හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක්

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන්නා වූ අරහත් මුනිවරයෙකු විසින් හේතුඵල දහම අනේකවිධ වර්ණනාවන්ගෙන් විවරණය කරන අයුරු මේ ලිපියෙන් විස්තර කෙරේ.

********************************************

බුදු කෙනෙකුගේ මිහිරි ශ්‍රී සද්ධර්මය නොමැති ලෝකය තුළ ජීවිත පැවැත්ම පිළිබඳ නොයෙකුත් මත ඉදිරිපත් විය. සමහරු ප්‍රකාශ කළේ සියල්ල සිදුවන්නේ කිසියම් සර්ව බලධාරී දෙවියෙකුගේ මැවීමකට අනුව බවයි. එය ‘ඉස්සර නිම්මාණ වාදය’ නම් විය. තවත් සමහර ආගම්වල ඉගැන්වූයේ පෙර කරන ලද කර්මයට අනුව සියල්ල සිදු වන බවයි. එය ‘පුබ්බේකත හේතු වාදය’ නම් විය. සියල්ල ඉබේ සිදුවන බව තවත් සමහරු ප්‍රකාශ කළහ. බුද්ධ කාලයේ සිටි පූර්ණ කස්සප ‘අකිරියවාදය’ නම් දර්ශනයක් ඉදිරිපත් කළේ ය. එනම්, පුද්ගලයා කරන ක්‍රියාවල විපාක නැති බවයි. මේ සියලු අදහස් ප්‍රධාන දෘෂ්ටි දෙකක් මුල් කරගෙන ඉදිරිපත් විය. එකක් නම්, උච්ඡේද දෘෂ්ටිය යි. එහි අදහස මරණින් මතු සියල්ල විනාශ වී යන බවයි. දෙවැන්න ශාස්වත දෘෂ්ටිය යි. එනම්, මරණින් මතු සදාකාලික තැනකට යන බවයි. ලොව ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම් අයත් වන්නේ ද මේ ශාස්වත දෘෂ්ටියට යි.

මීට වසර දෙදහස් හයසිය ගණනකට පෙර තුන්ලොව අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ මේ සියලු දෘෂ්ටි, මතවාද බිඳ දමමින් ජීවිත පැවැත්මේ සැබෑ යථාර්ථය වන හේතුඵල දහම ලොවට හෙළිදරව් කළ සේක. ඒ දහම් මාවත ප්‍රගුණ කළ කෝටි ප්‍රකෝටි ශ්‍රාවකයන් වහන්සේලා සසර දුක සදහට ම ගෙවා අවසන් කළ සේක. ඒ අයුරින් සසර දුක් නිමා කළ උතුම් මුනිවරයෙක් භාග්‍යවතුන් වදාළ ශ්‍රී සද්ධර්මය හේතුඵල දහමක් බව මැනවින් විග්‍රහ කළ සේක. උදාන පාළියේ පඨම භද්දිය සූත්‍රයේ මෙවැනි දේශනාවක් සඳහන් ය.

“උද්ධං අධෝ සබ්බධි විප්පමුත්තෝ
අයමහමස්මින්ති අනානුපස්සී
ඒවං විමුත්තෝ උදතාරි ඕඝං
අතිණ්ණපුබ්බං අපුනබ්භවයා’ති”

“උඩ යට සැම තැනින් ම නිදහස් වූ රහත් භික්ෂුව ‘මෙය මම වෙමි’ යි ස්කන්ධ ධාතු ආයතන තුළ කිසිවක් නොදැකීමෙන් අවබෝධය තුළින් ම නිදහස් විය. නැවත භවයක් හට නොගනු පිණිස, මින් පෙර තරණය නොකළ කෙලෙස් මහා සැඩ පහර තරණය කළේ ය.”

මේ දේශනාව මහා කච්චායන මහරහතන් වහන්සේ මෙලෙස විග්‍රහ කරයි. මේ දේශනාවෙහි ‘උඩ’ යනු රූප හා අරූප ධාතු වේ. ‘යට’ යනු කාම ධාතුව යි. ‘හැම තැනින් ම නිදහස් වූ’ යනු මේ තුන් ධාතුවෙන් නිදහස් වීම යි. මෙය නිවන් මග හික්මී අවසන් කොට ලබන විමුක්තිය හෙවත් අසේඛ විමුක්තිය යි. ‘හික්මීම අවසන් කළ රහත් භික්ෂුවගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්’ යනු විද්‍යාවට අයත් ධර්මයන් ය. විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. මේ ආකාරයට නාමරූප ආයතන හය ස්පර්ශය, විඳීම, තෘෂ්ණාව, උපාදාන, භවය, ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මුළු මහත් දුකෙහි ම නිරුද්ධ වීම වෙයි. මෙය පටිච්ච සමුප්පාදය තුළින් නිවන් මගට බැස ගැනීම යි.

