අරුන්දතීගේ සිත පාඩමෙහි නො ඇලිණ. උකටලී ව ඈනුමක් පිට කළ ඕ ඔරලෝසුව මත නෙතු රැඳවූවා ය. වේලාව රාත්‍රී හතහමාර ය. රූපවාහිනී සේවාවල ටෙලිනාට්‍ය පටන් ගන්නා බව සිහි කළ අරුන්දතී පාඩම් පොත නොවසා ම කාමරයෙන් පිට වූයේ කලබලයෙනි.

“තාම ප්‍රවෘත්තිනෙ…” අරුන්දතී දුරස්ථ පාලකය ගෙන චැනලය මාරු කරද්දී පියා කීවේ ය. පියාගේ වචනය ගණනකට නොගත්තී පියාට සුරතල් සිනාවක් පා ඔහු අසල ම පුටුවට බර දුන්නේ බැරෑරුම් කාර්යක් වෙනුවෙන් සූදානම් වන්නාක් මෙනි.

“පාඩම් වැඩ ඉවර ද?”

“ඉවරයි”

කියු ආකාරයෙන්ම දියණිය කිීවේ බොරුවක් බව තේරුම් ගත්ත ද පියා නිහඬ වූයේ දියණියගේ සිත රිදවීමටත් කෝප ගැන්වීමටත් ඇති අකමැත්ත නිසාවෙනි.

“අම්මේ කථාව පටන් ගන්නවා.” යි කී ඕ අම්මාට ද අඬ ගැසුවා ය. දෑතේ වතුර ඇඳ සිටි ගවුමේ ම පිසදා ගනිමින් පැමිණි මව අරුන්දතීගේ අනෙක්පස වූ පුටුවේ හිඳගත්තා ය.

රාත්‍රී නවයයි තිහ වෙනතුරු පුරා පැය දෙකක් ම ඔවුහු එසේ රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කෙරුණු ටෙලිනාට්‍ය නැරඹූහ. මව පමණක් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන කාලය තුළ නැගිට ගොස් උයන පිහන කටයුතුවල යෙදුණා ය.

ඔවුන් රාත්‍රී ආහාරය ගත්තේ දහයට ආසන්න වෙත්දී ය. මිතුරන් සමඟ ඇවිදින්නට ගොස් සිටි සුරංග නිවසට පැමිණියේ ඒ අතරතුර වූ හෙයින් වෙනදාට ලැබෙන බැණුම් ගෝරනාඩු නැගුනේ ද නැත. කාමරයට වැදුනු සුරංග රාත්‍රී ආහාරය පිණිස පැමිණියේ ද නැත.

“මෙයා යන එන තැන් ගැන, කරන දේවල් ගැන ටිකක් හොයල බලන්න.”

පියා වගකීම මවට භාර කළේ ය. අරුන්දතී දින කිහිපයක් බලා සිටි අවස්ථාව ලැබුණෙන් ඉඩ බලා වචනය දැම්මා ය.

“ඔයාලා එයාගේ ෆෝන් එක චෙක් කරල බලන්න එයා මොනවද බලන්නේ කියලා.”

පවුල් සංස්ථාවට අනන්‍ය වූ අම්මා, තාත්තා, අයියා වැනි වචන ඇගේ ලෝකයෙන් ඈත්ව තිබුණේ එපමණකට විදෙස් මෙගා ටෙලිනාට්‍ය විසින් අරුන්දතීගේ ලෝකය ආක්‍රමණය කොට තිබූ නිසාවෙනි.

“ඇයි මොකද?”

මව ඇසුවේ ‘උඹ උඹේ පාඩුවේ හිටපන්’ යැයි කියන්නාක් මෙනි.

“චෙක් කරල ම බලන්නකො. ඔයාට තේරෙයි.” අරුන්දතී කීවේ සුරංගට ද ඇසෙන පරිද්දෙනි. එහෙත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

“මං කිව්ව අරන් දෙනකොට” පියා මවට චෝදනා කළේ ය.

“ඉගෙන ගන්න දේවල්වලට උවමනා වෙනවයි කිව්ව නිසානේ අරන් දුන්නේ.”

“දැන් ඉතිං ඉගෙනගෙන ඇති.”

මව නිහඬ වූයෙන් කථාව අවසන් විය. තමාට වඩා නිදහසක් භුක්ති විඳින සහෝදරයාට බාධාවක් කිරීමට හැකි වීම පිළිබඳ අරුන්දතී තුළ උපන්නේ සියුම් සතුටකි.

රාත්‍රී ආහාරයෙන් පසුව කාමරයට ගිය අරුන්දතීට පාඩම් කටයුතු කිරීමේ කැමැත්තක් උපන්නේ ම නැත. පාඩම් පොත වසා දැමු ඇය ඇඳ විට්ටමට කොට්ටය තබාගෙන ඇඳේ හාන්සි වූවා ය. ඇගේ දෑස් සෙමෙන් පියවිණි. ඒ නිදන්නට නම් නො වේ.

අරුන්දතීගේ දෑස් ඉදිරිපිට ටෙලිනාට්‍යවල දුටු මනෝභාවනීය ප්‍රේම ජවනිකා ආයෙම දිගහැරෙන්නට විය. අනුරාගී බැලු‍ම්, සුලලිත පෙම් වදන් අතර සිත අතරමං වෙද්දී අරුන්දතී එයින් වින්දේ ඉමිහිරි ආස්වාදයකි. ඒ චමත්කාර ලෝකය තුළ ඇගේ සිතිවිලි අතරමං වන්නට විය. ඒ රූපරාමුවල නිළිය වෙනුවට ඇය තමාව ආදේශ කොට ගත්තා ය.

කාලය කොතෙක් දිගු වීදැයි ඕ නොදත්තා ය. අවසානයේ ඈ ඒ මායාවෙන් මිදෙද්දී ඇගේ සිතේ ඉතිරි වූයේ ශෝකයකි. ඒ ලෝකය තමාට සත්‍ය ජීවිතයේ දී සිහිනයක් නොවන්නේද?

“ලස්සනට හිටපන්කො ඔය ගොඩේ පෙනුම නැතුව. කොල්ලෙක්වත් යාළු වෙන්නෙ නැත්තේ ඒකයි උඹත් එක්ක.” පෙම්වතුන් සිටින සම වයසේ පාසල් මිතුරියන් නිතර නිතර කියන වචන සිහි කළ අරුන්දතීගේ හදවත මෙවෙලෙහිත් රිදෙන්නට වූයේ ඊයම් බරු හදවත පතුලට කිඳා බසින්නාක් මෙනි. ඇඳ දිගේ රූටමින් පහළට ගිය ඕ නිදාගන්නට උත්සාහ කළ ද ඒ පීඩාකාරී සිතිවිලි නිසාවෙන් තවත් බොහෝ වේලාවක් ගතවෙන තුරු ඈ කරා නින්ද පැමිණියේ නැත.

රාත්‍රියේ කෙටි නින්දක් ලැබූවේ වුව ද සුපුරුදු වේලාවට අවදි වූ අරුන්දතී පාසල් යාමට සූදානම්ව පාරට පැමිණියා ය. ඇයට බොහෝ වේලාවක් පාරේ රස්තියාදු වන්නට සිදු නොවූයේ මෑතක සිට පාසල් සේවා බස් රථ දෙකක් මාර්ගයේ ගමන් කරන්නට වු හෙයිනි.

“මුස්ලිම් මිනිහ වුණාට පළාතට වැඩක් කරනවා.” යි තාත්තා ප්‍රදේශයේ දේශපාලන බලවතාට ප්‍රශංසා කළේ බස් රථ ලබා දීම සම්බන්ධයෙන් විය යුතු යැයි සිහි කළ අරුන්දතී ද සිතින් ඔහුට ස්තුතිය පළකරන්නට වූවා ය.

අරුන්දතී බසයට ගොඩ වූවා ය. හිඳ ගැනීමට අසුනක් නො වූ නිසාවෙන් බස් රථයේ මැද තෙක් ගිය ඕ එක්තරා අසුනක් ළඟ නතර වූවා ය. අසුනේ හිඳ සිටින ගැහැනු ළමුන් දෙදෙනා දෙස බැලූ ඈ අයෙක් ලස්සන බවටත්, අනෙකා ගොඩාක් ලස්සන බවටත් නිගමනය කළා ය. තමා සමඟ සසඳා බලද්දී ඔවුන් ඉතාම ලස්සන බවකි ඈ සිතුවේ.

ටික දුරක් ගිය පසු වඩාත් ලස්සන සිසුවිය අනෙක් සිසුවියට අසුනෙන් නැගී සිටීමට ඉඟියක් කරනු අරුන්දතී හොඳින් ම දුටුවා ය.

“නංගි වාඩිවෙන්න.”

ඇයගේ විධානයට අනුව නැගී සිටි සිසුවිය කියූ විට අරුන්දතී පළමුව අසුන ප්‍රතික්ෂේප කොට ආයෙ ආයෙම බල කරද්දී හිඳගත්තේ පරෙස්සමෙනි. වඩාත් ලස්සන සිසුවිය අරුන්දතීට සිනාවකින් සංග්‍රහ කොට සිය ජංගම දුරකථනය ගෙන එහි තමාගේ ඡායාරූප ගොනුව එකින් එක පිරික්සනු දුටු අරුන්දතී කිහිප විටක් ම යටැසින් එදෙස බලන්නට වූවා ය. ලස්සන ඡායාරූප එකතුවකි. ඇය නම් ඇත්තට ම ලස්සන ය.

