“අනේ මගෙ දුවේ, මට ධර්මය ටිකක් කියලා දෙන්නකෝ. මට මොකුත් ම මතක නෑනේ. මොනවා වුණා ද දන්නෙ නෑ. කිසිම දෙයක් මතක නෑනේ මට.”
ඒ, රෝගාතුර ව,රෝහලේ ඇඳක් මත සිටින, වයස අවුරුදු 83 ක් වූ, කායික ව ඉතා පීඩාවෙන් සිටින මවක් විසින් තමාගේ උපකාරයට තමා ළඟ නතර වන්නට පැමිණි තම පුතාගෙ බිරිඳ දුටු ගමන් පැවසූ වදන් පෙළ යි. මෙම මාතාව පෙර දින පාන්දරින් ම රෝහල්ගත කරන ලද්දේ තමාගේ බාල දුව සහ බෑණා විසින්, පෙර දින තුන් හතර වතාවක් වමනය යාම නිසා ඇය ව පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ උපදෙස් මත ය. දින කිහිපයක් කෑම අරුචියෙන් පෙළුණු ඇයට එම දින කිහිපයේ දී කුසට කිසිම අහරක් ගන්නට බැරි විය. තම දියණියක විසින් නිතර නිතර සාදා දුන් සස්ටජන් කිරි ජෝගුව පවා බොන්නට පිරියක් තිබුණේ නැත. එසේ කෑමක් බීමක් නොමැතිව ඉතා ම දුර්වල ව සිටි ඇයට එකවර ම වමනය යාමට පටන් ගත්තේ ය. එය දරා ගැනීමට ඉතා ම අපහසු විය. එනිසා ම දරුවන්ගේ අවසාන තීරණය වූයේ, වෛද්‍යවරයා පැවසූ පරිදි මව රෝහල්ගත කිරීම යි. ඇයගේ බෑණා සහ බාල දියණිය සමඟ පාන්දර රෝහලට ඇතුළත් කිරීමට යන ගමනේ දී මාර්ගයේ ගමන් කළ කඨින පෙරහරක කඨින චීවරය හිස මත තබාගෙන අඩි දහය පහළොවක් ගමන් කරන්නට හැකි වීම අසනීප ව සිටි ඇයගේ සිත පිනෙන් පුරවන්නට සමත් විය.
එසේ වාට්ටුවට ඇතුළත් කරන ලද ඇය ව බලන්නට දහවල රෝගීන් බලන වේලාවේ ඇයගේ එක ම පුතා පැමිණියේ ය. තමාගේ මව වෙනදාට වඩා ඉතාමත් ම පැහැපත් පෙනුමකින් සහ සතුටින් සිටින බව ඔහුට අවබෝධ වුණි. සාදාගෙන පැමිණි සුප් එක ද ඇයට ඉතා රසවත් බවක් දිස් විය. ඇය එය ටිකෙන් ටික පානය කළා ය.
තම පුතාගේ යහළුවෙකු ද තමන්ව බලන්නට වාට්ටුවට පැමිණි විට දෑත් එකතුකොට “තෙරුවන් සරණයි පුතේ!” කියන්නට ඇය අමතක කළේ ද නැත. වාට්ටුවේ නතරව සිටි මෑණියන් වහන්සේනමකට අපහසුවෙන් නමුත් වන්දනා කරන්නට ද අමතක වූයේ නැත. සවස් වරුවේ ඇය ළඟ නතරව සිටියේ ඇයගේ අනෙක් දියණිය යි. ඇය සමඟ ද හොඳින් කතා කරමින් සිටි ඇය හුස්ම ගැනීමේ මඳ අපහසුතාවකින් පෙළුණි. ඒ සඳහා නිවසේ දී භාවිත කළ බෙහෙත් රෝහලේ දී පාවිච්චි කරන්නට අවසර ලැබුණේ නැත. ඒ වෙනුවට දිනකට ලුණු මේස හැඳි තුනක් කන්නට නියම කෙරිණි.
පසු දින උදෑසනින් ම තමා ළඟ නතර වන්නට පැමිණියේ තම පුතාගෙ බිරිඳ යි. ඉහත ඉල්ලීම සිදු වුණේ ඇය වාට්ටුවට පැමිණ ටික වේලාවකිනි. පෙර දින තම සැමියා දුටු වෙනස ඇය ද හොඳින් ම වටහා ගත්තා ය. තමන් ද ඩෙංගු රෝගය වැළඳීම නිසා රෝහල්ගත ව සිට නිවසට පැමිණ තවම දින දෙකකි. වෛද්‍යවරුන් රෝහලෙන් නිවසට එව්වේ අඩුම තරමින් සතියක්වත් ඇඳෙන් නොබසින ලෙස උපදෙස් දෙමිනි. තමන්ට ද කායික වේදනා බොහෝ තිබුණ ද තම සැමියාගේ මව ළඟ නතර ව උපස්ථාන කරන්නට පැමිණියේ තම සිතු මනාපයට ය. තම සැමියා විසින් වළකනු ලබද්දීත්, ලෙඩෙකුට උපස්ථාන කරන්නට යන නිසා තමාට අනතුරක් නොවන බව ඇය කිහිප වතාවක් ම පැවසුවා ය. තම අසනීප තත්ත්වයට වඩා ලෙඩෙකුට උපස්ථාන කිරීමේ පින රැස්කර ගැනීම ගැන පමණක් ම ඇය සිතුවා ය.
වසර හතළිහක් පමණ බ්‍රහ්මචාරී ව සිටි මෙම මාතාව පසළොස්වක සහ අමාවක පොහොය දින දෙකේ දී නොවරදවා ම අටසිල් සමාදන් වූවා ය. 2000 වසරේ සිට මාසික සීල භාවනා වැඩසටහන්වලට ද සහභාගී වූවා ය. පසු කාලයේ දී නිතරම බ්‍රහ්මචාරී පංචසීලය සමාදන් ව සිටි ඇය දැනට වසර පහකට පමණ පෙර සිට සතර පෝයට ම සිල් සමාදන් වෙන්නට පටන් ගත්තා ය. කිසිම දිනක කිසිම කෙනෙකුගේ සිත රිදවන්නට වචනයකින් හෝ අනුබල දෙන්නට ඇය කැමති නැත. තමන්ට හැකි සෑම දෙයක් ම දන් දෙන්නට ඇති කැමැත්ත ඇයගේ එක ම කැමැත්ත විය. නිවසට පැමිණි කෙනෙකුට වතුර උගුරක් හෝ නො දී පිටත් කිරීමට ඇය කැමති නැත. උදේ, දවල්, රාත්‍රී ගිලන්පස සම්බුද්ධ පූජාව පවත්වා පිරිත් සජ්ඣායනා කොට භාවනා කිරීම ඇයගේ දිනචරියාවේ අනිවාර්ය අංගය විය. අනතුරුව දවස පුරා ම රූපවාහිනියෙන් ධර්ම දේශනා ඇසීම සහ දහම් පොත් කියවීම ඇබ්බැහි වීමක් වැනි ය. මාස කිහිපයක සිට ඇයට දහම් කරුණු අමතක වීමට පටන් ගත්තේ ය. එතැන් පටන් භාවනාව පවා සිදු කළේ හඬපටියක් උපයෝගී කරගෙන ය. නිතර නිතර මේ ගැන පුතා සමඟ කියමින් දුක් වීම පුතාගේ සිතට ද බිය ඇතිකරවන්නක් විය. දහම් කරුණු අමතක වුව ද ඇය ධර්මය උගත් ස්වාමීන් වහන්සේලාගේ නම් ඇයගේ මතකයෙන් ඉවත් ව ගියේ නැත.
තම පුතාගේ බිරිඳ ද ධර්මයේ හැසිරෙන කෙනෙකු නිසා ඇයගේ පැමිණීම මවගේ සතුටට හේතු විය. ඒ සතුට නිසා ම යි ඇය දුටු ගමන් ඉහත වදන් පෙළ පිට වූයේ. තම ලේලිය වුව ද ඇය ඇමතූවේ ‘මගේ දුව’ කියා ය. තමන්ගේ පෙර තිබූ දහම් දැනුම දැන් නැත. කිසිවක් මතක නැත. දුකෙන් යුතුව එය ද තම ලේලියට මතක් කර දුන් ඇය නැවතත් පෙර ඉල්ලීම ම කරන්නට විය. මවගේ ඉල්ලීම පිළිගත් ඇය, දහම් කරුණු මතක් කර දෙන්නට වූවා ය. එය වටිනා ධර්ම සාකච්ඡාවකි. එය කෙතරම් සාර්ථක ද යත්, කායික ව පමණක් නොව, මනසින් ද දුර්වලව සිටි, වයසට යාමේ, ලෙඩ වීමේ දුක මෙන් ම මරණය පෙනි පෙනී සිටි, වයස අවුරුදු 83ක් වූ මවගේ අමතකව තිබූ දහම් දැනුම අවදි කරන්නට එම සාකච්ඡාව සමත් විය. රූපවාහිනී දහම් වැඩසටහන්වලින් ඉගෙනගත් දහම් කරුණු මතක් කිරීම සහ එම වැඩසටහන් මෙහෙයවූ පින්වත් ස්වාමීන් වහන්සේලා සිහි කරමින් පින් අනුමෝදන් කිරීම මවගේ පැත්තෙන් වැඩිපුර ම සිදුවෙමින්, සාකච්ඡාව ඇදී යන්නට විය. පස්වරු 2.00 පමණ වන විට මවගේ හුස්ම ගැනීමේ අපහසුතාවය වැඩි වුණු අතර දුවගේ කායික පීඩාව ද වැඩි විය. මවට ඇඳේ හාන්සි වී සිටින්නට පවා නොහැකි නිසා ඇඳේ වාඩි වී සිටින්නට විය. මූත්‍රා බට ගසා තිබුණු නිසා වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ද නොතිබුණි. එය පරීක්ෂා කිරීම කළ යුතු ව තිබුණි.
රාත්‍රියට මව සමඟ නතර වන්නට සිටි තමාගේ දියණියට අධික හිසේ අමාරුවක් වැළඳුණු නිසා රාත්‍රියේ මව ළඟ නතර කරවන්නට කුලියට සාත්තු සේවිකාවක් සොයා ගන්නට අවශ්‍ය වූයේ රෝගියෙකුට උපස්ථාන කරන්නට තවත් රෝගියෙකු ම වූ ලේලිය රඳවන්නට නොහැකි නිසා ම ය. පවුලේ සැමගේ මතය එය වුව ද පුතාගේ බිරිඳ නම් එයට කැමති වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ පවුලේ කෙනෙකු ම මව ළඟ නතර කර තැබීම ය. ඕ තම සැමියාට ද කිහිප වරක් ම ඒ බව පැවසුවා ය. පිට මිනිසුන් මව ළඟ තනි කරන්නට ඇය තදින් ම විරුද්ධ වූවා ය. ඇයගේ විරෝධය හමුවේ වුව ද පිටස්තර උපස්ථායිකාවක් සොයා ගත්තේ ඩෙංගු රෝගය නිසා කායිකව දුර්වලව සිටින ඇයගේ තත්ත්වය ද අනතුරුදායක නිසා ය.
කෙසේ හෝ උපස්ථායිකාවක් සොයා ගත්ත ද සවස ලෙඞ්ඩු බලන වේලාවට පැමිණෙනවා කියූ උපස්ථායිකාව පැමිණියේ නැත. අවසානයේ දී කායික පීඩාවෙන් සිටි තම ලේලිය ම තමා ළඟ නතර වීම මවගේ සතුටට කාරණාවක් ම බව ප්‍රකට වූයේ ඇයගේ තිබූ ප්‍රබෝධවත් බව වැඩි වීමෙනි. බත් කටවල් දෙක තුනකින් පමණක් ම අවසන් වන මවගේ ආහාර ගැනීම එදින රාත්‍රියේ නම් වෙනස් වුණි. ආහාරයට තිබූ බත් එක මවට ප්‍රමාණවත් නොවූයේ, බත් එකේ රසට ද එසේත් නැත්නම් තම කලණ මිතුරු ලේලිය තමා ළඟ නතර වූ සතුටට ද වෙනත් කරුණකට ද යන්න ප්රහේලිකාවකි.
රාත්‍රී හතට පමණ දියණිය ඇමතූ මව “මගෙ දුව, මම හෙට උදේ මැරෙනවා. ඒ නිසා මම කරපු පින්කම් මතක් කරලා දෙන්නකෝ” යනුවෙන් පැවසුවා ය. “එහෙම කියන්න එපා අම්මා. එහෙම වෙන්නෙ නෑ.” ඒ දුවගේ පිළිතුර යි. “ඉපදිච්ච හැමෝම මැරෙනවනෙ. ඒ වගේ ම මමත් හෙට උදේ මැරෙනවා. ඒ නිසා මම කරපු පින්කම් මතක් කරලා දෙන්නකෝ.” දෙවෙනි වර ද මව ඉල්ලා සිටියා ය. හුස්ම ගැනීමේ අපහසුතාවය එන්න එන්න ම වැඩි වන නිසා ඇය ඇඳෙන් බිමට බැස පුටුවේ වාඩි වූවා ය. මවගේ මූත්‍රා යාම ද හවස් වරුවෙන් පසුව සිදු වී තිබුණේ නැත. මවගේ බඩ ද විශාල වශයෙන් ඉදිමී ඇති අතර, බඩ තද රස්නයකින් ද යුතු විය. එය රෝහලේ හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට දැනුම් දුන්න ද ඔවුනට ඒවා එතරම් වැදගත් කරුණු වූ බව නොපෙණුනි.
තමා විසින් කරන ලද පින්කම් දියණිය විසින් එකින් එක මතක් කරන විට, ඇය ද එයට තමාට මතක පින්කම් එකතු කළා ය. ඒ අතරතුර දඹදිව වන්දනා කරන්නට යාම සිහි කළේ ඉතා සතුටිනි. එයට උපකාර කළ පුතාට පින් අනුමෝදන් කරන්නට ද අමතක නොකළා ය. අනිත්‍යය මෙනෙහි කිරීම සහ මරණය ගැන බිය නො වී තමා එයට මුහුණ දිය යුතු ම බව මව පැවසීම දිනය පුරා ම මෙන් සිදු විය.
එම වාට්ටුවේ තවත් ඇඳක සිටි වයසක මාතාවක් මරණයට බියේ වේගයෙන් කෑ ගසන ශබ්දය අසන මව තම ලේලියට පැවසූයේ ඇයට පිරිත් කියා හිත පහදවන ලෙසයි. පියවි ඇසට නොපෙනෙන, එහෙත් ඇය ළඟට පැමිණි අයට මෙන් ඇය කතා කරන්නේ තමාගේ ඥාති අමනුෂ්‍යයන් සමඟ බව මව ධර්මයට ගළපා වටහා ගත්තා ය. “බලන්න මගෙ දුවේ, ඉන්නකම් පින් කර ගත්තේ නැති වුණාම ඔහොම තමයි. මැරෙනකොට ළඟට එනවා මළ පෙරේතයෝ. මම නම් හොඳට පින් කර ගත්ත නිසා මම නම් බය නෑ මැරෙන්න.” මව අවසාන මොහොතේ දී පවා ධර්මය ගළපා ගත්තා ය. අවසානයේ දී අර කාන්තාව වේදනාවෙන් මරණයට පත් වුව ද එය තම මවට නොපැවසීමට දුව වග බලා ගත්තා ය.
රැය පහන්වන තුරු ම හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මෙන් ම මූත්‍රා පිට නොවීම සහ බඩ ඉදිමීම යන රෝගවලින් ඇය පෙළුණි. පින්කම් සිහි කරමින්, අනිත්‍ය මෙනෙහි කරමින්, ඉපදීම නිසා මිනිසාට ඇති වන දුක, ලෙඩ වීම, වයසට යාම, මරණයට පත් වීම ආදී දේ ගැන සිහිකර නැවත මනුස්ස ලොවට ආවොත් එදාට ද මේ දුක ම උරුම බව තේරුම් ගෙන සිටි මව නැවත මනුස්ස ලොවට එන්නට කැමති වූයේ නැත. මඳ හෝ සැනසුමක් ලබන්නට නම් තුසිත දිව්‍යලෝකයේ උපතකට යන්නට ඇය කැමති බව දොහොත් මුදුන් තබා වඳිමින් පැවසුවා ය. හොඳින් හිත පහදවාගෙන සතුටින් ම සිටි ඇයට පාන්දර හතරට පමණ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වන්නට අවශ්‍ය විය. තව ටික වේලාවක් එය ප්‍රමාද කරන්නට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඇයට එය එවෙලේ ම කරන්නට අවශ්‍ය විය. ඇයගේ ඉල්ලීම ඉටු විය. දත් මැද, මුහුණ කට සෝදා පිරිසිදු වී, හිස පීරා, පිරිසිදු අලුත් සුදු ඇඳුමක් ඇඳ ගත් ඇයගේ සතුට නිම්හිම් නැති විය.
කෙමෙන් කෙමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය තදින් ම දැණුනු අතර කැරකිල්ල ද බලවත් විය. මුළු ඇඟ ම තලා දැම්මාක් මෙන් රිදුම් දෙන බව පැවසූ මවගේ අතකින් ඇල්ලීම පවා වේදනා ගෙන දෙන්නක් බව ඇය පැවසුවා ය. ඇයගේ දෙපා තද සීතලකින් යුක්ත බව දැනුණ මොහොතේ නැන්දණියගේ තත්ත්වය බරපතළ බව අවබෝධ කර ගත් ලේලිය දුකෙන් හඬන්නට වූවා ය. තම දුර්වල අතින් ලේලියගේ කඳුළු පිස දැමූ ඇය අනිත්‍ය ස්වභාවය පෙන්වා දෙමින් ඇය අස්වසන්නට වූවා ය. ඇයගේ දුක නැති කරන්නට උත්සුක වූවා ය. ඇය තම ලේලියට කෙතරම් නම් ආදරේ ද යත්, පෙර දින පටන් ම ඇයට අවශ්‍ය වූයේ ලේලියට නිදාගන්නට ඇඳක් සොයා දීමයි. එයට අපමණ වෙහෙසක් දරන්නට දුර්වල ව සිටි ඇය උත්සාහ කළ ආකාරය ලේලියට මැවි මැවී පෙණුනි. ඒ බව වාට්ටුවේ සිටි අනිත් ලෙඞ්ඩු ද අනුමත කළෝ ය.
තමා හට ධර්මය ඉගැන්වූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, තමන්ගේ දරුවන්ටත් තමා රැස්කළ පින් අනුමෝදන් කළ ඇය, “මගෙ දුවේ, මගෙ කරාබු දෙක අංගුලිමාල සෑයට පූජා කරන්න. දුව අන්තිම මොහොතේ මගේ ළඟ හිටියෙ මගේ ම පෙර පිනකට. මගෙ දුවට මේ සංසාරෙ කිසිම දුකක් කරදරයක් වෙන්නෙ නෑ මට කළ මේ උපකාරයට. ඔයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙන්න මේ පින උපකාර වෙනවා. පුතාට කියන්න කැටේ තියෙන මම දාපු සල්ලි ටික රුවන්වැලි සෑයේ පින්කමට ගන්න කියලා.” යැයි කීවා ය.
ඇය ඒ පැවසුවේ 2028 අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑයෙහි හුණු පිරියම් කිරීමේ පින්කම වෙනුවෙන් තමන් මුදල් එකතු කළ කැටය ගැන ය. අවසන් වරට ඇය එම කැටයට රුපියල් 100ක් දැමීමෙන් අනතුරුවයි රෝහලට පිටත්ව තිබුණේ. ඇය තම නිවසේ දී කළ අවසාන පින්කම එය වූ ලෙසට ම ඇය තම ජීවිතයේ කතා කළ අවසන් වචන කිහිපය ද එය ම විය. වේදනාවෙන් මිරිකෙමින් තම ලේලියගේ අත අල්ලාගෙන පැවසූ එම වදන් සමඟ ම ඇයට ඔක්සිජන් ලබා දීම ආරම්භ කරන ලදී. දෙනෙත් පියාගත් ඇය අධික වේදනාවක් විඳිමින් උස් හඬින් කෙඳිරි ගාමින් විනාඩි විස්සක් තිහක් පමණ සිට නිසොල්මන් වූවා ය. සියලු සංස්කාරයෝ නැසෙන සුලු ය.
මනුලොව ඉපිද ජරාවට පත් වන මනුෂ්‍යයෝ මිය යන්නේ ඔය ආකාරයට ය. එසේ මිය යන ඇතැම් මනුෂ්‍යයෝ නැවතත් ගර්භාෂයකට ම එති. පව් කළ අය නිරයට යති. පින් කරමින් ධර්මයේ හැසිරුණු අය සුගතියට යති. කෙලෙස් නැසූවෝ පිරිනිවෙති.
සටහන – අනූෂා අමරකෝන්
Godaaaaaak hithata danuna….. godaaaaaak… Pinmai karanna oni. Theruvan Saranai.
Namo Buddhaya !
සාදු සාදු සාදු!!!
උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!!
සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!
කළණ මිතුරු ඇසුර අපට ලැබේවා!!!
ඉතාම වටිනා ලිපියක්… හුඟාක් දෙනෙක්ට තමන් වියපත් වන විට තමයි ධර්මය මතක වෙන්නේ… ලෙඩ ඇඳට වැටෙනතුරු මතක් වෙන්නෙ නෑ… ලෙඩ දුකට පත් වන, මිය යන, ස්වභාවය ම මූලික කර ගත් සිරුරක් තමයි මම මෙච්චර කල් පරිහරණය කලේ කියලා… ඒ ගැන නම් හුඟාක් කණගාටුයි… කෙසේ නමුත් මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මේ ධර්මය ප්‍රඥාවන්තයින් සදහා ම පමණක් ම යි කියලා… බහුතරයකට මේ දහමේ හරය නොවැටහෙන්නෙත් මේ නිසාම විය යුතුයි… තෙරුවන් සරණයි !