සසර දුක අවසන් වීම පිළිබඳ තවත් දේශනාවක් මීළඟට දැක්වේ. “කෙලෙස් ඇසුරෙන් යුක්ත කෙනාට කම්පා වීම ඇත්තේ ය. කෙලෙස් ඇසුර නැති කෙනාට කම්පනයක් නැත්තේ ය. කම්පනයක් නැති කල්හි සංසිඳීම ඇත්තේ ය. සංසිඳීම ඇති විට කෙලෙසුන්ට අවනත වීමක් නැත. කෙලෙසුන්ට අවනත නොවන විට එලොවින් මෙලොව ඒමක් – මෙලොවින් එලොව යාමක් නැත්තේ ය. එකල්හි චුතියක්, උපතක් නැත්තේ ය. චුතියක්, උපතක් නැති විට මෙලොව සිටීමක් හෝ පරලොව සිටීමක් හෝ දෙලොව අතර සිටීමක් නැත්තේ ය. මෙය සසර දුකෙහි අවසන් වීම යි.”

මේ දේශනාව තුළින් කෙනෙක් පටිච්චසමුප්පාදය තුළින් සසරට බැස ගන්නා ආකාරය අපගේ මහරහතන් වහන්සේ මෙලෙස විස්තර කරයි. කෙලෙස් ඇසුරෙන් යුක්ත කෙනාට කම්පා වීම ඇත්තේ ය යන ඇසුරු කිරීම දෙපරිදි වෙයි. තණ්හාව ඇසුරු කිරීම හා දෘෂ්ටි ඇසුරු කිරීම ය. එහි දී තණ්හාවට ඇලී වසන කෙනාගේ යම් චේතනාවක් ඇත්තේ ද මෙය තණ්හා ඇසුරෙන් යුක්ත ය. චේතනා යනු සංස්කාරයන් ය. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය හේතුවෙන් නාමරූප වෙයි. නාමරූප හේතුවෙන් සළායතන වෙයි. සළායතන නිසා ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා විඳීම වෙයි. විඳීම නිසා තණ්හාව වෙයි. තණ්හාව නිසා භවය වෙයි. භවය හේතුවෙන් ඉපදීම වෙයි. ඉපදීම හේතුවෙන් ජරා මරණ ආදී දුක්දොම්නස් සියල්ල හට ගනී. මෙය පටිච්චසමුප්පාදයෙන් සසරට බැස ගැනීම යි.

“කෙලෙස් ඇසුර නැති කෙනාට කම්පනයක් නැත්තේ ය” යනු සමස්ත වශයෙන් හෝ තෘෂ්ණාව සමඟ ඇසුරක් නැත, විදර්ශනා වශයෙන් හෝ දෘෂ්ටීන් සමඟ ඇසුරක් නැත යන්න යි. යම් විදර්ශනාවක් ඇත්ද මෙය විද්‍යාව යි. විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරයන් නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. මේ ආකාරයට නාමරූප, සළායතන, ස්පර්ශය, විඳීම, තණ්හාව, උපාදාන, භවය, ඉපදීම නිරුද්ධ වෙයි. මෙය පටිච්චසමුප්පාදය තුළින් නිවන් මගට බැස ගැනීම යි.

‘මෙලොව සිටීමක් නැත්තේ ය’ යනු ඇස, කන, නාසය ආදී ආධ්‍යාත්ම ආයතන සය තුළ නොපිහිටීම යි. ‘පරලොවෙහි සිටීමක් නැත්තේ ය’ යනු ස්පර්ශයෙන් හට ගන්නා දේ තුළත් ආත්මයක් නොදැකීම යි. ‘මේ සසර දුකෙහි අවසන් වීම යි’ යන්නෙහි ‘සසර දුක’ පටිච්ච සමුප්පාදය යි. ඒ පට්ච්චසමුප්පාදය දෙපරිදි වේ.

01. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙයි යනුවෙන් පටන් ගෙන ජරා මරණ තාක් ඇත්ද එය ලෞකික පටිච්චසමුප්පාදය යි.

02. සිල්වතාට පසුතැවිලි නැති බව උපදියි යනුවෙන් පටන් ගෙන නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැත්තේ ය යයි දැන ගන්නේ ය යනුවෙන් අවසන් වෙයි ද එය ලෝකෝත්තර පටිච්චසමුප්පාදය යි.

“යේ කේචි සෝකා පරිදේවිතාවා
දුක්ඛඤ්ච ලෝකස්මිං අනේකරූපං
පියං පටිච්ච පභවන්ති ඒතේ
පියේ අසන්තේ න භවන්ති ඒතේ”
(උදාන පාලි – විශාඛා සුත්‍රය)

“ලෝකයෙහි යම් කිසි ශෝක වැළපීම් වෙත් ද නොයෙක් ස්වභාවයෙන් යුතු දුකකුත් වෙයි ද මේ ශෝක වැළපීම් ආදිය උපදින්නේ ප්‍රිය වූ දේ නිසා ය. ප්‍රිය වූ දේ නැති වූ විට ශෝක වැළපීම් ඇති නො වේ.”

ලෝකයෙහි යම් කිසි ශෝක වැළපීම් වෙත් ද නොයෙක් ස්වභාවයෙන් යුතු දුකකුත් වෙයි ද මේ ශෝක වැළපීම් ආදිය උපදින්නේ ප්‍රිය වූ දේ නිසා ය යන මෙය දුක් විඳීම ය. ප්‍රිය වූ දේ නැති වූ විට ශෝක වැළපීම් ඇති නොවෙයි යන මෙය සැප විඳීම යි. මෙය වේදනා ස්කන්ධය යි. එමෙන් ම, විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙයි. තණ්හාව හේතුවෙන් ග්‍රහණය වීම වෙයි. ග්‍රහණය වීම හේතුවෙන් භවය වෙයි. භවය හේතුවෙන් ඉපදීම වෙයි. ඉපදීම හේතුවෙන් ජරා මරණ ශෝක වැළපීම් ආදී දුක් දොම්නස් උපායාසයන් හට ගනී. මෙය පටිච්චසමුප්පාදය තුළින් සසරට බැස ගැනීම යි.

“තස්මාහි තේ සුඛිනෝ වීතසෝකා
යේසං පියං නත්ථි කුහිඤ්චි ලෝකේ
තස්මා අසෝකං විරජං පත්ථයානෝ
පියං න කයිරාථ කුහිඤ්චි ලෝකේ’ ති”

“යම් කෙනෙකුන් හට ලෝකයෙහි ප්‍රිය වූ දෙයක් කිසිම තැනක නැද්ද එනිසා ම දුරු වූ ශෝක ඇති ඒ රහතන් වහන්සේලා සැප සේ සිටිති. එහෙයින් ශෝක නැති – කෙලෙස් නැති නිවන පතමින්, ලෝකයෙහි කිසි තැනක ප්‍රිය වූ දෙයක් ඇති නොකර ගන්නේ ය.”

මේ දෙසුමෙන් අදහස් කරන්නේ තෘෂ්ණාව නැති කිරීම යි. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ආදී සියලු දුක් නිරුද්ධ වී යයි. මෙය පටිච්චසමුප්පාදය තුළින් නිවන් මගට බැස ගැනීම යි.

“ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ස්වභාව ඇති කිසියම් කාම අරමුණක් කැමති වන කෙනාට ඉදින් එය තමන්ට ලැබෙයි නම් තමා කැමති වූ ඒ දේ ලබා ගත් ඒ මනුෂ්‍යයා ඒකාන්තයෙන් ප්‍රීති සිතක් ඇත්තේ වෙයි. ඉදින් කාමයන් කැමති ව, කාමයන් කෙරෙහි ආශාව උපදවාගෙන සිටින ඒ සත්වයාගේ ඒ කාමයන් පිරිහී නැති වී යත් නම්, ඔහු විෂ පෙවූ හුළකින් පහර කෑ කෙනෙකු සෙයින් හඬා වැළපෙයි.”

(සුත්ත නිපාතය – කාම සූත්‍රය)

එහිලා ප්‍රීතිමත් සිත් ඇති බවක් ඇත්ද මෙය ඇලීම යි.

“විෂ පෙවූ හුලකින් විදිනු ලැබූවෙකු සෙයින් වැනසෙයි” යන මෙය ගැටීම යි. ඇලීම ගැටීම යන මේවා තෘෂ්ණාවට අයත් ය. තෘෂ්ණාවට ආසන්න කාරණය රූපවත් වූ දසායතනයන් ය. ඒ රූපවත් වූ දසායතනයන් රූපකාය, නාමකාය හා එක්ව තිබේ. ඒ දෙක නාමරූප යි. නාමරූප නිසා ආයතන හය ඇති වෙයි. ආයතන හය හේතුවෙන් ස්පර්ශය ඇති වෙයි. මේ ආකාරයට තෘෂ්ණාව, උපාදාන, භවය, ඉපදීම ඇති වෙයි. ඉපදීම නිසා ජරා මරණ ආදී සියලු දුක් හට ගනී. මෙය පටිච්චසමුප්පාදය තුළින් සසරට බැස ගැනීම යි.

