යහපත් බිරින්දෑවරු වීමට කැමැත්තෙන් මේ ලෝකයේ බොහෝ යුවතියන් සිටිනවා. නමුත් කැමැත්ත තිබූ පමණින් ඒ සියලු දෙනාට ම යහපත් බිරිඳක් වීමට පුළුවන්කමක් නැහැ. මේ කාලයේ දී අපට අසන්න ලැබෙන දුක්, අඳෝනා, මැසිවිලි තුළ මේ ලෝකයේ බොහෝ කාන්තාවන් යහපත් බිරින්දෑවරු බව පෙනෙන්නට නැහැ. එනිසා ම අපි යහපත් බිරිඳක් වන්නේ කොහොමද? කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.
අපි ආදරයෙන් සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන් වන අපි යහපත් බිරිඳක් වන්නේ කොහොමද කියා වදාළා. උන්වහන්සේ වැඩ සිටි කාලයේ මේ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වුණා. අද වගේ ම ඒ කාලයෙත් සිටියා දුෂ්ට, කුරිරු ගති ඇති භාර්යාවෝ.
දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ ආරාධනාවෙන් එතුමාගේ මාලිගයට දානයන් සඳහා වැඩම කළා. එදින නිවසේ පිටුපස විශාල ශබ්දයක් සහිත ගෝරනාඩුවක් ඇසුණා. භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුතුමාගෙන් අසනවා, “සිටුතුමනි, කවුද මේ තරම් ශබ්දයෙන් කෑ ගසන්නේ? රණ්ඩු කරන්නේ?” කියා. සිටුතුමා කියනවා, “අනේ ස්වාමීනි, මේ අපේ පුතාට අලුත ගෙනා මනාලිය, අපගේ ලේලිය සුජාතා යි. ඇය නිවසේ සියලු දෙනා සමග ම පොඩි දෙයටත් රණ්ඩු කරනවා. කේන්ති ගන්නවා. බඩු පොළොවේ ගසනවා. භාග්‍යවතුන් වහන්සේට හෝ සඟරුවනටවත් ගරු සැලකිල්ලක් නැහැ” යැයි කියා සිටියා.
භාග්‍යවතුන් වහන්සේ සුජාතා ව කැඳවාගෙන අසා සිටියා, “පින්වත් සුජාතා මේ ලෝකයේ භාර්යාවන් හත් දෙනෙක් සිටිනවා. ඔබ අයත් වන්නේ මෙයින් කිනම් භාර්යාවට ද?” කියා.
ඇය කියනවා, “අනේ ස්වාමීනි, මම ඒ භාර්යාවන් ගැන දන්නේ නැහැ. ඒ ගැන මට කියා දෙන සේක්වා” කියලා. එතැන දී තමයි සප්තභාර්යා සූත්‍රය බුද්ධ දේශනාවට එකතු වන්නේ. අද සිටින ඕනෑම කාන්තාවක් මේ දේශනාව කියවා ගත්තොත් තමන් අයත් වන්නේ කුමන භාර්යාවට ද කියා තමන්ට ම දැන ගන්නට පුළුවන්. කැඩපත අසලට ගොස් මුහුණ බලා තමන්ගේ මුහුණ පිරිසිදු කර ගන්නවා වගේ සප්තභාර්යා සූත්‍රය කියවා බුද්ධ දේශනාවට අනුව ඇය අවංකව ම සිතුවොත් තමන් කුමන භාර්යාවක් ද කියා සිතා ගන්න පුළුවන්.
භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයටයි භාර්යාවන් ගැන සුජාතාට කියා දුන්නේ. “පින්වත් සුජාතා, මේ ලෝකයේ සිටිනවා වධක භාර්යාව කියා කාන්තාවක්. ඇය හරි දුෂ්ටයි. විවාහ වූ පසුව ඇගේ දුර්ගුණ මතු වෙනවා. ඇයට තම ස්වාමියා පිළිබඳ ව අංශුමාත්‍රයක හිතානුකම්පාවක් නැහැ. ඔහුගේ අසනීපයකට, දුකකට බලන්නේ නැතුව, ව්‍යාපාර කටයුත්තකට උදව් උපකාර නොකර, ආදරයෙන් කතාබහ නොකර අනෙක් පුරුෂයන් ගැන හිත හිතා අනෙක් ස්වාමියන් ඇසුරු කරනවා” කියනවා. තමාගේ ස්වාමියාට අඩු සැලකිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇය යම් දිනක මිය ගියේ ද එසැණින් දුගතියේ උපදින බව.
