ඇය සිඟිත්තියකි, තරුණියකි, පෙම්වතියකි, මවකි, එලෙස ම මිත්තනියක් ද වන්නී ය. මේ කාල පරාසය තුළ දී ඇය විවිධ අයුරින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙයි. විටෙක තුනුරුවනේ සිත පහදාගෙන සිටින ඇය තව විටෙක කේන්දරයේ පිළිසරණ පතයි. විටෙක බුදුරජාණන් වහන්සේ සරණ යන ඇය තව විටෙක නැකැතට කිරි උතුරවයි. ලිප ගිනි මොළවමින් සුභ නැකැත්, සුභ නිමිති සරණ යයි.

පන්සලක වේවා, අසපුවක වේවා, ඕනෑම වන්දනාවක වේවා වැඩිපුර සහභාගී වන්නේ කාන්තාව යි. පෙරමුණ ගන්නේ ඇය යි. කයින් වෙහෙසෙන්නේ ඇය යි. දන් දෙන්නේ ඇය යි. පුරුෂ පක්ෂය පරදවා ඒ සැමට ම සහභාගී වන්නේ ද ඇය යි. නමුත් බොහෝ විට දෙලොවක සිර වී සිටින්නේ ද ඇය යි. “බුද්ධං සරණං ගච්ඡාමි” කියන ඇය ම දරුවෙකු ලෙඩ වූ විට, දරුවා විභාගයට යන විට, වෙන යම් කරදරයක් වූ විට පිහිට පිළිසරණ ගන්නේ කේන්දරයෙන් නම් ඇය සැබෑ ලෙස ම බුදුරජුන් සරණ ගොස් සිටින්නේ ද? විපතකදී බුදුරජුන් සිහි නො කර, මහරහතන් වහන්සේලාගේ ගුණ සිහි නො කොට, ඒ පිහිට සරණ නො ලබා ඇය කේන්දර සරණ යන්නේ නම්, ඇය සැබෑ ම උපාසිකාවක් වේ ද?
මෙකල කාන්තාව තරම් පුරුෂයෝ ධර්මයට උනන්දු නො වෙති. ඔවුන් විහාරස්ථානයට ගොස් දෑත ඔසවා අපගේ ශාස්තෘන් වහන්සේ හඬ නගා නැමදීමක් දැකීමට ඇත්තේ කලාතුරකිනි. බිරිඳ හෝ මව පෝය දිනයට විහාරස්ථානයට ඇරලවන බොහෝ පුරුෂයෝ එතැනින් හැරී නැවත නිවසට යති. පොහෝ දිනට ඔවුහු බොහෝ වැඩකටයුතු යොදා ගනිති. විහාරස්ථානය සුදුවතින් බබළන්නේ කාන්තාව නිසා ය.

නමුත් යම් කරදරයකදී පුරුෂ පක්ෂය කේන්දරය ඔසවාගෙන ජ්‍යෝතිෂවේදීන් වෙත යනවා අප දකින්නේ අල්ප වශයෙනි. පුරුෂයා නැකැතට නිවසේ කිරි උතුරනවා අප දැක නැත. ඔවුන් බොහෝ දෙනෙක් නැකැත් මෙන් ම කේන්දරය ද පිළිගන්නේ නැත. නැකැතට වැඩ කිරීමක් ඔවුන්ට වුවමනාවක් ද නැත. ඒ සියලු දේ කාන්තාව බාරගෙන ඇත. දරුවා විභාගයට යාමට පෙර බෝධිපූජා තබන්නේ ද සෙත්කවි කියවන්නේ ද වතුර වීදුරුවක් රැගෙන පෙරමගට එන්නේ ද ඇය ම ය. කේන්දරය බලාගෙන එන ඇය නැවත නැවත එය කියවා රාහු, ශනි, කේතුගෙන් තම පවුලට එන කරදර සිහි කරයි. ඒවායෙන් බේරීමට නොයෙක් දේ කරයි. බලු කපුටු දාන දෙයි. සිඟන්නන්ට දාන දෙයි. නැති බැරි අයට උදව් කරයි. මේ සියලු දේ ඇතුළේ ඇත්තේ ජ්‍යෝතිෂවේදියාගේ වචන යි.

අප සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ ද අපට සතුන්ට කෑම දීම, නැති බැරි අයට උපකාර කිරීම, කෑමට යමක් දීම, පින් රැස්වෙන බව කියා ඇත. එහි ආනිශංස වෙන වෙන ම කියා ඇත. නමුත් ඇයට එහිදී භාග්‍යවතුන් වහන්සේගේ දහම සිහියට නො එයි. ඇය බෝධීන් වහන්සේ අබියස පෙරලි පෙරලී වන්දනා කරන්නේ තමන්ට පැමිණි කරදරයක් දුරු කර දෙන ලෙස ඉල්ලා ය. විහාරස්ථානයෙන් ම ලබා ගන්නා පැන් බෝධීන් වහන්සේට වත් කරමින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරමින් ඇය ඉල්ලන්නේ ඇති වී ඇති ගැටලුව විසඳා දෙන ලෙස යි. නවග්‍රහ කවි හඬ නගා කියමින්, කඳුළු පිස දමමින් ඇය බෝධීන් වහන්සේට මේ පවසන්නේ සිතේ තිබෙන දුක යි. පීඩාව යි. ජ්‍යෝතිෂවේදියාගේ අණ පරිදි හත් දිනක් බෝධිපූජා පැවැත්වුව ද ඇයට එයින් පිහිටක් පිළිසරණක් ලැබේවි ද?

බෝධීන් වහන්සේ කප්රුකක් සේ සිතා නොයෙක් දේ ඇය ඉල්ලන්නේ ඇති වී ඇති ගැටලුව විසඳා දෙන ලෙස ය. එලෙස ම පැමිණ ඇති දුක් කරදර දෝමනස්සයන් දුරින් දුරු කර දමන්න යැයි සෑ වහන්සේ දෙසට, බෝධීන් වහන්සේ දෙසට පා දිගු කරමින් හඬ නගා වන්දනා කරන්නේ ද ඇය යි. බෝධීන් වහන්සේගේ අතුවල නොයෙක් දේ කියමින් කොඩිවැල් එල්ලන්නේ ද කිසිදු ගෞරවයක් නැතිව බෝධීන් වහන්සේගේ අතුවල පඬුරු ගැට ගසන්නේ ද ඇය යි.
අද සමාජයේ කාන්තාවට එදා සමාජයේ කාන්තාවට තිබුණාට වඩා විශාල වගකීම් රැසක් ගොඩ ගැසී ඇත. දරුවන් බිහි කිරීම, රැකීම, හදාවඩා ගැනීම, නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බැලීම, ගේදොර වැඩ කටයුතු මෙන් ම වතුපිටියේ කටයුතු ද ඇය වෙත පැවරී ඇත. ඊට අමතරව අද සමාජයේ ඇති ආර්ථිකය අනුව බොහෝ නිවෙස්වල කාන්තාවෝ රැකියාවක් කිරීමට පෙළඹී සිටිති. එනිසා ඇයට හුස්ම ගන්නට පවා වෙලාවක් නැත. වැඩ… වැඩ… වැඩ… උදේ රාජකාරියට එන ඇය සවසට නිවසට දිව යන්නේ පොදු වාහනවල තෙරපී, ගුලි වී, ගැටී වික්ෂෝපයට පත්ව ය. ඉන් පසු නිවසේ ඇති වැඩ ගොන්න සමහර විට මහත් වූ හිසරදයකි. ඒ සියලු දේ යටපත් කරමින් ඇය නැකැත් සරණ යන්නේ ඒ සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වීමක් බලාපොරොත්තුවෙන් විය හැකි ය. නමුත් ඒ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමක්, පිහිටක් එතැන දී ඇයට හමුවේ ද?

නමුත් සැබෑ උපාසිකාව (තෙරුවන් සරණ ගිය කාන්තාව) එසේ නොවිය යුතු ය. ලෝකයා එක පැත්තක සිටිද්දී තමාට බුදුරජාණන් වහන්සේගේ පැත්ත ගත හැකි නම්… මුළු ලෝකයා ම නැකැත්, කේන්දර, සුබනිමිති, සුබ හෝරාවන්හි පැත්ත ගන්නා විට සෘජු ව ම තමා බුදුන්, දහම්, සඟුන් පැත්තේ සිටගත හැකි නම්… ඇයට දෙවියෝ ද වන්දනා කරති.

තම දියණියගේ මල්වර වීමේදී, දරුවාට අකුරු කියවීමේදී, ඉඳුල් කට ගෑමේදී, විවාහ උත්සවයකදී කේන්දර, නැකැත්, සුභ වේලාව බැලීමට මවුපියන් යොමු වන්නේ ඇයි? කේන්දර නොගැළපේ නම් ඔවුන්ගේ ජීවිතවල නොයෙකුත් අර්බුද ඇති වේ යන බිය නිසා ම නො වේ ද? නමුත් කේන්දරය හොඳට ගළපා විවාහ වන දියණිය හෝ පුතාගේ විවාහ ජීවිතය නො සිතූ ලෙස බිඳී යන්නේ ඇයි? එහි වරද ජ්‍යෝතීර්වේදියාගේ ද? මවගේ ද? පියාගේ ද? නැත්නම් ඒ දරුවන් එකිනෙකා හඳුනාගැනීමට අපොහොසත් වූ නිසා ද? ඔවුන් එකිනෙකාට ගෞරව නොකළ නිසා නො වේ ද? පවට භය ලැජ්ජාව උපදවා නොගත් නිසා නො වේ ද? මේ සියලු දේ තේරුණ ද නො තේරුණා මෙන් වේලපත්කඩයට යට වන අප වනිතාවගේ මරණින් මතු උපත කෙසේ සැකසේවි ද? ඉපදෙන මොහොතට වඩා මැරෙන මොහොත වැදගත් වන්නේ ඒ නිසා නො වේ ද?

ඒ වගේ ම අප සිතා බැලිය යුතුයි භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය සැබෑම උපාසිකාව කෙබඳු කෙනෙක් ද යන වග… ඇයට ද නොයෙක් කරදර ජීවිතයට හඹා එයි. එක් ප්‍රශ්නයක් අවසන් වන විට ඒ සමඟ ම තවත් ප්‍රශ්නයක් පටන් ගනියි. දරුවන්ගේ නොයෙක් ප්‍රශ්න, කරදර, අඹුසැමි ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ලෙඩදුක්, කායික මෙන් ම නොයෙක් මානසික දුක් ඇය වටා ද කරකැවෙයි. නමුත් ඇය ඉන්ද්‍රඛීලයක් බඳු ය. එන සෑම ප්‍රශ්නයකදී ම ඇය සිහි කරන්නේ තමන් ආදරයෙන් සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ පමණි. උන්වහන්සේ වදාළ ඒ සුමධුර දහම පමණි. ඒ දහම අනුගමනය කොට සසර දුකෙන් එතෙර වූ මුනිවරුන් පමණි. බොහෝ ම ඉවසීමෙන් ගුණධර්ම මත පිහිටා ඇය ද බෝධිපූජා කරයි. දුගී දුප්පත් අයට පිහිට වෙයි. සතුනට ආහාර දෙයි. ඒ තුළින් තමාගේ අපල දුරු වේවා කියා කිසි විටෙක ඇය නො සිතයි. නො පතයි. ඇය අදහන්නේ එයින් තමන්ට රැස්වෙන පින යි. ඒ පින අනුමෝදන් වන දෙවියන් තමන්ට රැකවරණය සලසන බව යි.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉන්ද්‍රඛීලයක් බඳු ශ්‍රද්ධාවක් ඇති කාන්තාවෝ අදට වඩා බුද්ධ කාලයේ බොහෝ වූහ. ඈලා තම හිස කඳින් වෙන් වුව ද බුදුරජාණන් වහන්සේ අත් නො හැර සිටියෝ ය. වේළුකණ්ටකී නන්දමාතා, ඛුජ්ජුත්තරා, සුප්පාවාසා දේවිය ආදීන් ඒ සඳහා අපට හොඳ උදාහරණයන් ය.

එසේ මේ ලෝකයේ බොහෝ දෙනා පිහිට පිළිසරණ ලබාගත් ඒ නිර්මල බුදුදහම අද අපට ද හමු වී ඇත. නිවැරදිව ධර්මය කියා දෙන කල්‍යාණ මිත්‍රයන් අපට මුණගැසී ඇත. එය අප ලැබූ වාසනාවක් නො වේ ද? ඒ වාසනාව ගිලිහී යාමට පෙර අපි පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. ඒ ශ්‍රී සද්ධර්මය සරණ යමු, ආර්ය මහා සංඝරත්නය සරණ යමු.

සටහන – නයනා නිල්මිණි