සුභාවිත බොදු ගීයක ප්‍රසාද මාධූර්යය
දෙදහස් වසරකට අධික අඛණ්ඩ ලිඛිත සාහිත්‍යයක් පවත්නා දේශයන් අතුරෙන් සිංහල දේශය ද අග්‍ර වන බැව් පෙර අපර දෙදිග භාෂා විසාරදයන් විසින් අනාවරණය කරනු ලැබ ඇත. එම ලේඛනගත සාහිත්‍යයට මූලය වූ දීප භාෂාව හෙවත් හෙළ බස පෝෂණය වී ඇත්තේ බුදු වදනින් නිසා එහි අග්‍ර ස්ථානය අන් සියලු භාෂා ඉක්මවා සිටියි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වීම සඳහා භාවිත කළ මාගධී භාෂා මූලය, දඹදිව ධර්මාශෝක මහ රජතුමාගේ කාලය වන විට රාජ්‍ය භාෂාව වශයෙන් පමණක් නොව පොදු ජන වහර වශයෙන් ද භාවිත වී ඇත.
එම බස් වහර ද ඇසුරු කොටගෙන ය, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ධර්ම දේශනා පැවැත්වූයේ. එවකට ලක්දිව පැවැති දීප භාෂාවත්, දඹදිව රාජ්‍ය භාෂාවත් එක ම භාෂා මූලයක නෑ සබඳකමින් යුතුව පැවති බව අපගේ බ්රාහ්මී අක්ෂර සෙල්ලිපි හා සමකාලීන අශෝක සෙල්ලිපි සසඳා බැලීමෙන් වටහා ගත හැකි ය. වියත් අවියත් භේදයෙන් තොරව සියලු දෙනාට ම වැටහෙන එම සම්භාව්‍ය භාෂාව ඇතුළත් බුද්ධ දේශනා එදා සිට අද දක්වා අප කොතෙකුත් අසා ඇතත් බුදුරජාණන් වහන්සේගේ හඬින් සවන් දීමට අතීත ආත්ම භාවයක දී හෝ අපට වාසනාව ලැබිණි ද? එම සංකල්පය ගැබ්කොට පබැදුන මියුරු බොදු ගීයක රස විමසුමකට අප සිත් යොමු කිරීම වටනේ ය.
බුදුරජාණන් වහන්සේගේ අසමසම මහා කරුණා ගුණය මූර්තිමත් කෙරෙන අනුරාධපුර මහමෙව්නාව උයනේ සමාධි ප්‍රතිමාව හෝ දසබලධාරී මහා ගුණ කඳ නිරූපණය කරන අවුකන සම්බුද්ධ ප්‍රතිමාව අබියස සිට නෙත් යොමා සිටින්නෙකු තුළ ඇතිවන බුද්ධානුස්සති භාවනාව මගින් උන්වහන්සේගේ සැබෑ රූපකාය මැවි මැවී පෙනෙනු ඇත. ඒ සමඟ බුදු මුවින් දහම් පදයක් අසන්ට ලැබුණේ නම් කොතරම් භාග්‍යයක් දැයි සිතට නැගෙනු ද නිරනුමාන ය. එබඳු සංකල්පනාවක් ජනිත කළ හැකි ඉහත කියැවුණ බොදු ගීතය ආරම්භ වන්නේ “නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ” යන පද වැළෙනි. ගී පද රචකයා ප්‍රේමකීර්ති ද අල්විස් සුලවතාණන් ය. එය ගායනා කරන ලද්දේ විසාරද ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි.
“නිවන් දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුත්
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනැවි බුදු බණ
මහා කරුණාවෙන්…
මහා කරුණාවෙන්…
ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවෙකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළා වූ
ශාන්තිය මට ලැබේවා…!”
උතුම් නිවන් මඟ ලෝකයට පෙන්වා දී වදාළ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව සිතෙහි ඇඳී යන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකු තුළ පමණි. යමෙකු ධර්මය දකින්නේ නම් හේ තෙමේ මා දකින්නේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙයිනි. බුදු දහම කෙරෙහි එබඳු නොසැලෙන ප්‍රසාදයක් ඇති කොට ගත් ශ්‍රාවකයෙකු තුළ බුදුරජාණන් වහන්සේගේ සැබෑ රූපකාය දැක ගැනීමට ඇති ආසාවත්, බුදු මුවින් දේශිත දහම් පදයක් ඒ හඬින් ම සවන් දීමට හැකි වන්නේ නම් කොතරම් භාග්‍යයක් ද යන්නත් නිසා හටගත් සංකල්පනාවක් මේ ගීතයට වස්තු වී තිබෙයි.
අප මේ ලබාගෙන ඇති ආත්ම භාවයේ ඉපදුණ දා සිට ම සම්බුද්ධ දේශනාවන්ට කොතෙකුත් සවන් දී ඇති නමුදු බුදු මුවින් නිකුත් බණ පදයකට සවන් දීමට උන්වහන්සේ ධරමාන කාලයේ දී උපතක් ලබා සිටිය ද වාසනාව උදා වී තිබුණේදැයි අපි නොදනිමු. බුද්ධානුස්සති භාවනාවෙන් සිත කය හික්මවාගත් ඉපැරණි කලාකරුවා නෙළුෑ බුද්ධ ප්‍රතිමාව දෙස සමාධි සිතින් යුතුව නෙත් යොමා සිටින ශ්‍රාවකයාගේ සිත තුළ බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත් දහම් පදයක් ඇසීමේ ආසාවක් නිතැතින් ම ඇති විය හැකි ය. ඒ හැඟුමෙන් යුතුව සමාධි සුවයෙන් ම මොහොතක් ඇස් පියා යළි විවර කොට බලන කල්හි දහම් පද නිකුත් වූයේ බුදු මුවින් නො වේ ය යනු ඔහුට පසක් වූවා සේ ය.
“හිමි දෙසූ බණ අසා ඇති මුත්
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනැවි බුදු බණ
මහා කරුණාවෙන්…”
මහා කළු ගලක් තුළින් සම්බුද්ධ රූප කාය මූර්තිමත් ව වැඩ සිටීමේ විස්මිත අසිරිය ඔහු දෑස් අබියස මැවී පෙනෙයි. බුදු රුව මතු වූ කළු ගලට ආරෝපණය වීමේ බලවත් ආසාවකින් ඔහු සිත පෙළන තරම් සැදැහැ බැති සිතක් ඔහු තුළ ඇතිවෙයි.
“ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වෙන”
මහා කළු ගල මැටි පිඬක් සේ තමන්ට වුවමනා පරිදි හැඩ ගසා ගැනීමේ ආවේසය ලබන්නේ අපරිමිත බුදු ගුණ කඳින් හිත හික්මවා ගත් ශූර ශිල්පියෙකු පමණි. ඒ ශිල්පියාගේ දැනුම, හික්මීම හා ප්‍රතිභාව නූතන කලාකරුවා, කවියා අපේක්ෂා කරයි. දෙතිස් ලකුණින් යුතු සම්බුදු රූපකායත්, සියලු සතුන් වෙත පතල මහා කරුණාවත් තම නැණ පමණින් මූර්තිමත් කොට දක්වන්ට වුවමනා කුසලතාව අත්පත් කොට ගැනීම ඔහුගේ අපේක්ෂාව යි.
“ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළා වූ
ශාන්තිය මට ලැබේවා…!”
මහා කළුගලකින් බුද්ධ ප්‍රතිමාව නෙළුෑ අතීත හෙළ කලාකරුවාත්, ගීතය නිර්මාණය කළ නූතන කවියාත් ඔවුනොවුන්ට මුණ ගැසුණු අසිරිමත් මොහොතක් මේ ගීතයෙන් උත්කර්ෂයට නංවන්නේ කොතරම් ආකස්මික අයුරින් ද? අතීත යුගයේ සිට වර්තමාන යුගය දක්වා සිංහල ජාතිය අධ්‍යාත්ම ගුණයෙන් ඒකාත්මික කළ අසදෘස මහා කරුණා ගුණය අපට උරුම කොට දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ පෙන්වා දී වදාළ සිරිසදහම් මඟ අනුගමනය කරන තාක් කල් අප හැම පතන ශාන්තිය සිරිලක් පොළෝතලය මත රඳා පවතිනු ඇත.
සටහන – දයාපාල ජයනෙත්ති
Recent Comments