මනුෂ්‍ය වර්ගයා තරම් දීර්ඝ කාලයක් තම දූ දරුවන් සමීපයේ තබාගෙන පෝෂණය කරනා සත්ව කොට්ඨාසයක් ලෝකයේ මුණගැසෙන්නේ නැත. සෙසු සත්වයින්ගේ පැටවුන් කෙටි කලක දී ම තනිව ජීවත් වීමට උගනී. තම ආරක්ෂාව සලසා ගනිමින් නොනැසී දිවි ගෙවන්නට දෙමාපියන් විසින් ඉක්මනින් ම අත්හැර දැමූ උනට සිදු වේ. මනුෂ්‍යයන් අතර තත්ත්වය මීට හාත්පසින් ම වෙනස් ය. ඒ වෙනස විසින් ම අද ඇති කර තිබෙන තත්ත්වය ද එතරම් යහපත් නැත.
ලෝකය පිළිගත් නීති පද්ධතීන් තුළ ද ළමයින් ව මාපියන් යටතේ පෝෂණය කරවීම නීතිගත කොට තිබෙන අතර ඒ නැතත් බහුතර දෙමාපියන් විසින් ජීවිත කාලයක් පුරා ම තම දරුවන් නොයෙක් අයුරින් පෝෂණය කිරීමට වග බලා ගන්නා අයුරු දක්නට ලැබේ. මිනිසා ළමයෙකු ලෙස පිළිගැනෙන්නේ වයස අවුරුදු 14 තෙක් ය. ඉන් පසු ඔවුන් ළමයින් ලෙස සැලකෙන්නේ නැත. තමා විසින් යමක් කමක් සිදු කිරීමේ හැකියාව ළමා විය ඉක්මවූවන් සතු විය යුතු ය. එහෙත් අප රටේ අත්දකින්නට ඇති තත්ත්වය නම් ළමා විය ඉක්මවූ පිරිස් තවදුරටත් මාපියන්ගෙන් ම යැපෙන බවයි.

ශ්‍රී ලංකාවේ පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාගයන්ට පෙනී සිටින්නේ වයස අවුරුදු 14 ඉක්මවූවන් නිසා ඒ සියල්ලෝ ළමාවිය ඉක්මවූවන් වේ. මෙම විභාග ද්විත්වයට ම මුහුණදීමේ සිට ප්‍රතිඵල ලැබී ඊ ළඟ පියවර ගැනීම දක්වා වූ කාල පරාසයක් විභාග අපේක්ෂකයන්ට ලැබේ. ඒ කාල සීමාවන් ඔවුන් ගෙවා දමන්නේ කෙසේ ද? අද තත්ත්වය නම් දිවා රැය වෙනසක් නොමැතිව ඔවුන් බහුතරයක් මගතොටේ, කඩපිළ්වල රැඳෙමින්, ජංගම දුරකථන තිරයේ ම දෑත ද දෑස ද මෙහෙයවමින්, නිකරුණේ කල් මරමින් සිටීම යි. ඔවුන් හා ගෙදර අතර පවත්නා සම්බන්ධය කෑමට බීමට මෙන් ම ජංගම දුරකථනයේ වියහියදම් පියවීමට ආදී වශයෙන් ගෙදරට බරක් වෙමින් ගෙදරින් ම පෝෂණය වන අන්දමට හැඩගැසී තිබේ.

ලොව පිළිගත් සම්මුතීන් තුළ පවා ඔවුන් තවදුරටත් සම්පූර්ණයෙන් ම පෝෂණය කළ යුතු ළමයින් නො වේ. දෑතේ වීරියෙන්, කය වෙහෙසීමෙන් යමක් හරිහම්බ කරන්නට ඔවුන්ට ඉඩ හැරීම කළ යුතු මොහොතක මාපියන් උපයන දෙයින් කා බී තාක්ෂණික මෙවලම්වලට යට ව කාලය කා දමන්නට ඔවුන් යොමු වීම අවාසනාවකි. යුතුකම් ඉටු කරමින් මාපියන් පෝෂණය කරවීම මඳකට පසෙකින් තබමු; ධාර්මික ව යමක් උපයමින් අඩුම තරමේ තමන් ව පමණක් හෝ පෝෂණය කරවීමට අවස්ථාව දැනුදු තිබේ. ගැටලුව නූතන පරපුර ඒ හා මුසු වන්නට අල්පෝත්සාහී ව වාසය කිරීම යි.

එක රැයින් සාර්ථකත්වය කරා ගියවුන් ලෝකයේ නැත. ලෝකය ජය ගත් මිනිසුනට පසුබිම් කථාවක් තිබේ. ඉතා කුඩා තැනකින් පටන්ගෙන උත්සාහයෙන්, වීර්යයෙන්, කැප වීමෙන් ඔවුන් ක්‍රමානුකූල ව සාර්ථකත්වය කරා ගමන් කොට තිබේ. ඒ ආරම්භය දිවාරැය වෙහෙසෙමින් ඇරඹූ කර්මාන්තයක්, වෙළඳාමක් හෝ දුක සේ සිදු කරනු ලැබූ ගොවිතැනක් වන්නට පුළුවන. එවැනි ආරම්භයකට දැනුදු ශ්‍රී ලාංකේය සමාජ වටපිටාව ඇසිරී නැත. රටේ ජීවනාලිය බවට පත් වන්නට වගකීම් සහගත වන තරුණ ප්‍රජාව එවැනි ආර්ථික කටයුත්තක් වෙත යොමු වන්නේ නම් එය රටේ අභිවෘද්ධියේ ද තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් වනු ඇත.

දිවා රැය වෙනසක් නැතිව හරසුන් දේ පසුපස ලුහුබඳිමින් දියාරු වන අද්‍යතන තාරුණ්‍යය තම දැනුම, කුසලතා සහ ආකල්ප තුළ ස්වාධීන ව නැගී සිටීමක් වෙත යොමු කරවීමේ වගකීම මුළුමහත් සමාජය ම සතු වූවක් ලෙසින් සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ මෙවන් පසුබිමක් තුළ ය.