“නංගි, නම මොකක්ද?”

“අරුන්දතී.”

“කීය වසරෙ ද?”

“මේ පාර විභාගෙ.”

“කොල්ලෙක් ඉන්නව ද?”

“නැහැ.”

“නෑ.. ඒ ඇයි?” එයට ඍජුව පිළිතුරක් දිය නොහැක.

“දන්නෙ නෑ.” අවසානයට අරුන්දතී කීවා ය. අනෙක් සිසුවිය තමා දෙස විපරමින් බලනු දුටු අරුන්දතී හිස පහත් කර ගත්තා ය.

“ඔයා ලස්සන වෙන්න කැමති ද? මේ මං වගේ?” ටික වේලාවකට පසුව ඈ ඇසුවා ය. අරුන්දතී පිළිතුරක් නොදී නිහඬව බලා සිටිද්දී ඈ අතේ ගුලිකරගෙන සිටි යමක් අරුන්දතීට පෙන්වූවා ය.

“මේ ටැබ්ලට් එක එක දිගට ටික කාලයක් ගත්තොත් ලස්සන වෙනවා. මමත් මේව අරගෙන නංගි ලස්සන වුණේ. අනෙක මේ කෙල්ලො ඔක්කොම ගන්නවා.”

“අක්කගේ නම?”

“ප්‍රභා.”

ප්‍රභා කීවේ සම්පූර්ණ සත්‍යයක් ම නො වේ. ඇය ඒ පෙති පාවිච්චි කළේ නැත. අනෙක් ළමුන් සියලු දෙනා ම ඒ පෙත්තට ඇබ්බැහි වී ඇති බව සත්‍යයකි. මුස්ලිම් රියදුරු බස් රථය නතර කරන්නේ ඒ පෙති ගැනීමට කැමැත්ත ඇති ළමුන්ට පමණි. ඔහු ඉතා සූක්ෂම ලෙස ප්‍රභා හරහා ගැහැනු ළමුන්වත්, කොන්දොස්තර හරහා පිරිමි ළමුන්වත් පෙතිවලට පොළඹවාගෙන තිබුණි.

“ආ… මේ ටික අරගෙන බලන්නකො. පළවෙනි දවස නිසා ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් පැනඩෝල් තුනක් විතර ගන්න. ඔන්න අද විතරයි ෆ්‍රී.” ප්‍රභා පෙති කිහිපය අරුන්දතීගේ අත ගෙන තබමින් කීවා ය. සිතේ දෙගිඩියාවකින් අරුන්දතී අත මිට මොලවා ගත්තේ ‘ලස්සන වෙනවා නම් ඕනෑම දෙයක් කරන්නෙමි’ යි යන සිතුවිල්ලෙනි.

රාත්‍රී ආහාරය ප්‍රමාද වන නිසා කිරි වීදුරුවක් හදාගත් අරුන්දතී කාමරයේ දොර වසාගෙන පෙති කිහිපය කටේ දමාගෙන කිරි වීදුරුව සෙමෙන් සෙමෙන් තොල ගාන්නට වූවා ය. වෙනසක් නැත. ඕ කණ්ණාඩිය ඉදිරියට ගොස් සිට ගත්තාය. ඕ මෙතෙක් තමාගේ රුව මෙබඳු මෙබඳු වී යැයි මතකයේ රඳවාගන්නට උත්සාහ කළා ය.

පෙති කිහිපය පානය කොට අඩ හෝරාවකට ආසන්න වෙද්දී අරුන්දතීගේ බඩ රිදෙන්නට වුයේ ප්‍රසව වේදනාවක් මෙනි. කුස තුළ සියලු අවයව වරෙක හැකිලෙමින් ද වරෙක ප්‍රසාරණය වෙමින් ද පීඩා දෙන බවක් ඇයට හැඟෙන්නට විය.

මුළු සිරුර ම ඩහදියෙන් තෙත්ව දෙපා පණ නැතිව යන බවකි ඇයට දැනෙන්නට වූයේ. ඕ ඉක්මනින් ම කලින් සූදානම් කරගෙන තිබූ පැනඩෝල් පෙති කිහිපය ගිල දැම්මා ය. ටික වේලාවක දී ඈට වමනය ඇති විය. පැනඩෝල් පෙති තුන ම වමනය වූ බව දුටු ඕ අනෙක් පෙති ද වමනය වී ඇත්දැයි විමසා බැලු‍වේ මුත් එවැන්නක් සිදුව නැත. සින්ක් එක සෝදා හළ අරුන්දතී දෙපා අද්දමින් පැමිණ ආයෙම පැනඩෝල් පෙති තුනක් ගිල දැම්මා ය. මෙවර ඈ වතුර පානය කළේ ස්වල්පයකි.

තියුණු ආයුධයකින් කුස තුළ කපා දමන වේදනාවකි ඈට දැනෙන්නට වූයේ. එහෙත් ආයෙම වමනය ඇති නොවීය. බොහෝ වේලාවක් ඇඳේ පෙරලෙමින් සිටි අරුන්දතීට ස්වල්ප වේලාවක් නින්ද ගියේ විය.

අවදි වුව ද වේදනාව එලෙස ම ය. තමා මිය යාවිදැයි බියක් පළමුවරට ඈ තුළ ඉපදිණි.

“මුල් දවස් ටිකේදි විතරයි. පළවෙනි දවසෙදි තමයි ගොඩක් අමාරු.” ප්‍රභා අක්කා කියූ වචන පෙළ සිහි කළ අරුන්දතීගේ බිය තරමක් පහව ගියේ විය. ඇය රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කළේ කුසගිනි නැති නිසා නොව ආහාර ගතහොත් ආයෙම වමනය සැදෙතැයි යන බිය නිසාවෙනි. පාන්දර වෙද්දී ඇය තරමක් නිදා ගත්තා ය.

පසුදා පාසල් යාමට තරම් ශක්තියක් නැති වුව ද අරුන්දතී ‘කෙසේ හෝ යන්නෙමි’ යි සිතා ගත්තේ පෙති ගැනීම එක දිගට කළ යුතු වූ හෙයිනි. ඕ තමා සතු සියලු මුදල් එකතු කොට ගත්තේ දින කිහිපයකට පෙති ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

“හොඳම යහළුවන්ට විතරක් කියන්න. ඒ අයවත් කැමති කර ගත්තොත් ඔයාට පෙති නිකං දෙනවා.” මුදල් ගෙන පෙති ලබා දෙමින් ප්‍රභා කිීවා ය. යහළුවන්ට ලස්සන වීමට උපකාර නොකරන්නෙමි’ යි ඒ වන විටත් අරුන්දතී තීරණයකට බැසගෙන තිබුණේ තමාට ඔවුන්ගෙන් තරගයක් ඇති නොවීම පිණිස ය. එවිට රාහුල් අශෝක් වැන්නෝ තමා පසුපස ද එතැයි අරුන්දතී සිතුවා ය.

මාස දෙකක් පුරාවට පෙති පාවිච්චි කළ ද තමා ලස්සන වූ බව පිළිගන්නට තරම් වෙනසක් නැති බව අරුන්දතීට පැහැදිලි ය. එහෙත් ඇයට දැන් ලස්සන වුවත් නැතත් එයින් කම් නැත. කිසිසේත් ම පෙති පාවිච්චියෙන් මිදීමේ සිතක් දැන් ඇයට නැත. ඒ වෙනුවෙන් මුදල් සපයා ගැනීම ඉතාම දුෂ්කර විය. අවස්ථා කිහිපයක දී ඕ නිවසේ මුදල් සොරකම් කළ අතර ඒ හැම විටක දී ම එහි වරද පැටවූයේ සුරංග වෙත ය.

“අද සල්ලි නැහැ.” ඕ ප්‍රභාට ඇත්තම කීවා ය. ඒ පෙති පාවිච්චියෙන් තුන්වෙනි මාසයේ දිනක දී ය.

“මොනව හරි කරල සල්ලි හොයන්න. සල්ලි නැතිව දෙන්න බැහැ.” ප්‍රභා ස්ථිර හඬින් කීවා ය. සිතට කෝපයක් ඇති වුව ද අරුන්දතී වෑයමින් එය පාලනය කර ගත්තේ ප්‍රභාව අමනාප කර ගත නොහැකි නිසා ම ය.

“අදට විතරක්.” අරුන්දතී අයැද සිටියා ය.

“එක සැරයක් කිව්වනේ. අර හිරාන් අයියාට කියන්න. එයා කියල දේවි සල්ලි හොයන විදිහ.” ප්‍රභා කීවේ කොන්දොස්තර තරුණයා ව පෙන්වමිනි. අරුන්දතීට හිරාන් ගැන ඇත්තේ අකමැත්තකි. ඔහුගේ බැලු‍ම් කියුම් ඇගේ සිත් නොගත්තේ විය.

හිරාන් ඍජුව ම සල්ලි සොයන මාර්ගය කීවේ ය. එය අරුන්දතී සිහිනයෙන්වත් නොසිතූ දෙයක් වුව ද පෙති ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඕ සූදානම් ව සිටියා ය.

