සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකෙට පහළ වන්නේ ඉතා කලාතුරකිනි. උන්වහන්සේ අන් අයට පිළිසරණ වන සේක. බුදු කෙනෙකු ලෝකයට පහළ වන්නේ සරණක් පිණිස විනා ලෝකයාට පසුතැවිල්ලක් දීමට නො වේ. තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරද්දී ඔබට ඉතිරි වන්නේ පසුතැවීමක් නම් ඔබ ධර්මය අල්ලා තිබෙන විදිහ වැරදි ය. බුදුරජාණන් වහන්සේ ගැන අසනා විට, ‘අනේ අපට අහිමි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘අනේ උන්වහන්සේ සරණ යන්ට ලැබෙනවානේ’ කියා සිතීම ධර්මය යි.
ඔහු මුළු හදවතින් ම බුදුරජාණන් වහන්සේ සරණ කර ගන්නේ ය. ධර්මය අසන විට ‘අනේ අපිට වැරදුනානේ, අපිට නම් යහපතක් වෙන එකක් නෑ. සතර අපායේ තමයි ඉතින්’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ එල්ලී ගැලවිය යුතුව ඇතැ’යි සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම ශ්‍රී සද්ධර්මය සරණ කර ගන්නේ ය. උතුම් රහතන් වහන්සේලා ගැන අසන විට ‘අනේ අපට ඒ රහතුන් දැක ගන්ටවත් බැරි උනානේ, උන්වහන්සේලාට දන් හැන්දක්වත් බෙදා ගන්න බැරි උනානේ, උන්වහන්සේලාගෙන් බණ අහන්න බැරි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි.
‘අනේ ඒ රහතන් වහන්සේලා ගැන අපට අහන්ට ලැබෙනවා නෙව. කොයි තරම් ලාභයක් ද?’ කියා සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම සංඝරත්නය සරණ යන්නේ ය. තුනුරුවන්ට තමන් සමාන කරන කෙනා පසුතැවිල්ල උරුම කර ගනී. තුනුරුවන් සරණ කරගෙන ගැලවීමක් සොයන කෙනා ධර්මය උරුම කර ගනී. දැන් බලන්න ඔබ මේ ධර්මයෙන් පසුතැවිල්ල උරුම කරගෙන ද? නැත්තම් සරණ උරුම කරගෙන ද? කියා.
පසුතැවි තැවී ඉන්න කෙනා මරණින් මතු නාග ලෝකය උරුම කර ගනී. පසුතැවිල්ලත්, ශෝකයත්, දුක් මැසිවිල්ලත්, කෝපයත්, නොසන්සිඳෙන රාගයත් නාගයන්ගේ ජීවිත වෙලාගෙන ඇත්තේ ය. පින තිබෙන අය පවා පසුතැවිල්ල හා සිතෙන් කඩාගෙන වැටෙන බොළඳ බව නිසා නාග ලොව ඉපිද එහි ද ශෝක වෙත්, පසුතැවිලි වෙත්, අවුරුදු 20,000ක් සිල් රැක ගසක කොළයක් කැඩුණු ශෝකයෙන් නා ලොව උපන් ඒරකපත්ත නාගයා මෙනි. මේ ලෝකයේ සත්පුරුෂයෙක් මනා ව අවවාද කරනවා නම් ඔහු වනාහි “ශෝක නොකරව්, පසුතැවිලි නොවව්, වරදින් නැගී සිටිව්” යැයි පවසන්නේ ය. එතරම් ඒ කරුණ වටින්නේ ය.
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට උපතින් ම සිල්වත් අයව සොයා වැඩියේ නැත. උපතින් ම බ්‍රහ්මචාරී අයව සොය සොයා වැඩියෙත් නැත. උන්වහන්සේගේ මහා කරුණාවෙන් තෙත් වූ නෙත් සඟලට මිනී මරණ අංගුලිමාල පෙනුන සේක. සංකිච්ච සාමණේරයන් සමඟ පැමිණි සොරු පෙනුන සේක. අම්බපාලි, සුගලා, විමලා, වැනි ගණිකාවෝ පෙනුන සේක. තම යසස වෙනුවෙන් මුසා බණන්නන් පෙනුන සේක. විශාඛාව සමග දෙව්රමට ආ, මත් වතුරින් වියරු වැටුණු කතුන් පෙනුන සේක. ක්‍රෝධයෙන් ගිනි ගත් භාරද්වාජ වැන්නන් ද විවාහ යෝජනා රැගෙන ආ මාගන්දිය වැන්නන් ද මිථ්‍යා දෘෂ්ටියෙන් ඔද වැඩුණු පරිබ්‍රාජකයන් ද පනස් පස් වසරක් පුරා අසූචි අනුභව කළ ජම්බුක ආදීන් ද බුදු ඇසට පෙනුන සේක. මෙවැනි කතා කොතෙක් ද? නො කී කතා අපමණ ය. ඔවුහු මඟ වැරදුනු අය ව සිට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණු පසු හරි මඟ ගියෝ ය. උපන්දා සිට නොව සසරක පව් සෝදා හළෝ ය. කිම…. ඔබ නැද්ද මේ දහමෙන් සැනසෙන්නේ? පව් සෝදාගෙන මුනිඳු සරණ යන හැටි, බලන්න මේ ලිපියෙන්වත් සොයා ගත හැකි ද කියා…
ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසයි. “කථංසු පරිසුජ්ඣති” – “කෙලෙසින් ද කෙනෙක් පිරිසිදු වෙන්නේ?”
රාගය නිසාත්, ද්වේෂය නිසාත්, මෝහය නිසාත්, කෙළවරක් නැති කෙලෙස් නිසාත් මේ හිත තියෙන්නේ ජරා වී ය. අපවිත්‍ර වී ය. කුණු අස්සේ කුණු ය. ජරා සිතිවිලි ම ය සිතෙන්නේ. ජරා වැඩවලට ම ය කැමති. ජරා වචන කියා සතුටු වෙයි. මේ කුණු කන්දරාව හෝදාගෙන පිරිසිදු වෙන්නේ කොහොමද කියා ය මේ විමසන්නේ. කරපු දහසක් වැරදිවලින් කිලිටි වූ සිත පිරිසිදු කර ගන්නේ කොහොමද කියා ය අසන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාාළ සේක. “පඤ්ඤාය පරිසුජ්ඣති” – “ප්‍රඥාවෙන් ම යි කෙනෙක් පිරිසිදු වෙන්නේ.” ප්‍රඥාව කියන්නේ නුවණින් යුතුව හරියට කල්පනා කරන්නට හැකි බවයි. මේ හරිම අමාරු කාරණයකි. හරියට නුවණින් කල්පනා කරනවා නම් කෝටියක් පව් හේදෙයි. උපමා කතා කිහිපයක් සිහි කරන්නෙමි ඔබගේ වැටහීම පිණිස. පානීය ජාතකයේ මෙසේ සඳහන් ය.
අතීතයේ යහළුවන් දෙදෙනෙක් පැන් පිරුණු ලබු කබල් දෙකක් ගෙන එයින් පැන් බී හේන් කොටති. වෙහෙස වූ විට තම පැන් බඳුනෙන් දිය බොති. එක් අයෙක් විටෙක තම පැන් බඳුන ඉතිරිකර ගන්නා අදහසින් හොරෙන් අනෙකාගේ පැන් බඳුනෙන් පැන් බිව්වේ ය. එදින සවස තම දිනචරියාව ආවර්ජනය කරන ඔහු තමාගේ සොරකම සිහි කොට, ‘සතර අපායේ වැටේවි’ යන බිය ගෙන නුවණින් විමසුවේ ය. ‘කෙලෙස් යටපත් කර ගන්නෙමි’යි සිතා විදර්ශනාවේ ම සිත පැවැත්වූයේ ය. ඒ උත්තමයා පසේබුද්ධත්වයට පත් වූ සේක.
තවත් අයෙක් පර අඹුවන්ට ආසා කොට, ඒ ගැන සිතා, මේ අකුසලය පැවැත්වුවොත් මා නිරයේ යාවි කියා සිතට අවවාද කොට විදසුන් වඩා පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් මුසාවක් කියා ඊට කලකිරී විදසුන් වැඩූයේ පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් ප්‍රාණඝාතයට අනුබල දී ඊට කලකිරී විදසුන් නුවණින් කල්පනා කොට පසේබුද්ධත්වයට පත් විය. කළ පාපය පාපයක් බවත්, එහි විපාකය දරුණු බවත්, නැවත නොකිරීමට ඇති කැමැත්තත්, වීර්යයත් නුවණින් කල්පනාවට ගත් හෙයින් ඔවුහු සසරින් මිදුනු සේක. හරියට කල්පනා කොට පවු සෝදා ගත් කතා කීපයක් එලෙස ම ය.
අට්ඨාන ජාතකයේ අපේ මහා බෝධිසත්වයෝ ගණිකාවන් ඇසුරු කරන සල්ලාලයෙකු ව සිට ඒ ගැන කලකිරී තපස් රැක බඹලොව උපන් විස්තර එයි. වරදින් නැගී සිට සැනසිල්ලට පත් වූ අය ගැන විස්තර එමට ය. හුදෙක් මේ බුද්ධ ශාසනය ම වරදින් නැගී සිට පව් සෝදාගත් ශුද්ධවන්තයන්ගේ ම භූමිය යි. පව දෘෂ්ටියෙන් වසා නැළවිලි ගී කීම අනික් ශාසනවල පුරුද්ද යි. ඔවුනට ප්‍රඥාවක් කොයින් ද? ‘පඤ්ඤාය පරිසුජ්ඣති’ – ‘ප්‍රඥාවෙන් ම යි පිරිසිදු වෙන්නේ.’
තවත් මඟ පෙන්වීමක් සල්ලේඛ සූත්‍රයේ පෙන්වා දෙන සේක. බොහෝ අය බුද්ධ ශාසනයේ දියුණුව සේ දකින ධ්‍යාන, සමාධි, සමාපත්ති භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ වදාරා නැත. ඒ, නිවනට නොවෙයි. රූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ සැප සේ විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. අරූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ ශාන්ත ව විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. කෙලෙස් ලිහන්නේ ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතයෙන් වැළකීමට පැමිණීමෙනි. සොරකම් කරන කෙනා ඉන් වැළකීමට පැමිණීමෙනි. මේ අයුරින් කෙලෙස් බන්ධනය ලිහනවා කියා අකුසල් 44ක් ගැන වදාළ සේක. මෙය ප්‍රඥාවට ගත යුතු ය. යම් වැරැද්දක් කරන්නේ නම්, ක්ලේශයකට බන්ධනයකට ලක් වෙලා නම්, ඒවා ලිහලා ශුද්ධ කර ගන්න නම් ඒ වරදින් මිදෙන්න ම ඕනෑ ය. වැරැද්දක් කර කර ඉන් මිදෙන්නට බැරි ය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “චිත්තුප්පාදම්පි ඛෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝ පන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු” – “කුසල ධර්මයන් වැඩීමට සිතක් ඉපදවීම පවා බොහෝ උපකාරකයි කියා වදාරමි. කයින් වචනයෙන් කුසල් කිරීමෙන් වන යහපත ගැන කවර කතා ද?” එනිසා ‘මම මේ මේ අකුසල් කරන්නේ නෑ. මට මෙයින් නැගී සිටින්න ඕන.’ කියලා නිතර සිතිය යුතු ය. පිරිනිවන් පෑම යනු සියලු කෙලෙස් සෝදා හැරීමෙන් ලැබෙන පරම ශාන්තිය යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රාණඝාතය කරන කෙනාට පිරිනිවන් පාන්ටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ.” යම් වරදක් කරන කෙනාට එහි කෙලෙස් සෝදා හැර හැම පවින් ගැලවෙන්ට තිබෙන්නේ ඒ ඒ වරදින් අත් මිදීම ම යි. සල්ලේඛ සූත්‍රය කියවන්න. ඔබ මෙතෙක් කළ වැරදි පව්කම්වලින් ඔබට ගැළවෙන්න තිබෙන්නේ එයින් අත්මිදීම තුළින් ම යි. වැරදි අඩුපාඩු හදාගන්න. ඔබ වැරදිකරුවෙකු නො වේ, ඉන් මිදුනු කෙනෙකි. මේ කරුණු තේරුම් ගෙන හරියට කල්පනා කොට ජීවිතය හදා ගන්නා එක අයිති ප්‍රඥාවට ය. ඒ, ප්‍රඥාවෙන් පව් සෝදා හරින හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවූ ආලවක යකු පාපයනුත්, පසුතැවිල්ලත් ප්‍රඥාවෙන් ම සෝදා දැමුවේ ය. පිරිසිදු වූයේ ය. ‘පඤ්ඤාය පරිසුජ්ඣති.’
“කථංසු තරති ඕඝං” – “මේ විදිහට වැරදි, වැරදී, පසුතැවි තැවී, අඬ අඬා කැරකි කැරකි පවට ම නැමෙන මේ කෙලෙස් සැඩ පහරින් ගසාගෙන යද්දී කොහොමද ගොඩයන්නේ කියා ද ආලවක ඇසුවේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “සද්ධාය තරතී ඕඝං” – “ශ්‍රද්ධාවෙන් තමයි තරණය කරන්නේ කෙලෙස් සැඩ පහර.” ශ්‍රද්ධාව යනු බුද්ධ වචනය විශ්වාස කරන එක ය. ඔහු මේවායෙන් ගැලවෙන්නේ මෙහෙමයි කියා වදාළ දහම් පද විශ්වාස කර ගනියි. ගැලවෙන්න පුළුවන් කියා විශ්වාස කොට වැරදිවලින් ගැලවුණ අය සිටිති. විශ්වාස කරන එක ම ය ශ්‍රද්ධාව. ජාතක කතා, ධම්මපද කතා, රහතන් වහන්සේලාගේ ජීවිත කතා වනාහී නැගී සිටින්න පුළුවන් බවට දෙන සාක්ෂි වේ. ඒවා විශ්වාස කටයුතු ය. ඒ ශ්‍රද්ධාව ඔහුව වරදින් එතෙර කරනු ඇත.
“කථංසු තරති අණ්ණවං” “සාගරයක් වගේ ගොඩගැසුණු සංසාර ගමනෙන් (සාගරයක් වගේ කෙලෙස් ගොඩෙන්) කොහොමද එතෙර වෙන්නේ?” කියා ද ආලවක විමසයි. “අප්පමාදේන අණ්ණවං” – “අප්රමාදී බවෙන් ම යි.” අප්රමාදී බව වනාහි අනුන්ට චෝදනා නොකිරීම යි. දුක් මැසිවිලි අඳෝනා නොනැගීම යි. පසුනොතැවීම යි. ඉවසීම යි. කලබල නොවීම යි. නුවණින් කල්පනා කිරීම යි. කාලයෙන් ප්‍රයෝජන ගැනීම යි. අප්රමාදී බවට අංගුලිමාල තෙරිඳුන් ව උපමාවට සුදුසු ය. තම හිසට ගල්පහර වැදෙද්දී පසුපස හැරී නොබැලුවේ ය. පාත්‍රය බිඳෙද්දී වටපිටවත් නොබැලුවේ ය. ඉවසුවේ ය. උන්වහන්සේගේ උදාන ගාථාවල කඩුව අතට දුන් ගුරුවරයා ගැන හෝ කේළාම් කියූ යහළුවන් ගැන වචනයකින්වත් නැත්තේ ය. උන්වහන්සේ ලෝකයට චෝදනා නොකළ සේක.
බුදු සසුන මුණගැසුණු වෙලේ උතුම් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ලැජ්ජා බයත්, වීර්යයත් ප්‍රඥාවත් දියුණු කර ගත් සේක. ඒ අපගේ ආර්ය වූ අංගුලිමාල තෙරිඳුන්ගේ අප්රමාදී බව යි. සාගරයක් තරම් කෙලෙස් පව් උන්වහන්සේ තරණය කළ සේක. මේ හැමදේටම ඤාණය තිබිය යුතු ය. ප්‍රඥාවෙන් ම යි මේ ඔක්කොම ශුද්ධ කරලා දාන්නේ. කුණු වැඩි නම් ප්‍රඥාව වැඩි කර ගත යුතු ය. ඒ තාක්, පසුතැවීම මංමුළා වූ බව ම උපදවයි. ප්‍රඥාව නැතිතාක් ධර්මය හොයනවා කියා රට වටේ යන්නට සිද්ධ වේවි, එක එක භාවනා පන්තිවලින් හෙම්බත් වෙවි. ඇත්තටම ප්‍රඥාව නම් සොඳුරු දෙයකි. ප්‍රඥාව මිනිසා සන්සුන් කරවයි. සතුට ගෙන දෙයි. වරදින් ගොඩ ගනියි. නිවනට රැගෙන යයි.
“කථංසු ලභතේ පඤ්ඤං” – “කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ?” යනුවෙන් ද ආලවක විමසුවේ ය.
“සද්දහානෝ අරහතං
ධම්මං නිබ්බානපත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං
අප්පමත්තෝ විචක්ඛණෝ”
“අමා මහ නිවනට පමුණුවන ධර්මය රහතන් වහන්සේලා වදාළා. ඒ ධර්මය හොඳට අහන්න ඕන. අප්රමාදී ව නුවණින් විමසන්න ඕන. අන්න එතකොට ප්‍රඥාව උපදිනවා.” බලන්න, ශ්‍රද්ධාව මේ කරුණට වුවමනා ය. ධර්මය ඇසීම වුවමනා ය. හැබැයි ශාස්තෘ ශාසනය, ත්රිපිටකාගත සැබෑ ශ්‍රී සද්ධර්මය ම අහන්න ඕන. ඇදකුද නොසොයා, තමා තුළට පමුණුවා නුවණින් විමසනකොට ප්‍රඥාව උපදී. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ධර්මය අහන කෙනා මේ අර්බුදයෙන් ගැලවීමක් ලබයි. තවත් විස්තර දැනගන්නට ආලවක සූත්‍රය කියවන්න. හරිම අපූරු සූත්රයකි. ඇත්තටම ආලවක ගැලවුනා නේ ද…! ආලවක මිනී මස් කමින් සිටි යකෙක් ය. ඔහු සෝවාන් විය.
දහමින් පිහිටක් සොයාගෙන පැමිණි ඔබ පසුතැවීම ඉතිරිකර ගන්න එපා. එතකොට ඔබ සරණ ලබාගෙන නැත. සරණ ලැබුණා ම බිය නැති වන්නේ ය. මේ බියෙන් තැවි තැවී ඉන්නේ හරියට සරණ නැති නිසාවෙනි. කෝටියක් පව් අමතක කොට බලවත් ව තිසරණ සරණ යන්න. හරියට කල්පනාව හදා ගන්න. ප්‍රඥාව උපද්දවන දේශනා අසන්න. වරදින් නැගී සිටි උත්තමයන්ට පුදන්න. සිහි කරන්න. නමදින්න. අප හටත් පිහිටක් ඇති බව නිතර සිතන්න. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න. ඔබව සුවපත් කරනා දහම් පදය ඔබට ඇසෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ ලොවට අනුකම්පා ඇති සේක…!
– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
පින්සිදු වෙවා පින්වත් ස්වමින්වහන්සෙට අනර්ග විවරනයකි තෙරුවන් සරනයි
Namo Buddhaya