බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ සමීපාශ්‍රය ලැබූ ශ්‍රී මහා බෝධින් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ ඇතුළු වෙනත් ශාරීරික හා උපභෝග පරිභෝග වස්තූන් තැන්පත් කොට ඉදි කරන ලද චෛත්‍යයන් හා වෙනත් පූජනීය වස්තූන් උදෙසා අතීත යුගයේ සිටම පවත්වන ලද සාමූහික වන්දනාමාන විධි වෙනස් වන්ට පටන් ගැනුණේ යටත්විජිත පාලන යුගයෙන් පසු ඇතිවූ සමාජ විපර්යාසයන් හේතු කොට ගෙන ය. අනුරාධපුර පූර්ව යුගයේ සිටම මධ්‍යතන අවධිය දක්වා රජුන් මැති ඇමතීන් ඇතුළු සාමාන්‍ය මහජනතාව එක්ව බිම අතුරන ලද පැදුරු. ඇතිරිලි මත හිඳගෙන ධර්ම ශ්‍රවණය කිරීම්, පුද පූජා පැවැත්වීම් සිදු කළ බව සමහර සෙල්ලිපි ආඛ්‍යාත ධර්ම ග්රන්ථයන්හි දැක්වෙන තොරතුරුවලින් අනාවරණය වෙයි.
මෙම සාමූහික වන්දනා ක්රමයේ වෙනසක් වන්ට පටන් ගැනුණේ අධිරාජ්‍යවාදී පාලන බලය මුල් බැස ගැනීමෙන් පසුව ය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලය යුගයේ දී අධිකාරම්, නිලමේ, කෝරාළ, මුදලි, මුහන්දිරම් ආදී තනතුරු ප්රදානය නිසා සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වූ ඉහළ සමාජ පැලැන්තියක් බිහිවීමත් සමග රාජ්‍ය පාලනයේ පමණක් නොව ආගමික වතාවත් පැවැත්වීම් ආදියේ දී පවා ඔවුන්ට ප්‍රධාන තැනක් ලැබිණ. ප්‍රභූන් සිය වැඳුම් පිදුම් කටයුතු අවසන්ව පිටත්ව ගිය පසු ය සාමාන්‍ය ජනතාවට වන්දනාමාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ.
ගැමි ජනයා බුදුරජාණන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කළේ සමාජ චාරිත්‍රයක් වශයෙන් නොව අචල සැදැහැ බැති සිත පෙරටු කොටගෙන ය. පොහොය දිනයන් හැරුණු විට ඒ සඳහා නියමිත කාලයක් හෝ දින වකවානුවක් හෝ නොතිබිණ. ඇඟ වැර සිඳ ජීවිකාවෙහි නිරත ඔවුහු තමන් ලද විශ්රාමයෙහි දී වන්දනාමාන කටයුතුවල යෙදීම සඳහා ඈත දුර ගෙවාගෙන ගැල්වල නැඟී හෝ පා ගමනින්ම හෝ පූජනීය ස්ථාන කරා ගියහ. දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා යාම ද ඔවුන්ගේ වන්දනා ගමන්වල අනිවාර්ය අංගයක් විය.
අනුරාධපුර පොලොන්නරු යුගවලින් පසුව දකුණු ඉන්දීය චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග දන්ත ධාතූන් වහන්සේ ද ඒ ඒ රාජධානිවලට වැඩමවන ලද්දේ සිංහල රාජ්‍යත්වයේ සංකේතය දන්ත ධාතූන් වහන්සේ වන හෙයිනි. සිංහලයේ අවසාන රාජධානිය වූ සෙංකඩගල ඉදිකරන ලද දළදා මාළිගාවල සිරි දළදා වහන්සේගේ සුගන්ධ කුටිය බවට පත් වූයේ ඒ අනුව ය. එදා සිට ලංකාවේ සිව්දිගින් තම ප්‍රදේශයන්ට ආවේණික වූ සුවඳ මල් හා පූජා වස්තූන් රැගෙන පැමිණි වන්දනාකරුවෝ ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා ඉමහත් සැදැහැයෙන් යුතුව දන්ත ධාතූන් වහන්සේ වන්දනා කළහ.
