අපගේ භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ව පරිපූර්ණ වශයෙන් ම, ගුරූපදේශ නැතිව ම, බෝධි මූලයේ දී ම අවබෝධ කළ සේක. ජරා මරණ හට ගන්නේ ඉපදීමෙන් බවත්, උපදින්නේ භවය නිසා බවත්, භවයට හේතුව උපාදානය බවත් අපගේ ශාස්තෲන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට හෙළිදරව් කළ සේක. උපාදාන තණ්හාවෙන් හටගන්නා අතර තණ්හාවට හේතුව විඳීම යි. විඳින්නේ ස්පර්ශය නිසා ය. ස්පර්ශය හටගන්නේ ආයතන හය මුල් කොටගෙන ය. මේ ආයතන හය නාමරූපයෙන් හටගන්නා අතර නාමරූප විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් ඇති වේ. එමෙන්ම මේ විඤ්ඤාණය සංස්කාර මුල්කරගෙන හටගන්නා අතර සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසා ය. මෙය පටිච්ච සමුප්පාදය යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉපදීම නිසා ජරා මරණ හටගන්නා ස්වභාවය (ජාති පච්චයා ජරා මරණං) තථාගතවරු පහළ වුණත්, නොවුණත් ‘ඨිතාව සා ධාතු’ මේ ලෝක ස්වභාවය තිබෙන බවයි. මේ ස්වභාවය හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම බවත් (ධම්මට්ඨිතතා), හේතුඵල ධර්මයන් පවතින නීතිය බවත් (ධම්ම නියාමතා), මේ හේතුවෙන් මේ ඵලය හට ගනී යන ස්වභාවය (ඉදප්පච්චයතා) බවත් අපගේ බුදුරජාණෝ දේශනා කොට වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලින් උපන්නා වූ, ආර්ය පුත්‍ර වූ ඒ උතුම් රහතන් වහන්සේලා ද මේ දුක හටගන්නා හේතුඵල ධර්මතාවය අවබෝධ කරති. එසේ අවබෝධ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ හේතුඵල දහමේ නීතිය ශ්‍රාවකයන්ට දේශනා කිරීමෙනි, පැනවීමෙනි, පිහිටුවීමෙනි, විවර කොට බෙදා පෙන්වීමෙනි, ඉස්මතු කිරීමෙනි. මතු දැක්වෙන්නේ අපගේ මහා කච්චායන මහරහතන් වහන්සේ හේතුඵල දහම පිළිබඳවත්, දුකින් නිදහස් වීම පිළිබඳවත් කළ අපූරු විග්‍රහයක් ඇසුරින් සැකසුනකි.

සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු ආස්වාදය ඇතිවෙන අරමුණු ඒ ඒ ඉඳුරන්ට ලැබෙන ආකාරයෙන් මෙනෙහි කරති. මෙය අයෝනිසෝ මනසිකාරය නම් වේ. ඒ අයෝනිසෝ මනසිකාරයට ආසන්න කාරණය අවිද්‍යාව යි. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති අනවබෝධය යි. සත්‍යය මුළාකරවන ලක්ෂණය අවිද්‍යාව යි. ඒ අවිද්‍යාව සංස්කාරයන්ට ආසන්න කාරණයකි. පටිච්ච සමුප්පාද, විභංග ආදී සූත්‍ර දේශනාවලදී සංස්කාර වර්ග තුනක් විස්තර වෙයි. එනම්, කය හා බැඳුණු ආශ්වාස, ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර, වචනය හා බැඳුණු විතක්ක විචාර නම් වූ වචී සංස්කාර සහ සිත හා බැඳුණු වේදනා, සඤ්ඤා නම් වූ චිත්ත සංස්කාර යි. එනමුදු මෙහි දී රහතන් වහන්සේ සංස්කාර විස්තර කරන්නේ මෙපරිද්දෙනි. ‘නැවත නැවතත් භවය ඇති කොට දෙන ලක්ෂණය සංස්කාර යි’. ඒ සංස්කාරයෝ විඤ්ඤාණයට ආසන්න කාරණය යි.