බුද්ධ කාලයේදීත් සිටියා එවැනි භාර්යාවෝ. ඒ කාලයේ රේවතී කියලා කාන්තාවක් සිටියා. ඇයගේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයෙක්. ඔහු නිතර සිල් රැක්කා, නිතර ම දන් පැන් පූජා කළා. නමුත් රේවතී ඒ කිසිදු පිනකට සහභාගි වුණේ නැහැ. ඒ හැම පිනකට ම ගැරහුම් කළා. මහා සංඝරත්නයට අපහාස කළා. ස්වාමියා සමඟ රණ්ඩු කළා. ඔහුට නින්දා අපහාස කළා. නමුත් ස්වාමියා ධර්මයේ පිහිට ලබන නිසා ඉවසුවා. ඇයගේ අයහපත් රටාව නිසා අවසාන කාලයේ යමපල්ලෝ එනවා නිරයට ඇදගෙන යන්න. මේ විස්තර අද ඉන්න සෑම කාන්තාවක් ම දැනගන්න ඕනේ.
ඉතින් මේ ස්වාමියා ඉතාමත් පුණ්‍යවන්තයිනේ. ඔහු මනුස්ස ලෝකයේ සිටිය දී ම දිව්‍ය ලෝකයේ ඔහු වෙනුවෙන් දිව්‍ය ප්‍රාසාදයක් පහළ වෙලා තිබුණා. යමපල්ලෝ ඇයව දිව්‍ය ලෝකය හරහායි නිරයට එක්කන් යන්නේ. යමපල්ලෝ ඇයට කියනවා “මේ මාලිගය මනුස්ස ලෝකයේ ඉන්න නන්ද උපාසකගේ” කියලා. ඉතින් රේවතී කියනවා “මම නන්ද උපාසකගේ බිරිඳ. ඒ නිසා මටත් මේ මාලිගයේ අයිතියක් තිබෙනවා. මම මේ විමානයේ නවතිනවා” කියලා. යමපල්ලෝ කියනවා “ඔබ කළේ පව් විතරයි. නමුත් ඒ උපාසක හුඟාක් පින් කළ කෙනෙක්. ඔහුට විතරයි මේ විමානය අයිති.” එහෙම කියලා ඇය නිරයට වීසි කළා. ඇය තවමත් නිරයේ පැහෙනවා ඇති. එහෙනම් වධක භාර්යාවට සැනසීමක් නැහැ.
භාග්‍යවතුන් වහන්සේ නැවත වදාළා, “පින්වත් සුජාතා තව භාර්යාවක් ඉන්නවා, සොර බිරිඳක්. තමන්ගේ ස්වාමියා මහන්සි වෙලා ධනය උපයනවා. ඔහු නොමැති අවස්ථාවක් බලා ඇය මුදල් සොරා ගන්නවා. ඉන් පසු සොරකම් කළේ නැහැ වගේ ඉන්නවා. මේ චෝරී භාර්යාවත් වැටෙන්නේ නිරයට යි.” අද කාලේ වුවත් චෝරී භාර්යාවන් ඕන තරම් ඇති. කවුරුත් දන්නේත් නැතුව ඇති ඇය සෙරක් කියලා. එළියට පෙන්වන මුහුණ නොවේ ඇගේ චරිතය. නමුත් ඒ වෙස් මුහුණ මරණාසන්න අවස්ථාවේ දී ඇයට ම ගලවා ගන්න වෙනවා. එවිට ඉතාමත් දුක සේ පසුතැවෙන ඇයත් නිරයේ වැටෙනවා.
ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා අපි අතරේ ආර්යාව වගේ භාර්යාවක් ද සිටිනවා. ඇය නිවසේ කිසිදු වැඩක් කරන්නේ නැහැ. හැම වැඩක් ම දාසියන්ට කියනවා. නිවසේ වැඩ, ස්වාමියාගේ, දරුවන්ගේ, මව්පියන්ගේ වැඩ කරන්න හරි අකමැතියි. ඇය නිතර ම රස රස කෑම හදමින්, ඒවා භුක්ති විඳිමින් සිටින්නේ. ශරීරය වෙහෙසා වැඩක් කරන්නේ නැහැ. ඒ වගේ ම ඇය සැඩපරුෂයි. ස්වාමියාට නිරන්තරයෙන් ම දරුණු වචනවලින් බණිමින්, කෑ ගසමින් ඉන්නේ. ස්වාමියා මැඩගනිමින් ඉන්නේ. පිරිසක් මැදට ගියාම ස්වාමියාගේ ගුණ කියන්නේ නැහැ. නිතරම ඔහු පහත් කරනවා. අගුණ ම කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ආර්ය භාර්යාවත් නිරයේ යන තැනැත්තියක් කියලා. මනුස්ස ලෝකයේ දී කරන අකුසල් නිසා මේ භාර්යාවන් තුන්දෙනාට ම යන්න පාර කැපී තිබෙන්නේ නිරයේ උපතකට යි.
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් සුජාතා, යහපත් ගුණගරුක භාර්යාවෝ හතර දෙනෙකුත් අපි අතර සිටිනවා. මේ හතර දෙනාගේ ජීවිත සුන්දරයි. මරණින් මතු සුගතියේ ඉපදෙනවා.” පළමුවැන්නිය මාතෘ භාර්යාව යි. ඇය තම ස්වාමියාට අම්මා කෙනෙක් වගේ. නිතර ම ස්වාමියාට හිතානුකම්පාවෙන් යුක්ත යි. ඇය සිතනවා ‘අනේ මගේ ස්වාමියා අපි වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. දුක් මහන්සි වෙලයි මේ හැම දේ ම කරන්නේ. අනේ මගේ ස්වාමියාට තව තවත් හරියන්න ඕනේ’ කියා ඇය මුළු සිතින් ම ප්‍රාර්ථනා කරනවා. අම්මා කෙනෙක් නිරන්තරයෙන් දරුවා ගැන සොයනවා වගේ මේ මාතෘ භාර්යාවත් සැමියාට අම්මා වගේ. බුද්ධ කාලයේ සිටි විශාඛාවත් ඒ වගේ භාර්යාවක්. ඇය අම්මා වගේ සියලු දෙනාට සැලකුවේ. දරුවෙකු රකින අම්මා වගේ ස්වාමියා ව රකින මේ බිරියට හිමිවෙන්නේත් සුගති ලෝකය යි.
ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා භගිනි භාර්යාව ගැන. ඇය ස්වාමියාට නැගණියක් වගේ. නිවසේ වැඩිහිටි සහෝදරයෙක් සිටිනවා නම් බාල නැගණියන් හඬ නගා කතා කරන්නේ නැහැ. සිනාසෙන්නේ නැහැ. විහිළු කරන්නේ නැහැ. ඇය තම ස්වාමියා ළඟ බාල සහෝදරියක් සිටින ආකාරයට ඉතාමත් ගෞරවයෙන් ඉන්නේ. ස්වාමියා ඉදිරියේ ලැජ්ජා භයෙන් ඉන්නේ. ඇය භගිනි භාර්යාව යි. ඇයට උරුම වන්නේත් සුගති ලෝකය යි.
භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊළඟ භාර්යාව සකී භාර්යාව යි. ඇය තම ස්වාමියාට යෙහෙළියක් වගේ. ස්වාමියා දුටුවා ම ඇය හුඟාක් සතුටු වෙනවා. සුගති ලෝකයට යන වටිනා ජීවිතය ගත කරන සකී භාර්යාව බොහෝ කලකින් තමන්ට මුණගැසුන යහළුවෙක් දුටුවා වගේ ස්වාමියාට ආදරයෙන්, ගෞරවයෙන් සලකනවා. ඇය සමාදන් වූ සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. මනා පිළිවෙත් ඇතිව වාසය කරනවා. අද කාලයේ නම් මෙහෙම භාර්යාවන් සොයා ගන්නවා කියන එක ඉතාමත් දුර්ලභයි.
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වදාළ දාසිය වගේ ජීවත්වන භාර්යාවක් ගැන. ඇය නිවසේ දාසියක් වගේ. ස්වාමියාගෙන් කිසිදු සැපයක් ඇයට නැහැ. නිතර ම පහර දෙනවා, තර්ජනය කරනවා, නපුරු වචන කියනවා. එසේ මොනවා කළත් මේ භාර්යාව ඉවසාගෙන සිටිනවා. ඇය ස්වාමියා කෙරෙහි දුෂ්ට සිතක් ඇතිකර ගන්නේ නැහැ. ස්වාමියා කියන දෙයට එකටෙක කියන්නේ, කරන්නේ නැහැ. ස්වාමියාගේ වැරදි තැන තැන කියාගෙන යන්නේ නැහැ. ‘අනේ මේ මගේ ස්වාමියා’ කියා ඒ වැරදි ඉවසනවා. ඇයගේ ඉවසීම, කරුණාව නිසා ම ඇයත් මරණින් මතු සුගතියේ ඉපදෙනවා.
අද කාලයේ සිටින තරුණ දියණිවරුන් මේ භාර්යාවන් ගැන දැන ගන්නවා නම්, ඔවුන්ට සුගති, දුගති ලෝක තෝරා බේරා ගන්න පුළුවන් වේවි. තමන්ගේ ස්වාමියා ලෙඩක් දුකක් වෙලා එක්තැන් වුණොත්, ව්‍යාපාර අසාර්ථක වුණොත් ආදී දේ ඉදිරියේ ඔහුගෙන් වෙන් වෙන කාන්තාවන් සිටිනවා. නමුත් සුගතියේ ඉපදෙන කාන්තාව ඊට හාත්පසින් ම වෙනස්.
ඔබ අසා ඇති මේ ලෝකයේ සිටි උතුම් ම කාන්තාව ගැන. කවුද ඒ? ඇය යශෝධරා. ඈත සංසාරයේ අප බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගනිද්දී යශෝධරා එතැන සිටයි ‘ඒ උතුමාට සංසාරයේ සෑම ආත්මයක ම බිරිය වේවා! ශක්තිය වේවා!’ කියා පැතුවේ. ඒ ආකාරයට සෑම ආත්මයක ම ඇය බෝසතාණන් වහන්සේගේ බිරිය වූවා. ශක්තිය වූවා. දේශනාවේ සඳහන් වෙනවා ඇය බෝසතාණන් වහන්සේගේ සෑම ජීවිතයක ම මාතෘ භාර්යාව, භගිනි භාර්යාව, සකී භාර්යාව, දාසි භාර්යාව වගේ කටයුතු කළේ කියලා. කිසිදු ආත්මයක වධක, චෝරි, ආර්ය භාර්යාව වූයේ නැහැ කියනවා. ඒ වගේ උත්තමාවියක් අද අපිට සරණ යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා.
ඒ නිසා කාන්තා අපගේ ජීවිතයට තවත් පරමාදර්ශයක් ඕනේ නැහැ. ඇය ස්වාමියා කරදරයක සිටිය දී අතැහැර ගියේ නැහැ. සඳකිඳුරු ජාතකය අපට එයට නිදසුනක්. බෝසතාණන් වහන්සේ නිවන සොයාගෙන පිටත් වූ පසු ඇය සාප කළේ නැහැ. අඳෝනා කිව්වේ නැහැ. යශෝධරා සසර පුරා ම බෝසතාණන් වහන්සේට යහපත් භාර්යාවක් වුණා.
මේ ලෝකයේ මේ වන විට බොහෝ පවුල්වල ආරවුල්, ප්‍රශ්න නිසා ජීවිත දෙදරා ගොස් තිබෙනවා. බොහෝ විට එසේ වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට යහපත් භාර්යාවක් නොවුණ නිසා. බොහෝ කාන්තාවන්ට යහපත් භාර්යාවක් වීමට අපහසු වී තිබෙනවා. මේ දේශනාව කියවා ඔබත් තේරුම් ගන්න මමත් නිරයේ යන කාන්තාවක් ද? සුගතියේ යන කාන්තාවක් ද? කියලා. එයින් ඔබට ගොඩයන්න පුළුවන්. නැත්නම් නිරයට ගිහින් උඩුකුරුව වැටෙන තුරා දන්නේ නැහැ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසා වදාළා, “සුජාතා, මේ භාර්යාවන්ගෙන් ඔබ ඇතුළත් වන්නේ කුමන භාර්යාවට ද?” කියලා. සුජාතා කියනවා, “අනේ ස්වාමීනි, මම අද සිට මගේ ස්වාමියාගේ දාසි භාර්යාව වෙනවා.” කියලා.
එනිසා, අද දවසේ ජීවත් වන දියණියන්ට, භාර්යාවට, කාන්තාවට කරන්න තිබෙන්නේ මෙය යි. මේ බුද්ධ දේශනාව කියවා තමන් දුකට අකමැති නම්, නිරයේ යන්න අකමැති නම් ඉහත සඳහන් කළ ආකාරයේ දුෂ්ට භාර්යාවක් වෙන්න එපා. සැපට කැමැති නම්, සුගතියේ යන්න කැමැති නම් සුන්දර, යහපත් හදවතක් ඇති භාර්යාවක් වෙන්න උත්සාහ කරන්න.
සාකච්ඡා සටහන – නයනා නිල්මිණි
Recent Comments