කල් යෑමේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින සුගන්ධ කුටිය අසලට ගොස් වැඳුම් පිදුම් කිරීමට අවසර ලැබුණේ ප්රභූන්ට පමණි. සාමාන්‍ය ජනයාට සිදු වූයේ දුරින් සිට වන්දනා කිරීමට ය. ඇතැම් වන්දනා පිරිසකට උඩමාලයට ගොස් පුද පූජා පැවැත්වීමට ද නොහැකි වූයේ කටුක රැකියාවල නියැලෙමින් සිට දුර ගමන් ගෙවාගෙන කිළිකුණු වැකුණ ඇඳුමින් යුතුව පැමිණි හෙයිනි. ඈත දකුණුලක ප්‍රදේශයේ සිට වෙහෙස දරාගෙන එසේ පැමිණි වන්දනාකරුවන් පිරිසකට උඩ මාලයට පිවිසීමට අවසර නොලැබීම නිසා බලවත් සිත් තැවුලින් යුතුව පැවසූ දුක් ගැනවිල්ලක් ගැන කියැවෙන ගීතයක පදරුත් විමසුමකට ඉඩහසර ලබා ගැනීම සඳහා ය ඉහත දැක්වුණ පූර්විකාව ඉදිරිපත් කරන ලද්දේ.
අතිශය විරල ජීවිත අත්දැකීමක් පදනම් වුණු දිළිඳු වන්දනාකරුවන් පිරිසකගේ බැගෑබර ආයාචනයක් බඳු මෙම ගීතය රචනා කරන ලද්දේ ප්රශස්ත ගීත නිබන්ධක රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන් විසිනි. බුදු ගුණ අමාදහර ගැයුමකින් ගීත ක්ෂේත්රයට පිළිපන් විසාරද ආචාර්ය වික්ටර් රත්නායක සූරීහු එම පද මාලාවට අනුප්‍රාණය ලබාදුන්හ.
දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි පිරිසේ වගතුග අනාවරණය කරමින් ම ඇරඹෙන ගීතයේ ඔවුන් රැගෙන ආ සුගන්ධ පුෂ්පයන් ගැන ද කියැවෙයි:
‘පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ….
පාත මාලයට වඩින්න’
‘පාත ඉඳන් අපි ආවේ’ යන යෙදුමින් මල පහත රට පළාතකින් ඔවුන් නුවරට පැමිණි වග ගීතය ආරම්භයේ මුල් පාදයේ දී ම සඳහන් වෙයි. ඔවුන් කුමන ප්‍රදේශයකට අයත් පිරිසක් ද යන්න වටහා ගැනීමට ඉඟියක් ඊළඟ පාදයෙන් සැපයේ. එදවස නාමල් පූජාවට ප්‍රසිද්ධියක් ඉසිලුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පරගොඩ පුරාණ විහාරස්ථානය යි. ආදි කාලයේ සිට ම දකුණු පළාතේ විවිධ ප්‍රදේශවල සිට ගැල් පෙරහැරින් නාමල් පූජා කිරීම සඳහා වන්දනා පිරිස් පරගොඩ විහාරස්ථානයට පැමිණි බවට සාධක ඇත. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ගම්පෙරළිය නවකථාවේ 12 වැනි පරිච්ඡේදයේ, නාමල් පූජා කිරීම සඳහා පරගොඩ විහාරස්ථානයට ගිය වන්දනා ගමනක් පිළිබඳව විස්තර වෙයි. එම ප්‍රබන්ධ කථාවට අදාළ කතා පුවත විසිවැනි සියවසේ ආරම්භය කරා දිවෙයි.
පූර්වෝක්ත ගීතයෙන් කියැවෙන නාමල් පූජාව සඳහා ගිය පිරිසට දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින උඩමළුවට පිවිසීමට අවසර නොලැබුණු වග, ගීතයේ ස්ථායි ඛණ්ඩයේ ඊළඟ දෙපාදයෙන් ඇඟවෙයි.
‘දළදා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න’
දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින සුගන්ධ කුටිය අසලට ගොස් නාමල් පූජා කිරීම සඳහා පැමිණි පිරිසගේ බලාපොරොත්තු සඵල නොවීම පිළිබඳ දුක්ගැනවිල්ලක් වැන්න ඒ ගී දෙපදය. ඉතා දුර බැහැර සිට වෙහෙසට පත්ව ආ ගැමියන් පිරිසට උඩමාලයට පිවිසීමට නොහැකි වූ හේතුව ගීතයේ දෙවැනි හා තුන්වැනි ඛණ්ඩයන්ගෙන් අනාවරණය කෙරෙන්නේ ගීතයට සවන් දෙන ශ්‍රාවක ජනකායගේ ද සිත් සසල කරවමිනි.
‘හීල් හෙවණෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟපත කළු වුණත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න’
අව්කූටකයෙන් දැවෙමින් හේන්වල, කුඹුරුවල අප්‍රමාණ දුක් විඳිමින් වෙහෙස වන ජනකායකගේ ජීවිත වත ගී පද හතරකින් පිඬු කොට දක්වා ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාත්ම පිවිතුරු භාවය ද විකසිත කරවමිනි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇසට හසු වූයේ අප්‍රමාණ දුක් අනුභව කරන ලෝවැසි ජනයන්ගේ බාහිර ස්වරූපය නොව අධ්‍යාත්ම වත යි.
‘ඇඟපත කළු වුණත් අපේ
කිලි කුණු නැති හිත බලන්න’
හද පිරි සැදැහැ සිතින් යුතුව දුර බැහැර සිට අපමණ වෙහෙස විඳගෙන උතුම් සිරි දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණි දිළිඳු ජනයාගේ ජීවිත තතු හා අධ්‍යාත්ම සුන්දරත්වය දළදා තේවා භාරකරුවන්ට හා ආරක්ෂකයන්ට නොපෙනේ. එය දකිනුයේ බුදුරජාණන් වහන්සේ ම පමණි. ඒ නිසා වෙනත් උදවියට තමන් පිළිබඳ තොරතුරු කියා පෑමෙන් පලක් නොමැතිය.
‘මුහුදු ගියා ලෙලි තැලුවා
පිළී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න’
නාමල් පූජාව සඳහා පැමිණි වන්දනා නඩයේ සිටි තවත් පිරිසක් ධීවර කර්මාන්තයේ සහ කොහු කර්මාන්තයේ නියැලුණු අය වෙති. ඔවුන්ගේ සිරුරින් හා ඇඳුම් පැලඳුමෙන් පිළී ගඳ වහනය වෙතත් ඔවුන් බුදු පුදට රැගෙන ආ නාමල්වලින් ආස්වාදනය වන්නේ මිහිරි සුවඳකි. නාමල් සුවඳ සංකේතවත් කරන්නේ වන්දනාකරුවන්ගේ පිවිතුරු අධ්‍යාශය යි.
දකුණු පළාතේ ගම් දනව්වල හේන් කුඹුරු වැඩපළෙහි යෙදෙමින් දහදුක් විඳින ගොවිජනකායගේ මෙන් ම ධීවර කර්මාන්තයේ හා කොහු කර්මාන්තයේ යෙදී සිටින මුහුදුබඩ දිළිඳු ජනකායගේ ජීවිත වත හා අධ්‍යාත්ම තතු පිළිබඳ පුළුල් අනාවරණයක් ඉදිරිපත් කරන ගී පද දොළොසකින් යුතු මේ ගී පබැඳුම රත්න ශ්‍රී විජේසිංහයන් සතු මනුෂ්‍යත්වය පිළිබඳ පුළුල් දැක්මත්, නිර්මාණාත්මක ප්‍රතිභානයේ විශිෂ්ටත්වයත් ප්‍රකට කරන්නකි.
සටහන – දයාපාල ජයනෙත්ති
Recent Comments