බුද්ධ දේශනාවල සය ආකාර වූ විඤ්ඤාණය ගැන සඳහන් වේ. එනම්, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ ආදී ආයතන හයේ හටගන්නා විඤ්ඤාණය යි. විඤ්ඤාණයේ ස්වභාවය නම් විශේෂයෙන් දැන ගැනීම යි. ඇස මුල් කරගෙන රූප දැන ගනී. එනම් විඤ්ඤාණය ඇසේ හට ගනී. එවිට රූප පෙනෙයි. ආයතන සයේ ම මේ ආකාර වේ. “චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං” යනුවෙන් ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හටගනී. “විඤ්ඤාණං බීජං” විඤ්ඤාණය පැළ වෙන ස්වභාවය ඇති දෙයකි. මහා කච්චාන රහතන් වහන්සේ මෙහිදී විඤ්ඤාණය විස්තර කරන්නේ ඉපදීමක් උදෙසා පැමිණීමේ ලක්ෂණය වශයෙනි. කෙනෙකු මවුකුසක පිළිසිඳ ගන්නා විට නාමරූපයෙහි බැස ගන්නේ පෙර ජීවිතයේ චුත වූ විඤ්ඤාණය යි. ඒ විඤ්ඤාණය නාමරූපයට ආසන්න කාරණය යි.

බුදුරජාණන් වහන්සේ රූප විස්තර කරන්නේ සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හට ගත්තු රූපත් වශයෙනි. වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර වශයෙන් නාම කොටස් පහකි. එනම් නාමරූප යනු ඉහත සඳහන් කළ රූප, වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර යන ඒවා ය. රහතන් වහන්සේ නාම කායේත්, රූප කායේත් එකට එකතු වීමේ ලක්ෂණය නාමරූප වශයෙන් දක්වයි. ඒ නාමරූපය ආයතන හයට ආසන්න කාරණය යි.

ඇස, කන, නාසය, දිව, කය, මනස යනු සළායතන යි. මේවා ආයතන කියා හඳුන්වන්නේ ‘සසර දුක උපද්දවන තැන’ යන අර්ථයෙනි. ආයතන හටගන්නේ නාමරූපයෙනි. ඉපදීමත් සමඟ ආයතනයන්ගේ ලැබීම සිදු වේ. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිළිවෙළකට සකස් වීමේ ලක්ෂණය ආයතන හය යනුවෙන් කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරයි. ඒ ආයතන හය ස්පර්ශයට ආසන්න කාරණය යි. “තිණ්ණං සංගති ඵස්සෝ” කරුණු තුනක එකතු වීම ස්පර්ශය යි. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් එක් කිරීමේ ලක්ෂණය ස්පර්ශය යි. ඒ ස්පර්ශය විඳීමට ආසන්න කාරණය යි. සැප දුක්, උපේක්ෂා යනුවෙන් විඳීම් තුනකි. ස්පර්ශය සැප සහගත නම් සැප විඳීම හටගනී. ස්පර්ශය දුක් සහගත නම් දුක් විඳීම හටගනී. බුදුරජුන් විඳීම දිය බුබුළකට උපමා කොට තිබේ. කච්චාන මහරහතන් වහන්සේ විඳීම විස්තර කරන්නේ ඉෂ්ට අනිෂ්ට අරමුණු භුක්ති විඳීමේ ලක්ෂණය වශයෙනි. ඒ විඳීම තෘෂ්ණාවට ආසන්න කාරණය යි.

සිත ඇදී ගිය අරමුණට බැස ගැනීමේ ලක්ෂණය තෘෂ්ණාව යි. “පෝනෝභවිකා” යළි භවය ලබා දෙන, “නන්දිරාග සහගතා” ආස්වාදයෙන් ඇලෙන සුලු, “තත්‍රතත්‍රාභිනන්දිනී” ඒ ඒ තැන සතුටින් පිළිගන්නා යම් මේ තණ්හාවක් ඇත්ද, එය දුකේ හටගැනීම බව බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී වදාළ සේක. ඒ තෘෂ්ණාව දැඩි ග්‍රහණයට (උපාදානයට) ආසන්න කාරණය යි.
බුද්ධ දේශනාවේ කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද යනුවෙන් උපාදාන සතරක් ගැන සඳහන් වේ. උපාදාන යනු ‘දැඩිව බැඳී යාම’ යන අදහස යි. අපගේ මහරහතන් වහන්සේ විස්තර කරන්නේ සසර පැවැත්ම ඉදිරියට පමුණුවාලීම, ග්‍රහණයට හසු වීම හෙවත් උපාදානය වශයෙනි. ඒ උපාදානය විපාක පිණිස කර්ම සකස් වීම හෙවත් භවයට ආසන්න කාරණය යි.

ධර්මය තුළ කාම භව, රූප භව, අරූප භව යනුවෙන් භව තුනක් විස්තර කරයි. බුදුරජාණන් වහන්සේ භවය විස්තර කරන්නේ “කම්මං ඛෙත්තං” (කර්මය තමයි කුඹුර), “විඤ්ඤාණං බීජං” (විඤ්ඤාණය තමයි බීජය), “තණ්හා සිනේහෝ” (තණ්හාව තමයි තෙතමනය) යනුවෙනි. කර්මය නමැති කුඹුරෙහි විඤ්ඤාණය නම් බීජය තණ්හාවෙන් තෙත් වෙවී පැළ වේ. එය භවය යි. එනම්, විපාක පිණිස කර්ම රැස් වීම යි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම රැස් වීම කාම භවය යි. රූප හා අරූප ධාතුවේ ද එසේ ම ය. රහතන් වහන්සේට උපාදාන සතර ම නිරුද්ධ බැවිනුත්, තණ්හාව වියළා ඇති බැවිනුත් මතු විපාක පිණිස කර්ම රැස් නො වේ. විඤ්ඤාණය නොපැළවී නිරුද්ධ වී යයි. අපගේ මහා කච්චායන මහරහතන් වහන්සේ භවය විස්තර කරන්නේ නාම කය, රූප කය උපදවන ලක්ෂණය භවය වශයෙනි. කර්මය නමැති කුඹුරේ විඤ්ඤාණය පැළ වෙන්නේ නාමරූපයෙහි බැසගෙන ය. නාමරූපයෙන් තොරව විඤ්ඤාණයට පැවැත්මක් නොමැත. රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, චේතනාවේ බැසගෙන විඤ්ඤාණය පවතින බව බුද්ධ දේශනාවේ සඳහන් ය. මව්කුසක ද නාමරූපයේ බැසගෙන විඤ්ඤාණය පිහිටයි. කෙනෙකු මිය ගිය විට චුතවන විඤ්ඤාණය කර්මානුරූපී ව උපතක් කරා යන්නේ භවය මුල් කරගෙන ය. එනම්, කෙනෙකු මිය ගිය විට චුත වන විඤ්ඤාණය භවගාමී විඤ්ඤාණයකි. එමඟින් පිළිසිඳ ගන්නා විඤ්ඤාණය නාමරූප ප්‍රත්‍යයෙන් වර්ධනය වේ. එම නිසා නාමරූප උපදවන ලක්ෂණය භවය යනුවෙන් දක්වන ලදී. ඒ භවය ඉපදීමට ආසන්න කාරණය යි.

“ආයතනානං පටිලාභෝ” යනුවෙන් ඇස, කන, නාසය ආදී ආයතනයන්ගේ ලැබීම ඉපදීම යි. “ඛන්ධානං පාතුභාවෝ” යනුවෙන් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන්ගේ පහළ වීම ඉපදීම යි. පෙර දැක්වූ පරිදි කර්මානුරූපී ව චුත වූ විඤ්ඤාණය මවුකුසක නාමරූපයේ බැස ගැනීමෙන් ඇස, කන ආදී ආයතන නිර්මාණය වේ. එනිසා ඇස, කන ආදී ආයතන ඒ නම්වලින් හැඳින්වුව ද එහි තිබෙන්නේ ක්‍රියාකාරීත්වය සහිත නාමරූපයන් ය. යම් තැනක විඤ්ඤාණය ඇත්ද එතන නාමරූප ඇත. යම් තැනක නාමරූප ඇත් ද එතන ආයතන හය ඇත. යම් තැනක විඤ්ඤාණය ඇත් ද එතන උපාදානස්කන්ධ පහ ම පවතී. මේ ආකාරයෙන් විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයත් සමඟ නාමරූපයන්ගේත්, ආයතනයන්ගේත්, උපාදානස්කන්ධයන්ගේත් සම්බන්ධය එකිනෙකට බැඳී පවතී. රහතන් වහන්සේ ඉපදීම දක්වන්නේ ‘ස්කන්ධයන්ගේ පහළ වීමේ ලක්ෂණය’ වශයෙනි. ඒ ඉපදීම ජරාවට ආසන්න කාරණය යි.

ශරීරය මෝරා යෑමේ ලක්ෂණය ජරාව යි. “ඉන්ද්‍රියානං පරිපාකෝ” යනුවෙන් ඇස්, කන් ආදී ඉඳුරන්ගේ මෝරා යෑම ජරාව ලෙස බුද්ධ දේශනාවේ සඳහන් ය. ඒ ජරාව මරණයට ආසන්න කාරණය යි. ඒ ඒ සත්වයන්ගේ චුත වීම, බිඳී යෑම, උපාදානස්කන්ධයන්ගේ බිඳී යෑම, ශරීරය බැහැර කිරීම මරණය වශයෙන් දේශනාවල විග්‍රහ කරයි. රහතන් වහන්සේ මරණය දක්වන්නේ ‘ජීවිතින්ද්‍රිය සිඳී යෑමේ ලක්ෂණය මරණය’ යනුවෙනි. ඒ මරණය ශෝකයට ආසන්න කාරණය යි.

“ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව…” යනුවෙන් ඉපදීම නිසා ජරාමරණ ආදී දුක් දොම්නස් හටගන්නා ආකාරය පටිච්ච සමුප්පාද විග්‍රහයේ දැක්වේ. මෙහි ද අපගේ මහාකච්චායන මහරහතන් වහන්සේ මරණය සමඟ අනෙකුත් දුක් හටගන්නා ආකාරයත්, එහි අන්‍යෝන්‍ය සබඳතාවත් මෙලෙස විග්‍රහ කරයි. මරණය ශෝකයට ආසන්න කාරණය යි. ශෝක සිත් තැවුල් බලවත් කරයි. එය හඬා වැළපීමට ආසන්න කාරණය යි. වැළපීම බොහෝ නන්දෙඩවිලි ඇති කරයි. එය දුකට ආසන්න කාරණය යි. දුක කයට පීඩාව ඇති කරයි. එය මානසික දුකට ආසන්න කාරණය යි. සිත පීඩාවට පත් වීම මානසික දුක යි. එය සුසුම් හෙළා වෙහෙසීමට ආසන්න කාරණය යි. සුසුම් හෙළමින් දැඩිව වෙහෙසීම තුළින් එහි ම සිත පිහිටුවීම ඇති කරයි. එය භවයට ආසන්න කාරණය යි.

සිත පීඩාවට පත් වීම තුළින් සුසුම් හෙළීමත්, දැඩිව සිත වෙහෙසීමෙන් එහි ම සිත පිහිටුවීමෙන් නැවත භවය සකස් වීමත් සිදුවන ආකාරය විස්තර කිරීම රහතන් වහන්සේගේ අසිරිමත් විග්‍රහයකි. තව දුරටත් මෙසේ භවය විස්තර කරයි. “යම් කලෙක මේ භවයට අයත් අංගයෝ එකට එකතු වෙත් ද උපදිත් ද තිබෙත් ද එය භවය යි.” එය සංසාරයට ආසන්න කාරණය යි. එසේ ම සසර දුකින් මිදීමට හේතුවන කරුණු පිළිබඳ අගනා විස්තරයක් ද මීළඟට හමු වේ.

