සිරිදත්ත හිරුටත් කලියෙන් දවස ආරම්භ කරමින් උදැල්ලත්, කැත්තත්, යකඩයත් ගෙන ගෙයින් එළියට බැස්සේ ය. බිරිඳ පත්මිණී ද ඔහුගේ පසුපසින් වැටී සිටියා ය. කථාබහකින් තොරව ම දෙමහල්ලෝ පොල් ඉඩම වෙත කඩිනමින් පියවර තබන්නට වූහ.

වසර පහළොවක් පමණ හෙතෙම සෙනසුනේ දායක සභාව සමඟ පොල් ඉඩමට නඩු කිව්වේ ඉඩම මැදින් සෙනසුනට වැටී තිබූ පාරට ය. පාර නිසා ඉඩම දෙකට බෙදුනි. යන එන්නන්ගෙන් ඵලදාවට ද හානි විය. විශාල බිම්තීරුවක් ද අහිමිව ඇත. ‘ඉඩම් යනු ඇඟේ ලේ හා මස් ය. ඒවා රටේ එවුන්ට හූරාගෙන කන්නට ඉඩ දී කෙසේ නම් ඉවසා සිටින්න ද?’ සිරිදත්ත හැමදාම සිතුවේ එලෙසිනි.

“මෙහෙම පාරක් ඉඩම් ප්ලෑනෙ නැහැ.”

“උඹේ තාත්තා ඒක සෙනසුනට දුන්නෙ.”

“තාත්ත මට එහෙම එකක් කියල නැහැ. මං දන්නෙ නීතිය විතරයි.”

සිරිදත්ත උසාවි ගියේ ය. නඩු තීන්දුව ඔහුගේ වාසියට ලැබුණි. පාර වැසී පොල් ඉඩම් කොටස් දෙක එක බිම් කට්ටියක් විය. විශාල බිමක් ද අයිති විය.

“හාමුදුරුවන්ට කියපං මං හෙට පාර වහනව කියල. පරණ පාර ශුද්ධ කර ගන්න එක එයාලගෙ වැඩක්. මං දැන් සතියක් ඉවසුවා. ඔය ඇති.” සිරිදත්ත පෙරදා හැන්දෑවේ සෙනසුනට පණිවිඩයක් ද යැව්වේ ය.

හීලදානේ පිරිස එන්නට පෙර පාර වසා දැමීමට දෙමහල්ලෝ කතිකා කරගෙන සිටියමුත් ඊට පෙර හීල දානය රැගත් කබල් වෑන් රථය පැමිණ ඔවුන් ඉදිරියේ නතර වූයේ මළකඩ හඬක් පිටකරමිනි.

සිරිදත්ත පාර හරහා දෑත් දෙපා විදහා සිට ගත්තේ කළුගල් පර්වතයක් හරස් කළාක් මෙනි. තැනින් තැන කබර මතු වූ ඔහුගේ කාලවර්ණ විශාල ශරීරය, දකින කා තුළත් බියක්, පිළිකුළක් ඇති කරන්නට අසමත් නොවුණි.

වෑන් රථයෙන් බැස්සේ සෝමාවතී ය. ඕ පොරවා සිටි සුදු රෙදිකඩින් සිය දෑත් පිසදා සිරිදත්ත දෙස හොඳින් බැලී ය.

“මේ මොකද බං පාර හරස් කරගෙන?”

සිරිදත්ත කථා නො කළේ ය. එවර සෝමාවතී පත්මිණී දෙසට හැරුණි.

“ඈ බං පත්මිණියෝ උඹේ මිනිහට මොකාද මේ වැහිල තියෙන්නෙ? පාර හරස් කරගෙන හරියට බහිරවයෙක් වගේ.”

“අපි නඩුව දිනුම්.” පත්මිණී කීවේ ස්වාමියා දෙස බලමිනි.

“ඉතිං අපි පාර වැහුවා. තොපිලට ආයෙ මේකෙ රිංගන්න බෑ.” සිරිදත්ත ගුගුලේ ය. සෝමාවතීගේ සිතට ද තරහක් ඉපදිණ.

“උඹ මට යන්න දෙන්නැද්ද?”

“නැහැ.”

“ඈ බං දේවදත්තයෝ උඹ පාර වැහුවා එහෙනම්. අවුරුදු විස්සක් තිහක් අපි ගිය පාර. අනේ දෙයියනේ! දෙයියො ම බලාගන්නෝන මේ අවනඩු.”

සෝමාවතී අහසට දෑත් යොමාගෙන කීවා ය. සිරිදත්ත කැත්ත අතට ගෙන සෝමාවතීට සමීප විය.

“බොණ්ඩියේ… මගෙ යකා අවුස්සන්නෙ නැතුව පලයං. තොගෙ පට්ටන්දරේ මට කියල කියවගන්නෙ නැතුව. සිල්රෙදි පොරවගත්ත නාකි………”

සෝමාවතීගේ කට වැසුණි. පාරේ මඳ දුරක් ආපසු ගිය වෑන් රථය පැරණි පාර වූ අඩි පහක් පමණැති නියර දිගේ යාමට නොහැකිව නතර විය. දානෙ පිරිස එතැන් සිට සැතපුම් කාලක් දුරට දානය ඔසවාගෙන පයින් ම යනු දුටු සිරිදත්ත හූ තියන්නට විය.

උදෑසන නමයට ආසන්නව පැමිණි සෙනසුනට බෝතල් කළ පානීය ජලය ගෙන එන ලොරියත්, දහවල දානෙ පිරිසත් සිරිදත්ත එලෙසින් ම එළවා දැම්මේ ය. වතුර ගෙනාවෝ ආපසු යන්නට ම ගියහ. දහවල් දානෙ ගෙනා ත්‍රීරෝද රථය පිළිසකර නොකළ නියර දිගේ යත්දී පෙරළී කුඹුරට වැටුණි. දානයෙන් වැඩි කොටසක් ඉහිරුණි. ඒ දෙවරත් සිරිදත්තගේ හූ හඬ පුරන් කුඹුරුයාය දිගේ ඈතට ම ඇසුණි.

දහවල් වෙත්දී පැරණි පාර දිගේ පොල් පැළ ද සිටවූ දෙමහල්ලෝ නිවස බලා පිටත් වූහ. ඉපිලෙන සතුටක් සිරිදත්තගේ සිතෙහි විය. නඩු කීවාට පාඩු නැත. පාරට වෙන්ව තිබූ අඩි දහ අටක විශාල බිම් තීරුවක් තමාට අයිති විය. කොටස් දෙකක් ව පැවති ඉඩම එකක් වී අයිතිය තහවුරු විය. සියල්ලට ම වඩා සතුටක් වූයේ දායක සභාවටත්, සෙනසුනේ ලොකු හාමුදුරුවන්ටත් පාඩමක් ඉගැන්වීමට ලැබීම නිසාවෙනි. හවස හෙතෙම ලාභෙට කසිප්පු අඩියක් ද ගැසුවේ ය.

වෙහෙසත්, වෙරිමතත් නිසා සිරිදත්ත වේලාසනින් ම නින්දට වැටුණි. සිරිදත්ත ව අවදි නොකර ම පද්මිණී ද විදුලි ආලෝකය නිවා දමා නින්දට වැටුණා ය.

“ගෑනියෙ නැගිටපං…! පුදුම හීනයක් දැක්කා.” මධ්‍යම රාත්‍රිය පහන් වෙත්දී සිරිදත්ත සිය බිරිඳ ව අවදි කරන්නට විය.

“දැක්ක මඟුලක් උදේට කියනවා. මට නිදිමතයි.” පද්මිණී කීවේ කේන්තියෙනි.

“මේක එසේ මෙසේ හීනයක් නෙවෙයි. උඹ දන්නව ද මං මොකක්ද දැක්කෙ කියලා?” සිරිදත්ත ඇඳෙන් බැසගොස් විදුලි පහන දැල්වී ය. ඔහුට අවශ්‍ය වූයේ සිහිනය පැවසූ විට බිරිඳගේ විස්මිත වන මුහුණ දැකීමට ය.

“මොනවද දැක්කෙ?”

මතක ඇති කාලෙක නොවූ තරමට සතුටු හැඟීම් ඇති ස්වාමියාගේ මුහුණ දෙස ම බලාගෙන පද්මිණී ඇසුවා ය.

“පද්මිණී… නිධානයක් බං. නිධානයක්…!”

“නිධානයක්?”

“ඔව්!”

“කව්ද කිව්වෙ? කොහෙද තියෙන්නෙ?” පද්මිණී ඇසුවේ කෝපය සිතේ වී ද සඟවාගෙන ය.

“කිව්වෙ දෙවි කෙනෙක්. කලින් ජීවිතේක මගෙ තාත්තා. මට උරුම එකක්. දවස් තුනකදි ගන්න ය කිව්වා.”

“ඉතිං කොහෙද ඕක තියෙන්නෙ?” පද්මිණී සිරිදත්තට වඩා උනන්දු ව ඇසුවා ය.

“හෙට රෑට පෙන්වන්නෙ. මට ක්‍රමේ කිව්වා.”

දෙවියන් කියූ ලෙස ම සිරිදත්ත පසුදා රාත්‍රී එකොළහට එළඟිතෙල් පහනක් ද රැගෙන පදිංචි වත්තේ පිටුපසට ගියේ පද්මිණී ද සමඟිනි. මිනිත්තුවක කාලයක දී ඔවුන් ඉදිරියේ අහසින් පැමිණි ආලෝක ධාරා තුනක් අවස්ථා තුනක දී පොළොවේ එක ම තැනක වැදී නොපෙනී ගියේ විය.

“හරි එතන තමයි තැන.”

සිරිදත්ත තරමක ගලක් ගෙන ස්ථානයට සලකුණු තබා වටපිට බැලුවේ තමන් දෙස අහල පහළ කිසිවෙකුත් බලා සිටින්නේදැයි දැනගනු පිණිස ය. කිසිවෙකුත් පෙනෙන්නට නැත.

“කෝකටත් අඳුනකුත් බලමු.”

ගෙට පැමිණි විගස පද්මිණී කීවේ නිධන් ගැන යමක් දන්නා ලෙසිනි. සිරිදත්ත ද ඒ අදහසට එකඟ විය.

පසුදා ඔවුහු ගමෙන් බොහෝ ඈත අඳුන් බලන දේවාලයක් බලා පිටත් වූහ.

“අඩි දහයක් දොළහක් අතර ගැඹුරෙ වස්තුව තියෙනවා. ටිකක් හාරද්දි බුරුල් පස හම්බවෙනවා. ඊට පස්සෙ තිරිවාන කැට. ඊට යටින් පළිඟු කැට. ඊටත් යටින් තමයි වස්තුව තියෙන්නෙ. නාගදීපෙ චෛත්‍යයට යමක් එයින් පූජා කරන්න මියගිය අයට පිං පිණිස.”

‘කාරණය හරියට ම කියැවුණැ’යි දෙමහල්ලෝ සතුටු වූහ. ගැටළුව වූයේ අසල්වාසීන්ට සැක නොසිතෙන ආකාරයට නිධන් වළ හාරන්නේ කෙසේ ද යන්නයි. ආපසු ගමන පුරා ම කල්පනාව එය ම විය.

‘ගම ම තරහයි. මොකද කරන්නෙ?’

සිරිදත්ත දිගට ම කල්පනා කරන්නට විය. රථයේ කවුළුව අතරින් ඔහුගේ දෑසට හසු වූයේ ගඩොල් පෝරණුවකි.

“අපි ගඩොල් කපමු.” ඔහු පද්මිණීට කීවේ කලබලයෙනි.

“ගඩොල් පෝරණු පටන් ගන්න කලින් මේක ගොඩ අරන් ඉමු.”

පද්මිණීට ඇත්තේ සිරිදත්තට වඩා කලබලයකි.

“ගඩොල් උවමනාවකට නෙවෙයි ගෑනියේ. ගඩොල් කපන්න පස් ගන්න විදිහට අපි නිධානේ හාරමු. එකෙකුටවත් සැකයක් නැහැ.” සිරිදත්ත තම උපාය කීවේ රහසිනි. ඔහුට දැන් මුළු ලෝකය ම සැක ය.

“වත්තෙ දැනට ළිං දෙකක් තියෙනවා. තුනක් කපන එක ගෘහමූලිකයට හොඳ නැහැ. අපේ බාප්ප තුන්වෙනි ළිඳ කැපූ දෙවෙනි දවසෙදි ම මළා.”

“අපි එකක් වහමු. බොන එක ම වහමු. කොහොමත් ඒකෙත් කිව්ල ටිකක් තියෙනවානෙ. මේක ගොඩගත්තම කඬේ වතුර වුණත් බොන්න බැරි ද.”

දෙමහල්ලෝ එකතුව සැන්දෑවේ දී මෙතෙක් වතුර බිව් ළිඳ වසා දැමූහ. “කුස්සි කෑල්ල හදන්න ගඩොල් ටිකක් කපන්න කියලා.” අලුත් ළිඳක් කපනු දකින කාටත් ඔවුන් එසේ කීව ද කිසිවෙකු ඔවුන් ව ගණනකට ගත්තේ නැත.

“ඉරිසියාකාර හැත්ත. හිටපියව්කො තව ටික දවසක්.” සිරිදත්ත තමාට ම කියා ගත්තේ ය.

අඳුනෙන් කියවුණ ලෙසට ම අඩි පහක් පමණ කපද්දී පස බුරුල් විය. ඒ පස අතින් වුව එකතු කළ හැක. එය වඩා හොඳ ය. උදලු හඬක් දැන් පිට නො වේ. තව ගැඹුරට වැලි පස ඉවත් කරද්දී තිරිවානා ද ඊට පසු කුඩා පළිඟු කැට තට්ටුව ද විය. පළිඟු කැට ඉවත් කිරීමට තරම්වත් කාලයක් සිරිදත්තට නැත. හෙතෙම කුඩා පළිඟු කැට මෑත් කරන්නට විය. දෙමහල්ලන්ගේ ම දෑත් ද හදවත් ද මොහොතක් නැවතිණ. මෑත් කළ පළිඟු අතරින් ලෝහ බඳුනක් මතු විය. එය තරමක සෙම්බුවකි.

“තුන් පාරක් වැඳල ගන්න.” පද්මිණී උඩ සිට කීවා ය.

“කෑ නොගහ හිටපං. මං දන්නවා.”

ලෝහ බඳුන පප්ප බැනියමේ ඔතා ගත් සිරිදත්ත පද්මිණීව ද නොබලා ගෙට පැන්නේ ය. පද්මිණී ද ස්වාමියාට නොදෙවෙනිව ගෙට පැන දොර වසා දැම්මා ය. දෙමහල්ලෝ දියණියවත් නොදකින ලෙසට කාමරයට රිංගාගෙන එය ද අගුල් දැමූහ.

“අරින්න.” පද්මිණී කටිනුයි, අතිනුයි, ඇස්වලිනුයි කීවා ය. ලෝහ බඳුනට නැවතත් තුන් වරක් වැඳි සිරිදත්ත එහි පියන අපහසුවකින් තොරව ම විවර කළේ ය. දෑත් නතර විය. හදවත් ද නතර විය.

“අඟුරු…!”

දෙදෙනාට ම එක්වර ම කියවුණේ ය. සිරිදත්ත ලෝහ බඳුන හැරෙව්වේ ය. මේසය පුරා අඟුරු කැට විසිරුණි. මැරුණා නම් මීට වඩා දාහෙන් සම්පතකි. දෙමහල්ලන්ට ඔවුනොවුන්ගේ මුහුණ දෙස බලන්නටවත් ශක්තියක් නොවිණි.

දවස පුරා ම කෑමක් නැත. කෑම දකිද්දී ම අපුලකි. වතුර බිව් ළිඳත් වසා දැමූ නිසා නාන ළිඳෙන් ගෙනා කිවුල අධික වතුර උගුරක් දෙකක් පමණි බිව්වේ. ඒවා බොන්නත් බැරි ය. සෙනසුනේ පාර වසා දැමීම නිසා ගම ම තරහ වී ඇත. වතුර ටිකක් තරමට ගන්න තැනක් ද නැත. කොතන නමුත් කිසියම් වරදක් සිදුව ඇත. දෙව් පියා විසින් තමාව රැවටූ බවක් සිතන්නට ද සිරිදත්තට නොපුළුවන. ඔවුහු වේලාසන ම නින්දට වැටුණාහ.

රාත්‍රියේ පළමු යාමයේදී ම සිරිදත්තට දෙවියන් ව සිහිනෙන් පෙණින.

“නිධානෙ ගොඩගත්ත ද?” දෙවියන් ඇසී ය. සිරිදත්ත කලබල විය.

“ඔව්. ඒත් දෙයියනේ ඒකෙ තිබුණෙ අඟුරු. ඔබතුමා මාව රැවැට්ටුවා.”

“රැවැට්ටුවේ නැහැ. භාජනය පිරෙන්න තිබුණෙ මැණික්. උඹෙ අම්ම අවුරුදු ලක්ෂ ගාණක් උඹ වෙනුවෙන් ඒක ආරක්ෂා කරගෙන හිටියෙ. උඹයි උරුමක්කාරයා.”

“දෙයියනේ ඒකෙ තිබුණෙ අඟුරු! මාව විශ්වාස කරන්න.” සිරිදත්ත බැගෑපත් විය.

“ඔව්. කාලකන්නි උඹ ඒකට අත තිබ්බ ගමන් ඒ මැණික් ඔක්කොම අඟුරු වුණා. උඹට උරුමෙ තිබුණට පින නැහැ. උඹ මේ පාරත් ඒක උරුම කර ගන්න තිබුණ පින මරා ගත්තා.”
සිරිදත්තගේ ඇඟ සීතල විය.

“කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලංකාවට වැඩම කරල බුද්ධ ශාසනය පිහිටවපු කාලෙදි මම රටේ ඇමති කෙනෙක්. උඹ මගේ එක ම පුතා. දවසක් අපි කෑම ගන්න සූදානම් වෙද්දි භික්ෂූන් වහන්සේලා දොළොස්නමක් අපේ මාළිගාවට පිණ්ඩපාතෙ වැඩියා. අම්මයි මමයි අපිට තිබුණු කෑම ඔක්කොම පූජා කෙරුව ම උඹ මොකද කළේ? එක භික්ෂුවකගෙ පාත්‍රය උදුරගෙන කුස්සියට ගිහින් දානෙ ටික බිමට හළලා ගිනි අඟුරු පුරවලා ගෙනත් දුන්නා. උන්වහන්සේගේ අත පිච්චුණා. පාත්තරේ අතහැරිලා බිම වැටිලා බිඳුණා. උන්වහන්සේ විසිරුණ ගිනි අඟුරු මැද්දෙන් පොළොවට කිමිදිලයි වැඩියෙ.

කාලකන්නි උඹ ව මං එදා ම ගෙදරින් පැන්නුවා. අම්ම හිතුවා මම උඹට පස්සෙ කාලෙකදි හරි සමාව දේවි කියලා. මේ වස්තුව මටත් නොකියා අම්ම තමයි ඔතන වළ දාලා තියෙන්නෙ. මං මැරුණුදාක උඹට දෙන්න. නමුත් අම්ම මට කලින් මැරුණා. මැරෙන වෙලාවෙදි මට කිව්වා. මම ගන්නත් බැලුවා. මට ගන්න බැහැ. අම්මා බහිරවයා වෙලා ඉපදිලා උඹ වෙනුවෙන් ආරක්ෂා කරනවා. මේකට උඹ අත තිබ්බ දවසකදි තමයි බහිරව ආත්මෙන් චුත වෙන්නෙ.

උඹ මැරිල තිබුණෙ අපි දෙන්නට ම කලින්. එදා මැරිල උඹ නිරේ ගිනි අඟුරු ගොඬේ පිච්චි ඉඳලයි ආයෙම මේ විදිහට ඉපදුණේ. ඔය තාම උඹේ කළු පාට ඇඟේ තියෙන කබර ඒ පිළිස්සුම් තුවාල සලකුණු.”

සීතල ව තිබූ සිරිදත්තගේ සිරුර කෝපයෙන් රත් වෙන්නට විය.

“කාලකන්නි උඹට මේ ජීවිතේ දී ඒක ලබන්න තිබුණා. නමුත් සංඝයාට මේ පාරත් පීඩා කරලා ආයෙත් පින මරා ගත්තා. උඹ ආයෙත් මැරිලා යන්නේ හිටපු තැනට ම යි. ගිනි අඟුරු ගොඩට ම යි. අම්මා ව නිදහස් කර ගන්නයි මම….”

“පාහරයා”

සිරිදත්ත දෙවියන්ට කෑ ගැසුවේ ය. නමුත් ඒ හඬ පිට නොවුණි. දෙපාරක් ගැස්සී ගිය සිරිදත්තගේ උණුසුම් සිරුර උදෑසන වෙද්දී සදාකාලික සීතලෙන් දරදඬු වී තිබුණි.

නිමි.

[starlist]- මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි[/starlist]