අද ඉතා ජනප්‍රිය වී ඇති සිසේරියන් සැත්කම හා එහි වෛද්‍ය විද්‍යාත්මක පදනම ගැන අපි සාකච්ඡා කරමු. ශල්‍යකර්මයක් මඟින් දරුවෙක් හෝ දරුවන් බිහි කිරීම සිසේරියන් සැත්කම ලෙස අර්ථ දැක්වීමට පුළුවනි. නමුත් මේ ශල්‍යකර්මය නිර්දේශ කරන්නේ, මවක් දරුවා සාමාන්‍ය ලෙස බිහි කිරීම තුළින් මව හෝ දරුවා හෝ අවදානමකට ලක්වෙනවා නම් පමණි. වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයක දී සිදුකරන සිසේරියන් සැත්කම ජීවිතයක් බේරා දෙන ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දිය හැකි ය. සිසේරියන් සැත්කම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් සායනික කරුණු පාදක කොට ගනු ලබන තීරණයකි.
සිසේරියන් සැත්කමක් අවශ්‍ය වන අවස්ථා කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකියි. එනම් අනිවාර්යයෙන් ම අවශ්‍ය වන අවස්ථා හා අවස්ථානෝචිතව යොදා ගන්නා අවස්ථා ලෙස යි. මවගේ ශ්‍රෝණිය, එනම් උපත් මග වටා ඇති අස්ථිමය රාමුව හා දරුවාගේ ප්‍රමාණය නොගැළපීම, මවගේ ශ්‍රෝණියේ අසාමාන්‍යතා, ගර්භාෂ තරලය පැසවීමට ලක් වූ විට, පාලනයට අපහසු ගර්භිණී අධි රුධිර පීඩනය, දරුවාගේ ශ්වසන ගැටලු, දරුවා හරහට සිටීම, වැදෑමහ ගර්භාෂයේ පහතින් සවි වී තිබීම, පෙකනි වැල මුලින් පහත් වීම ආදිය සැත්කම අනිවාර්යයෙන් අවශ්‍ය වන අවස්ථා ලෙස දැක්විය හැකියි. දරුවාගේ හෘද ස්පන්දනය හා ක්‍රියාකාරීත්වය දක්වන CTG වාර්තාවේ අසාමාන්‍යතා, සාමාන්‍ය ලෙස දරුවා බිහි කිරීමට ප්‍රමාද වීම හෝ නතර වීම, මින් පෙර සිසේරියන් සැත්කමට ලක්ව තිබීම අවස්ථානෝචිතව සැත්කම යොදාගැනීමට උදාහරණ වෙයි.
අන්තර්ජාතික දත්ත විශ්ලේෂණ පෙන්වා දෙන ආකාරයට දරු උපත්වලින් 10% – 15% අතර ප්‍රමාණයකට සිසේරියන් සැත්කම යොදාගැනීමට අවශ්‍ය වෙයි. ලෝකයේ මාතෘ හා ළදරු මරණ අනුපාත පහළ හෙළීමට මෙම ශල්‍යකර්මය බෙහෙවින් දායක වී ඇත. මෙම දත්ත විශ්ලේෂණය පෙන්වා දෙන අනෙක් වැදගත් කරුණ නම් 15% ඉක්මවා සිදුවන සිසේරියන් සැත්කම් මාතෘ හා ළදරු මරණ අනුපාත තවදුරටත් පහළ හෙළීමට බලනොපාන බවයි.
එහෙත් ලෝකයේ අන් රටවලත්, ශ්‍රී ලංකාවේත් සිසේරියන් සැත්කම ඉතා සුලභව යොදාගන්නා බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ දරු උපත්වලින් 99%ක් ම සිදුවන්නේ රෝහල් තුළයි. එයින් 95%ක් රජයේ රෝහල්වල දී සිදු කෙරේ. 1988 දී රජයේ රෝහල්වල සිදු වූ දරු උපත්වලින් 8.4%ක් සිසේරියන් සැත්කම්වලින් සිදු වූ අතර 2018 වන විට එම අගය 39% ඉක්මවා තිබුණි.
මෙය කියවන ඔබත් දරුවකු කුස දරා සිටින මවක් විය හැකියි. උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන කාන්තාවක් විය හැකියි. දරු උපත ගැන බියක්, චකිතයක් ඔබට තිබීම ස්වභාවිකයි. වෛද්‍ය විද්‍යාව දියුණු අද දවසේ ඔබේ බිය හා චකිතයට ලැබෙන්නේ බෙහෙවින් අඩු අගයකි. එබැවින් වීර කාන්තාවක් ලෙස එයට මුහුණ දෙන්න. සිසේරියන් සැත්කමක් අවශ්‍ය බවට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා නියම කළහොත් එයට එකඟ වන්න. නමුත් ඔබ ඒ තීරණය ගත යුතු නැත.
සිසේරියන් සැත්කම අද ඉතා ආරක්ෂාකාරී බවට සැකයක් නැත. නමුත් දරුවෙකු බිහි කිරීමට සුදුසු ම හා ආරක්ෂාකාරී ම ක්‍රමය වන්නේ සාමාන්‍ය දරු උපතයි. ඉතින් සාමාන්‍ය ලෙස දරුවා බිහිකිරීමට හැකි නම් ශල්‍යකර්මයේ හා නිර්වින්දනයේ අවදානමට අනවශ්‍ය ලෙස ලක් විය යුතු නැත. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සිය දැනුම හා අත්දැකීම් අනුව වාසි අවාසි මැන බලා වඩා සුදුසු ක්‍රමයට දරුවා බිහි කර දීම මනුෂ්‍ය ධර්මය වේ.
එසේ නම් ඇයි මේ ශල්‍යකර්මය මෙතරම් සුලබ ව භාවිත කරන්නේ? මූලික හේතු තුනක් දැක්විය හැකියි.
1. වර්තමානයේ සාමාන්‍ය දරු උපතක් ලබා දිය හැකි මව්වරුන් අඩු වෙමින් පවතී. ප්‍රථම දරු උපත වන විට මව වයස අවුරුදු 35 ඉක්මවා තිබීම, දියවැඩියාවෙන්, අධි රුධිර පීඩනයෙන්, ස්ථුල භාවයෙන් ඇය පෙළීම, මඳසරු භාවයෙන් කලක් ගෙවී ලබන දරුවා වීම ආදිය ඊට නිදසුන් ය.
2. තවත් කාරණයක් නම් පෙර අවස්ථාවක සිසේරියන් සැත්කමකට ලක්ව තිබීම යි.
3. එසේ ම මවගේ පෙරැත්ත මත සිදුකරන සිසේරියන් සැත්කම් වැඩිවෙමින් යයි. ස්වභාවික දරු උපතකට ඇති බිය, පෙර දරු උපතක නරක අත්දැකීම, ස්වාභාවික දරු උපතකට නිසි ලෙස කායිකව හා මානසිකව සූදානම් වී නොතිබීම මෙම පෙරැත්තයට හේතු ලෙස දැක්විය හැකියි.
ඔබත් ඔබේ දරුවා සිසේරියන් සැත්කමක් මගින් බිහිකිරීමට සිතා සිටිනවා විය හැකියි. අප මුලිනුත් සඳහන් කළ පරිදි වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයකින් තොරව සිදුකරන සිසේරියන් සැත්කමකින් ඉතිරි වන්නේ එහි අවදානම සහ සංකූලතා පමණි. ඒ සංකූලතා මොනවා දැයි සොයා බලමු.
මුලින් ම මවට ඇතිවිය හැකි සංකූලතා හඳුනාගමු. ශල්‍යකර්මය අතරතුර මවගේ මුත්‍රාශයට, මුත්‍ර නාලවලට, බඩවැල්වලට අනතුරු විය හැකියි. නිර්වින්දන ක්‍රියාවලියේ හා එම ඖෂධවල අවදානමට ලක් විය යුතුයි. සාමාන්‍ය දරු උපතක දී මෙන් නොව මෙහි දී සම, උදර බිත්තිය හා ගර්භාෂ බිත්තියේ කැපුම් යොදන නිසා ලේ ඉවත් වීම වැඩියි. ඒ නිසා පිටින් රුධිරය ලබාදීමට වැඩි ඉඩක් තිබේ. සමහර විට ලේ ගැලීම පාලනය කරන්නට ගර්භාෂය ඉවත් කිරීමට පවා සිදුවිය හැකි ය.
ශල්‍යකර්මයට පසු ලේ කැටි ගැසීමේ ගැටලු, රුධිර නාලවල ලේ කැටි සිරවීම්, තුවාල පැසවීම, බඩවැල් ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම සිදු විය හැකියි. අනෙක් දේ නම් කැපුම් තුවාලවල වේදනාව යි. සාමාන්‍ය දරු උපතකට පසු දා මව රෝහලින් පිට වුවත් සිසේරියන් සැත්කමකට පසු මවට දින දෙකක්වත් රෝහලේ රැඳෙන්නට සිදු වේ.
සිසේරියන් සැත්කමට පසු ඉදිරි දරු උපතකට බලපෑම් එල්ල විය හැකියි. ගබ්සා වීම්, ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම්, කළලයේ වර්ධන දුර්වලතා, මඳ සරු බව, නල දරු උපත්, වැදෑමහ සවි වීමේ අසාමාන්‍යතා හා ගැබ් ගෙලට ආසන්න ව සවි වීමේ අවදානම ඒ අතර වේ. අනෙක් කාරණය නම් දෙවැනි දරුවා බිහි කිරීමට සිසේරියන් සැත්කමක් යොදාගැනීමට ඉඩ වැඩි වීම යි.
සිසේරියන් සැත්කමකින් උපදින දරුවාට ඇති අවදානම් මොනවා ද? එම දරුවන්ට ශ්වසන ආබාධ සඳහා ඉහළ අවදානමක් ඇත. එනිසා නවජන්ම ළදරු ඒකකවල රඳවා ගැනීමට සිදුවේ. දරුවාට කිරි ලබා දීම ප්‍රමාද වීම නිසා මව හා දරුවා අතර සබැඳියාව ගොඩනගා ගැනීමට බාධා වීමට ඉඩ තිබේ. සිසේරියන් සැත්කමෙන් බිහි වූ දරුවන් ඕටිසම් (autism) තත්ත්වයට ලක් වීමේ අවදානම අන් දරුවන්ට වඩා වැඩියි. ඒ වගේ ම ඇදුම, තරබාරු බව, දියවැඩියාව, ආසාත්මිකතා, පීනසය එම දරුවන් අතර වැඩියෙන් දකින්නට පුළුවන.
වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයකින් තොරව සිදු කරන සිසේරියන් සැත්කමක තවත් නොපෙනෙන පැත්තක් තිබේ. සැත්කම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක්, වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, ශල්‍ය උපකරණ, ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා ඉතා වටිනා ශල්‍යාගාර කාලය වෙන් කර දිය යුතු ය. එහි වටිනාකම ගැන අදහසක් ගන්නට පුද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක බිල්පත පරීක්ෂා කළ විට හැකි ය. තවත් අසරණ රෝගියෙක් වෙනුවෙන් යෙදවිය හැකි සම්පත් ය නිකරුණේ වැය වෙන්නේ. අද සැලකිය යුතු පිරිසකට සෞඛ්‍යරක්ෂණ තිබේ. ‘මගේ මුදලින් / රක්ෂණයෙන් පියවනවා නම් මගේ උවමනාවට පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කමක් කරගත්තා ම කාටවත් ගැටලුවක් නෑ’ කියා කෙනෙකු සිතන්නට පුළුවන. නමුත්, පුද්ගලික ධනය වැයකර අනවශ්‍ය දෙයක් කරයි ද එය සම්පත් අපතේ හැරීමක් බව සිහි තබා ගන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් ඇස්තමේන්තුවලට අනුව සිසේරියන් සැත්කම් ප්‍රමාණය 1%කින් වැඩිවීමේ දී වාර්ෂික වියදම රුපියල් මිලියන 27කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යයි. අද 39%ක් වන සිසේරියන් සැත්කම් ප්‍රමාණය 15% ප්‍රශස්ත මට්ටමට ගෙන ආ හැකි නම් කෙතරම් මුදලක් ජනයාගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඉතිරි වෙනවා ද ?
කාන්තාවනි, දරුවෙකු ලොවට දායාද කළ හැක්කේ ඔබට පමණි. කෙතරම් ශක්ති සම්පන්න වුවත් පිරිමියෙකුට එය කළ නොහැකි ය. රටට නිරෝගී දරු පරපුරක් බිහි කළ හැක්කේ ඔබ වැනි වීර කාන්තාවන්ට යි. ධාවන තරගයක අවසන් මහා තරගයට කල් තියා සූදානම් විය යුතු සේ ම දරු උපතට ද ඔබ සූදානම් විය යුතුයි.
පූර්ව ප්‍රසව සායනයට පමණක් නොව එහි පවත්වන වැඩමුළුවලට ද සහභාගී වන්න.
දරු උපත පිළිබඳ ශරීරය ලිහිල් කිරීමේ ව්‍යායාම, මනෝ විද්‍යා හා උපදේශන වැඩසටහන්වලට සහභාගී වී දරු උපත පිළිබඳ දැනුම්වත් වන්න. බිය චකිතය දුරු කර ගන්න. වේදනාව හා ආතතිය පාලනය කරගන්නා ආකාරය පුහුණු වන්න.
වර්තමානයේ බෞද්ධ පවුල්වල දරුවන් හිඟ වෙමින් පවතී. එය රටේ, ජාතියේ පැවැත්මට විශාල අභියෝගයකි. එය ජය ගත හැක්කේ වීර බෞද්ධ කාන්තාවන්ට පමණි.
විවිධ හේතු දක්වමින් විවාහය හා දරුවන් ලැබීම ප්‍රමාද නොකරන්න. භෞතික ඉලක්ක පසුපස හඹා ගොස් තරුණ බව පිරිහෙන කාලයේ දී දරුවන් ලැබීමට නොසිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මිනිසාගේ වස්තුව දරුවන් බව සිහි තබා ගන්න.
අනවශ්‍ය ලෙස සිසේරියන් සැත්කමකට ලක්ව ඔබගේ හා දරුවාගේ සෞඛ්‍යය දුර්වල කර නොගන්න. මඳසරු භාවයට පත්ව ඊ ළඟ දරුවන් ලැබීම ප්‍රමාද නොකර ගන්න. සිසේරියන් සැත්කමට ලක් වුවහොත් ඊ ළඟ දරුවා බිහි කිරීමට සිසේරියන් සැත්කම යොදාගැනීමට වැඩි ඉඩක් තිබේ. තුන්වරක් සැත්කමට ලක් වුවහොත් නැවත දරුවන් බිහි නොකරන ලෙස උපදෙස් ලැබෙනු ඇත. රණවිරුවන් දුක සේ රැක දුන් රටට නිරෝගී දරු පරපුරක් බිහි කර, ජාතිය රැකගැනීමට සිටින කාන්තාවනි, අනවශ්‍ය ලෙස පෙරැත්ත කොට සිසේරියන් සැත්කම තෝරා නොගන්න.
අවසාන වශයෙන් ඔබ මතක තබාගත යුත්තේ, වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයකින් තොරව සිදුකරන සිසේරියන් සැත්කම විවිධ මාතෘ හා ළමා සංකූලතා ඉතිරි කරන බවත්, එබැවින් පැහැදිලි වාසියක් ඇති විට මිස එය යොදා නොගත යුතු බවත් ය. එසේ ම සිසේරියන් සැත්කම සාමාන්‍ය දරු උපතකට සමාන හෝ විකල්පයක් හෝ ලෙස සැලකිය යුතු නැති බව ය. එම සැත්කම කල්පනාකාරී ව සලකා බලා තෝරා ගත යුතු විකල්පයක් පමණක් බව ය.
සටහන
මනු විතාරණ MBBS
වෛද්‍ය නිලධාරී
අපේක්ෂා රෝහල, මහරගම
ඉතා වැදගත් ලිපියකි.