මේ ලෝකයේ අප කුඩා, තරුණ, මැදිවිය කාලයේ කෙසේ ගත කළත් අප හැමෝටම පාහේ මුහුණ දෙන්න සිදුවන කාලයක් තමයි ජීවිතයේ සැඳෑ සමය. අප මේ රූපය කෙසේ පවත්වාගෙන ගියත් ටික ටික වයසට යද්දී එය දිරා යනවා. මෙලෙස වයසට ගොස් ජීවිතයේ සැඳෑ සමයට එද්දී අපගේ ජීවිතයට රැකවරණයක් තිබුණේ නැති නම් ඒක අනතුරක්. තමාගේ ශරීරයේ ශක්තියක් තිබෙන කාලයේ, වැඩපළ කඩිසර ව කරන්න පුළුවන් කාලයේ දරුවන් මත්තේ ම කටයුතු කරනවා. යුතුකම් පමණක් ම කරනවා. බණක් දහමක් අසන්නේවත්, පිනක් දහමක් කරන්නේවත් නැහැ. “වැඩ වැඩ වැඩ” කියමින් ඒ සියල්ල අතපසු කරනවා. නමුත් තමන් වයසට ගිය පසු ඇයට ඉතිරිවෙන්නේ, සිහිකරන්න තිබෙන්නේ පසුතැවීමට යමක් පමණක් නම්…..? මේ ගැන අපි මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

****************************************************

පසුතැවීම හරියට මේ වගේ දෙයක්. සවස් කාලයේ නිවසේ පිළිකන්නයේ පුටුවක කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට නිවසේ සෙවණැල්ලෙන් ඔහු ව වසාගෙන යනවා. ඒ ලෙස තමයි ළමා කාලයේ, තරුණ කාලයේ, වැඩිහිටි කාලයේ තමන් කළ දේ, කී දේ, සිතූ දේ තමන් තනි වූ අවස්ථාවේ දී සෙවණැල්ල විසින් වසා ගන්නවා වගේ තමන් වසා ගන්නවා කියලා. මවක්, බිරිඳක් ලෙස ඇය දරුවන් හදාවඩා යුතුකම් ඉටුකරමින් බොහෝ කැපකිරීම් කරමින් කටයුතු කරනවා. ඇයගේ මුළු ජීවිතය ම දුකක්. ඒ දුකේ කෙළවරක් නැහැ. තමන්ට ශක්තිය තිබෙන කාලයේ ඇය සිතනවා ‘දැන් ම බණ අහන්න ඕනේ නැහැ. දරුවෝ ලොකුමහත් වුණා ම ඒ දේ කර ගන්න පුළුවන්’ කියා. නමුත් ඇය හොඳට ම වයසට ගිහින් තනි වූ විට ඇයට සිහි කිරීමට දෙයක් නැහැ.

ඕනෑම නිවසක බොහෝ දුක් විඳින්නේ ඒ නිවසේ අම්මායි. ඇය බොහෝ දුකක් වින්දත් ඒ සෑම දුකක් ම ඇය දරුවන් වෙනුවෙන් අමතක කරනවා. හරි පුදුමයි ඇය ස්වාමියා, දරුවන් වෙනුවෙන් විඳින දුක් කන්දරාව. ඒ අම්මා දස මාසයක් දරුවෙකු කුස හොවාගෙන අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ දුකේ ස්වභාවය තවත් අම්මා කෙනෙක් පමණයි දන්නේ. දරුවා කුසේ සිටින අවස්ථාවේ දී අම්මා කැමැති දෙයක් කන්නේ නැහැ. කැමැති දෙයක් බොන්නේ නැහැ. රස්නෙන්, සීතලෙන් ඇය පරිස්සම් වෙනවා. මලක් ආරක්ෂා කරනවා වගේ තමන්ගේ කුසේ දරාගෙන ඉඳලා දරුවා බිහි කරන්නේ.

ඒ දරු සෙනෙහසට අම්මාගේ ඇඟේ තිබෙන රතු ලේ ඒ ක්ෂණයෙන් සුදු කිරි බවට පත් වෙනවා. එදා සිට අම්මාට නින්දක් නැහැ. සුව සේ වාසය කිරීමක් නැහැ. දරුවා ටික ටික ලොකු මහත් කර ගන්නවා. දරුවා කුඩා අවදියේ බත් කටක් කවා ගන්න අම්මා අප්‍රමාණ දුකක්, පීඩාවක් විඳිනවා. ඒක හරියට පොඩි යුද්දයක් වගේ. එහෙම දුක සේ දරුවා උස්මහත් කර උගන්වා නිවැරදි මාර්ගය පෙන්වා දී යහමගට ගන්න ලොකු දුකක් විඳිනවා. දරුවා උස්මහත් කර රැකියා පවා සොයා දෙනවා. හරි පුදුමයි මේ දරුවා ලොකු වෙනකොට ඒ කිසිවක් ඒ දරුවන්ට මතක නැහැ. සමාජයට යන බොහෝ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා අමතක කර දමනවානේ. වැඩිහිටි නිවාසයකට ගියොත් අම්මලාගේ විලාපයක් අපට ඇසෙන්නේ. “අනේ දරුවෝ අපට මෙහෙම කරයි කියලා අපි හිතුවේ නැහැ. දරුවෝ ඇයි මේ විදිහට අපට සලකන්නේ…” කියමින් දුක සේ තමයි ඔවුන්ගේ සැඳෑ සමය ගෙවී යන්නේ. එසේ මහලු නිවාසයේ ජීවත් වුවත් සමහර අම්මලා තවමත් උඩඟුයි. තවමත් දරුවන්නේ ලොකුකම් සිතන්නේ, කියන්නේ. “අපේ දරුවෝ මේ මේ වගේ උසස් රැකියාවන් කරන්නේ” කියමින් තමාගේ අසල සිටින මිතුරියට පුරසාරම් කියමින් ඉන්නේ.

ජීවිතයේ සැඳෑ සමය ගෙවන සමහර අම්මලාට යන්න එන්න තැනක් නැහැ. හැම දරුවා ම අම්මාට තාත්තාට වෙනස්කම් කරනවා. එහෙම මව්වරුන් ඔවුන්ගේ දුක් කන්දරාව අපට කියනවා. ඒ වෙලාවට අපට සිතෙනවා ‘අනේ දරුවෝ ඇයි මෙහෙම මවුපියන්ට කරන්නේ’ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ එක ම දහම් පදයක්වත් ඒ දරුවන්ට අසන්න ලැබී නැතුව ඇති. ඒ නිසා ම බොහෝ අම්මලා දරුවන්ට වෛර කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ දරු සෙනෙහස කියන්නේ මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළු තුළට කිඳා බැස්ස එකක් කියලා. එහෙම හදාවඩා ගන්නා දරුවාට තමන්ගේ අම්මා තාත්තා එපා වෙනවානේ. අපි පුංචි කාලයේ අම්මා අපි ව තනි කළේ නැහැ. අපි කොහේ එක්කන් ගියත් අපේ අත අම්මා අතහැරියේ නැහැ. ඇය නොකා දරුවාට කන්න දුන්නේ. ඇය නින්ද දන් දුන්නේ දරුවන්ටයි. එසේ දුක සේ හදාවඩාගෙන උස්මහත් කළාට පස්සේ දරුවන්ට තමන්ගේ අම්මා අවලස්සනයි. අම්මා ව පිටිපස්සේ කාමරයකට දමා හංගනවා.

කාමරවලට දමා දවස් ගණනක් කෑමක් නැතිව තියෙනවා. මෙහෙම දෙයක් මේ ලෝකයට වෙන්නේ ඇයි? ඒකට එක ම හේතුව මවුපියන් හා දරුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නාකම යි, පිළිනොපැදීම යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුවා නම් එහෙම වෙන්නේ නැහැ. ධර්මය අසා නැති නිසා දැන් සැඳෑ සමය ගෙවන අම්මලාටත්, ඒ අම්මලාගේ දරුවන්ටත් සිදු වන්නේ දුක සේ කල් ගත කිරීමට යි.

අද අප සමාජයේ සිටින බොහෝ අම්මලා බොහෝ සේ පසුතැවෙනවා. පසුතැවි තැවී සිතේ සහනයක් නැතිව ම කාලය ගෙවනවා. දරුවෝ තමන් බලන්න ඒවි ද කියලා සෑම දින ම පාර දෙස බලාගෙන සිටිනවා. විශාල වේදනාවක් විඳිමින් ඉන්නේ. ඇත්තෙන් ම තමන්ට යමක් කමක් තේරෙන කාලයේ දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුන්දර දහම අසා තමන්ගේ ජීවිතයට ගළපා ගැනීමට පුළුවන් නම් සැඳෑ සමයේ දරුවෝ සැලකුවත් එයින් උද්දාමයට පත් නො වී, දරුවන් සැලකුවේ නැතත් එයින් පසුනොතැවී ජීවත් වෙන්න පුළුවන්. සැඳෑ සමයේ සැනසිල්ලේ ජීවත් වීමට අවශ්‍ය නම් ඇය තරුණ කාලයේ දී හෝ මැදිවිය කාලයේ දී හෝ සුන්දර වූ කල්‍යාණ වූ ධර්මයට ළංවෙන්න ඕන. කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබා ගන්න ඕන. පුළුවන් කාලයේ සැදැහැ සිතින් දන්පැන් පූජා කරන්න ඕනේ. මෙත් සිතින්, සමඟි ව සියලු දෙනා සමග කටයුතු කරන්න ඕනේ. දවසට එක බණ පදයක් හෝ අසන්න පුරුදුවෙන්න ඕනේ. එක ගුණධර්මයක් හෝ නිතර නිතර පුරුදු කරන්න ඕනේ. ඒ වගේ මවකට ලෝකයෙන් කෙතරම් අසාධාරණ වුවත් ඇය කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඇය පුරුදු කළ ගුණධර්මයක් තිබෙනවා නිතර නිතර සිහි කරන්න. ‘දරුවෝ මට කොහොම සැලකුවත් මම පසුනොතැවී ඉන්නවා’ කියන හයිය ගන්න තරම් ඇය ශක්තිමත් වෙනවා. එයට හේතුව සැඳෑ සමයේ දී ඇයට ඒ පුරුදු කළ ගුණධර්මය පිහිටට පිළිසරණට ළඟ තිබීම යි.

බුද්ධ කාලයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට පිහිට පිළිසරණ කර ගත් බොහෝ අම්මලා සිටියා. අද සමාජයෙත් එවැනි ශක්තිමත් අම්මලා ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ එක් ගොවි පවුලක් වාසය කළා. ඔවුන්ට ලොකු ධනයක් තිබුණේ නැහැ. ගොවිතැනින් දුක සේ ජීවත් වුණා. මේ අම්මාට පුතාලා හත් දෙනෙක්, දුවලා හත් දෙනෙක් ලැබුණා. දැන් මේ දරුවෝ දහහතර දෙනාත් සමඟ විශාල පවුලක්. මේ මව්පියන් දෙදෙනා ඉතා ම දුක සේ දරුවෝ ලොකුමහත් කළා. තිබෙන තිබෙන ආකාරයට දරුවන්ට සම සේ ධනය බෙදා දී සුදුසු කාලයේ දී විවාහයන් කර දුන්නා. ටික කාලයකින් ඒ තාත්තා මිය ගියා. අම්මා තනි වුණා. අද කාලයෙත් ඒ දේ වෙනවා. තාත්තා මිය ගියාම අම්මා තනි වෙනවා. ඉතින් අම්මා පිහිටක් සොයාගෙන දරුවන් ළඟට යනවා. සමහරවිට දරුවා බාර ගන්න කැමැතියි. සමහර විට කැමැති නැහැ. එතකොට ඒ අම්මා කොතරම් නම් අසරණ වෙනවා ද? නිවසෙන් නිවසට මාරු වෙන්නේ සෙල්ලම් බඩු වගෙයි. ඉතින් අර අම්මාට හිතේ විශ්වාසයක් තිබුණා ‘මට දරුවෝ දහහතර දෙනෙක් ඉන්නවානේ. ඒ අය මට සලකාවි’ කියලා. මුලින් ම ඇය ලොකු දුව ළඟට ගියා. ටික කාලයක් ඉන්න විට ඇයට අම්මා කරදරයක් වුණා. ඇය කියනවා “අම්මේ ඇයි මාව ම හොයාගෙන ආවේ? මට වැඩිපුර දෙයක් දුන්නේ නැහැනේ. තව දුවලා හය දෙනෙක් ඉන්නවානේ. අම්මා ඒ ගෙවල්වලටත් යන්න” කියලා. අම්මා රෙදි ටිකත් අරගෙන දෙවැනි දුවගේ ගෙදරට ගියා. මහලු අම්මාට ඒ දුවත් ටික දවසක් සැලකුවා. “ඇයි අම්මේ අපේ ගෙදර ම ඉන්නේ? නංගි කෙනෙක්ගේ ගෙදරටත් යන්න.” කිව්වා. මේ අම්මා ගෙයින් ගෙට ගියා. දුවලා හත් දෙනා ම ටික කාලයක් සලකා ඉවත දමන රොඩුවක් ලෙස අම්මා නිවසින් පිට කළා. මේ බුද්ධ කාලයේ මවකට සිදු වූ දෙයක්. ඉතින් මේ වයසක අම්මා ඉතිරි ව සිටි පුතාලා හත් දෙනා ළඟට යනවා කියලා සිතා ලොකු පුතාගේ ගෙදරට ගියා. ලොකු පුතාත් ටික දවසක් තියා ගත්තා. ලේලියගේ අකැමැත්ත නිසා පුතාත් කිව්වා “අම්මාට තව දරුවෝ ඉන්නවානේ. මම ලොකු පිරිමියා කියලා මට වැඩිපුර කිසි ම දෙයක් දුන්නේ නැහැනේ. ඒ නිසා මල්ලිගේ ගෙදර යන්න” කියලා.

මේ වයසක අම්මාට දැන් හරි වෙහෙසයි. පුත්තු හත් දෙනාත්, දුවල හත් දෙනාත් අම්මා තබා ගන්නට කැමැති වුණේ නැහැ. දැන් අම්මාට යන්න තැනක් නැහැ. හුඟාක් අසරණ වුණා. ගොවිතැන් කරලා දරුවන් දහහතර දෙනෙක් හදනවා කියන්නේ විශාල දුකක්. ඒ කෙළෙහිගුණය ඒ දරුවන්ට තිබුණේ නැහැ. මේ අම්මා පාරට වැටුණා. නමුත් ඇගේ සසරේ පිනකට ඇයට අවශ්‍ය රැකවරණය ලැබුණා. ඇයට ධර්මය මුණගැසුණා. අද කාලයේ අම්මා කෙනෙකුට මෙහෙම වුණා නම් ඇයට පිස්සු හැදෙයි. දරුවන්ට නිරන්තරයෙන් දෙස් දෙවොල් තියයි. නමුත් බුද්ධ කාලයේ නිසා අම්මාගේ වාසනාවට බණ පද අසන්නට ලැබුණා. ඇය සිතුවා, ‘දරුවන්ට මා ව කරදරයක්. මේ ජීවිතය කිසි තේරුමක් නැති දෙයක්.’ කියා. එසේ සිතූ ඒ අම්මා භික්ෂුණී ආරාමයක් සොයාගෙන ගියා. දැන් මේ වයසක අම්මා ඒ ආරාමයේ නැවතී එතැන සිටි සියලු ම භික්ෂුණීන් වහන්සේලාගේ වැඩ කළා. වතුර උණු කළා. සිවුරු පාත්‍රා හේදුවා. පැන් පුරවා තැබුවා. ආරාමය පිරිසිදු කළා. මේ අම්මාගේ තිබුණ ගුණය හරි පුදුමයි. ඇය ආර්ය ශ්‍රාවිකාවක් නිසා දෝ භික්ෂුණීන් වහන්සේලා පවරන සෑම වැඩක් ම නිහතමානී ව කළා. ඇය කිසිම වෙලාවක තරහ සිතක් උපදවා ගත්තේ නැහැ.

ටික කාලයකට පසුව මේ අම්මා පැවිදි වුණා. දැන් ඇය වයස්ගත භික්ෂුණියක්. එසේ ඇය වයසක භික්ෂුණියක් වුවත් මුල දී වැඩපළ කළ පුරුද්දට ඇය ආරාමයේ තිබෙන සියලු වැඩකටයුතු කළා. භික්ෂුණීන් වහන්සේලාට පැන් පහසුවෙන්න වතුර පවා පිළියෙල කළා. තරහ නැති සිතක් ඇතිව වාසය කළා. දරුවන්ගෙන් වූ සියලු අසාධාරණ ඇය ඉවසුවා. ඒ නිසා වෙන්න ඇති මේ භික්ෂුණිය කියන කියන වැඩ කළා. සිනාමුසු මුහුණින් නිතර ම වාසය කළා. ඇය මුළු දවස ම උපස්ථාන කළා. වැඩපළ කළා. වයස නිසා ඇයට වැඩ කරන්න අමාරුයි. නමුත් ඇය සතුටු සිතින් පින ගැන සිහි කරමින් වැඩ කළා. දවල් කාලයේ ඇයට භාවනාවක් කරන්න වෙලාවක් නැහැ. නමුත් ඇය සිතුවා ‘මම බුද්ධ ශාසනයේ පැවිදි වුණේ මේ ධර්ම මාර්ගය පුරුදු කරන්නයි. ඒ නිසා මම එය කර ගන්න ඕනේ’ කියලා. ඇය රාත්‍රී කාලය ඒ සඳහා වෙන්කර ගත්තා. භික්ෂුණීන් වහන්සේ සියලු වැඩපළ අවසන් කර උඩ තට්ටුවෙන් සෙමින් පහළට බසිනවා. පහළ මැද තිබෙන කණුවක් අල්ලාගෙන කණුව වටේ සතිපට්ඨානය සිහි කරමින් ඇවිදිනවා. එතුමියගේ සක්මන් භාවනාව ඒකයි. ඇයගේ පින ටික ටික මෝරා ගියා. මඩ ගොඬේ මැණිකක් සැඟවී තිබුණත් මඩ සෝදන විට මැණික මතුවෙනවා සේ අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකය දෙස බලද්දී එදා උන්වහන්සේ දුටුවේ මේ භික්ෂුණිය යි. එතුමිය දුර ඈත දුක සේ සිටියත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තියේ පිහිටා සිටියා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අසල සිටියා. භාග්‍යවතුන් වහන්සේ එතුමිය දුටුවා. එතුමියට දැන් දරුවෝ ගැන මතකයක් නැහැ. සිදු වූ අසාධාරණය සිහි කිරීමක් නැහැ. මතක් වෙන්නේ සතර සතිපට්ඨානය යි. මෙසේ සතිපට්ඨානයෙන් සක්මන් කරන විට ඈත සැවැත්නුවර වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුණිය වෙත රශ්මි මාලාවක් එවනවා. රශ්මි මාලාව සමඟ ලස්සන ගාථාවක් දේශනා කරනවා. ඒ ගාථාව ඇසූ ඒ භික්ෂුණීන් වහන්සේ එතැන ම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වුණා.

එසේ නම් අද සමාජයේ ජීවත්වන අපට එතුමිය හොඳ ආදර්ශයක්. තමන්ට සිදු වූ දේවල් සිතමින් ඇය පසුතැවුණා ද? දරුවන්ට සාප කළා ද? “දරුවෝ මට මෙහෙමයි කළේ” කියමින් ලෝකයාට කියාගෙන ගියා ද? ‘ඇයි දරුවෝ මට මෙහෙම කළේ?’ කියමින් දුක් වුණෙත් නැහැ. ඇය නිතර ම ධර්මය පිහිට කර ගත්තා. අද දුක් විඳිමින්, පසුතැවෙමින් යම් අම්මා කෙනෙක් සිටිනවා නම් ඇයට මේ කතාව හොඳ පණිවිඩයක් වේවා! බොහෝ අවස්ථාවල තාත්තාට වඩා අම්මාට තමයි මේ දුක් දරන්න බැරි වෙන්නේ. ඇය තමයි ඇස්වලින් කඳුළු හලන්නේ. ඇයගේ හදවත ගොඩක් සංවේදියි. ඇය තමයි දස මාසයක් දරුවා කුසේ තබාගෙන ලේ කිරි කර පොවා හදාවඩා ගත්තේ. ඒ නිසා අම්මාට ඒ වෙනස දැනෙනවා වැඩි වෙන්න පුළුවන්. නමුත් එහෙම අසාධාරණයක් වෙන යම් අම්මා කෙනෙක් සිටිනවා නම් ඇය තමයි වැඩි වැඩියෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළං විය යුත්තේ. පිහිට පිළිසරණ ලබාගත යුත්තේ.

අපි දන්නවා සමහර අම්මලා සිටිනවා දරුවන් ඔවුන්ට තිබෙන ආකාරයට සැලකුවත් ඒ දේවල් ගැන සිතන්නේ නැහැ. ‘මට අඩුපාඩු කරනවා’ යැයි සිතමින් දරුවන් සමඟ නිතර ම ගැටුණු සිතින් ඉන්නවා. පසුතැවි තැවී ඉන්නවා. එහෙම සිටින අම්මලාට පුළුවන් නම් ඒ වෙලාවට බුදුබණ පදයක් අසන්න, ඒ සිතේ තිබෙන දුක් දෝමනස්සයන් දෝරේ ගලා නැතිවෙලා යනවා. පසුතැවි තැවී සිටින අයට වෙන පිහිටක් නැහැ. තිබෙන එක ම පිහිට භාග්‍යවතුන් වහන්සේගේ දහම් පදයක් තමන්ගේ ජීවිතයට ගළපා ගැනීම පමණයි. ගුණයක් පුරුදු කරමින් ඒ ගුණය දියුණු කර ගැනීම පමණයි. භාග්‍යවතුන් වහන්සේගේ දහම් පදය ගළපා ගත්තොත් ඔවුන්ට පුළුවන් මේ ධර්මය පිහිට පිළිසරණ කර ගන්න. එවිට පසුනොතැවී සිටින්නට පුළුවනි.

සමහර අම්මලා මේ ආකාරයට පසුතැවි තැවී ඉඳලා ජීවිතයේ අවසන් කාලයේ ඒ පසුතැවීම වැඩිකර ගන්නවා. ‘අපේ දරුවන්ට තමයි මවුපියන්ට සලකන්න බැරි’ කියමින් සැඳෑ සමයේ දුකෙන් ගත කරනවා. තවත් සමහර පිරිසක් පසුතැවෙනවා ‘තමා තුළින් අකුසල් සිදු වුණා’ කියලා. තමාගේ වූ වැරදි සිහි වෙන සෑම අවස්ථාවක ම ඇයට පුළුවන් නම් ධර්මය සිහි කරන්න, ඇයට පුළුවන් ධර්මය තුළින් ජීවිතය රැක ගන්න. අප ඉහත කතා කළ වයස්ගත භික්ෂුණීන් වහන්සේ හරියට නගරයක් සංවිධානය කර නගරය රකිනවා වගේ ඇයගේ සිත රැක ගත්තානේ. අපටත් පුළුවන් නම් අපේ සිත පසුතැවෙන විට නගරයක් ආරක්ෂා කරනවා වගේ ධර්මය තුළින් රැක ගන්න අපටත් කොතරම් පිහිටක් පිළිසරණක් ලැබේවි ද? ඒ වගේ ම අපි දැන්ම මතක තබා ගන්න ඕනේ වයසට යනකොට අපි තනිවෙන වෙලාවට මේ හිත පුරුදු නොකළොත් අපට රැක ගන්න බැරි වෙනවා. පුටුවක යහනක තනිවෙන වෙලාවක් අපි කාටත් එන්න පුළුවන්. ඒ වෙලාවට කරපු කියපු දේ සියල්ල ම මතක් වෙවී, මතක් වෙවී සිත සංතාපයට පත් කරනවා. ඒ නිසා මේ ලෝකයේ ජීවත්වෙන ඕනෑම කෙනෙක් ජීවිතය අවසාන කාලයේ පසුතැවුණොත් ඒක අයහපත පිණිස පවතිනවා.

පසුතැවෙමින් සිටින කාන්තාවට තනිවම නැගී සිටින්නට ශක්තියක් නැහැ. ඇයට ශක්තිය ගන්න පුළුවන් එක ම අවස්ථාව තමයි ධර්මය. ඒ වගේ පසුනොතැවී සිටි උත්තම චරිතයක් තමයි මහා සූරවීර ගුණ ඇති, මහා අනුකම්පා ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ. පසුතැවෙනවා නම් උන්වහන්සේ තමයි පසුතැවිය යුතු එක ම කෙනා. අද කාලයේ එහෙම වැරදි අපි කාගෙන්වත් වෙලා නැහැ. පසුතැවීමෙන් සිටින අපි කාටත් පුළුවන් නම් අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන සිතන්න, නිතර ම සිහි කරන්න, ඒ හැමෝටම පුළුවන් තනිව ම නැගී සිටින්න. ඒ නිසා ජීවිතය වැරදුන අය වේවා, පසුතැවීමෙන් සිටින අය වේවා, අඬමින් සිටින අය වේවා, අසාධාරණයක් වුණා කියමින් සිටින අය වේවා, ස්ත්‍රී වේවා, පුරුෂයන් වේවා හැම කෙනා ම අංගුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳ හොඳට ඉගෙනගෙන නිතර ම සිහි කරන්න. උන්වහන්සේ පුංචි මොහොතක්වත් පසුතැවුනේ නැහැ. වරදින් නැගී සිටියා. එක වචනයෙන් දහසක් පව් සෝදා හැරියා. ඒකයි උන්වහන්සේට කියන්නේ ‘වලාකුළින් මිදුන පුන්සඳක් වගේ බැබළුණා’ කියලා.

අද කාලයේ අපේ අම්මලා සැඳෑ සමය ගෙවද්දී දරුවෝ සලකන්නේ නැහැ කියමින් මතුර මතුර ඉන්නේ ඒ අයගේ සිත් පටු නිසයි. අර භික්ෂුණියගේ සිත පටු නැහැ. ඇය පුළුල් සිතක් ඇතිවයි වාසය කළේ. ඒ නිසා ඒ භික්ෂුණියට සිතන්න දෙයක් තිබුණා. ඔබ තරුණ වේවා, මැදිවියේ වේවා, සැඳෑ සමය ගෙවන කාන්තාවක් වේවා යම් දෙයකින් ඔබ පසුතැවෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්න. ඒ ධර්මය සිහි කරන්න. නිකෙලෙස් උතුමන් සිහි කරන්න. එවිට දෝසයක්, අමනාපයක් සිතට එන්නේ නැහැ. එසේ සිහි කරන අම්මලාට පුළුවන් ‘අනේ මගේ දරුවෝ සුවපත් වේවා!’ කියලා නිතර ම මෙනෙහි කරන්න.

පටාචාරා, කිසාගෝතමී සැනසුනේ මේ ධර්මය නිසයි. බන්ධුල මල්ලිකා තමන්ගේ දරුවන් සමඟ ස්වාමියා නැති වූ පුවත අසා දුක් නො වී සිටියේ මේ ධර්මය නිසයි. ඒ තරම් දුකක් අද බොහෝ අම්මලා විඳලා නැහැ. නමුත් පොඩි දෙයක් නිසා මුළු ලෝකයට ම තිබෙන්නේ ඒ ප්‍රශ්නය විතරයි වගේ අම්මලා හැසිරෙනවා. එතැනින් මිදෙන්න බැහැ. මිදෙන්න දන්නේ නැහැ.

අපට දැන් තිබෙන්නේ පුංචි ම පුංචි කාලයක්. මේ ලෝකයෙන් සමු ගන්න කාලය දැන් ළං වෙලා. ජීවත් වෙලා සිටින කාලයේ පසුතැවි තැවී සිටින්නේ නැතිව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ළං වෙන්න. භාග්‍යවතුන් වහන්සේ සිහි කර කර අංගුලිමාල මහරහතන් වහන්සේ සිහි කරකර ශක්තිය ගන්න. අංගුලිමාල මහරහතන් වහන්සේගෙන් වැඩිපුර ම පිහිට ගන්නේ කාන්තා අපියි. එසේ ශක්තිය ගත්තොත් පසුතැවි තැවී සිටින අම්මලාට පුළුවන් වෙයි සැඳෑ සමය නිදහසේ ගෙවන්න. ඒ නිසා යම් දුකක් ආ විට ඒ දුක නැතිවන තුරු ම ඔබට කරන්න තිබෙන්නේ ධර්මය අසන එකයි. සෑයක්, බෝධියක් වන්දනා කරලා පින් රැස්කර ගන්නා එකයි. එතකොට අපි කාටත් පුළුවන් වෙයි නපුරු මාර්ගය අතහැරලා යහපත් මාර්ගයේ ගමන් කරන්න. සුගති ලෝකයක සිත පිහිටුවා ගන්න.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි