අප උපන් තැන අප විසින් තීරණය කර ගත් තැනක් නොවෙයි. කර්ම – කර්ම ඵල පිළිබඳ පරිපූර්ණ අවබෝධයකින් යුතුව වැඩ සිටි අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළේ සියලු උපත් සිදු වන්නේ කර්මානුරූප ව බවයි. පෙර ජීවිතයේ අප කොතැනක දී හෝ මරණයට පත් වද්දී සුගතිගාමී ව මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට රැස් වූ පුණ්‍ය සංස්කාර අපට තිබුණ නිසයි මේ මිනිස් ජීවිතය අපට ලැබුණේ.
දිනපතා ලෝකයේ බොහෝ දරු උපත් සිදු වනවා තමයි. එහෙත්… මිනිස් ලෝකයේ උපතක් කරා ඒම සුලබ ව සිදු වන්නක් නොවෙයි.
කවදාහරි දවසක කුණු වුණු කෑම ගොඩක නළියන පණුවෝ දැක තිබෙනවා ද? සිලි සිලි ගගා නළියන ඒ පණුවන් එක රැයින් දෙකෙන් එතරම් බිහි වුණා ද කියා පුදුම හිතුණ අවස්ථා ඔබට නැති ද? හරි ම වචනය යෙදුවොත්, ‘පණුවෝ බිහි වුණා’ නෙවෙයි; ‘පණුවෝ ඉපදුණා’…
වැස්ස කාලයට රාත්‍රියේ ඉගිල යන මෙරු දැක තිබෙනවා නේ ද? උදෑසන එළිමහනට එද්දී අප දකින්නේ පියාපත් බිඳී ගොස් බිම වැටී අසරණ ව සිටින මෙරුවන්. අනෙක් විලෝපික සතුන් උන්ව කා දමනවා. අපේ පයට පෑගෙමින්, රිය රෝදයන්ට යට වෙමින් අති විශාල ප්‍රමාණයක් මෙරු මිය යනවා… එක රැයක දී ඒ විදිහට පියාඹමින් පැමිණ පසු දින වද්දී මරණයට පත් වන මෙරු කෝටි ප්‍රකෝටි ගණනක් ඇති…
ඉපදුණ සතුන් එසේ මිය යනවා. මිය යන ඒ සතුන් එසැණින් ම කොතැන හෝ උපදිනවා. අප පෙර ජීවිතයේ මාරාන්තික දුකට පත් වූ දවසේ ඒ මොහොතේ දී ම මිනිස් මව්කුසක පිළිසිඳ ගැනීමත් සිදු වුණා. ඒ මොහොතේ ම මොන තරම් නම් සතුන් තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ, නිරයේ, අසුර අපායේ උපදින්න ඇති ද? ඒ දුගතිගාමී උපතට නොවැටෙන්නට අප වාසනාවන්ත වුණා. ඒ විතරක් ද? මව්කුසක පිළිසිඳ ගන්නා හැම දරුවා ම මෙලොව එළිය දකින්නට වාසනාව ලබන්නේ නැහැ. ඇතැමුන් කුසේදී ම මිය යනවා. ඇතැමුන් උපතේ දී මිය යනවා. නමුත් එවැනි අවාසනාවන් කිසිවකට ගොදුරු නො වී මෙලොව එළිය දකින්නට අප වාසනාවන්ත වුණා. ඇස කන නාසය දිව කය මෝරා ගිය දරු සිඟිත්තන් ලෙසින් අප මව්කුසින් බිහි වුණා. මිනිස් මව්කුස පිළිසිඳ ගත් පමණින් හැම දරුවා ම ඇස කන නාසය දිව කය මැනැවින් ම පිහිටියවුන් ලෙසින් කුසින් බිහි වන්නේ නැහැ. නමුත් අපට ඒ වාසනාවත් ලැබුණා.
වඳිනවා යනු කුමක්දැයි කියාවත් නොදන්නා පුංචි ම සන්ධියේදිත් නිවසේ දුටු බුදුරුව දෙස හැරි හැරී බලමින් සිඟිති අත් එක් කර “සාදු!” කියා වඳින සංස්කෘතියක අප ඇතිදැඩි වුණා. ලොව පූජාර්හ උතුමන් අතර අගපත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදය උරුමය කරගෙන හැදෙන්නට වැඩෙන්නට අප වාසනාවන්ත වුණා. පාසල් යන්නටත් පළමු සුන්දර ගුණධර්ම අපගේ ජීවිත තුළ වැඩෙන්නට පටන් ගත්තා. සංඝයා වහන්සේට දෙමාපියන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම අප පාසලෙන් ඉගෙන ගත්තා නොවෙයි. ඒ සොඳුරු ගුණදහම් අප හැදී වැඩුණ සංස්කෘතියට ආවේණික වූ දේවල්. එනිසා ම අප හැදී වැඩුණේ ඒ ගුණදහම් තුළිනුයි. ගුණධර්ම දියුණු කිරීම දුර්ලභ ලෝකයක ගුණධර්ම ස්වකීය ජීවන සම්ප්රදාය කර ගත් ජන සමාජයක හැදී වැඩෙන්නටත් අප වාසනාවන්ත වුණා.
ඒ සියලු වාසනාවන් උරුමයක් කොට ගත් අප දැන් මේ මිනිස් ජීවිතය ගෙවා දමන්නේ කොහොමද? අප තුළ ළමා අවදියේ වූ ගුණධර්ම දැන් කෝ? අද අප දකින තරුණ දූ පුතුන් දණ නමා දෙමාපියන්ට වඳින්නට සිත නොනැමෙන්නවුන්. යන්තමින් කොන්ද නමා වැඳ යන්නවුන්. නැති නම් කිසිසේත් ම නොවඳින්නවුන්. තමා වෙත එන දේ මහා කලබලයකින් පිළිගන්නවුන්; නැති නම් මහා කලබලයකින් යුතු වීම නිසා ම කිසිවක් පිළිනොගන්නවුන්. මේ ස්වභාවයන් තුළ අපට ගුණධර්ම ඔස්සේ ම ප්‍රගුණ වන්නා වූ උත්තුංග ජීවිතය මග හැරිලා.
ඒ නිසයි පින පව, කුසලය අකුසලය වෙන් කොට ගනිමින් අධර්මයත් – ධර්මයත් පැහැදිලි ව නිර්ණය කර ගන්නට අප අපොහොසත් වී තිබෙන්නේ. ගුණධර්ම තෝරා බේරා ගන්නට අපොහොසත් වූවන් කෙසේ නම් රහතන් වහන්සේලා සොයන්න ද? කෙසේ නම් මිසදිටුව මිසදිටුව යැයි දකින්න ද?
අපට ගුණධර්ම පැටලී තිබෙන්නේ මෙහෙමයි. සත්පුරුෂ ලෝකයේ නිබඳ ව ම පැසසුම් ලැබිය යුතු මව්පියන්, තමන් දරුවන්ගෙන් යැපීම නිසාවෙන් දරුවන් ව පැසසුමට ලක් කරනවා. ඒ දරුවනුත් තමන් මව්පියන් නඩත්තු කරන නිසාවෙන් ස්වකීය කටයුතු මව්පියන්ට පවරනවා. දරුවන් බලා ගැනීම, ඉවුම් පිහුම් අතුපතු ගෑම් ආදිය එසේ පැවරෙද්දී ලෝකය එහි දොසක් දකින්නෙත් නැහැ. මාපියන් කියන්නේත් “අනේ අපිට ඉතින් ඔක්කොම කරලා දෙන්නේ මේ දරුවොනේ. එයාලට උදව් කරන එක යුතුකමනේ” කියා යි. එහෙත්, සැබැවින් ම සුගතිගාමී උපතට අප ව ගෙන ආ මාපියන් දෙවුරේ තබාගෙන සියක් වසරක් සියලු උපස්ථාන සිදු කළත් ඔවුන් කෙරේ අප ණයගැතියන් ම පමණක් බවයි බුද්ධ වචනය. එසේ නම්, ඔවුන් අපට තවත් ඉටු කළ යුතු දේවල් තිබිය හැකි ද? අප පිළිගත යුත්තේ ගෙදර දී ම අපට ගුණධර්ම මගහැරී ඇති බව නේ ද?
අම්මා හෝ තාත්තා අප ව මරා දැම්මා කියා සිතමු. එහෙත් එපමණකින් ඔවුන්ගේ කුසල් මුල් සහමුලින් ම නැසී ගියා වන්නේ නැහැ. එහෙත් දරුවෙකු අතින් මව හෝ පියා හෝ ඝාතනය වුවහොත් ඒ දරුවා සහමුලින් ම කුසල් මුල් නැසී ගොස් ඒකාන්තයෙන් ම කල්පයක් පැහෙන්නට නිරයේ උපදිනවා. එය ලෝක ධර්මතාවයක්. වෙනස් කළ නොහැකියි. අම්මාට, තාත්තාට රවන ඔරවන, නපුරු වචන කියන, ඔවුනගේ දුකට සංවේදී නොවන දරුවන් සසරට ගෙනයන්න අර්බුද හදා ගන්නවා. මාපියන් කෙරෙහි යහපත් ව පිළිපන් දරුවන් එපමණකින් ම සත්පුරුෂ භූමියට පැමිණියා වනවා. කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව පරිපූර්ණ සත්පුරුෂ භූමිය ලෙසයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙයින් ම ඒ සත්පුරුෂ දරුවන් සත්පුරුෂ ධර්මයේ ඵල ලබන්නට මං විවර කර ගන්නවා.
අපි එතැනින් පටන් ගනිමු. ධර්මය කියන අතරේ ම අධර්මය ද කියන පිරිස් අද සිටිනවා. හොඳ දහම් දැනුමක් නැති නම් එය තෝරා බේරා ගන්නට ලැබෙන්නේ නැහැ. එවිට ධර්මයේ නාමයෙන් අධර්මයක් සරණ යාම යි සිද්ධ වන්නේ. රහත් නො වී සිටිය දී ම රහතුන් යැයි පවසන පිරිස් අද සිටිනවා. මල් ගඳ සුවඳ විළවුන් දරන, වටිනා සළුපිළි හඳින, අඹු දරුවන් දැසි දැස්සන් පෝෂණය කරන අප වැනි ගිහියන්ට රහතන් වහන්සේලා හඳුනාගන්නට බැරි බව සම්බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දක්. එසේ තිබිය දී ‘මේ නම් රහතුන් ය, මේ නම් නොරහතුන් ය’ කියා අපේ සිතුවිලි රාමු තුළ බෙදා ගන්නට යෑමේ දී අප නැවතත් හසුවන්නේ අධර්මයකට. එවැනි දේ පසුපස යමින් නාස්ති කරන්නට කාලයක් අපට නැහැ. ඒ නිසයි අප යෝජනා කරන්නේ පැහැදිලි ව වෙන් කොටගෙන කුසලය ය, පින ය කියා දැකිය හැකි, නිසැක විය හැකි ගුණධර්මයන් ගැන ම සැලකිලිමත් වෙමු කියා… එහෙම නොවුණොත්…, අප ගැනත් කිවිය යුත්තේ ‘මනුස්ස ජීවිතය වරද්දා ගත්තා’ කියලා නේ ද…
– උදුලා පද්මාවතී
Recent Comments