‘සිරිත්’ යනු කළ යුතු දේ ය. ‘විරිත්’ යනු හළ යුතු දේ ය. චාරිත්‍ර වාරිත්‍ර යනුවෙන් හැඳින්වෙන්නේ ද සිරිත් – විරිත් ම ය. අපි දැනුවත් ව හෝ නොදැනුවත් ව වැඩිහිටියන්ගේ ආභාසය නිසා, සිරිත් – විරිත් සමුදායක් පිළිපදිමු. සාමූහික ව ජීවත් වන පිරිසක් සමාන හැඩගැසීමකින් යුතු වීමත්, සමාජ සම්මත සිරිත් – විරිත් අනුගමනය කිරීමත් සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ ය. සමාජය පිළිගනු ලැබූ දේශිය හෝ ජාතික සිරිත් – විරිත් පිළිපැදීම ජාතික සභ්‍යත්වය වෙයි. ශීලාචාර සමාජයක ලක්ෂණය වෙයි. ඒවා නොතකා හැරීම අශිෂ්ටත්වයේ ලක්ෂණයකි.
කෙනෙකුගේ හැදුන නොහැදුන බව තීරණය වන්නේ ඔහුට හෝ සමාජයට හෝ අයත් පිළිගත් චාරිත්‍ර – වාරිත්‍ර සම්ප්රදාය අනුව ය. එබැවින්, සිරිත් විරිත් සමාජයේ ජීවනාලිය බඳු ය.
ගතිගුණ, නීති – රීති ආදිය මෙන් ම සිරිත් – විරිත් ද කලින් කල වෙනස් විය හැකි ය. කලක දී ශිෂ්ට යැයි සැලකූ සිරිතක් තවත් කලක දී අශිෂ්ට යැයි පිළිගැනීමට ඉඩකඩ තිබේ. කලක දී අශිෂ්ට යැයි සැලකූ දෙය ම තවත් කලක දී ශිෂ්ට යැයි පිළිගැනීමට ඉඩ තිබේ.
සමාජයක පවත්නා සිරිත් – විරිත් මෙපමණකැයි කියා නිශ්චිතව ම ප්‍රකාශ කිරීම දුෂ්කර ය. ඒවා හරිහැටි හඳුනාගැනීමට හැකි වන්නේ සමාජයක කාලාන්තරයක් තිස්සේ සාමූහිකව ජීවත් වීමෙනි. උපදේශ හෙවත් අවවාද දීම ලොව ඕනෑ ම රටක සාහිත්‍යයේ එක අංශයක් වෙයි. ඊට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පැහැදිලි කරුණකි. අපට හැම අතින් ම හුරුපුරුදුකම් සහ සමීප සබඳතා ඇති භාරතයේ සංකෘතික සාහිත්‍යය, උපදේශ සාහිත්‍ය සම්බන්ධයෙන් අද්විතීය ස්ථානයක් ගනී. පංචතන්ත්‍රය, හිතෝපදේශය, නීති ශතකය වැනි උපදේශ ග්රන්ථ රාශියක් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.
ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය හැරුණු විට මෙරට ලියැවී ඇති තවත් ග්රන්ථ කීපයක් උපදේශ සාහිත්‍යයට ඇතුළත් කළ හැකි අතර සිරිත් මල්දම ඒ අතර ඇති වැදගත් පද්‍ය ග්රන්ථයකි.
‘සිරිත් මල්දම’ රචනා කරනු ලැබ ඇත්තේ 1895 වර්ෂයේ දී ය. ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා එහි කතුවරයා ය. එතුමා එවකට කිරිඳිවැල රජයේ විදුහලේ මුල් ගුරුතුමා ලෙස කටයුතු කර ඇත. සිරිත් මල්දම, පද්‍යය 62 බැගින් ඇති කොටස් තුනකින් සමන්විත ය. කොටස් තුනෙහි ම එන අවසාන පද්‍යයෙන් කතුවරයා තුළ ළමා පරපුර කෙරෙහි වූ ආදරය, කරුණාව මනා ව ප්‍රකාශ කරයි.
මේ පොතෙහි ඇති විශේෂත්වය නම් ළමා පරපුර ඉලක්ක කරගෙන ම රචනා කර තිබීම ය. එබැවින් සමාජයේ පවත්නා අපරිමිත සිරිත් – විරිත් අතරින් විශේෂයෙන් තෝරා ගත් කොටසක් විස්තර සහිතව මෙහි සංග්‍රහ කොට ඇත.
“මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින”
“හොඳ ලෙස හැදීමට
හොඳ සිත ඕනැ හැමවිට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නෙ අප හට”
දරුවන් සඳහා විශේෂ වූ මේ උපදේශ ග්රන්ථයෙහි ශීලාචාර සමාජයක් ගොඩනැංවීමට හා එහි පැවැත්ම උදෙසා ඉවහල් වන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් ගෙන හැර දැක්වෙන බැවින් වැඩිහිටියන් විසින් ද දැනගත යුතු කරුණු කාරණා සපිරි අගනා කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
“වැඩ ඇති විට අතපසු නොකරන්නේ
අද දවසට වැඩ අද කරපන්නේ
හෙට දවසට හෙම කල් නොදමන්නේ
නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ”
මින් පෙර ලියැවී ඇති උපදේශ ග්‍රන්ථවල වෙනත් ග්රන්ථවලින් ලබා ගත් අදහස් බහුල වශයෙන් දක්නට ලැබෙන නමුදු සිරිත් මල්දම ලියා ඇත්තේ තමාගේ අදහස් වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනිමින්, ස්වාධීන අදහස් එයට ඇතුළත් කරමිනි. නමුත් පැරණි පොතපතින් ලත් අදහස් මෙහි නැතුවා නො වේ. මෙහි ඇතුළත් කරුණු කිසියම් ජාතියකට, ආගමකට සීමා නො වේ. බොහෝ දෙනාට පිළිගත හැකි උපදේශ මෙහි බහුල ය. ඒවායින් සමහරක් මෙසේ දැක්විය හැකි ය.
- පවුලේ අය අතර සමඟිය වැඩී සම්බන්ධතා තහවුරු වන සේ තම දෙමාපියන්, සොහොයුරන් සමඟ කටයුතු කළ යුතු ආකාරය.
“අයියට අක්කට දෙගුරුන් දුන් දෙය
මල්ලිට නංගිට දෙගුරුන් දුන් දෙය
ලොබ කොට තරහට නොබලන් ඒ දෙය
හැම විට සතුටට පැමිණෙන් ලත් දෙය”
- හොඳ සිරිත් දැන ගැනීමෙන් හා ඒවා පිළිපැදීමෙන් ඇතිවන වාසි හා එහි වැදගත්කම.
“ඉර උදා වෙන්නට
පළමුව නැගිට සිහි කොට
අලසකම දුරුකොට
කරන් වැඩපළ දියුණු වන්නට
යම්කිසි ගෙදරකට
ගිය කල ඕන කමකට
ඔවුන් නොම දැක ගෙට
ඇතුල් නොමවන් නොහොබි සිරිතට”
- ඇනුම්පද කීම නොහොබිනා බව.
‘කුණු සරුප නොකියනු
කේළම් වචන නොකියනු
විහිළු බොරු නොකියනු
ඇනුම්පද කිසි විටෙක නොකියනු”
- ගැළපෙන ඇඳුම් තෝරා බේරා ගත යුතු බව.
ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ
වැඩිකොට ඇඳුමුත් ඇඳ නොමගන්නේ
ගමනට ගෙදරට එක නාදින්නේ
වයසට පමණට ඇඳුම් අඳින්නේ”
- දෛනික ජීවිතයේ හුරු පුරුදු පුහුණු කළ යුතු සිරිත් විරිත්
“කථාබස් කරමින
සිටින දෙදෙනෙකු අතරෙන
ගමන නොහොබී යන
වසනු යහපති එබව දැනගෙන
යමෙකු යන එන විට
සිනා නොමසෙන් කිසි විට
පැමිණි කල ගෙදරට
එබී නොබලනු සැඟවි ගෙයි සිට
උරුවන් බබා වත්
සිව්පද කියා ගෙනවත්
සින්දු කියමින් වත්
ගෙවල් අසලින් යාම නොහොබිත්”
මේ ආදී වශයෙන් යහපත් සමාජයක පැවැත්මට නිරතුරුව ම පුරුදු පුහුණු කළ යුතු සිරිත් – විරිත් සමුදායක් පෙන්වා දෙමින්, ඒවා අනුගමනය කරන ලෙස ළමා පරපුරට අවවාද කරන සිරිත් මල්දම නිති පරිහරණය කිරීමෙන් සෑම පාසල් දරුවෙකුටමත්, වැඩිහිටියන්ටත් ජීවිත සාර්ථක කර ගන්නා අතර ම යහපත් ගුණගරුක සදාචාරවත් සමාජයක් ගොඩනැංවීමටත් දායක විය හැකි බව නිසැක ය.
සටහන:- ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ
Recent Comments