“ඔච්චර කල්පනා කරන්න දෙයක් නැහැ. මමනෙ…” හිරාන් කීවේ මනමාල සිනාවකින් මුව සරසාගෙන ය. අවසානයේ අරුන්දතී තීරණයකට පැමිණියා ය.

“මට දැන් සල්ලි ඕන.”

අරුන්දතීට මුදල් ලැබිණි. රුපියල් පන්සීය ප්‍රභාට දී ඕ පෙති ගත්තා ය.

“අද ඉස්කෝලෙ යන්නද? අද මගෙත් එක්ක යන්නේ.” පාසල ළඟින් බහින්නට සුදානම් වෙද්දී හිරාන් අරුන්දතී ව නතර කරමින් කීවේ ය.

එකඟ වෙනු විනා කරන්නට දෙයක් නැත. අවසානයේ ඔවුන් බසයෙන් බැස ත්‍රිරෝද රථයක නැගී නගරයෙන් ඈත තැනක ලොවින් සැඟවී ගියහ. ඉක්බිති ඇගේ ලෝකයට ආවේ හිරාන් පමණක් නොවේ.

සතියට දින දෙක තුනක් අරුන්දතී හිරාන්ට අනුව කටයුතු කළා ය. දිනකට රුපියල් දහස බැගින් ඇයට ලැබෙද්දී හිරාන් එවැනි කිහිප ගුණයක් උපයා ගන්නට සමත් විය. ආදායම සරු විමෙන් ඇගේ පෙති ගැනීම ද වැඩි විය.

පාසලෙන් ලද ඇමතුමකට අනුව මව පාසලට ගියේ සිතේ දෙගිඩියාවෙනි. ඈ සිතුවේ අරුන්දතී කිසියම් ප්‍රේම සම්බන්ධයක පැටලීම නිසා තමාව කැඳවා ඇති බවකි. එහෙයින් ඕ ස්වාමියාට ඒ ගැන කියන්නට තරම් කලබල නොවූවා ය.

“අරුන්දතී අද ඉස්කෝලෙ ආව ද?”

“ඔව්”

විදුහල්පතිනිය පැමිණීමේ ලේඛණයක් දිග හැරියා ය.

“මේ මාසෙට දවස් කීයක් ආවේ නැද්ද?”

“හැමදාම ආවනේ මැඩම්.” මව කීවේ පුදුමයෙනි. කොතනක හෝ වරදක් සිදුව ඇති බවකි ඈට හැඟුණේ.

“හැම සතියක ම දවස් තුනක් ඇවිත් නැහැ. මෙයා යන තැන් ගැන අපි හොයල බැලු‍වා. ත්‍රීවීල් එකක නැගල යනව කියල තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒකත් අද.”

මව අසල තිබූ පුටුවක අනාරාධනයෙන් ම හිඳ ගත්තේ තමා වැටේ ය කියා සිතුණ හෙයිනි. විදුහල්පතිනිය තරමක් මෘදු ලෙස ඈ ඇමතුවා ය.

“සඳුදා අරුන්දතී එක්කගෙන ඇවිත් අස් වීමේ සහතිකය අරන් යන්න. අපි මේ ගැන වෙන ඇක්ෂන් එකක් නොගන්නේ මේක පිටට ආරංචි වුණොත් අපේ පාසලටයි, අනෙක් ළමයින්ටයි හොඳ නැති නිසා.”

මව දෙපා ඔසවා ගත්තේ අසීරුවෙනි. පපුවට ඇවුළුණ ගින්දර බුර බුරා නැගෙද්දී පාසැල් තාප්පයට හේත්තු වූ ඇය බොහෝ වේලාවක් නොසෙල්වී උන්නේ ගතට පණනලක් උපදින තුරු ය. පැතූ ලෝකය ම දෙපා මුල බිඳ වැටී යතියි සිතූ ඕ ශෝකයත්, කෝපයත් මුසු වූ හැඟීමෙන් යුතුව නිවසට ආවේ උමතු වූ එකියක මෙනි.

“උඹ කොහෙද අද ගියේ?” නොනිවුණ කෝපයෙන් යුතුව මව ඇසුවේ හවස අරුන්දතී ගෙට ගොඩවෙද්දී ම ය.

“ඉස්කෝලේ”

වෙනසක් නොපෙන්වා ඈ කියූ සැටියට මවගේ කෝපය වඩාත් උත්සන්න විය. ඈ අරුන්දතීට පහර පිට පහර දෙන්නට වූයේ පාසලේ දී අසන්නට ලැබුණු සියලු දේ පවසමිනි. සියල්ල හෙළි වී නැත.

“ඇයි මට ගහන්නේ?” ඕ ඇසුවේ එහෙයිනි.

“ගහන්නේ…? කියපන් ඉස්කෝලේ යනව කියල උඹ කොහේද ගියේ?”

මව ආයෙ ම පහර දෙද්දී අරුන්දතීගේ සිතට ද කෝපය ඇවිළිණි.

“මිනිස්සුත් එක්ක. මේ මං හම්බකරපු සල්ලි.”

ඕ සාක්කුවෙන් ගත් රුපියල් දහසක් මවට පෙන්වූයේ කිසිදු බියකින් තොරව ය. බියකරු සිහිනයක් දුටු කලෙක මෙන් ගල්ගැසීගිය මව අරුන්දතීට ශාප කරමින් දෑතින් ම පහර දෙන්නට වූවා ය.

“තව ගහනව ද? හිටපං.” යැයි කියූ අරුන්දතී කුස්සියට පැන පිහියක් අතින් ගනු දුටු මව ගෙයින් එළියට පැන්නේ මිනී මරන බවට විලාප නගමිනි. ඇගේ හඬට දෙපස අසල්වැසියෝ දිව ආහ.

“මල්ලියෙ අරකි අරුන්දතී මිනී මරන්න හදන්නේ.” බිම වැටී ගිය මව කියද්දී පිරිමින් දෙදෙනෙකු ගෙට ඇතුළු වූයේ පරෙස්සමිනි. ඔවුන්ගේ දෑස්වලට හසු වූයේ පිහියෙන් අත් කපාගෙන සිටින අරුන්දතී ය.

“ළඟට එන්නෙපා. මං තව කපා ගන්නවා.” අරුන්දතීගේ තර්ජනය නොතැකූ ඔවුන් අරුන්දතීව මෙල්ල කරගෙන එළියට අරන් එද්දී ඇගේ කැපුණ අත්වලින් ලේ ගලන්නට විය. එය දුටු මව සිහිසුන් විය. මවවත්, දුවවත් එකම වාහනයක දමා ගත් පිරිස කඩිනමින් අසල පිහිටි රෝහල බලා ඉගිල ගියේ වේගයෙනි.

“ඔයාට රිදෙන්නේ නැද්ද?”

“නැහැ.”

“ඔයාට රිදෙන්න ඕනනේ. එහෙම වෙන්නේ කොහොමද?”

වෛද්‍යවරයා ඉදිරියේ එවර අරුන්දතී නිහඬ වුව ද වෛද්‍යවරයා කාරණය තේරුම් ගනිමින්, “මොනවද ඔයා පාවිච්චි කරන මත්ද්‍රව්‍ය? මට ඇත්ත කියන්න.” යි කීවේ ය.

“අයිස්” මඳක් කල්පනා කළ අරුන්දතී පිළිතුරු දුන්නේ කිසියම් පසුතැවීමේ ස්වරයකිනි. සිහි ලබා ළඟ සිටි මව ආයෙම සිහිසන් නොවූයේ මෙවැනි දෙයක් සිදු ව ඇති බව අසල්වැසියන් ද ඒ වනවිටත් අනුමාන කොට ඈට පවසා තිබු නිසාවෙනි.

අරුන්දතී දින තුනක් නේවාසික ප්‍රතිකාරවලින් පසුව නිවසට පැමිණියේ පොලිීසියට කටඋත්තරයක් ද දීමෙන් පසුව ය. අඟහරුවාදා බස් රථයේ රියදුරුවත්, කොන්දොස්තරවත් පොලිස් භාරයට ගත්මුත් සන්ධ්‍යාවේ දී ඔවුන් නිදහස්ව තිබුණේ දේශපාලන මැදිහත්වීමක් හා පොලීසියේ සහය ද ඔවුන්ට තිබූ නිසා යැයි අරුන්දතීගේ පියා දැනගත්තේ පොලිස් නිලධාරියෙකු වෙතින් ම ය.

“කළු ගලේ ඔළුව ගහගන්න අපිට බැහැ. හැම ටවුන් එකක ම කෙරුමො ටිකක් එක්ක එකතු වෙලා තමයි උන් මේක කරගෙන යන්නේ. උඹල හැදියල්ල එතකොට මේ ප්‍රශ්න මොකුත් නැහැ.”

ඒ ගැන උරණ ව සිටි සුරංගට පියා කීවේ සංවේගයෙනි.

“උන්ට ඕන අපේ ජාතිය විනාශ කරන්න. ඒකට අපේ එවුනුත් එකතු වෙලා සල්ලිවලට ආසාවේ.” පියා කීවේ මිදුලේ වමනය දමන අරුන්දතී ලෙස වේදනාත්මක ව බලමිනි.

