සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් තිබේ යැයි සමහරු කියත්. එය සැබෑවක් දැයි ඔබත් බොහෝ විට සිතා ඇතැයි සිතමි. එහෙත් සමහර ප්‍රශ්නවලට විසඳුමක් ඇත්තේ ම නැත. ඒවාට විසඳුමක් ලැබේ නම් මෙතෙක් බී ඇති බෙහෙත් පෙති ටික ම ඇති. මෙතෙක් ගිය දේවාලත්, ගැටගැසූ පඬුරුත් දෙස බලන විට, ගැසූ පොල්ගෙඩි ගණන, කළ යාතිකා, ඇවිදපු ඇවිදුම්, මැතිරූ මැතිරුම් හොඳට ම ඇති. එපමණක් නොව තිසරණය සරණ ගිහින් සිලුත් රැගෙන පිරිත් කිය කියා හිටියත් සමහර ප්‍රශ්නවලට විසඳුමක් නැත. මමත් මේ ගැන බොහෝ සේ සිතුවෙමි. එසේ සොයන මා හට ප්‍රණීත දහම් පර්යායක් කියවන්නට ලැබිණි. එහි විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් තිබිණ. “සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් තිබේ ය” යන වදන දැන් මට අහක දැමිය නොහැක.
අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ මුණ්ඩරාජ වර්ගයේ ය මේ දහම් පර්යාය තිබෙන්නේ. මේ කරුණු ඔබ ඉගෙනගෙන තිබිය යුතු ය. ධාරණය කරගෙන සිටිය යුතු ය. ගළපා බැලිය යුතු ය. මන්ද සෑම කෙනෙකුට ම ප්‍රශ්න තිබෙනා බැවිනි. ජීවිතය නැමැති වනයට ඇතුල් වූ කෙනෙකුට වන සතුන් නමැති කරදර මුණගැසේ. ජීවිතය දෙස ආපස්සට බලද්දී හුදෙක් ජීවිතය වනාහි අභියෝගවලට ම මුහුණ දීමක් යැයි සිතේ. කෙසේ නමුත් පුදුම සහගත මේ විසඳුම් අනුපිළිවෙල ගැන හොඳින් අවධානය යොමු කරවන්න.
★ පළමු පියවර………..
මේ ලෝකයේ කිසිසේත් ලැබිය නොහැකි කාරණා පහක් තිබේ. දැන් බලන්න ඔබේ ගැටලුව එයට අයත් ද කියා. මේ කාරණා පහ කිසිම ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්රහ්මයෙකුට හෝ ලෝකයේ කිසිකෙනෙකුට ලැබිය නො හැකි ය. ඒ වනාහි,
01. වයසට යන (මා) වයසට නොයාවා!
02. ලෙඩවන (මා) ලෙඩ නොවේවා!
3. මරණයට පත්වන (මා) මරණයට පත් නොවේවා!
04. ක්ෂය වී යන/ගෙවී යන දේ ගෙවී නොයාවා!
05. වැනසෙන දේ නොවැනසේවා!
මේ කරුණු පහ ලෝකයේ කිසි කෙනෙකුට ලබන්නට නො හැකි ය. ඔබේ පීඩාව, ප්රශ්නය, අවුල ඇත්තේ වයසට යෑම සම්බන්ධයෙන් නම්, ලෙඩවන ස්වභාවය, මරණය උරුම වීම, ගෙවි ගෙවී යෑම, නැසී වැනසී යාම සම්බන්ධයෙන් නම් එයට විසඳුම ‘එය එසේ නොවේවා!’ යැයි තුන්ලොව කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවයි. ලෙඩ සුව කළ හැකි ය. ඒත් ලෙඩවන ස්වභාවය වෙනස් කර ගත නොහැකි ය. එකක් අවසන් වන විට තව එකක් ය. ඒ නිසා හැමදාම තරුණ වී සිටිය නොහැක. ලෙඩක් නැතිව ම සිටිය නොහැක. නොමැරී සිටිය නොහැක. යමක් එක විදිහට ම තබාගත නොහැක. නොමැරී සිටිය නොහැක. යමක් එක විදිහටම තබාගත නොහැක. විනාශ වීම, වෙන් වීම වැළැක්විය නොහැක. මෙය පිළිගත යුතු ය. ඒ ශ්‍රද්ධාව ඔබේ ප්‍රශ්නයට විසඳුමක් වනවා නියතයි. තවත් නුවණින් විමසන්න. තමන්ගේ ගැටලුව මේ කෝකට ද අයිති කියා බෙදා ගැනීමත් අතිශයින් දුෂ්කර ය.
★ දෙවන පියවර………..
ඒ සූත්‍රදේශනා අනුව ඊ ළඟ පියවර වන්නේ ප්‍රශ්නයක් ආ විට මෙසේ සිතීම යි.
‘මේ ප්රශ්නය, ගැටලුව, පීඩාව මේ ලෝකයේ මට විතර ම ද තියෙන්නේ?’ කියලා.
මෙය කරන්නේ නුවණිනි. අනුවණයාට ඒවා මතක් නොවේ. එසේ විමසද්දී තේරෙන්නේ “මේ ලෝකේ අනිත් අයටත් මේ ප්‍රශ්න තියෙනවා” කියා. බොහෝ ගැටලු/පීඩා නොසන්සිඳෙන්නට බලපාන දෙයක් තමයි ‘මේ ප්‍රශ්නේ තියෙන්නේ මට විතරයි’ කියා සිතීම. එය විශාල පාඩුවකි. ඇත්තටම තමන් හිතුවට මේ ප්‍රශ්නේ ලොකු දෙයක් කියා කරුණු දන්නා කෙනෙකුට එය එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඔබට වැඩිය ප්‍රශ්න තිබෙන අය ලෝකයේ ඉන්නවා. ඔය කරදර ආපු පළමුවෙනි කෙනා ඔබ නොවේ. අවසාන කෙනා ද ඔබ නොවේ. මේ කරදර පීඩා ලෝකයේ ස්වභාවයකි. ඒවා ලෝකයට අයිති දේවල් ය. අපත් මේ ලෝකයේ ඉපදුණාට පසු ඒවා අප කරා පැමිණෙන බැවින් මේ කරුණු තේරුම් ගෙන වාසය කළ යුතු ය.
★ තුන්වන පියවර………..
ඊ ළඟ කාරණාව වන්නේ ඒ ප්‍රශ්න ඉදිරියේ මනසින් කඩා නොවැටීම, මුහුණ එල්ලා නොගැනීම, සතුටු මුහුණින් සිටීම. මක් නිසා ද යත්, කරදර ගොඬේ ඉන්නා කෙනාගේ පීඩාකාරී මුහුණ දෙස බලා සතුටු වන්නේ සතුරෝ ම යි. ඇයි අපි අපේ සතුරෝ සතුටු කරන්නේ? සමහර විට ඔවුන් නිසා ම යි ප්‍රශ්න එන්නේ. ඔවුන් සතුටු කළ යුතු නොවේ. සතුරන්ට දඬුවම් දෙන හොඳ ම ක්‍රමය සිනහමුසු මුහුණයි. මූණ එල්ලාගෙන පීඩාවෙන් ඉන්නා විට දුක ඇතිවන්නේ අපට ආදරය කරන අයටයි. ඇයි අපිට ආදරේ අයට දුක් දෙන්නේ? තමාට හිතවත් අය සතුටු කිරීම පිණිස සතුටෙන් සිටිය යුතු ය. ප්‍රශ්නයක් ආව ගමන් කලබල නොවී සිනාමුසු මුහුණින් මුහුණදෙන්නට හිත හදා ගත යුතු ය. හැම වෙලාවෙම සිනහමුසු මුහුණින් ඉන්නා විට ගොඩක් ප්‍රශ්න විසඳෙයි. ඒ ගැන මොහොතක් හිතන්න. ඒ සඳහා ඉහත පළමු හා දෙවන පියවරවල් අනුගමනය කිරීම බොහෝ උපකාරියි.
★ හතරවන පියවර………..
ප්‍රශ්න ඉදිරියේ ශෝක වෙවී, වැළපි වැළපී දහ අතේ දුවන්නේ අශ්‍රැතවත් පෘතග්ජනයා බව සිහි කිරීම ඊ ළඟ කාරණය යි. මන්ද, ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතා දුක් වීමේ හානිය තමන්ටම යි. ප්‍රශ්න, ගැටලු මත්තේ විඳවන එකට පාලියෙන් කියන්නේ මෙහෙමයි “අයං වුච්චති අස්සුතවා පුථුජ්ජනෝ විද්දෝ සවිසේන සෝකසල්ලේන අත්තානං යේව පරිතාපේතීති” මෙයට තමයි කියන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා විෂ සහිත සෝක හුළෙන් පහර කාලා තමන් ම විඳවනවා, පීඩා විඳිනවා කියා. ඒ නිසා ‘මම විඳවන්න ඕන නෑ’ කියා හිතන්න. අනික අපව ඒ ආකාරයෙන් ම තේරුම් ගන්නා අය ලෝකයේ නැත. හිටියොත් ඒ බුදු කෙනෙක් ම යි. ‘අප ව තේරුම් ගන්නේ නැත්තේ ඇයි?’ කියන ප්‍රශ්නේ නිසා බොහෝ අය පීඩා විඳී. එසේ කවුරුත් අප ව තේරුම් ගන්නේ නැත. තේරුම්ගත යුත්තේ ද නැත. මොනා ලබන්න ද? ‘විෂ සහිත උලකින් විදගෙන මම තනිව මේවා විඳවන්න ඕන නෑ’ කියලා පීඩාව නැතිකර ගැනීම ඒ පියවර යි. එහෙම හිතනකොට හිත නිවෙන්නට ගනී. ගිනි ගන්නේ නැත. පත්තු වෙන්නේ නැත. ප්‍රශ්නයක් ඉදිරියේ සෝක නොවී ඉන්නවා කියන එක පුදුම සහගත දෙයකි. එය මනුස්ස ජීවිතේ ප්රාතිහාර්යයකි.
★ පස්වන පියවර………..
අඬලා, ශෝක කරලා පීඩාවෙන් ඉඳලා කිසිම වැඩක් නැතැයි සිතීම ඊ ළඟ පියවර යි. “ඇඬීමෙන්, වැළපීමෙන් අල්ප වූ ද ප්‍රයෝජනයක් නැත.” එය වනාහි බුද්ධ වචනය යි. මෙය අදහා ගැනීම බොහෝ දුක් සන්සිඳුවයි. එය ගාථාවලින් මෙසේ ය.
න සෝචනාය පරිදේවනාය
අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි
සෝචන්තමේනං දුඛිතං විදිත්වා
පච්චත්ථිකා අත්තමනා භවන්ති
“ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සන්තෝෂයට පත් වෙති.”
බලන්න, ශෝක නොකිරීම මංගල කාරණයක් බව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ගැළපී යන අයුරු. මංගල කාරණා යනු යහපත උදාවන කරුණුයි. බාධක ගැටලු ඉදිරියේ ශෝක නොකිරීම පුදුම යහපතක් උදාකරවයි.
යතෝ ච ඛෝ පණ්ඩිතෝ ආපදාසු
න වේධති අත්ථවිනිච්ඡයඤ්ඤූ
පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති
දිස්වා මුඛං අවිකාරං පුරාණං
“යම් කලෙක අර්ථ විනිශ්වයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත් වෙති.”
(අටලෝ දහම එන විට සිත නොසැලීම, අකම්පිත බව මංගල කාරණයක් බව, යහපත උදාකර දෙන බව වදාළ කරුණ මෙහි දී සිහි වේ.)
සචේ පජානෙය්ය අලබ්භනෙය්යෝ
මයා ච අඤ්ඤේන වා ඒස අත්ථෝ
අසෝචමානෝ අධිවාසයෙය්ය
කම්මං දළ්හං කින්ති කරෝමි’දානීති.
“ඉදින් මා විසිනුත්, අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නොලැබිය හැකි යැයි දන්නේ නම් ශෝක නොකොට ඉවසිය යුත්තේ ය. ‘කර්මය දැඩි වූ දෙයකි. දැන් කුමක් කරම්දැ’යි කියා ය.”
(සෝකසල්ලහරණ සූත්‍රය – අං. නි. 03)
★ අවසාන විසඳුම………..
මේ හැම දෙයක් ම කර අවසානයේ අවසන් විසඳුමට පැමිණිය යුතු ය. එනම්,
* නොලැබිය හැකි කරුණු සිහිකිරීමෙන්
* මේ ගැටලුව/ප්රශ්නය මට පමණක් ද තියෙන්නේ කියා සිතීමෙන්
* ශෝක නොකොට සිනහමුසු මුහුණින් සිටීමෙන්
* දුක් වන්නේ ධර්මය දන්නේ නැති අය බව සිහිකිරීමෙන්
* දුක්වීමේ, හැඬීමේ අල්පමාත්‍ර ප්‍රයෝජනයක් නැති බව සිතීමෙන්
* තමාත්, අන් අයත් කරන උත්සාහයෙන්
ආදී කිසිවකින් සහනයක් නොවේ නම් සෝක නොකොට ඉවසිය යුතු ය ”කම්මං දළ්හං කින්ති කරෝමිදානි” යනුවෙන් සිතා බලවත් ව ඉවසිය යුතු ය. ‘කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?’ කියා ය.
හරි අපූරු විග්‍රහයක් මෙහි වෙයි. සාමාන්‍ය ජනයා ප්රශ්නය මුලින් ම කර්මයට දමති. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මේ දහම් පරියායේ අවසානයට එය පෙන්වා දෙන සේක. සියලු උපක්‍රම අවසානයේ කර්මය දැඩි බව සිහි කළ යුතු ය. ප්‍රශ්නයකින් නැගී සිටින්නට උත්සහ කළ යුතු ය. එය සත්පුරුෂයන් වර්ණනා කරනා දෙයකි. විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් තිබේ. එනම් සියලු උපක්‍රම අවසානයේ, “කම්මං දළ්හං කින්ති කරෝමිදානි” යැයි සිතීම යි. දැන් ඔබේ ගැටලු මේ දහම් කණ්ණාඩියෙන් බලා සැනසුම් සුසුමක් හෙළීමට කාලය යි. ධර්මය ජීවමාන යි. එය බලවත් ව අදහාගත යුතු ය.
– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
😊