[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ layout=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text columns=”” column_min_width=”” column_spacing=”” rule_style=”default” rule_size=”” rule_color=”” content_alignment_medium=”” content_alignment_small=”” content_alignment=”” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” sticky_display=”normal,sticky” class=”” id=”” font_size=”” fusion_font_family_text_font=”” fusion_font_variant_text_font=”” line_height=”” letter_spacing=”” text_color=”” animation_type=”” animation_direction=”left” animation_speed=”0.3″ animation_offset=””]

ජන කවිය තරම් සිංහල සංස්කෘතියෙහි විචිත්‍රත්වය, සරල සුගමත්වය හා ගැඹුර ප්‍රකට කරන වෙනත් සාහිත්‍යාංගයක් නොමැති බව කිය හැකි ය. සිරිලක් දිවයින බුදු දහමෙහි නිමල ආස්වාදය ලැබූ දා පටන් අවුරුදු දෙදහස් තුන්සියයකට වැඩි කලක් එහි වාසභූමි කොටගත් සිංහල ජනකාය ලැබූ කවි ඇසුර, ජාතියක් වශයෙන් ඔවුන්ගේ ඒකමිතිය හා අධ්‍යාත්ම සුසංගත භාවය ලොවට හෙළි කරන මහඟු සාධකයක් වෙයි. අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ නිසා අවුල් වියවුල්ව ගිය ජන සමාජයේ වියත් සම්භාවනීය කවි පරපුර මුළුගැන්වී සිටිය දී නම් ගොත් නොඅඟවා අප්‍රකටව සිට සිංහල කවිය රැකගන්නා ලද්දේ ජනකවීන් විසිනි. පැරණි සම්භාව්‍ය කවි පරපුරේ අවසාන කවියා වූ අලගියවන්න මුකවැටි පඬිතුමාගේ කුස ජාතක කාව්‍යයේ කවි වැඩි ප්‍රමාණයක් ජනකවි ආරට ළං වෙයි. මේ එහි එක් උදාහරණයකි.

විසුළු මුහුණ දකිමින් එම සඳේයා
නැඹුළු යකෙක් මා අත ගති තදේයා
අවුලුවමින් ළැම සෝගිනි කඳේයා
කඳුළු සලා හඬමින් ඉකිබිඳේයා

කුස ජාතක කාව්‍යයේ මේ කවිය අපට සිහිපත් කර දෙන්නේ ඉන් පසු කාලයක ජන කවියකු විසින් කියන ලද ‘අනේ දෙවියනේ මට වුණු වියෝයා. පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා’ යන පැල් කවියයි.

අලගියවන්න කවියාට පසු යුගයේ බිහි වූ මාතර යුගයේ කවියල පැරණි ජනකවි පරපුරේ අවිච්ඡින්න ඵලයක් නොවී ය. එයල අපහාසල උපහාසල ශෘංගාර හා දුෂ්කර පද බන්ධනයන්ගෙන් යුතු වූ කවි සමයක් වී ය.

ජන කවිය වූ කලී මේ එක ද කවි සමයකටවත් නොබැඳුණු සිංහල ගැමි ජනකායගේ සුඛ දුක්ඛ දෝමනස්සයන් පළ කිරීම සඳහා උපයෝගී කොටගත් අධ්‍යාත්ම ප්‍රකාශන මාධ්‍යයක් වැන්න. එබැවින් මේ සොඳුරු කාව්‍යාවලිය බුද්ධිමතුන්ගේ සම්භාවනයට හසු නොවී ය. අධිරාජ්‍යවාදී පාලන යුගයේ දී නවකථා ලියූ පියදාස සිරිසේන මහතාගේ කෘතීන්හි එන ඇතැම් කවිල ජනකවි ලක්ෂණ ප්‍රකට කළ ද සෙසූ සාහිත්‍යකරුවෝ ජනකවිය නොතකා හැරියහ. මෙරට රාජකාරි සඳහා පැමිණි හියු නෙවිල්ල හෙන්රි පාකර් වැනි බ්‍රිතාන්‍ය නිලධාරීන් සිංහල ජනකවි හා ජනකතා දහස් ගණනින් එක්රැස් කොටගෙන සිය මවුරටට රැගෙන ගියේ එහි සංස්කෘතික හා මානව විද්‍යාත්මක වටිනාකම හඳුනාගත් හෙයිනි. තත්කාලීන වකවානුවේ දී සිංහල ජනකවියේ අගය පෙන්වා දුන් මාර්ටින් වික්‍රමසිංහ මහතාට ‘පැදුරුමාලකාරයා’ යි කියමින් නිග්‍රහ කිරීමට අපගේ ඇතැම් පඬිවරුන් පෙළඹුණේ ඔවුන් ජනකවිය පිළිකුල් කළ හෙයිනි. සිංහල ජනකායල බැහැරින් ඔවුන්ට එල්ල වූ සියලු ආපදා මැඬ යළි නැඟී සිටීමේ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කෙළේ ජන සාහිත්‍යයෙන් ඔවුන් ලද අනුප්‍රාණය නිසා ය. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ කවි මඟල එහි ඵල වශයෙන් බිහි වූවකි.

ජන කවියේ ආත්මය විචිත්‍ර කළ ව්‍යවහාර සිංහල බසෙහි වැඩීමට අවශ්‍ය ශක්තිය හා පසුබිම නිර්මාණය කරන ලද්දේ බුදු දහම ලක්දිවට හඳුන්වා දී නව මානව ශිෂ්ටාචාරයකට පදනම දැමූ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අපගේ භාග්‍යවතුන් වහන්සේ මාගධී භාෂාවෙන් දේශනා කොට වදාළ උතුම් බුද්ධ දේශනාවන්හි අර්ථ විස්තර මිහිඳු මහරහතන් වහන්සේ විසින් එවකට ලක්දිව ව්‍යවහාර වූ පොදුජන බසින් හෙවත් දීප භාෂාවෙන් දේශනා කළ නිසා එම අර්ථ විස්තර ඇසූ පොදු ජනකායගේ සිත් පිබිදුණේ මල් පිපෙන්නාක් මෙනි. ලෙන් කටාරම්, සෙල්ටැම්, කැටපත් පවුරු, තල්පත් ඉරු මතින් ඒ දහම් මල් සුවඳ ලක්දිව සිසාරා ගලා ගියේ ය. පොදු ජන මුවින් නැඟි දහම් රස වෑහුණු මියුරු කවි ගී ගායනා රහතන් වහන්සේලාගේ ද කමටහනට අරමුණු වූ බැව් පරමත්ථ ජෝතිකා වැනි අටුවා ග්‍රන්ථයන්හි දැක්වෙන ගාථා පාඨයන්ගෙන් අනාවරණය වෙයි.

ළතෙත් බව, දයාව, කරුණාව ආදී සත් ගුණදහම් යම් බසකට උරුම වන්නේ ඒ බසට උල්පත වූ සිතිවිලි පරම්පරාව මගිනි. දීප භාෂාවට හෙවත් සිංහල භාෂාවට ඒ උතුම් මානව ගුණාංග පිවිසියේ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමට උපයෝගී කොට ගත් මාගධී ප්‍රාකෘතයට සමාන ජන බසක් ඇසුරෙන් ස්වාධීන ව වැඩී ගිය හෙයිනි. ඒ බස වැහැරූ ජන කවීන්ගේ අධ්‍යාත්ම තතු අනුරාධපුර යුගයේ මැද භාගයේ දී සීගිරි කැටපත් පවුරු බිතෙහි ලියූ කවි ගීවලින් හඳුනාගත හැකි ය. ආගමික හැඟීමත්, පුණ්‍ය චේතනාවත් විසින් හැම සිංහලයකු ම කවියකු කරන ලද අයුරු එදවස ලක්දිවට පැමිණි විදේශිකයින් පවා වටහාගෙන සිටි බැව් ඔවුන්ගේ ලියවිලිවලින් සනාථ වෙයි.

එළිසම කවිය සිංහල පද්‍ය සාහිත්‍යයේ ආරම්භක සමයේ සිට ම ජනප්‍රියව පැවති බැව් ඉහත දැක්වූ සීගිරි ගීවලින් හා එළු සඳැස් ලකුණේ පැරණි කවි පොත්වලින් නිදසුන් ගෙන ඉදිරිපත් කළ උපුටනයන්ගෙන් සනාථ වෙයි. පහත දැක්වෙන කවිය ඊට නිදසුනකි:

රැඳි අඳනින් දිගුනුවනිය
සිතෙහි සසල තඹලවනිය
රන් පනෙලන සලසවනිය
සොමි සිසිවන් සොමිවුවනිය

තරුණ ළඳකගේ ප්‍රසන්න විලාසය ඉදිරිපත් කරන මේ කවිය කොතරම් සංයමයකින් ලියා තිබේ ද? සිත්තරකුගේ පින්සල් පහර කිහිපයකින් රංජනය වන උචිත වර්ණයන්ගෙන් යුත් සුන්දර සිත්තමක් වැන්නක් කව්ලැකියෙන් ඉදිරිපත් කර ඇති ආකාරය ජන කවියන්ගේ ප්‍රතිභානයේ මහිමය කියා පාන්නකි.

අඳුනෙන් සැරසී ගත් දිගු නෙත් යුවල ය. මඳලසින් සසලවන තඹ පැහැති තොල් සඟල ය. පැළඳි රන් තෝඩුයෙන් පැද්දෙන කන්පෙති ය. සොඳුරු වුවන සෞම්‍ය වූ පුන්සඳ වැන්න. පැරණි ජන කවියාත්, නූතන ජන කවියාත් එකම පරපුරක සහෘදයන්ව සිටි අයුරු ඔවුන්ගේ කවි සංකල්පනා සසඳන විට පෙනී යයි. පොලොන්නරු යුගයේ පමණ ලියැවුණැයි සැලකිය හැකි ඉහත සඳහන් කවියට නෑකම් ඇති නූතන ජනකවියක් මෙසේ ය.

ඉණේ බලාපන් ඉණ වට සේල බලාපන්
කරේ බලාපන් කර වට මාල බලාපන්
අතේ බලාපන් අත වට වළලු බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි බලාපන්


දැදුරු ඔයෙන් දිය නාගෙන එන හෝ දිය කළයක් උකුලේ තබාගෙන පැමිණෙන හෝ සොඳුරු ලියක දැකුමෙන් ජන කවියා තුළ පහළ වුණ හැඟීම් දැක්වෙන මේ කවිය තුළ කාමූපසංහිත හැඟීමක් ගෑවීවත් නැත. එදිනෙදා ජීවිතයේ කවර ම සිදුවීමක් ඉදිරිපත් කළ ද ඒ හැම සිද්ධියක් තුළ ම ජනකවියාගේ පුණ්‍ය චේතනාව ප්‍රවාහයක් මෙන් ගලයි. දුක, වේදනාව, වියෝගය, සෙනෙහස, ආදරය ආදී මානව භාවයන් පමණක් නොව තරහව, නොරුස්නාව වැනි හැඟීම් පළ කරන අවස්ථාවන්හි දී පවා ජනකවීන් තුළ පවත්නා සංයමය ඒ ඒ හැඟීම් ප්‍රකාශිත කවිවල ගැබ්ව පවතී. ඒ වූ කලී බුදු දහමින් හික්මවන ලද අවිච්ජින්න උරුමය පරපුරෙන් පරපුරට සිංහල ගැමි ජනකායගේ අධ්‍යාත්මය තුළ තිරසර ලෙස තැන්පත්ව තිබීමේ ඵලය යි.

මානව භාවයන් ඉදිරිපත් කිරීමේ දී ස්වභාවික පරිසරයේ සෞන්දර්යය ජනකවියා වින්දනය කළේ නිශ්කාමී හැඟීම් දැනවෙන පරිද්දෙනි. ඔහුගේ පෙම් කවිය තුළ පවා මේ ගුණය දැක්ක හැකි ය.

වැව ඉහළින් මෝරා ඇති අත්දොළුවා ලන්ද
නව දැළියෙන් වල්පායා ගිනිබිඳ වැට බැන්ද
බව භෝගෙන් යාන් වුණත් මගෙ සිත නෑ නින්ද
ඉව වැටියන් මෑ වැලකට අන්දර කණු මන්ද

මේ කවියෙන් හඳුන්වා දෙන තරුණයා සිය දිවි පෙවෙත ගොඩනඟා ගැනීමට දරා ඇති පරිශ්‍රමයත්, ඉන් විපුල ඵල නෙළාගෙන ඇති නමුදු සහකාරියක නොමැති වීම නිසා ඔහු සිත අරක්ගෙන ඇති බලවත් සාංකාවත්, කණස්සල්ලක් ලෙසින් ඉදිරිපත් කෙරෙනුයේ දැඩි සංයමයෙනි. ‘ඉව වැටියන් මෑ වැලකට අන්දර කණු මන්ද’ යන යෙදුම අපූරු කාව්‍යෝක්තියකි. හේන් ගොවිතැන හා බැඳුණු ඔහුගේ අත්දැකීම කියා පෑමටත්, අනාගත අපේක්ෂාවක් පිළිබඳ පැතුමක් අනාවරණය කිරීමටත් ගැමි බස ව්‍යංග අර්ථ දැනවෙන අයුරින් හසුරුවාගෙන ඇති ආකාරය ප්‍රශස්ත ය. වියත් කවියකු වෙතින් පවා එබඳු අන්දමේ කාව්‍යෝක්තියක් නිර්මාණය වන්නේ කලාතුරකිනි.

අනුරාධපුර යුග සමයේ සිට ම පා ගමනින් හා කරත්තවල නැගී වන්දනාවේ ගිය ගැමි කවියන් ලියූ කියූ කවි පිළිබඳව සීගිරි කැටපත් පවුරේ කුරුටු ගීවලින් හා 15 වැනි සියවසින් පසු හමුවන වන්දනා කවි සාහිත්‍යයෙන් නිදසුන් හමුවෙයි. පුරාණ තුන්සරණය, පුරාණ හිමගත වර්ණනාව ආදී ජනකවි පොත් ඒ අතර ප්‍රකට ය. ඒ හැරුණු විට මෑත භාගයේ විසූ වියත් කවියන් ද ජනකවි ආර අනුව යමින් වන්දනා කවි ලියා තිබේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘කෝමල රේඛා’ පද්‍ය සංග්‍රහයේ දැක්වෙන ‘පොසොන් සිව්පද’ කවි පෙළ එවැන්නකි. තම නෑනා සමඟ අනුරාධපුරයට වන්දනා ගමනක් ගිය තරුණයකු කියූ ලෙසින් දැක්වෙන එම පැදි පෙළේ අවසන් කවියකි මේ:

මහමෙව්නා උයනෙ වැඩ සිටි බුදු පිළිමේ
වැඳ වැඳ කියා දන්නා බුදු ගුණ මහිමේ
මතු කල දවස ආයෙත් ගිය පසුව ගමේ
හරියන ලෙසට පතනව හිස තබා බිමේ


මනා සංයමයකින් යුතුව ලියා ඇති පැදි අටකින් යුත් මෙම කව් පෙළ සැදැහැ බැතියෙන් ඇලලී ගිය තරුණයකු තම නෑනා වෙත පළ කරන සෙනෙහස පින් සිතිවිලි සමඟ මුසු කොට පවසන ආකාරය කදිම ය.

මෙම නිබන්ධනයට නිමිත්ත වූ ජනකවිය මහියංගනය වන්දනාවේ ගිය තරුණයකු සිය නෑනා අමතමින් කියූවකි. මහියංගනය පුදබිම වැඳ පුදා ගැනීමට පැරණි කාලයේ සිටම ගිය වන්දනාකරුවන් එහි වාඩිලාගෙන උයාපිහා ගෙන කා බී, අපමණ පින්කම් කටයුතුවල යෙදෙමින් දින ගණන් එහි ගත කොට ඇති බව ජනකවිවල දැක්වෙයි.

මයියංගනේ ආ සෙනගේ නිමක් නැති
ඒ සෙනගේ නුඹ වාගේ කෙනෙක් නැති

මහියංගනය පුදබිම වෙත වන්දනා නඩයක් සමඟ ගිය නෑනා මස්සිනා දෙපළක් තමන් විසින් සිදු කරන ලද පින්කම් නිසා ලද අධ්‍යාත්ම සොම්නස පළ කරන යට කියැවුණු ප්‍රස්තුත පද්‍ය පාදය ඇතුළත් ජනකවිය මෙසේ ය:

මහියංගනේ එක එළියයි බන් නෑනා
ඒ එළියේ අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු පදිමු ද නෑනා
එක නුවරක උපදිමු රන්කුරු නෑනා


හැන්දා යාමයේ ගං තෙර අසල වාඩිලාගෙන සියලු දෙනා එක්ව රාත්‍රී ආහාරය පිළියෙළ කරන අතරතුර සිය නෑනණ්ඩිය දකින මස්සිනාගේ සිත ප්‍රීතියෙන් ඉපිල යයි. මුළු පෙදෙස වසාගෙන ආලෝකය පැතිර යන්නා සේ ඔහුට දැනෙයි.

මහියංගනය මහ සෑ මළුව අසලින් ගලා බසින මහවැලි ගඟේ වේරගංතොටුපලේ ඔරු දකින ඔහු තුළ නෑනා සමඟ ඔරුවක නැඟ යාමේ කුහුලක් ද ඇති වෙයි. තමන් විසින් කරන ලද පින් දහම්වල ඵල වශයෙන් මතු යහපත් ආත්ම භාවයක ලබන උපතකට ඔහු නෑනාට ඇරයුම් කරයි. ‘රන්කුරු නෑනා’ යන යෙදුම පුණ්‍ය චේතනාවලින් පිබිදුණ ඔහුගේ ප්‍රභාෂ්වර සිත නිරූපණය කරන්නකි.
දයාපාල ජයනෙත්ති

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]