මත්පෙති පාවිච්චි කර තිබූයෙන් පළමු දිනයේ වේදනාවක් නොතිබුණ ද දෙවන දිනයේ සිට තුවාලවලින් නැගුණ වේදනාව ඇය ඉවසා ගත්තේ අසීරුවෙනි. මව ළඟක නොසිටියේ නම් සියදිවි නසාගන්නා තරම් වේදනාවක් ඇයට දැනුණි.

නිවසට පැමිණිය ද සියොළඟම අප්‍රාණික ව ඇත. ඇතුළට හැකිළී ගිය කුස වමනය දැමීමේ දී වඩාත් වේදනාකාරී වන්නේ ඇතුළත ගිනිදැල් ඇවිළෙන්නාක් වැනි වේදනාවක් නිසා ය.

සති දෙකක් ගතව ගිය ද අරුන්දතීගේ වමනය නොනැවතිණි.

“වැඩ වරද්දගෙන ද දන්නෑ. අරං යමං දොස්තර ළඟට.”

මවගේ උදව්වට පැමිණි මිත්තනිය කියූ වචන සිහිකිරීමට පවා අරුන්දතී බිය ගත්තා ය. සිදු වූයේ කුමක්ද කියා තමා නොදන්නේ ඒ හැම දිනයක දී ම තමා මත්පෙති ගෙන සිටි නිසා ය. එවැන්නක් සිදුව ඇත්නම් තමා කෙසේ නම් සමාජයට මුහුණ දෙන්නේදැයි සිතන්නට පවා ඇයට අපහසු විය. ගෙවුණ දින කිහිපය පුරාවට අරුන්දතී හිස ඔසවා බැලු‍වේ මවගේ මුහුණ දෙස පමණකි.

පළමු පරීක්ෂාවෙන් ම අරුන්දතීට එවැනි තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරයා පවසද්දී අරුන්දතීටත් වඩා සැනසීමක් ලද්දෝ දෙමාපියෝ ය. අරුන්දතීගේ අසනීපය පිළිබඳ පරීක්ෂණ රාශියක් සිදු කෙරිණි.

“සුරංග ජරා ගෑනු පස්සේ යනව කියල ආරංචියක් ලැබුණ. තාත්තා කෙනෙක් වෙලා කොහොමද දරුවෙකුගෙන් අහන්නෙවත්. මට නම් හිතාගන්න බෑ.”

ආපසු එන ගමනේ දී පියා මවට කියනු අසා සිටි අරුන්දතී දරුවන් වශයෙන් අප දෙමාපියන්ට කොතෙක් ගින්දරක් දී ඇතිදැයි සිතන්නට වූවා ය.

“මෙයා මත්ද්‍රව්‍ය කිහිපයක් පාවිච්චි කරල තියෙනව වගේ. ලෙඩාගෙ ගර්භාෂය තදබල විදිහට හැකිළිලා. අනාගතයේ දී බොහෝ විට මෙයාට දරුවෙකු ලැබීමේ හැකියාවක් නැති වෙයි. වකුගඩුවලට ඇතිවෙලා තියෙන ආසාදන තත්ත්වයට කාලයක් බෙහෙත් ගත්තම සුව කර ගන්න පුළුවන් වෙයි.”

වෛද්‍යවරයා පරීක්‍ෂණ වාර්තා අධ්‍යයනය කොට කීවේ ය.

“උන් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගන්නවා. එකක් සිංහල ජාතිය විනාශ කරනවා. අනෙක් පැත්තෙන් සිංහලයාගෙන් මහා විශාල සල්ලියක් උදුරා ගන්නවා. කෝටි ප්‍රකෝටි ගණනින් මේ විදිහට උපයාගත්ත සල්ලිවලින් තමයි උන් අපේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ඔක්කොම සල්ලිවලට ගනිමින් ඉන්නේ.”

වෛද්‍යවරයාගේ වචන තරමක් උද්වේගකර විය. සුසුම් හෙළනු විනා අන් දෙයක් කරන්නට මවටත් පියාටත් ඉතිරිව නොතිබිණ.

මාස දෙකක ප්‍රතිකාර කිරීමකින් පසු අරුන්දතීට තරමක් සුව විය. විභාගයට තව ඇත්තේ මාස පහකි. පාසලෙන් නෙරපූ තමාට ආයේ කිසිදා පාසල් යාමට නොලැබෙන බව සිහි කළ අරුන්දතී ඒ හැම වාරයක ම දෑසේ කඳුළු පුරවා ගත්තා ය.

“ඔයා ටියුෂන් ගිහින් විභාගෙ කරන්න.”

දෙමාපියන්ගේ යෝජනාවට එරෙහි වීමට නොහැකි තැන අරුන්දතී පන්ති ගියේ කැමැත්තකින් නො වේ. පළමු මාසයේ ම මව ඇගේ තනියට පසුපසින් ම සිටියා ය. අරුන්දතීට එය තවත් පීඩාවකි.

“මම තනියම යන්නම්.”

ඈ තනිව ම පන්ති ගියා ය. එසේ ගිය දෙවන දිනයේ පුරුදු කෙනෙකු ඇගේ ගමන් මග හරස් කොට සිටගත්තේ බස්නැවතුමේ දී ය.

“හිරාන් අයියා කරදර නොකර යන්න.”

“එක පාරක් මම කියන දේ අහන්න. අර බස් එකට නගිමු.” හිරාන් ඇයට පෙරැත්ත කරන්නට විය. බේරුමක් නොලද අරුන්දතී හිරාන් සමඟ කිසිවෙකු නොමැති බස් රථයට ගොඩ වූයේ බියෙනි.

“මං කියන විදිහට වැඩ නොකළොත් මේව මේ දැන්ම ෆෙස්බුක් දානවා.” යි කියූ හිරාන් සිය ජංගම දුරකථනයේ සටහන් ව ඇති අරුන්දතීගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන කිහිපයක් පෙන්වී ය.

“ඇයි මට මෙහෙම දෙයක් කළේ. මං මැරෙනවා.” අරුන්දතී හඬා වැටුන ද හිරාන් වෙතින් බේරුමක් ඇයට නොලැබිණි. තමා ඉදිරියේ ජීවිතයේ අවසාන තීරණය ඉතිරි ව ඇත. මැරෙනවා ද? අම්මලා කියන විදිහට විභාගෙ ලියා අවසන් කොට වෙන පළාතක පදිංචියට යනවා ද? ජීවත් වෙන්නට තීරණය කළ අරුන්දතීට හිරාන්ගේ යෝජනාවට එකඟ වන්නට සිදු විය. නැති නම් සිදු වන්නේ මැරෙන්නට ය. නිවැරදි කර ගන්නට බැරි තරමට තමාට ජීවිතය වැරදී ඇති බවකි ඇය තේරුම් ගත්තේ.

පන්ති යාමට නිවසින් පැමිණෙන අරුන්දතී තවත් මාසයක් පමණ හිරාන් මිනිසුන්ට විකුණුවේ සිත්පිත් නැති නරුමයෙකු ලෙසිනි.

“මොකද පරක්කු වුණේ? කෙල්ලව යවන්නයි හැදුවෙ.” දිනෙක අවසාන ගැණුම්කරුවාගෙන් මුදල් ලබා ගනිමින් හිරාන් කීවේ ය. අරුන්දතී සිටි කාමරයේ දොර ඇර දුන්නේ ද ඔහු ම ය. ඊ ළඟ නිමේෂයේ දී අරුන්දතීගේ හා ගැණුම්කරුගේ සිව්නෙත් එකට හමු විය.

“නංගී….”

සුරංග කෑ ගැසුවේ වියරුවෙනි. ආපිට හැරී හිරාන්ව බිම පෙරළා ගත් සුරංග පහර දෙන්නට වුයේ වියරු වැටුණු කලෙක මෙනි. හිරාන්ගේ උදව්වට තාවකාලික නවාතැනේ රඳවා සිටි ඔහුගේ චරපුරුෂයන් එද්දී අරුන්දතී ද කාමරයේ දොර වසා ගත්තේ අසිහියෙනි.

නොබෝ වේලාවකින් හිරාන්ගේ හා සහචරයන්ගේ පහරදීම්වලින් සුරංග ඉරිතැලී ගිය සිමෙන්ති බිම මත අවසන් හුස්ම හෙළුවේ ය. කෝපයෙන් ගිනිගත් දෑස් ඇති හිරාන් කාමරයේ දොරට පාදයෙන් ගැසුවේ අරුන්දතීව ද ඉවරයක් කිරීමේ අපේක්ෂාවෙනි. ඔහුට කරන්නට දෙයක් ඉතිරිව නොපැවතිණි. අරුන්දතීගේ නිරුවත් සිරුර කාමරයේ වහලයේ එල්ලෙමින් තිබිණි.

පසුවදන –

දරුවන්ට උගන්වා හුදෙක් උසස් වෘත්තීන්හි නියුක්තවූවන් කිරීමට වෙහෙසෙනා දෙමාපියනි, මේ දරුවන්ට ධර්මය ම සරණ කරගන්නට කියා දියයුතු කාලය යි. ඔබේ දරුවාව ධර්මයෙන් නිර්මිත සත්පුරුෂයෙකු කරන්නට මහත් වෙහෙසක් දැරිය යුතු කාලය යි. නොවන්නේ නම් ඔබේ දරුවා ද හෙට දවසේ අරුන්දතී කෙනෙක් වනු නොඅනුමාන ය.

උපුලිත දිනෙත් බංඩාර