“සෙනුරි, ඔයා කොහෙද ඉන්නෙ?”
“අනේ චතූ මට විනාඩි 15ක් දෙන්නකො. මට පොඩ්ඩක් පරක්කු වුණා.”
“අනේ ඔයා එහෙනම් එන්න. අපි යන්නම්. දැන් අපි මෙතනට ඇවිත් විනාඩි 20කටත් වැඩියි. කිව්වනෙ වෙලාවට එන්න කියලා.”
“ඇයි චතූ? සෙනුරි මොකද කිව්වෙ?”
“අනේ අපි යමු යන්න. එයාට එන්න තව විනාඩි 15ක්වත් යයිලු. අපි එයාට කිව්වනෙ වෙලාවට එන්න කියලා.”
“ඒ වුණාට හරි නෑ නේ ද? සෙනුරි ඔයාට ගොඩක් උදව් කරල තියනවා නෙ. අපි තව පොඞ්ඩක් බලමු. එයා තනියම නෙ.”
“එයා මට උදව් කරපු ඒවයි, මම එයාට උදව් කරපු ඒවයි වෙනයි. එයා පරක්කු වෙන එක වෙනයි. අපි නිකන් රස්තියාදු වෙනවනෙ. යමු යන්න.”
මේ මිතුරියන් තිදෙනෙකු අතර සිදු වූවකි. මෙවන් දෙබස් අප කොතෙකුත් අසා ඇත. සමහර විට අපට ද මෙවන් සිදුවීම්වලට මුහුණපාන්නට සිදු ව ඇත. වර්තමාන මිනිසාට සංවේදී වන්නේ තමාගේ අරමුණ, අභිලාෂය පමණි. ඔවුන් තම වටපිටාව ගැන සංවේදී නොවෙති. සැබැවින් ම අපට යමෙකු වෙනුවෙන් කැපකිරීමක් කළ හැකි ද? මෙය සැබැවින්ම සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවකි.
කැප කිරීමක් යනු තමාට සිදු වන පීඩාවක්, අපහසුතාවක් හෝ පාඩුවක් ඉවසමින් කෙනෙකු වෙනුවෙන් යමක් උදෙසා උපකාරයක් හෝ ක්‍රියාවක් කිරීමයි. කැපකිරීම් දෙආකාරයකින් කළ හැකි ය. එනම් යහපත උදෙසා කරන කැපකිරීම් සහ අයහපත උදෙසා කරන කැපකිරීම් ය. මෙහි දී සාකච්ඡාවට බඳුන් වන්නේ යහපත උදෙසා කරනා කැපකිරීම් ය. කැපකිරීම දුෂ්කර කටයුත්තකි. එමෙන්ම කැප කිරීම මෙත් සිතත්, කරුණාවත් කැටි වූ දෙයකි. යම් කෙනෙක් යම් ක්‍රියාවක් අන් අය උදෙසා කරන්නේ ද්වේෂ සිතින් නම්, වෙනත් කළ හැක්කක් නැති නිසා නම් එය සැබෑ කැපකිරීමක් වන්නේ නැත. එබැවින් මෙලොව කැපකිරීමක් කරන්නෙකු වන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. අති ධාවනකාරී වූ වර්තමාන සමාජය තුළ යමෙකු වෙනුවෙන් කැපකිරීමක් කළ හැක්කෙක් හමු වීම කලුනික සෙවීම මෙන් දුලබ ය. එයට ප්‍රධාන ම හේතුව නම්, ආයුෂ අඩු වෙමින් යන මෙකල බොහෝ මිනිසුන් කෙලෙස් අධික, බොහෝ දුර්ගුණ ඇති, ප්‍රඥා රහිත, අඳබල් සිත් ඇත්තෝ වීම ය.
කෙසේ නමුත් බොහෝ කල්හි දෙමව්පියෝ වනාහි දරුවන් කෙරෙහි පතළ මහත් මෙත් කරුණා සිත් ඇත්තෝ ය. තම දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ සිත් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ පහල වෙයි. ඔවුන් තුළ පවතින ඒ උතුම් ගුණය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.
“පින්වත් මහණෙනි, බ්‍රහ්මයෝ කියන නාමය මව්පියන්ට කියන නමක්. පූර්ව ආචාර්යවරු යන මේ නාමයත් මව්පියන්ට කියන නමක්. දුර සිට නමුත් රැගෙන එන ආහාරපානාදියෙන් උපස්ථාන ලැබිය යුතු උතුමන් යන මේ නාමය මව්පියන්ට කියන නමක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දූ දරුවන්ට මව්පියෝ තමයි බොහෝ උපකාරී වන්නේ. ඒ දෙමව්පියෝ දූ දරුවන්ව බිහි කරනවා. පෝෂණය කරනවා. මේ ලෝකයෙහි ජීවත් වෙන හැටි පෙන්වා දෙනවා.”
“බ්‍රහ්මාති මාතාපිතරෝ – පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්යා ච පුත්තානං – පජාය අනුකම්පකා”
“මව්පියවරු වනාහී බ්‍රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු කියලා කියන්නෙත් ඔවුන්ටයි. දූ දරුවන්ට අනුකම්පාව දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිට නමුත් ආහාරපාන රැගෙන ඇවිත් උපස්ථාන ලැබීමට සුදුසුයි.”
මෙසේ ඒ සුගත වූ ශාස්තෘන් වහන්සේ දෙමව්පියන්ගේ ගුණය ගැන ප්‍රශංසා කළ සේක. දෙමව්පියන්ගේ ගුණය සර්ව සම්පූර්ණයෙන් ම දන්නා කෙනෙක් අපගේ බුදුරජාණන් වහන්සේ හැරුණු කොට තවත් නැත. උන්වහන්සේගේ අනාවරණ ඥානයට සැඟවුණු දෙයක් නැත්තේ ය. උන්වහන්සේ සියල්ල අවබෝධ කළ සේක. උන්වහන්සේ දරුවන්ව දෙමව්පියන් කෙරෙහි බැතිමත් කරවූයේ, උපස්ථාන කිරීමට උත්සුක කරවූයේ මව්පියන්ගේ ගුණයත්, උපස්ථාන කිරීමෙන් දරුවන්ට සැලසෙන යහපතත් දන්නා නිසා ය. දකිනා නිසා ය.
දෙමව්පියෝ දරුවන් කුසට පැමිණි දින පටන් ඔවුනට උපකාර කරති. තම කුසට පැමිණි දරුවා බිහි කිරීමට තීරණය කිරීම ද ඔවුන් කරනා ඉමහත් කැප කිරීමකි. ඔවුන් ඒ දරුවා ප්‍රතික්ෂේප කිරීමට සිතා කුස තුළ මරා දැමුවා නම් අප කිසිවෙක් මෙලොව එළිය දකින්නේ නැත. දරුවා කුසට පැමිණි පසු මෑණියන් දුර බැහැර ගමන් බිමන්වලින් වළකින්නී ය. කැමති කැමති ආහාර අනුභවයෙන් වැළකී කැපසරුප් දෑ ආහාරයට ගන්නී ය. පියතුමන් බොහෝ විට මව්ට සිත් කරදර ඇති වීමට පවා ඉඩක් නොතබයි. දරුවා ගැන සිතමින් වෙනදාටත් වඩා මහන්සි වී මිල මුදල් හරි හම්බ කරයි. දරුවා උපන් පසු ලෝකය හඳුන්වා දෙයි. දරුවා ගුණගරුක දරුවෙකු කරන්නට වෙහෙසෙයි. යහපත අයහපත පෙන්වා දෙයි. කතා කරන වයසේ පොඩි දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. එවන් දරුවකු තමන් දකින අසන දේ ගැන කෙතරම් ප්‍රශ්න අසනවා ද? ඒ හැම විටම දෙමව්පියන් කෙතරම් ඉවසීමෙන් පිළිතුරු දෙනවා ද? මෙසේ දෙමව්පියන් දරුවන්ට යහපත් අධ්‍යාපනයක්, රැකියාවක්, විවාහයක්, යානවාහන ගෙවල්දොරවල් ආදී වත්කම් සකසා දීමට, සමහර විට දරුවන්ගේ දරුවන් උස් මහත් කර දීම ආදී දෑ උදෙසා අනන්ත කැපකිරීම් කරති. සමහර විටක මුළු ලෝකයක් එක් වී ප්‍රතික්ෂේප කරද්දී පවා මව්පියෝ තම දරුවන්ගේ පාර්ශවය ගනිති. එසේ මව් ගුණය ප්‍රකට කළ මෑණි කෙනෙකි අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ මෑණියන් වන මන්තානී බැමිණිය. කොසොල් රජු සේනාව රැස් කොට අංගුලිමාල අල්ලා ගන්නට යන බව ඇසූ ඒ මෑණියන් දරුණු සොරෙක් ව සිටි අංගුලිමාල වෙත යෑම ද අතිශයින් ම විස්මිත කැප කිරීමකි. අද පවා බොහෝ වැරදි සිදු කොට සමාජයෙන් නින්දා ලබද්දී, සිරගත වෙද්දී පවා දෙමව්පියෝ දරුවන් කෙරෙහි එක ලෙස සෙනෙහෙවන්ත වෙති.
එසේ මව්පියන් විසින් කරන කැපකිරීම් නිසා පසු කලෙක උසස් අධ්‍යාපනය ලබා උසස් රැකියාවල නිරත වෙන දරුවෝ අන්තිමේ දී ඒ දෙමව්පියන් අත් හැර පිට රටවල පදිංචියට යති. අසරණ දෙමව්පියෝ තම නිවෙස් තුළ ම තනි වෙති.
තම ජීවන සිහින ඉටු කර ගැනීම ගැන පමණක් සිතන දරුවෝ තමාට උපකාර කළ දෙමව්පියන් සතුටු කිරීමට මාසයකට වතාවක් මුදල් එවති. අවුරුදු ගණනකට වතාවක් දැකීමට එති. සමහර අයට තම ස්වාමියා, බිරිඳ නිසා දෙමව්පියන් දැකීමට එන්නටත් තහංචි ය. ඔවුන්ට දෙමව්පියන් අත් හරින්නට සිදුව ඇත්තේ තම පවුල් ජීවිතය රැක ගැනීම උදෙසා ය. තමාගේ පැවැත්ම අත හැර දෙමව්පියන් උදෙසා කැපවන්නන් ඉතාමත් අල්ප ය. කාශ්‍යප බුද්ධ ශාසනයේ ජීවත්ව හුන් ඝටීකාර උපාසක එවන් දුර්ලභ සත්පුරුෂයෙකි. අනාගාමී ඵලයට පත් වී කාමයන් කෙරෙහි ආශාව සම්පූර්ණයෙන් ම ප්රහාණය කර සිටි එතුමාට උතුම් පැවිදි ජීවිතයකට ඇතුල් වීමට කෙතරම් නම් කැමැත්තක් තිබෙන්නට ඇත්ද? නමුත් එතුමා ගිහි ජීවිතය තුළ රැඳුනේ දෑස් අඳ මව්පියන් වෙනුවෙනි. එතුමා එවන් උතුම් කැප කිරීමක් කළ අයෙකි.
එසේ ම වර්තමානයේ ස්වාමියාට බිරිඳ උදෙසාත්, බිරිඳට ස්වාමියා උදෙසාත් කැපවෙන්නට නොහැකි ය. මිතුරෙකුට තවත් මිතුරෙකු උදෙසා කැපවන්නට නොහැකි ය. ආදරය කරන අයට තම ආදරණීයන් උදෙසා කැපවන්නට නොහැකි ය. තමාගේ ආශාවන් නිසා, තමාගේ අවශ්‍යතාවන් උදෙසා ක්ෂණයකින් ඒ සියල්ල අත් හැර දමති. බිරිඳ ස්වාමියා, දරුවන් උදෙසා කැපවීම වෙනුවට තම රැකියාවේ උසස් ස්ථාන පසුපස දිව යයි. මුදල් ඉපයීමේ ආශාවෙන් යුතුව නිවසේ වැඩපළ සියල්ල පසෙක දමා රැකියාවට ම ප්‍රමුඛත්වය දෙයි. දරුවන්ට යහමග කියා දෙමින් දරුවන් සමඟ කාලය ගත කිරීම වෙනුවට රූපලාවණ්‍ය වෙනුවෙන් වෙහෙසෙයි. ස්වාමියා විවාහ වී දරුවන් ලැබුණ පසුව ද තමා පෙර ගත කළ නිදහස් දිවිය ම සොයයි. රෑ බෝ වී නිවසට එයි. බිරිඳ දරුවන් සමඟින් තමා එන තුරු බලා හිඳින බැව් නොසිතා මත්පැන් පානය කරමින් විනෝද වෙමින් මුදල් නැති නාස්ති කොට දමයි. ඔවුන් පවුලේ ආදරය වෙනුවෙන් කැප වන්නට අකමැති ය. තමාගේ සිතැඟියාවන්ට අනුව ම තමාට රිසි දෑ තමන්ට රිසි අයුරින් සිදු කර ගනිති.
මෙවන් දෑ නිතර අසන්නට දකින්නට ලැබෙන ලොවක පෙර පිනකට සත්පුරුෂ ඇසුරින් අප දැන ගන්නා අපගේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් දිවිය, ලොවට උතුම් කාන්තා රත්නය වන අපගේ යශෝදරාවන්ගේ පෙර ජීවිත පිළිබඳ විස්තරය අතිශයින්ම විස්මිත ය.
බෝසතාණන් වහන්සේ තමන් ගමන් ගත් නැව මුහුදු බත් වෙද්දී තම මව කර තබාගෙන තෙරක් නොපෙනෙන සයුරේ දින හතක් පිහිනමින් මෑණියන් උදෙසා කළ කැප කිරීම අපට නම් කිසිම දිනක කළ හැකි ද?
සුමේධ තවුසාණන්ව සිට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට ධර්මාවබෝධ කිරීමට පින් තිබෙද්දී බිහිසුණු සසරට වැටී සත්වයන්ට ධර්මය අවබෝධ කරවීමේ අදහසින් පාරමී ධර්මයන් පිරීමට සිතූ ඒ කැපකිරීම පුදුමය දනවන සුලු ය.
උතුම් සම්බුද්ධත්වයට පත් වීම තමාගේ අරමුණක් නොව තම ස්වාමියාගේ අරමුණ වෙද්දී පවා ඒ උතුම් අරමුණ සාක්ෂාත් කිරීම උදෙසා තම සිතැඟියාවන් පවා අත් හරිමින් සෙවණැල්ල සේ හිඳිමින් හැකි සෑම අයුරින් ම උපකාර කරමින් උතුම් යශෝධරාව කළ කැප කිරීම පුදුම සහගත ය.
නොයෙක් ජීවිතවල සම්මා සම්බුද්ධත්වය උදෙසා තමා ව අත් හරිමින් තපසට යද්දී පවා, මිහිරි තෙපුල් පවසමින්, මග හැරෙන්නට නො දී, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ම තම ස්වාමියා පසුපස පැමිණීම අසිරිමත් කැප කිරීමකි.
අපට මේ ජීවිතයේ අවුරුදු 40ක් 50ක් අප දන්න හඳුනන ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කැප කිරීමක් කළ නොහැකි ය. නමුත් අපගේ ශාස්තෘන් වහන්සේ සතර අපාය සහිත වූ බිහිසුණු දුක් ඇති අතිශයින් ම අනතුරුදායක සසරක වැටී පාරමී දම් පිරුවේ උන්වහන්සේගේ ශාසනයේ ධර්මාවබෝධ කරන්නේ කවුද කියාවත් නොදැන ම ය.
රාජ කුමාරයෙකු වශයෙන්, සිත් බඳිනා ප්‍රියමනාප කාම සම්පත් අනුභව කරමින්, අතිශයින් ම මනහර රූ ඇති ව, රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවල වාසය කොට ප්‍රිය දේවී යශෝධරාව, ප්‍රිය පුතු රාහුල ඇතුළු මේ සත්වයන් ජරා මරණ දුකින් නිදහස් කරන්නෙමි සිතා තමා කිසි දිනක අසා නැති දුකින් නිදහස් වීමේ මාර්ගයක් සොයා යාම පුදුමාකාර කැප කිරීමකි.
දීපංකර පාද මූලයේ සිට අසංඛ්‍යය සතරකුත් කල්ප ලක්ෂයක් තමා කෙරෙහි මෙතරම් සෙනෙහසින් පසුපසින් පැමිණි, මිහිරි තෙපුල් ඇති, ඉතා මනහර රූ ඇති, ස්වාමියාට දිවි පිදූ උතුම් යශෝධරාවත් තමාගේ මෙන් හැඩරුව ඇති, රන් රුවක් බඳු, මොළකැටි සිඟිති රාහුල පුතුත් සකල ලෝකයා සසර දුකින් නිදහස් කිරීම උදෙසා අත්හැරීම ආශ්චර්ය වූ කැප කිරීමකි.
තමාට බොහෝ සෙනෙහෙ ඇති දෙමව්පියන් ප්රමුඛ ඥාතීන් අත් හැරීම විස්මිත කැප කිරීමකි.
කයට දුක් දීමෙන් විමුක්තිය සාක්ෂාත් කළ හැකි යැයි සිතා කයට දිය හැකි සියලු ම ආකාරයේ දුක් දෙමින් මහා පුරුෂ ලකුණු මැකී යන තෙක් ම කයට දුක් දී නමුත් ලෝක සත්වයන් සසරින් එතෙර කරවීමේ උත්තම අධිෂ්ඨානය අත් නොහරිමින් ඒ කළ කැපකිරීම ලොමුදැහැගැන්වෙන සුලු ය. පරාර්ථය උදෙසා එවන් උත්තරීතර කැපකිරීම් කළ එවන් උත්තමයන් වහන්සේනමක් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් නොකර සිටින්නේ කෙසේ ද?
උතුම් සම්බුද්ධත්වයට පත් ව ලෝ සතගේ දුක් ගිනි නිවාලන්නට පුරා පන්සාලිස් වසරක් කළ කැපකිරීම අතිශයින් ම විස්මිත ය. දිනකට එක් වේලක් ලබනා පිණ්ඩපාතය පවා වරදිද්දී, චක්‍ර ලක්ෂණයන්ගෙන් සෝබමාන උතුම් සිරිපතුල් වෙහෙස වෙද්දී, අව්වෙන් වැස්සෙන් හිරු රැසින් පීඩා ගෙන දෙද්දී, කලින් කල ගැරහුම් පවා ලැබෙද්දී ඒ කිසිවකට නොසැලී සම මෙත් සිතින් දෙවි මිනිසුන් වෙනුවෙන් කළ අප්‍රමාණ කැප කිරීම මෙලොව වෙනත් කිසිම කෙනෙකුට සිදු කළ නොහැකි ආශ්චර්ය අද්භූත කැපකිරීමකි. ඒ බුද්ධ කෘත්‍ය වනාහී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සිදු කළ අනන්ත අප්‍රමාණ කැප කිරීම් සමුදායක අවසන් ප්‍රතිඵලය යි. මේ මනුලොවේ සිට අකනිටා බඹලොව තෙක් අබ ඇට පුරවා ඒ අබ ඇට ප්‍රමාණය ගණන් කළ ද අපගේ ශාස්තෘන් වහන්සේ අප වෙනුවෙන් කළ කැපකිරීම් ගණනය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේනමක් වනාහී කල්ප සතකටත් දුර්ලභ ය. ලොවේ කලාතුරකින් පහල වන්නා වූ උත්තමයෝ ය.
