හේනේ තල වපුරා ගෙට ගොඩවූ භාරද්වාජ අටුව ඇර බැලුවේ ය.

“තොපි හිතන්නේ මේක තොපේ වාසභවන කියල ද? පලයව්… අහංකාර මීයෝ.!”

භාරද්වාජ ගල් අහුරක් අතට ගෙන විසිරෙන්නට දමා ගැහුවේ ය. බොහෝ කල් හිස් වූ වී අටුව කෙසේ පුරවන්නටදැයි ඔහු නොදනී.

මහා ධනස්කන්ධයක් තිබූ භාරද්වාජයන්ගේ කලදසාව නපුරු වී කණකොකා හැඬූ කලක් උදා වී ඇත. දුප්පත්කම ඉහට උඩින් වැඩෙමින් භාරද්වාජ දවසින් දවස තැලි තැලී යයි. රූබර දූවරු හත් දෙනෙක් සිටි නිසා ‘බහුධීතූ’ යන විරුදාවලිය ලැබූ භාරද්වාජ බ්‍රාහ්මණයා අහිංසක පියෙකි.

“අපිට සල්ලි තියෙනකල් විතරයි මෙවුන්ට අපේ කෙල්ලෝ වටින්නේ…”

පොඩි එකී දුටු භාරද්වාජට කියවිණ. කෙල්ලන්ගෙත් අවාසනාව ය. හත්දෙනා ම කරකාර දී දරුවන් පොඩි කාලෙම වැන්දඹු විය. ධනය තියෙනතාක් ම ස්වාමිවරුන්ගේ නිවෙස්වල සිටි ඈලා දුප්පත් වූ පසු ගෙදරට ගෙනත් දැම්මේ තමාගේ ම පවට යැයි භාරද්වාජට සිතේ. භාරද්වාජගේ අතට දුගී බත් පත ලැබිණ.

“පුතේ සීයා ආවා. සීයත් එක්ක බත් කන්ට.”

ඒ ලොකු එකී ය. පොඩි උන් හත් අට දෙනා සීයාට දක්වන ආදරය නිසා සීයාට කුසගින්නේ ම ඉන්ට සිදු වී ඇත. උන් ටික බත් පතට අත දමද්දී භාරද්වාජට අත දමන්නටත් ඉඩ මදි ය. ‘මුණුපුරන් නොවැ…’ බණින්නටත් බැරි ය. ‘මෙවුන්ටත් බඩගිනි ඇති.’ භාරද්වාජ හිත හදාගෙන ඇඳට යයි.

ඉස්සර තිබූ සුඛෝපභෝගී ඇඳන් විකුණුවේ යමක් කමක් සොයා ගන්නට ය. බූරු ඇඳට දැමූ පැදුර මාස හතක් පරණ ය. එය පිරිසිදු කරන්නට හෝ අව්වට දමන්නට හෝ ගෙදර උන්දෑටවත්, දූලටවත් නොහිතෙන්නේ ‘මගේ ම පවුකාරකම’ කියා හිත හිතා හේ ඇඳට ගොඩ විය. නින්ද යාගෙන එන විට ම ඇඟ පුරා කසන්නට ගනී. මකුණන් පිරී ගිය පැදුරත් භාරද්වාජට ම හතුරු ය. එය ගසා දමා යළිත් එළා ගත්තේ ය. ඒත් ඇසිල්ලකින් මකුණන්ගේ ප්‍රහාර පටන් ගනී. ඇඟ කසමින් එහාට මෙහාට පෙරළෙන මේ මහලු පියාට කයටවත්, හිතටවත් සැනසිල්ලක් නම් නැත. උදේ පාන්දර වෙද්දී මකුණු යුද පිටියේ ම පොඞ්ඩක් ඇහැ පියවුණි.

“දවල් වෙනකල් බුදියලා හරියනව ද බමුණෝ? පොළියට අරන් මහ ලොකුවට තල වපුරලා ඒ ණය ටිකත් විනාශ කළා. අනේ හැබෑට… මේ කෙල්ලෝ හත්කට්ටුවටත් කන්න දෙන්න ඕන නේ ද? ණයයි… පොළියයි… තව ටිකකින් ණයකාරයෝ කඩා පැනලා මෙතන දොස්මුරේ තියන්ට කලියෙන් සල්ලි ටිකක් හොයන් ආවොත් නරක ද?”

ගෙදර උන්දෑගේ කේන්තියටත් පලි භාරද්වාජ ය. ඔහුට හිතට එන තරහට ගෙදර උන්දෑට තඩි බෑවේ නම් මෙලහකට ඈ වළ පල්ලේ ය.

යොවුන් වියේ තිබුණ සුලලිත රූපයත්, මුදු කෝමළ කටහඬත්, සෙනෙනෙබර හදවතත් වෙනුවට… දුඹුරු පාට ළප හැදිච්ච සිරුරක් ඇතිව, ගෙදර ආ වේලේ පටන් ගෝරනාඩු කරන වයසක උන්දෑට… තරුණ විසේට මුළා වෙච්චි වැරැද්දට හේ තමාට ම ශාප කර ගනී. ‘නිදකින් මාත් මේ ගෑනු පරාණයකට අහු වෙලා වෙච්ච නස්පැත්තිය.! යසයි මයෙ ගොන්කමට ම! චික්. අග්ගිකයා වගේ මටත් තාපසයෙක් වෙන්ටයි තිබ්බේ!’

භාරද්වාජ ආපසු නොබලා ම හේනට දිව්වේ ය.

“මේ ඇහුණ ද? කෑම එක කාලා යන්ට.”

“කන්ට හිටිය නම් බලන්ට තිබ්බා… බේගල්..!”

භාරද්වාජ මුමුණමින් ඉදිරියට ගියේ ය.

තල හේන වැපුරූදාට පහුවදා ම මොර සූරන වැසි ඇද හැළුණි. ඒ වැස්සත් ඔහුට ගින්දරක් ම විය. තල පසේ ගිලී ගියේ ය. මල් ගෙඩි හටගන්නට තරම් සරු පැළයක් හොයාගන්ට බැරි විය. දුටු දසුනින් භාරද්වාජගේ ඇස් උඩ ගියේ ය. හදවතට උලකින් ඇන්නා සේ විය. ඒ තල පැළත් එක රැයට පණුවන් කා ඇත. උන් කොළ එකක් දෙකක් ඉතිරි කර ඇත්තේ ඔච්චමට මෙනි.
‘හිත හදාගන්නවා ඇරෙන්න වෙන මක් කරන්න ද? මගේ මේ දුර්දසාව කවදා අහවර වෙයි ද මන්දා?’

හේ නොමඳ සුසුම් හෙළී ය.

ටික දොහකින් එහා ඉඩමේ කුඹුර හාන්ට ගිය භාරද්වාජ ගවයන් ලිහා බ්‍රාහ්මණයන් සමඟ ඇඹුල ගන්ට ගියේ ය.

“මාමේ… මාමේ මේ හරක් ටික නෑනේ…”

උදව්වට ආ කොලුවෙකි හතිදමාන ආවේ.

“මොකක්..?”

බත් පතට මක් උනාදැයි භාරද්වාජට මතක නැත. ඔහු එක පිම්මේ කුඹුරට දිවූ වේගෙන් ම අසබඩ මහා මූකලාන පුරාත් දිව්වේ ය. සියලු බ්‍රාහ්මණයන් එකතු වී සෙව්වත් ගවයන් දාහතර දෙනාගෙන් එකෙකුට හෝ වූ දෙයක් නැත. “හයියෝ” කියා ගන්නට වචන නැති තරමට භාරද්වාජගේ දුක දරුණු ය.

දැන් ඔහුට හේනේ බලාගන්නට ද දෙයක් නැත. හරක් සොයා ගන්නා තුරු කුඹුරු වැඩත් නැත. ගෙදර හිටියොතින් ගෙදර උන්දෑගෙනුත්, කෙල්ලන්ගෙනුත් විසුමක් ද නැත. ‘අද ගවයන් හම්බ වේවි…’ කියා සිත සිතා හේ උදේ ම පිටත් වී වනය පීරමින් ඇවිදියි.

මූකලානේ දුවන පා මතින්… ඔහුගේ සිත සැරින් සැරේ අතීතයේ සක්මන් කරයි. එදා ධනයෙන් ආඪ්‍ය වී, සුව සේ බොජුන් අනුභව කරමින්, පින්වන්ත මුණුබුරු, මිනිපිරියන්ගේ සුරතල් මැද සුන්දර දියණිවරු හත්දෙනෙකු සමඟ සැනසිල්ලේ විසූ පින්වන්ත බ්‍රාහ්මණ තෙමේ ඔහු විය. ජීවිතය බොඳ ව යන සිතුවමකැයි, සිහිනයකැයි කියා ඔහුට සිතුණ වාර අනන්ත ය.

“අර… අර කවුද? අතු පතර විහිදී ගිය රුක් සෙවණේ, නිවී ගිය ශාන්ත සිතකින් බවුන් වඩන උත්තමයා… හප්පා… රන් කඳක් වගේ බබළනවා නොවැ. මුන්නාන්සෙගෙ මුළු සරීරෙන් ම රැස් විහිදෙනවා නොවැ… ආහ්… මේ මේ ශ්‍රමණ ගෞතමයන් නොවැ… ෂාහ්… ඍජු ශරීරෙන් පළඟ බැඳන්… කිසි දුකක් නැතුව, හිතේ විස්සෝපයක් නැතුව… අමාවක් වළඳන්නැහේ ඉන්න අපූරුව!”
භාරද්වාජ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියේ ය. අභිනීල නෙත් සඟලේ දීප්තිමත් කාන්තිය විඳින භාරද්වාජගේ කටට ආවේ හිතේ පත්තු වූ ගින්දර ම ය.

“මගේ ගවයන් දා හතර දෙනා හොයාගන්න බැරුව අදට දවස් හයක් වෙනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ ප්‍රශ්න නෑනේ. ඒකනෙ මේ තරම් සනීපෙට ඉන්නේ.

කොළ එක දෙක ඉතුරු වෙච්ච පවුකාර තල හේන මේ ශ්‍රමණයන් වහන්සේට නෑනේ. ඒ නිසා ම යි මේ ශ්‍රමණයන් වහන්සේ සනීපෙට ඉන්නේ.

මගේ හිස් වී අටුවේ මීයො නටන්නේ හිතට අරගෙන. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. ඒකයි මේ තරම් සනීපෙට ඉන්නේ.

හත් මාසයක් පරණ මගේ පැදුරෙ මකුණො පිරිලා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. ඒක නිසයි මෙතරම් සනීපෙට ඉන්නේ.

ළමයි එකා දෙකා ඉන්න, කණවැද්දුම් වෙච්ච, පවුල් කැඩිච්ච ගෑනු දරුවෝ හත් දෙනෙක් ම මට ඉන්නවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. ඒක නිසයි මෙතරම් සනීපෙට ඉන්නේ.

දුඹුරු පාට ළප හැදිච්ච ගෙදර උන්දෑ මං නිදාගෙන ඉන්නකොට නැගිට්ටවන්නේ පයින් ගහලා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ වදෙත් නෑනේ. ඒක ම යි මේ තරම් සනීපෙට ඉන්නේ.

පාන්දර ජාමේ නැගිටිනකොට ම ණයකාරයෝ එනවා. ‘ගත්තු ණය දීපන් දීපන්’ කියලා බැණ වදිනවා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. ඒකයි මෙච්චර සනීපෙට ඉන්නෙ.”

භාරද්වාජගේ දුක් ගැනවිල්ල අසා සිටි මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ පැවිද්දේ සැපය ම, නෙක්ඛම්මයේ සැපය ම වර්ණනා කළ සේක.

“පින්වත් බ්‍රාහ්මණය, හය දවසක් තිස්සේ ඔබේ ගවයින් ආගිය අතක් නෑනේ. ඇත්තටම මට ඒ ප්‍රශ්න නෑ. ඒ නිසා මම සුවපත් වෙච්ච කෙනෙක්…..”

මෙසේ…. භාරද්වාජයන්ට ඇති දුකක් දුකක් ගානේ… “ඒ දුක මට නෑ… නෑ… නෑ… කියා ඇසෙද්දි ඇසෙද්දී…. ඔහුගේ සිතට ආ සතුටට නිම් හිම් නැති විය.

“අනේ භවත් ගෞතමයන් වහන්ස, පුදුම ලස්සනක්නෙ මේ කාරණාව… ජීවිතේ ඇත්ත පෙන්වා දුන් දහම අපූරුයි! ඒක හරියට මංමුළා වෙච්ච අසරණයෙකුට පාර පෙන්නුවා වගේ. කළුවරේ අන්ධකාරේ අන්ධයෙක් වගේ හිටි කෙනෙකුට පහනක් පත්තු කරලා දුන්නා වගේ. අනේ ස්වාමීනී, මමත් බුද්ධ රත්නේ දිවි පුදා සරණ යනවා. ධර්ම රත්නයත්, සංඝ රත්නයත් සරණ යනවා. අනේ මාව පැවිදි කරන්ට.”

මහා කාරුණික දෑසින් ලොව බලද්දී භාරද්වාජයන්ගේ ජීවිතය තුළ සැඟවී තිබූ පින් මහිමය දුටු භාග්‍යවතුන් වහන්සේ නිසා ඔහුගේ කලදසාව නොසිතූ විරූ අයුරින් කලඑළි විය.

භාග්‍යවතුන් වහන්සේ හෙතෙම පැවිදි කොට ජේතවනාරාමයට කැඳවාගෙන ගිය සේක. පසුදා පිණ්ඩපාතය උදෙසා ශාස්තෘන් වහන්සේ භාරද්වාජ තෙරුන් පසු ශ්‍රමණයා ලෙස කැටුව කෝසල රජ මාළිගයට වැඩි සේක.

කෝසල මහ රජු ද ප්‍රාසාදයෙන් හණික බැස භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය දෝතින් පිළිගෙන, ප්‍රාසාද මුදුනට වැඩම කරවා, වඩා හිඳුවා, කැඳ සහිත දානය පූජා කිරීමට සූදානම් විය. අහෝ! කුමක් ද මේ සිදු වන්නේ… තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයෙන් පාත්‍රය වැසූ සේක.

“අනේ ස්වාමීනි, මගෙන් වරදක් උනා නම් සමාවෙන්න…”

කෝසලාධිපති තෙම සිරිපා මුල වැඳ වැටුනේ ය.

“නෑ මහරජතුමනි…”

“එහෙනම් ස්වාමීනී, කාරණය කුමක් ද?”

“පින්වත් රජිඳුණි, බාධාවක් ඇත්තේ නොවැ.”

“ස්වාමීනී දානය ප්‍රතික්ෂේප කිරීමට තරම්… ඒ බාධාව කුමක් ද? කම් නැත ස්වාමීනී, ඕනෑම බාධාවක් ඉවත් කර දීමට මම සිටිමි. දානය පිළිගෙන සිටිය මැනව.”

භාග්‍යවතුන් වහන්සේ දානය පිළිගත් සේක. බොහෝ කලක් කුස පිරෙන්ට අහරක් නොලබා සිටි මහලු භාරද්වාජ හිමියන්ට ප්‍රථම දානය රජුගෙන් ම ලැබුණේ මෙසේ ය.

“ස්වාමීනී, සකල පෘථිවියට අධිපති වන්නටත් පින් තිබූ, තුන්ලෝකාග්‍ර වූ ශාස්තෘන් වහන්සේට ඇති බාධාව කුමක් ද?”

“මහරජාණෙනි, මේ මහලු හිමියන්ට ඇති බාධාව තමයි, අපේ බාධාව. ඔහුගේ ප්‍රශ්නය අපගේ ප්‍රශ්නයක් වගේ තමයි.”

කෝසල නිරිඳුන් තෙරුන් වහන්සේට වැඳ සමීප විය.

“ස්වාමීනී, මොකක්ද ඔබ වහන්සේට තියෙන බාධාව?”

“රජතුමනි, ණය බර තිබෙනවා නොවැ.”

“ස්වාමීනී, කොපමණ ද?”

භාරද්වාජයන් වහන්සේ ණයකරුවන්ගේ ගණන් හිලව් විස්තර කරන්නට පටන් ගත් සේක.

“මහරජ, ගණන් හදන්ටකො. අසවල් බ්‍රාහ්මණයාට කහවණු 5යි. අසවලාට කහවණු 10යි… අසවලාට 100යි. අසවලාට 1000යි… අසවලාට…”

“කමක් නෑ ස්වාමීනී, ඔබ වහන්සේ වෙහෙසෙන්ට එපා.”

කෝසල නිරිඳුන් එක්තරා පුරුෂයෙකු ගෙන්වා, ‘බහුධීතුක භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ණයකරුවෝ රජමිදුලට පැමිණෙත්වා’යි අඩබෙර ගස්වන්නට යැයි කියා ගමට යැවී ය. ඔවුන්ගේ ණය ලියවිලි බලා රජු විසින් රන් කහවණු ලක්ෂයකට අධික ණය බේරා හරින ලද්දේ ය.

“ස්වාමීනී, වෙන මුකුත් ප්‍රශ්නයක් තිබේ ද?”

“මහරජුනි, ණය නම් ඔහොම හරි බේරන්නට පුළුවන්. මගේ දූලා ගැන බලන්නේ කවුද දැන්?”

සැදැහැති නරේන්ද්‍රයන් යානාවන් යවා, දූවරුන් ගෙන්වා, තම දියණි තනතුරෙහි පිහිටුවී ය.

“ස්වාමිනි, වෙන මුකුත් තියේ ද?”

“ඇයි මහරජුනි, දරුවන්ගේ මෑණියො?”

කෝසල මහරජ තෙම ඈ ව යානාවක නංවා ගෙනවිත් සිය මිත්තණි තනතුර පිරිනැමී ය.

“ස්වාමීනී, වෙනත් ප්‍රශ්නයක් තිබෙයි ද?”

“එපමණයි මහරජ.”

කෝසලාධිපතිඳුන් චීවර වස්තු ද පූජා කොට, “ස්වාමීනී මින් මත්තෙ ඔබවහන්සේගේ සිව්පසය ගැන අපි බලන්නම්, ඔබවහන්සේ සිතට බරක් නොගෙන සුව සේ මහණදම් පුරන්ට.” යැයි වන්දනා කළේ ය.

අහෝ! කාලෙකට දිලිසෙන, පසු පසු වී හපයක් වන, විචිත්‍ර කාමයන් සත්වයා හැමදා ම මෙසේ ම මුළා කරයි. කෙතරම් දුක් වින්දත් කාමයෙන් අන්ධ වූ ජනයාට ඒ ළාමක තාවකාලික සැපය අත්හැරීම ද දුෂ්කර ය. ස්ත්‍රී ගඳින්, ස්ත්‍රී කරච්චල්වලින් විඳව විඳවා රාගයෙන් අන්ධ වූ පුරුෂයෝ උදෑසන හොඳින් සෝදා, පුයර දමා හැඩ කළ ඇගේ මුහුණේ පියකරු සිනහවට ටික කලක් නමුත් උමතු වූවන් සේ රැවටේ. අන්තිමේ දී ගිලගන්නටත් බැරුව, වමාරගන්නටත් බැරුව, දුකේ ම කාල් ගෑවි ගෑවී සිටිත්. එසේ වී නමුත්, ගිහි බන්ධනය තරම් ම බලවත් බන්ධනයක් ද ලොව නැත.
ඒ අතරේ ඒ ගිනි නිවාලන… කල්ප ගණනකින් මිනිසුන්ට ලැබෙන බුදු සසුනක චීවරයක් දරාගෙන… සිල් ගුණ රැකගෙන පිළිවෙතින් සරුව, දවසක් හෝ ගෙවන්නට ඇත්නම්… එය පිනැතියන්ගේ ම ලැබීමකි.

අහෝ! ගෞතම සසුන කොතරම් අසිරිමත් ද…! ශාස්තෘන් වහන්සේගේ මහා කරුණාව කොතරම් ද! මහලු භාරද්වාජයන් වහන්සේ වෙනුවෙන් ම රජගෙට වැඩම කොට උන්වහන්සේගේ හිතේ ඇති සෑම බරක් ම නිදහස් කර ගන්නට මග පාදා කළ අනුග්‍රහය නිසා ම පින්වත් බහුධීතුක භාරද්වාජ තෙරණුවෝ සුළු කලකින් ම පවුකාර හේන්වලින්, හිස් වී අටුවලින්, හිතුවක්කාර මීයන්ගෙන්, කණවැන්දුම් දූවරුන්ගෙන්, පයින් ගසා නැගිට්ටුවන හාමිනේලාගෙන්, ණයකාරයන්ගෙන් සදහට ම… සදහට ම… සදහට ම නිදහස් වී ඒකාන්ත ශාන්ත ප්‍රණීත සැප ඇති අමා නිවන් වැළඳූ සේක.

අහෝ…! ආශ්චර්යයි.

(සං. නි. 1 – 7.1.10. බහුධීතු සූත්‍රය ඇසුරිනි)

නිල්ගෙල තිබෙන මොනරිඳු ඉගිලෙන අහසේ
නොම පැමිණේ ය ජවයට හංසයෙකු ලෙසේ
මෙලෙසින් සමවන්ට ගිහියෙකු හට කිසි සේ
නොහැකිය වනේ දැහැන් වඩනා මුනි විලසේ

(අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති, සුත්ත නිපාතය, චන්ද සූත්‍රය )

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි