දහවල කෑම එක කෙසෙල් කොළයක එතූ නන්දුත්තරා නිදන කාමරයට පිවිස තවමත් නිදන්නා වූ ස්වාමියා ව අවදි කළා ය.

“වැඩට යන්න පරක්කු වෙනවනෙ. අරෝෂ් ඉතිං නැගිටින්නකෝ.”

අරෝෂ් අවදි වුව ද බොරුවට දෑස් පියාගෙන ම සිටියේ ය. නන්දුත්තරා තව තවත් ඇවටිලි කරන්නට වූවා ය.

“අද මං නිවාඩු ගන්නවා ඔයත් එක්ක ක්ලිනික් යන්න.” ඔහු කීවේ ය. නන්දුත්තරාගේ සිතේ උපන්නේ විසල් සතුටකි.

“ඔයා වැඩට යන්න… අපරාදෙනෙ.”

ඕ සිතැඟියාවන් වසන් කරමින් පැවසුවා ය. අරෝෂ් සිනාසුණි.

“කමක් නැහැ එක දවසනෙ. අද මමත් එන්නම්.”

දෙදෙනා ම සූදානම් ව මාතෘ සායනය බලා ගියේ කුලී රථයකිනි. අරෝෂ්ගේ ඇඟට බර වී හුන් නන්දුත්තරාට ස්වාමියාගේ සුසුම් හිසේ හැපෙනු පවා දැනුණි. ඔවුන් සායනයට පැමිණෙද්දී කිසිවෙකුත් පැමිණ සිටියේ නැත. සායනයේ දොර ජනෙල්වත් විවෘත කොට නොතිබිණි.

“අපි ආවා උදේ වැඩියි…”

“නෑ. උදෙන් ම ආවම ලේසියි. පෝලිමේ ඉන්න උනාම එපා වෙනවා.” නන්දුත්තරා අරෝෂ්ට කියාගෙන ම සත් මස් පිරුණු ගැබට අතක් තබාගෙන වාහනයෙන් බැසගත්තේ පරෙස්සමෙනි.

දෙදෙනා එහි ඇතුල් වෙත්දී ම සායනයේ දොර ඇරිණි. විවර වූ දොර පළු අතරින් මතු වූයේ යොවුන් තරුණයෙකි. නව පත්වීමක් ලබා පැමිණි ඔහු කුඩා රෝහලේ සිටි එක ම පිරිමි කම්කරුවා ය.

නන්දුත්තරාගේ දෑස් තරුණයාගේ දීප්තිමත් දෑස්වල මොහොතකින් ඇලවිණි. ඇයට දෑස් ඉවතට ගැනීමට අමතක වූවා මෙනි. ඇගේ සියොළඟ එක්වර ම පිච්චී ගියේ ය.

“ඇතුළට එන්න.”

තරුණයා සිනාසී කීවේ ය. දොර සම්පූර්ණයෙන් විවර විය. සෙල්පිළිමයක් මෙන් තරුණයා ඉදිරියේ නිසොල්මන්ව සිටි නන්දුත්තරාගේ දෙපා සෙලවුණේ අරෝෂ්ගේ මෙහෙයවීම නිසාවෙනි. ඇයට ලොව සියලු දේ අමතක වී ගියා මෙනි. හදිසියේ දුටු මේ තරුණයාගේ රූපය ඇගේ සිත වසා පිරී ඉතිරිණ.

ගැබිණි මාතාවෝ කිහිප දෙනා බැගින් සායන කාමරයට ඇතුල් වෙත් ම නන්දුත්තරා ළඟ වාඩි වී සිටි අරෝෂ් බංකුවෙන් නැගිට එළියට ගියේ ය. හිරුට විවෘත ව පැවති මිදුලේ ඔහු සේ ම තවත් ස්වාමිවරුන් කිහිප දෙනෙකු සිටිය ද අරෝෂ්ට පාළුවක් දැනෙන්නට විය.

කාලය පැය එකහමාරක්වත් ගතවෙන්නට ඇත. ගෙවුණ කාලය පුරා ම නන්දුත්තරාගේ දෑස්, කවුළුවෙන් පෙනෙන තරුණයාගේ කඩවසම් රූපය උකහා ගන්නට විය.

‘අවුරුදු විසි තුනක් විතර ඇති.’ නන්දුත්තරා තරුණයාගේ වයස සිතින් තීරණය කළා ය. සැබෑවකි. අනූපම නම් වූ ඔහු විසිතුන් හැවිරිදි ය. නොපියවුණ උඩ බොත්තම නිසා මඳක් විවරව පෙනෙන තරුණයාගේ යොවුන් පපුතුරෙන් මතු වුණ දීප්තිමත් රෝම කූපත්, සුන්දර මුවමඬල පුරා සිහින් ව මතුව පෙනෙන රැවුලත් ඔහුගේ කඩවසම් බව ඔප්නංවන්නේ යැයි ඇයට සිතිණ. පැත්තට පීරූ කෙටි කොණ්ඩය වඩාත් ලස්සන ය.

ඇඟට තද වෙන සේ ඇඳ සිටි සුදු අත්කොට කමිසයත්, එවැනි ම වූ සුදු දිග කලිසමත් නළුවෙකුගේ රූපකායක් සිහිකරන්නේ යැයි නන්දුත්තරාට සිතුණේ තරුණයා කටයුතු පිණිස එහෙ මෙහෙ යන අතරතුර දී ය. නොතේරෙන නැවුම් මිහිරියාවක් ඇගේ සිත පුරා පැතිරී ඇති බවකි ඈට සිතුණේ. පළමුව පැමිණියේ තමන් වුව ද නන්දුත්තරා නැගිට බංකුවේ අනෙක් කෙළවරින් හිඳගත්තා ය.

“නංගි නේ ද මුලින් ම ආවේ?”

“අක්කල මුලින් යන්න මට ලොකු අමාරුවක් නැහැනෙ.”

නන්දුත්තරා කීවේ මවාගත් අනුකම්පාවකිනි. ඈ දැන් සිටිනා තැනට තරුණයා ව වඩාත් හොඳින් පෙනේ. දැන් ඔහු දෙස බලා සිටින්නට ඇයට තවත් කාලයක් ලැබෙයි.

මවුවරුන් කිහිපදෙනෙකු සායනයෙන් පිටව යත්දී අරෝෂ් කලබල විය. හිරුගේ තාපයෙන් නැගුණ දාබිඳු පිසදාගත් හෙතෙම සායන කාමරයට ඇතුල් වූයේ නොසන්සුන් හැඟීමෙනි. ‘මොකද පරක්කු වෙන්නෙ?’ ඔහුගේ සිතට බියක් ද දැණිනි.

“යං…” නන්දුත්තරා අරෝෂ් දෙස නොබලා ම කීවා ය.

“මොකද පරක්කු වුණේ?”

“එහෙම තමයි මේවට ආවම.” ඕ නොසැලකිලිමත් ව පැවසුවා ය.

“පුදුම රස්නයක් තියෙන්නෙ. හවස් වෙද්දි වහීවි.” ආපසු එන ගමනේ දී අරෝෂ් නිහැඬියාව බිඳිමින් කීවේ ය. නන්දුත්තරා පිළිතුරක් නොදුන්නා ය.

රාත්‍රිය එළඹිනි. අරෝෂ්ට සමීප වූ නන්දුත්තරාගේ සිතේ මැවී ගියේ උදයේ දුටු රුව යි. එවන් කඩවසම් බවක් අරෝෂ්ට නැත. ඇගේ පෙම්වත් සිත ද්වේෂයක් වැනි හැඟීමකට පෙරළිණ.

“ඇයි?”

ඇඳේ හිඳ ගත් නන්දුත්තරාගෙන් අරෝෂ් ඇසී ය.

“රස්නෙයි.”

“මෙච්චර තදේට වහිද්දිත්?”

නන්දුත්තරා නිහඬ ය. අරෝෂ් අනෙක් ඇලයට හැරුණි.

නන්දුත්තරා වෙතට නින්ද පැමිණියේ පාන්දර යාමයේ දී ය. ඒ කෙටි නින්ද තුළ ඕ රස සිහිනයක මිහිරියාව වින්දා ය. අරෝෂ් වෙනදාට ලැබෙන දහවල ආහාරයත් නොමැතිව ම රාජකාරිය බලා යන්නට සූදානම් වෙයි.

නන්දුත්තරාට දැන් දින ගෙවෙන්නේ සෙමිනි. ඊ ළඟ මාසයේ සායන දිනට තවත් දින විසි එකක් ඇත. අපහසුව ද වැඩි වෙයි. නැන්දම්මාගේ ඇනුම්පද ද එකිනෙක නොඇසෙනවා ම නො වේ.

“අපිටත් ළමයි හම්බ වුණා. මේ වගේ අමාරුවක් නම් කවදාවත් නැහැ.” මව අරෝෂ්ට කීවේ නන්දුත්තරාට ඇසෙන්නට ය.

“අම්මලගේ කාලෙ වගේ ද දැන්…”

අරෝෂ් එසේ කියන විට මව ඔහුට රවයි. අරෝෂ් සිනාසෙයි.

නන්දුත්තරා දරුවාට මල්පීස්වලින් කුඩා ඇඳුම් කිහිපයක් මැසුවා ය. ඒවා අතපත ගාමින් අරෝෂ් නොනිමි සෙනෙහසක උණුසුම සිතින් වින්දේ ය. අරෝෂ් විඳි සැනසිල්ල නන්දුත්තරාට නම් නොවිණි. නොනිවෙන ගින්නක් ඇගේ සියොළඟ දවමින් තවමත් බුර බුරා නැගෙයි. ඒ ගින්නෙන් කුලගෙයත්, කුසහොත් සිඟිත්තාත් දැවෙන තැවෙන බවක් සිහිකර ගන්නට ඕ අසමත් වූවා ය. ඊ ළඟ සායන වාරයේ නන්දුත්තරා සායනයට තනියම යන්නට උත්සුක වූවා ය. අරෝෂ් ඊට විරුද්ධ විය.

“දූ මෙච්චර කියන එකේ උඹ වැඩට පලයං. මං යන්නම් දූත් එක්ක.”

මවගේ ගමන වළක්වන්නට දෙදෙනා ම අසමත් වූහ.

මව්වරුන්ගෙන් සායනය පිරී පැවතිණි. හිඳගන්නට තරම්වත් ඉඩක් නොලද නන්දුත්තරා සායනයේ කවුළුවට සමාන්තර ව බොහෝ වේලාවක් සිටගෙන ම සිටියා ය. තරුණයා අද වඩාත් ලස්සන ය. “බැඳල ද දන්නෙ නෑ. නැතිව ඇති.” ඕ තමාට ම කියා ගත්තා ය.

අනූපම යම් කටයුත්තකට කාමරයෙන් එළියට ආවේ ය. ඔහු ළංවෙද්දී නන්දුත්තරා ක්ලාන්ත වූවාක් මෙන් ඇල වූවා ය. තරුණයා අල්ලාගන්නටත් පෙර ම නන්දුත්තරා ඔහුගේ බාහුවක එල්ලුනා ය.

“පරෙස්සමට බංකුවක වාඩි කරවන්න…”

මව්වරු කෑ ගසත්දී අනූපමගේ පපුතුරේ තදින් දෑස් පියා හොත් නන්දුත්තරාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. තරුණයා වෙතින් නැගෙන්නේ බෙහෙත් ගඳකි. නමුත් දිව්‍යමය සුවඳක් ලෙසිනි නන්දුත්තරාට නම් එය දැණුනේ.

“ඒ දරුවා පැනල අල්ල නොගන්න අද මෙයා ඉවරයි.” මව හවස අරෝෂ්ට සිදුවීම විස්තර කළේ රෝහල් කම්කරුවාට පින් දෙමිනි. නමුත් එදින ම මැදියම් රාත්‍රියේ දී නන්දුත්තරාට බොහෝ අමාරු විය.

“බලා නොයිඳ ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු.” යි මව කීවා ය. රෝහලට ඇතුළත් කරද්දී නන්දුත්තරා පසු වූයේ දැඩි වේදනාවකිනි. බලවත් අපහසුවකිනි.

“මේ අම්මා ව ඉක්මනට ලේබර් රූම් එකට ගන්න…”

වෛද්‍ය නියමයෙන් නන්දුත්තරා ට්‍රොලියකට නංවාගෙන සූතිකාගාරය වෙත ගෙන යන්නට විණි. වේදනාවෙන් දෑස් පියා සිටි නන්දුත්තරා ට්‍රොලියේ ගැස්සීමට දෑස් හැර බලත් දී දුටුවේ ට්‍රොලිය තල්ලු කරන රෝහල් කම්කරුවා ය. ඇයට සායනයේ සිටින තරුණයා ව සිහි විය. ‘අනේ මේ එයා වුණා නම්…’

නන්දුත්තරාගේ කුස තුළ දී ම දරුවා මියගොස් තිබුණි. අරෝෂ්ට තම දරුවා පමණක් නොව සිය බිරිඳවත් ඒ රාත්‍රියේ අහිමි විය. ගර්භිණී භාවය තුළ ඇති වූ අධි රුධිර පීඩන තත්ත්වය නිසා වූ අධික රුධිර වහනයකින් මරණය සිදු වී ඇති බවට නන්දුත්තරාගේ මරණ සහතිකය අරෝෂ් අතට ලැබුණි.

වසර දොළහක් ගෙවුණි. ඒ කාලය පුරා ම අරෝෂ්ගේ සිතේ නන්දුත්තරා ජීවත් වන බව දැන උන්නේ ඔහු පමණි. කාලය අපූරු ය. එය කෙනෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති නොකරයි. තව කෙනෙකුගේ ජීවිතය මුළුමනින් ම වෙනස් කරවයි.

අනූපම ස්ථාන මාරුවක් ලැබ දකුණු පළාතේ රෝහලක සේවය කළේ ය. ගෙවී ගිය අවසන් මාස හතර තුළ ඔහුගේ ජීවිතය මහා වෙනසකට බඳුන් විය. තිස්පස් වියැති අනූපම දැන් දැන් මැදි විය ඉක්මවූ මහල්ලෙකුගේ සොබා ගත්තේ විය. ඔහුගේ දරුවෙන් දෙදෙනාට තම පියා සීයාටත් වඩා මහලු ව දුබල ව පෙණුනි.

“කවුරුහරි මොනව හරි කරලලු…”

අහල පහළ කවුරුත් එසේ කීහ.

“අක්මාවේ පිළිකාවක්… පෙනහලුවලත් තියෙනවා. කවුරුත් කොඩිවින කරල නෙවෙයි. මං මළොත් දරුවන් ව බලාගන්න.” අනූපම ඥාතීන්ට කීවේ සැබෑ ම අසරණ බවකිනි.

“කොහොම වුණත් නංගියේ අපි යමු, මං දන්න තැනක් තියෙනවා…” සොයුරියකගේ කීමට අනූපමගේ බිරිඳ ඔහුට හොරෙන් ගියේ ආරූඪයෙන් පේන කියන තැනකට ය.

“මිය ගිය ප්‍රාණකාරයෙක් ඇඟට රිංගලා…” සාස්තරකරු කීවේ ය.

“කවුද මේ?”

“මං නන්දුත්තරා. ක්ලිනික් ආවේ…”

ප්‍රියංවදාගේ පැනයට පිළිතුරු ලැබුණේ නිවසේ තොයිලය පැවැත්වුණ රාත්‍රියේ දී අනූපම වෙතිනි. එහෙත් ඒ හඬ අනූපමගේ නම් නොවිණි.

“මෙයා නොදන්නවට මං මෙයාට ආදරේ කෙරුවා. අවුරුදු දොළහක් මම මෙයාව හැමතැන ම හෙව්වා. මගේ මුළු ලෝකෙම අඳුරුයි. මට මිනිසුන්ගේ මූණූවල ඡායාව විතරයි පේන්නෙ. ඒකයි මට මෙයා ව හොයාගන්න මෙච්චර කාලයක් ගත වුණේ. මෙයාගෙ හුස්ම රැල්ලෙන් මං ඇතුළට යනවා. එළියට එනවා. ආයෙ ම යනවා. මං මෙයා ව අරගෙන යනවා ම යි.”

නන්දුත්තරා ගැන දන්නා කිසිවෙකුත් එහි නොවිණි. අනූපමට පවා එවැන්නියක ගැන මතකයක් නො වී ය. ප්‍රේතිය ව සිදුරු කරන ලද දෙහි ගෙඩියක සිදුරින් එයට ඇතුල් කොට කටුවක් ගසනු ලැබිණි. අනතුරුව දෙහි ගෙඩිය මැදිකොට කොන්ක්‍රීට් බදාමයක් දමන ලදී.

දෙවුන්දරින් මුහුදු ගිය බෝට්ටුවක කොන්ක්‍රීට් කුට්ටිය ද ගැඹුරු මුහුද තෙක් රැගෙන ගියෝ හූ හඬ නංවමින් එය ගැඹුරු මුහුදට දැමූහ. අනූපම ද ජීවත් වූයේ තව මාස කිහිපයක් පමණකි. එහෙත් සියල්ල අවසාන යැයි කවුරු නම් දනිත් ද?

පසු සටහන –
අනේ ඔබ, සිහිනෙකින්වත් ස්වාමියා ඉක්ම නොගිය අයෙක් වූවා නම්… සස්වාමිකයි කියා සිතුවා නම්… සිත රැක ගත්තා නම්… මෙවන් විපතක් නම් වන්නේ නැහැ… ආදරය කියා ඔබ ව රැවටූ සංකල්පීය රාගය ඔබට කළ විපතක තරම…! සසරේ ආයෙමත් පාරක් රැවටුණා නේ ද ඔබ…?