ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීමෙන් පන්සිය වසක් සපිරෙන සමාසන්නයේ මේ මිහිතලයේ අතිශය සුන්දර දහම් සංවාදයක් ගොඩනැගුනා. සසරේ පූර්වකෘත පුණ්‍ය බල මහිමයෙන් පරවාද මැඩලමින් සම්බුදු සසුන් කෙත බැබළවීම පිණිස ම මනුලොව වැඩි යුග පුරුෂයන් දෙදෙනෙකු විසින් ප්‍රශ්නෝත්තර වශයෙන් සිදු කළ ඒ දහම් සංවාදය අදටත් උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න භාවය ලොවට විදහා පාමින් දනන් තුඩ තුඩ අසත හැකියි. ‘මිළිඳුරාජ ප්රශ්නය’ නම් වූ ඒ ගම්භීර දහම් කතිකාවත කියවා, අසා සිත පහදවාගෙන සතුටු වන්නට අපටත් ලැබුණා. එසේ සිත ප්‍රමුදිත කරලමින්, තේරුම් ගත හැකි අයුරින් එය පහදා දුන් සත්පුරුෂ උතුමන්ට පින් සිදු වේවා!!!
සත්පුරුෂයන් ම යි ඇසුරු කළ යුත්තේ. සත්පුරුෂයන් සමඟ ම යි මිත්‍ර විය යුත්තේ. සත්පුරුෂ ධර්මය ම යි ඇසිය යුත්තේ. එසේ කරන්නෝ සියලු අභිවෘද්ධියට පත් වෙත්…!
මේ උතුම් දහම් කතිකාවතේ දෙවන ග්රන්ථ රත්නය තුළ කියවන්නට ලැබුණු එක්තරා පර්යායක් විසින්, කල් පසු වූයේ නමුදු සොඳුරු පඬුරකින් උතුම් සත්පුරුෂ ඇසුරක් පුද දෙන්නට මසිත උත්සාහවත් කරලනු ලැබුවා. ඒ අනගි දහම් පර්යාය මා හට සිහි කර දුන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේට ද පුණ්‍යානුමෝදනා වේවා! මේ දිගහැරෙන සටහන, බුර බුරා නැගෙන කෙලෙස් ගිනිවලින් අපමණ පීඩා විඳින අප වැන්නවුන් හට ඒ කෙලෙස් ගිනි නිවන අමා දම් දිය දෝතින් දෝත ගෙන සෙනෙහසින් පොවා, ගෞතම සම්බුද්ධ ශාසනය නම් වූ සිල් ගුණ පිරී ගත් – දස දෙස හමා යන නිකෙලෙස් ගුණ සුවඳැති, කලලෙන් උඩට විත් සුපුෂ්පිත මහරහත් මුනි පරපුර විසින් ශෝභමාන කරලන ලද අමා සිසිලැති පැන් තොට පෙන්වා ලූ අපගේ ගුරු දෙවිඳුන්ට පුද දෙන ගුරු පඬුරක් කරලන්නට මට අවසර ලැබේවා!
මිළිඳු රජු විසින් නාගසේන මහරහතන් වහන්සේ හමුවේ මෙකරුණ පවසනු ලැබුවා.
“වයසට යාමෙනුත්, යස පිරිවරිනුත්, ප්‍රශ්න ඇසීමෙනුත්, ගුරු ආශ්රයෙනුත්, සාකච්ඡාවෙනුත්, ස්නේහවන්ත ආශ්රයෙනුත්, පතිරූප වාසයෙනුත් ය යන මේ අට තැන්හි බුද්ධිය පිරිසිදු වෙයි. යමෙකුන්ට මේ කරුණු අට ලැබෙයි නම් ඔවුන්ගේ බුද්ධිය විකසිත වෙයි.”
අන් සියල්ල පසෙකින් තිබේවා, සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදහළ මුල් යුගයේ දී ම උන්වහන්සේට ද මෙවැනි විතර්කයක් උපන්නා.
‘ගුරුවරයෙකු රහිත වීම දුකකි…’
ඉන් පසුව යි සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්ම විනය ශාස්තෘ තනතුරෙහි තබන ලද්දේ. අවසන් වරට ලොව පහළ වූ ඒ සම්බුද්ධ රාජ්‍යයේ පරමෝත්තම ගුරුවරයාණන් වහන්සේ වූ සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමෙන් ලක්ෂ කෝටි සංඛ්‍යාත දෙව් මිනිසුන් මග ඵල නිවන් අවබෝධයෙන් සැනසුනා. සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ඉක්බිතිව උන්වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි තබන ලද ධර්ම විනය මැනැවින් පහදා දුන් දහම් ගුරුවරුනගේ ඇසුරෙන් මෝරා ගිය, මුහුකුරා ගිය බුද්ධි ප්‍රභාව ඇති බොහෝ දෙව්මිනිසුන් සම්බුදු සසුනේ ඵල ලැබූවා. එවන් දහම් ගුරුවරුන් ඇසුරු කරන්නෝ කෙසේ නම් පිරිහෙන්න ද? ඔවුන් දියුණුවක් ම යි ලබන්නේ… සිරි සම්බුදු සදහම් මැනැවින් පහදා දෙමින් දෙව් මිනිසුන් හට යහපත සැලසූ, යහපත සලසන ඒ දහම් ගුරුවරුනට අපගේ නමස්කාරය වේවා!
මේ යුගයේ උපන් අපත් දහම් ගුරුවරුන් මුණගැසෙන්නට වාසනාවන්ත වුණා. ශිෂ්‍යයෙකු කෙරෙහි ආචාර්යවරයෙකු විසින් මැනැවින් පිළිපැදිය යුතු, ගණනින් විසි පහක් වූ ගුණධර්මයන්ගේ ඒ දහම් ගුරුතුමන් සමෘද්ධිමත් ද කියා සිතත් සිතත් මට කියන්නට තිබෙන්නේ මගේ සත්පුරුෂ ගුරු දෙවිඳුන් සැබැවින් ම ශිෂ්‍යයන් කෙරෙහි මනා ව පිළිපන් ආචාර්යෝත්තමයන් වහන්සේනමක වන බව යි. මිළිඳු රජු විසින් ගෙනහැර දක්වනු ලැබූ ඒ පස්විසි ගුණධර්මයන් මෙහිලා එකින් එක යළිදු පෙළ ගස්වන්නේ දෙදෙව්ලෝ වැසි දෙවියන් සක් දෙවිඳුන් පුදන ලෙසින් ම අපිදු අපගේ ගුරු උතුමාණන් පිදිය යුතු නොවන්නේ ද යන්නට පූර්විකාවක් වශයෙනු යි…
ශිෂ්‍යයා කෙරෙහි හැමවිට, නිරතුරු ව රැකවරණය පිහිටුවිය යුත්තේ ය යන්න එහිලා පළමුවැන්න යි. යම් ගුරුවරයෙකු විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආරක්ෂිත ස්ථානය කියා පනවා වදහළ, පිය උරුමය කියා අභිෂේක කොට වදහළ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන කියා දෙමින් – එහිලා සිත පිහිටුවන්නට අවවාද අනුශාසනා කරනු ලබන්නේ නම්, ශිෂ්‍යයන් තුළ කැමැත්ත ඇති කරවන්නේ නම්, උත්සාහවත් කරන්නේ නම්, උපකාරක වන්නේ නම් ඒ ගුරුවරයා මේ පළමුවන ධර්මයෙන් මැනැවින් සමන්විත වූ උතුමෙක් ම යි.
ශිෂ්‍යයා ඇසුරු කළ යුතු – ඇසුරු නොකළ යුතු දේ ගැන ආචාර්යවරයා දත යුත්තේ ය යන්න මෙහි දැක්වෙන දෙවන ගුරු ධර්මය යි. මේවා කුසල් ය, මේවා අකුසල් ය, මෙය හොඳ දෙයකි, මෙය යහපත් නොවන දෙයකි, මෙය සේවනය කළ යුතු ය, මෙය සේවනය නොකළ යුතු ය යැයි කියා ලොවේ පවතින කුසල් අකුසල්, යහපත අයහපත, හොඳ නරක මැනැවින් පෙන්වා දුන් එක ම ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ඒ බුද්ධ වචනය ම අනුශාසනය ලෙස දක්වමින් යම් ගුරුවරයෙකු අපට අනුග්‍රහ කරනවා නම් ඒ උතුමා ගැන කිව යුත්තේ ‘ශිෂ්‍යයා ඇසුරු කළ යුතු දේ – ඇසුරු නොකළ යුතු දේ මැනැවින් දන්නා කෙනා’ කියල යි.
ගුරුවරයා තුළ තිබිය යුතු යැයි තුන්වනු ව දැක්වෙන ගුණධර්මය නම් ශිෂ්‍යයාගේ ප්‍රමාදයටත්, අප්රමාදයටත් කරුණු දත යුත්තේ ය යන්න යි. අප්රමාදයත්, ප්‍රමාදයත් ගැන පරිපූර්ණ වශයෙන් ම දන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යි. ප්රමාදී උදවියගේ ඤාතියා වන මාරයාගෙන් ගැලවී යනු පිණිස යි, සියලු කුසල ධර්මයන්ගේ සුසංයෝගය වූ අප්‍රමාදය පිණිස යි උන්වහන්සේලා ශ්‍රාවක පිරිස් උත්සාහවත් කරවන ලද්දේ. යමෙකු අප්‍රමාදය පිණිස වන ඒ බුද්ධාවවාදයන් තුළ තමන් ද හික්මෙමින් ස්වකීය ශිෂ්‍ය පිරිස ද එහි ම හික්මවන්නේ නම්, සමාදන් කරවන්නේ නම් ඒ ගුරුවරයා ගැන කිව යුත්තේ මේ තෙවන ධර්මයෙන් ද සමන්විත උතුමෙකු කියලයි.
ඒ වගේ ම උතුම් ගුරුවරයා ශිෂ්‍යයාට නිදාගන්නට ඉඩකඩ පහසුකම් තිබේදැයි දත යුත්තේ ය යන ධර්මයෙන් ද සමන්විත යි. ඔහුගේ ගිලන් – නොගිලන් බව දත යුත්තේ ය යනු එහිලා පස්වන ගුණධර්මය යි. සය වැන්න ඔහු ආහාර ලැබුවේ ද නොලැබුවේ ද බව දත යුත්තේ ය යන්න යි.
චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් තම ශිෂ්‍ය පිරිස සුව සේ පෝෂණය වනු රිසි උතුම් ගුරු ධර්මයේ පිහිටි, එසේ ම ගිලන් කල්හි උවටැන් කිරීමෙහි ලා විශේෂ විධි විධාන ක්රියාවේ යොදවන සත්පුරුෂ ගුරු ඇසුර කෙබඳු ද යන්න අපට මේ යුගයේ ද දැක ගන්නට බැරිකමක් නැහැ. එවන් ගුරුවරුන් ඇසුරට තමන් පත් වීම ශිෂ්‍යයන්ගේ ලාභයක් ම යි.
මෙහි සත්වනු ව දැක්වෙන ධර්මය නම් ශිෂ්‍යයාගේ ඇති විශේෂ කුසලතා දත යුත්තේ ය යන්න යි. උතුම් ධර්ම ප්රචාරක මෙහෙවරෙහි ස්වකීය ශිෂ්‍ය ප්‍රජාව යොදවමින් ඔවුනගේ හැකියාවනට, කුසලතාවයනට වේදිකා නිමවමින්, දෙව් මිනිසුනට ධර්ම දානය දීමෙන් අපමණ සතුටු වන – සම්බුදු සසුනේ ලෝක ශාසනික මෙහෙවරෙහි ලා ඇප උපකාර කරන ගුරු උතුමන් තුළ අප දකින්නේ මේ සොඳුරු ගුණය යි.
ආචාර්යවරයා තම පාත්‍රයට ලැබුණු දෙය ශිෂ්‍යයන් හා බෙදා ගත යුත්තේ ය යන්න මේ ගුරු ධර්මයන්ගේ අට වැන්න යි. සිව්පසයෙන් තමන් වහන්සේට පිදෙන උපස්ථානයන් ස්වකීය ශිෂ්‍ය පිරිස විෂයෙහි අනුකම්පා සිතින්, සතුටු සිතින්, මෙත් දයා පිරි සිතින් පිරිනමන යම් ගුරුවරයෙක් වේ ද මාතෘ ස්නේහය, පීතෘ ස්නේහය කැටි කොට ගත් හදවතක් ම යි ඒ උතුමන් හට තිබෙන්නේ.
‘භය නොවෙනු, ඔබගේ යහපත දියුණු වන්නේ ය’ කියා ශිෂ්‍යයා අස්වැසිය යුත්තේ ය යන්න මෙහි දැක්වෙන නම වන ගුරු ධර්මය යි. රාග, ද්වේෂ, මෝහ බලවත් වීමෙන් කුසලයෙහි උකටලී සිත් ඇති ව පීඩා විඳිද්දී ඒ පීඩාවන් නසාලන අමා දම් ඔසු පොවන උතුම් දහම් ගුරුවරයාණන් මෙකරුණෙන් ද යුතු යි. එවැනි සත්පුරුෂයන් ඇසුරු කරන, එවැනි සත්පුරුෂයන් හා මිතුරු වන අය අභිවෘද්ධිය ම යි කැමති විය යුත්තේ…
‘මේ පුද්ගලයා සමඟ හැසිරෙව’ යි හැසිරිය යුතු පුද්ගලයා පෙන්වා දිය යුත්තේ ය යන්නත්, හැසිරිය යුතු ගම පෙන්වා දිය යුත්තේ ය යන්නත් මෙහි දැක්වෙන දස වන හා එකොළොස් වන කරුණු යි. දොළොස් වැන්න විහාරයෙහි හැසිරීම පෙන්වා දිය යුත්තේ ය යන්න යි. පිරිපුන් අත්දැකීම් ඇති, ධර්මය – අධර්මය වෙන් කොට ගැනීමෙහි ලා පිහිටි දක්ෂතා ඇති, සත්පුරුෂ ධර්මයේ පිහිටි ගුරුවරයා මේ කාරණාවන්ගෙන් ද සමන්විත ව යි ශිෂ්‍යයා හට අනුග්‍රහ කරන්නේ.
ශිෂ්‍යයා සමඟ විහිළු තහළු කිරීම් – ක්‍රීඩා කිරීම් ආදිය නොකළ යුත්තේ ය යන දහතුන් වන ගුරු ධර්මයත්, ශිෂ්‍යයා සමඟ අනවශ්‍ය අල්ලාප සල්ලාපයෙහි නොයෙදිය යුත්තේ ය යන දාහතර වන ගුරු ධර්මයත් ගුරු සිසු සබැඳියාවෙහි පවත්නා ගරු සහගත පූජනීයත්වය ඔප කරලනවා. දුටු කල්හි, සිහි කළ කල්හි පවා ශිෂ්‍යයා තුළ කාය වචී මනෝ සංවරයන් උපදවාලීම පිණිස ගුරුවරයා සතු එකී ගුණයන් හේතු වනවා.
ශිෂ්‍යයා හා වෙන් වී වාසය කළ යුත්තේ ය යන යම් ගුණයක් ඇද්ද මෙය ද උතුම් ගුරුවරයෙකුට ම හිමි වූවක්. ශිෂ්‍යයන් විසින් පිරිවරනවා සේ ම ශිෂ්‍යයන් විසින් අත්හැර යාම ද ඕනෑම ගුරුවරයෙකු විෂයෙහි සිදු වන්නක්. ලොව බිහි වූ පරම ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් වූ සම්බුදුරජාණන් වහන්සේ ව ද අත්හැර දමා ගිය ශිෂ්‍ය පිරිස් සිටියා. යම් ගුරුවරයෙකු ඒ ශිෂ්‍ය පිරිස කෙරෙහි ඇලී බැඳී එක්ව සිටියේ නම් එවන් වෙන් ව යාමක් දරා ගත නොහැකියි. නමුත් ශිෂ්‍යයා හා වෙන් වී වාසය කරන ගුරුවරයා එය දරා ගන්නේ මැදහත්ව යි.
මෙහි දී මිළිඳු රජු විසින් සිහි කරන දහසය වන කරුණ නම් ශිෂ්‍යයාගේ අඩුපාඩුවක් දුටු විට ඉවසිය යුත්තේ ය යන්න යි. ගුරුවරයා තමයි මඟ පෙන්වන්නා. ශිෂ්‍යයා ඒ මගෙහි හික්මෙන්නා යි. ඉදින් ඔහු අතින් අඩුපාඩු සිදු වද්දී ඒවා ඉවසීමෙනුයි ගුරුවරයා අඩුපාඩු නොවනා තැන දක්වා ශිෂ්‍යයා පුහුණු කළ යුත්තේ. ලෞකික කරුණු හා සබැඳි ශිල්ප ශාස්ත්‍ර ආදියේ දී වගේ ම ආධ්‍යාත්මික ගුණ පෝෂණයේ දී ද මේ ගුණයෙන් යුතු ගුරුවරයෙකු ලැබීම ශිෂ්‍යයෙකු හට මහත් ලාභයක්. අඩුපාඩු ඉවසමින් සුමඟට ම යොමු කරලන උතුම් ගුරුවරුන් සියල්ලන්ට ම ලැබේවා!
සකස් කොට කරන කෙනෙක් විය යුත්තේ ය යන දාහත් වන ගුරු ධර්මයත්, යහපත් දෙය අඛණ්ඩ ව කළ යුත්තේ ය යන දහ අට වන ගුරු ධර්මයත් සහිත වූ සත්පුරුෂ ගුරු උතුමන්ට පින් සිදු වන්නට උතුම් ධාතූන් වහන්සේලා, සෑ රජාණන් වහන්සේලා, බෝ රජාණන් වහන්සේලා, එමතුදු නොව බුද්ධ ධම්ම සංඝ යන උතුම් ත්‍රිවිධ රත්නය ගෞරවයෙන් සරණ යමින් උපදවා ගත් සරණ සීලය මැනැවින් පිදුම් දෙන ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් බිහි වුණ අසිරිය සිතත් සිතත් ම අපට ඒ සත්පුරුෂ ගුරු උතුමන්ගේ පා යුග වන්දනා කරන්න ම යි සිත් වන්නේ. බෝ රජාණන්, සෑ රජාණන් වටා කපුටන්, නයින් ඇඳි කොඩි එල්වමින්, අපල නසන්නට – කාමයන් ලබන්නට ප්‍රාර්ථනා කරමින් මිසදිටු ගත් ජනතාවක් තෙරුවන් ගුණ සිතමින්, තෙරුවන් ගුණ කියමින්, තෙරුවන් ගුණ ලියමින් ත්‍රිවිධ චෛත්‍යයන් පුද දෙන්නවුන් බවට පත් කළ ගුරු ඇසුර මොන තරම් නම් පූජනීය ද! මුමුණ මුමුණා ගාථා කියූ ජනතාවක් දොහොත් මුදුනේ බැඳ හඬ නගා මිහිරි සරින් තෙරුවන් ගුණ කියන්නවුන් බවට හැරවූ ගුරු ඇසුර මොන තරම් නම් උතුම් ද! ලද දුර්ලභ ක්ෂණ සම්පත්තිය අපතේ යා නො දී පින් ඵල නෙළන්නට දෙව් මිනිසුන් හට ධර්ම දායාදය තිළිණ කළ සත්පුරුෂ දහම් ගුරුවරුනට නමස්කාර වේවා!!!
මිළිඳු රජු විසින් මේ සාකච්ඡාවේ දී දක්වන දහ නම වන ගුරු ධර්මය නම් රහස් කටයුතු ඇත්තෙක් නොවිය යුත්තේ ය යන්න යි. සම්පූර්ණ කොට කටයුතු කරන්නෙක් විය යුත්තේ ය යනු විසි වැන්න යි. මේ ගුණයන්ගෙන් නොයුතු වූ විට ශිෂ්‍යයාගේ විශ්වාසය ලබන්නට ඒ ගුරුවරයා සුදුසු වන්නේ නැහැ. සාර්ථකත්වය ඉලක්ක කර ගත් සිසුන් ගමනේ කෙළවර කරා ම යොමු කරලන ප්‍රතිපදාව ගුරුවරයා විසින් මැනැවින් විවර කළ යුතු යි. උතුම් මග ඵල සහිත නිවන පිණිස මඟ කියමින් එහිලා උත්සාහවත් කරවන දහම් ගුරුවරුන් ඒ ගුණයන්ගෙන් ද සමන්විතයි.
ශිල්පයන් කෙරෙහි ශිෂ්‍යයා කෙසේ උනන්දු කරන්නෙම් දැයි උත්සාහ සිත ඔහු තුළ ඉපදවිය යුත්තේ ය, කෙසේ නම් ශිෂ්‍යයා නොපිරිහෙන්නේ දැයි සීලාදී ගුණ වර්ධනයෙහිලා සිත උනන්දු කරවිය යුත්තේ ය, මොහු ශික්ෂා බලයෙන් බලවත් කරමි යි සිත ඉපදවිය යුත්තේ ය – මෛත්‍රී චිත්තය ඉපදවිය යුත්තේ ය යනු පිළිවෙළින් මෙහි දී පෙන්වා දෙන තවත් ගුරු ධර්මයන් තුනක්.
මේ කාරණයන් ගැන නම් වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් ගුණයෙන් යුතු ගුරු උතුමෙකු ලබන්නට අපටත් වාසනාව ලැබුණා. සම්බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වය පිළිගනිමින්, උතුම් ශ්‍රී සද්ධර්මයේ හික්මෙමින්, නිවන් ප්‍රතිපදාව පුරුදු කරමින් සිල්ගුණ දම් රකින්නට ඒ උතුම් දහම් ගුරුවරයාණන් තරම් මෙත් සිතින් ද වචනයෙන් ද ක්‍රියාවෙන් ද උපකාරක වූවෙක් මේ මිනිස් ලෝකයේ මට නම් ඇත්තේ නැහැ. ඔබ බොහෝ දෙනෙකුටත් එය එසේ ම යි…!
විපතක දී අත්නොහැරිය යුත්තේ ය යන ධර්මය ද ශිෂ්‍යයා කෙරෙහි මනා ව පිළිපන් ගුරුවරයෙකු සතු වූවක්. පිරිහෙන ලෝකයේ කොටස්කාරයන් වෙමින් යන ගමනක මිනිස් ලොව පවා වැඩී යන විපත් බහුල බවත්, සත්ථා දේවමනුස්සානං වූ සම්බුදු සමිඳුන් සරණ ගිය දෙවි බඹුන් සහිත වූ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල තවමත් රැකවරණය පවත්නා බවත්, ගෞතම සම්බුදු සසුනේ දී ම සසර අනතුරින් නිදහස් වන මගෙහි පිහිටන්නට උත්සුක විය යුතු බවත් නිතින් සිහිපත් කරලන කල්‍යාණමිත්‍ර ගුරු ඇසුරේ අප දකින්නේ ඒ සොඳුරු ගුණය යි.
කළ යුතු දෙයෙහි අප්රමාදී විය යුත්තේ ය – සිත පසුබට ව ගිය කල්හී ධර්මානුකූල උපදෙස් දී ධෛර්යවත් කළ යුත්තේ ය යන යම් කරුණක් ඇද්ද එය මෙහි දක්වාලන උතුම් ගුරු ධර්මයන්ගේ විසි පස් වැන්න යි. ‘පින් කළ නොහැක්කෝ ය’ යැයි දෙවියනට පවා ගරහමින්, ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ඉපිද සිටිය දී ම මෛත්‍රී බුද්ධ ශාසනය තෙක් නිවන් ප්‍රතිපදාව කල් දමමින්, සරණ සීලය පවා කිලිටි කරගෙන අනතුරට පත් වූවන්ට සරණ සීලය රැක ගන්නට – පින් දහම් දියුණු කරන්නට යම් ගුරු ඇසුරක් උපකාරක වූවා ද කළ යුතු දෙයෙහි අප්‍රමාදයට මඟ කියූ, අරතියෙන් බැහැර වන්නට හේතු උපකාරක වූ ඒ උතුම් ගුරු ඇසුර ගැන අප වැන්නවුන් කෙසේ නම් පසසන්න ද… එහිලා අප දුප්පතුන් ම යි…
මේ පස්විසි ගුණයන්ගෙන් සුසැදි උතුම් ජීවිතයක් සහිත වූ ගුරු ඇසුරක් ලබන කවරෙකු වුණත් දියුණුව ම යි කැමති විය යුත්තේ. ඒ අවවාද අනුශාසනා අනුව හික්මීමෙහි වාසනාව ලද්දවුන් හට නම් ලාභයක් ම යි… යහපතක් ම යි… කා හට වුවත් වේවා, එවන් උතුම් ගුරු ඇසුරක් ම ලැබේවා!
සියල් ගුරු ධර්මයන්ගෙන් ගුණෝපේත උතුම් ගුරුවරයාණන් හට අපගේ වන්දනාව වේවා! ඒ සත්පුරුෂ ගුරුවරයාණන් හට ලොව පරමෝත්තම ගුරුවරයාණන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ පරිපූර්ණ රැකවරණය සාක්ෂාත් කරන්නට අප රැස් කරන සියලු පුණ්‍යධර්මයන් ද උපනිශ්‍රය වේවා!!!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments