පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය තරම් ජනාදරයට පාත්‍ර වූ වෙනත් කාව්‍යයක් අපට නැත. ‘සසඳාවත’, ‘මුවදෙව්දාවත’, ‘කව්සිළුමිණ’ වැනි ජාතක කාව්‍යය පොදු ජනයා අතර ප්‍රිය නො වී ය. ඒවා උගතුන්ට පමණක් සීමා විය. එමෙන් ම, කාව්‍යශේඛරය වැනි ජාතක මහා කාව්‍යය ද පොදු ජනයා අතර සම්භාවනාවට පාත්‍ර නො වී ය. එය ද උගතුන් අතර ම රැඳුනි. වියතුන් අතින් රචනා වූ සඳකිඳුරුදා කව හා ගුත්තිල කාව්‍යය වැනි ජාතක කාව්‍යය පොදු ජනයා අතර සමීප වුව ද පොදු ජනයා බෙහෙමින් වැළඳ ගන්නේ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය යි. ඒ නිසා මෙය සිය දහස් වරක් පමණ මුද්‍රණය වූ පොතයි. අතීතයේ ලක්දිව කෙනෙක් මිය ගිය විට එම නිවසේ දින හතක් මේ ජාතක කාව්‍යය ගායනා කොට නිවැසියන්ගේ ශෝකය තුනී කර ගත් අයුරු ප්‍රසිද්ධ කාරණයකි.

වෙස්සන්තර ජාතකය ජාතක පොතේ අවසාන ජාතකය වන 547 වැන්නයි. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු බන්ධු සංග්‍රහ පිණිස කිඹුල්වත් පුරයට වැඩිදා සවස යමා මහ පෙළහර දක්වා නොයෙක් දේශනාවන්ගෙන් ධර්ම ප්‍රවාහය කරන කල්හි සුද්ධෝදන මහ රජතුමා සහ යසෝදරා දේවී ප්‍රධාන පිරිසට වෙස්සන්තර ජාතකය දේශනා කළ බව සම්බුදු සිරිතේ දැක්වේ. මෙසේ පොළොන්නරු යුගයේ සිට අද දක්වා ම වෙස්සන්තර ජාතකය සිංහල පාඨකයනට කියවන්නටත්, සිංහල ශ්‍රාවකයාට අසන්නටත් ලැබී තිබේ. එය කවියෙන් ද කීමට, ඇසීමට අවස්ථාව උදා වී තිබේ. ආරම්භයේ සිට ම සිංහල කවියට වස්තු වූයේ බුද්ධ චරිතය නොව ජාතක කතාවන් සමඟ ආ බෝසත් සිරිත යි. බුදුගුණ වැඩීම ප්‍රධාන පරමාර්ථය වූ බැවින් බුදු සිරිතත්, බෝසත් සිරිතත් අතර දැඩි වෙනසක් අපේ සිංහල කවීන් නුදුටු සේ ය. එනිසා සිංහල කවියේ ආරම්භයේ සිට ම ජාතක කථා වස්තු සිංහල කවියාට වස්තු විෂය විය.

පොළොන්නරු යුගයේ සිට දඹදෙණි යුගය තෙක් ජාතක කථා කවියට නැගුණේ ගීයෙනි. ගම්පොළ යුගයේ දී එළිසම කාව්‍යය බිහිවීමත් සමඟ ම ජාතක කථා සිව්පදයට නැගීම ඇරඹිණි. ජාතක කථා රාශියක් මහනුවර – මාතර යුගයේ දී ජනකවියන් අතින් රචනා වී තිබේ. පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය ද අයත් වන්නේ මේ යුගයට ය. මේ යුගයේ දී මුල් බැසගත් ජාතක කථා කවියට නැගීමේ ජන කවියාගේ ගමන් මඟ උද්දීපනය කළ කෘතියක් ලෙස වෙස්සන්තර ජාතක කාව්‍යය හඳුනාගත හැකි ය. මෙහි කෘති අවිනිශ්චිත ය.

පන්සිය පනස් ජාතක පොතේ අවසාන ජාතක කථාව වන දාන පාරමිතාව කැටිගැන්වෙන වෙස්සන්තර ජාතකය කියවන්නන්ගේ හා අසන්නන්ගේ සිත ශාන්ත රසයෙන් කරුණා රසයෙන් මෙන් ම මෛත්‍රියෙන් ද ශෝකයෙන් ද පුරවා දමන්නකි.

වෙස්සන්තර කුමරා බිහිවන මොහොතේ දී ම කිරි මවුන් හට දනක් දෙන්නට සිතන ආකාරය ජන කවියා කවියට නගන්නේ මෙලෙසිනි.

‘සිරස බිහි වූ තැන
වදහළ මධුර නාදෙන
වින්නඹුවන් පිනන
කිමෙක දෙන දන ලොවට පවතින’

‘එතෙපුල් අසා සොඳ
පුසැති දේවී මන නඳ
දහසින් පියලි බැඳ
දෙමින් කුමරුන් අතට මනනඳ’

‘එපියලි ගෙන තොසේ
කිරිමව් අතට සිතසේ
දන් දී එවිගසේ
බිහිව සිල්ගෙන එපෝ දවසේ’

මේ ආකාරයෙන් උපන්දා පටන් ඇරඹූ දන් දීමේ සහ සිල් රැකීමේ සිරිත නිති පවත්වමින් ඇලි ඇතුන් දන් දීමෙන් පසුව දෙදරුවන් සහ බිසොවුන් දන් දී දාන පාරමිතාව මුදුන් පත්කර ගත් ආකාරය දැක්වෙන අනුවේදනීය පුවත අප වෙත දක්වන්නේ ශෝකයෙන් මුසු වූ ආධ්‍යාත්මික සුවයකි.

ජූජක බමුණාට දරුවන් දෙදෙනා දන් දීම, දරු දුක ඉවසාගත නුහුණු මද්‍රී දේවිය හඬා වැළපුන ආකාරය ජූජකයා සුරතල් දරු දෙදෙනාට තල තලා ගෙන යන ආකාරය අප ඉදිරියේ රඟ දැක්වෙන බිහිසුණු සජීව ජවනිකා මෙන් අපට පෙනෙයි. අපට දැනෙයි. එවිට අපගේ නෙත් කඳුළෙන් පිරෙන්නේ ශෝකය නිසා ම නොව අප මහ බෝසතාණෝ දාන පාරමිතාව කුළු ගැන්වීමෙන් අප ලබන ආධ්‍යාත්මික සුවය නිසා ය. වෙස්සන්තර ජාතක ජන කවියා ඒ අවස්ථාව අපට ගෙන ආ ආකාරය රසවත් ය.

‘බඳිමින් වැලමිටි දෙක සාවෙන තුරු
කපමින් ඉපලක් අරගෙන නොමසුරු
තලමින් පිට පිට ලේ වැගිරෙන තුරු
කෙරෙමින් නින්දා දෙදරුට එමහරු’

මද්‍රී දේවිය තමන් හා සමඟ තපසට යාම වළකනු පිණිස වෙස්සන්තර රජතුමා නොයෙක් කරුණු ඉදිරිපත් කරයි. ඒවාට මද්‍රී දේවිය පිළිතුරු දෙන්නේ මෙවන් විරිතක් උපයෝගී කර ගනිමිනි.

‘කරට පදක්කම් තැලි පැලඳුවට – නවගුණ වැල් කරලඤ්ඤයි
වංගි දෙවංගි තනපොට බැන්දට – ඇඟ දිවි සම් පොරවඤ්ඤයි
නෙරිය තියාලා සේලය ඇන්දට – වට අඳනා පලඳිඤ්ඤයි
ලොව්තුරු බුදු බව සිතින් දරාගෙන – තපසට යන්නට එඤ්ඤයි’

අම්මා නොමැති විටක දී පියරජු තමන් ජූතකයාට දන් දෙන මොහොතේ දී ජාලියගෙන් හා ක්‍රිෂ්ණජිනාවන්ගෙන් කියැවෙන මේ වදන් වැල ජනකවියාගේ උසස් නිර්මාණයකි. එහි කියැවෙන්නේ මව් ගුණය යි.

‘පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින්දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වන දා නිවන් දකින් අම්මා’

ඵලවැල නෙළුමට ගොස් පෙරළා පැමිණි මද්‍රී දේවිය දරුවන් නොදැක, දරුවන් කොහිදැයි වෙසතුරු රජුගෙන් අසන්නේ දැඩි උද්වේගකර ස්වරයකිනි. බිසව බිම පෙරළීගෙන අසන ශෝකාලාපය පද්‍ය 120කින් සමන්විත ය.

‘අම්මොයි, යන තෙපුලක්වත් නොවැටෙන්නේ සවනේ
නිම්මොයි නැති සෝගිනි ඇවිලෙන්නා කුස තුළිනේ
වැම්මොයි කඳුළැලි දෙනෙතින් වාසින්නයි ඉතිනේ
මම් මේ දුක ඉවසන්නේ කෙලෙස ද නරනිඳුනේ’

ඒ ශෝකය අපට ද දැනවීමට කවියා සමත් වෙයි. විවිධ වෘත්තයන්ගෙන් බැඳුණු වෙස්සන්තර ජාතක කාව්‍යය සිව්පද 975කින් ද සමන්විත ය. මෙය ජනකවියා විසින් කරනු ලැබූ කවි බණකි. මෙවන් වටිනා ග්‍රන්ථයක් රචනා කළ ජනකවියාට සේ ම අපට ද මේ පින් බලයෙන් උතුම් නිවන පසක් වේවා! යි පැතුමෙන් පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය කියවමු.

සටහන: ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