තමා සතුව පවතින දේ නැති වීම සාමාන්‍ය දෙයකි. අප ළංකර ගන්නා සියලු දේ, සදාකාලිකව අප සතුව රඳවාගත නොහැකි බව ලෝක ධර්මතාවය දන්නා කිසිවෙකුට රහසක් නොවූවද ඒ නැති වූ දෑ නැවත සොයන්නේ අහිමි වීම උරුමකර ගත් සසරක ඇති ඒ ධර්මතාවය ද අමතක කරමිනි. නැවත එසේ සොයද්දී, බොහෝ විට යළිත් අපට ඒ දෑ අප සතුකර ගැනීමේ හැකියාව – අවස්ථාව ඇති නමුත් නැවත නැවත අප සොයන්නට පුරුදුව සිටින්නේ ඒ ලැබීම නිසා අප ජීවිත තුළ සාරවත් වෙනසක් ඇති කරන්නට සමර්ථ නොවන, නොවටිනා දේ ය. එය සංවේගයට කරුණකි.
ලෝකයේ සිදුවන විවිධාකාර විපත්, ව්‍යසනයන්, අනතුරුවල දී අහිමිවන දෑ නම්……. මේවා යැයි ලැයිස්තුවක් සෑදීම එතරම් අමාරු නොවූවද, සජීව වස්තූන් වන දරුවන්, බිරින්දෑවරුන්, සැමියන්, දෙමාපියන්, ඥාතීන්, මිතුරන් අහිමි වු පසු නැවත පණ ගෙන්වන්නට නොහැකි නමුත් අජීව වස්තූන් වෙහෙස මහන්සි වී වීර්යයෙන් ගොඩනගා ගැනීමේ හැකියාව අප සතුව ඇත. සොඳුරු ජනයා සැරිසැරූ, ආචාරශීලී, මහත්මා ගුණ ඇති, අහිංසක ජනයා ගැවසීගත්, සොඳුරු නගරයක් පරමාණු බෝම්බ පතිත වීමෙන් මොහොතකින් වැලිකතරක් වැනි ස්වභාවයකට පත් කළ හිරෝෂිමා – නාගසාකි නගරයන්හි සිදු වුණ සජීව – අජීව වස්තූන්ගේ විනාශය අති දැවැන්ත ය. එහෙත් අද භෞතිකව ප්‍රබල දියුණුවක් ලබා සිටින ජපන් රටවැසියන් උදම් අනන්නේ, අහිමි වූ සම්පත් යළිත් උපදවා ගත්, ක්‍රියාකාරී ව අධිෂ්ඨානශීලී සිතින් යළි නැගී සිටි වීර්යවන්ත මිනිසුන් යැයි සිතමින් වන්නට පුළුවන.
ලෝකයාගේ ඇසට පෙනෙන, සිතට දැනෙන දේ ද එය ම වන්නට පුළුවන. එහෙත් ඔවුන් යළි සොයා ගත් දේ, යළි උපදවා ගත් දේ, යළි ගොඩනගා ගත් දේ සැබෑවට ම යළි කිසිදා නොනස්නා දෙයක් ද? තවත් එවැනි ම ව්‍යවසනයකට සාධාරණ නොවන දෙයක් ද?
දියුණුව පිණිස, තමුන්ගේ සැපය පිණිස මිනිසා නැගී සිටිනා වීර්යෙන් කළ යුතු යමක් ඇති ද එය කළ යුතු ම දෙයකි. නමුත් ඔබත් මමත්, නැති වූ දෙය සොයන්නවුන් අතර සිටිනාවුන් ලෙස, නැති වූ දෙය යළි උපදවා ගන්නට වෙර දරන, මහන්සි වන, කැපවන, නිරන්තර වේගවත් ගමනක යෙදී සිටින අය අතර සිටිනාවුන් ලෙස, ‘මා හට නැති වුණු දෑ මොනවා ද? ඒවායින් යළි උපදවා ගන්නට මා වැඩිපුර කැප වූයේ කුමන අකාරයේ දේ වලට ද?’ යන්න බුද්ධිමත් නම්, ප්‍රඥාවන්ත නම් යළිත් අප දෙසට හැරී බැලීමට දැනුදු ඔබ ද මම ද ප්‍රමාද නොවෙමු.
ඔබ ගැන මම නොදනිමි. එහෙත් වටපිට බැලූ කල්හී, බොහෝ විට එය ඔබට ද සමාන වනු මිස වෙනස් නොවනු ඇත.
මනුසත් දිවියේ දුර්ලභ බව මනාව පෙන්වා දුන් කෙනෙක් මෙලොව සිටිත් නම්, පරමෝත්තම ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ තරම් වෙන කෙනෙක් නම් නොමැත. ‘එක් ඇසක් පමණක් පෙනෙන කැස්බෑවා, අවුරුදු 100කට වතාවක් මුහුදු පත්ලේ සිට සාගර ජලය මතුපිටට ඒ නම්, සතර දිසාවේ පාවෙමින් පවතින වියගසක සිදුරෙන් ඒ කැස්බෑවා අහස දකී නම්…’ එය ද සුලභ ය. ඉක්මනින් සිදු වන්නට සමර්ථ ය. නමුදු යම් කිසිවෙකු සතර අපා දුකට පත් වූ කල්හි එයින් මිදී මිනිසත් බව ලැබීම අතිශයින් ම දුර්ලභ ය. ඒ සම්බුදු දෙනෙත මේ ලොව ඇති සියලු සීමාවන් ඉක්මවා ගිය අසිරිමත් දෙයකි. සසර නැමැති සාගර පත්ලට ම කිමිදෙන්නට ඒ දෙනෙතට පුළුවන. මේ දිග හැරෙන්නේ ඒ සැඟවුණ සත්‍යය යි.
දිනක්, සියලු භික්ෂූන් වහන්සේලාගේ නෙත් යොමු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තය දෙසටයි. බුදු සමිඳුන්ගේ නිය සිළ මත රැඳුනේ පස් ස්වල්පයකි. “පින්වත් මහණෙනි, කුමක්ද ඔබ සිතන්නේ ? වැඩි නිය සිළ මත ඇති පස් ද? මහපොළවේ පස් ද …?” මෙම පැනයට පිළිතුරු දීමට ආචාර්ය – මහාචාර්ය ධුර, උපාධි, උගත්කම් හෝ විද්‍යාඥයන්ගේ දැනුමක් අවශ්‍ය නැත. පුංචි දරුවෙකුට වුව ද පිළිතුර දිය හැකි ය.
කිසිදු පැකිලීමකින් තොරව පහසුවෙන් භික්ෂුන් වහන්සේලා දුන් පිළිතුර වූයේ… “ස්වාමීනී, නිය සිළ මත පස් ස්වල්පය යි. මහපොළවේ පස් ම යි වැඩි.” යන්න ය. ප්රශ්නය සරල වන්නට පුළුවන. එහෙත් මෙහි ගැබ් වුණ, ගාම්භීර අර්ථය ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන්නට, සසර – මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බව විනිවිද දකින්නට තරම් ප්‍රබල ය.
සම්බුදු නුවණින් උපන්, සම්බුදු වදන නම් ආශ්චර්යයකි. “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. මනුලොව උපන් යමෙක් මරණින් මතු නැවතත් මනුලොව ම උපත ලබයි නම්, ඒ පිරිස මේ නිය සිළ මතට ගත් පස් ස්වල්පය වැනි ය. සතර අපා උපත කරා යන්නවුන් මේ මහපොළව වැනි ය.” පස් ටිකකින් ලෝකයේ සත්‍ය ස්වභාවය පෙන්වන්නට, වරදා ගත් මනුෂ්‍ය ජීවිතයේ ඉරණම පෙන්වන්නට වෙන කවුරුන් නම් සමර්ථ වේ ද? මේ මිහිමත ඇති පස්, නිය සිළක ඇති පස් සමඟ කෙසේ සසඳන්න ද? එහෙත් ඒ මාගේ භාග්‍යවතුන් වහනසේගේ අවබෝධය යි. එය සත්‍ය යි. ඒ අවබෝධයට අනුව, උපන් මනුෂ්‍යයාට අනාගතය ගැන පවතින්නේ, නොබිඳී නිරන්තරයෙන් සිදුවන අවිනිශ්චිත වූ අනතුරකි.
මනුලොව උපත ලබන්නේ එතරම් දුර්ලභව නම්… මේ මොහොත වන විට, දැන් අපි මිනිසුන් ලෙස ජීවිත ගත කරන්නෙමු. මේ මොහොත ලබන්නට, මේ ක්ෂණ සම්පත්තිය ලබන්නට අප පසු කර ආ දුර බොහෝ ය. නිරය, තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය ආදී යම්තාක් දුගති ලෝක ඇත්ද ඒ සියල්ල පසුකර මනුෂ්‍ය ලෝකය තුළත් නුසුදුසු රටක පරිසරයක උපදින්නට තිබුණි. එයත් පසුකර නිර්මල ධර්මය ඇසෙන තැනකට එන්නට වාසනාව උදා විය.
සතුට උපදවා ගන්නට උපකාර වන වැදගත් කාරණයක් සමහර විට අප අමතක කර සිටිනවා විය හැකි ය. “මේ වන විට ඔබ අප සිටින්නේ කොහේද?” විවිධාකාර පිළිතුරු සිතට සිතෙන්නට පුළුවන. මොහොතකට සිතුණා ද ‘මේ වන විට අප ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ නිය සිළ මතයි සිටින්නේ’ කියා? මහපොළවේ පස් ගොඩට අප වැටී නැත. මෙය කියවන ඔබත් දැන් සිටින්නේ ඒ සුළු පස් ප්‍රමාණයට ඇතුළත්ව ය. යමෙකු වාසනාව යැයි යමකට කියනවා නම් එය කිව යුත්තේ අප ලද මේ මනුෂ්‍යය ප්‍රතිලාභයට ම ය. අතිශය දුර්ලභ වාසනාව එයයි. වාසනාවට… මේ මොහොත වන විටත් ඒ වාසනාව අපට අහිමි වී නැත. යම් විදිහකින් ගිලිහී ගියා නම්, වැරදුන ජීවිතය සහිතව දුගති ලෝකයක සිට නැති වූ මනුෂ්‍යය ජීවිතය සොයන්නට, යදින්නට සිදු වන්නට තිබුණි. සෙව්ව නමුත් ලබන්නටත් බැරි ය. වැරදුනොත්, බොහෝ කාලයකට වැරදුනා වෙයි. එම අනතුරට තවමත් පත් නොවී ඇති නමුත්, සමහර විට ඒ වාසනාව සමඟ ලැබුණ නිර්මල ධර්මය තුළ, ගත කරන ජීවිතයේ තැනින් තැන පළුදු, කඩතොළු, ඉරිතැලීම් වැනි අඩුපාඩු ඇති බව හොඳින් විමසා බැලූ විට පෙනෙනු ඇත. ගෙවල් දොරවල්, යාන වාහනවල ඇද පළුදු හදනවාට වඩා, අතිශය දුෂ්කර, අතිශය උදාර ජීවිතයේ ඇද පළුදු ඉරිතැලීම් ප්‍රතිසංස්කරණය කිරීම දෙලොවට ම අගනේ ය. වර්තමානයේ සිට අතීතය බලා යනවා ද? අතීතයේ සිට වර්තමානයට එනවා ද? කෙසේ බැලුව ද වෙනස් වීම සිදුවිය යුත්තේ වර්තමානයේ ය.
පරඬැලක ඇති බලයක් නැත. වටිනාකමක්, පිළිගැනීමක්, ආනුභාවයක් නැත. එවන් වූ නොපිහිටි පැහැදීමක් ජීවිතය තුළ ඇති තාක්, සිව්දිගින් හමන සුළඟට ඒ ඒ දිසාවට ගසාගෙන යන පරඬැලක් මෙන්, ඒ ඒ තැන නවතින, ඒ ඒ තැන මුළාවන බව, ඒ ඒ තැන අනතුරට ගොදුරු වීම බලාපොරොත්තු විය යුතු ය. ශ්‍රද්ධාව යනු කලින් කලට හළා දමන මොනර පිල් කළඹක් වැනි දෙයක් නො වේ. කාලය ගත වෙද්දී බිම ඇතිල්ලීමෙන්, කටු අකුල්වල පැටලීමෙන්, හීරීමෙන්, කැඩී යාමෙන් අවලස්සනව ගිය පිල් කළඹ කාලයක දී මොනරා විසින් හළා දමයි. වර්තමානයේ බොහෝ දෙනෙකු තුළ තිබෙන ශ්‍රද්ධාව එවන් දෙයකි. සමාජයේ තැනක් සොයන කෙනාට මොනර නැටුම් පාන්නට, සැරසෙන්නට උපකාරවන දෙයක් පමණි. එය සැබෑ එකක් වූව ද නොවූව ද ඔවුනට ගැටළුවක් නැත. එසේ නැතහොත් සැක සහිත බව ඇත. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සිත පහදවා ගන්නට බැරි ය, එයට දක්ෂ නැත. ඒ ධර්මය ඇතුළත් සූත්‍ර දේශනා ඇසුරෙන් වදාරණ ධර්මයට හිත පහදින්නේ නැත. සැබෑ මුනිවරුන්ගේ ස්වභාවය හඳුනාගන්නට දක්ෂ නැත. තිසරණයට ජීවිතය පිදූ, පිරිසිදු ධර්මයට නතු වුණ පැහැදීමක් පවත්වන්නට බැරි ය. වටෙන් වටෙන්, කලින් කලට, තැනින් තැනින්, අරහෙන් මෙහෙන්, අරයාගෙන් මෙයාගෙන් ඇහෙන අධර්මයට හිත වැනෙයි. ශ්‍රද්ධාව සැලෙයි. ශ්‍රද්ධාව ඉරිතලාගෙන යයි. සොයන දේ අතර මෙවන් උතුම් දෙයක් ගැන සෙවීම සාරවත් නැති ද? සොයා බලා ශ්‍රද්ධා සිත ප්‍රතිසංස්කරණය කළොත් දවසක පොළවේ සිටවූ ගල්ටැඹ සේ නොසෙල්වී තිබෙනු ඇත. හොඳින් පිහිටා තිබෙනු ඇත.“මහා පැහැදීමක් හිතේ තිබුණා… නමුත් දැන් එය අහිමි වෙලා. උතුම්ම ලාභය අහිමි වෙලා.” කියා තමන් ම දකින කාලයක් එළඹෙනු ඇත. ආයෙමත් එය අත්පත් කරගන්නට කල්පනා කිරීම උතුම් නොවේ ද?
ලෝකයේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වා, රෑ දවල් නොතකා අනුන් සතු දේ රකින්නට, තමන් සතු දේ රකින්නට මුර සංචාරයේ යෙදෙන අය සිටී. ආයුධ සහිතව, තාප්ප, විදුලි වැටවල්, කැමරා අටවමින් සුරක්ෂිත භාවය සොයන අය සිටී. නමුත් තමන්ගේ ශීලය රැකගන්නට රැකවල් දමන්නට සිහිය උපදින්නේ කෙතරම් සුළු පිරිසකට ද? තිබුණ සිල්වත් බව සිදුරු වුණා නම්, කැඩී ගියා නම් එය නැවත පිහිටුවා ගන්නට උවමනා නැති ද? පිරිසිදු සිල්වත් ජීවිතය සෙවිය යුතු නැති ද? දුස්සීල නම්, ගමන් කරන්නේ වංක මාර්ගයේ නම්, ඒ හිස්තැන ඒ කෙනාගේ ජීවිතයට ළංකර දෙන්නේ විපිළිසර බවයි. වර්තමානයේ මානසික සතුට, ප්‍රමුදිත බව, ප්‍රීතිය, කායික සන්සිඳීම, සිතේ එකඟ බව, සමාධිය මිනිසාට බොහෝ ඈත තිබෙන දෙයකි. හේතුව සිල්වත් නොවීම යි.
“ගිලිහී ගිය සිල් ඇති දුසිල් තැනැත්තාට පසුතැවිල්ල නැති බව නැසුනේ වෙයි.
ගිලිහී ගිය අතු ඉති පත්‍ර තිබෙන ගසක, ගැලවුණු පොතු වැඩී, සිවිය, එලය, අරටුව වැඩී පිරිපුන්ව නොයයි.”
(දුතිය උපනිස සුත්‍රය, අං. නි. 6 – දසක නිපාතය)
සොයනවා නම් සොයන්න තමාගේ ශීලය ගැන, විමසනවා නම් විමසන්න තමාගේ සීලයේ පිරිසිදු අපිරිසිදු බව, ලබාගන්නට කැපවෙනවා නම් යළිත් යමක්, පිරිසිදු සිල්වත් බව ලබන්නට කැමති වෙන්න. පරිපූර්ණ නොවූ සීලය පරිපූර්ණ කරගන්නට කැපවෙන්න.
මේ ආකාරයට බලාගෙන යන විට, ‘මා සතුව පෙර තිබූ බොහෝ වටිනා දේවල් නැති වෙලා, අහිමි වෙලා, කිලිටි වෙලා, ඒ දේවල් නැවත ලබන්නට ඕන. සොයන්නට ඕන. පිරිසිදු කරන්නත් ඕන’ කියා සිතෙන බොහෝ වටිනා දේවල් පෙනෙනු ඇත.
මුළා බව දුරු කරවන, කුසල් අකුසල් යහපත අයහපත, ධර්මය අධර්මය සොයාගන්නට මහෝපකාරී වන ශ්‍රැතය, දහම් දැනුම දැන් කිලිටි බඳූනක් වගේ ද? එය නිර්මල දහමින් ම ඔප දමන්නට ඕන.
නොසඟවා, මුදා හළ සිතින් ම, නොමසුරු සිතින් ම කළ දානයට, ත්‍යාගයට, අත්හැරීමට දැන් මසුරුකම – ලෝභය නමැති මලකඩ බැඳිල ද? අත්හැරීමෙන්ම මසුරු මලකඩ කඩල දාන්න ඕන.
ප්‍රඥාවන්තයා තුළ ධර්මයෙන් උපන් ප්රතාපවත් බව, තේජාන්විත බව, ඍජු බව, තීක්ෂණශීලී බව, සන්සිඳුනු බව, දුස්ප්රාඥයා තුළ දිස්වන්නේ නෑ. ප්‍රඥාවන්තයා නිසල විලක් වගේ. කැළඹීමක් නැති ජලාශයක් වගේ.
“පින්වත් මහණෙනි. යම් ඥාති පරිහානියක් තිබේ ද? භෝග පරිහානියක් තිබේ ද? කීර්ති ප්‍රශංසාවල පරිහානියක් තිබේ ද? එය වනාහී අල්ප වූ පරිහානියකි. නමුත්, පිරිහීම් අතරින් මහත් ම පරිහානිය වන්නේ මේ ප්‍රඥාවෙන් පිරිහීම යි.”
(ඒකක නිපාතය, අං. නි. 1 – කල්‍යාණ මිත්ත වර්ගය)
අන් අය කෙරෙහි දයානුකම්පාව තිබුණා, අන් අයට උපකාර කිරීම තිබුණා. කළ උපකාර සිහි කරන බව, අන් අයගේ වරදට සමාව දීම, නින්දාව අවමානය සිනහවෙන් පිළිගැනීම, ආශාවන් අඩු බව, අන් අයගේ ගුණ කතාව තිබුණා. සොඳුරු නිවන් මග තුළ සිටියා. නමුත් දැන් ඒවා ඈත් වෙලා. තමා දෙස බැලූ විට පෙනෙන්නේ එහෙම නම්… ඒ අහිමි වූ උදාර ගුණ ආයෙමත් සොයන්න. තමා ගැන සත්‍ය ලෙස ම දන්නේ තමන් ම යි. වෙන කෙනෙක් නොවෙයි.
යම් දවසක ඔබ තුළ මේ ගුණයන් වැඩි වැඩී එන බව දුටුවා නම්, දැනුණා නම් ඔබ සොයා තිබුණේ නිවනයි. මේ උතුම් ගුණ ඔබෙන් දුරු වුණා නම් ඔබෙන් දුරු වුණේ නිවනයි. මේ උතුම් ගුණ ඔබෙන් ඈත් වුණා නම් ඈත් වුණේ නිවනයි.
මේ අහිමි වූ ගුණ නැවත ඔබ සොයනවා නම් ටික ටික නමුත් ඔබට ළංවන්නේ නිවන යි. සොය සොයා පැමිණි ගමනේ උතුම් ම සොයා ගැනීම තමා තමන් ගැන සොයා ගැනීම යි.
මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments