අද අපේ සමාජයේ වේගයෙන් පැතිරී යමින් තිබෙන දෙයක් තමා බොරුව කියන අකුසලය. බොහෝ දෙනෙක් තමන් කියන්නේ බොරුවක් කියා දන්නේවත් නැහැ. බොරුවක් කියන්නේ නැතිව ඉන්න ම බැහැ. එයට එක් හේතුවක් වන්නේ ධර්මය දැනගත්තත් පවට ලැජ්ජා සහ බය පිහිටා නැතිකම යි. ඒ නිසා අපි බොරු කීමේ විපාක මොනවාද යන්න මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

*********************************************

ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබාගන්නට භූමියක් අවශ්‍ය වෙනවා. භූමිය පිහිට පිළිසරණ කරගෙනයි අපේ ජීවිතයේ ඉතිරි කටයුතු සම්පූර්ණ කරගන්නේ. ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට කැමැති කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා ඒ සඳහා භූමියක් සකසා ගන්න ඕන. ඒ තමා සීලය. සීලයේ පිහිටලයි සියල්ල ම කරන්න ඕන. ඒ නිසා අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අවංකව ම සරණ ගොස් සීලයේ පිහිටන්නට වෑයම් කළ යුතු වෙනවා.

මුසාවාදයෙන් වැළකීමේ සිල්පදය ගැන අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ අපේ සමාජයේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා හිතුමනාපේ මේ සිල්පදය කඩාගෙන බොහෝ අකුසල් සිදුකර ගන්නා නිසයි. පවට කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව, පුංචි පුංචි හේතුවලටත් විශාල බොරු කියන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. සමහර විට ඒ අයට තවම ධර්මය අසන්නට ලැබී නැති නිසා හෝ කල්‍යාණමිත්‍ර සම්පත්තියක් නො ලැබුණ නිසා බොරු කීමේ විපාක අසන්නටත් ලැබී නැතිව ඇති. අපේ රටේ බොහෝ පිරිස් දිනපතා නිරන්තරයෙන් බොරු කියමින් ජීවිතයට ලොකු අකුසල් රැස්කර ගන්නවා. ඒ වගේ ම අනවශ්‍ය පිරිසක් සමඟ අනවශ්‍ය කතාවට වැටිලා කාලය ගෙවමින් අකුසල් කර ගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. පිරිමි අය වගේම කාන්තාවනුත් තමන්ගේ ජීවිතේ බොහෝ ඉලක්ක කරා යන්න, බොහෝ බලාපොරොත්තු ඉෂ්ටකර ගන්න කටට එන එන බොරුව කියනවා. පොඞ්ඩක්වත් බයක් තැතිගැනීමක් නැහැ. ‘අනේ මට මේ බොරු කීමෙන් අකුසලයක් සිදුවෙනවා. එහි විපාකය මට ගෙවන්න වෙනවා’ කියා හිතන්නේ නැහැ. දැනගත්තත් ලැජ්ජාවක් නැහැ.

සමහර විට මේ බොරුව කියන්නේ රැකියාවක් ගන්න, රැකියාවේ උසස් වීමක් ලබා ගන්න, නැති නම් තව කෙනෙක් සමඟ තිබෙන ඊර්ෂ්‍යාවට ආදී නොයෙක් කරුණු නිසා. මොන රැකියාව කළත් අවුරුදු 55 – 60 වෙනකොට ඒ ජීවිතයෙන් විශ්‍රාම යන්න ඕන කියලා ඇයට තේරෙන්නේ නැහැ. බොරුවක් කියලා ලබා ගන්නා රැකියාව, කේළාම් කියමින් සොයන උසස් වීම, ලාභසත්කාර ටික දවසටයි කියා ඇයට අවබෝධයක් නැහැ. පින් පව් ගැන දන්නේ නැති නිසා ම ඇය අසරණයි. ඇය දන්නේ මේ ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පමණයි. ඒ නිසා ම ඇය තමන්ගේ දරුවා පාසලට දාගන්න විශාල බොරු කියනවා. බොරුවට සහතික හදනවා. තමන්ගේ දරුවා ළඟට අරගෙන පුංචි කාලේ ම බොරු කියන්න කියා දෙනවා. “ප්‍රින්සිපල් සර් හරි ටීචර් හරි ඇහුවොත් ඔයා මෙහෙම මෙහෙම කියන්න” කියා කිසිවක් දන්නේ නැති අහිංසක පොඩි දරුවාට අම්මා තමයි මුලින් ම බොරුව කියා දෙන්නේ. එදා සිට අර දරුවා කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව බොරු කියනවා. ඊට පස්සේ ඒ දරුවා කියන බොරු පාලනයකින් තොරව සිදු වෙනවා. ඒ දෙයට වගකිවයුත්තා අම්මා යි. බොරු කියලා ජනප්‍රිය පාසලකට දරුවා ඇතුළත් කළත්, ඒ අම්මයි දරුවයි දෙන්න ම කුසලය ඉදිරියේ පරාදයි.

