බොහෝ දෙනෙකුගේ හිත පෙළන, දුකට පත් කරවන කරුණකි, ‘මේ අයට මෙච්චර කරලත් මතක නෑනේ. කිසි කෙළෙහිගුණයක් නෑනේ’ යන කරුණ. බොහෝ දෙනාට කළ උපකාර, තමාට ලැබුණ පිහිට ඉක්මනින් අමතක වෙයි. දරුවන්ට දෙමාපියන් කළ උපකාර අමතක වෙයි. ඒ නිසා ය හිතුවක්කාර වන්නේ. ස්වාමියාට බිරිඳගේ උපකාර අමතක ව සල්ලාල ජීවිතයක් ගත කරයි. ඇයගේ නුගුණ අන් අයට කියයි. බිරිඳට ද ස්වාමියාගෙන් තමන්ට වූ උපකාර අමතක වේ. ඈ ස්වාමියාට හොර රහසේ වංචනික දේ කරයි. ශිෂ්‍යයාට ගුරුවරයාගෙන් වූ උපකාර අමතක වේ. ඔහු ගුරුවරයා අභිබවා යයි. ගුත්තිල ඇදුරුතුමන්ට එරෙහි වූ මූසිල වගේ වෙයි. කළ උපකාර අමතක කිරීම, කෙළෙහිගුණ නැති බව අඳුරු වලාවක් වාගේ ලොව වසාගෙන පවතී. ඒ නිසා අන් අයට උපකාර කරන අයගෙන් බොහොමයක් ඒ ඉදිරියේ ශෝක වෙති. මේ පිළිබඳ දහම් ඔවදනක් අප ලැබිය යුතු ය. ශෝක නොවන දහමේ පිහිට සෙවිය යුතු ය.
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. එනම් මේ ලෝකයේ වටිනා ම මාණික්‍යය පහක පහළ වීම දුර්ලභ බව යි. මේ කියන කාරණා පහ ලෝකයේ අතිශයින් දුර්ලභ ය. ඒ තමයි,
1. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම ලෝකයේ අතිශය දුර්ලභ කාරණයකි.
2. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කෙනා ලෝකයේ අතිශයින් දුර්ලභ කෙනෙකි.
3. ඒ උතුම් බුද්ධ වචනය දේශනා කරද්දී ඒ දහම් පද කෙනෙකුට වැටහේ නම් ඔහු ද ලොවෙහි අතිශයින් දුර්ලභ කෙනෙකි.
4. ඒ දේශනා කරන ලද තථාගත ශ්‍රී සද්ධර්මය හොඳින් තේරුම් ගෙන ඒ දහමේ යමෙක් හැසිරේ නම් ඔහු ද ලොවෙහි අතිශයින් දුර්ලභ කෙනෙකි.
5. කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සිහි කරන කෙනා ලෝකයෙහි දුර්ලභ කෙනෙකි.
මේ වනාහි ලෝකයේ අතිශයින් දුර්ලභ මාණික්‍යය පහ යි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පිංගියානි සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මේ බව වදාළ සේක.
දැන් මොහොතක් සිතන්න. සම්මා සම්බුදුවරයෙකු කොයි තරම් දුර්ලභ ද කියා… කෙතරම් විශේෂ උත්තමයෙක් ද? ඒ වාගේ ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති නොකොට, අවුල් නොකොට, තමාගේ අදහස් නොදක්වා ඒ විදිහට ම ශ්‍රද්ධාවෙන්, අනුකම්පාවෙන් අර්ථ වැටහෙන ලෙස දේශනා කරන ධර්ම දේශකයාණන් වහන්සේලා කෙතරම් දුර්ලභ ද? ඒ උතුම් අය කලාතුරකිනි පහළ වන්නේ. ඒ උතුමෝ ලොවෙහි දුර්ලභ මාණික්‍යයෝ ය. ඒ වාගේ ම කෙතරම් දහම් දෙසුවත් හරියට අවබෝධ වන්නේ කීයෙන් කී දෙනාට ද? එයත් දුර්ලභයි. දහම යම් සේ හෝ වැටහුනත් ඒ මාර්ගය අනුගමනය කිරීම කෙතරම් දුෂ්කර ද? දහම් මඟ වඩන අය කීයෙන් කී දෙනා ද සිටින්නේ. දුර්ලභ යි. ආන්න ඒ අයුරින් ම කෙළෙහිගුණ සිහි කරන, කෙළෙහිගුණ දන්නා පුද්ගලයා අතිශයින් ම දුර්ලභ කෙනෙකි. විශේෂ, දුර්ලභ මාණික්‍යයකි. දුර්ලභ දේ හැමතැන ම නැත. කෙළෙහිගුණ දන්නෝ, කෙළෙහිගුණ සිහි කරන්නෝ හැමතැන ම නැත. එවැන්නෝ මුණගැසෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් මුණගැසෙන උතුම් අය හැමතැන ම සෙවීම අපේ අනුවණකම යි.
කෙළෙහිගුණ නොදන්නා, කෙළෙහිගුණ සිහි නොකරනා අය ඔබට මුණගැසෙන සෑම විටක ම බුද්ධ වචනයට ම පහදින්න, ‘කෙළෙහිගුණ ඇති අය ලොව දුර්ලභ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ බව සත්‍යයක් ම යි’ කියා. කෙළෙහිගුණ දන්නෝ මුණගැසෙද්දී පුදුම වන්න, ‘දුර්ලභ මාණික්‍ය රත්නයක් දකින්න ලැබුණා’ කියා. මේ සනාතන ලෝ දහම අපට වෙනස් කළ නොහැක. ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් අන් අයට උපකාර කිරීම ම තමාට දුක උපදවයි. ප්‍රති උපකාර බලාපොරොත්තු නො වී ලෝකයට උපකාර කරන්නේ ඒකාන්තයෙන් ම සත්පුරුෂයෙක් මැ යි. ඔබත් සත්පුරුෂයෙක් වන්න. ලොවට බොහෝ උපකාර කරන්න. පොඞ්ඩක්වත් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවන්න. ඒ සත්පුරුෂයා බොහෝ කලක් සතුටින් වාසය කරන්නේ ය. මරණින් මතු සුගති සැප ලබන්නේ ය. අමා මහ නිවන ඔහු සඳහා වන්නේ ය.
නොයෙක් අයුරින් මේ දහම සිහි කළ යුත්තේ ය. අපගේ ජීවිතයේ වැඩියෙන් ම අප උපකාර, සත්කාර කොට ඇත්තේ කාටදැයි හොඳින් සිතන්න. අපි වැඩියෙන් ම සැලකුවේ ඇස් දෙකට ය. නොයෙක් රූප, නාට්‍ය, චිත්‍රපට, විගඩම් පෙන්වා අපි ඇස සතුටු කළෙමු. සත්කාර කළෙමු. බෙහෙත් හේත් දුන්නෙමු. නිදි කළෙමු. කන්නාඩි දැම්මෙමු. කන ද එසේ ය. මිහිරි ගීත, හඬවල්, ශබ්ද, කතා කොයිතරම් කනට අස්වා සතුටු කළා ද? සත්කාර කළා ද? මේ නාසය, දිව, කය, මනස කොයිතරම් සතුටු කළා ද? නොයෙක් කෑම බීම ලබා දුන්නෙමු. රස්නය දැනෙද්දී සීතල දුන්නෙමු. සීතලට රස්නය දුන්නෙමු. ගෙවල් හැදුවෙමු. මේ ඔක්කොම ඉන්ද්රියයන් සතුටු කිරීම පිණිස යි. මේ ඉඳුරන් නිසා ම සිල් කඩා ගත් අවස්ථා ද තිබෙන්නේ ය. උතුම් ගුණධර්මත් වඩා ගන්නට ප්‍රමාද වී ඉඳුරන්ට උපස්ථාන කරන්නට වීමු. බෙහෙත් හේත් දුන්නෙමු. හරිහම්බ කරන මුදල් කොයිතරම් නම් විය පැහැදම් කළා ද? ඒත් අවසානයේ වන්නේ කුමක්ද? ඔවුන් කෙළෙහිගුණ දැක්වූවා ද? ඇස දුර්වල වී අන්ධ වන්නේ ය. කන බිහිරි වන්නේ ය. දිව අප්‍රාණික වන්නේ ය. කය ඇඳේ වැතිර මළ මුත්‍රා ගොඬේ විඳවන්නේ ය. සිහි විකල් වන්නේ ය. විටෙක මරණින් මතු මේ ඉඳුරන් පිනවීමට යෑමේ දී කර ගත් අකුසල් හේතුවෙන් සතර අපායේ ද උපත ලබන්නේ ය. දැන් සිතන්න. කෙළෙහිගුණය ගැන… තමාට තමා තුළින්වත් කෙළෙහිගුණයක් නොලැබෙද්දී බාහිර අන් අයගෙන් කෙළෙහිගුණ සෙවීම නුවණට හුරු ද?
කෙළෙහිගුණ සිහි කිරීම සහ කෙළෙහිගුණ දන්නා බව උත්තම ගුණයකි. එය සියලු ගුණයන්ට මුල් වේ. ගුණධර්ම වනාහී තමා තුළ තිබිය යුතු දේවල් ය. අන් අයගෙන් බැලිය යුතු දේවල් නො වේ. ඒ නිසා කෙළෙහිගුණ තමා තුළ තියෙනවා දැයි නිතර නිතර සිතන්න. බොහෝ දෙනා අනුන්ගේ කෙළෙහිගුණ සොයත්, නමුත් තමාට කෙළෙහිගුණ නැත. තමා කෙළෙහිගුණ දන්නා කෙනෙක් නම්, පුංචි උපකාරයත් සිහි කරන කෙනෙක් නම් අනුන්ගේ අකෘතඥ බව ඉදිරියේ, ‘මම නම් මෙසේ කරන්නේ නැත’ කියා සතුටු විය හැකි ය. ඒ නිසා අද සිට ඔබ ඔබ තුළින් කෙළෙහිගුණ දකින්න. අන් අයගෙන් බලාපොරොත්තු නොවන්න. කෙළෙහිගුණ දන්නා අයට හදවතින් ගරු කරන්න, ඔවුන් විශේෂ පුද්ගලයන් නිසා…
දෙමාපියන්ට ගරු සත්කාර කොට කෙලෙහි ගුණ දක්වන්න. තුනුරුවන් සරණ ගොස් මිනිසත් බවට ලැබුණු පිහිටට කෙළෙහිගුණ දක්වන්න. කලණ මිතුරන්ට, අහන බණ පදවලට කෙළෙහිගුණ දක්වා පන්සිල්, අටසිල් රකින්න. සුචරිතයේ යෙදෙන්න.
කෙළෙහිගුණ දන්නා අය ව දෙවියන් හැමදා රකින්නේ ය. මුහුදේ හිටියත් ගොඩබිමේ සිටියත් රකින්නේ ය. මේ බුද්ධ ශාසනය තිබෙන්නේ කෙළෙහිගුණ දන්නා සත්පුරුෂයාට යි. කෙළෙහිගුණ නොදන්නා අසත්පුරුෂයාට මොන උපකාරය ලැබුණත් එය කොහොඹ ගසට මී සකුරු දිය ඉහිනවා වගේ ය. සාදු නද දිදී හිසෙන් ගොස් පැන් වත් කළත් කොහොඹ ගස තිත්ත ය. කෙළෙහිගුණ නැත්තෝ කිරි දී හැදුවත් විසෙන් යුතු සර්පයන් සේ ය. ඔබ කෙළෙහිගුණයෙන් යුක්ත වන්න. එය ඔබ නිවනට රැගෙන යාවි. ඒ වගේ ම ගොඩබිමේදිත්, මුහුදේදිත් දෙවියන් ඔබ ව රකින බව ඒකාන්තයි. මේ ගාථා දෙස බලන්න.
1. යෝ මාතරං වා පිතරං වා ධම්මේන ඉධ පෝසති
රක්ඛන්ති තං සදා දේවා – සමුද්දේ වා ථලේපි වා
යමෙක් මව්පියන් දැහැමින් පෝෂණය කරයි ද ඔහු ව මුහුදේ සිටියත්, ගොඩබිමේ සිටියත් දෙවියන් විසින් සැමදා රකිනු ලබයි.
2. යෝව බුද්ධංච ධම්මංච – සංඝංච සරණං ගතෝ
රක්ඛන්ති තං සදා දේවා – සමුද්දේ වා ථලේපිවා
යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියොත් ඔහු මුහුදේ හෝ ගොඩබිමේ හෝ සිටියත් හැමදා දෙවියන් රකියි.
3. පංච විදං අට්ඨවිදං – පාතිමොක්ඛඤ්ච සංවරං
පාලේති යෝ තං පාලෙන්ති – දේවා සබ්බත්ථ සබ්බදා
පංච සීලය, පෝ දා අටසීලය, ශ්‍රමණවරු පැවිදි සීලය රකිත් නම් මුහුදේ සිටියත්, ගොඩබිමක සිටියත් සැමදා සියලු අයුරින් ම දෙවියෝ ඔවුන් රකිති.
4. කායේන වාචා මනසා – සුචරිතං චරතී’ධ යෝ
පාලෙන්ති තං සදා දේවා – සමුද්දේ වා ථලේපිවා
යමෙක් මෙහි කයෙන්, වචනයෙන්, මනසින් සුචරිතයේ යෙදෙයි නම් මුහුදේ හෝ ගොඩබිම සිටියත් හැමදා සියලු අයුරින් ම දෙවියෝ ඔහුව රකිති.
5. යෝ සප්පුරිස ධම්මේසු – ධිතෝධ කතවේදිකෝ
පාලෙන්ති තං සදා දේවා – සමුද්දේ වා ථලේපිවා
යමෙක් කෙළෙහිගුණ දන්නා බව නමැති සත්පුරුෂ දහමේ සිටී ද මුහුදේ හෝ ගොඩබිමේ සිටියත් දෙවියෝ ඔවුන් රකිති.
මේ අනුව අද මිනිසාට නිවන කෙසේ වෙතත් දෙවියන්ගේ ආරක්ෂාව පවා නැති වී ඇත්තේ කෙළෙහිගුණ නැති හෙයින් බව දැන් ඔබට පසක් වනු ඇත. මේවා දැනගෙන වාසය කිරීම හොඳ ය.
Recent Comments