හෙව්වා, බණ අහන්න ආස නිසාම. සෝවාන් වුණ අය හමු වුණා. මට තේරුණා මේවගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා කියලා. ඔහොම යනකොට මට ආරංචි වුණා පොල්ගහවෙල අසපුවක් තියෙනව කියලා. මම එහෙ හොයාගෙන ගියා. බස්වල දාඩිය දාගෙන හොයාගෙන ගියා. අවස්ථා පහක දී මාව මරණයට පත්වෙන්න ගියා. ඒ සෑම මොහොතකම මගේ ජීවිතය විනාශ වෙන්න තිබුණෙ විනාඩි4ක් 5ක් වගේ සුළු මොහොතක්. මම මැරුණේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න පින තිබුණ නිසා. මං මේ කියන්නේ අවුරුදු 20කට විතර කලින් වුණ දේ.

අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුණගැසුණ දා පටන් මේ වන තුරු මගේ හිත කය වචනය පුළුවන් තරම් සංවර කර ගන්න උත්සාහ දරනවා. මට ගොඩාක් හතුරුකම් කළ අය හිටියා. පාරෙ යන්න බැහැ සෙල්ලක්කාරයෝ පස්සෙන් එනවා. මගෙ කරුමෙට රූපෙත් ලස්සන වුණා. ඒ හැම දේකින්ම මම බේරුණා. මං හැමවිටම හිතුවා මං දරුවෝ තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් කියලා. අනික ගෑනු දරුවෝ. අම්මලාගේ චරිතේ බොහෝවිට දූලටත් එනවා. මං හරියට පරිස්සම් වුණා. මිනිහලගෙන් විඳින දුක හිතනකොට මට ඕන සසරෙන් නිදහස් වෙන්නමයි.

පින් කර ගන්නත් ඕන, දරුවන්ට උගන්වන්නත් ඕන, කන්න ඕන. මම දවසට රැකියා තුනක් කරන්න ගත්ත. පාන්දර දෙකට නැගිටල ඉඳිආප්ප හයසීයක් තම්බනවා. ඒක කඩේට දාල, ළමයි පාසලට යවල, හයට ගල් පෝරනයේ ගල් බානවා. දවල් දෙකට ඒක ඉවර කරල, එතනම ගල් එක්දහස් පන්සීයක් අදිනවා. හයට ඒක නවත්තල ළමයින්ට කන්න බොන්න දීල, වී ගෝනි හයක් තම්බනවා. වී මිදුලට වී බාල ගෙදර යනකොට දරුවොත් අරගෙන රෑ දොළහයි. පහුවදාටත් එහෙම තමයි. ඕක තමයි ජීවිතේ. ගල් පොත්තේ පොල් අතු එලාගෙන ළමයි පාඩම් කරනවා, මගේ වැඩ ඉවර වෙනකම්. මේ විදියට දුක් විඳල දරුවෝ හැදුවා. මම වැරදි මගට ගියේ නෑ. මං පින් පව් විශ්වාස කරනවා. කර්මය විශ්වාස කරනවා. මමත්, දුවල තුන් දෙන්නත් එකට එකතුවෙලා කළ කර්මයට දුවල බැඳපු මිනිස්සුත් මගේ මිනිහ වගේ ම වුණා. උන් ගෑනු පස්සෙ යනවා. මගේ ඉස්සරහම දුවගෙ ඇස් එළියට පනින්න ගහනවා. ඒ මිනිස්සු මගේ දරුවො වහල්ලු‍ කරගෙන. මගේ දරුවන්ට කියල වාහන අරගෙන, ඒ වාහනේ හොර ගෑනු දාගෙන කාමර ගානෙ යනවා. ගුටි කන්න බැරි නිසා ඉල්ලන ගානෙ ණය අරන් දෙනව. මගේ ළඟට ඇවිත් දුවලා අඬනවා. ඒ වෙලාවට මම එයාලට ලක්විරු එකේ යන ධර්ම දේශනා කියල දෙනවා. මෛත්‍රී කරන විදිය කියල දෙනවා. මට හරි සතුටුයි මගේ පොඩි දුව ගුටි කකා මිනිහට මෛත්‍රී වඩනවා, බණ අහනවා, පිරිත් කියනවා, මිනිහ බොන්න පටන් ගන්නකොට දුවගෙ වැඩේ අංගුලිමාල පිරිත කියනවා. එයත් ධර්මයට ආවා. මගෙ මිනිහ රට වටේ නටල බැරි ගැහුනට පස්සෙ ලෙඩවෙලා මගෙ ළඟට ආව. මම අහල තිබුණා හොර ගෑනු පිටිපස්සේ යන අය අන්තිමට එවුන්ගෙන්ම ගුටි කාලා පරණ ගෑනි ළඟටම එනව කියලා. ඒක හරි. හැබැයි පරණ ගෑනිට ධර්මයක් තිබ්බොත් හොඳයි. දුවල එයාව එළවගන්න හැදුවා. මම එයට ඉඩ නොදී, “මොනව කළත් තාත්තා නිසා සලකන්න” කීවා. අසරණ මනුස්සයෙක් කියල හිතාන මමත් සලකනවා. නමුත් පිළිකුලක් තියෙන නිසා මූණ බලන්නෙ නෑ. වෛරය නෑ. මගේ ජීවිතේ විඳපු දුක් මෙපමණයි කියල මට ලියන්න බැහැ. මේ මා විඳපු දුකෙන් බොහොම පොඩ්ඩයි ලීවෙ. මගේ හිතේ කිසි කෙනෙක් ගැන තරහ, වෛර ඇති වෙන්නෙ නෑ. හැමටම උපකාරයක්මයි කරන්නෙ. මම අහන බණ අනිත් අයට කියාදෙනවා. මිසදිටුව හිටපු ගොඩක් අය ධර්මයට ගත්තා. ඒ අය දැන් ගොඩක් පින්කර ගන්නවා.

අපේ උත්තම ලොකු ස්වාමීන් වහන්සේට පින් සිදුවෙන්න මමත්, මගේ දරුවොත් අපායෙන් මිදුන කියල හිතෙනවා. මම විසිඑක් වසරක් පුරා ගොඩාක් පින් කළා. ධර්මය ඇසුවා, ධර්මයට අනුව ජීවත් වෙනවා. මේ හැම දෙයක්ම මේ විදියට සිදු වුණේ අපේ උත්තම ගුරු දෙවිඳාණන් වහන්සේ නිසයි. අපේ උත්තම ගුරු දෙවිඳාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. දීර්ඝායුෂ ලැබේවා. දෑතේ, දෙපයේ වැඩ කියල දීල, සමාජයේ ජීවත් වෙන්න උගන්වපු, මාව හදාගත් අක්කාට දිගාසිරි ලැබේවා. මට වයස 20 සිට මේ දක්වා කළ සියලු‍ පින් මගේ මවට, පියාට අනුමෝදන් වේවා!

උත්සාහයෙන් මොළය යොදවල, නැගිටින්න දරුවන්ට කියන්න අම්මල දැන ගනිත්වා! හැම දේකටම කලින් අම්මලා ධර්මය අසත්වා! ඒ දහම් සුවය අන් අයට ද ලබා දෙත්වා! ධර්මය හැර මනුස්සයෙක් වෙනස් කරන වෙන දෙයක් නෑ.

ලොවේ දසදෙස අමාදම් ගඟ පැතිර වූ ගුරු දෙවිඳුනේ
සිව් අපායේ දොර වසන්නට කියා දුන් අපේ සමිඳුනේ
යට වෙලා ගිය උතුම් දම් කඳ විවර කළ ගුරු දෙවිඳුනේ
සියක් ආයු ලැබ දහම් දෙසත්වා කාරුණික ගුරු දෙවිඳුනේ

තෙරුවන් සරණයි!

ධර්මයට පැමිණි අම්මා කෙනෙක්

(ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකාවක් කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයට එවූ ලිපියකි.)

 

“ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච.”

වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් සත්වයන් අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි !

– අපගේ ශාස්තෘන් වහන්සේ