“යෝ කාමේ පරිවජ්ජේති – සප්පස්සේ’ව පදා සිරෝ
සෝ’මං විසත්තිකං ලෝකේ – සතෝ සමතිවත්තතී’ති”

“මැරෙනු නොකැමති, ජීවත් වනු කැමති කෙනෙක් විෂඝෝර සර්පයෙකුගේ හිස අසලින් තම පාදය වහා ඉවත් කර ගන්නා සෙයින් යමෙක් පංචකාමයන් දුරු කරයි ද ඔහු සිහියෙන් යුක්තව ලෝකය කෙරෙහි ඇති තෘෂ්ණාව ඉක්මවා යයි.”

(සුත්ත නිපාතය – කාම සූත්‍රය)

මේ උපාදිසේස සහිත වූ නිර්වාණ ධාතුව යි. ඒ උපාදිසේස සහිත වූ නිර්වාණ ධාතුව යනු විද්‍යාව යි. විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරයන් නිරුද්ධ වෙති. මේ ආකාරයට විඤ්ඤාණය, නාමරූප, සළායතන, තණ්හාව, උපාදාන, භවය, ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් ආදී දුක්දොම්නස් නිරුද්ධ වී යයි. මෙය පටිච්චසමුප්පාදය තුළින් නිවනට බැස ගැනීම යි.

මේ ආකාරයට පටිච්චසමුප්පාදය මෙන් ම ඉන්ද්‍රිය ස්කන්ධ ධාතු ආයතන යන ධර්මයන් නවාංග ශාස්තෘ ශාසනයෙහි බහාලමින් නිවන් මගට බැස ගැනීම තුළ ධර්මය කරා ගෙන යාම බෙදා දැක්වීම (ඕතරණ හාර විභංගය) පිළිබඳ අසිරිමත් විග්‍රහයක් නෙත්තිප්ප්‍රකරණය තුළ මහාකච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලදී.

එක්තරා අවස්ථාවක දී පටිච්චසමුප්පාදය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළේ මේ හේතුඵල දහම ඉතාමත් ම ගාම්භීර ධර්මයක් බවත්, මෙය අවබෝධ නොවීම නිසා ම ලෝක සත්වයා කැඳේ දැමූ පැටලී ගිය නූල් බෝලයක් මෙන් නොයෙකුත් මතවාදවල පැටලෙමින් මේ සසර අර්බුදය ලිහා ගැනීමට නොහැකිව මුළාවෙන් මුළාවට පත්ව සිටින බවයි. කෙනෙකු පටිච්චසමුප්පාදයේ හට ගැනීම හා නැති වීම අවබෝධ කළ විට ජීවිත පැවැත්ම තුළ ඇති හේතුඵල ධර්මතාවය ඔහු අවබෝධ කරයි. කුසල් අකුසල් පිළිබඳ නිවැරදි වටහා ගැනීමකට පැමිණෙයි.

සම්මා දිට්ඨිය, මිථ්‍යා දිටිඨිය හඳුනාගනී. චතුරාර්ය සත්‍යය පිළිබඳ සත්‍ය ඤාණයට පැමිණෙයි. තිසරණය කෙරෙහි නොසැලෙන ප්‍රසාදයකට පැමිණෙයි. සෝතාපත්ති අංග තුළ ස්ථාවර ව පිහිටයි. ඒ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියන්නේ. (දිට්ඨි සම්පන්නෝ ඉතිපි) ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත කෙනා කියන්නේ. (දස්සන සම්පන්නෝ ඉතිපි) ශ්‍රී සද්ධර්මයට පැමිණුනු කෙනෙකු කෙනා කියන්නේ. (ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි). ශ්‍රී සද්ධර්මය දකින කෙනා කියන්නේ. (සේඛේන ඤානේන සමන්නාගතෝ ඉතිපි) ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. (සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි) ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. (ධම්මං සෝතං සමාපන්නෝ ඉතිපි) දහම් සැඩපහරට පැමිණුන කෙනා කියන්නේ. (අරියෝ නිබ්බේධිකපඤ්ඤෝ ඉතිපි) ආර්යභාවයට පත් කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. (අමතද්වාරං අහෙච්ච තිට්ඨති ඉතිපි) ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.

මේ අයුරින් පටිච්චසමුප්පාදයේ හට ගැනීම නිරුද්ධ වීම අවබෝධ කළ කෙනා සංයෝජන තුනක් දුරු කොට සෝතාපන්න ඵලය සාක්ෂාත් කළ ආත්මභාව හතක් තුළ නියත වශයෙන් ම සසර ගමන නිමා කරන කෙනෙකු බවට පත් වෙයි. එනිසා මේ පටිච්චසමුප්පාදය පිළිබඳ ඉගෙන ගැනීම, කට පාඩම් කර ගැනීම, නිතර මෙනෙහි කිරීම, කල්පනා කිරීම ඒකාන්තයෙන් ම සසරේ කෙදිනක හෝ නිවන් අවබෝධය පිණිස හේතු වනු නියත ය.

ඇසුර – නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය) ග්‍රන්ථය.

 

හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක් – 01 කොටස