ඒ වගේ ම අපේ රටේ බොහෝ අම්මලා දරුවන් කුඩා කාලයේ දී ඒ දරුවාට කෑම ටික කවා ගන්න බොහෝම ලස්සනට බොරු කියනවා. ඇය දන්නේ නැහැ අපට සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන් ලස්සන පුංචි කතා තිබෙනවා කියා. ඒ සියල්ල පැත්තකට දාලා කිසිවක් දන්නේ නැති දරුවාට මේ ලෝකයේ කිසිදා සිදු නොවුණු, සිදුවිය නොහැකි දේ කතා ලෙස කියා දෙනවා. ඒ කතා අසන පුංචි දරුවා දකින ලෝකය ඉතා අසුන්දරයි. එහිදීත් ඒ අම්මායි දරුවාගේ ජීවිතයට වගකියන්න ඕනෑ.

මේ ආකාරයට අකුසලයක් ගැන නොසිතා තමන්ගේ ජීවිතයේ ඉලක්ක සපුරා ගන්න වෙහෙසෙන කාන්තාව දුගතියක් මරණින් පසු මුණගැසෙනවා කියා නොසිතීම පුදුමයක්. බොහෝ කාන්තාවන්, අම්මලා රැකියා ස්ථානයේදීත් බොරු කියනවා. ගෙදර දොර කටයුතු කරද්දීත් බොරු කියනවා. දරුවෝ ඉදිරියේත්, ස්වාමියා ඉදිරියේත් බොරු කියනවා. බොරුව තමාගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් කර ගන්නවා කියන එක අභාග්‍ය සම්පන්න දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙකුට බොරුවක් කියන්න පුළුවන් නම් එයාට කරන්න බැරි පාපයක් නැහැ කියලා. මේ බොරුව කියන්නේ කොතරම් භයානක දෙයක් ද බොරුව නිසා කුසලය කොතරම් නම් අපේ ජීවිතයෙන් ඈත් වෙනවා ද කියා සඳහන් වන ලස්සන බුද්ධ දේශනාවක් තිබෙනවා. ඒ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. ඒ දේශනාව වදාළේ රාහුල ස්වාමීන් වහන්සේටයි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ වැඩිය අවස්ථාවක රාහුල තෙරුන් වහන්සේ පැන් බඳුනක් සූදානම් කරලා උන්වහන්සේගේ දෙපා සේදුවා. භාජනයේ ඉතිරි ජලය දුටු භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් රාහුල, මේ භාජනයේ ජලය ටිකයි නේ ද ඉතිරිව තිබෙන්නේ? රාහුල, ඒ වගේ යම් කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ජීවිතයේ ගුණධර්ම ටිකයි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ.” ඊට පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භාජනයේ ජලය විසි කර වදාළා “මේ ජලය ටික වීසි කළා වගේ තමයි යම් කෙනෙක් නිතර දැන දැන බොරු කියනවා නම් වතුර ටික විසි කළ හිස් භාජනය වගේ මේ පුද්ගලයා දියුණු වෙන්න තිබෙන හැම ගුණධර්මයක් ම වීසි කළා වෙනවා” කියලා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය මුනින් අතට නැමුවා. “පින්වත් රාහුල, මුනින් අතට නැමූ මේ භාජනයට ජලය කෙතරම් දැම්මත් භාජනය පිරෙන්නේ නැහැ. ඒ වගේ දැන දැන බොරු කියන කෙනා කෙතරම් ධර්මය ඇසුවත්, කෙතරම් ගුණධර්ම වඩන්නට මහන්සි වුණත් බොරු කියනවා කියන කාරණය හේතු කරගෙන ගුණයක් වඩන්නට බැහැ.” කියා වදාළා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය උඩ අතට හරවා, “පින්වත් රාහුල, කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ ජීවිතය මේ හිස් භාජනය වගේ සම්පූර්ණයෙන් ම හිස් ජීවිතයක්.” කියා වදාළා. යම් කෙනෙක් බොරු කියනවා නම් එයාට අනිත් ඕනෑම පාපකර්මයක් කරන්න පුළුවන්.

ඒ නිසා ඔබ බොරුවක් කියන්න හදන විට හිතන්න ඕන ‘මේ බොරුව කියන්න මට පුළුවන් නම් මගේ අතින් ඕනෑ ම වරදක් වෙන්න පුළුවන්. මම පවට බය ලැජ්ජාව නැති කෙනෙක් නේ. ලාභ සත්කාරවලට යට වූ කෙනෙක් නේ’ කියා තමා ගැන ම අනුකම්පාවක් ඇතිකර ගන්න. ඒක හරියට තමා ළඟ තිබෙන රත්‍රං භාජනය, රිදී භාජනය අත් හරිනවා, නො වටිනා දෙයක් අල්ලා ගන්නවා වගේ දෙයක්. ඒ වගේ පුංචි බොරුවෙන් නිරයේ යන අකුසලයක් පවා සිදුවෙන්න පුළුවන්.

ඒ වගේ ම අපේ සමාජයේ තවත් පිරිසක් නොදැන කරන පව්වලට විපාක නැහැ කියන මතයේ ඉන්නවා. ‘දරුවෙක් පාසලට දාගන්න බොරුවක් කිව්වට මොකක්ද වෙන්නේ? ඒ වගේ දෙයකට කොහොමද ලොකු පවක් රැස්වෙන්නේ?’ කියා හිතනවා. නමුත් ඒ වගේ ම ප්‍රශ්නයක් මිළිඳු රජතුමා නාගසේන රහතන් වහන්සේගෙන් ඇසුවා. “ස්වාමීනි, යම් කෙනෙක් නොදැන කරන පවේ ද විපාකය වැඩි, නැත්නම් දැන දැන කරන පවේ ද විපාක වැඩි?” කියා. නාගසේනයන් වහන්සේ වදාළා “මහරජ, යම් කෙනෙක් නො දැන මේ පව කළා කියලා පව් රැස් නො වී තිබෙන්නේ නැහැ. නොදැන කරන පවට තමයි කර්මය බලවත් වන්නේ. රජතුමනි, යම් කෙනෙක් ගිනි ගුලියකට නොදැන අත දානවා. තමන් නොදැන කළා කියා අත පිච්චෙන්නේ නැතිව තිබෙන්නේ නැහැ. ඒ අත පිච්චෙනවා ම යි.” එහෙම නම් අද කාලේ බොරුවක් කියලා “අපි විහිළුවටයි ඒ බොරුව කිව්වේ, ඉඳහිට පොඩි බොරුවක් කිව්වාට මොකද වෙන්නේ?” ආදිය කියමින් තමන්ගේ සිත සනසා ගන්නට උත්සාහ කළත් ඔවුන්ට විපාකයෙහි නම් අඩුවක් වෙන්නේ නැහැ.

ධර්මය නොදන්නා නිසා දෙතිස් කතාවට වැටුනාට පස්සේ කාන්තාවන් විශාල වශයෙන් කරන දෙයක් තමයි මේ බොරු කීම. තමන්ට පුළුවන් නම් දිවි හිමියෙන් බොරුවක් කියන්නේ නැතිව ඉන්න ඒකයි වටින්නේ. එක බොරුවක් වහන්න තව බොරු දහයක් කියන්න ඕන කියලා සමාජයේ කතාවක් තිබෙනවා. ඒ නිසා, ‘මම සත්‍ය වචන පමණක් කතා කරනවා’ කියා අධිෂ්ඨානයක් ඇති කර ගන්න. එය බොහොම අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් පවට බය නම්, දුක් විපාක විඳින්න අකැමති නම් බොරු නොකියා ඉන්න උත්සාහ කරන්න.

ප්‍රේත වස්තුවෙහි සඳහන් වෙනවා මිනිස් ලෝකයේ දී බොරු කියලා, තමන්ගේ වැරැද්ද වසන් කිරීමට බොරුවට දිව්රලා ප්‍රේත ලෝකයේ ඉපදිලා බොහෝ දුක් විඳින කතා. සමහර ප්‍රේතියන්ගේ කටින් නොනවත්වා ම පණුවන් හැළෙනවා. තවත් ප්‍රේතියන්ගේ කටින් ඉතා ම අමිහිරි දුගඳක් පිට වෙනවා. තවත් ප්‍රේතියන් මුඛයක් නැතිව ඉපදී ඉන්නවා. ඒ නිසා බොරුවක් කිව්වා කියා පවක් රැස් වෙන්නේ නැහැයි හිතා සිත සනසා ගන්නේ නැතිව, ඒ පවෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඔබ කියන බොරුවට මේ ජීවිතයේ රැකියාවේ උසස් වීම් ලැබෙයි. ලාභ සත්කාර ලැබෙයි. දරුවන් සුව සේ ජීවත් වෙයි. ඔබ පැවසූ බොරුවෙන් පවුලේ උදවිය සතුටින් ජීවත් වෙයි. නමුත් ඒ සියල්ල ම ටික කාලයකට යි. විපාකය විඳින්නට සිදු වන්නේ තමන්ට තනියම යි. හෙට ද දන්නේ නැහැ අපේ මේ ජීවිතය නැති වෙන්න තිබෙන්නේ. මේ සිල්පදය ඔබ දැන හෝ නොදැන කඩ කරයි නම්, ඔබට ඊ ළඟ ජීවිතයේ දී සැපයක් නම් ලැබෙන්නේ නැහැ. දුගතිය ම යි හිමි වෙන්නේ.

ඒ නිසා ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් අහන්න. පව් කරන්න ලැජ්ජා බය ඇතිකර ගන්න. විපාකයෙහි ආදීනවය හිතන්න. නිරයේ දුක හිතන්න. එහෙම සිතා බොරුවෙන් වළකින්න. ඔබ බොරුව කියන්නට පෙර සිතින් සිතනවානේ. ඒ සිතිවිල්ල සිතට එද්දී ම බොරුව කටින් පිට නොකර සිටින්නට සිතට වීර්යය උපදවා ගන්න. එහෙම කළොත් පමණයි ඔබගේ ජීවිතය යහපතට හරවා ගන්නට පුළුවන් වෙන්නේ. මරණින් මතු සුගති ලෝකයක දොරගුළු විවර වෙන්නේ.

සටහන
නයනා නිල්මිණි