අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. බුදුරජුන් වදාළ ධර්මය අසා බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස බිහි වුණා. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන්නට තරම් වාසනාවන්ත වුණා. එසේ ම කෙනෙකුගේ ජීවිතයට උදාවන වාසනාව කියන්නේ හරිම පුදුම දෙයක්. ඒක බැලූ බැල්මට හොයාගන්න බැහැ. ඇතැම් විට කෙනෙකුගේ වාසනාව මතු වෙන්නට විශාල කාලයක් ගත වෙනවා. සමහර විට ඔහුගේ වාසනාව මතු වෙන්නේ ඊ ළඟ ජීවිතේ දී වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල දන්නා දකිනා එකම උත්තමයන් වහන්සේ අනාවරණ ප්‍රඥා ඇති අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේයි. උන්වහන්සේ ළඟට යම් කෙනෙක් පැමිණියොත් ඒ කෙනාට ධර්මාවබෝධය සිදු වන්නේ තව බොහෝ කාලයකින් නම් එහෙමත් නැත්නම් ඊ ළඟ ජීවිතයේ දී නම් ඒ සඳහා මේ දහම් පරියාය දේශනා කළ යුතුයි කියා දන්නේ බුදුරජාණන් වහන්සේයි. එවැනි බොහෝ පුද්ගලයින් බුදුරජුන් ජීවමාන ව වැඩ සිටිද්දී උන්වහන්සේ හමුවට පැමිණුනා.

අන්‍යාගමික උදවිය ද බුදුරජුන් හමුවේ තෙරුවන් සරණෙහි පිහිටියා. ඒ තිසරණයෙහි පිහිටීම නිසා නැවතත් මනුලොව ඉපදී ධර්මය අවබෝධ කොට උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවත් දඹදිව් තලයේ මෙන් ම වාසනාවන්ත රන් භූමියක් වූ ලංකාදීපයේ ද එදා භාග්‍යවතුන් වහන්සේ හමුවේ ධර්මය අසා තෙරුවන් සරණෙහි පිහිටි උදවිය නැවතත් මනු ලොව ම ඉපදී බුදු සසුනේ පැවිදි වී උතුම් මහරහත් භාවය ලබා ගත්තා. අතිශය පාරිශුද්ධ ජීවිතයක් ලබා ගත්තා. ඒ වාසනාව උදා වුණේ භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම නිසයි.

මුළුමනින් ම කෙලෙසුන්ගෙන් කිලිටි වී සසරට බර වූ මේ සිත පිරිසිදු කිරීම ඉතා අසීරු දෙයක්. මේ ලෝකයේ යම් බිහිසුණු ජය ගැනීමට දුෂ්කර යුද්ධ ඇද්ද එබදු යුද්ධ දාහකින් ලබන ජයටත් වඩා කෙලෙසුන් සමඟ යුද වැදී ජය ලැබීම උතුම්. ඒ කෙලෙස් යුද්ධයට අත ගැසීම පවා ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් ම පමණක් කරන දෙයක්. ඒ අයුරින් ම ඒ කෙලෙස් සංග්‍රාමයෙන් ජයගත් රහතන් වහන්සේලා කෙතරම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයන් ද! උන්වහන්සේලා ඒකාන්තයෙන් ම අප බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයන් බවට පත්වෙනවා. අප භාග්‍යවතුන් වහන්සේට එසේ සූර වීර යෝධ බල ඇති ශ්‍රේෂ්ඨ පුත්‍රයන් බොහෝ සිටියා. බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වන, කල්පයක් පුරා වහින වැස්සේ වැහි බිංදු ගණන් කර කියන්නට පුළුවන්, මේ බුද්ධ රාජ්‍යයේ සෙන්පතියාණන් වහන්සේ වන, ඇහැළ මලේ පාටින් බබළන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේනමක් වන ‘සාරිපුත්ත’ යන නම ඇති, බුදුරජාණන් වහන්සේගේ ළය මඬලින් උපන් ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් වැඩ සිටියා. එසේ ම මහානුභාව සම්පන්න, ඍද්ධි බලයෙන් පරතෙරට ගිය, නීල මාණික්‍යයක් සේ බබළන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේනමක් වන ‘මොග්ගල්ලාන’ යන නම ඇති බුදුරජුන්ගේ හද මඬළින් උපන් පුත්‍රයෙක් වැඩ සිටියා.

