භාග්‍යවතුන් වහන්සේ අප වැනි කාන්තාවන්ට අනුකම්පා කළා. සසරේ කරන ලද කර්මය දායාදය කරගෙන කාන්තාවක් වී ඉපදුණත් ඇයට පිහිටට, පිළිසරණට ධර්මය තිබෙනවා. මේ ජීවිතයේ කාන්තාවකට ආවේණික වූ දුක් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ දුක් විඳිමින් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින ඇය ධර්මය ජීවිතයට ළංකර ගත්තොත් ඇයගේ ජීවිතය සාර්ථකයි. ගුණධර්ම ඇතිකර ගන්නා කාන්තාවට ඒකාතයෙන් ම සුගති ලෝකය හිමියි. ඒ පිළිබඳ ව වැඩිදුරටත් දැනගැනීමට මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ අප මෙසේ සාකච්ඡා කළා.

************************************************
මේ බුද්ධ ශාසනය සුන්දරයි. මේ බුද්ධ ශාසනයෙන් පිහිට පිළිසරණ ලැබූ පිරිසක් ඉන්නවා. ඒ තමා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සිටි භික්ෂූන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන බොහෝ දෙනෙක් පිරිනිවන් පෑවා. ඒ වගේ ම භික්ෂුණීන් වහන්සේලාත් ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා. බොහෝ භික්ෂූන් වහන්සේලා සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී ව ධර්මය අවබෝධ කර ගත්තා. ඒ වගේම බොහෝ භික්ෂුණීන් වහන්සේලාත් සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, ධර්මය අවබෝධ කර ගත්තා. මේ බුද්ධ ශාසනයේ උපාසක පිරිසත් සෝතාන්න, සකදාගාමී, අනාගාමී ශ්‍රාවක පිරිසක් ව සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස එතැනින් ඉවර නැහැ. සිව්වනක් පිරිසට ශ්‍රාවිකාවොත් අයිතියි. ඒ ශ්‍රාවිකාවන්ට මොකද වුණේ?

භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ගිහි ජීවිතය ගත කළ බොහෝ උපාසිකාවෝත් සෝතාපන්න වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. ඔවුන් දැන් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපදී සිටිනවා. කිසිදු දෙයක් නොතේරෙන හැඳි මිටේ නුවණ පමණක් ඇති මේ කාන්තාවට මෙවැනි ගම්භීර ධර්මයක් අවබෝධ වේවි ද කියලා කෙනෙක් සිතන්න පුළුවන්. පිරිමියෙක් වෙලා ඉපදෙන්නේ ඔහුගේ පිනක විපාකයක් ලෙසයි. කාන්තාවක් වෙලා ඉපදෙන්නේ පිනේ අඩුකමක් නිසා කියා කියනවා. නමුත් එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සෝමා රහත් තෙරණිය වනාන්තරයේ ගසක් මුල භාවනාවෙන් වැඩ සිටියා. එතුමිය ව පවිටු මාරයා දකිනවා. ඔහු කියනවා “ඒයි! මෝඩ ගැහැනිය, මේ කැලෑවේ තනියම ගසක් යටට වෙලා මොකද කරන්නේ? හැඳි මිටේ නුවණ තිබෙන නුඹ වන් ගැහැණුන්ට පුළුවන් ද සසරෙන් නිදහස් වෙන්න?” ඒ වෙලාවේ දී සෝමා මහරහත් තෙරණිය ලස්සන පිළිතුරක් දෙනවා. එවිට මාරයා එතැනින් පළා යනවා.

බහුශ්‍රැත වූ ධර්මානුධර්ම පටිපන්න වූ උපාසිකාවන් නිසාත් මේ බුද්ධ ශාසනය බැබළුණා. ඒ නිසා යම් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ශ්‍රාවිකාවක් බවට පත් වුවොත් ඒ හැම දෙනා ම මරණින් මතු නිදා පිබිදියාක් මෙන් සුගති ලෝකයක උප්පත්තිය ලබනවා. ඇයට මාර්ගය වැසී නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඕනෑ තරම් සුගති ලෝකයේ උපත ලැබූ ශ්‍රාවිකාවන් මුණගැසෙනවා. ශ්‍රාවිකාවකට සුගති ලෝකයේ දොරටු ඇරෙන්නේ කොහොම ද? ඒ සම්බන්ධ ව ඉතා සුන්දර දේශනාවක් තිබෙනවා අනුරුද්ධ මනාපකායික සූත්‍රය නමින්. ඒ දේශනාවේ සඳහන් වෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටියා මහා සූර වීර දිවැස් තිබෙන ශ්‍රාවකයන් වහන්සේනමක්. ඒ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේට ඕනෑම දෙයක් දිවැසින් දකින්නට පුළුවන්. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවා කාලයේ විවේකයෙන් වැඩසිටිද්දී දිව්‍යාංගනාවන් පිරිසක් ඇවිත් උන්වහන්සේට වන්දනා කළා. ඉතා අලංකාර ව බැබළි බැබළි සිටි මේ දිව්‍යාංගනාවෝ මනුස්ස ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවන්. තමන් කැමති ඕනෑම වර්ණයක්, ස්වරයක්, සැපයක් මවාගැනීමේ හැකියාව ඔවුන් සතුවුනා. ඉතින් මේ දිව්‍යාංගනාවෝ අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. මනුස්ස ලෝකයේ දී නොයෙක් ආකාරයෙන් කැමැති කැමැති පින් කරලයි ඔවුන් මනාපකායික දෙවියන් අතර උපන්නේ. මේ දිව්‍ය පිරිස අනුරුද්ධ මහරහතන් වහන්සේට ඔවුන්ගේ ආනුභාවය ගැන පවසද්දි උන්වහන්සේ සිතුවා ‘මෑලා පිරිස කහපාට වේවා!’ කියලා. සිතූ පමණින් පිරිස ම කහපාට වුණා. ඉන් පසුව සිතුවා ‘මෑලා සුදුපාට වේවා!’ කියා. එවිට සුදුපාට වුණා.

සවස් කාලයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර මෙසේ අසා සිටියා.

“ස්වාමීනී, යම් කාන්තාවක් කුමන ආකාරයේ ධර්මයන්ගෙන් යුක්ත වුනොත් ද කය බිඳී මරණින් මත්තේ සුගති ලෝකයේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්නේ?” (මනාපකායික දිව්‍ය ලෝකය කියන්නේ නිම්මාණරතියට යි.) ස්ත්‍රියක් නිරන්තරයෙන් ගුණධර්ම පුරුදු කළොත් ස්ත්‍රීත්වය ඉක්මවා චාතුම්මහාරාජිකය, තව්තිසාව, යාමය, තුසිතය යන දිව්‍ය ලෝක පසුකර නිම්මානරතියේ ඉපදෙන්න පුළුවන්.

ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා සුගතියට යන මාර්ගය. සමහර විට ඔබට සිතෙයි දිව්‍ය ලෝකයේ යන්න ලොකු ලොකු පින්කම් කරන්න ඕනේ කියලා. නමුත් මේ දේශනාවේ සඳහන් වන ගුණධර්ම කාන්තාවක් පුරුදු කරනවා නම්, ඇයට ඒකාන්තයෙන් ම ඉහළ දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්කම තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා යම්කිසි කාන්තාවක් මව්පියන් විසින් නිසි වයසේ දී ස්වාමියෙකුට පවරා දුන්නාට පස්සේ ඒ ස්වාමියාට කීකරුව වාසය කරන්න ඕනේ. ස්වාමියාට පළමුව අවදි වෙන්න ඕනේ.

නිවසේ තිබෙන සියලු කටයුතු සොයා බලා සියලු දෙනාම නින්දට ගිය පසු ඇය නිදන්න ඕනේ. ඇයට ස්වාමියා කෙරෙහි ප්‍රියමනාප වචන මෙන් ම ප්‍රියමනාප හැසිරීම් තිබෙන්න ඕනේ. මේ ගුණධර්මයෙන් යුතු තැනැත්තිය නිම්මාණරතී දිව්‍ය ලෝකයේ ඉපදෙනවා.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන්ගේ ස්වාමියාගේ ගුරුවරු, මව්පියන්, වැඩිහිටියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ද ඒ අයටත් සත්කාර කරන්න ඕනේ. අද අපේ සමාජයේ බොහෝ කාන්තාවන් තමන්ගේ මව්පියන්ට හොඳට සලකනවා. සැමියාගේ මව්පියන්ට සලකනවාට අකැමතියි. නමුත් දිව්‍ය ලෝකයේ ඉපදෙන ආර්ය ශ්‍රාවිකාව එහෙම නැහැ. ඇය ස්වාමියාගේ මව්පියන්ට, නෑයන්ට, වැඩිහිටියන්ට සත්කාර කරනවා. ගෞරව, බුහුමන් කරනවා. මේ සුගතියේ ඉපදෙන්න තිබෙන දෙවැනි කාරණාවයි.

ඒ වගේ ම තමන්ගේ ස්වාමියාගේ නිවසේ එදිනෙදා කළයුතු සෑම කටයුත්තක් පිළිබඳව ම දක්ෂ වෙනවා. කම්මැලි නැතුව, හොඳට හොයලා බලලා, නුවණින් කල්පනා කරලා කටයුතු කරනවා. මෙයත් මනාපකායික දෙවියන් අතර ඉපදෙන්න එක් කාරණාවක්.

අනෙක් කරුණ තමයි ස්වාමියා යටතේ යම් සේවකයන් සිටිනවා ද මෙහෙකරුවන් සිටිනවා ද වැඩවලට උදව් උපකාර කරන තවත් පිරිස් සිටිනවා ද ඔවුන්ගේ යුතුකම් ඉටුකර දෙනවා. අවශ්‍ය අවස්ථාවක නිවාඩු දෙනවා. ඒ පිරිස රෝගී වූ විට අවශ්‍ය උදව් කරලා දෙනවා. කෑමට තිබෙන දේ වුවත් බෙදාහදාගෙන කනවා. ඒකත් නිම්මාණරතියේ ඉපදෙන්න කාරණාවක්.

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්වාමියා යම් ධනයක් රැස් කරනවා ද මුදලක් උපයනවා ද එය අනවශ්‍ය ලෙස විනාශ නොකර ඒ දේ ආරක්ෂා කරනවා. රකිනවා. ඒ වගේ ම ඇය සෙර තැනැත්තියක්, දූර්ත තැනැත්තියක්, ලොල් තැනැත්තියක් නො වේ කියනවා. ස්වාමියා උපයන දේ නොයෙක් දේ කියමින් විනාශ නොකර ආරක්ෂා කරනවා. එයත් සුගතියේ යන්න කාරණාවක්.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවක් වෙනවා. ඇය නිරන්තරයෙන් සිල්පද පහ ආරක්ෂා කරන තැනැත්තියක් වෙනවා.

ඊළඟට ඒ ආර්ය ශ්‍රාවිකාව ත්‍යාගවන්තියක් වෙන්න ඕනේ. ඇය මසුරු තැනැත්තියක් නො වේ. ඇය නිරන්තරයෙන් දන් දෙනවා. ‘අනේ මට තිබෙන දෙයක් කවුරු හරි ඉල්ලාගෙන එනවා නම් මම ඒ දේ සතුටු සිතින් දෙනවා’ කියා නිතර ම ඇය සිතනවා. ඇය නිතරම දන් දෙන්න, දන් බෙදන්න සූදානමින් ඉන්නවා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් අනුරුද්ධ, මේ අට කරුණෙන් සමන්විත යම් ස්ත්‍රියක් ඇද්ද ඇය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවිවරු සිටින නිම්මාණරතියේ උපදිනවා.” කියලා.

ඉහත දේශනාව දෙස බැලූ විට ආර්ය ශ්‍රාවිකාවකට කරන්න තිබෙන්නේ පුංචි දෙයක්. පොඩි ගුණධර්මයක් පුරුදු කරන්න තිබෙන්නේ. නමුත් ඇය ඒ පොඩි දේ අතහැරලා ලොකු ලොකු දේ කරන්න උත්සාහ කරනවා. එදා සිටි ආර්ය ශ්‍රාවිකාව කළෙත් මේ දේ ම යි. අද සිටින ආර්ය ශ්‍රාවිකාවට කරන්න තිබෙන්නෙත් මේ දෙය ම යි.

මේ දේවල් ඔබේ ජීවිතයට පුරුදු කර ගන්න පුළුවන් නම් නිම්මාණරතී දිව්‍ය ලෝකයට යන්න පාර හැදෙනවා. අපි නිතරම ‘අනේ අපට අසවල් පින කරන්න වෙලාව නැහැ. අසවල් පින කරන්න ධනය නැහැ’ කියමින් පසුතැවීමෙන් කටයුතු කරනවා. එසේ නොකොට මේ බුද්ධ දේශනා අධ්‍යයනය කරමින් තමන්ට ඒ කරුණු ගළපා ගනිමින් පුරුදු කළොත් ඒ ශ්‍රාවිකාවට සුගති ලෝකයක යන්න පුළුවන්.

ඒ වගේ ම අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාවල සඳහන් ආර්ය ශ්‍රාවිකාව කවුද කියලා. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිය තැනැත්තියක්. හැම කාන්තාවකට ම නිම්මාණරතියේ යන්න පුළුවන් කියලා දේශනාවේ නැහැ. ඒ හිමිකම ලැබෙන්නේ ආර්ය ශ්‍රාවිකාවකට පමණයි. ආර්ය ශ්‍රාවිකාවක් ළඟ මාණික්‍ය හතක් තිබෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. යම් තැනැත්තියක් දෙස බලා බාහිර ලෝකයා සිතයි ‘අනේ මේ ස්ත්‍රිය සසරේ දෙයක් කර්මය කරගෙන ආ කෙනෙක්නේ’ කියලා. නමුත් ඇය ළඟ උතුම් වූ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල පහ පිහිටා තිබෙනවා. ඇයටයි ආර්ය ශ්‍රාවිකාව කියන්නේ. මේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් ආර්ය ශ්‍රාවිකාවෝ ද? නිකම් ම කාන්තාවෝ ද? ආර්ය ශ්‍රාවිකාවෝ අතළොස්සයි සිටින්නේ. අනෙක් සියලු ම දෙනා මරණින් මතු පහළට වැටෙන අයයි. ඉහත කරුණු සම්පූර්ණ කර ගත් ආර්ය ශ්‍රාවිකාව සේඛ බල ධර්ම වඩා ගත්තොත් ඇය කැමැති දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්.

ඔබ අසා තිබෙනවා නේ ද විශාඛා සිටු දියණිය ගැන. ඇය අවුරුදු හතේ දී ආර්ය ශ්‍රාවිකාවක් වුණේ. ඇය සාමාන්‍ය දැරියක් ගත කරන ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ගත කළේ. ඇය විවාහ වෙලා ගියේ මිසදිටු පවුලකට යි. ඇය ආර්ය ශ්‍රාවිකාවක් වූ නිසා ඇය මුළු පවුල ම ධර්මයට ගත්තා. ඇයට ගෞරවයක් ලෙස ස්වාමියාගේ පියා ඇයට ‘මිගාර මාතා’ කියන නම පටබැන්දා. මාතෘ භාර්යාව ලෙසයි ඇය හැඳින්වූයේ. හරි පුදුම ආකාරයට ඇය ඒ පවුලට සලකලා හැම දෙනාම ධර්මය තුළ පිහිටෙව්වා. විශාඛා ආර්ය ශ්‍රාවිකාවක් ලෙස ජීවිතය ගත කළ නිසා ඇයට නිම්මාණරතියේ දොර ඇරුණා. අදටත් ඇය නිම්මානරතියේ සුව සේ සිටින්නේ. බුද්ධ කාලයේ සිට ධර්මය පුරුදු කළ ආර්ය ශ්‍රාවිකාවන් ගැන ඔබ ඉගෙන ගන්න. ඔවුන් ගැන සිතන විට අපේ ජීවිතවලටත් යම් හයියක්, ගැම්මක්, වීර්යයක් ඇතිවෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ගිහි ජීවිතය ගත කරන ගිහි ශ්‍රාවිකාව විසින් මිනුම්දඬු දෙකක් තබා ගත යුතු බව. ඒ තමයි නන්දමාතා සහ ඛුජ්ජුත්තරා ශ්‍රාවිකාවන්.

නන්දමාතා කියන්නේ බොහෝ දුක් ගැහැට ඉවසාගෙන ධර්මය පුරුදු කළ අනාගාමී උපාසිකාවක්. ඛුජ්ජුත්තරා කියන්නේ දුක සේ බණ කියා දුන් දාසියක්. එහෙම නම් ඒ මිනුම්දඬු දෙක ගැන ගිහි ශ්‍රාවිකාවන් වන ඔබ හොඳින් දැනගත යුතු වෙනවා. නන්දමාතා උත්තමාවියගේ චරිතය කියවා ඒ ආකාරයට අපේ ජීවිතත් හැඩගස්වා ගන්න පුළුවන් වුණොත් අද වුවත් ඒ කාන්තාවට සුගති ලෝකයේ දොර ඇරෙනවා. හැබැයි ලෙහෙසි නැහැ. දුෂ්කරයි. නමුත් කර ගන්න පුළුවන් නම් ඇය දිනනවා. එතුමිය ඉතා උතුම් තැනැත්තියක්. වෛශ්‍රවණ දිව්‍යරාජයා පවා පැමිණ ඇයත් සමඟ කතාබහ කරනවා.

ඉතින් පිරිස අසනවා ඔබ ඉදිරියට වෛශ්‍රවණ දිව්‍යරාජයා පැමිණ කතා කරනවා ද කියලා. එතුමිය කියනවා “ඒ කරුණ මොකක්ද? ඊට එහා ගිය ආශ්චර්ය අද්භූත කරුණු හතක් මා ළඟ තිබෙනවා” කියලා. මේ කරුණු උපදවා ගැනීම ඉතා අමාරුයි. නමුත් එය පුරුදු කළොත් සුගති ලෝක මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එතුමිය කියනවා “මගේ පුතා නිකරුණේ මගේ ඇස් ඉදිරිපිට ම මරා දැම්මා. නමුත් අංශුමාත්‍රයක සිතේ වෙනසක් ඇති වුණේ නැහැ” කියලා. ඒ වගේ ම ඇය තමන්ගේ ස්වාමියා මියගොස් මළ යක්ෂයෙක් වෙලා තමන් ඉදිරියට එනවා කියනවා.

නමුත් සිතේ බය තැතිගැනීමක් නැහැ කියනවා. ඒ වගේ ම තමන්ගේ ස්වාමියා ඉක්මවා ගොස් වෙන ස්වාමියෙක් ගැන සිත සිතා පත පතා සිටියේ නැහැ කියනවා. ඒ වගේ ම මම භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකාවක් කියා ප්‍රතිඥා දුන් දවසේ සිට උපාසිකා භාවය අහෝසිවන ආකාරයට සිල්පද කඩාගෙන නැහැ කියනවා. ඒ වගේ ම මට සුව සේ හතරවැනි ධ්‍යානයට සම වදින්න පුළුවන් කියනවා. එලෙස ඇය ආර්ය ශ්‍රාවිකාවක් ලෙස ධර්ම මාර්ගය පුරුදු කරමින් ජීවත් වූ නිසා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට වාසනාව උදා වුණා. එතුමියගේ ගුණධර්ම සිත සිතා ‘අනේ එහෙම නම් මටත් මේ ගුණයන් උපදවා ගන්න පුළුවන්නේ’ කියලා ඒ හයියෙන් තමයි අද ඉන්න කාන්තාවට, ආර්ය ශ්‍රාවිකාවට සුගති ලෝකයට යන්න මාර්ගය විවෘත කර ගන්න තිබෙන්නේ.

ඒ වගේ ම ඛුජ්ජුත්තරා කියන්නේ දාසියක්. ධර්ම මාර්ගය පුරුදු කරලා අනාගාමී වුණා. දුක සේ ජීවිතය ගත කළා. දුක සේ බණ කිව්වා. පුළුවන් තරම් ධර්මය කියමින් පිරිස පැහැදෙව්වා. අනෙක් පිරිස නිහතමානී වුණා දාසියක් වුණාට ධර්මය අහන්න. ඇය ධර්මය කිව්වා. මරණින් මතු ඇය සුගති ලෝකයේ ඉපදුණා.

සේඛ බල පහ තමන්ගේ ජීවිතය තුළ ඇති කරගෙන ඉදිරියට යන ආර්ය ශ්‍රාවිකාව නිතර ම ස්වාමි භක්තියෙන් යුක්ත වෙන්න ඕනේ, හොඳින් ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. එය මොනතරම් ඉවසීමක් ද කියන්නේ බොහෝ කාලයක් පුරුදු පුහුණු කළ ඉවසීමක් වෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ උපාසිකාවන් අතර සිටි සාමාවතියගේ ගුණධර්මත් අපට හයියක් ඇතිකර ගන්න උපකාරී වෙනවා. ඇය සිටි මුළු මාළිගාවට ම මාගන්දියා ගිනි තිබ්බා. දුවන්න ඕනේ, ජීවිතය බේරා ගන්න ඕනේ කියලා කවුරුත් කලබල කළේ නැහැ. ඇය සියලු දෙනාට ම කිව්වා ගින්නෙන් මේ කුණු කය පිච්චී ගියත් නැගණිවරුනි, සිත නම් වෙනස් කර ගන්න එපා කියලා. එසේ කරන්න පුළුවන් වුණේ ඔවුන් තරහව දුරු කරන්න පුරුදු කළ පිරිසක් නිසයි. දැන් ඒ සියලු දෙනා ම ඉන්නේ සුගති ලෝකයේ. අපි බලන්න ඕනේ ඒ අයට සුගති ලෝකයේ දොරටු විවර වුණේ කොහොමද කියලා. ඒ කරුණු දැනගත්තොත් තමයි අපට හයියක්, වීර්යයක් ඇතිවෙන්නේ.

අපිත් අපගේ ජීවිතවලට ප්‍රශ්න එනකොට මේ ආකාරයට සිතන්න ඕනේ. එතකොට අපටත් සුගති ලෝකයක් විවෘත වේවි. නැත්නම් ප්‍රශ්න ගැටලු ආ විට ඒවා මත්තේ ම හැපි හැපී හඬා වැටෙනවා මිසක් ඉන් එහාට කරන්න දෙයක් දන්නේ නැහැ. කරන්න තේරෙන්නේ නැහැ. අපේ ජීවිතවලට එක දිගට ම ප්‍රශ්න එනකොට අපි පුළුවන් තරම් ඉවසන්න ඕනේ. ඔබත් සුගති ලෝකයකට යන්න කැමැති නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවිකාවෝ ධර්මය පුරුදු කළ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි හැමදෙනා ම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල ධර්ම දියුණු කරගෙන ආර්ය ශ්‍රාවිකාවක් තුළ තිබිය යුතු කරුණු ඇති කරගෙන, ඉවසීම, කරුණාව, මුදිතාව ඇති කරගෙන, තමන්ගේ ස්වාමියාට ගරු බුහුමන් කරමින්, මව්පියන්ට උපස්ථාන කරමින් මිනිසත් ගුණධර්ම ඇතිකර ගත්තොත් ඇයට ඒකාන්තයෙන් ම සුගති ලෝකයේ දොරටු විවර වෙනවා. මේ ප්‍රතිපදාවේ නොයෙදී අනේ අපට තව්තිසාවේ, නිම්මාණරතියේ යන්න ලැබේවා යැයි පතමින් කාලය ගෙවා දමන කාන්තාවොත් නැතුවා ම නො වේ. එයට භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. එක් කිකිළියක් බිත්තර දමා ගම වටේ ම කිය කිය යනවා මගේ බිත්තර පුපුරා තව ටික කලකින් පැටව් එළියට ඒවි කියලා. නමුත් පැටව් එළියට එන්නේ නැහැ. තව කිකිළියක් ඉන්නවා. ඇය බිත්තර දමා කාටවත් නොකියා හොඳින් ඒ බිත්තර රකිනවා. දවසක ඒ බිත්තර මෝරා පුපුරා පැටව් එළියට එනවා.

එනිසා අද වුවත් කාන්තාවකට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව පුරුදු කරගෙන සේඛ බල, ගුණධර්ම ඇති කරගෙන ආර්ය ශ්‍රාවිකාවන්ගේ ජීවිත ආදර්ශයට ගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඇයට සුගති ලෝකයට යන්න පුළුවන්. එයට අවශ්‍ය වන්නේ වීර්යය, උත්සාහය, කැපකිරීම යි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කාන්තාවන් නිසා අපට මේ ධර්මය අවබෝධ කර ගන්න බැහැ කියා දෙයක් නැහැ. ආර්ය ශ්‍රාවිකාවකට පමණයි දෙව්ලොව දොරටු විවර වෙන්නේ.

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි