බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිය ශ්‍රාවකයන් ලෙස වැඩිහිටි අපගේ වගකීමක් තමයි දරුවන්ට ධර්මයෙන් අනුග්‍රහ කිරීම. සාමාන්‍යයෙන් ලාංකික සමාජයේ මවුපියන් දරුවන්ට හොඳ නරක කියාදෙනවා කියන එක අරුමයක් නො වෙයි. ඒක සිංහල සමාජයේ දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකමක් ද වෙනවා. ඒ පිළිබඳ ව තවදුරටත් ඔබ දැනුවත් කිරිමට අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.
********************************************
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අම්මා තාත්තා තමයි (පුබ්බාචරියාති වුච්චරේ) දරුවාගේ පූර්ව ගුරුවරු වන්නේ. අම්මා තාත්තා තමයි දරුවාට කුඩා වයසේදී ම බොහෝ දේ පුරුදු කරන්නේ. දරුවා වැසිකිළි ගොස් ආ විට අත හෝදන්න ඕනේ, කෑම කන්නට කලින් අත හෝදන්න ඕනේ, කෑම කන විට පිළිවෙළට ඒ දේ කරන්න ඕනේ ආදී පුංචි පුංචි දේ සිට ලොකු දේ දක්වා හොඳ නරක කියා දෙන්නේ අම්මයි, තාත්තයි. සමාජගත වන විට දරුවෙක්, දැරියක් ලෙස ඔවුන්ගේ චරිත ලක්ෂණවලින් මවුපියන් දරුවන්ට දැක්වූ අනුග්‍රහය දකින්නට පුළුවන්. දරුවෙක් සමාජයට වැඩ සහිතව හොඳින් ජීවත්වෙනවා නම් සියලු දෙනා ඒ දරුවාට වගේම මවුපියන්ටත් හොඳ කියනවා. ඒ නිසා මවුපියන් නිරන්තරයෙන් දරුවන්ට ආචාර සමාචාර කියා දිය යුතු වෙනවා. ‘මේ දේ කරන්න හොඳයි, මේ දේ කරන්න නරකයි’ කියා කියා දෙන්න ඕනේ. නමුත් සමහර දෙමාපියන් දරුවාට හොඳ නරක කියා දුන්නත් සමහර අවස්ථාවකදී ඉගෙනීම නිසා හෝ වෙනත් ලාභ සත්කාරයක් නිසා හෝ දරුවාගේ සිතට නරක දේ ඇතුළත් කරනවා. ඒ වගේ ම තවත් අම්මලා අනෙක් දරුවා සමඟ තම දරුවා සම කරනවා. නිතර ම කියනවා “බලන්න අර ළමයා නම් හොඳට ඉගෙන ගන්නවා. අපි ඔයාලට හැම දේ ම අරන් දෙනවා. ඒත් ඉගෙන ගන්නේ නැහැනේ” කියලා. සමහර විට අම්මාගේ බලාපොරොත්තුව එයින් දරුවා උත්සාහවත් කිරීම වෙන්න පුළුවන්. නමුත් දරුවාගේ සිතේ උපදින්නේ ඉරිසියාවක්. එහෙම කියා දීම දරුවාට හොඳ නරක කියා දීමක් නො වේ. දරුවාගේ සිත නරක දෙයක පිහිටනවා. ඔහු තමන්ගේ හොඳ ම යාළුවාටත් ඉරිසියා කරන්න පුරුදු වෙනවා. ඒ ළමයාගේ සිතේ නූපන් අකුසලයක් උපද්දවනවා මවුපියන් විසින්. මේක වෙන්නේ ඔවුන් නොදැනුවත්ව ම යි.
එනිසා දෙමාපියන් දැන ගත යුතුවෙනවා දරුවාගේ සිත් තුළ තමන්ට නොදැනෙන්න මෙවැනි අකුසල් ඉපදෙන්න පුළුවන් බව. ඒ වගේ ම තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය හොඳට ඉගෙන ගන්නවා. එයා විභාගවලින් සමත් වන විට අම්මා තාත්තා බොහෝ සතුටු වෙනවා. අනෙක් දරුවා එතරම් ලකුණු අරගෙන නැතත් ඒ දරුවාට පුරුදු කරන්න ඕනේ අර සතුටේදී සතුටු වෙන්න. ‘අනේ මගේ අයියා, අක්කා හොඳින් විභාගය සමත් වෙලානේ’ කියා සතුටු වෙන ආකාරයට ඒ දරුවාගේ ගතිගුණ දියුණු කරන්න මවුපියන් දක්ෂ වෙන්න ඕනේ. ඒක ලෙහෙසි වැඩක් නො වේ. බොහෝ විට දරුවන්ගේ සිත් තුළත් ස්වභාවික ව ම ඇතිවන්නේ අකුසල්. නමුත් දෙමව්පියන් දක්ෂ නම් දරුවා ව ඒ විදිහට හොඳින් මෙහෙයවන්න, ඒක දරුවාගේත් දෙමාපියන්ගේත් ජයග්‍රහණයක් වෙනවා. එයට මවුපියන් බොහෝ සේ සූක්ෂම විය යුතු වෙනවා. දරුවා යහපතේ පුරුදු කිරීම නැති නම් අපහසු වෙනවා.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළා තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම අම්මා තත්තාගේ යුතුකමක් බව. අද කාලයේ නම් වැඩිහිටියන්ගේ එක ම සිහිනය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. එයට හේතුව අද වන විට ලාංකීය සමාජයේ සියලු දේ රඳා පවතින්නේ අධ්‍යාපනය මතයි. එවිට මවුපියන් හිතනවා ‘අපි දුක් විඳින්නේ ඉගෙන ගත්තේ නැති නිසයි. ඒ නිසා දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ’ කියලා. එවිට සිදුවන්නේ දරුවාගේ එක ම ප්‍රාර්ථනය අධ්‍යාපනය සාර්ථක කර ගැනීම බවට පත් වීම යි. ඒ පැතුම ඉටුකර ගන්නට පෙරපාසල් වයසේ සිට ම දරුවා අමතර පංතිවලට යනවා. එවිට දරුවාගේ ළමා කාලය ගිලිහී යනවා. ඒ වගේ දරුවන් තමයි අම්මා, තාත්තා හඳුනන්නේ නැත්තේ. සහෝදරයෝ හඳුනන්නේ නැත්තේ. උදේ සිට රෑ වනතුරු ඉගෙනීමට පමණක් මහන්සි වෙනවා. වැඩිහිටියන් වශයෙන් ඔබ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. නමුත් දරුවාගේ ජීවිතයේ ගුණධර්ම හැදීම ගැන කල්පනාකාරී වෙන්න ඕනේ.
උසස් අධ්‍යාපනය අවසන් කරන විට ඉතුරුවන දරුවා අම්මා තාත්තා කොයි වගේ ද, තමන් වෙනුවෙන් මොනවද කළේ කියා හඳුනන්නේ නැති වුණොත් එය පාඩුවක්. කෘත්‍රිම මනසක් තිබෙන රොබෝ කෙනෙකුගේ මානසික මට්ටමක් පවතින දරුවෙක් පමණයි ඉතිරි වෙන්නේ. එහෙම දරුවෙකුට අම්මා තාත්තා වින්ද දුක තේරෙන්නේ නැහැ. සහෝදර, සහෝදරියන් එයාට කෙතරම් ආදරේ ද කියා හැඟීමක් නැහැ. එහෙම දරුවෙකුගේ සිත තුළ බුදුරජාණන් වහන්සේ ඇතිකර ගන්න යැයි වදාළ මෙත් සිත, කරුණා සිත, මුදිතා සිත ඇතිවන්නේ නැහැ. ඔවුන් ඒවා හඳුනන්නේ ද නැහැ. ගහක්, කොළක් හඳුනන්නේ නැති, පරිසරයට සතා සිවුපාවට කරුණාවක් නැති, තමන්ගේ ඇඳුමක් හෝ පිරිසිදු කර ගන්නේ නැති, සාමාන්‍ය ජීවිතයේ ගුණාංග දන්නේ නැති දරුවෙක් බිහි වෙනවා. ඔවුන් කරන්නේ ඉගෙන ගන්නා දේ පමණයි. නමුත් වයසින් මුහුකුරා ගොස් තරුණයෙක්, තරුණියක් ලෙස සමාජයට ආවත් තමන්ගේ ජීවිතය තනියම අරගෙන යන්න දක්ෂ නැහැ.
තරුණියක් නම් විවාහ වූවාට පසු ඇයට බොහෝ ප්‍රශ්නවලට මැදිවෙන්න සිදුවෙනවා. ඇය දක්ෂ නැහැ උයාපිහාගෙන ගේදොර වැඩකටයුතු කර ගන්න. දරුවන්ගේ කටයුතු ආදිය කර ගන්නට ඇය දක්ෂ නැහැ. එහෙම වුණේ දෙමාපියන් ඒ දරුවා කුඩා කාලයේ සිට ම තමන්ගේ වැඩක් හෝ කර ගන්නට පුරුදු කරල නැති නිසයි. ඉගෙන ගන්න පමණයි ඔවුන් දන්නේ. එහෙම වෙනකොට ඒ දරුවන්ගේ සාමාන්‍ය ජීවිතයෙත් ගැටලු ඇතිවෙනවා. සාමාන්‍ය ලෝකයේ අසාමාන්‍ය පුද්ගලයෙක් බිහි වෙනවා. එහෙම නම් දෙමාපියන් දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේ ම දරුවාට කියා දෙන්න ඕන අම්මා තාත්තා කියන්නේ මේ වගේ දෙන්නෙක් බව.
අම්මා නිතර ම තාත්තා ගැන දරුවන්ට කියා දෙන්න ඕනේ. තාත්තා පවුල වෙනුවෙන් කෙතරම් වෙහෙසෙනවා ද කියා දරුවන්ට හැඟීමක් ඇතිකිරීම අම්මාගේ යුතුකමක්. තාත්තාට ගෞරවයෙන් කතා කරන්න, තාත්තා ඉදිරියේ ගෞරවයෙන් හැසිරෙන්න අම්මා නිතර ම දරුවාට කියා දෙන්න ඕනේ. තාත්තාගේ කුඩා වරදකට අම්මා දරුවන් සමඟ තාත්තාට බැණ වදිනවා නම්, ඒ දරුවන් නිතර ම තාත්තා දෙස බලන්නේ නොමනාපයෙන්. අකුසල් ඇතිවන පරිදි තාත්තා ගැන සිතන්න, කතා කරන්න දරුවා පෙළඹෙන්නේ අම්මාගේ වරදින්. ඒ වගේ ම තාත්තා නිතර ම දරුවාට අම්මා ගැන කියා දෙන්න ඕනේ. අම්මා කෙතරම් පවුල වෙනුවෙන් වෙහෙසෙනවා ද කියා තාත්තා දරුවාට කියා දෙන්න ඕනේ. අම්මාට ගෞරව කරන්න, ඇය ගැන ගෞරවයෙන් හිතන්න දරුවා පෙළඹෙන්නේ එවිටයි.
එවිට දරුවා සෑම කටයුත්තක් ම කරද්දී නිවසේ අනෙක් අය සමඟ හොඳ සුහදත්වයක් ඇතිකර ගන්නවා. ඔවුන්ට තේරෙනවා ‘අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන්නේ මේ සේරම කරන්නේ. අපි වෙනුවෙන්නේ දුක් විඳින්නේ’ කියලා. එහෙම හිතනකොට අම්මා තාත්තා ගැන ලොකු ආදරයක් ඇතිවෙනවා. අම්මා කියන්නේ මොන වගේ උතුම් තැනැත්තියක් ද කියලා අඳුනනවා. තාත්තාගේ, පවුලේ සහෝදර සහෝදරියන්ගේ ගතිගුණ තේරුම් ගන්නවා. බෙදාහදාගෙන පවුලේ වැඩ කරන්න, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේ දරුවෝ හොඳින් අධ්‍යාපන වැඩ ටිකත් කර ගන්නවා.
පවුල ගැන හැඟීමක් නැති දරුවන් වෙනත් වෙනත් දෙයටත් යොමු වෙනවා. රූපවාහිනියට වෙන්න පුළුවන්, පරිගණක ක්‍රීඩාවට වෙන්න පුළුවන්, නොයෙක් වැරදි දේට හිත යනවා. එසේ වන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති වී තිබෙන හිඩැස පුරවා ගන්නයි. දරුවා එසේ නොමඟ ගියා ම මවුපියන් මැසිවිලි නගනවා, “අපි මේ දරුවන් වෙනුවෙන් මොනතරම් මහන්සි වෙනවා ද? මොනතරම් දේ කළා ද? ඒත් මේ ළමයින්ට අපි ගැන කිසි කැක්කුමක් නැහැ. ඉගෙන ගන්න තිබෙන කාලයේදී ඒ දේ කරන්නේ නැතිව වෙන වෙන දේ කරනවා.” කියා කියනවා. එසේ නොකියා මවුපියන්ට පුළුවන් නම් දරුවා ව ඉගෙන ගන්න පැත්තට තල්ලු කරන්න ඒක දෙපැත්තේ ම යහපත පිණිස පවතිනවා.
වැඩිහිටියන් ලෙස අපි දන්නවා මව්පියන් අධ්‍යාපනයේ වටිනාකම දකින තරම් දරුවන් අධ්‍යාපනයේ වටිනාකම දකින්නේ නැහැ. දරුවාට තිබෙන්නේ එක්තරා සීමිත ලෝකයක් පමණ යි. එනිසා දෙමාපියෝ අධ්‍යාපනයේ වටිනාකම වගේ ම සාමාන්‍ය ජීවිතයේ හොඳ නරක කියා දෙන්න ඕනේ.
අද සමාජයේ සිටින වැඩිහිටියන්ගේ කුඩා කාලය වගේ නොවේ අද දරුවන්ගේ වර්තමානය ගෙවී යන්නේ. දරුවාගේ නිදහස සීමා වෙලා. පරිසරය සමඟ ජීවත් වෙන්න තිබෙන කාලය අඩු වෙලා. බොහෝ දරුවන් රොබෝලා බවට පත්වෙලා. තමන්ගේ දරුවා ළදරුපාසල් අවදියේ සිට ම මවුපියන් ඔවුන් ව අමතර පන්තිවලට යවනවා. දරුවාගේ අතින් අල්ලාගෙන පාසලට ඇරලවන අම්මා නැවතත් අතින් අල්ලාගෙන ගොස් අමතර පන්තියට ඇරලවනවා. අමතර පන්තිය අවසානයේ නැවත අතින් අල්ලාගෙන ගෙදර එක්ක එනවා. එවිට ඒ දරුවා ස්වාධීනව දෙයක් කරන්න, හිතන්න, ජීවත්වෙන්න දන්නේ නැහැ. බාහිර ලෝකයේ කිසිම දෙයක් ඔහු දන්නේ නැහැ. එයා හිතන්නේ ගෙදර අම්මා තාත්තා වගේ ලෝකයේ සියලු දෙනා කියලා. ඒ දරුවා ලොකුමහත් වෙලා සමාජයට ගිය දිනක සමාජයේ අතරමං වෙනවා. අසත්පුරුෂයන්ට හසු වෙනවා. මිත්‍යාදාෂ්ටික දේ සම්මා දිට්ඨිය ලෙස පිළිගන්නවා. වැරදි තීරණ ගන්නවා. පව් රැස්කර ගන්නවා. මුළු ජීවිතය ම නාස්ති වෙනවා.
වර්තමානයේ නම් මවුපියන් දරුවන් සමඟ බොහෝ සේ මිත්‍රශීලි වෙන්න ඕනේ. දරුවන් සමඟ නිතර කතා කරන්න ඕනේ. කන්න බොන්න දීලා පාසල් යැවීම් මේ කාලයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔහු ගැන අවධානයෙන් සිටින ගමන් රට ගැන, ලෝකය ගැන කියාදෙන්න ඕනේ. යහළුවන් ගැන, ඔවුන්ගේ හැසිරීම් ගැන, පෙළඹවීම් ගැන නිතර නිතර අහන්න ඕනේ. දරුවාට නිතර ම කන් යොමුකරන්න ඕනේ. වැරදි කරන අය ගැන කියා දෙන්න ඕනේ. එතකොට දරුවාගේ සිතේ යම් චිත්‍රයක් මැවෙනවා ‘මේවා නම් කරන්න හොඳ දේවල් නො වේ. අප කළ යුත්තේ මේ දේවල් පමණයි’ කියලා. එනිසා මවුපියන් ලෙස අපි දැනගන්න ඕනේ කිසිම දෙයක් නොදන්නා දරුවා අත්හදා බැලීම් කරන්න ගිහින් නොසිතූ ලෙස කරදරයක පැටලෙනවා, ජීවිතය ආපසු හරවන්න බැරි ලෙස විනාශ කර ගන්නවා කියලා. ඒ බව තේරුම් නොගන්නා මවුපියන් කියනවා “අපි මේ දරුවන් ව මෙතරම් රැකගත්තා. සොයා බැලුවා. හැම දේ ම කළා. අපි දුක් විඳලා ඔවුන්ට සැප දුන්නා. නමුත් මේ දරුවන් අපි ගැන හිතන්නේ නැහැනේ” කියා. වැඩිහිටියන් තේරුම් ගන්න ඕනේ සමාජය විෂමයි, දරුවන් මේ ලෝකය ගැන නොදන්නා නිසයි මේ වගේ කරදරයක් කර ගත්තේ කියලා.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්න. ඒ සමඟ ම සමාජය ගැන අධ්‍යාපනයකුත් ලබා දෙන්න ඕනේ. බොහෝ වැඩිහිටියන් අද සමාජයේ වෙන දේ දන්නේ නැහැ. නැති නම් දන්න දේ ගණන් ගන්නේ නැහැ. දරුවන්ගේ ප්‍රශ්න, ඔවුන් තුළ තිබෙන නරක දේවල් මවුපියන් දන්නේ නැහැ. එවිට මවුපියන් දරුවාට අනවශ්‍ය ආකාරයට නිදහස දෙනවා. නමුත් දරුවා දන්නවා නම් අම්මා තාත්තා මම ගැන හුඟාක් හොයනවා කියලා එයා වැරදි දෙයට යොමුවෙන්න බය වෙනවා. පරිස්සම් වෙනවා. ඒ නිසා ඔබ නිතර නිතර දරුවා ගැන සොයා බලන්න. දරුවා දෙස නිතර ම සැකයෙන් ඔහු පසුපස්සේ නොගියත් නිරන්තරයන් සොයා බැලීමක් කරන්න ඕනේ. අන්තර්ජාලයේ දරුවා සැරිසරද්දී මවුපියන් ඒ ගැන විමසිලිමත් වීම ඉතා වැදගත්.
ඒ වගේ තමන්ගේ දරුවා සුදුසු කාලයේ විවාහ කර දීම මවුපියන්ගේ යුතුකමක්. ඔවුන් ස්වාධීන ව යම් සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගත් විට එක පාරට ම එයට විරුද්ධ නො වී ඒ පිළිබඳ ව සොයා බලන්න. ඒ වගේ අවස්ථාවක දරුවාගේ හිත රිදෙන ආකාරයට කටයුතු කරන්න එපා. තමන්ගේ පවුලට ඒ පවුල නොගැළපෙනවා නම් දරුවාගේ සිත නොරිදෙන ආකාරයට එය වටහා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්. දරුවාගේ විවාහයට සුදුසු කාලය වන විට අම්මා තාත්තා ඇයගේ හෝ ඔහුගේ සිතට යමක් කියා දී තිබෙන්න ඕනේ, තමා සහකාරියක් සහකරුවෙක් සොයා ගන්නවා නම් ඒ පවුල් පසුබිම කෙසේ වෙන්න ඕන ද කියා. අපි බෞද්ධයන් ලෙස විවාහයක දී කෙනෙක් සොයා ගන්නා ආකාරය, ඒ ගැන හොඳින් සිතිය යුතු ආකාරය කියා දෙන්න. එවිට දරුවා මුලින් සම්බන්ධයක් පටන් ගන්නට කලින් අම්මා තාත්තා කියා දී තිබෙන දේ ගැන දෙවරක් සිතයි. නැති නම් යමක් වූවාට පසුව පසුතැවිලි වෙලා හෝ එකිනෙකාට දොස් කියා වැඩක් නැහැ. හිත් බිඳවාගෙන කටයුතු නොකර මේ අවස්ථාවේ දී තව තවත් දරුවන්ට ළං වෙන්න ඕනේ.
ඒ වගේ ම සුදුසු කාලයේ ධනය දේපළ බෙදා දීමත් අම්මා තාත්තාගේ යුතුකමක්. සමහර මවුපියන් තමන් කැමැති ආකාරයට දේපළ බෙදනවා. එහිදීත් මව්පියන් තමන්ගේ සියලු දරුවන්ට සමාන ව ඒ දේවල් බෙදා දීමට වග බලාගත යුතු වෙනවා. එහෙම නොවුණොත් දරුවන් එකිනෙකා තුළ තිබූ එකමුතු බව, සහජීවනය ගිලිහී යන්න පුළුවන්.
අප රටේ මවුපියන් දරුවන්ට දිවි පුදායි කටයුතු කරන්නේ. අනෙක් රටවල මවුපියන් සමඟ බැලූ කල එය පැහැදිලිව පෙනෙනවා. ලංකාවේ මවුපියන් දරුවන් මත්තේ ම යි තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ. දරුවෝ ලොකු කර ගන්න දුක් විඳිනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න දුක් විඳිනවා. විවාහ කරල දීලා දරුවන්ගේ දරුවෝ බලලත් දුක් විඳිනවා. දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. නමුත් අම්මා තාත්තාගේ අගයක් එහෙම දරුවන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා මවුපියන් දරුවන්ට පෙනෙන පරිදි තමන්ගේ මහලු මවුපියන්ට සලකන්න ඕනේ. ඒ දෙස දරුවන් බලාගෙන ඉන්නවා. සීයා ආච්චිට අම්මා තාත්තා සලකන්න කෙතරම් මහන්සි වෙනවා ද කියලා දරුවන්ට පේනවා. ඒ දෙස බලාගෙන දරුවොත් ආච්චි සීයාට සලකනවා. කවදා හරි දිනක ඒ දරුවන් වැඩිහිටියන් වනවිට තමන්ගේ අම්මා තාත්තා අතහරින්නේ නැහැ. තමනුත් තමන්ගේ මවුපියන්ට සැලකූ පරිසරයක් තුළ හැම දේ ම ඒ ලෙස කෙරෙනවා.
ඒ වගේ ම මවුපියන් දරුවන්ට හැඟීමක් දෙන්න ඕනේ අපි ඔය අය නිසා කෙතරම් දුක් විඳිනවා ද කියලා. ගොඩාක් මවුපියන් තමන් විඳින දුක දරුවන්ට හංගනවා. මෙහි දී දරුවන්ට දුක් දෙන්න කියා නොවේ කියන්නේ. අපට පුළුවන් ආකාරයට ඒ අයට සලකන්න ඕනෙ. පහසුකම් දෙන්න ඕනේ. නමුත් තාත්තා අම්මා කෙතරම් අපහසුතා මැද දුක්පීඩා විඳිමින් ද ඒ දේ කරන්නේ කියලා දරුවන්ට හැඟීමක් තිබෙන්න ඕනේ. මහ ධනවතෙක් වුවත් ඒ ව්‍යාපාර කරන්න බොහෝ දුක් විඳිනවා. දෙමාපියන් තමන් වෙනුවන් දුක් වින්දා කියා දරුවා තුළ හැඟීමක් තිබුණා නම්, දරුවාගේ සිතට පණිවිඩයක් දී තිබුණා නම් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් සිතනවා අපි මෙහෙම සමාජයේ හොඳින් ජීවත් වෙන්නේ මවුපියන් අපට හොඳින් අධ්‍යාපනය ලබා දුන් නිසයි, අපි ගැන මහන්සි වූ නිසයි කියලා. කෙළෙහිගුණ ඇති දරුවන් ඒ මවුපියන්ට හොඳින් සලකනවා. දරුවන්ට මවුපියන් සලකන්නේ බලාපොරොත්තු තබාගෙන නො වේ. නමුත් දරුවන්ගේ යහපත කැමති නම් මවුපියන් තමන්ගේ දරුවා ව ධර්මයට යොමු කරන්න දක්ෂ වෙන්න ඕනේ. අද කාලයේ බොහෝ දෙමාපියන් දරුවන් කුඩා කාලයේ දී ම ධර්මයට යොමු කරන්නේ නැහැ. නමුත් දරුවා ස්වාධීන ව හිතන්න පටන්ගන්න කාලය වන අවුරුදු පහළොව දහසය වන කාලයේ දී දරුවා මුරණ්ඩු හිතුවක්කාර නම් පමණක් ධර්මය පැත්තට නම්මා ගන්නට උත්සාහ කරනවා. නමුත් දරුවා ඒ වනවිට තමන්ගේ මානසික මට්ටම හදාගෙන ඉවරයි. ඔහු කල්පනා කරන ආකාරය, සිතිවිලි, අපේක්ෂාවන්, අනාගත සැලසුම් ගොඩ නංවාගෙන ඉවරයි. ඒ සැලසුම්වල, සිතිවිලිවල ධර්මය ගෑවිලාවත් නැහැ.
ඒ නිසා දරුවා ධර්මයට යොමු කරන්න සුදුසු කාලය ඒක නොවේ. කුඩා ම කාලයේ සිට දරුවා ඒ සඳහා යොමු කිරීම වැදගත්. ඔහු බහතෝරන වයසේ සිට නිවසේ දහම් පරිසරයක් හදා ගන්න ඕනේ. එවිට ඒ දරුවා කුඩා කාලයේ සිට ම ස්වාමීන් වහන්සේනමක් දුටු විට අත්දෙක එකතු කරලා වන්දනා කරන්න, පුංචි පිරිතක් කියන්න, සවසට නිවසේ බුද්ධ වන්දනාව කරන්න, දරුවන්ට සුදුසු ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ආදිය පුරුදු වී සිටියා නම්, දරුවා කුඩා කාලයේ සිට ම නිවුන මනසකින් යුතු වෙනවා. එයාගේ යම් යම් ආශාවන්වල දී ධර්මය සම්බන්ධ කර ගන්නවා. යම් දවසක වැඩිහිටියෙක් වූ විට ඔහු හෝ ඇය දන්නවා දුස්සීල නො වී ජීවත් වෙන්න. දුස්සීල වීමෙහි ආදීනව දන්නවා. අම්මා තාත්තාට හොඳින් ආදරය කරනවා. දැහැමි බව, ගුණවත් බව තිබෙනවා. ඒ නිසා දරුවෙකු ධර්මයට යොමු කිරීම පවා සුදුසු කාලයේ දී කෙරෙන්න ඕනේ. ඒ නිසා මවුපියන් දරුවන් ව හොඳ පුරවැසියෙක් ලෙස ලෝකයට දායාද කිරීමේ දී ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. විෂම ලෝකය දරුවන් බිලි ගන්නට බලාගෙන සිටින්නේ. එයින් බේරෙන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය තුළ ජීවත් වන දරුවන්ට පමණයි.
ඒ නිසා කිසිදු අපේක්ෂාවක් නැතිව දරුවන් උස් මහත් කරන්න. ‘මේ අය කිසිදු වරදක් කරන එකක් නැහැ. අපේ සිත රිද්දන එකක් නැහැ. අපි කියන, අපි සිතන ආකාරයට ම වැඩ කරයි. මේ ළමයි අපට හොඳට සලකයි’ කියලා අහස් මාළිගා තනාගෙන ජීවත් නො වී දරුවන් හදන්න.
අද යන සමාජ රටාව අනුව දරුවන් ගැන විශාල බලාපොරොත්තු තබා ගන්න අමාරුයි. ඒ අයගේ ප්‍රතිචාරය ගැන ඔබ උපේක්ෂා සහගත ව සිටින්න. අපි දැකල තියෙනවා හුඟක් වයස්ගත මවුපියන් ‘අපි දරුවන්ට කළා වැඩියි. ඒකයි අද අපිට මෙහෙම වුණේ’ කියලා පසුතැවෙනවා. ඒ මවුපියන් අවසානයේ දී දහමෙන් පිහිටක් පිළිසරණක් අරගෙනත් නැහැ. තමන්ට ලෞකික ව දෙයක් කරගෙනත් නැහැ. අවසානයේ දී ඉතා ම දුක සේ මරණයට පත්වෙනවා. ඒ අම්මා තේරුම් ගන්න ඕනේ ‘තමන්ගේ කුසින් බිහි කරලා, තමන්ගේ අතේ එල්ලිලා හැදුනා වැඩුණාට මේ දරුවන් අපට අයිති නැහැ. තමන්ට තමන්වත් නැහැ.’ කියලා. ඒ නිසා යුතුකමක් ලෙස දරුවන් හදාවඩා පෝෂණය කරලා, දරුවන් ගැන බලාපොරොත්තු තබා ගන්නේ නැතිව, උපේක්ෂාවෙන්, ධර්මය දන්න අම්මා තාත්තා ලෙස ජීවිතයට මුහුණ දෙන්න ඕනේ.
ඒ වගේ ම පවුලක ඉන්න වැඩිහිටියන් හොඳින් ධර්මයේ හැසිරෙන්න ඕනේ. අම්මා තාත්තා නිවසේ වන්දනාව කරන්න ඕනේ. එහෙම නොකර දරුවන්ට වන්දනාව කරන්න කිව්වාට ඒක සාර්ථක වන්නේ නැහැ. දරුවාට ආදර්ශයක් වෙන ලෙස මවුපියන් ඉන්න ඕනේ. ඒ වගේ ම ස්වාමියා භාර්යාව ලෙස පවුලේ යම් ගැටලු තිබෙනවා නම් ඒවා දරුවන්ට දැනෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් දරුවනට මවුපියන් කෙරෙහි තිබෙන ගෞරවය නැති වෙනවා. අම්මා මිතුරියක් වගේ දරුවන්ට ළං වෙනවා වගේ ම අම්මා කෙරෙහි ගෞරවය දරුවන්ට ඉතිරි කරන්න ඕනේ. දරුවන් සමඟ නිතර කතා කරමින් ඒ ජීවිත ගැන විමසන්න ඕනේ. දරුවන්, මවුපියන් අතර ගෞරවයක් තබා ගන්න ඕනේ. නැත්නම් පන්තියේ යහළුවෙක් වගේ අම්මා තාත්තා ඇසුරු කළොත් ඒ යහළුවා අතඅරින වේගයෙන් දරුවන් අම්මා තාත්තා අතහරිනවා. ඒ නිසා දරුවන් සමඟ ගෞරවනීය ඇසුරක් මවුපියන් ඇතිකර ගන්න ඕනේ. දෙමාපියන් අතර ඇති ගැටලු දරුවන් නැති තැනයි කතාබහ කරලා විසඳාගන්න ඕනේ. එසේ නැතිව අම්මා තාත්තාගේ වැරදි හෝ තාත්තා අම්මාගේ වැරදි කියලා දරුවන්ගේ සිත තුළ තිබෙන ගෞරවය නැති කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් පසු කාලයේ දී දෙමාපියන්ට ම ඒවා විඳවන්නට සිදුවෙනවා.
ඔබ පුංචි කාලයේ දරුවන් ධර්මයට යොමුකළොත් පමණක් ඔවුන් වැඩිහිටියන් වූ විට සිල්වත්, හොඳ ගුණවත් වැඩිහිටියෙක් බිහි වේවි. නැති නම් අන් අයට ඊර්ෂ්‍යා කරන, තමන්ගේ සහෝදරයෙක් හෝ දියුණු වනවාට අකමැති, අම්මා තාත්තාට නොසලකන, අම්මා තාත්තාගේ දේ බලෙන් පැහැර ගන්නා, කිසි සීලාචාර බවක් නැති දරුවෙකු ඔබට මුණගැසේවි. ඒ නිසා බුද්ධිමත් මවුපියන් ලෙස නුවණ මෙහෙයවා ඒ ගැන කල්පනා කරන්න ඕනේ.
සාකච්ඡා කළේ – නයනා නිල්මිණි
Recent Comments