මනුලොව ඉපදුණු අපි සියලු දෙනා කුඩා කල පටන් ම බොහෝ දෙනාව අනුකරණය කරනවා. ආදර්ශයට ගන්නවා. ළමා වයසේ දී දෙමාපියන්, සහෝදර සහෝදරියන් කරන කියන දේවල් දිහා බලන් ඉඳලා ඒ විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. පාසල් යන කුඩා දරුවන් නිවසේ දී, තම පාසලේ ගුරුවරුන්, ගුරුවරියන් මෙන් ම වෛද්‍යවරුන් ආදී වෘත්තිකයන් කටයුතු කරන ආකාරය අනුකරණය කරමින්, ඒ ආකාරයෙන් ඇඳ පැලඳගෙන ඔවුන් කටයුතු කරන ආකාරය නිරූපණය කරමින් කෙළි සෙල්ලම් කරනවා. “මාත් ලොකු වුණහම මේ වගේ කෙනෙක් වෙනවා” කියලා ඒ අයව ආදර්ශයට ගන්නවා.
දෙමව්පියන් ද ඒ සඳහා නිරන්තරයෙන් ම ඔවුන් ව උනන්දු කරනවා. තම දරුවන් සමාජයේ එවැනි කැපී පෙනෙන චරිතයක් කිරීමට සිහින දකිනවා. මහන්සි ගන්නවා. ඒ වගේ ම, ඒ සඳහා මගපෙන්වීම් කරනවා.
තරුණ තරුණියන් මෙන්න වැඩිහිටියන් ද ක්‍රීඩක-ක්‍රීඩිකාවන්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, දේශපාලඥයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයින් ඇතැම් වෘත්තිකයින්… වැනි චරිත අනුකරණය කරමින් ඒ වගේ කෙනෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ අයව තමයි ආදර්ශයට ගන්නේ.
එනමුත් අවිද්‍යා ඝණ අන්ධකාරය සුනුවිසුනු කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා යන තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් ආදර්ශයට ගත යුත්තේ, අනුකරණය කළ යුත්තේ කවුරුන් ද යන්න මැනැවින් අපට පෙන්වා දුන්නා.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේව හා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ව ආදර්ශයට ගෙන කටයුතු කරන ලෙසයි. ඒ උතුමන් වහන්සේලා දෙනම තමයි භික්ෂූන් වහන්සේලාගේ මිම්ම හා ප්‍රමාණය වෙන්නේ. ඒ නිසා ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි දායාදය ලබන භික්ෂූන් වහන්සේලා සාරිපුත්ත-මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාව ආදර්ශයට අරගෙන ඒ උතුමන් වහන්සේලා තුළ තිබූ ගුණධර්ම තම ජීවිතය තුළ ඇතිකර ගැනීමට මහන්සි ගන්න ඕනේ. ඒ වගේ කෙනෙක් වෙන්නයි උත්සාහ කරන්න ඕනේ.
ඒ වගේ ම අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට වදාළේ ඛේමා මහරහත් තෙරණිය හා උප්පලවණ්නා මහ රහත් තෙරණිය ව ආදර්ශයට ගෙන කටයුතු කරන ලෙසයි. ඛේමා උප්පලවණ්නා මහරහත් තෙරණිවරු දෙනම තමයි භික්ෂූණීන් වහන්සේලාගේ මිම්ම හා ප්‍රමාණය වෙන්නේ. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලා ඛේමා-උප්පලවණ්නා මහරහත් තෙරණිවරුන්ව ආදර්ශයට අරගෙන ඔවුන් තුළ තිබූ සොඳුරු ගුණ දහම් තම ජීවිත තුළ ඇතිකර ගනිමින්, ඒ වගේ වෙන්නයි උත්සාහ කළ යුත්තේ.
ඉතින් ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක උපාසකවරුන්ට හා උපාසිකාවන්ටත් ආදර්ශයට ගත යුත්තේ කවුරුන් ද කියලා දේශනා කළා. ඇත්තටම මේක බොහෝ දෙනෙක් හරියටම දන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා හා භික්ෂුණීන් වහන්සේලා ආදර්ශයට ගත යුත්තේ කවුද කියලා උපාසක උපාසිකාවන් දන්නවා. නමුත්, තමන් ආදර්ශයට ගත යුත්තේ කවුරුන් ද කියන එක බොහොමයක් උපාසක උපාසිකාවන් දන්නේ නෑ.
ඔවුන් හිතාගෙන ඉන්නේ අපි ආදර්ශයට ගත යුත්තේ අනේපිඬු සිටුතුමා, විශාඛාව, බන්දුල මල්ලිකාව වැනි උපාසක උපාසිකාවන්වයි කියලා. ඒකට හේතුව තමයි ‘මහමෙව්නාව’ බිහිවෙන්නට කලින් කාලයක් තිස්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය සැඟවිලයි තිබුණේ. ඉතින් හැමදෙනාටම බණට ඇහුණෙත් අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව වගේ අපටත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබේවා! කියලයි.
එනමුත් එක් සත්පුරුෂයෙකුගේ පහළ වීමෙන් ‘මහමෙව්නාව’ බිහි වුණා. ඒ සැඟවිලා තිබුණු ශ්‍රී සද්ධර්මය ඉස්මතු වී යළිත් ගෞතම බුදු සසුන බබළන යුගයක් උදා වුණා. නැවතත් වෙහෙර විහාර, බෝධි මණ්ඩප, අහස උසට චෛත්‍යය ඉදි වෙන්න ගත්තා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය හැමෝටම තේරෙන විදිහට සිංහලට පරිවර්තනය වුණා. දසතින් දහම් ඝෝෂාව පැතිර යන්නට වුණා. අවබෝධයෙන් ම තෙරුවන් සරණ යන හැටි, පින් දහම් කරන හැටි දැන ගන්නට ලැබුණා. ගෞතම බුදු සසුනේ ඉඳගෙන මෛත්‍රී බුදු සසුනේ නිවන් දකින්න පතනවා වෙනුවට මේ ගෞතම බුදු සසුනේ දී ම පිළිසරණ ලබන්නට හැකි බව දැනගන්ට ලැබුණා.
මේ නිසාමයි ඔබටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවැරදිව නිරවුල්ව දැන ගැනීමට අවස්ථාව උදාවෙන්නේ. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි ඔබ ආදර්ශයට ගත යුත්තේ, අනුකරණය කළ යුත්තේ කවුරුන් ද කියන එකත් හරියටම ඔබට දැනගන්න මේ අවස්ථාව උදා වෙන්නෙත් ඒ නිසා ම යි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ,
“සද්ධෝ භික්ඛවේ උපාසකෝ ඒවං සම්මා ආයාචමානෝ ආයාචෙය්ය: තාදිසා හෝමි, යාදිසෝ චිත්තෝ ච ගහපති, හත්ථකෝ ච ආලවකෝති. ඒසා භික්ඛවේ තුලා ඒතං පමාණං මම සාවකානං උපාසකානං යදිදං චිත්තෝ ච ගහපති, හත්ථකෝ ච ආලවකෝති.”
“පින්වත් මහණෙනි, ශ්රද්ධාවන්ත උපාසකයෙක් මැනැවින් අයදිනවා නම්, ‘මේ පින්වත් චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවකත් යම් බඳු වෙත් ද එබඳු වූ කෙනෙක් වන්නෙමි’ යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ උපාසකවරුන් හට මිනුම් දණ්ඩ වන්නේ ද පරමාදර්ශය වන්නේ ද මේ පින්වත් චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවකත් ය.”
(අං. නි. – 01, ආයාචනා වර්ගය)
ඉතින් ඒ නිසා තෙරුවන් සරණ ගිහින් උපාසක භාවයට පත්වෙන ගිහි ශ්‍රාවකයන් චිත්ත ගෘහපතිතුමා හා හත්ථක ආලවක උපාසකතුමාවයි ආදර්ශයට ගත යුත්තේ. අනුකරණය කළ යුත්තේ.
ඔවුන් ජීවිත ගත කළ ආකාරය පරමාදර්ශයට ගෙන තම ජීවිතයත් ඒ ආකාරයෙන් හැඩගස්වා ගත යුතුයි. ඔවුන් තුළ පැවති සොඳුරු ගුණදහම් තමන් තුළත් ඇති කර ගන්න මහන්සි ගන්න ඕනේ. ඒ වගේ කෙනෙක් වෙන්නයි උපාසකවරුන් උත්සාහ කරන්න ඕනේ.
ඒ වගේ ම අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ;
“සද්ධා භික්ඛවේ උපාසිකා ඒවං සම්මා ආයාචමානා ආයාචෙය්ය: තාදිසා හෝමි, යාදිසා ඛුජ්ජුත්තරා ච උපාසිකා, වේළුකණ්ටකියා ච නන්දමාතා’ති. ඒසා භික්ඛවේ තුලා, ඒතං පමාණං මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා ච උපාසිකා, වේලකණ්ටකියා ච නන්දමාතාති.”
“පින්වත් මහණෙනි, ශ්රද්ධාවන්ත උපාසිකාවක් මැනැවින් අයදිනවා නම්, ‘මේ පින්වත් ඛුජ්ජුත්තරාවත්, වේළුකණ්ටකී නන්දමාතාවත් යම් බඳු වෙත් ද එබඳු වූ කෙනෙක් වන්නෙමි’ යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් හට මිනුම් දණ්ඩ වන්නේ ද පරමාදර්ශය වන්නේ ද මේ පින්වත් ඛුජ්ජුත්තරාවත්, වේළුකණ්ටකී නන්දමාතාවත් ය.”
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි තෙරුවන් සරණ ගිහින් උපාසිකාවන් බවට පත්වෙන ගිහි ශ්‍රාවිකාවන් විසින් ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාව තමයි ආදර්ශයට ගත යුත්තේ. අනුකරණය කළ යුත්තේ. ඔවුන්ගේ ජීවිත පරමාදර්ශයට අරගෙන, ඔවුන් තුළ තිබූ ඒ සොඳුරු ගුණධර්ම ඇතිකර ගනිමින් ඒ ආකාරයෙන් උදාර ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ වගේ කෙනෙක් වෙන්නයි උපාසිකාව උත්සාහ කරන්න ඕනේ.
ඉතා සුප්‍රසිද්ධ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්….. වගේ අයව ආදර්ශයට ගන්නා දෙමාපියන් තම දරුවන්ගෙන්, ඒ වගේ කෙනෙක් වෙන්න කියලා නිතර ඉල්ලා සිටියත්, අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ,
“පින්වත් මහණෙනි, ශ්රද්ධාවන්ත උපාසිකාව තමන්ගේ එක ම ප්‍රියමනාප පුතාගෙන් මනා කොට යමක් ඉල්ලනවා නම්, ඉල්ලිය යුත්තේ මෙයයි. ‘අනේ! පුතේ, චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවක ගෘහපතිතුමාත් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු කෙනෙක් ම වෙන්න’ කියලා.
පින්වත් මහණෙනි, මගේ උපාසක භාවයට පත් ගිහි ශ්රාවකයින්ට චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවක ගෘහපතිතුමාත් තමයි, මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.
පින්වත් මහණෙනි, ශ්රද්ධාවන්ත උපාසිකාව තමන්ගේ එකම ප්‍රියමනාප දියණියගෙන් මනා කොට යමක් ඉල්ලනවා නම්, ඉල්ලිය යුත්තේ මෙයයි. අනේ! දුවේ ඛුජ්ජුත්තරා උපාසිකාවන්, වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාවන් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු කෙනෙක් වෙන්න කියලා.
පින්වත් මහණෙනි මගේ උපාසිකා භාවයට පත් ගිහි ශ්‍රාවිකාවන්ට ඛුජ්ජුත්තරා උපාසිකාවත්, වේළුකණ්ටකී නන්දමාතාවත් තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.”
අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ආකාරයට ශ්රද්ධාවන්ත උපාසිකාවක් තමන්ගේ දරුවන්ගෙන් ඉල්ලා සිටීමට නම්, දරුවන්ට මේ වගේ කෙනෙක් වෙන්න කියලා මග පෙන්වන්න නම්, අනිවාර්යයෙන්ම ඔවුන් පිළිබඳව දැන සිටිය යුතුමයි. ඔවුන් පිළිබඳව දන්නේ නැත්නම් තමන්ගේ දරුවන්ට මේ වගේ කෙනෙක් වෙන්න කියලා කියන්නේ කොහොමද?
ඒ වගේ ම උපාසකවරුන් චිත්ත ගෘහපතිතුමා ගැන හා හත්ථක ආලවක උපාසකතුමා ගැන දන්නේ නැති නම් ඒ අයව ආදර්ශයට ගන්නේ කොහොමද? ඔවුන්ගේ ජීවිතවල පැවති සොඳුරු ගුණදහම් ඇතිකරගෙන එවැනි උදාර කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද?
ඒ වගේ ම තමයි තෙරුවන් සරණ ගිය උපාසිකාවන් ඛුජ්ජුත්තරා උපාසිකාව ගැන හා වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාව ගැන දන්නේ නැත්නම්, ඒ අයව ආදර්ශයට අරගෙන තම ජීවිත හැඩගස්වා ගන්නේ කොහොමද? ඔවුන් තුළ පැවති සොඳුරු ගුණදහම් ඇතිකරගෙන ඒ වගේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද? ඒ වගේ ම චිත්ත ගෘහපතිතුමා, හත්ථක ආලවක උපාසකතුමා, ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකී නන්දමාතාව වගේ වෙන්න කියලා තමන්ගේ දරුවන්ට කියන්නේ කොහොමද?
ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි උපාසක උපාසිකාවන් කටයුතු කිරීමට නම් චිත්ත ගෘහපතිතුමා හා හත්ථක ආලවක උපාසකතුමා ගැනත්, ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාව ගැනත් හදවතින් ම තෙරුවන් සරණ ගිය ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවන්, අනිවාර්යයෙන් ම දැන සිටිය යුතුමයි.
(චිත්ත ගෘහපතිතුමා හා හත්ථක ආලවක උපාසකතුමා ගැනත්, ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ඨකී නන්දමාතාව ගැනත් වෙන වෙනම ඊළඟ කලාපයේ සිට තොරතුරු දැනගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.)
Recent Comments