ඒ උත්තමයන් වහන්සේ විසින් වදාරන ලද ඒ උතුම් දහම තම දිවි දෙවැනි කොට ආරක්ෂා කර ගනිමින් කටපාඩමින් ඉදිරියට ගෙන යාමට ශාසනභාරධාරී වූ මහා කස්සප මහරහතන් වහන්සේ ප්රමුඛ ඒ උතුම් රහත් සඟ පරපුර සිදු කළ කැපකිරීම් අප්‍රමාණ ය. බුද්ධ ශාසනය මේ ශ්‍රී ලංකාද්වීපය තුළ සුරැකෙන බව අසා බුද්ධ ශාසනය මේ ශ්‍රී ලංකාද්වීපය තුළ පිහිටුවාලීමට තමන් වහන්සේ උපන් දේශය පවා අතහැර වැඩම කොට අනුබුදු මිහිඳු හිමියන් කළ කැපකිරීම් අප්‍රමාණ ය. මෙතුවක් කල් මනා කොට ආරක්ෂා වූ ඒ උතුම් ධර්මය බොහෝ කලක් යටපත් ව තිබෙද්දී, මැනවින් ඉස්මතු කරමින් ඒ උතුම් ධර්මය නොනැසී අනාගතයට දායාද කිරීමට අපගේ ගුරු දේවයන් වහන්සේ බුද්ධ ශාසනයට තම දිවි පුදා කළ කැපකිරීම් අතිශයින් විස්මිත ය. ගුරු දේවයන් වහන්සේ ප්රමුඛ ඒ උතුම් මහ සඟරුවන භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය පිරිසිදුව ම අනාගත පරපුරට දායාද කිරීම පිණිසත්, ලක්දිව බුදු සසුන බොහෝ කලක් බැබළවීම පිණිසත් කරන කැපකිරීම් අතිශයින්ම විස්මිත ය. එසේ බලන කල බුදු සසුනක් යනු එකම එක වීර්යවන්ත කල්‍යාණමිත්‍ර පුරුෂෝත්මයන් වහන්සේනමකගේ කියා නිම කළ නොහැකි කැපකිරීම් සමුදායකින් ආරම්භ වී ගණනින් කිව නොහැකි තරම් වූ සත්පුරුෂයන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ කැපකිරීම්වලින් සුශෝභිත වූවකි. බුදු සසුන රැකීමට අපමණ කැපකිරීම් කළ, දිවි දුන් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් කොතෙකුත් සිටින්නට ඇති ද? බුදු සසුනක ශාසන ප්‍රතිපදාව පවා අතිශයින් ම පරාර්ථකාමී ය. අහෝ! බුදු සසුනක් මෙතරම් අසිරිමත් ද?
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ උත්තම ශ්‍රාවක සඟරුවනට නමස්කාර වේවා! එවන් සඟරුවනක් බිහි කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා! එවන් සුන්දර බුදු සසුනක සරණ ලැබූ අපට ද ඒ උතුම් ගුණ දැරීමේ වාසනාව උදා වේවා! ඉවසීමෙන් කරුණාවෙන් යහපත උදෙසා කැප වන්නට සත්පුරුෂ බව ගොඩ නැගේවා! මේ ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා..!!!
සාදු..! සාදු.!! සාදු.!!!
උත්පලා ගුණතිලක
සාදු! සාදු!! සාදු!!!