“සසර දුකින් නිදහස් කර දෙන ලක්ෂණය මාර්ගය යි. එය දුක් උපදවන හේතූන් නිරුද්ධ වීමට ආසන්න කාරණය යි. නිවන් මඟ ඉගෙනගත හැකි බහුශ්‍රැතයෙකු ඇසුරු කරන බව ධර්මයෙහි හැසිරීමෙන් උපදින ප්‍රීතියට ආසන්න කාරණය යි. ධර්මයේ හැසිරීමෙන් ප්‍රීතිය උපදින බව සිව්පසයෙහි පමණ දැනීමට ආසන්න කාරණය යි. සිව්පසයෙහි පමණ දන්නා බව වීර්යය උපදනා අංගයෝ තමන් තුළ ඇති බව දැනීමට ආසන්න කාරණය යි. වීර්යය උපදනා පංච පධානීය අංගයෝ තමන් තුළ ඇති බව දැනීම පෙර ආත්මයන්හි කරන ලද පින් ඇති බවට ආසන්න කාරණය යි. පෙර ආත්මයන්හි කරන ලද පින් ඇති බව ආර්ය ධර්මය මුණගැසෙන පෙදෙසක වාසය කිරීමට ඇති ආසන්න කාරණය යි. ආර්ය ධර්මය මුණගැසෙන පෙදෙසක වාසය කිරීම සත්පුරුෂයන්ගේ ඇසුරට ඇති ආසන්න කාරණය යි. සත්පුරුෂයන්ගේ ඇසුර තමා ව නිවැරදි ඉලක්කයට පිහිටුවා ගැනීමට ඇති ආසන්න කාරණය යි.

තමා ව නිවැරදි ඉලක්කයට පිහිටුවා ගැනීම, සීලයට ඇති ආසන්න කාරණය යි. සීලය, විපිළිසර නොවීමට ඇති ආසන්න කාරණය යි. විපිළිසර නොවීම, ප්‍රමුදිත බවට ඇති ආසන්න කාරණය යි. ප්‍රමුදිත බව, ප්‍රීතියට ආසන්න කාරණය යි. ප්‍රීතිය, සැහැල්ලු බවට ආසන්න කාරණය යි. සැහැල්ලු බව, සැපයට ආසන්න කාරණය යි. සැපය, සමාධියට ආසන්න කාරණය යි. සමාධිය, සත්‍ය ස්වභාවය ඒ අයුරින් ම දැකීම හෙවත් යථාභූත දර්ශනයට ඇති ආසන්න කාරණය යි.

යථාභූත ඥාන දර්ශනය, අවබෝධයෙන් ම එපා වීමට ඇති ආසන්න කාරණය යි. අවබෝධයෙන් ම එපා වීම විරාගයට ඇති ආසන්න කාරණය යි. රාගය නැති වීම, දුක් උපදවන හේතූන්ගෙන් නිදහස් වීමට ඇති ආසන්න කාරණය යි. දුක් උපදවන හේතූන්ගෙන් නිදහස් වීම විමුක්තිය යි. දුක් උපදවන හේතූන්ගෙන් නිදහස් වීමෙන් විමුක්තිය ලැබූ බව, විමුක්ති ඥාන දර්ශනයට ආසන්න කාරණය යි. මෙසේ යම් කිසි ආශ්‍රයයක්, යම් කිසි උපකාරයක් ඇත් ද ඒ සියල්ල දුකින් නිදහස් වීමට ඇති ආසන්න කාරණය යි.” මේ අයුරින් අපගේ මහාකච්චාන මහරහතන් වහන්සේ විසින් විචිත්‍ර ලෙස ධර්මය කරා ගෙන යන ආසන්න කාරණය විග්‍රහ කරන ලදී.

ඇසුර: පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය) ග්‍රන්ථය.

 

හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක් – 02 කොටස