එසේ ම සීල ධුත ගුණයෙන් අග්‍ර, දෙව්ලොව දෙවිවරු පවා දන්පැන් පිදීමට බලා සිටින ‘මහා කස්සප’ යන උත්තම පුත්‍රයෙක් වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් සෙවණැල්ලක් මෙන් යමින් උපස්ථාන කරන, මතක ශක්තියෙන් අග්‍ර වූ, අග්‍ර උපස්ථායකයන් වහන්සේ වූ, දකිනවුන් ආනන්දයට පත් කරවන ‘ආනන්ද’ නම් පුත්‍රයෙක් වැඩ සිටියා. මහා තෙද ඇති, මහා බල ඇති, උතුම් වූ ඉවසීමෙන් යුතු වූ, සැබෑ ලෙස ම දමනයට පත් වූ ‘අංගුලිමාල’ නම් පුත්‍රයන් වහන්සේනමක් වැඩ සිටියා. ගෞතම බුදුරජුන්ගේ පිවිතුරු ශ්‍රී සද්ධර්මය හද මඬලෙහි දරාගෙන ලක්දිවට වැඩම කොට බුදු සසුන් පිහිටුවා වදහළ, ලක්දිවට පෑයූ පුන්සඳක් බඳු වූ ‘මහා මහින්ද’ නම් වූ පුත්‍රයන් වහන්සේනමක් වැඩ සිටියා. මෙසේ ආනුභාව සම්පන්න ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ මෙපමණක් නොව සිය දහස්, ලක්ෂ ගණනින් වැඩ සිටියා.

ලක්දිවට කල්‍යාණමිත්‍ර වූ, ඖරස පුත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන් පිහිටුවීමෙන් පසුව මෙවැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මේ පින්වන්ත රන්භූමියෙහි ද පහළ වුනා. උන්වහන්සේලා ද බුදුරජාණන් වහන්සේගේ ළය මඬළින් උපන් ආනුභාව සම්පන්න පුත්‍රයන් වුනා. අද අපි හිත පහදවා ගන්නේ මේ පින්බිමෙහි පහළ වූ, කලින් ජීවිතයේ දී තම නේත්‍රවලින් ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නට තරම් පින් තිබූ, බුදුරජුන් සමීපයේ ම බණ ඇසූ, නැවත ලංකාද්වීපයෙහි ඉපදී බුදු සසුනෙහි පැවිදිව උතුම් නිකෙලෙස් භාවයට පත් වූ, බුදුරජාණන් වහන්සේගේ හද මඬලින් උපන් කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ ගැනයි.

*********************************************

උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ ‘සච්චක’ නම් නිගණ්ඨයෙක් ලෙස වාද විවාද කරමින් හැසිරුණේ ය. අප භාග්‍යවතුන් වහන්සේ ව ද වාදයෙන් පරදවන්නෙමි’ යි ලිච්ඡවී කුමාරවරු 500 දෙනෙක් සමඟ හේ පැමිණියේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ඔහු පරාජයට පත් විය. එපුවත මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයෙහි විස්තර වෙයි. එසේ ම නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් මහා සච්චක සූත්‍රයෙහි සඳහන් අයුරින් සච්චකට දහම් දෙසූ නමුත් ඔහු මාර්ග ඵලයකට නොපැමිණියේ ය. සරණයෙහි ද නොපිහිටියේ ය. නමුත් භාග්‍යවතුන් වහන්සේ මොහුගේ අනාගතයෙහි යහපත සඳහා දහම් දෙසූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය දුටු සේක. එනම්, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු අවුරුදු දෙසීයක් ඇවෑමෙන් තම්බපණ්ණි දීපයේ බුදු සසුන පිහිටන්නේ ය. එහි මොහු එක් කුල ගෙයක ඉපිද බුදු සසුනෙහි පැවිදි වී රහත් බවට පැමිණෙන්නේ ය. මෙය ඒකාන්ත සත්‍යයක් ම විය.

හෙතෙම බු. ව. 375 – 450 පමණ කාලයෙහි දෙව්ලොවින් චුත ව දකුණුගිරි විහාරයෙහි ගොදුරු ගමෙහි එක් ඇමති කුලයක උපන්නේ ය. පැවිදි වීමට සුදුසු කාලයේ බුද්ධරක්ඛිත නමින් පැවිදි ව ත්‍රිපිටක බුද්ධ වචනය අසා ඉගෙන මැනවින් දරාගෙන ත්‍රිපිටකධාරී ව භික්ෂූන්ට ධර්මය උගන්වති. දිනක් උන්වහන්සේ මහත් ශිෂ්‍ය භික්ෂු පිරිසක් පිරිවරාගෙන ස්වකීය උපාධ්‍යායන් වහන්සේ දක්නට ගියේ ය. ඒ මහා තෙරුන් වහන්සේ උන්වහන්සේට සංවේග උපදවන අදහසින් කිසිවක් කතා නොකළේ ය. සවස් භාගයේ බුද්ධරක්ඛිතයන් වහන්සේ මහතෙරුන් වෙත එළඹ “ස්වාමීනී, මා ත්‍රිපිටක ග්‍රන්ථධර ව ඔබ වහන්සේ සමීපයට ආ වේලේ සිනාසී කතාවක්වත් නොකරයි. මගේ කවර දෝෂයක් දැ?” යි ඇසී ය. උපාධ්‍යායන් වහන්සේ මෙසේ වදාළහ. “ඇවැත් බුද්ධරක්ඛිතයෙනි, ඔබ ත්‍රිපිටකධාරී වූ පමණින් පැවිදි කිස සම්පූර්ණ වී යැයි සිතනවා ද?” එවිට බුද්ධරක්ඛිතයන් වහන්සේ, “ස්වාමීනී, කුමක් කළ යුතු දැ?” යි විචාළේ ය. “ඇවැත් බුද්ධරක්ඛිත ය, ඔය පිරිස් හා බැඳුම හැර දමා වාකිරිගල විහාරයට ගොස් මහණදම් පුරව.” යි මහතෙරුන් වහන්සේ කීහ. ඒ අවවාදයෙහි පිහිටි උන්වහන්සේ එම ස්ථානයට ගොස් මහණ දම් කොට වීර්යය වඩා සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්නේ නමක් බවට පැමිණ රාජ පූජිත ව මහ සඟ ගණ පිරිවරා සෑගිරි වෙහෙරේ විසී ය.

එකල්හී එක් දිනක් සද්ධාතිස්ස මහරජ උපසම්පදා කර්මය කරවන්නේ චේතිය පර්වතයේ රාජගිරි ලෙනෙහි වාසය කරන්නේ ය. බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ බණ කියතොත් ඒ බව තමාට දන්වන සේ රජු තෙරුන්ගේ එක් උපස්ථායක භික්ෂුනමකට කීය. එදින තෙරුන් බණ කියන දවස විය. බුද්ධරක්ඛිතයන් වහන්සේ ද එදින ධර්ම ශ්‍රවණය සඳහා භික්ෂූන් රැස්වූ කල්හි භික්ෂු සංඝයා පිරිවරා කණ්ඨක චෛත්‍ය මළුවට පැමිණ සෑය වැඳ කළු තිඹිරි ගස මුල සිටි විට එක් පිණ්ඩපාතික තෙරනමක් කාලකාරාම සූත්‍රයේ දහම් කරුණක් විචළේ ය. තෙරණුවෝ “අද බණ කියන දවස බැවින් මෙහි ම ඉඳගෙන දහම් දෙසන්නෙමි” යි කියා ආසනයක් ගෙන්වාගෙන ඒ ගස යට වැඩ හිඳ දේශනාව පටන් ගත්හ. උන්වහන්සේගේ උපස්ථායක තෙරනම ඒ බව රජුට දැන්වී ය. රජු පූර්ව ගාථාව අවසන් වන්නට කලින් ම එහි පැමිණියේ ය. පැමිණ අප්‍රසිද්ධ වේශයෙන් පිරිස් කෙළවර සිට තුන්යම් රැය පුරා සිටගෙන ම ධර්මය ඇසුවේ ය. ධර්ම දේශනාව අවසන් කරනවාත් සමඟ ම සද්ධාතිස්ස රජතුමා සියලු සාදු හඬ පරදා මහ හඬින් සාදුකාර දුන්නේ ය. තෙරුන් වහන්සේ ඒ රජු බව දැන “මහරජ, කොයි වෙලේ ආවේදැ?” යි ඇසූහ. “බණ පටන් ගන්නවාත් සමඟ ම යි.” කී විට “මහරජ, ඔබ දුෂ්කර දෙයක් කරන ලදැ.” යි කීහ. “ස්වාමීනී, මෙසේ සිටගෙන බණ ඇසීම දුෂ්කර දෙයක් නොවෙයි. යම් කිසි අයුරකින් ආර්යන් වහන්සේ බණ දේශනාව ඇරඹූ තැන් සිට එක් බණ පදයක්වත් මට නොඇසී ගියේ නම් එක් කෙවිටි කොණක් ගසන භූමි ප්‍රමාණයක ද මගේ රජ බවත් නොවේවා!” යි රජු කීය.

ඒ සූත්‍රයෙහි බුදු ගුණ ම විස්තර ලෙස දක්වන ලදී. එහෙයින් රජතුමා තෙරුන් වහන්සේගෙන් මෙසේ විචාළේ ය.

“ස්වාමීනී, බුදු ගුණයෝ මෙතෙක් ම වෙද්ද? නැතහොත් තව ඇද්ද?”

“මහරජ, මා විසින් කියන ලද්දේ බොහොම ටිකයි. නොකියූ බුදු ගුණ බොහෝ ය.”

“ස්වාමීනී, උපමාවක් කියනු මැනවි.”

“රජතුමනි, අමුණු දහසක් පමණ වූ හැල් කෙතක එක් හැල් කරලකට වඩා ඉතිරි හැල් බොහෝ වෙත්ද, එපරිද්දෙන් ම මා කී ගුණ ටික ය. ඉතිරි ගුණ බොහෝ ය. එසේ ම මහරජ ගංගාවන් ගලා බසින කල්හි ඉඳිකටු සිදුරක් එයට අභිමුඛ කළොත් ඒ ඉඳිකටු සිදුරෙන් ගලා බස්නා ජලය ඉතා අල්ප වන්නා සේ මා කී ගුණයෝ අල්ප වෙති. ඉතිරි ගුණ රැස මහා ජලස්කන්ධය සේ විශාල ය.

මහරජ, වැහිළිහිණි අහසේ පියාසර කරන තැන් බොහෝ වේ ද?”

“ස්වාමීනී, කුමක් වදාරයි ද? වැහිළිහිණියා පියාසර කරන තැන් ඉතා ටික ය. අහස බොහෝ ය.”

“එපරිද්දෙන් ම මහරජ, මා කී බුදුගුණ ඉතා මඳ ය. සෙසු බුදු ගුණයෝ අහස සේ බොහෝ ය.”

“ස්වාමීනී, මනා කොට පැහැදිලිව කියන ලද අනන්ත වූ බුදු ගුණ අනන්ත වූ අහස සමඟ සසඳන ලදහ. අපි ඔබ වහන්සේට පැහැදුණෙමු. එසේ වුවත් සුදුසු පූජාවක් කරන්නට නොහැක්කෙමි. මගේ මේ දුප්පත් පූජාව පිළිගන්නා සේක්වා! මාගේ මේ ලංකාරාජ්‍යය ඔබවහන්සේට පුදමි.”

“මහරජ, ඔබ විසින් පැහැදුණු ආකාරයට අපට ඔබ දුන් රාජ්‍යය ඔබට ම දෙමි. මහරජ, දැහැමින් සෙමින් රාජ්‍යය කරනු මැනව.”

මෙසේ මහා කීර්තිමත් ව වැඩ සිටි ඒ කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ද තුන් ලෝකයට ම හිතසුව පිණිස වැඩ සැලසූ සේක. රාගාදී සියලු ක්ලේෂයන් ප්‍රහාණය කොට රහත් බවින් වැඩ සිටි උන්වහන්සේ පිරිනිවීමට සුදුසු කාලයේ පිරිනිවන් පෑ සේක.

ලෝකනාථ මුනිඳාණන්ගේ ශ්‍රාවකපුත්‍ර වූ, අවිදු අඳුර නසන මහා ප්‍රදීපයක් ව වැඩ සිටි, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී ශ්‍රී ලංකාදීපය සුවඳවත් කරමින් රැයක් පහන් වන තුරු අප ශාස්තෘන් වහන්සේගේ ගුණ ම දේශනා කළ ඒ මහෝත්තම කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි